Saturday, April 25, 2015

WEST INDIES FAST BOWLERS OF THE 80'S - What do they now? බටහිර ඉන්දීය වේගපන්දු බලකාය අද කෝ?

WEST INDIES FAST BOWLERS OF THE 80'S - What do they now? 
80 දශකයේ බටහිර ඉන්දීය වේගපන්දු බලකාය



ක්‍රිකට් දිවියෙන් ඉවත්වූ ලෝ ප්‍රකට බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන්නෝ - අද කොතැනද?

එංගලන්තය විසින් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළත් එම ක්‍රීඩාව ව්‍යාප්තවූ ඇතැම් රටවල් එංගලන්තයටත් වඩා එම ක්‍රීඩාවෙන් මහත් ප්‍රසිද්ධියට පත්විණි. 1975දී ලෝක ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේදී පැවැත්විණි. එම තරගාවලියට මූල්‍ය දායකත්වය ලබාදුන්නේ පෲඩන්ෂල් රක්ෂණ සමාගමයි. ඒ නිසාම එම තරගාවලිය හැඳින්වූයේ පළමු පෲඩන්ෂල් ලෝක කුසලාන තරගාවලිය ලෙසය. මෙම තරගාවලිය අද පවත්වනු ලබන තරගාවලියකට වඩා බොහෝ වෙනස් විය. ඉනිමක ඕවර සංඛ්‍යාව 60 කි. සියළු රටවල ක්‍රීඩකයින්ගේ නිළ ඇඳුම සුදු පැහැය විය. පන්දුවේ පැහැය රතුය. දිවා රාත්‍රී තරග එකළ නොවීය. මෙම පළමු තරගයේ ශූරතාව හිමිකරගත්තේ අවසාන මහා තරගයෙන් ඕස්ට්‍රේලියා පිල පැරදවූ බටහිර ඉන්දීය කොදෙව් පිලය. මේ නිසා බටහිර ඉන්දීය පිල එවක ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.

1975 ජයග්‍රහණය - නායක ක්ලයිව් ලොයිඩ් කුසලානය අතැතිව

බටහිර ඉන්දීය කොදෙව් පිල වඩාත් ජනප්‍රිය වූයේ 1979 දී පැවැත්වූ පෲඩන්ෂල් ලෝක කුසලාන දෙවන තරගාවලියේ  අවසන් තරගයෙන් එංගලන්ත පිල පරදා ලැබූ ජයග්‍රහණය නිසාය. මෙම දෙවන තරගාවලියෙන් පසු එය හැඳින්වූයේ අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලිය ලෙසය. පිට පිට දෙවරක් ලෝක ශූරයින් බවට පත්වෙමින් බටහිර ඉන්දීය පිල හිමිකරගත් මෙම වාර්තාව එකල ලෝක වාර්තාවකි. (පිට පිට තුන්වතාවක් ඇතුළු පස් වතාවක් ලෝක ශූරයින් බවට පත්වීමේ වාර්තාවට දැන් හිමිකම් කියන්නේ ඕස්ට්‍රේලියාවයි.)

පෲඩන්ෂල් කුසලානය

1979 පෲඩන්ෂල් ලෝක කුසලානය දෙවන වරටත් දිනාගනිමින් එම
කුසලානය ඔසවාගෙන සිටින්නේ ක්ලයිව් ලොයිඩ්ය. මෙහි විවියන් 
රිචර්ඩ්ස්, ඇල්වින් කලිචිරාන්, ගෝඩන් ග්‍රිනිච්, ජොයෙල් ගානර්,
ඇන්ඩි රොබට්ස් හා ඩෙරික් මරේ පැහැදිලිව හඳුනාගත හැක.


බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ගැන කතාකරන විට 1975 ප්‍රථම ලෝක කුසලාන වකවානුවට පෙර යුගය ගැනද කතා නොකර බැරිය. මන්ද එම යුගයේ සිටි යෝධ ක්‍රිකට් රජවරුන්ගේ අභාෂය නොවන්නට බටහිර ඉන්දීය කොදෙව් පිලට මෙවැනි ජයග්‍රහණ හිමි නොවන්නට ඉඩ තිබිණි.

1975ට පෙර යුගයේ කොදෙව් පිලේ දස්කම් දැක්වූවන් අතර ගාෆීල්ඩ් සෝබර්ස්, ෆ්රෑන්ක් වොරල්, වෙස්ලි හෝල්, චාලි ග්‍රිෆිත්, ඩෙරික් මරේ, ලාන්ස් ගිබ්ස්, රොහාන් කන්හායි, ගෝඩන් ග්‍රිනිච් හා ඇල්වින් කලිචරන් කැපී පෙනෙයි.

1963 බටහිර ඉන්දීය කණ්ඩායම


1975 ලෝක කුසලාන ජයග්‍රහණ වලින් පසු කාගෙත් මුවග රැව්දුන් ක්‍රීඩකයින් අතර ඇන්ඩි රොබට්ස්, මයිකල් හෝල්ඩිං, කොලින් ක්‍රොෆ්ට්, ජොයෙල් ගාර්නර්, මැල්කම් මාෂල්, කර්ට්නි වොල්ෂ්, කර්ට්ලි ඇම්බෲස්, ඉයන් බිෂොප්, ක්ලයිව් ලොයිඩ්ස්, විවියන් රිචර්ඩ්ස්, රිචී රිචඩ්සන්, සහ කාල් හූපර් කැපී පෙනෙයි. 

ලෝක කුසලාන ජයග්‍රහණ වලින් පසු කාලයක් යනතුරු බටහිර ඉන්දීය පිල ලබාගත් ලෝක මට්ටමේ ජයග්‍රහණ රැසකට දායකවූයේ එම කණ්ඩායමේ සිටි අති දක්ෂ වේග පන්දු යවන්නන්, පිතිකරුවන් හා කණ්ඩායම් නායකයින්ය. ඔවුන් සියල්ලෝම අද ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙනය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අද ජීවිතයේ සැඳෑසමය ගෙවමින් සිටිති. කිහිප දෙනෙක් ජීවිතයෙන්ද සමුගෙනය. නමුත් ඔවුන්ගේ නාමය සදා නොමැකෙනසේ ක්‍රිකට් ලෝලයින් අතර අදටත් රැව් පිළිරැව් දෙයි. විශේෂයෙන්ම අද ලංකාවේ සිටිනා වැඩිහිටි ක්‍රිකට් ලෝලයින්ට ඔවුන්ව අමතක නොවේ. ක්‍රිකට් වලට ලැදි වර්තමාන පරපුරේ ක්‍රිකට් ලෝලීන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා මෙය ඉදිරිපත් කෙරේ.

