Saturday, November 30, 2013

Kingsley Ofosu කිංස්ලි ඔෆොසු

Kingsley Ofosu

කිංස්ලි ඔෆොසු



මේ පිංතූරයේ පෙනී සිටින කිංස්ලි ඔෆොසු ගැන ඔබ අසා තිබේද? අදින් වසර 21කට පෙර එනම් 1992 දී ඔහු ජාත්‍යන්තර පුවත් මවන්නෙක්ව සිටි නිසා එකල ඔහු ගැන නොදත් කෙනෙක් නොවීය. ඝානා ජාතිකයෙකුවූ ඔහු තම සගයින් අට දෙනෙකු සමග 1992 දී එම්.සී. රූබි නම් බහමාස් රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක රහසින් සැඟවී පලායාමට තැත්කිරීමේදී නෞකාවේ සිටි අමානුෂික කාර්ය මණ්ඩලයට අසුවී ඔවුන් අතින් ඝාතනය වීමට යාමේදී අනූනමයෙන් දිවිගලාවාගත් එකම පුද්ගලයා බවට පත්වීම මෙම සිදුවීමයි. ඔහු සමග සිටි ඔහුගේ සහෝදරයා ඇතුළු සියළු සගයින් ඝාතනය කරනු ලැබූ අතර ඔහු පමණක් ඔවුන්ගෙන් මිදී ප්‍රංශයට පලා ගියේය.

මෙම සිදුවීම අළලා බී.බී.සී. (BBC) ආයතනය හා හෝම් බොක්ස් ඔෆීස් (HBO) වෙනුවෙන් යූනියන් පික්චර්ස් විසින් 1996 දී ඩෙඩ්ලි වොයේජ් (Deadly Voyage) නමින් රූපවාහිනී වෘතාන්ත චිත්‍රපටයක් නිෂ්පාදනය කරන ලදී. මෙම චිත්‍රපටයේ ඔෆෝසුගේ චරිතයට පනදුන්නේ ප්‍රවීන නළු ඕමාර් එප්ස් විසිනි.(Omar Epps)

කිංස්ලි ඔෆොසු චරිතයට පනදුන් නළු ඔමාර් එප්ස්

චිත්‍රපටයේ ඔමාර් එප්ස් රඟන ජවනිකාවක්

චිත්‍රපටයේ තවත් ජවනිකාවක්

කිංස්ලි ඔෆොසු


1970 දී ඝානාවේදී උපත ලැබූ කිංස්ලි ඔෆොසු සිව්දෙනෙකුගෙන් යුත් පව්ලේ වැඩිමලා විය. තම මවගේ වෙළඳාමට උදව් කිරීමේ අටියෙන් ඔහු නියමිත කාලයට පෙර පාසල් ගමන නතර කළේය. ඔහුගේ බලාපොරොත්තුව වූයේ කවදා හෝ මෝටර් කාර්මික ඉංජිනේරුවෙකු වීමටය. එම ඉලක්කයට ළඟාවීම සඳහා අධ්‍යාපනයක් ලැබීමට තරම් මූල්‍ය ශක්තියක් ඔවුනට නොවීමෙන් ඔහුගේ බලාපොරොත්තු කිසිදා සඵල නොවීය. මේ නිසා ජීවත්වීමට මුදල් සොයාගැනීමේ පරමාර්ථයෙන් තරුණ ඔෆොසු ඝානාවේ තකොරාඩි (Takoradi) වරායේ කම්කරු රැකියාවක නිරතවිය.

