Thursday, December 15, 2016

The Pianist (ද පියානිස්ට්) - “ පියෝනා වාදකයා”





තිරගතවීම - 2002

අධ්‍යක්ෂණය - රෝමන් පොලන්ස්කි (Roman Polanski) පෝලන්ත ජාතිකයෙක් වූ ඔහු මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයෙක්ද වේ.

තිර රචනය - රොනල්ඩ් හාර්වුඩ් (Ronald Harwood)

පළමු ප්‍රධාන නළුවා - Adrien Brody – (ඒඩ්‍රියන් බ්‍රොඩි) - සත්‍ය කතාවේ Władysław Szpilman හෙවත් “ලඩිස්ලා ෂ්පීල්මන්” ගේ චරිතයට පණ පොවයි.

දෙවන ප්‍රධාන නළුවා - Thomas Kretschmann (තෝමස් ක්‍රෙට්ස්මන්) - සත්‍ය කතාවේ ගෙස්ටාපෝ පොලිසියේ යුධ නිලධාරියෙකු වන Captain Wilm Hosenfeld (කැප්ටන් විල්ම් හොසෙන්ෆෙල්ට්) ගේ චරිතයට පණ පොවයි.

චිත්‍රපටයේ මුළු ඇස්තමේන්තුව ඩොලර් මිලියන 35කි. (හෙවත් ඩොලර් තුන්කෝටි පනස් ලක්ෂයකි.) ආදායම ඩොලර් මිලියන 120කි. වර්ණ චිත්‍රපටයක් වුවත් සංරක්ෂිත දර්ශන කළු සුදු ලෙස දක්වා ඇත.

හැඳින්වීම

2002 වසරේදී තිරගත වූ The Pianist හෙවත් “ පියෝනා වාදකයා” නම් වූ ලෝ ප්‍රකට චිත්‍රපටය මට එම වකවානුවේදී නැරඹීමට නොහැකිවුවත් නොබෝදා ප්‍රථම වරට නැරඹුවෙමි. ඒ යූ ටියුබයෙන්ය. ලංකාවේ බොහෝ සිනමා රසිකයින් ද එය අන්තර්ජාලයෙන් බාගෙන හෝ DVD තැටි මාර්ගයෙන් හෝ නරඹා ඇතැයි විශ්වාස කරමි. එය මෑත කාලයේ නිෂ්පාදිත චිත්‍රපට අතරින් වාර්තාගත වැඩිම සම්මාන ගණනක් ලැබූ චිත්‍රපටයක් බවට පත්විය. 75 වැනි ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම නළුවා ඇතුළු ඇකඩමි සම්මාන හතක් ලබාගැනීමට මේ චිත්‍රපටය සමත්විය. මා ඔබට ඉදිරිපත්කිරීමට සැරසෙන්නේ මෙම චිත්‍රපට කතාවට පසුබිම් වූ සත්‍ය සිද්ධියේ විසිතුරු කතාන්දරයත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන තොරතුරුත් ය. 

සත්‍ය කතාව සැකෙවින් මෙසේය.

දෙවන ලෝක යුද්ධ සමයේ මුළු ලොවම යටත් කරගැනීමේ මුග්ධ ආශාවෙන් පෙළුණු නාසි ජර්මනිය විසින් 1939 සැප්තැම්බර් 1 දින මුල්වරට පෝලන්තය ආක්‍රමණය කළේය. (මෙම දිනය දෙවන ලෝක යුද්ධය ආරම්භවූ දිනය ලෙස සැලකේ) ජර්මනියේ අනෙක් අභිප්‍රාය වූයේ මුළු යුරෝපයෙන්ම යුදෙව් ජාතිය අතුගා දැමීමයි. ඔවුන් විසින් යටත් කරගත් රටවල විශාල වශයෙන් යුදෙව් ජාතිකයෝ ජීවත් වූහ. ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමේදී එහි ජනාවාසව සිටි යුදෙව්වන් තෝරා විශාල සිර කඳවුරුවල ගාල් කරන ලදී. ඔවුන්ගෙන් බරපතල වැඩ ගෙන වධ හිංසා කොට අවසානයේ ගෑස් කාමරවල සිරකොට විෂ වායුව දමා මරාදැමීම ජර්මානු නාසිවාදීන්ගේ අවසාන අරමුණ විය. 

ආක්‍රමණය ආරම්භවීමට පෙර පෝලන්තයේ දක්ෂ පියානෝ වාදන ශිල්පියෙක් ජීවත්විය. ඔහුගේ පියානෝ වාදනයන් නිතරම පෝලන්ත ගුවන් විදුලියෙන් විකාශය විය. විවිධ ප්‍රසංග, විශේෂයෙන් ප්‍රභූ පැලැන්තියේ උත්සව සඳහා ඔහු තම පියානෝ වාදන ඉදිරිපත් කළේය. මේ නිසා මෙම ශිල්පියාත් ඔහුගේ වාදනත් රට පුරා ජනප්‍රිය විය. පාරේ තොටේ ගියත් ඔහු හඳුනන්නෝ බොහෝ විය. ආක්‍රමණය වූ දිනයේ ගුවන්විදුලියේ සජීවි ලෙස ඔහු වාදනයක් ඉදිරිපත් කරමින් සිටියේය. ඔහු සිටි ගොඩනැගිල්ලටද කාලතුවක්කු ප්‍රහාර එල්ල විය. වහා සිය නිවෙස වෙත ගිය ඔහු ඔහුගේ පවුලේ සාමාජිකයින් සමග එකතුවී සිදුවන්නේ කුමක්දැයි සොයා බැලුවේය. ජර්මන් ආක්‍රමණය නිසා රටේ සියළු ජනතාව විශේෂයෙන් තමා ඇතුළු යුදෙව් ජනතාව බියෙන් ත්‍රස්ත වී සිටිනු ඔහුට අවබෝධ විය.

මෙම අති දක්ෂ පියානෝ වාදන ශිල්පියා නමින් (Władysław Szpilman) “ලඩිස්ලා ෂ්පීල්මන්”ය. ඔහු ජීවත්වූයේ තම දෙමව්පියන්, සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමගය. ඔවුන්ගේ නිවහන වූයේ පෝලන්තයේ අගනුවර වන වෝර්සෝ නගරයේ පිහිටි මහල් නිවසකි. නගරයේ වීදි දිගේ ගමන්ගන්නා නාසිවාදී ජර්මන් සොල්දාදුවන්ගේ අමානුෂික ක්‍රියාවන් දිනපතාම වාගේ ඔවුන්ට අසන්නට දකින්නට ලැබුණි. මාර්ගයේ ගමන් ගන්නා අතැම් යුදෙව් ජාතිකයින් කිසිදු හේතුවකින් තොරව අමානුෂික ලෙස වෙඩිතබා ඝාතනය කරන ලදී. 


ෂ්පීල්මන් පවුලේ සාමාජිකයින් බියෙන් ත්‍රස්තවී ගුවන්විදුලියේ ප්‍රවෘත්ති වලට සවන් දෙන අයුරු. 
(චිත්‍රපටයෙන් ලබාගත් දර්ශනයකි)

වෝර්සෝ නගරයේ උන් යුදෙව් වැසියන් පමණක් තෝරා නගරයේ අඩු පහසුකම් සහිත විශේෂිත ප්‍රදේශයකට ගාල් කෙරිණ. එවිට එය ඉබේම යුදෙව් ජනාවාසයක් බවට පත්වේ. එවැනි ජනාවාස ගෙටෝ (Ghetto) යනුවෙන් හැඳින්විණ. මෙය වෝර්සෝ ගෙටෝ (Warsaw Ghetto) ලෙස ප්‍රචලිත විය. ගෙටෝ එකකින් අනෙකුත් ප්‍රදේශය වෙන්කිරීම සඳහා ගෙටෝ වටා උස තාප්පයක් ඉදිකෙරුණේ යුදෙව් කම්කරුවන් ලවාමය.  දෙවන ලෝක සංග්‍රාම ඉතිහාසය දෙස බැලූවිට ජර්මනිය යටත් කරගත් යුරෝපීය රටවල එකල පිහිටි ගෙටෝ වලින් විශාලතම ගෙටෝ එක මෙම වෝර්සෝ ගෙටෝව බව පිළිගත් මතයයි.


වෝර්සෝ නුවර යුදෙව් කම්කරුවන්, ගෙටෝ තාප්පය ඉදිකරන අයුරු.(සත්‍ය ඡායාරූපයකි)

රටේ සියළුම යුදෙව් වැසියන්, අන්‍යයන්ගෙන් වෙන්කර හඳුනාගැනීම සඳහා සංකේතයක් යොදනු ලැබිණ. ඒ සියළු යුදෙව්වන්ට තම උඩුකය ඇඳුමේ අතේ යුදෙව් සළකුණ වන “තරු“ සංකේතය පළඳවා ගැනීමට බලකිරීමයි. මේ මගින් ජර්මානුන්ට පහසුවෙන් යුදෙව්වන්ව පාලනය කිරීමට හැකිවිය. ඇතැම් යුදෙව්වන් ජර්මන් පාලනය යටතේ පොලිස් සේවයට ද බැඳුනි. එම පොලිස් නිලධාරින්ටද තරු සංකේතය පැළඳීම අනිවාර්ය විය. 