එදා ක්‍රිකට් ලොව හෙල්ලූ ලෝ ප්‍රකට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ- (තුන් ඉරියව් ක්‍රීඩකයෝ/පිතකරුවෝ/කණ්ඩායම් නායකයෝ සහ වේග පන්දු යවන්නෝ )

1.
ශ්‍රීමත් ෆ්රෑන්ක් වොරල් - (නායක හා තුන් ඉරියව් ක්‍රීඩක)

සම්පූර්ණ නම - Sir Frank Mortimer Maglinne Worrell

සර් ෆ්රෑන්ක් මෝටිමර් මැග්ලින් වොරල්

උපත - 1924 - අගෝ. 01

විපත - 1967 - මාර්තු. 13 (මියයන විට වයස - අවු.42)


ලෝක කුසලාන ක්‍රිකට් යුගයට පෙර බටහිර ඉන්දීය කොදෙව් පිල බිහිකළ විශිෂ්ඨතම ක්‍රීඩකයින් කීපදෙනා අතරින් කෙනෙකි. ඔහු 1950 වසරවල කණ්ඩායම් නායකයා විය. බටහිර ඉන්දීය පිලේ ප්‍රථම කළු ජාතික ක්‍රිකට් නායකයා බවට පත්වූයේ වොරල්ය. (එතෙක් නායකකම දැරුවේ සුදු ජාතිකයින්ය.) ශ්‍රීමත් ෆ්රෑන්ක් වොරල්ගේ ක්‍රිකට් දිවිය 1948 සිට 1963 දක්වා විය.

ෆ්රෑන්ක් වොරල් තරුණ වියේදී

ෆ්රෑන්ක් වොරල්  විශ්‍රාම යෑමෙන් පසු

ෆ්රෑන්ක් වොරල් නමින් නිකුත්කළ මුදල් නෝට්ටුවක් 

වොරල් නායකත්වය දැරූ කණ්ඩායමේ ලෝක ප්‍රකට ක්‍රීකඩකයින් තිදෙනෙකුද විය. ඒ අන් කිසිවෙක් නොව වේග පන්දු යවන වෙස්ලි හෝල් , චාලි ග්‍රිෆිත් සහ තුන් ඉරියව් ක්‍රීඩක ගාෆීල්ඩ් සෝබර්ස්ය. 

“නරී කොන්ට්‍රැක්ටර්” අනතුර
1962 පෙබර. 3 දින ඉන්දියාව බාර්බඩෝස් (බටහිර ඉන්දියා පිල) පිලට එරෙහිව එංගලන්තයේදී තරගයක් පැවැත්වීය. ඉන්දියානු කණ්ඩාමේ නායක නරී කොන්ට්‍රැක්ටර් එම අවස්ථාවේ පන්දුවට පහර දෙමින් සිටියේය. පන්දු යවන්නා වූයේ වේග පන්දු යවන චාලි ග්‍රිෆිත් ය. ග්‍රිෆිත් නරීන්ට පන්දුව එවන අවස්ථාවේදී ප්‍රෙක්ෂකාගාරයේ සිටි කිසිවකු විසින් කරනු ලැබූ බාධාකිරීමක් නිසා නරීගේ ඒකාග්‍රතාව බිඳී ගියේය. පන්දුව පැමිණෙන නිසි මාර්ගය ඔහුට නොපෙනුණි. බවුන්සර් පන්දුව හිසේ පිටුපස වැදී හිස්කබල පිපිරී ගියේය.

එම සිද්ධිය එදින කැමරාවේ සටහන්වූ ආකාරය. බිම වැටී හිස බදා සිටින්නේ නරී කොන්ට්‍රැක්ටර්ය. ඉදිරියෙන් සිටින්නේ වේග පන්දුව යැවූ චාලි ග්‍රිෆිත්ය. 

අනතුරට පත් නරීට ප්‍රථමාධාර දෙන සිය සගයින්

බලධාරින් විසින් නරීව පිටියෙන් ඉවතට වත්තම් කරගෙන යන අයුරු


නරී කොන්ට්‍රැක්ටර් එදා සහ අද (ඔහු දැනට ඉන්දියානු ක්‍රිකට් ඇකඩමියේ පුහුණුකරුවෙකු ලෙස සේවය කරයි.)

රෝහලේදී නරී හදිසි සැත්කම් 2කට භජනය විය.එම අවස්ථාවේදී ඔහුගේ මොලයේ සිරවී තිබූ ලේ කැටිති ඉවත් කෙරිණි. දින 6ක් නරී සිහි විසඥව සිටියේය. ඔහුට රුධිරය ලබාදීමට අවශ්‍යතාවක් ඇතිවූයෙන් බටහිර ඉන්දීය පිලේ නායකවූ සර් ෆ්රෑන්ක් වොරල් විසින් ක්ෂණිකව නරීට රුධිරය ලබාදී ඔහුගේ දිවි බේරාගත්තේය. මෙම අනතුරින් නරී කොන්ට්‍රැක්ටර්ගේ ජීවිතය බේරුණත් ඔහුගේ ක්‍රිකට් දිවිය එතැනින් සදහටම නතර කිරීමට සිදුවිය. ඉන්දියානුවෙකුට රුධිරය ලබාදී ඔහුගේ ජීවිතය බේරාදුන් නිසා අදටත් ඉන්දියාවේ බෙංගාලි ප්‍රාන්තයේ ක්‍රිකට් ලෝලින් ෆ්රෑන්ක් වොරල්ව ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි. ෆ්රෑන්ක් වොරල්ව සිහිපත් කිරීම සඳහා සෑම වර්ෂයකම අදාල දිනයේ ඉන්දියානුවන් විසින් ඉන්දියාවේ කල්කටා නගරයේ ඊඩන් ගාඩ්න් පිටියේදී ලේ දන්දීමේ කඳවුරක් පවත්වාගෙන යනු ලැබේ.

1963දී ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යාමෙන් පසු වොරල් දේශපාලනයට පිවිසියේය. ජැමෙයිකාවේ සෙනෙට් සභාවටද තේරී පත්විය. 1964 දී නයිට් නාමයෙන් පුදනු ලැබූ නිසා ඔහුට ශ්‍රීමත් නාමය ලැබිණි. 1965දී පමණ බටහිර ඉන්දීය කොදෙව් පිලේ කළමනකරුවූ හෙතෙම 1966-1967 ඉන්දියාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගි වන අතරතුරේදී සිදුකළ වෛද්‍ය සායනයකදී ඔහුට ලියුකේමියා රෝගය වැළඳී ඇතිබව තහවුරු විය. ආපසු තම නිවස වන ජැමෙයිකාවට පැමිණ මාසයකට පමණ පසු ඔහු මෙලොව හැර ගියේය. මියයන විට වයස 42කි. අවමංගල්‍ය උත්සවය නිසි ගෞරව සහිතව එංගලන්තයේ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්විණි. ක්‍රීඩකයෙකු වෙනුවෙන් එවැනි උත්සවයක් එම දේවස්ථානයේ පැවැත්වූ ප්‍රථම අවස්ථාවද එයවේ.