ඔෆොසු සමග අන්ත දුගී දිවියක් ගත කරන ඔහුගේ ගමේ මිතුරන්ද මෙම වරායේ අනියම් කම්කරුවන් ලෙස සේවය කළහ. දිනක් ඔෆොසුගේ මිතුරෙකු කණ්ඩායමේ සෙස්සන්ට අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේය. වරායට එන නැවක රහසේ නැග වෙනත් ධනවත් යුරෝපා රටකට පැනගොස් හොඳ රැකියාවක් ‍සොයාගතහොත් කාගෙ කාගෙත් අතමිට සරුකරගත හැකි බව එම යෝජනාවයි. ඔෆොසු ඇතුළු කණ්ඩා‍මේ සෙස්සෝ යෝජනාවට එක පයින් කැමති විය. විශේෂයෙන් ඔෆොසු මෙයට කැමතිවූයේ මුදල් සොයාගෙන නැවතත් ඝානාවට ගොස් අධ්‍යාපනය ලබා මෝටර් ඉංජිනේරුවෙකු වීමේ අහිංසක බලාපොරොත්තුව යළි ඉෂ්ඨ කර ගැනීමට මෙයින් කදිම අවස්ථාවක් ලැබෙන නිසාය. කණ්ඩායමට ඔෆොසු සමග ඔහුගේ සහෝදරයා වන ඇල්බට් කොජෝ ද (Albert Codjoe) එක්විය. සියල්ලන්ම 9 දෙනෙකු විය. 

1992 ඔක්තෝබර් 24 දිනය උදාවිය. වරායට බහමාස් රාජ්‍යයට අයත් එම්.සී. රූබි නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව සේන්දු විය. එහි සේවය කලේ යුක්රේන් ජාතික කාර්ය මණ්ඩලයකි. කොකෝවා ඇට පිරවූ ගෝනි නැවට පැටවීමට ඔෆොසු ඇතුළු සගයෝ යුහුසුළුව කටයුතු කළහ. ඉතා රහසේ නැවේ පිහිටි ගුදම් කාමරයකට රිංගා සැඟවීමට සියළු දෙනාට හැකිවිය. ඔවුන්ට ගුදම් අතර සැඟවී පලායන තවත් මිනිසෙකු මෙහිදී හමුවූහ. මෙම වරායට පෙර නැවැත්වූ වරායක සිට නැවට රිංගාගත් ඔහු කැමරූන් ජාතික අහිංසක පුද්ගලයෙකි. අළුතින් පැමිණි මිතුරා සමග දැන් කණ්ඩායමේ ගණන දහයකි.

මෙම මුහුදු ගමනට දින දහයක් ගතවන තෙක් කිසිදු අතුරු අන්තරාවක් නොවීය. දහවැනි දිනයේදී රැගෙන විත් තිබූ ජල බඳුන අවාසනාවකට පුපුරා ගියෙන් ජලය අවසන් විය. කණ්ඩායමේ කිහිපදෙනෙක් බීමට අවශ්‍ය ජලය සොයා නැව පීරන්නට විය. මෙම ක්‍රියාව නිසා නැවේ කාර්ය මණ්ඩලයට ඔවුන් කොටුවීමට වැඩි වේලාවක් ගත නොවීය. පළමුව ඔවුන්ගේ සියළු මුදල් පැහැරගන්නා ලදී. ඉන්පසු ඔවුන් සියල්ලන්වම නැවේ නැංගුරම බහාලන අඳුරු අගාධයක් බඳු හතරැස් කුටියකට දමනු ලැබීය.

ජලය හෝ කිසිදු ආහාරයක් නොදී එම කුටියේ දින තුනක් ඔවුන්ව හාමතේ රදවනු ලැබූහ. ඉන්පසු වරකට දෙන්නා හෝ තුන්දෙනා බැගින් ඉවතට රැගෙන යන ලද්දේ මෙයට වඩා සැප පහසු කුටියකට ඔවුන්ව රැගෙන යන බව අඟවමිනි. නමුත් නැව් කාර්ය මණ්ඩලය කළේ ඉතා අමානුෂික ක්‍රියාවකි. එළියට ගන්නා කම්කරුවන්ගේ හිසට යකඩ දණ්ඩකින් පහරදී ඔවුන්ව අඩපණ කොට වෙඩිතබා ඝාතනය කර සිරුරු මුහුදට විසිකිරීම ඔවුන්ගේ කෘර සැළැස්ම විය. මෙම සැලැස්ම එලෙසම ක්‍රියාත්මක විය. පසුව හෙළිවුණු අන්දමට මෙම සිරුරු මුහුදට දමා ඇත්තේ පෘතුගාල වෙරලට ආසන්න මුහුදටය. එසේම මෙම කම්කරුවන් කෘර ලෙස ඝාතනය කිරීමට ඔවුන් පෙළඹී ඇත්තේ බටහිර වරායන් හිදී ක්‍රියාත්මක වන දැඩි නීතියක් නිසා බව පසුව හෙළිවිය. එනම් නැවකින් නීති විරෝධී සංක්‍රමණිකයන් රැගෙන යන බවට හසුවුවහොත් ඉතා අධික දඩ මුදලක් ගෙවීමට නැව් සමාගමට සිදුවීම එම නීතියයි.

