Thursday, March 23, 2017

Tuder Jayashantha - ටියුඩර් ජයශාන්ත



“මගෙ දෑසේ කඳුළු තව දෑසක සතුටු කඳුළු වේ” 80 දශකයේ මුල් භාගයේ ලංකාවේ ගීත ලෝලීන් අතර ඉතාමත් ජනප්‍රිය වූ ගීතයකි,මේ. ගීතය මෙන්ම එය ගයන ගායකයාද එකල අතිශය ජනප්‍රිය වුවත් ඔහු ගායනා කළ සීමිත ගීත කීපය නිසාත් ගුවන්විදුලි මාධ්‍යයෙන් එම ගීත දැන් අසන්නට නොලැබෙන නිසාත් වර්තමාන පරපුර ඔහු ගැන දන්නේ නැති තරම්ය. නමුත් ලංකා ගීත ක්ෂේත්‍රයට ඔහු කළ සේවය අමිල ය. අමිතා වැදිසිංහ මහත්මිය සමග ගායනා කරන “විලක නෙළුම් මට කුමටද ඔබ හිනැහේ නම්” ගීතය ඇතැම් විට ඔබ අසා ඇතුවාට සැක නැත. එයද එකල අතිශය ජනප්‍රිය ගීතයකි. එසේම වෙසක් භක්ති ගී ගයන කාලයට නැතිවම බැරි ගීතයකි “දෙසුව අමා දහම ලොවේ දසත විහිදුවා - පෝය දිනේ තරිඳු නැගේ එළිය ගේනවා ” මෙයට අමතරව තව ගීත ගණනාවක් ඔහු ගායනා කර ඇත.


ගායකයා නමින් ටියුඩර් ජයශාන්තයන්ය. මෙම ගායකයා පිළිබඳව මට මහත් භක්තියක් හා ආදරයක් ඇත. මා කුඩාකළ මහරගම නිවසේ පදිංචිව සිටි කාලයේ අපගේ නිවසටද ඔහු වරක් පැමිණ තිබීම එයට හේතුවයි. ඒ බණ්ඩාරගම අපේ සීයා (මවගේ පියා) සමගය. එකල මගේ සීයාගේ බණ්ඩාරගම නිවස ඇතැම් සති අන්තවල කලාකරුවන් එකතුවන ස්ථානයකි. නිතර පැදුරු සාජ්ජ පැවැත්වේ. නිවසේ කාමරයක සර්පිනා, ඩෝල, තබ්ලා, තබා තිබේ. ඒවා වැයීමට දක්ෂතාවක් ඇති ගමේ තරුණයින් සීයාගේ ගෙදර මේ කාමරයට රැස්වේ. අප පාසල් නිවාඩුවට සීයලගේ නිවසට ගොස් ගත කරන කාලයේදී මේ ගැයුම් වැයුම් කෙරෙන අන්දම අත්දැක තිබේ. කලාතුරකින් දවසක ජනප්‍රිය ගායයෙකු හෝ වාදකයෙකු ද පැමිණේ. මා සිතන විදියට සීයා මේ අන්දමට කලාකරුවන් ඇසුරු කරන නිසා ටියුඩර් ජයශාන්තයන් ද සීයාගේ හොඳ මිතුරෙකු වන්නට ඇතැයි මට සිතේ. එකල ටියුඩර් ජයශාන්තයන්ගේ ගීත ගුවන්විදුලියෙන් මා අසා තිබෙන්නේ යාන්තමට වගේය. ඔහු අපේ නිවසට පැමිණ ගිය පසු වඩා උනන්දුවෙන් ඔහුගේ ගීත ශ්‍රවණය කරන්නට වීමි. මා ප්‍රථම වරටත් අවසන් වරටත් ඔහුව හැබැහින් දැක්කේ එදා අපේ නිවසට පැමිණි දිනයේ පමණි. ඒ කෙටි කාලයේදී ඔහු ඉතා අහිංසක ගායකයෙක් මෙන්ම උතුම් මනුෂ්‍යයෙකු බව මට පසක් වුණි. එයින් අවුරුදු කීපයකට පසු මගේ සීයා ඔහුගේ නිවසද විකුණා දමා වෙනත් නිවසක පදිංචියට ගිය අතර සංගීත වටපිටාවද නැතිව ගියේය. මේ නිසා සීයාගේ යහළුවන්ටද සීයා සමග ආශ්‍රය නැතිව ගිය බව පෙනේ. තවත් අවුරුදු කීපයකින් මගේ සීයාද ජීවිතයෙන් සමුගත් අතර ඔහුගේ මිතුරෙකුව සිටි ටියුඩර් ජයශාන්තයන් පිළිබඳ මතකය මගෙන් ටික ටික ඈත්ව ගියේය. මේ නිසා ඔහුගේ ගීත වරින්වර ගුවන් විදුලියෙන් මා ඇසුවත් (රූපවාහිනී මාධ්‍යවලදී ඔහුගේ ගීත රූගත නොවුන බවයි මගේ විශ්වාසය) ඔහුට කුමක් සිදුවූයේ දැයි සොයා බැලීමටවත් වසර ගණනාවක් යනතුරු මට නොහැකි විය. නොබෝදා හදිසියේම ටියුඩර් ජයශාන්තයන් පිළිබඳව මතකය අවදිවූයේ අන්තර්ජාලය හරහා ඔහුගේ ගීයක් ඇසීමෙනි. ඔහු දැන් කොහේ සිටිනවාදැයි සොයාබැලීමට බලවත් උනන්දුවක් ඇතිවී අන්තර්ජාලය පුරා විපරම් කළවිට ශෝකජනක පුවතක් අසන්නට ලැබුණි. ඒ 2005 වසරේදී ඔහු අප අතරින් සදහටම සමුගෙන ඇති බවයි. මේ පුවත මට මහත් කම්පනයක් ඇති වූයේ ජීවත්ව සිටියදී ඔහුව තවත් එක්වරක් හෝ දැක ගැනීමට මට නොහැකිවූ නිසාය. මේ සටහන ලිවීමට මා උනන්දු වූයේ ඒ නිසාය. 