2.
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්
    සම්පූර්ණ නම - සර් ගාෆීල්ඩ් සෙන්ට් ආබ්‍රන් සෝබර්ස් -

    Sir Garfield St Aubrun Sobers

    උපත - 1936 - ජූලි 28 (දැනට වයස- අවු.-78) 
    උස - අඩි 5 අඟල් 11

ගාෆීල්ඩ් සෝබර්ස් යන්න බොහෝ දෙනා ගැරී සෝබර්ස් යනුවෙන්ද හඳුන්වයි. 1954 සිට 1974 දක්වා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල නියෝජනය කළ ක්‍රීඩකයෙකි. එතෙක් මෙතෙක් ක්‍රිකට් ලෝකයේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස මුළු ලොවම මොහුව පිළිගනු ලබයි. මේ ලිපිය ලියන අවස්ථාවේදීත් ඔහු ජීවමානව සිටීම ඇත්තෙන්ම අපගේ වාසනාවකි. ඔහුට වයස දැන් අවුරුදු 78 කි. ප්‍රකට බටහිර ඉන්දීය ක්‍රිකට් නායක ෆ්රෑන්ක් වොරල්ගේ කණ්ඩායමේ සිටි වැඩකාරයන්ගෙන් කෙනෙකි. 

1953 දී එනම් වයස 16 දී ඔහු පළමු පෙලේ තරග වලට සහභාගිවෙමින් ක්‍රිකට් අත්පොත් තැබීය. ඊළඟ වසරේදී ඔහු සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි විය. මුලදී පන්දු යවන්නෙක් ලෙස සහභාගී වී පසු කලෙක ක්‍රමයෙන් දක්ෂ පිතිකරුවෙකු බවට පත්විය. 1958දී සෝබර්ස් ක්‍රිකට් ලොවට අමතක නොවන වාර්තාවක් එක්කළේය. 1958 දී පාකිස්ථානයත් සමග පැවති ටෙස්ට් තරගයකදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේය. එම ශතකය ඉදිරියට ඇදී එය නොදැවී ටෙස්ට් ලකුණු 365 ක් ලෙස සටහන්වී ලෝක වාර්තාවක් බවට සණිටුහන් විය. එය දිගු කාලයකට කිසිවෙකුටවත් බිඳ නොහෙළිය හැකි වාර්තාවක් ලෙස එම කාලයේ කා අතරත් කතාබහට ලක්විය. (මෙම වාර්තාවට කලින් හිමිකම් කීවේ  කීර්තිමත් එංගලන්ත ක්‍රිකට් නායකයෙකුවූ ලෙන් හට්න් විසින් 1938දී පිහිටුවා තිබූ ටෙස්ට් ලකුණු 364ක වාර්තාවයි. 1958 සිට වසර 46ක් අඛණ්ඩව පැවති සෝබර්ස්ගේ එම ලෝක වාර්තාව 1994දී බ්‍රයන් ලාරා විසින් ලකුණු 375ක් ලබා බිඳ හෙළීය. පසුකලෙක බ්‍රයන් ලාරා විසින්ම ලකුණු 400ක් ලබා වසර 2000දී ඔහුගේ වාර්තාව අලුත් කළේය.) 


1968දී සෝබර්ස් තවත් වික්‍රමයක් කළේය. ඒ ඔහු සහභාගී වූ පළමු පෙළ ක්‍රිකට් තරගයකදීය. එනම් ඔහු නොටිංහැම්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් එම කණ්ඩායමේ නායකයා ලෙසින් ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවකදී ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නා විසින් යැවූ එක් ඕවරයකදී පන්දු 6ටම හයේ පහර 6ක් එල්ල කළ ලෝකයේ පළමු ක්‍රීඩකයා බවට පත්වෙමිනි. ඕවරයකට ලකුණු 36 ක් ලබාගෙන ඔහු එදින බින්දේ මීට පෙර ඕවරයකට ලකුණු 34ක් ලබා වසර 57කට පෙර ටෙඩ් ඇල්ස්ටන් ක්‍රීඩකයා විසින් තබා තිබූ වාර්තාවයි. මේ අසම සම වාර්තාවට මෑතක් වනතුරු පළමු පෙළ තරගවලද, ටෙස්ට් තරගවලද, එක්දින තරගවලද කිසිවෙකුට සමකිරීමට නොහැකි වී තිබිණි. සෝබර්ස් ලොව පුරා ජනප්‍රිය වූයේ මෙම වාර්තා සමගිනි. 

සෝබර්ස් හයේ හය එල්ලකළ ආකාරය දැක්වෙන යූ ටියුබය
https://www.youtube.com/watch?v=KZUVL3SqqZo

(නමුත් 1985 තවත් පළමු පෙළ තරගයකදී ඉන්දියානු ක්‍රීඩකයෙකු විසින් එම වාර්තාව සමකරන ලදී. ඒ රවී ශාස්ත්‍රිය. එක් දින තරගයකදී ඕවරයක පන්දු 6ටම පිට පිට හයේ පහරවල් 6ක් එල්ල කළ ප්‍රථමයා වූයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස්ය. ඒ 2007 ලෝක කුසලාන තරගාවලියේ 2007 මාර්තු 16 දින දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර පැවති එක්දින තරගයේදීය. මේ නිසා ඔහු ලෝක කුසලාන තරගයකදී හයේ හය එල්ල කළ ප්‍රථමයාද වන්නේය.

හර්ෂල් ගිබ්ස් හයේ හය එල්ලකළ ආකාරය දැක්වෙන යූ ටියුබය
https://www.youtube.com/watch?v=CKdYJSpQZD8


එක්දින තරගයකදී ඕවරයකට වැඩිම ලකුණු ප්‍රමාණයක් එනම් ලකුණු 36ක් ලබාගත් එකම හා ප්‍රථම ක්‍රීඩකයා හ්රෂල් ගිබ්ස් වන අතර එක්දින ඕවරයකට ලකුණු 35ක් ලබා ලෝකයේ දැනට දෙවන ස්ථානය ලබා සිටින්නේ කව්ද කියා ඔබ දන්නවාද? ඒ ශ්‍රී ලාංකික පිතිකරු තිසර පෙරේරායි.


තිසර පෙරේරාගේ මේ වික්‍රමය නැරඹීමට යූ ටියුබය

එසේම 2007 , 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ 2007 සැප්තැම්බර් 19 දින පැවැත්වූ ඉන්දියාව හා එංගලන්තය අතර තරගයේදී ඉන්දියානු ක්‍රීඩක යුවරාජ් සිං ඕවරයකට 6 පහරවල් 6ක් එල්ල කළේය. එමගින් යුවරාජ් සිං 20 යි 20 ලෝක තරගාවලියක හයේ හය එල්ලකළ ප්‍රථමයා බවට පත්විය.) 