එක් දිනකින් වෝර්සෝ ගෙටෝ හි සියළු යුදෙව්වන් සරණාගතයින් බවට පත්විය. ගෙටෝ ප්‍රදේශයේ පිහිටි තම තමන්ගේ නිවෙස් අතහැර බඩු බාහිරාදියද රැගෙන පිටවන ලෙස ජර්මානු බලධාරින්ගෙන් අණක් ලැබුණි. රටේ තැනින් තැනට ඔවුන්ව ගෙනයන ලදී. අවසානයේ දුම්රිය පළක් අසල වූ රැඳවුම් මධ්‍යස්ථානයකට ඔවුන්ව ගාල් කෙරිණ. 


වෝර්සෝ නගරය සුන්බුන් බවට පත්කරමින් යුදෙව්වන් අත්අඩංගුවට ගන්නා ජර්මන් භටයෝ. (සත්‍ය ඡායාරූපයකි)


පිරිමින් පමණක් නොව ගැහැණුන් හා කුඩා ළමයින්ද අත්අඩංගුවට ගත් පිරිස අතර විය. (සත්‍ය ඡායාරූපයකි)


වෝර්සෝ ගෙටෝ වලින් බැහැර කරන ලද යුදෙව් ජනතාව තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳී ඉන්නා අයුරු. (සිද්ධියේ සත්‍ය ඡායාරූපයකි)

ජර්මන් හමුදා සහ ජර්මානු පොලිසියට බැඳුනු යුදෙව් පොලිස් නිලධාරින්ගේ පරීක්ෂාව යටතේ ඔවුන් එකිනෙකා පෝලිමට සිටුවා දුම්රියට නංවාගනු ලැබීය. ලඩිස්ලාගේ පවුලේ සාමාජිකයින් සියළුදෙනා දුම්රියට ගොඩවුවත් ලඩිස්ලාට දුම්රියේ යා නොහැකිවිය. මේ නොහැකිවීම ලඩිස්ලාගේ දෛවයේ ඉරණමක් වන අතර එය මේ මුළු කතා වස්තුවේම ඉරණම රැඳී පැවති ස්ථානය යැයි කීවොත් වඩා නිවැරදිය. 


මාරක දුම්රියට ගොඩවන අහිංසක යුදෙව් ජනතාව. මේ ගමන අවසානයේ තමන්ට සිදුවන ඉරණම ඔවුන් කිසිවෙක් දැනසිටියේ නැත. (සත්‍ය ඡායාරූපයකි)

දුම්රියට මගීන් පටවාගනු ලැබුවේ බල්ලන් බළලුන් සේය. දුම්රියේ ගමන් ගන්නා සියළු මගීන්ගේ ගමනාන්තය වූයේ වෝර්සෝ නගරයේ සිට කිලෝමීටර් 80ක් දුරින් වනගත පෙදෙසක පිහිටි ට්‍රෙබ්ලින්කා (Treblinka) නමැති මූලෝත්පාඨන (Extermination Camp) සිරකඳවුරයි. එම කඳවුරින් බේරි ආ කිසිවෙකුත් නැත. සිර කඳවුරේ සිදුවන්නේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ දෙයකි. සිරකරුවන්ගෙන් බරපතල වැඩ ගන්නා අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අධික තෙහෙට්ටුව, කුසගින්න, පිපාසය හා රෝගාබාධ නිසා මියයයි. ඉතිරිවන පිරිස පසුව “ගෑස් කාමර” වලට දමා විෂවායු ආග්‍රාහණය කිරීමට සැලැස්වීමෙන් මරාදමනු ලබයි. වරකට එකවර මෙසේ මරාදමන සංඛ්‍යාව තුන්දහසක් පමණ වේ. මියගිය සිරුරු විශේෂයෙන් සකසා ඇති පෝරණුවල (උදුන්වල) බහා පුළුස්සා දැමේ. මේ ජර්මානුන් යුදෙව් ජාතිය සහමුලින් අතුගා දැමීම සඳහා ගෙනගිය රහස් සැලසුමයි. ජර්මනිය විසින් පෝලන්තය පාලනය කළ සමයේ මරාදමා ඇති මුළු යුදෙව් ජාතිකයින් සංඛ්‍යාව 2,45,000 ක් පමණ වේ යැයි ගණන් බලා ඇත. මෙහිදී වඩා වැදගත් වන්නේ මෙසේ ගෑස් කාමරවලට දමා මරාදැමීම අවසන් මෙහොත වනතුරු යුදෙව් ජාතිකයින් නොදැන සිටීමයි.


යුද්ධයෙන් පසු ට්‍රෙබ්ලින්කා කඳවුරේ සිට ජීවිතය බේරාගත් සිරකරුවෙකු විසින් සිතුවම් කරනු ලැබූ එම කඳවුරේ සැලැස්ම. 


යුද්ධය නිමවීමෙන් පසු ට්‍රෙබ්ලින්කා කඳවුර මිත්‍ර හමුදාවන් අතට පත්විය. කඳවුර මධ්‍යයේ පිහිටා තිබූ අති විශාල සමූහ මිනීවලේ දසුනකි මේ. මිනී ඇටකටු අවට විසිරී ඇති අයුරු මෙහි පැහැදිලිව දැකගත හැක. 

ලඩිස්ලාගේ පවුලේ සාමාජිකයින් ගමන්ගත්තේද මෙවැනි මාරක දුම්රියක වුවත් ඔවුන්ට අවසානයේ අත්වන ඉරණම ඔවුන් දැනසිටියේ නැත. මෙහිදී ලඩිස්ලා දුම්රියට ගොඩවීම වැළකුණේ කෙසේද? (හෙවත් ඔහුගේ ජීවිතය බේරුණේ කෙසේද?) ලඩිස්ලාව හඳුනාගත් පුද්ගලයෙක් පරීක්ෂක කණ්ඩාමේ සිටියේය. ඔහු යුදෙව් ජාතික පොලිස් නිලධාරියෙකි. නමින් “යිට්ෂැක් හෙලර්” – (Itzchak Heller) වන ඔහු ෂ්පීල්මන්ගේ පවුලේ සාමාජිකයින්ව දන්නා හඳුනන අයෙකි. ලඩිස්ලා දුම්රියට ගොඩවීමට යනු දුටු එම නිලධාරියා ලඩිස්ලාව අල්ලා පසෙකට කළේය. එම නිලධාරියා ලඩිස්ලාට දුම්රියේ යාමට කිසිසේත්ම ඉඩ දුන්නේ නැත. මේ නිසා ඔහු නොදැනුවත්ම ඔහුගේ ජීවිතය බේරිණි. නමුත් ඔහුට තම පවුලේ ආදරණීයයන් යළි කිසිදා දකින්නට ලැබුණේ නැත. 

ලඩිස්ලා නගරයේ තනිවිය. ඒ වනවිට එය නගරයක් නොවීය. ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර නිසා සුන්බුන් ගොඩක් බවට පත්ව විනාශවූ නගරයකි. තැන තැන මරාදැමූවන්ගේ මළසිරුරුය. කළහැකි කිසිවක් නොවූ තැන ඔහු ජර්මානුන්ට බැලමෙහෙවරකම් කරන කණ්ඩායමකට බැඳී කම්කරුවෙක් ලෙස වැඩ කළේය. වරක් ඔහුට තම පැරණි පෙම්වතිගේ නිවසේ රැකවරණය ද ලැබුණි. එසේම ඇගේ ස්වාමිපුරුෂයාගේ උපකාරයද ඔහුට ලැබුණි. 

මෙම තත්වය වෙනස්වීමට වැඩිකල් ගතවූයේ නැත. ජර්මානු පාලනය ඉවසිය නොහැකි දේශප්‍රේමීන්ද තැන තැන නගරයේ විසිරී සිටියහ. දිනක් ඔවුන්ගෙන් අනපේක්ෂිත ප්‍රහාරයක් ජර්මානු සොල්දාදුවන්ට එල්ලවිය. ලඩිස්ලා නැවතී සිටි ගොඩනැගිල්ල අවට පිහිටි උස ගොඩනැගිලිවල සිට දේශප්‍රේමී භටයෝ බිම සිටින ජර්මන් භටයින් වෙත ප්‍රහාර එල්ල කළහ. තත්වය දරුණුවූයේ ඉන්පසුය. කෝපයට පත් ජර්මන් හමුදාව කාලතුවක්කු උපයෝගී කරගෙන අවට පිහිටි උස ගොඩනැගිලි බිමට සමතලා වන පරිදි දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. ලඩිස්ලා සිටි ගොඩනැගිල්ලද සුන්බුන් ගොඩක් වූයෙන් ඔහු දිවි ගලවා ගත්තේ අනූනමයෙනි. නැවතත් ඔහු වීදි දිගේ ගමන්කරන සරණාගතයෙක් බවට පත්විය.