මෙසේ ආගාධ කුටියෙන් අවසන් වරට එළියට රැගෙන යාමට ඉතිරිවූයේ ඔෆොන්සු හා ඔහුගේ සහෝදරයා වීම දෛවයේ ඉරණම විය. මෙහිදී වාසනාවකට මෙන් ඔෆොන්සුට යමක් ඇස ගැටුනි. එනම් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ ඇඳුම්වල ලේ තැවරී ඇති බවයි. සිදුවන්නට යන දේ ඉවෙන් මෙන් වටහාගත් ඔෆොසු ක්ෂණිකව නැවේ කුටි අතර සැඟව ගත්තේය. නමුත් ඉදිරියෙන් ගිය ඔහුගේ සහෝදරයාට පලා යා නොහැකි විය. තම සහෝදරයාට වෙඩි තබා ඝාතනය කොට මුහුදට දමන අයුරු ඔෆොසුට සැඟවී බලා සිටීමට සිදුවිය. ඔහුට කළ හැකි අන් දෙයක් නොවීය. මිනීමරු කාර්ය මණ්ඩලයේ සගයෝ ඔෆොසුව සොයා දින තුනක් නැව පීරූහ. නමුත් සාර්ථක ලෙස නැවේ සැඟවී සිටින්නට ඔෆොසු සමත් විය. අවසානයේ නැව ප්‍රංශයේ ලේ හව්රේ (Le Havre) වරායට සේන්දු විය. නැවේ සිට වරායට ඔෆොසු පැනගැනීම වැළැක්වීම සඳහා මිනීමරුවන් වඩාත් විමසිල්ලෙන් පසුවූහ. එක් සාක්ෂියක් හෝ ඉතිරි වුවහොත් තමුන් සියල්ලන්ටම වැඩ වරදින බව ඔවුන් දැනසිටීම එයට හේතුවයි. නමුත් තමා ගැන අවධානයෙන් සිටින බව දැනගත් ඔෆොසු රාත්‍රී අන්ධකාරය එනතෙක් සිට වඩාත් සූක්ෂ්ම ආකාරයෙන් නැවේ දුම්බටයක් තුළින් එළියට අවුත් වරායට පැනගත් අතර ආරක්ෂාව පතා දිවයන්නට විය. ඔෆොසුව දුටු මිනීමරුවන් අවිදරා ඔහු පසුපස හඹා එන්නට වූහ. කෙසේ හෝ වරාය පොලිස් ස්ථානයට බාරවී ආරක්ෂාව සපයාගන්නට ඔෆොසුට හැකිවිය.


පරීක්ෂණ ආරම්භ වේ


තමාට හා තම සගයින්ට අත්වූ ඉරණම ඔෆොසු ආරක්ෂක බලධාරින්ට වාර්තා කළේය. මිනීමරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් කියා සිටියේ ඔෆොසුව තමන් නොදන්නා බවයි. මෙහිදී නැවෙන් පලායාමට පෙර ඔෆොසු බුද්ධිමත් ක්‍රියාවක් කර තිබුණි. එනම් තම රටේ අනන්‍යතාව හෙළිකරන ලියකියවිලි කීපයක් කොකෝවා ඇට බහාලූ ගෝනියක් තුළ සඟවා පැමිණීමයි. මෙම ලියකියවිලි බලධාරීන් විසින් පසුව සොයාගැනීමෙන් ඔෆොසු නැවේ ගමන් කළ බවට ඔප්පු විය. තවද අනෙක් කම්කරුවන් සිටියා යැයි කියූ තැන් වල තිබී සොයාගත් මිනිස් මළ මුත්‍රා මගින් ඔවුන්ද නැවේ ගමන් කළ බව ඔප්පු විය.