යුවරාජ් සිංගේ හයේ හය වික්‍රමය දැක්වෙන යූටියුබයේ ලින්ක් එක-
https://www.youtube.com/watch?v=wSwSaF2z124

ටෙස්ට් තරගයක හයේ හය එල්ලකළ ප්‍රථමයා තවම බිහිවී නොමැත. 

ෆ්රෑන්ක් වොරල්ගෙන් පසු සෝබර්ස් කණ්ඩායමේ නායකයා බවට පත්විය. 1975 දී දෙවන එළිසබත් රැජින විසින් නයිට්නාමය පුද කිරීම නිසා ඔහුට ශ්‍රීමත් (සර්) යන ගෞරව නාමය හිමිවිය. 1998දී බාබඩෝස් රජය විසින් ගාෆීල්ඩ් සෝබර්ස් එරට ජාතික වීරයෙකු ලෙස නම්කරන ලදී. පසු කලෙක ජාත්‍යන්තර පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළේය. 


ගාෆීල්ඩ් සෝබර්ස්  ක්‍රිකට් පිටියේදී

සෝබර්ස් අද

සෝබර්ස් අද


3. ශ්‍රීමත් වෙස්ලි හෝල්
සම්පූර්ණ නම - සර් වෙස්ලි වින්ෆීල්ඩ් හෝල්
                        Sir Wesley Winfield Hall

උපත - 1937 - සැප් 12 (දැනට වයස- අවු.-77)

උස - අඩි 6 අඟල් 2

සර් වෙස්ලි හෝල් ලෝක කුසලාන ක්‍රිකට් යුගයට පෙර බිහිවූ අග්‍රගණ්‍ය වේග පන්දු යවන්නෙකි. ශක්තිමත්ව වැඩුණු උස දේහයක් හිමි ඔහු පන්දුව මුදා හැරීමට පෙර පිටියේ අන්තයක සිට බොහෝ දුරක් දිව එයි. 1958 සිට 1969 දක්වා බටහිර ඉන්දීය පිල වෙනුවෙන් තරග 48කට දායක වී ඇත. ආරම්භක පන්දු යවන්නෙකු ලෙස ඔහු පිටියට පිවිසෙන්නේ තම සගයා වූ ලෝ ප්‍රකට තවත් වේග පන්දු යවන්නෙකු ලෙස නම්දරා සිටි චාලි ග්‍රිෆිත් සමගිනි. මේ දෙදෙනා නිසා 1960 ගණන් වල කොදව් පිල ශක්තිමත් පිලක් ලෙස ප්‍රකටව තිබුණි. පාසල් ක්‍රිකට් ක්‍රීඩයෙකුව සිටි සමයේ ඔහු කඩුළු රැකීම හා පිතිකරුවෙකු ලෙස දසකම් පෑවත් වේග පන්දු යවන්නෙකු ලෙස අවතීර්ණ වූයේ කලකට පසුය. 

1958 දී ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගයට සහභාගීවීමෙන් ඔහු ටෙස්ට් වරම් ලැබීය. 1959 දී පාකිස්ථානයට එරෙහිව පැවතී තරගයකදී ඔහු කඩුළු ත්‍රිත්වයක් ලැබීය. මේ නිසා බටහිර ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට කඩුළු ත්‍රිත්වයක් ලැබූ ක්‍රීඩකයා ඔහුය. 

දිගින් දිගටම ක්‍රීඩාවේ නියැලීම නිසා ආබාධ රැසකට මුහුණ දීමට සිදුවූ පසු 1969දී ක්‍රිකට් ජීවිතයෙන් සමුගැනීමට ඔහුට සිදුවිය. ඉන්පසු එරට දේශපාලනයට පිවිසුණු වෙස්ලි හෝල් බාර්බඩෝස්වල සෙනෙට් සභියෙකු ලෙස කටයුතුකර 1987දී සංචාරක අමාත්‍ය ධූරයට පත්විය. එසේම කොදෙව් පිලේ කළමනාකාරිත්වයට පිවිසි ඔහු ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් 2001 සිට 2003 දක්වා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ලෙසත් කටයුතු කළේය. ක්‍රිකට් ක්‍රීඩාවට හා ප්‍රජාවට කළ සේවය වෙනුවෙන් ඔහු 2012 වසරේදී නයිට් නාමයෙන් පුදනු ලැබීය. එතැන් පටන් ඔහු ශ්‍රීමත් හෙවත් සර් යන ගෞරව නාමයෙන් හැඳින්වේ.


 
වෙස්ලි හෝල්ගේ ඉරියව්


වෙස්ලි හෝල් අද

4. චාලි ග්‍රිෆිත් 


සම්පූර්ණ නම - චාල්ස් ක්‍රිස්ටෝපර් ග්‍රිෆිත් 
                        Charles Christopher Griffith
උපත - 1938 - දෙසැම්බර් 14 (දැනට වයස- අවු.-76)

උස - ?

චාලි ග්‍රිෆිත් ලෝක කුසලාන ක්‍රිකට් යුගයට පෙර බිහිවූ තවත් ලෝ ප්‍රකට වේග පන්දු යවන්නෙකි. 1960 සිට 1969 දක්වා ටෙස්ට් තරග 28කට දායක වී ඇත. ආරම්භක පන්දු යවන්නෙක් ලෙස ඔහු ක්‍රියාකාරී වූයේ තම සගයා වූ වෙස්ලි හෝල් සමගිනි. ඔහුගේ වේග පන්දු කෙතරම් අනතුරු දායකද යත් වරක් ඔහුගේ පන්දුවක් හිසේ වැදීමෙන් ඉන්දියානු පිලේ නායක හා කීර්තිමත් පිතිකරුවෙකුවූ නරී කොන්ට්‍රැක්ටර්ගේ හිස්කබල පිපිරී ගියේය. (මෙම සිද්ධිය විස්තරාත්මකව කලින් සඳහන් කර ඇත.)

චාලි ග්‍රිෆිත්ගේ ඉරියව්


චාලි ග්‍රිෆිත්ගේ ඉරියව්


චාලි ග්‍රිෆිත් තරුණ වියේදී

චාලි ග්‍රිෆිත් මැදි වියේදී

චාලි ග්‍රිෆිත් වර්තමානයේදී

***පෙරදින ලෝකයේ රජකළ ක්‍රිකට් වේග පන්දු යවන්නෝ 22 දෙනෙක් පසුගිය 2011 වසරේදී ලංඩන් නුවරට රැස්වූහ. එහිදී ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, ශ්‍රීමත් වෙස්ලි හෝල් සහ චාලි ග්‍රිෆිත් යන තිදෙනා එකම වේදිකාවේ සිට අදහස් දැක්වූ අයුරු දැකගත හැකි වීඩියෝවක යූ ටියුබ් ලින්ක් එක - 

https://www.youtube.com/watch?v=uUujXieS_VM


5. ශ්‍රීමත් ඇන්ඩි රොබට්ස්


සම්පූර්ණ නම - Sir Anderson Montgomery Everton Roberts

සර් ඇන්ඩර්සන් මොන්ගොමෙරි එවර්ටන් රොබට්ස්

උපත - 1951 - ජනවාරි 29 (දැනට වයස- අවු.-64)