ෂ්පීල්මන්ට හොසෙන්ෆෙල්ට් හමුවීම

කතාවේ අවසානය ඇරඹෙන්නේ දැන්ය. ජීවිතය ගැන බලාපොරොත්තු බිඳවැටුණු ලඩිස්ලා ඉබාගාතේ ඇවිදින්නේ අපායක් බඳු නගරයක සුන්බුන් මැදිනි. වෙහෙසට පත්ව සිටි ඔහු ගරාවැටුණු එක්තරා මහල් නිවසක බිම් මහලකට ඇතුළුවුණේය. අධික කුසගින්නේ සිටි ඔහු එහි මුළුතැන් ගෙය තුළ කෑමට කිසිවක් ඇත්දැයි සොයාබැලීය. අවසානයේ ඔහුට එහි තිබී කෑම අඩංගු ටින් එකක් සොයාගත හැකිවිය. මේ ටින් එකත් රැගෙන ගොඩනැගිල්ලේ උඩුමහලට පියනැගූ ඔහු එහි ආරක්ෂිත තැනකට වී තමා අතේ වූ ටින් එක විවෘත කිරීමට සැරසුණි. තමා අතින් ගිලිහුණු ටින් එක බිම දිගේ රෝල්වී ගොස් නැවතුනේ ජර්මන් හමුදා නිලධාරියෙකුගේ දෙපා මුලය. (ඔහු නමින් විල්ම් හොසෙන්ෆෙල්ට් ය - Wilm Hosenfeld ) දැන් ජර්මන් නිලධාරියා ළඟ සිටින්නේ ඔහුගේ පරම සතුරෙකි. තමාගේ අවසානය දැන් ළඟාවී ඇති බව ෂ්පීල්මන් සිතුවේය. නමුත් එය එසේ නොවීය. ඒ නිලධාරියා සතුව වෙනත් ජර්මන් සොල්දාදුවෙකු ළඟ නොමැති මානුෂික ගුණාංගයක් විය. ඔහුගේ ජාතියට අනුව යුදෙව්වන් සතුරන් වුවත් ඔහු යුදෙව්වන්ට අනුකම්පා කළ ජාතියේ පුද්ගලයෙකි. ලඩිස්ලා නැවතී සිටි මේ ගොඩනැගිල්ල ජර්මන් හමුදාව තාවකාලික කාර්යාලයක් පවත්වාගෙන ආ ස්ථානයකි. ලඩිස්ලාව අනපේක්ෂිත ලෙස ජර්මන් බලධාරියෙකුට අසුවුණේ මේ නිසාය. ගරා වැටුණු ගොඩනැගිල්ලේ කාමරයක තිබූ පියනෝවක් වාදනය කර පෙන්වීමටද ෂ්පීල්මන්ට සිදුවිය. නිලධාරියා, ලඩිස්ලා සැඟවී සිටි ස්ථානය රහසක් වශයෙන් තබාගත් අතර ලඩිස්ලාට විටින් විට ආහාරපාන පවා ගෙනවිත් දුන්නේ අන්කිසිවෙකුටත් නොදැනෙන්නටය. මේ කාරුණික නිලධාරියා නිසා ලඩිස්ලාගේ දිවි බේරුණු අතර මේ ඔහු දිවි බේරාගත් දෙවන අවස්ථාවයි. 


ලඩිස්ලා ෂ්පීල්මන් - හොසෙන්ෆෙල්ට් හමුව , චිත්‍රපටයේ දිස්වන්නේ මෙසේය.



සැබෑ හොසෙන්ෆෙල්ට් (Captain Wilm Hosenfeld - කැප්ටන් විල්ම් හොසෙන්ෆෙල්ට්). ඔහු පළමු ලෝක යුද්ධයට (1914 දී) සහභාගීවී වීර පදක්කම් ලැබූ හමුදා නිලධාරියෙකි. දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් විසින් ඔහුව එක්වරම උසස් නිලධාරියෙක් බවට පත්කළේ ඔහු කළ අතීත දස්කම් නිසාය. උපත - 1895 මැයි 2 / අභාවය - 1952 අගෝසතු 13 (වයස 57 දී)



යුදෙව්වන් කෙරෙහි හොසෙන්ෆෙල්ට්ට තිබූ දයානුකම්පාව මේ පිංතූර කීපයෙන් මොනවට පැහැදිලි වෙයි.

මේ කාලය , රුසියානු රතුහමුදා ජර්මන් හමුදා පලවා හැරීමට පෝලන්තයට ඇතුළුවෙමින් පැවති සමයයි. දිනක් ලඩිස්ලාව හමුවූ හොසෙන්ෆෙල්ට් නම් මේ ජර්මන් නිලධාරියා තමන් මේ නගරය හැරයන බවත් කෙදිනක හෝ නැවත හමුවිය හැකි බවත් බවසා ලඩිස්ලාට සමුදුන්නේය. සමුගැනීමට පෙර තමා ඇඳ සිටි ජර්මානු හමුදා කබාය ද ඔහු ලඩිස්ලාට පිරිනැමීය. 

නොබෝ කලකින් රුසියන් රතුහමුදා සහ දේශීය හමුදා භටයින් නගරයට ඇතුළුවූ අතර ගොඩනැගිලි අතර සැඟවී ඉන්නා ජනතාව ක්‍රම ක්‍රමයෙන් එළි බසින්නට විය. ලඩිස්ලාත් මෙසේ එළියට ආවේය. ජර්මානු හමුදා කබාය ඇඳ සිටි ලඩිස්ලාව ජර්මානු භටයෙකු යැයි වරදවා සිතා ඔහුට වෙඩි තැබීමට දේශප්‍රේමී සේනාංක සූදානම් විය. තමා පොලිෂ් (පෝලන්ත) ජාතිකයෙකු බව ඔවුන්ට හඬගා නොකියන්නට ඔහුද මරණයට පත්වන්නට ඉඩ තිබිණ. මේ ඔහු ජීවිතය බේරාගත් තුන්වන අවස්ථාවයි. 

යුද්ධය අවසන්වූයේ පෝලන්තය මෙතෙක් කෲර ලෙස පාලනය කළ ජර්මන් සොල්දාදුවන් දහස් ගණනක් රුසියන් හමුදා විසින් අත්අඩංගුවට ගෙන සිරකරුවන් බවට පත්කරමින්ය. තමාට උදව් කළ හොසෙන්ෆෙල්ට් ද පෝලන්තය තුළ පිහිටි තාවකාලික රුසියන් යුධ සිරකඳවුරක සිටින බවට ලඩිස්ලාට දැනගන්නට ලැබිණ. ඔහුගේ හද සසල විය. වහාම ඔහු හොසෙන්ෆෙල්ට්ව නිදහස් කරගැනීමට බලවත් උත්සාහයක නිරතවිය. ලඩිස්ලාට රුසියන් සිර කඳවුරට ඇතුල්වීමටවත් අවසර නොලැබිණි. නමුත් ඔහු තමාගේ දිවි බේරාදුන් ආකාරය අදාල රුසියන් බලධාරින්ට සැල කර සිටියත් ඔහුව නිදහස් කරගැනීමට නම් නොහැකිවිය.


මේ පෝලන්තයේදී රුසියන් හමුදා විසින් අල්ලා ගන්නා ලද දහස් සංඛ්‍යාත ජර්මන් භටයින්, සිරකරුවන් ලෙස සිටින අන්දමයි. එදා මෙම පිරිස අතර කැප්ටන් විල්ම් හොසෙන්ෆෙල්ට් ද සිටින්නට ඇත. (සත්‍ය ඡායාරූපයකි)

යුද්ධය නිමවීමෙන් පසු ලඩිස්ලා මිතුරෙකු සමග යුදෙව්වන් බිල්ලටගත් ට්‍රෙබ්ලින්කා වධකාගාරය නැරඹීමට ගියේය. එම මිතුරා එම වධකාගාරයේ සිට (යුද්ධය නිමාවීම නිසා) දිවි බේරාගත්තෙකි. ඒ නිසා එම මිතුරා ලඩිස්ලාට පවසා සිටියේ තමා සමග ලඩිස්ලාගේ පවුලේ සාමාජිකයින් එම කඳවුරේ සිටිනවා ඔහු දුටු බවයි. වධකාගාරයේ සිටියවුන්ට අත්වූ ඉරණම මේ වනවිටත් ලඩිස්ලා දැනසිටි නිසා ඔහුට ඇතිවූයේ කිව නොහැකි තරම් සංවේගයකි. තමාගේ අහිංසක මව්පියන්, සහෝදරයා සහ නැගණියන් දෙදෙනා අවසන් ගමන් යන්නට ඇත්තේ මෙම වධකාගාරයේ නේදැයි මෙනෙහි කරමින් ඔහු දුක්මුසුව ඒ දෙස බලා සිටියේය.