මැහැරඹ බාලසූරියගේ ටියුඩර් ජයශාන්ත උපන්නේ 1945 ජනවාරි මස පළමුවැනිදා මොරටුව ලුනාව ග්‍රාමයේ ය. ඔහු අධ්‍යාපනය වෙනුවෙන් පියමැන්නේ ගමේ පාසලට ය. ඒ මොරටුව හොරේතුඩුවේ චන්ද්‍රසේකර විදුහලටය. පාසල් ජීවිතයේදීම ඔහුගේ හිත ගායනයට යොමුවිය. පාසල් සමයෙන් පසු ද ගීත ගායනයෙන් ඈත් වෙන්නට ඔහුගේ සිත ඔහුට ඉඩ දුන්නේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු නැවතුනේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේය. එහි දී ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයෙකු ලෙස සමත් විය. ඔහුගේ පළමු ගීත නිර්මාණය 1960 දශකයේ මුල, හින්දි තනුවකට අනුව ගැයුණු "ආවා මල් ලෝ සරා" නම් වූ ජනප්‍රිය ගීතයයි. ඔහු සිංහල ගීත මෙන්ම හින්දි ගීත ගායනයට ද උපන් හපන්කම් ඇත්තෙකි. ඔහුට හින්දි ගී ගායනයේදී ඉතාම නිවැරදිව හා පැහැදිලිව හින්දි වදන් උච්චාරණය කළ හැකි බව පැවසේ. ගායනයට පමණක් නොව සිතාරය, සර්පිනාව ඇතුළු සංගීත භාණ්ඩ වාදනයේද ඔහු දක්ෂයෙකු විය. එසේම කැසට්පට රැසකටද ඔහු ගීත ගායනා කළේය. ලංකාවේ පළමු හින්දි ගීත ප්‍රසංගය පැවැත්වූයේ ටියුඩර් ජයශාන්තයන්ය. එය “සුන්දර ගීත්” යනුවෙන් වූ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයකි. එහි පළමු ප්‍රසංගය 1978 පෙබරවාරි මස 28 වැල්ලවත්ත රාමක්‍රිශ්ණා ශාලාවේ පැවති අතර එහිදී ඔහු එක දිගට ප්‍රසංග 49ක් පවත්වා ඇත. ඔහුගේ අවසන් ඒක පුද්ගල ප්‍රසංගය 2002 මාර්තු මස ටවර්හෝල්හිදී පැවැත්විණ. 2005 වසරේ කටාර් රාජ්‍යයේ දෝහා නුවර සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් ද ඔහුට ආරාධනා ලැබුණි. එහිදී ඔහු ගැයූ “දෙසුව අමා දහම ලොවේ” නම් ගීතය මේ සමග ඇති යූ ටියුබයේ ඇතුලත් කර ඇත. ඒ ඔහුගේ ජීවිතයේ සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් විදෙස් ගත වූ පළමු හා අවසන් අවස්ථාව විය. 2005 වසරේ නොවැම්බර් 28 දින මෙරට ගීත ක්ෂේත්‍රයට නිහඬ සේවයක් කළ ටියුඩර් ජයශාන්තයන් අප අතරින් සදහටම සමුගත්තේය. ඔහුගේ සුවඳ ඔහුගේ සුන්දර බිරිඳ වූ ජී. කමලා පෙරේරා මහත්මියගෙන් ද ආදරණීය දියණියන් දෙදෙනා වූ චමිලා සහ ශානිකා ගෙන් ද එකම පුත්‍ර රත්නය වූ දර්ශනගෙන් ද මැකී ගොස් නැත. ඔවුන්ගේ ලෝකයේ අදටත් ඔහු ජීවමානව ජීවත් වෙයි. මාධ්‍ය ආයතන, රූපවාහිනී නාලිකා හා ගුවන් විදුලි නාලිකා ගණනාවක් ඇති රටක ටියුඩර් ජයශාන්තයන් අමතක කරලීම ඇත්තටම කණගාටුදායක ය. 