උස - අඩි 6 අඟල් 2

ඇන්ඩි රොබට්ස් කොදෙව් පිලේ ප්‍රකට වේග පන්දු යවන්නෙකි. ඔහු ලෝකයේ අනෙක් පිතිකරුවන් සමග බැලූවිට පන්දු යැවීමට පිටියේ වැඩිම දුරක සිට දිව එන පන්දු යවන්නෙක් බව කියවේ. ඔහු ටෙස්ට් තරගයකදී එක් ඉනිමකදී කඩුළු 7 බැගින් දෙවරක්ම ලබාගත් පන්දු යවන්නෙකි. එසේම ඔහු හැත්තෑව දශකයේ මැදභාගයේ සිට අසූව දශකයේ මුල් භාගය දක්වා වූ කාලයේ කොදෙව් පිලේ වේග පන්දුවෙන් ලොව හෙල්ලූ හතරදෙනාගේ කල්ලියේ සිටි එක් සාමාජිකයෙකි. (අනෙක් තිදෙනා වූයේ එකල විරුද්ධ පිලේ පිතිකරුවන් වනසා දැමූ මයිකල් හෝල්ඩිං, ජොයෙල් ගානර් සහ කොලින් ක්‍රොෆ්ට් ය.) තවද ඇන්ඩි රොබට්ස් 1975 සහ 1979 වසරවල එංගලන්තයේ පැවැත්වූ මුල් ලෝක කුසලාන තරගමාලා දෙකටම සහභාගීවූ අයෙකි. තමාට මුහුණ දීමට සිදුවූ වේගවත්ම හා භයානකම පන්දුයවන්නා වූයේ ඇන්ඩි රොබට්ස් බව පකිස්ථාන ක්‍රිකට් නායකව සිටි ඉම්රාන් ඛාන් පසුකලෙක පවසා තිබුණි. 

ඇන්ඩි රොබට්ස්ගේ පන්දු යැවීමේ සුවිශේෂී ප්‍රයෝගයක් එකල කා අතරත් ජනප්‍රිය විය. පන්දු යැවීමේදී ඔහු වරක් එල්ල කරන්නේ මද වේග බවුන්සර් පන්දුවකි. පිතිකරුවා එයට සැහැල්ලුවෙන් හා විශ්වාසයෙන් පහර දෙයි. දෙවන වර එල්ල කරන්නේ පළමු ඉරියව්වෙන් වුවත් භයානක පන්දුවකි. මුල් පන්දුවට පහර දුන් ආකාරයටම පිතිකරුවා එම පන්දුවට පහර දෙන්න සැරසුනත් ඔහු දැවී යයි.

 
                           ඇන්ඩි රොබට්ස්ගේ ඉරියව්

ඇන්ඩි රොබට්ස්ගේ ඉරියව්

ශ්‍රීමත් ඇන්ඩි රොබට්ස් අද



6. මයිකල් හෝල්ඩිං


සම්පූර්ණ නම - මයිකල් ඇන්තනි හෝල්ඩිං
                        Michael Anthony Holding
උපත - 1954 - පෙබරවාරි 16 (දැනට වයස- අවු.- 61)

උස - අඩි 6 අඟල් 3.5

මයිකල් හෝල්ඩිං කොදෙව් පිලේ සිටි අති වේගවත් පන්දු යවන්නෙකි. ඔහු එල්ල කරන පන්දුවේ ඇති මෘදු බව හා වේගවත් බව යන ගුණාංග නිසා එකල ඇතැම් විනිසුරුවන් විසින් හෝල්ඩිංව හඳුන්වා ඇත්තේ සියුම්ව පැමිණෙන මාරයා යන අන්වර්ථ නාමයෙනි. ඔහු සිය ශරීර උසෙන් නියම ප්‍රයෝජනය ලබාගන්නා නිසා විශාල පරතරයක් ඇති බවුන්සර් පන්දු ඔහුගෙන් බිහිවේ. ඔහුද හැත්තෑව දශකයේ හා අසූව දශකයේ මුල් භාගයේ කොදෙව් පිලේ සිටි වේග පන්දු බලමුළුවේ එක් සාමාජිකයෙකි. (අනෙක් සගයන් වූයේ ජොයෙල් ගානර්, ඇන්ඩි රොබට්ස්, සිල්වෙස්ටර් ක්ලාක්, කොලින් ක්‍රොෆ්ට්, වෑන් ඩැනියෙල් සහ දිවියෙන් සමුගත් මැල්කම් මාෂල් ය.) මයිකල් හෝල්ඩිං 1976 දී වාර්තාවක් පිහිටුවීය. එනම් බටහිර ඉන්දීය පන්දු යවන්නෙක් විසින් ටෙස්ට් තරගයක ලබාගත් හොඳම පන්දු යැවීමයි. එනම් ලකුණු 149 කට කඩුළු 14 ක් ලබාගැනීම. මෙම වාර්තාව තවමත් කිසිවකු බිඳ දමා නැත. ඔහුගේ රුව රැගත් ඩොලර් 2ක වටිනාකමක් ඇති මුද්දරයක් ජැමෙයිකාව විසින් නිකුත් කෙරිණි. 

මයිකල් හෝල්ඩිං සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජැමෙයිකා ගුවන් විදුලියේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු බවට පත්වී පසුව (1990දී) රූපවාහිනී ක්‍රිකට් විස්තර විචාරකයෙකු බවටද පත්විය. 1999දී (BARC) ආයතනයේ එනම් ක්‍රිකට් පන්දු යවන්නන්ගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂා කරනු ලබන ආයතනයේ පරීක්ෂකයෙකු ලෙසද පත්වුණි.

 
මයිකල් හෝල්ඩිංගේ ඉරියව්

මයිකල් හෝල්ඩිංගේ ඉරියව්

මයිකල් හෝල්ඩිං වර්තමානයේදී



7. කොලින් ක්‍රොෆ්ට් 

සම්පූර්ණ නම - කොලින් එවර්ටන් හන්ට් ක්‍රොෆ්ට් 
                        Colin Everton Hunte Croft

උපත - 1953 - මාර්තු 15 (දැනට වයස- අවු.- 62)