විල්ම් හොසෙන්ෆෙල්ට්ගේ (Wilm Hosenfeld) ඉරණම

මාස කීපයකින් රුසියන්වරුන් විසින් අල්ලාගත් හොසෙන්ෆෙල්ට් ඇතුළු සියළුම ජර්මන් සිරකරුවන් රුසියාවට රැගෙන ගොස් එම රටේ සිරකඳවුරකට ඇතුල්කරනු ලැබීය. මේ නිසා හොසෙන්ෆෙල්ට්ට කලගුණ සැලකීමට අවස්ථාවක් එනතුරු බලාසිටි ලඩිස්ලාට එය ඉටුකිරීම තවත් දුෂ්කර විය. හොසෙන්ෆෙල්ට් විසින් ජර්මනියේ සිටි තම භාර්යාවට යවනු ලැබූ ලිපියක සඳහන් වූයේ තමන් විසින් ෂ්පීල්මන් පමණක් නොව එවැනි මරණයට කැපව සිටි යුදෙව් ජාතිකයින් ගණනාවක් තමා විසින් බේරාදුන් බවකි. මේ කරුණු බලධාරින්ට දන්වා ඉක්මණින් තමාව සිරගෙදරින් නිදහස් කිරීමට උත්සාහ කරන ලෙස ඔහු තම භාර්යාවගෙන් ඉල්ලීමක්ද කළේය. ඒ සියළු උත්සාහයන් නිෂ්ඵල වී සිරෙන් නිදහස් වීම ඇහිරී ගියත් ඔහුට ජීවිත දානය නම් ලැබුණි. ඒ ඔහු කළ මානුෂිය ක්‍රියා සැලකිල්ලට ගනිමිනි. ඔත්තු බැලීමේ චෝදනාව මත පමණක් ඔහුට සිරදඬුවම් විඳින්නට සිදුවිය. සිරගෙදර සිටිමින් ඔහු තමා කළ කී දෑ විශේෂයෙන් අහිංසක යුදෙව් ජාතිකයින් ඔහුගෙන් නිදහස ලබාගත් ආකාරය ගැන සියළු තොරතුරු අඩංගු කොට දිනපොතක ලියා තැබීය. මෙම දිනපොත පසුව ඔහුගේ භාර්යාව ළඟ තිබී සොයාගන්නා ලදුව යුද්ධයෙන් පසුව පොතක් ලෙස මුද්‍රණය කෙරිණි. මේ දිනපොතේ දැක්වෙන කරුණු වලින් හොසෙන්ෆෙල්ට්, යුදෙව් සංහාරය විවේචනයට ලක්කර ඇති බව පසක් වේ. දිනපොතේ එක්තැනක “ මහා පරිමාණයෙන් යුදෙව්වන් මරාදැමීමට ගත් අණුවන තීරණය නිසා අපි යුද්ධයෙන් පැරදුනා” යැයිද , තවත් තැනක “ මට තේරුම් ගන්න බැහැ, ඇයි අපි නිරායුධ යුදෙව්වන් සංහාරයට ලක්කලේ කියල” යනුවෙන් සඳහන් වී තිබිණ. සිරගෙදරදී ඔහු අමානුෂික වධහංසාවලට ලක්වූ බව පැවසේ. අවුරුදු 7ක සිරදඬුවමකින් පසු 1952 දී එම සිරකඳවුරේදීම ඔහු මෙලොව හැර ගියේ විඳින්නට වූ වධහිංසා හේතුවෙනි.

චිත්‍රපටය නිර්මාණයවීමේ පසුබිම

යුද්ධය නිමාවී සුළු කලකට පසු එනම් 1946 දී පියානෝ වාදන ශිල්පී (Władysław Szpilman) “ලඩිස්ලා ෂ්පීල්මන්” තම බිහිසුණු අත්දැකීම අලලා ග්‍රන්ථයක් සම්පාදනය කර ප්‍රකාශයට පත්කළේය. එය නම්කොට තිබුණේ The Death of a City හෙවත් “නගරයක මරණය” මැයෙන්ය. නොබෝ කලකින් රටේ බලය අල්ලාගත් ස්ටාලින්වාදී ආණ්ඩුව විසින් මෙම පොත බෙදාහැරීම තහනම් කරනු ලැබීය. මෙම පොතෙහි එක් ජර්මන් සොල්දාදුවෙකු ගැන සුබවාදීව ලිවීම එම තහනමට හේතු විය. 


ලඩිස්ලා ෂ්පීල්මන් ලියූ මුල් පොතේ එනම් The Death of a City හෙවත් “නගරයක මරණය” නම්වූ පොතේ පිට කවරයේ පිංතූරයක්

නැවතත් තම සුපුරුදු රැකියාව වන ගුවන් විදුලියේ පියානෝ වාදන වෘත්තීය ඔහු තෝරාගත්තේය. පියානෝ වාදන අඩංගු නිර්මාණ රැසක් ඔහු මේ කාලය තුලදී ගීත තැටි මගින් එළි දක්වා තිබේ. පසුව ඔහු හලීනා නමැත්තියක සමග (Halina Szpilman ඔහුගේ මියගිය නැගනියගේ නමද Halina Szpilman වීම විශේෂත්වයකි) විවාහ විය. විවාහයෙන් ඔහු පිරිමි දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවට පත්විය. එක් පුත්‍රයෙක් ක්‍රිස්ටෝපර් ෂ්පීල්මන් (Christopher Szpilman) වූ අතර අනිත් පුත්‍රයා ඇන්ඩෲස් ෂ්පීල්මන් (Andrzej Szpilman) විය. යුද්ධය හමාරවී තවත් අවුරුදු 50ක් යනතෙක් තමාට සිදුවූ බිහිසුණු අත්දැකීම් පිළිබඳව හෝ තමා ලියූ ග්‍රන්ථය පිළිබඳව හෝ ෂ්පීල්මන් තම දරුවන්ට කීවේ නැත.

1990 දී ලඩිස්ලාගේ පුත්‍ර ඇන්ඩෲස් ෂ්පීල්මන්ට, තම පියා විසින් ලියා තැබූ ඓතිහාසික ග්‍රන්ථයේ පිටපතක් ලැබුණි. මෙය කියවූ ඔහු කම්පාවටත් විශ්මයටත් පත්වූ අතර පොතේ නව මුද්‍රණයක් එළිදක්වමින් එය නැවත වරක් ජනතාව අතර බෙදාහැරීමට ඔහු පුරෝගාමී මෙහෙවරක් ඉටුකළේය. මුලදී පොත ජර්මන් භාෂාවෙන් එළිදැක්වූවත් පසුව ඉංග්‍රීසි භාෂාවටද පරිවර්තනය විය. ඉංග්‍රීසි පොතෙහි නම The Pianist (“ද පියානිස්ට්”) ලෙස වෙනස්විය. පසු කලෙක මේ ග්‍රන්ථය ලොව පුරා භාෂා 35කට පරිවර්තනය විණි. මේ පොතට යුරෝපීය රටවලින් බොහෝ ගෞරව සම්මාන ලැබුණි. 1999 වසරේදී එළි දැක්වුණු සංස්කරණයේදී පොතට අළුත් කොටසක් එක්විය. ඒ ලඩිස්ලා ෂ්පීල්මන්ගේ ජර්මන් මිතුරා වන විල්ම් හොසෙන්ෆෙල්ට්ගේ දිනපොතේ විස්තරයක්ය. 



1999 දී එළි දැක්වුණු පොතේ සංස්කරණය.


ද පියානිස්ට් චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරයක්

පෝලන්ත ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන රෝමන් පොලන්ස්කි (Roman Polanski) කවදා හෝ මෙම කතා වස්තුව චිත්‍රපටයකට නැගීමට පුල පුලා බලාසිටි තැනැත්තෙකි. මේ අතර ඔහුගේ චිත්‍රපටයේ සැබෑ කතා නායකයා වන ලඩිස්ලා බලාපොරොත්තු නොවූ පරිදි 2000 වසරේදී මියගියේය. ඉන් වසර දෙකකට පසු එනම් 2002 වසරේදී පියානිස්ට් චිත්‍රපටය තිරයට ගෙන ඒමට පොලන්ස්කි සමත් විය.


අධ්‍යක්ෂක - රෝමන් පොලන්ස්කි (Roman Polanski) මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයෙක්ද වේ.
පෝලන්ත ජාතිකයෙක් වන ඔහු චිත්‍රපට නිෂ්පාදකයෙක්, කතා රචකයෙක්, සහ නළුවෙක් ද වේ.