(ගායක ටියුඩර් ජයශාන්තයන් පිළිබඳ පසුබිම් සටහන උපුටාගැනීම - Dinesh Lokuyaddehige සංගීත පිස්සෝ)


ටියුඩර් ජයශාන්තගේ කැසට් පට කවර කීපයක්
උපුටා ගැනීම - Dinesh Lokuyaddehige සංගීත පිස්සෝ


ඔහුගේ ගීත අතරින් වඩාත්ම ජනප්‍රියට පත් ගීත තුනක පදමාලා (Lyrics) සහ යූ ටියුබ් ලින්ක් පහත ඉදිරිපත් කර ඇත.


ගීතය-01

මගෙ දෑසෙ කඳුළු තව දෑසක සතුටු කඳුළු වේ
අද ඇත ඇය මට හිමි නැති මගුල් පෝරුවේ//

මට ඇය දුන් වේදනා අගෙ දෑසින් තේරුණා//
මිලින කළේ ඇයි මැණිකේ පරම චේතනා.. පරම චේතනා

මගෙ දෑසෙ කඳුළු තව දෑසක සතුටු කඳුළු වේ
අද ඇත ඇය මට හිමි නැති මගුල් පෝරුවේ

නොඉඳුල් පෙම මා පැතූ ඔබ කළ හැටි අන් සතු//
මට දුන් දුක නොදෙනු මැනවි ඔහුට මින් මතූ... ඔහුට මින් මතූ

මගෙ දෑසෙ කඳුළු තව දෑසක සතුටු කඳුළු වේ
අද ඇත ඇය මට හිමි නැති මගුල් පෝරුවේ//

රචනය-හේම ශ්‍රී ද අල්විස්
සංගීතය-රංජිත් පෙරේරා
ගීතයේ යූ ටියුබ් ලින්ක්

https://www.youtube.com/watch?v=qcgqrRViy-c
ස්තුතිය - Indiketi Hewage Rohan Indika


ගීතය-02

විලක නෙළුම් මට කුමට ද
ඔබ හිනැහේ නම්...
නෙතක කැළුම් විඳ සැතැපෙමි
ඔබ සෙවනේ මම්......//

ගිම්හානය ගත දවමින් වියළි මිහිතලේ
පවස නැඟේ මා රඳවයි ලොවක නිසසලේ...
හෙට අළුයම ගෙට ගෙන එන ළහිරු රැස් දියේ
වසන්තයේ පණිවිඩයක් රැගෙන එමි ප්‍රියේ...