උස - අඩි 6 අඟල් 5

කොලින් ක්‍රොෆ්ට් ද හැත්තෑව/අසූව දශකයේ කොදෙව් පිලේ සිටි වේග පන්දු බලකායේ සාමාජිකයෙකි. ඔහුගේ උස නිසා ඔහු එවන පන්දු බොහෝවිට ආවේගකාරී වේ. 1977දී පාකිස්ථානයට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී කොලින් ක්‍රොෆ්ට් ලකුණු 29කට කඩුළු 8ක් ලබාගනිමින් බටහිර ඉන්දීය වේග පන්දු යවන්නෙකු විසින් පිහිටවූ හොඳම පන්දු යැවීමේ වාර්තාව තවමත් නොබිඳී පවතී. නමුත් අවාසනාවකටදෝ ඔහුගේ ක්‍රිකට් දිවිය වසර 5කට සීමාවිය. 1982 දී වර්ණභේද වාදී දකුණු අප්‍රිකාව සමග තරගයකට සහභාගීවීම නිසා ඔහුට ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් විය. ක්‍රොෆ්ට් සමග එම සංචාරයට සහභාගීවූ සියළුම ක්‍රීඩකයින්ට වෙනත් රටවල ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලට සහභාගීවීමටද ඉඩ නොදෙන ලදී. මේ නිසා ක්‍රොෆ්ට් අපවාද වලින් බේරීමට මව්රටින් වෙන්වී අමෙරිකාවේ පදිංචියට ගියේය. නමුත් ඔහුගේ තහනම 1989 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ කොදෙව් ක්‍රිකට් මංඩලය විසින් ඉවත් කරගත් නමුත් ඔහු නැවත ක්‍රිකට් ක්‍රීඩාවට එක් නොවීය. 1994 සිට ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් විශ්ලේෂකයෙකු හා ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කරලියට පිවිසියේය. ක්‍රික්-ඉන්ෆෝ වෙබ් අඩවියට ඔහු ලිපි 500ක් පමණ සම්පාදනය කර ඇත. කොදෙව් පිල ක්‍රිකට් ක්‍රීඩා කරන බොහෝ අවස්ථාවල ජාත්‍යන්තර ක්‍රීඩා ජනමාධ්‍යවේදියෙකු වශයෙන් වෘත්තීමය සේවයක් ඔහු ඉටු කළේය. විශේෂයෙන්ම 2007 ICC ලෝක කුසලාන තරගාවලියේ කොදෙව් පිල සහභාගීවන තරග වෙනුවෙන් විශ්ලේෂකයෙකු ලෙස අගනා සේවයක් කළේය. 2007 වසරේදී ඔහු එංගලන්ත පාසලක ගණිතය විෂය උගන්වා තිබේ. 

පෞද්ගලික ජීවිතය ගැන බැලීමේදී ක්‍රිකට් ක්‍රීඩා කරන වකවානුවේදී පවා විශේෂයෙන් 1973-1981 දී ඔහු ගුවන් ගමන් පාලක වරයෙකු වශයෙන් සේවය කොට ඇත. එසේම අමෙරිකාවේ වාණිජ ගුවන් නියමු බලපත්‍රයද ඔහු ලබාගෙන තිබෙන අතර කැරිබියානු දූපත් (බටහිර ඉන්දීය දූපත්) වල ගුවන් නියමුවෙකු වශයෙන්ද සේවය කොට ඇත.

කොලින් ක්‍රොෆ්ට්ගේ ඉරියව්

කොලින් ක්‍රොෆ්ට්ගේ ඉරියව්

කොලින් ක්‍රොෆ්ට් අද



8. ජොයෙල් ගාර්නර් 


සම්පූර්ණ නම - ජොයෙල් ගාර්නර් - Joel Garner

අන්වර්ථ නාමයන් - බිග් ජොයෙල්, බිග් බර්ඩ්

උපත - 1952 - දෙසැම්බර් 16 (දැනට වයස- අවු.- 63)

උස - අඩි 6 අඟල් 8

ජොයෙල් ගාර්නර් 70 දශකයේ අගභාගයේ සහ 80 දශකයේ මුල්භාගයේ කොදෙව් පිල නියෝජනය කළ තවත් ලෝ ප්‍රකට දැවැන්ත වේග පන්දු යවන්නෙකි. ඔහු එවකට ලෝකයේ සිටි පන්දු යවන්නන් අතර වඩාත් කතාබහට ලක්වූයේ ලොව උසම පන්දු යවන්නා වීම නිසාය. ඔහුගේ උස අඩි 6යි අඟල් 8කි. උසම පන්දු යවන්නා පන්දුව අතැතිව වේගයෙන් දිවඑන විට ලෝකයේ බොහෝ පිතිකරුවෝ බියෙන් සලිතවී ගිය බව එකල ජනමාධ්‍යවල දක්වා තිබිණි. ඔහුගේ ක්‍රිකට් ජීවිතය 1977 සිට 1987 දක්වා අවුරුදු 10 කි. එම කාලය තුල ටෙස්ට් තරග 58 ක ට සහභාගිවී කඩුළු 259ක් ලබාගත්තේය. එසේම එක්දින තරග 98කට සහභාගිවී කඩුළු 146ක් ලබාගෙන තිබේ. 

ඔහුගේ ක්‍රිකට් පුහුණුකරුවන් ලෙස ක්‍රියා කළේ පෙර දවස පන්දුවෙන් දසකම්පෑ වෙස්ලි හෝල් සහ චාලි ග්‍රිෆිත් බව ඔහු සඳහන් කරයි. 

1979 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව පැවති අවසන් තරගයේදී ඔහු ලකුණු 38 කට කඩුළු 5ක් දවාගැනීම එතෙක් මෙතෙක් ලෝක කුසලාන අවසන් තරගයකදී පන්දු යවන්නෙකු පෙන්නුම් කළ හොඳම පන්දු යැවීම බවට වාර්තාවී තිබේ. 2010 , ඔක්තෝබරයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරයේදී කොදෙව් කණ්ඩායමේ අතුරු කළමණාකරු වශයෙන් ක්‍රියා කළේද ජොයෙල් ගාර්නර්ය.

 
ජොයෙල් ගාර්නර්ගේ ඉරියව්

 
ජොයෙල් ගාර්නර්ගේ ඉරියව්

ජොයෙල් ගාර්නර් අද



9. මැල්කම් මාෂල්


සම්පූර්ණ නම - මැල්කම් ඩෙන්සිල් මාෂල්
                        Malcolm Denzil Marshall

උපත - 1958 – අප්‍රේල් 18 (මියයන විට වයස- අවු.- 41)

විපත - 1999 – නොවැම්බර් 04

උස - අඩි 5 අඟල් 11

මැල්කම් මාෂල් කොදෙව් වේග පන්දු බලකායේ සිටි උසින් අඩුම වේග පන්දු යවන්නායි. එසේ වුවත් ඔහුගේ වේග පන්දු ඉතා අනතුරුදායක බව විචාරකයන්ගේ මතයයි. එසේම ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවෙකුද වෙයි. ඔහු ටෙස්ට් අර්ධ ශතක දහයක් ලබාගෙන තිබෙන අතර පළමු පෙළේ තරග වලදී ශතක හතක් රැස්කර තිබේ.