තිර රචනය - රොනල්ඩ් හාර්වුඩ් (Ronald Harwood)

ප්‍රධාන චරිතය


Adrien Brody – (ඒඩ්‍රියන් බ්‍රොඩි) -ප්‍රධාන නළුවා වන මොහු සත්‍ය කතාවේ එන Władysław Szpilman හෙවත් “ලඩිස්ලා ෂ්පීල්මන්” ගේ චරිතයට පණ පොවයි. ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස මෙම චිත්‍රපටයට සම්මාන හිමිකර දුන්නේය. මෙම චිත්‍රපටයටම වෙනත් සම්මාන උළෙලවල් තුනකදී ද “හොඳම නළුවා” සම්මානය හිමිකර ගැනීමට ඔහු සමත්විය. එසේම තවත් සම්මාන උළෙලවල් 10 කදී “හොඳම නළුවා” සම්මානය සඳහා යෝජනා වී තිබිණ.



චිත්‍රපටයේ ෂ්පීල්මන් පවුලම එකට සිටින ජවනිකාවක්. මෙහි අංක දක්වා ඇති නළු නිළියන් පිළිබඳ විස්තරය පහතින් දක්වා ඇත.

අංක 1- පියා - සැමුවෙල් ෂ්පීල්මන් (Samuel Szpilman) - චරිත නිරූපනය - ෆ්රෑන්ක් ෆින්ලේ (Frank Finlay) 
අංක 2- මව - එස්ටෙරා නී ෂ්පීල්මන් (Estera nee Szpilman) - චරිත නිරූපනය - මොරීන් ලිප්මෑන් (Maureen Lipman) 
අංක 3- පුතා - කතානායක - ලඩිස්ලා ෂ්පීල්මන් (Władysław Szpilman) - චරිත නිරූපනය - ඒඩ්‍රියන් බ්‍රොඩි (Adrien Brody) 
අංක 4- පුතා - හෙන්රික් ෂ්පීල්මන් (Henryk Szpilman) - චරිත නිරූපනය - එඩ් ස්ටොපාඩ් (Ed Stoppard) 
අංක 5- දුව - රෙජිනා ෂ්පීල්මන් (Regina Szpilman) - චරිත නිරූපනය - ජෙසිකා කේට් මේයර් (Jessica Kate Meyer)
අංක 6- දුව - හලීනා ෂ්පීල්මන් (Halina Szpilman) - චරිත නිරූපනය - ජූලියා රයිනර් (Julia Rayner)


සැබෑ සැමුවෙල් ෂ්පීල්මන් - 1942 ට්‍රෙබ්ලින්කා යුදෙව් සංහාරයේදී මරුමුවට පත්විය. දකුණින් එම චරිතය නිරූපණය කරන ෆ්රෑන්ක් ෆින්ලේ. 2016 ජනවාරි 30 දින මෙම නළුවා මියගියේය.


සැබෑ එස්ටෙරා නී ෂ්පීල්මන් - 1942 ට්‍රෙබ්ලින්කා යුදෙව් සංහාරයේදී මරුමුවට පත්විය. දකුණින් එම චරිතය නිරූපණය කරන මොරීන් ලිප්මෑන්.


සැබෑ ලඩිස්ලා ෂ්පීල්මන් - 1942 ට්‍රෙබ්ලින්කා යුදෙව් සංහාරයට හසුනොවී දිවි බේරාගත් පවුලේ එකම සාමාජිකයාය. අභාවය - 2000. දකුණින් එම චරිතය නිරූපණය කරන ඒඩ්‍රියන් බ්‍රොඩි.


පළමු හා දෙවන ඡායාරූපවල සැබෑ හෙන්රික් ෂ්පීල්මන් - 1942 ට්‍රෙබ්ලින්කා යුදෙව් සංහාරයේදී මරුමුවට පත්විය. දකුණින් එම චරිතය නිරූපණය කරන එඩ් ස්ටොපාඩ්.


සැබෑ රෙජිනා ෂ්පීල්මන් - 1942 ට්‍රෙබ්ලින්කා යුදෙව් සංහාරයේදී මරුමුවට පත්විය. දකුණින් එම චරිතය නිරූපණය කරන ජෙසිකා කේට් මේයර්.


සැබෑ හලීනා ෂ්පීල්මන් - 1942 ට්‍රෙබ්ලින්කා යුදෙව් සංහාරයේදී මරුමුවට පත්විය. දකුණින් එම චරිතය නිරූපණය කරන ජූලියා රයිනර්.


සැබෑ විල්ම් හොසෙන්ෆෙල්ට් Captain Wilm Hosenfeld - 1952 දී රුසියාවේ සිරකදවුරකදී වධ හිංසාවලට ලක්වීමෙන් මරුමුවට පත්විය. දෙවන ඡායාරූපයෙන් එම චරිතය නිරූපණය කරන තෝමස් ක්‍රෙට්ස්මන් (Thomas Kretschmann ) සහ තුන්වන ඡායාරූපයෙන් තෝමස් ක්‍රෙට්ස්මන් සැබෑ ලෝකයේදී.

සිහිවටනයන්....සහ සේයා රූ


සැබෑ “ලඩිස්ලා ෂ්පීල්මන්” (Władysław Szpilman) හෙවත් සැබෑ “පියානෝ වාදකයා” තරුණ කාලයේදී සහ යුද්ධයෙන් පසු නැවතත් පියානෝ වාදනයේ යෙදී සිටින අයුරු


දුර්ලභ ඡායාරූපයක්. ලඩිස්ලා තම මවත් පියාත් සමග. ලඩිස්ලාගේ දෙමව්පියන් පෙනී සිටින එකම ඡායාරූපයද මෙය වේ.





ලඩිස්ලා ෂ්පීල්මන් ජීවත්ව සිටි කාලයේ ආදරණීය බිරිඳ සමග


අපගේ කථානායක, ලඩිස්ලාගේ පුත්‍ර ඇන්ඩෲස් ෂ්පීල්මන් (Andrzej Szpilman). ලඩිස්ලාගේ පොත නැවත මුද්‍රණය කොට චිත්‍රපටයක් නිර්මාණය වීම දක්වා පදනම දැම්මේ ඔහුය.


තාත්තයි, පුතයි - ලඩිස්ලා ෂ්පීල්මන් සහ ඇන්ඩෲස් ෂ්පීල්මන්


ලඩිස්ලා සිය මුණුබුරන් සමග 


(Photo by Dimitrios Kambouris , gettyimages)

ලඩිස්ලාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා - (වමේ සිට) - ඇන්ඩෲස් ෂ්පීල්මන්, හලීනා ෂ්පීල්මන් (මව) සහ ක්‍රිස්ටෝපර් ෂ්පීල්මන්


“ලඩිස්ලා ෂ්පීල්මන්”ගේ බිරිඳ හලීනා ෂ්පීල්මන් - (Halina Szpilman)


අපගේ කථානායක, ලඩිස්ලාගේ එකම සොහොයුරා වන හෙන්රික් ෂ්පීල්මන් (Henryk Szpilman). මොහුද මාරක දුම්රියේ නැගී ට්‍රෙබ්ලින්කා වෙත ගිය පුද්ගලයෙකි. ගෑස් කාමරයකදී ඔහුගේ වටිනා තරුණ ජීවිතය අවසන් විය.



ලඩිස්ලාට කිසි දිනක නැවත තම ජර්මන් සගයා වන හොසෙන්ෆෙල්ට් හමු නොවුණු අතර ඔහුගේ පවුලේ සාමාජිකයින් හමුවීමට අවස්ථාවක් ලැබුණි. මේ හොසෙන්ෆෙල්ට්ගේ පුත්‍රයෙකු වන වෛද්‍ය හෙල්මුට් හොසෙන්ෆෙල්ට් (Helmut Hosenfeld) ලඩිස්ලාට හමවූ මොහොතකි.



ලඩිස්ලා ෂ්පීල්මන් ඉතාකුඩා කාලයේදී ගත් දුර්ලභ පිංතූරයක්



පවුලේ ළමයින් සිව්දෙනාගේ කුඩා කාලයේ පිංතූරයක් - හලීනා, රෙජිනා, හෙන්රික් සහ ලඩිස්ලා. මෙහි දකුණුම පස සිටින්නේ ලඩිස්ලා ෂ්පීල්මන් බව මීට ඉහත පිංතූරය හා සසඳා බැලීමෙන් පෙනීයයි.



ලඩිස්ලා ෂ්පීල්මන් සිය අවසාන කාලයේ දී .(1999දී) ඊළඟ වසරේදී  ඔහු මෙලොව හැර ගියේය. දෙවන ලෝක යුද්ධයේ සජීවී බිහිසුණු අත්දැකීම් ලැබූ  කීපදෙනා අතරින්  මෙතෙක් ඉතිරිව සිටි විශිෂ්ඨ මිනිසෙකුගේ අවසානය මෙසේ සණිටුහන් විය.


ලඩිස්ලා ෂ්පීල්මන් 2000 වසරේ ජූලි 6 වෙනිදා පෝලන්තයේ වෝර්සෝ නගරයේදී මියයන විට වයස අවුරුදු 88කි. 