නැවේ කාර්ය මණ්ඩලයේ සතර දෙනෙක් අපරාධය කළ බවට පාපොච්චාරණය කළහ. උසාවියේ නීතිවේදින් ඔෆොසුගේ පැමිණිල්ලේ ඇතැම් කරුණු පිළිගැනීමට මැලිවූයේ පිළිගත හැකි සාක්ෂි නොමැති නිසාය. විශේෂයෙන් නැවේ කාර්ය මණ්ඩලය විසින් ඔවුන්ගේ මුදල් පැහැර ගත්තේ යැයි එල්ල කල චෝදනාව ඉන් එකකි. තවද සිද්ධියට සම්බන්ධ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඔෆොසු විසින් නිවැරදිව හඳුනා නොගත් බවට ද කැමරූන් ජාතික කම්කරුවා කණ්ඩායම අසුවීමෙන් පසුව මුහුදට පැන දිවි නසාගත් බවටද නීතිවේදින් තර්ක කළහ.

නමුත් සිද්ධියේදී ඉතිරිවූ එකම පුද්ගලයා හෙළිදරව් කරන ප්‍රකාශය අත් හැරීමට කිසිවෙකුට නොහැකිවිය. එසේම කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු විසින් ඔවුන් සාවද්‍ය සාක්ෂි දුන් බව පිළිගත් අතර නැවේ පළමු මුලාදෑනි කව්දැයිද හඳුන්වා දුන්නෝය. කම්කරුවන් පිරිස ඝාතනය කිරීමට අණ දුන්නේ නැවේ පළමු මුලාදෑනි වන වැලරි අතෙමෙන්කෝ (Valery Artemenko) විසින් බවට ඔප්පු විය. නැවේ කපිතාන් ව්ලැඩ්මියර් ඉනිට්ස්කි (Vladimir Iinitskiy) ඝාතන අණක් නොදුන් බවට හෙළිවුවත් සිදුවන්නට යන අපරාධය වැළැක්වීමට ක්‍රියා නොකළ බවට ඔහුට චෝදනා එල්ල විය. මේ අනුව නැවේ කාර්ය මණ්ඩලයේ සය දෙනෙකු අත් අඩංගුවට ගැණුනු අතර ඉතිරි සේවකයන් තමන් කම්කරුවන් ගැන කිසිදු තොරතුරක් දැන නොසිටි බව කියා සිටියහ.

අවසානයේදී නැව් කපිතාන් හා පළමු මුලාදෑනි ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පස්දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. අනෙක් තිදෙනාට (Oleg Mikhailevsky, Petr Bondarenko සහ Sergei Romashenko) අවුරුදු 20 බැගින් වූ සිර දඬුවම් නියම විය. නැව් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට ප්‍රංශ නීතිය අනුව මරණ දඬුවම හිමි නොවීම පිළිබඳව ඔෆොසු කණස්සල්ලට පත්විය. ඝාතක කණ්ඩායමේ සිටියා යැයි සැකකළ හයවැනි කාර්ය මණ්ඩල සාමාජිකයා තමන් කිසිසේත් මෙම ඝාතන වලට සම්බන්ධ නොවූයේ යැයි දිවුරා ප්‍රකාශ කර සිටියේය. එසේම ඔහුව ඔෆොසු විසින් පෙරෙට්ටුවේදී හඳුනා නොගත්තේය. මේ හේතුව නිසා ජෝර්ජියානු ජාතිකයෙකුවූ දමාල් අරකාමියා (Dzhamal Arakhamiya) නම්වූ ඔහුව චෝදනා වලින් නිදහස් කොට නිදහස් කරන ලදී.