පෞද්ගලික ජීවිතය - පොලිස් නිලධාරියෙක් ලෙස සේවය කොට ඇති ඔහුගේ පියා වාහන අනතුරකින් මියගියේ මාෂල්ට අවුරුදු 10ක් තරමේදීය. මව නැවත විවාහයක් කරගත්තෙන් මාෂල්ට අලුතින් සහෝදරයෙක් හා සහෝදරියක් ලැබිණි. 1978දී ටෙස්ට් වරම් හිමිවිය. 1992 දී ඔහු අන්තර් ජාතික ක්‍රිකට් වලින් සමුගත්තත් ප්‍රාන්ත සහ පළමු පෙලේ ක්‍රිකට් තරග රැසකට සහභාගි විය. මාෂල් ක්‍රිකට් වලින් විශ්‍රාම ගැනීමෙන් පසු 1996දී හැම්ප්ෂයර් ප්‍රාන්තයට සහ කොදෙව් පිලට පුහුණු කරුවෙකු ලෙස සේවය කළේය.

1999 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන කාල වකවානුවේදී මැල්කම් මාෂල්ට ආන්ත්‍රා පිළිකාවක් ඇතිබවට තහවුරු විය. වහාම පුහුණුකරු තනතුරෙන් ඉවත්වී ප්‍රතිකාර සඳහා යොමුවිය. රෝගි බව දැන දැනත් ඔහු 1999 සැප්තැම්බරයේදී දිගු කාලීන ඇසුරක් තිබූ තම පෙම්වතිය සමග විවාහ විය. නැවත සිය ගම් පලාත වෙත ගිය මාෂල් 1999 නොවැම්බර් 4 දින පිළිකා රෝගය උත්සන්න වී සදහටම දෙනෙත් පියාගත්තේය. මියයන විට 41 වැනි වියේ පසුවිය. ඒ අවස්ථාවේදී මාෂල්ගේ බර කිලෝ 25 දක්වා බැස තිබුණි. අවමංගල පෙරහැරේදී මාෂල්ගේ දෙන හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායකයින් පස්දෙනෙකු විසින් රැගෙන යන ලදී. අදත් මැල්කම් මාෂල් අනුස්මරණ කුසලානය නමින් කොදෙව් රටේ ක්‍රිකට් තරගයක් වාර්ෂිකව පවත්වාගෙන යනු ලබන්නේ මාෂල්ට උපහාරයක් වශයෙනි.

 
මැල්කම් මාෂල්ගේ ඉරියව්

මැල්කම් මාෂල්ගේ ඉරියව්

මැල්කම් මාෂල්ගේ ඉරියව්

පුහුණුකරුවෙකුව සිටියදී ගත් ඡායාරූපයක්



10. කර්ට්නි වොල්ෂ්



සම්පූර්ණ නම - කර්ට්නි ඇන්ඩෘ වොල්ෂ් 
                         Courtney Andrew Walsh

උපත - 1962 – ඔක්තොබර් 30 (දැන් වයස- අවු.- 52)

උස - අඩි 6 අඟල් 5.5

කර්ට්නි වොල්ෂ් බටහිර ඉන්දීය වේග පන්දු බලකාය සිටි යුගයෙන් පසු බිහිවූ වේග පන්දු යවන්නෙකි. 1994 සිට 2001 දක්වා වූ කාලයේ වොල්ෂ් කොදෙව් පිල නියෝජනය කළේය. ආරම්භක පන්දු යවන්නෙක් ලෙස ඔහු පිටියට පිවිසියේ බොහෝවිට ඔහුගේ සගයා වූ තවත් වේග පන්දු ශූරයෙකුවූ කර්ට්ලි ඇම්බෲස් සමගිනි. 

කර්ට්නි වොල්ෂ් එකල වාර්තාවක් පිහිටුවීය. ඒ ටෙස්ට් කඩුළු 519ක් ලබාගනිමින් (වසර 2000දී) ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා වීමෙනි. මේ වාර්තාව පිහිටෙව්වේ මෙයට කලින් ඉන්දියාවේ කපිල් දේව් ලබාගත් ටෙස්ට් කඩුළු 494 වාර්තාව බිඳදමමිනි. (වොල්ෂ් ගේ වාර්තාවද බිඳ දමනු ලැබුයේ ඕස්ට්‍රේලියානු දඟපන්දු යවවන්නා වන ෂේන් වෝන් විසිනි. ඒ වසර 2007දී ටෙස්ට් කඩුළු 708ක් ලබමිනි. වෝන්ගේ වාර්තාවද බිඳ දමනු ලැබූයේ 2011දී ශ්‍රී ලංකා දඟපන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසිනි. ඒ ටෙස්ට් කඩුළු 800ක් ලබාගනිමින්ය. ) මේ අනුව කර්ට්නි වොල්ෂ් ටෙස්ට් කඩුළු 500 සීමාව ඉක්මවූ ලෝකයේ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය. 

1994දී කොදෙව් කණ්ඩායම ඉන්දියාවේ හා නවසීලන්තයේ කෙරුණු සංචාරයේදී ඔහු කොදෙව් කණ්ඩායමේ නායකයා බවට පත්වූයේ එවකට නායකාව සිටි රිචී රිචඩ්සන් හදිසියේ අසනීප වූ නිසාය. වොල්ෂ් ගේ අවසාන එක්දින තරගය වසර 2000දී නවසීලන්තයට එරෙහිව පැවති අතර අවසාන ටෙස්ට් තරගය වසර 2001දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්විණි. 

වොල්ෂ් තම ක්‍රිකට් දිවියේ ටෙස්ට් තරග 132කට සහභාගී වී කඩුළු 519 ක් ලබාගෙන තිබෙන අතර එක්දින තරග 205 කට සහභාගීවී කඩුළු 227ක් ලබාගෙන තිබේ.

කර්ට්නි වොල්ෂ් එදා පිටියේදී

 
කර්ට්නි වොල්ෂ් ගේ ඉරියව්


 කර්ට්නි වොල්ෂ්  වර්තමානයේදී

11. ශ්‍රීමත් කර්ට්ලි ඇම්බෘෘස්

සම්පූර්ණ නම - සර් කර්ට්ලි ඇල්කන් ලින්වෝල් ඇම්බෘෘස් 
                         Sir Curtly Elconn Lynwall Ambrose 

උපත - 1963 – සැප්තැම්බර් 21 (දැන් වයස- අවු.- 51)

උස - අඩි 6 අඟල් 7

කර්ට්ලි ඇම්බෘෘස්ද බටහිර ඉන්දීය වේග පන්දු බලකා යුගයෙන් පසු බිහිවූ වේග පන්දු යවන්නෙකි. ඔහු ආරම්භක පන්දු යවන්නෙක් වශයෙන් බොහෝවිට එක්වූයේ තම සගයා වූ කර්ට්නි වොල්ෂ් සමගිනි. ඔහු ටෙස්ට් තරග 98 කට සහභාගීවී ටෙස්ට් කඩුළු 405ක් ලබාගත්තේය. එසේම එවකට ICC ක්‍රිකට් වර්ගීකරණයෙන් ලොව හොඳම පන්දු යවන්නා ලෙස ඔහුව තෝරාගෙන තිබිණි. අඩි 6යි අඟල් 7ක් වූ ඔහුගේ උස නිසා ඔහු ඉන් උපරිම ඵල නෙලා ගෙන තිබේ. ඔහුගේ බවුන්සර් පන්දුව ඉහළින්ම පැමිණියත් එය නිසි ඉලක්කයට එල්ල විය. මේ නිසා ඔනෑම පිතිකරුවෙකු ඇම්බෘෘස්ට මුහුණදීමේදී චකිතයට පත්විය. 1992දී විස්ඩන් සඟරාව විසින් වසරේ ක්‍රිකට් තරුව ලෙසද ඔහුව තෝරාගනු ලැබිණි.