වෝර්සෝහි හමුදා සුසාන භුමියෙහි ඇති ලඩිස්ලා ෂ්පීල්මන්ගේ සොහොන



ලඩිස්ලාට හොසෙන්ෆෙල්ට් හමුවූ ස්ථානය දැන්. එදා ගරා වැටුණු ගොඩනැගිල්ල අද පිළිසකර කර ඇති අයුරු.

චිත්‍රපටය ගැන මගේ විචාරය

මා නරඹා ඇති දෙවන ලෝක සංග්‍රාමය සම්බන්ධ චිත්‍රපට අතුරින් මෙය වඩාත් හදවතට සංවේදී කතාවක් ලෙස හඳුන්වාදිය හැකිය. කතාවේ මැද කොටස එනම් ෂ්පීල්මන් පවුල ජර්මානුන්ට බියෙන් මහල් නිවාසයේ ගතකරන කාලය වඩාත් හදවතට සමීපවන කොටස බව මගේ හැඟීමයි. චිත්‍රපටය නරඹන විට ඔවුන්ගේ අත්දැකීම් අප අත්විඳින අත්දැකීම් බවට පත්වේ. එය එසේ වන්නේ චිත්‍රපටය තාත්විකව නිර්මාණය කරන්නට අධ්‍යක්ෂවරයා සමත්ව ඇති නිසාය. අලෝකය මෙහෙයවීම හා ශබ්ද පරිපාලනය විශිෂ්ඨ අන්දමින් යොදාගෙන ඇත. 


The Pianist (ද පියානිස්ට්) චිත්‍රපටය DVD මගින් ඔබට ලබාගැනීමට අපහසුනම් පහත දක්වා ඇති යූ ටියුබ් ලින්ක් ඔස්ස‍ෙ මෙම චිත්‍රපටය නැරඹිය හැකිය. මෙහි (Picture Quality) පිංතූරවල තත්වය තරමක් අඩුවුවත් කතාව රසවිඳිමට එය බාධාවක් නොවේ යැයි සිතමි.

HD Quality – 720p


Quality – 420p




Saturday, August 20, 2016

Kamal D. Athukorala - කමල් ඩී. අතුකෝරාල

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු දේශීය වැඩසටහන් සම්පාදකවරයෙකු හා ජනශ්‍රැති පර්යේෂකයෙකු වූ සංගීතඥ කමල් ඩී. අතුකෝරාල මහතාගේ 36 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි


බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ දේශීය ගැමි කට හඩකින් ගැයෙන මෙම ගීතය ඔබට කලකට පෙර ගුවන් විදුලියෙන් නිතර අසා ඇතිවාට සැකයක් නැත. අද එය ඇසෙන්නේ කලාතුරකිනි. ගීතය ගයන ගායකයා කව්ද? අද ඔහු කොහිද? එම ගීතයට ආදරය කරන රසවතුන් එහි ගායකයාගේ වගතුගත් දැනගන්නට කැමැත්තෙන් ඇතැයි සිතමි.

ඔහු අන් කිසිවෙකු නොව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු දේශීය වැඩසටහන් සම්පාදකවරයෙකු හා සංගීතවේදියකු වූ කමල් ඩී. අතුකෝරාල මහතාය. ඔහු අප අතරින් වියෝවී අදට (2016/08/20 වෙනිදාට) වසර 36 ක් සම්පූර්ණ වෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 

බිංකුණ්ඩා යනු ඉතා කුඩා කෘමියෙකි. උන් ජීවත්වන්නේ සියුම් වැලි අතරේ රිංගාගෙනය. වැලි අතරින් උඩට පැමිණි බිංකුණ්ඩෙකු දකින්නටත් අමාරුය. වැලි අතරින් ඌව උඩට ගත්තත් එසැණින් ඌ වැලි අතර සැඟවී යයි. එවිට කෝණාකාර වලක් ඒ කියන්නෙ ආවාටයක් නිර්මාණය වෙයි. අසවල් වැලි වල බිංකුණ්ඩන් සිටින බවට ඇති එක් සලකුණක් නම් ඒ වැලි වල කුඩා කෝණාකාර ආවාට දක්නට ලැබීමයි. එවැනි වැලි අතර ඇති ආවාට වටා ඇඟිල්ලකින් කැරකැවීම කලකට පෙර ලංකාවේ ළමුන් සිදුකල අහිංසක ක්‍රීඩාවකි. අපිද එය කර ඇත්තෙමු. එවිට වැලි අතර සිටිනා බිංකුණ්ඩන් ඇඟිල්ලේ චලනයට අනුරූපිව වටේට දඟලමින් ගමන් කරයි. කව්රුත් කියන්නේ උන් අපේ තාලයට නටනා බවයි. මෙසේ අපි උන් නටවන්නේ එක්තරා ගීයක් මුමුණමින්ය. පැරණි අය කව්රුත් දන්නා එම ගීතය නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ තෝත් නටාපිය මාත් නටන්නම් යන ගීතයයි. එය ජන ගීයක් යැයි විශ්වාස කරමි. එම ජන ගී සහ ජනශ්‍රැති පාදක කරගෙන බිංකුණ්ඩන් පිළිබඳව මනරම් නව ගීයක් 1960 දී පමණ ගුවන්විදුලි සංස්ථාවේ සිටි සංගීතවේදියෙකු විසින් නිර්මාණය කරන ලදී. ඒ දේශීය කියමන්, දේශීය ජන ගී හා දේශිය ගී තනු ඇසුරෙන් නිෂ්පාදනය කළ “සප්තමධුර” නම් ගීත නාටකය සඳහාය. එහි සංගීත නිර්මාණය පමණක් නොවේ ගායනයද ඔහුගේය.


බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ //
තෝත් නටාපිය මාත් නටන්නම්
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ - බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ //
..............................................(සංගීතය)
එරොප්පෙ නැටුමක් තෝත් නටාපිය සිංහල නැටුමක් මාත් නටන්නම්//
සිංහල නැටුමක් මාත් නටන්නම්
දොමිකිට තක දොං දොමිකිට තක දොං//
එරොප්පෙ නැටුමක් තෝත් නටාපිය සිංහල නැටුමක් මාත් නටන්නම්
සිංහල නැටුමක් මාත් නටන්නම්
බිංකුණ්ඩෝ තෝ ටුවිස්ට් නටාපිය මං මගෙ තාලෙට තෙල්මෙ නටන්නම්
තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ
.......................................... (සංගීතය)
ඉතාලි නැටුමක් තොගෙන් නටාපිය උඩරට නැටුමක් මගෙන් නටන්නම්//
උඩරට නැටුමක් මගෙන් නටන්නම්
දෝං දොමිත දොං ජිං රුකුගත - තකුංජීන්තා ජින්කිත කිතතක//
ඉතාලි නැටුමක් තොගෙන් නටාපිය උඩරට නැටුමක් මගෙන් නටන්නම්
උඩරට නැටුමක් මගෙන් නටන්නම්
බිංකුණ්ඩෝ තෝ පොතෙන් නටාපිය මං මගෙ තාලෙට හිතෙන් නටන්නම්
තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ




බිංකුණ්ඩෝ ගීතය ඇසීමට
1930 අගෝස්තු 13 දින උපන් කමල් ඩී. අතුකෝරාල මහතා සංගීතඥයෙකු සහ ගායකයෙකු වුවද ඔහු ක්ෂේත්‍ර ගණනාවක දස්කම් පෑ කලාකරුවෙකු බව බොහෝ දෙනා නොදනී. ජනශ්‍රැති සංරක්ෂකයෙකු, ජනගායනා පර්යේෂකයෙකු, කවියෙකු, උඩරට නර්තන ශිල්පියෙකු, නළුවෙකු, ලේඛකයෙකු හා මාධ්‍යවේදීයෙකුව සිටි බව දන්නේ ඔහු ළඟින් ඇසුරු කළ කීපදෙනෙක් පමණි. එවැනි හැකියාවන් රැසක් සහිත පුද්ගලයන් අද දක්නට නොමැති තරම්ය. දුෂ්කර ගම්මාන වලට ගොස් සිංහල ජනගී සංරක්ෂණය කිරීමට ඔහු තවත් ජන ගී විශාරදයෙකු වන පී.ඩබ්. මකුළොළුව මහතා සමග එක්වුනි. මේ නිසා අතුකෝරාල මහතාද ජන සංගීතයට සිදුකර ඇති සේවය ඔහුගේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී මොනවට පැහැදිලි වෙයි. 

විරිදු හා ජනගී ඇසුරින් ප්‍රතිනිර්මාණය කරන ලද අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියා, කහමලියේ අන්අර කහමලියේ, මධුමදිරා මිහිර සොරා යන ගීත කලකට ඉහත ගුවන්විදුලියේ නිතර ප්‍රචාරය වූ ඔහු ගැයූ ජනප්‍රිය ගීත අතරින් කීපයකි.