ප්‍රංශයේදී කිංස්ලි ඔෆොසු ගතකළ ජීවිතය



ඔෆොසුට ප්‍රංශයේ ජීවත්වීමට අවසර ලැබුණු අතර ඔහුගේ බලාපොරොත්තුව වූයේ දරුවකු ලැබීමට ආසන්නව සිටි තම බිරිඳවද හැකි ඉක්මණින් තමා ළඟට ගෙන්වා ගැනීමයි. නමුත් ප්‍රංශයේ දී සෑහීමකට පත්විය හැකි රැකියාවක් ඔහුට හමුනොවීය. මේ නිසා මුදල් සොයාගැනීමේ ක්‍රම පිළිබඳව සිතූ ඔහු තම කතාව යුනියන් පික්චර්ස් සමාගමට විකුණා මුදල් සෙවීමට සිතුවේය. මෙසේ ලබාගත් මුදල් වඩාත් හොඳ රැකියාවක් සොයාගැනීම සඳහා වියදම් කිරීමට හේ කල්පනා කළේය. ඒ සඳහා සිවිල් ඉංජිනේරු ශිල්පය හා ප්‍රංශ භාෂාව ඉගෙන ගත්තේය. නමුත් එම අධ්‍යාපනයද ඔහු හරිහැටි හමාර නොකළේය. එම නිසා බලාපොරොත්තුවූ උසස් රැකියාවක් නොලද හේ අඩු වැටුපක් සහිත රැකියාවකට යාමට යළිදු සිදුවිය.


මේ අවාසනාවන්ත තත්වය නිසා ඔෆොසුගේ මුදල් ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වන්නට විය. ඉතිරිවූ මුදල් සියල්ල යොදවා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතූ ඔහු ප්‍රංශයේදී පාවිච්චි කල විදුලි උපකරණ මිලට ගෙන ඒවා ඝානාවට ගෙන ගොස් ලාභයක් ඇතිව විකිණීමට පටන් ගත්තේය.

මෙම ව්‍යාපාරය මුලදී සාර්ථකත්වයට පත්වුවත් ඔහුගේ හවුල් කරුවන් නිසා වෙළඳාම බිඳවැටී බංකොලොත්භාවයට පත්විය. අසරණභායට පත් ඔෆොසු 2007දී යළිත් තම මව්රට වන ඝානාවට ගොස් තම බිරිඳ හා දරුවන් සතරදෙනා සමග පදිංචි විය. 1992 දී ඔහු තම නිවස හැරයන විට තිබූ දිළිඳුභාවයට නොදෙවෙනි දිළිඳු ජීවිතයක් ගත කිරීමට යළිත් ඔහුට සිදුවිය. 1994 සැප්තැම්බර් 20 දින ඔවුන්ගේ කැදැල්ලට නව සාමාජිකයෙකු එකතුවිය. ඒ සොලමන් ජේම්ස් ඔෆොසුය.

ඔහුගේ කතාව චිත්‍රපටයට නැගූ යුනියන් පික්චර්ස් සමාගමෙන් ඔහුට ඩොලර් 67,500 ක් ලැබුණද නියමිත ගාස්තුව පොරොන්දුවූ පරිදි නොලැබුණාට එම සාමාගමට විරුද්ධව ඔහු උසාවි ගියේය. උසාවියේදී සාධාරණ තීන්දුවක් ඔහුට නොලැබුණි. තවද නැව් සමාගමට විරුද්ධව ගොනුකල තවත් නඩුවකින් යූරෝ ලක්ෂයක වන්දි මුදලක් ඔෆොසු හට ගෙවීමට නියම විය. නමුත් අද වනතුරු ඔෆොසුට එම වන්දි මුදල නොලැබුණු බව ඔෆොසු පවසයි.

චිත්‍රපටයේ පෝස්ටරයක්

චිත්‍රපටය අඩංගු DVD කවරයේ පිංතූරයක්

ඔෆොසුගේ කතාව ඇසුරුකර 1996දී නිපදවූ ත්‍රාසජනක චිත්‍රපටය සම්පුර්ණයෙන් නැරඹීම සදහා යූටියුබ් ලින්ක් එක මෙන්න

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...