ඇම්බෘෘස් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූයේ මදක් පසු කාලයේදීය. මුලදී ඔහු බාස්කට් බෝල් ක්‍රීඩාවෙහි නියැලුණේය. නමුත් හදිසියේම වේග පන්දු යැවීම ආරම්භ කළේය. ජාත්‍යන්තර තරගයකට හාපුරා කියා ඉදිරිපත්වූයේ 1988දීය. ඔහුගේ සාර්ථකත්වය නිසාම බලධාරින් විසින් ඔහු 2000 වසරේ විශ්‍රාම යන තෙක් පැවති සෑම තරගයකටම එක්කරගන්නා ලදී. ඔහු තරග දිනවන ක්‍රීඩකයෙක් බවට පත්විය. 1993දී ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව එක් ලකුණකට කඩුළු 7ක් ලබාගැනීම විශ්මය ජනකය.

 
 
 
කර්ට්ලි ඇම්බෘෘස්ගේ ඉරියව්

කර්ට්ලි ඇම්බෘෘස් තම සගයා වූ කර්ට්නි වොල්ෂ් සමග

කර්ට්ලි ඇම්බෘෘස්  අද

ඉහතින් විස්තර කළේ 80 දශකයේ කොදෙව් පිලේ වේගපන්දු බලකායේ සිටි සුපිරි සාමාජියින් පස්දෙනෙකි. 
දිවියෙන් සමුගත් මැල්කම් මාෂල් හැර ඉතිරි අය පෙනී සිටි එදා ඡායාරූප හා අද ඡායාරූප කිපයක් දැන් බලමු.

1980දී කොදෙව් වේගපන්දු බලකායේ සාමාජිකයින්ව නායක කලයිව් ලොයිඩ් විසින් එළිසබත් රැජිනට හඳුන්වා දුන් අයුරු. පිංතූරයේ වමේ සිට - ඇන්ඩි රොබට්ස්, නායක කලයිව් ලොයිඩ්ස් (උපැස් යුවලක් පැළඳ), මයිකල් හෝල්ඩිං, කොලින් ක්‍රොෆ්ට් සහ ජොයෙල් ගානර්

පිංතූරයේ වමේ සිට - ඇන්ඩි රොබට්ස්, මයිකල් හෝල්ඩිං, කොලින් ක්‍රොෆ්ට් සහ ජොයෙල් ගානර්

පිංතූරයේ වමේ සිට - මයිකල් හෝල්ඩිං, ඇන්ඩි රොබට්ස්, ජොයෙල් ගානර්, කොලින් ක්‍රොෆ්ට් සහ විවියන් රිචර්ඩ්ස්


සාමාජිකයින් මෑත කාලයේදී - මයිකල් හෝල්ඩිං, ගෝඩන් ග්‍රිනිච්, ජොයෙල් ගානර් සහ කොලින් ක්‍රොෆ්ට්

1975 කොදෙව් කණ්ඩායම


ප්‍රථම ලෝක කුසලාන තරගාවලියේදී 1975 ජූනි 7 දින ශ්‍රී ලංකාව සමග පැවති තරගයට මුහුණදුන් බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රීඩකයින් - (පිටුපස පේලිය වමේ සිට දකුණට) ගෝඩන් ග්‍රිනිච්, මොරිස් ෆොස්ටර්, විවියන් රිචර්ඩ්ස්, කීත් බොයිස්, වැන්බර්න් හෝල්ඩර්, ඇන්ඩි රොබට්ස්, කොලිස් කිං, බර්නාඩ් ජූලියන්, ඇල්වින් කලිචිරාන්.(ඉදිරි පෙළ වමේ සිට දකුණට) රොහාන් කන්හායි, ඩෙරික් මරේ, නායක කලයිව් ලොයිඩ්ස්,කලයිඩ් වොල්කොට්(කළමනාකරු), ලාන්ස් ගිබ්ස් සහ රෝයි ෆෙඩ්රික්ස්

1980 කොදෙව් කණ්ඩායම


1979 දෙවන ලෝක කුසලාන තරගාවලියෙන් පසු 1980දී බටහිර ඉන්දීය කණ්ඩායම එංගලන්තයට ගිය අවස්ථාවක- (පිටුපස සිටගෙන වමේ සිට දකුණට) ඩී.ජේ.වේට්(වෛද්‍ය), ඩෙස්මන් හේන්ස්, මැල්කම් මාෂල්, කොලිස් කිං, මයිකල් හෝල්ඩිං, ජොයෙල් ගානර්, කොලින් ක්‍රොෆ්ට්, ඩී. පැරී, ෆවුඩ් බැකස්, ගෝඩන් ග්‍රිනිච් සහ ඩේවිඩ් මරේ.(ඉදිරි පෙළ වමේ සිට දකුණට) කලයිඩ් වොල්කොට්(කළමනාකරු), ඇල්වින් කලිචිරාන්, ඩෙරික් මරේ, නායක කලයිව් ලොයිඩ්ස්, විවියන් රිචර්ඩ්ස්, ලෝරන්ස් රෝ, ඇන්ඩි රොබට්ස්, සහ කැමී ස්මිත් (සහකාර කළමනාකරු).


70/80/90 කොදෙව් කණ්ඩායමේ සිටි ලෝ ප්‍රකට
අනෙක් ක්‍රීඩකයින් එදා සහ අද


 
ඇල්වින් කලිචිරන් එදා සහ අද




 කලයිව් ලොයිඩ් (නායක)එදා සහ අද



 
ඩෙරික් මරේ (කඩුළු රකින්නා)එදා සහ අද



 
කොලිස් කිං එදා සහ අද

ගෝඩන් ග්‍රිනිච් එදා සහ අද



ඩෙස්මන් හේන්ස් එදා සහ අද

 රොජර් හාපර් එදා සහ අද


 
රොහාන් කන්හායි එදා සහ අද


 ලැරී ගෝම්ස් එදා සහ අද


 
විවියන් රිචර්ඩ්ස් එදා සහ අද


රිචී රිඩර්ඩ්සන් එදා සහ අද



 
ලාන්ස් ගිබ්ස් එදා සහ අද

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...