සිංහල වේදිකාවට පිවිසිණු ප්‍රථම විරිදු නාටකයට සම්බන්ධවීමට තරම් අතුකෝරාල මහතා වාසනාවන්ත විය. ඒ අනුව විමලවීර පෙරේරා රචනා කළ ලංකාවේ ප්‍රථම විරිදු නාටකය වූයේ මධුමතීය. එහි එන ගීත සියල්ල සංගීතවත් කළේ කමල් ඩී. අතුකෝරාලය. 

ප්‍රථම විරිදු නාටකයවූ මධුමතීට ඔහු විසින් සංගීතවත් කළ ගීතයක් පිළිබඳව එදා සරසවිය පුවත්පතේ පළවූ ලිපියක්


අතුකෝරාල මහතා විවාහ ගිවිසගත් දා



අතුකෝරාල මහතාගේ පවුලේ සාමාජිකයින්
වමේ සිට පුත් සඳුන්, දියණිය තිළිණි හා භාර්යාව නන්දා මහත්මිය


පුවත්පතකට “එයා වෙනුවට හඳ” යන සිරසින් ලිව් රසබර පදවැලක අන්තිම කවි දෙක මෙසේ දක්වමි. තම පෙම්වතිය තමා හැරදා වෙනතක ගිය පසු ඇය වෙනුවට සඳට ආදරය කරන පෙම්වතෙකුගේ ඇසින් මෙම කාව්‍ය රචනා වී තිබේ. කමල් ඩී. අතුකෝරාලගේ කවීත්වයට මෙය හොඳ නිදසුනකි.



“හදවත පුබුදු කළ මොලකැති හස  රැල්ල
අද නැත පෙර පරිදි දැඩි වෙයි මැසි  විල්ල
පෙරමග ගන්න ඉවහල් වන කඳු  ලැල්ල
එනු මැන ඔබෙන් ලද හැක මට සැන  සිල්ල

නෙතින් ගලන කඳුලැලි ගජ මුතු වෙද්දෙන්
ගතින් හැලෙන දා බිඳු මිණි කැට වෙද්දෙන්
සිතින් නැගෙන සිතිවිලි මිලිනව යෙද්දෙන්
ඉතින් එයා වෙනුවට හඳ හිනැ හෙද්දෙන්”



අතුකෝරාල මහතාගේ ස්වර ප්‍රස්ථාර ඔහුගේම අත් අකුරින්

එදා ලංකාවේ පුවත්පත්වල චිත්‍රකතා වෙනුවට පිංතූර කතා පළවුණි. ලංකාදීප පත්‍රයට හොල්මන නමින් පළවූ පිංතූර කතාවට අතුකෝරාල මහතා නළුවෙකු ලෙස එක්වී සිටි අයුරු

ඔහු ‍ලේඛන කලාවටද දක්ෂයෙකු බව සනාථ කෙරෙන ඔහු ලියූ පුවත්පත් ලිපියක්


1969 දෙසැම්බර් 21 දින ඔහු අතිනත ගත්තේ කොළඹ මහ රෝහලේ මාණ්ඩලික හෙදි නන්දා අතුකෝරල මහත්මිය සමගය. වැඩිකල් නොගොස් දරුවන් දෙදෙනෙකුගේ සුරතල් බැලීමට ඔහු වාසනාවන්ත විය. වැඩිමලා දියණියක වූ අතර ඇය තිළිණිය. බාලයා සඳුන් පුතාය. දිවියේ අවසන් කාලයේ ඔහු පදිංචිව සිටියේ මහරගම ප්‍රදේශයේය. සිය 50 වන ජන්ම දිනය සමරා දින හතකට පසු එනම් 1980 අගෝස්තු 20 දින ඔහු අප අතරින් සදහටම සමුගගෙන ගියේය.

මා උපන්දා සිට1988 දක්වා පදිංචිව සිටියේ මහරගම විද්‍යාකර මාවතේ නිවසකය. අපගේ නිවස ඉදිරිපිට නිවසේ (ඉස්සරහ ගෙදර) සිදුවන හැමදෙයක්ම අපගේ මතකයේ පවතී. අප කුඩා කාලයේ පටන් දන්නා පවුලක් එහි කාලයක් පදිංචිව සිටියේය. ඔවුන් එක් දිනක් හදිසියේ බඩු බාහිරාදිය වාහනවලට පටවනවා දුටුවෙමු. විපරම් කර බැලීමේදී දැනගන්නට ලැබුණේ ඔවුන් නිවස විකුණා ඇති බවත් එම නිවස හැර යන බවත්ය. ටික දිනකින් අළුත් කට්ටියක් නිවසේ පදිංචියට පැමිණි අතර ඔවුන් ඉතා ඉක්මණින් අප සමග කුළුපග විය. එයට එක් හේතුවක් වූයේ අප ගුවන්විදුලියෙන් කලින් අසා පුරුදු ජනප්‍රිය ගායකයෙකු ඒ නිවසේ මූලිකයා වීමයි. ඒ අන් කවරෙකු නොව ඉහත සඳහන් කළ ඒ වනවිට ජනප්‍රිය විරිදු ගායකයෙකුව සිටි කමල් ඩී. අතුකෝරාල මහතායි. මා ඇතුළු නංගිලා මල්ලිලා ඔහු ඇමතුවේ අතුකෝරාල අංකල් කියාය. 

මගේ පියා ‍සේවය කළේ ලේක් හවුස් ආයතනයේය. අතුකෝරාල අංකල් සේවය කළේ ගුවන් විදුලි සංස්ථාවේය. ප්‍රධාන ජනමාධ්‍ය ආයතන දෙකක දෙදෙනාම සේවය කළ නිසාත් දෙදෙනාම දක්ෂ කවියන් වූ නිසාත් පියාත් අතුකෝරාල අංකලුත් මිතුරන් බවට පත්වීමට වැඩිකල් ගියේ නැත. මගේ පියා සේවය නිමවී බොහෝවිට නිවසට එන්නේ සවස හය හත වේලාවටය. ඒ වනවිටත් අතුකෝරාල අංකල් සේවය නිමවී නිවසට පැමිණ අවසන්ය. එවැනි දවස්වල අංකල් අපේ නිවසේ මිදුලට පැමිණේ. මමත් නංගිල මල්ලිලාත් පියාත් අංකල්ව වටකරගෙන කතා කියන්නට පටන්ගනී. ඒ සඳහා අංකල් ඇතුළු සියළු දෙනා අපේ නිවසේ කොටු තාප්පය මත හිඳගනී. ආගිය තොරතුරු කලා තොරතුරු රටේ තොරතුරු දෙපක්ෂය අතර හුවමාරු වන්නේ මෙතැනදීය. මේ සඳහා පැය දෙක තුනක් ගන්නා නිසා බොහෝවිට කතා මාලාව අවසන් වන්නේ රෑ බෝවීමෙන් පසුය. පවුලේ ළමයින් ඒ කතා අසා ඉන්නවා හැරෙන්න ඒවාට සම්බන්ධ වන්නේ නැත. නමුත් ඒ ආශ්‍රයට අප බොහෝ කැමති විය. 