උදා නොවන උදෑසනක් රැයෙහි සිත සිතා
බලා හිඳිමි අවදි වෙවී කඳුළු වැල් ගොතා...
අනාගතය අතීතයෙන් විළිලන පොළොවේ
ඔබ පමණකි මා නෙත දුටු දෙවියෝ මෙලොවේ...

(යුග ගායනය අමිතා වැදිසිංහ)
රචනය-ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය-වික්ටර් දළුගම

ගීතයේ යූ ටියුබ් ලින්ක්
https://www.youtube.com/watch?v=1e2RHBz2ND0
ස්තුතිය - Indiketi Hewage Rohan Indika


ගීතය-03

දෙසුව අමා දහම ලොවේ දසත විහිදුවා
පෝය දිනේ තරිඳු නැගේ එළිය ගේනවා //

සුළඟ හමා ලපළු නටා කැකුළු පිපිනෙවා//
දෙඅත පුරා කැකුළු නෙළා බුදුන් පුදනවා
පුදා බුදුන් වඳිනවා

දෙසුව අමා දහම ලොවේ දසත විහිදුවා
පෝය දිනේ තරිඳු නැගේ එළිය ගේනවා //

මිනිස් බලේ පුබුදු කළේ සසර පහදලා//
සමිඳ මගේ උදය හවා සිතට නැගෙනවා
සදා බුදුන් වඳිනවා

දෙසුව අමා දහම ලොවේ දසත විහිදුවා
පෝය දිනේ තරිඳු නැගේ එළිය ගේනවා //

රචනය-හෙක්ටර් රංමුතු
සංගීතය- එඩ්ගා පෙරේරා

ගීතයේ යූ ටියුබ් ලින්ක්
https://www.youtube.com/watch?v=vxO7W_Y15WU
ස්තුතිය - AssanShows TV



ඔහුගේ තවත් ගීත කීපයක්

4. ජීවිතේ මල් මී
රචනය-හේමසිරි හල්පිට
සංගීතය-මර්වින් ප්‍රියන්ත

5. කඳු මුදුනේ (යුග)
රචනය-ශාන්ත දේශබන්ධු
සංගීතය-තිස්සසිරි පෙරේරා

6. නිසල රැයේ
රචනය-ලක්ෂ්මන් මාධවගේ
සංගීතය- එඩ්ගා පෙරේරා

7. තුන් සිතකින්වත්
රචනය-හෙක්ටර් විජයසිරි
සංගීතය- ආනන්ද ගමගේ

8. මුළු නිදියහනම
රචනය-බන්ධුල නානායක්කාරවසම්
සංගීතය- රෝහණ වීරසිංහ

9. නාගවල්ලි
රචනය-ජයන්ත රෝහණ
සංගීතය- රෝහණ වීරසිංහ

10. නුග ගහ යට
රචනය-හේම ශ්‍රී ද අල්විස්
සංගීතය- තිස්සසිරි පෙරේරා

11. පෙරහැර යන හැටි
රචනය-යටිවාවල ගාමිණි චන්ද්‍රසේන
සංගීතය- මර්වින් ප්‍රියන්ත

12. සිහින ඡායා සුනිල දෑසේ

13. එකම ඉරක් යට

14. බාල ලියේ

15. සලා දෙනෙත්

16. රිදී සිනා පාලා

17. මගෙ ජීවන

18. ඔබගේ ආදරේ

19. සඳුන් වතේ

20. ලස්සන මල් වැල් පිපිලා

No comments:

Post a Comment

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...