කමල් ඩී. අතුකෝරාල මහතාගේ හදිසි වියෝව මට අද වගේ මතකය. දිනය 1980 අගෝස්තු 20 උදේ වරුවයි. මා නිවසේ යම් වැඩක යෙදී සිටින අතරතුර අපගේ නිවසේ කෙනෙකු අන්න කාටද මොකක්ද වෙලා යැයි හඩ නගා කියනු මට ඇසුණි. මා ඉස්සරහ නිවස දෙස බැලූවිට පෙනුණේ අසල නිවසක පිරිසක් අතුකෝරාල මහතාගේ නිවසට දුවයන අයුරුයි. ඒ එක්කම කව්දෝ විලාප දෙන හඩකුත් ඇසුණි. ඒ කුමක්දැයි ගොසින් බලන ලෙස මට අම්මා පැවසුවාය. මම හනිකට ඉස්සරහ නිවසට ගොස් බැලූවිට එහි කාමරයක ඇඳක් මත සිහිසුන්ව දිගාවී උන් අතුකෝරාල මහතාට ඔහුගේ භාර්යාව නන්දා මහත්මිය ඔහුට කෘතිම ශ්වසනය දෙන අයුරු දුටුවෙමි. තව කෙනෙකු දෙපා රත් කිරීමට ගිනි කබලක් අල්ලන් ඉන්නා අයුරුත් දුටිමි. ඒ මහතා අසල ඒ මහතාගේ මෑණියන්ද සිටිනු දුටිමි. ඒ මහතාගේ දියණිය ඒ අවස්ථාවේ මගේ මව විසින් අපේ නිවසට රැගෙන ගොස් තිබුණි. ඒ මහතාගේ දියණිය අද එම අවස්ථාව ස්මරණය කළේ මෙසේය. “ඒ වනවිට මට අවුරුදු 5ක් විතර වෙනවා. ඒ වෙලාවෙ වෙච්ච දේවල් මට තාම හොඳට මතකයි. අම්මා කලින්දා නයිට් ඩියුටි කරලා උදේ නිදාගෙනයි හිටියේ. මල්ලියි, මමයි අල්ලපු ගෙදර නංගියි එදා උදේ සෙල්ලම් කරකර හිටියේ. මල්ලියි, අර නංගියි රණ්ඩුවුනාට පස්සෙ භූමිතෙල් කෑන් එකක් පෙරලුනා. ඒ වෙලාවේ අම්මා ඇවිත් අපිට බැන බැන බිම සුද්ද කරලා තාත්තට තේ බොන්න කතා කලා. නිදාගෙන හිටිය තාත්තා නැගිට්ටේ නැහැ. ඒ වෙලොවෙ උදේ 10ට විතර ඇති. අහල පහලින් උදව් ඉල්ලුවා. කට්ටිය ආවා. ඉස්සරහ ගෙදර ඇන්ටි මා ඒ ගෙදරට එක්කන් ගියා.” අවශ්‍ය හදිසි කටයුතු කළේ අවට නිවැසියන්ය. ප්‍රථමාධාර වලින් ගුණයක් නොලද නිසා අතුකෝරාල මහතාව රෝහලට රැගෙන යාමට අවශ්‍ය විය. ඒ අවස්ථාව වනවිට මෝටර් රථයක් හිමිව තිබුණේ අතුකෝරාල මහතාගේ නිවස පිටුපස පිහිටි නිවසේ අයට පමණි. ඔවුන්ද උදව්වට පැමිණියහ. ඔවුන්ගේ මෝටර් රථයෙන් අතුකෝරාල මහතාව රෝහලට රැගෙන යන ලදී. මේ අවස්ථාව මතකයට එන විට සංවේදී යමක් මසිත පෙළයි. අතුකෝරාල මහතාව මෝටර් රථයට රැගෙන යාමේදී මා ඔහුගේ දෙපයින් අල්ලාගත් මොහොත මට අද වගේ මතකය. ගමේ කවුරුත් නොවසිල්ලෙන් බලා සිටියේ රෝහලෙන් තොරතුරක් ලැබෙන තෙක්ය. සවස එක වනවිට කව්රුත් බලාපොරොත්තු නොවූ දුක්මුසු පුවතක් කනවැකුණි. ඒ අප කව්රුත් ආදරය කළ කමල් ඩී. අතුකෝරාල මහතා මියගිය පුවතයි. පසුව දැනගන්නට ලැබුණේ නින්දේදීම ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ඒ මහතා මියගොස් ඇති බවය. ගොඩිගමුව පොදු සුසාන භුමියේදී සිරුර මිහිදන් කෙරිනි. ඒ මහතාගේ අවසන් දර්ශනය ලබාගැනීමට මා කනත්තේ දී විවෘත වී ඇති දෙන දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ සංවේගයෙනි.

ඒ මහතාගේ දියණිය තිළිණි ජිතේන්ද්‍රිකා අතුකෝරාලද පියාගේ අඩිපාරේ ගමන්කළ ජනප්‍රිය කලාකාරිනියකි. සිය පියා මෙන් ඇයද කලා ක්ෂේත්‍ර ගණනාවක දස්කම් පෑවාය. ඒ නිසා මට ඇය ජනප්‍රිය ගායිකාවක් පමණක් ලෙස හැඳින්විය නොහැක. ගායිකාවක්, නිවේදිකාවක්, ගේය පද රචිකාවක්, සංගීතඥවරියක්, කිවිඳියක්, ලේඛිකාවක් ආදි බහු කලා මාධ්‍යයන්හි උපරිම තලයට පැමිණි තාරකාවක් ලෙස හැඳින්වීම සාධාරණ යැයි සිතේ. වෙනත් කලාකරු පවුල්වල මෙවන් දියණියකට ඉදිරියට ඒම සඳහා අත දීමට ඇගේ කලාකරු මව් පියන්ට නිරායාසයෙන්ම අවස්ථාව සැලසේ. නමුත් තිළිණි දියණියට ඒ අවස්ථාව මග හැරෙන්නේ ඇගේ ආදරණීය කලාකරු පියා ඈ කුඩා කාලයේදීම ජීවිතයෙන් සමුගත් නිසාය. නමුත් පියාගේ ආරෙන් ලැබුණු උපන් හැකියාවක් ඈ සතු නිසාදෝ සියළු අභියෝග ජයගෙන ඉදිරියට යාමට නොපසුබට අධිෂ්ඨානයක් ඈ සතුවිය. මවද කලාවට සම්බන්ධ නොවූ අයෙක් නිසා තිළිණිට තම අරමුණ කරා යාමට සිදුවූයේ තනිවමය. ඒ සඳහා පියාගේ මිතුරන් හිතවතුන් ප්‍රවීන කලාකරුවන් ඇයට පිටුපසින් සිට උදව් කළහ. හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙන්නාසේ ඇය කුඩාකලම ඇගෙන් ඒ බව පිළිඹිබු වන්නට විය. මට මතක හැටියට ඇයට අවුරුදු 10ක් පමණ වන වයසේදී (ඒ වනවිටත් පියා මියගොස් ඇත.) ගමේ කොල්ලො කුරුට්ටො තනිවම රැස්කරගෙන විවිධ කලා කටයුතු සංවිධානය කිරීමට තරම් ඉදිරිපත්වීමේ ශක්තියක් ඈ සතුවිය. මේ කාලය වනවිට අප අපේ නිවස හැරදා වෙනත් ප්‍රදේශයකට පදිංචියට පැමිණියෙන් පසුකල ඇගේ ජීවන තොරතුරු දැනගැනීමට හා දැකගැනීමට අවස්ථාවක් නොලැබුණි. නමුත් ලැබුණු තොරතුරු වලට අනුව ඇය පාසල් කාලයේත් (මහරගම ජනාධිපති විද්‍යාලයේ සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ) දක්ෂ ලෙස කලා කටයුතුවල නිරතවී තිබේ. සංගීතපති ප්‍රේමදාස මුදුන්කොටුව මහතාගෙන් සංගීතය හැදෑරූ ඇය අද සංගීතය පිළිබඳ විශාරද උපාධිධාරිනියක‌ද වන්නීය. තම අරමුණ කරා පියවරෙන් පියවර ගමන් ගත් දිරිය දියණියක් වූ ඇය 21 වන වියේදී ඇගේ පළමු රැකියාව ලෙස ලක්හඬ ගුවන් විදුලි සේවය තෝරාගත්තාය. පසුව විසිර සංස්කෘතික විකාශය, ඉසුර එෆ්.එම්. යන මාධ්‍ය ආයතනයන් හි නිවේදිකාවක, නිෂ්පාදිකාවක, ප්‍රවෘත්ති සංස්කාරිකාවක සහ ප්‍රකාශිකාවක ලෙසත් සෙත් එෆ්.එම්. ආයතනයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනිය ලෙසත් කටයුතු කලාය. ඉන් අනතුරුව  www.senehasarasdio වෙබ් ගුවන්විදුලියේ සිංහල සේවයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසත් ඒෂියන් මිරර් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ ප්‍රවෘත්ති සංස්කාරිකාව ලෙසත් කටයුතු කලාය. දැන් ඇය ඇගේම ලක්දන වෙබ් ගුවන් විදුලියේ ප්‍රධාන නියමු ලෙස කටයුතු කරන්නීය. සිය පියා සිටි තත්වයට සමාන තත්වයකට පැමිණීමම තිළිණි දියණිය මියගිය සිය පියාට සිදුකරන ලොකුම හා හොඳම උපහාරය නොවන්නේද? 

අතුකෝරාල මහතාගේ දියණි තිළිණි ජිතේන්ද්‍රිකා අතුකෝරාල
මාධ්‍යවේදිනියක ලෙස

කමල් ඩී. අතුකෝරාල මහතාගේ එකම පුත්‍ර රත්නය සඳුන් අතුකෝරාලයි. ඔහු තරුණ වියේදීම ජාතික රූපවාහිනියට බැඳුණේය. අද ඔහු එහි අංග රචන ශිල්පියෙකු ලෙස සේවයේ යෙදී සිටින අතර ඔහුගේ සහකාරිය වී සිටින්නේ ජනප්‍රිය නිවේදිකා හා නිළි සුරංගි කෝසලාය.


අතුකෝරාල මහතාගේ පුත් සඳුන් අතුකෝරාල
ජාතික රූපවාහිනියේ අංගරචන ශිල්පියෙකු ලෙස

මෙයට වසර 36 කට පෙර අප අතරින් වෙන්වී ගිය දක්ෂ කලාකරුවෙකු සේම හිත හොඳ සහෘදයෙකු වූ කමල් ඩී. අතුකෝරාල මහතා නැවතත් අප අතරම ඉපදේවා කියා පතමි.

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...