Monday, December 25, 2017

Kanneliya-International Biosphere Reserve - කන්නෙලිය - අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතය


කන්නෙලිය - අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතය


කන්නෙලිය වනාන්තරය හඳුන්වන නවතම විශේෂණ පදය එයයි. පසුගියදා එහි සංචාරයක යෙදුනෙමි. මුහුණු පොතේ ඉන්නා දෙස් විදෙස් මිතුරන්ගේ හා මේ පිලිබඳව උනන්දුවක් දක්වන හා මෙය නැරඹීමට කැමැත්තක් ඇති කෙනෙකුට ප්‍රයෝජනවත් විය හැකි ආකාරයේ තොරතුරු ටිකක් ගෙන ඒමට අදහස් කරමි. ඒවා අතර, KDN වනාන්තර සංකීර්ණය - කන්නෙලිය ඉතිහාසය කෙටියෙන් - එහි විශාලත්වය හා පිහිටීම - දේශගුණය - කන්නෙලියට පහසුවෙන් යාහැකි ගමන් විස්තරය - රජයේ හා පුද්ගලික නවාතැන් පහසුකම් - ප්‍රවේශ පත්‍ර ගාස්තු - ගමන් පැකේජ් ගාස්තු - මගපෙන්වන්නන් - කන්නෙලියටම ආවේනික වන සතුන් හා ගස්වැල් - දැඩි නීති රීති - දැව කැපීම - දැව ජාවාරම් - වල්ලපට්ට - 89 ජවිපෙ ක්‍රියාකාරකම් - ටයර් සෑය යන සියල්ල කෙටියෙන් විස්තර වෙයි.

කන්නෙලිය වනාන්තරය යනු එකිනෙකට යාබදව පිහිටි කන්නෙලිය (K) දෙදියගල (D) සහ නාකියාදෙනිය (N) යන වනාන්තර තුන ඇතුලත් (KDN) වනාන්තර සංකීර්ණයේ කොටසකි. මෙම වනාන්තර තුනෙන් විශාලම එක කන්නෙලියයි. කන්නෙලිය - දෙදියගල - නාකියාදෙනිය වනාන්තර සංකීර්ණයේ වපසරිය අක්කර 26,800 ක් (හෙක්ටයාර් 10,867 ක්) වන අතර කන්නෙලිය වනාන්තරයේ පමණක් විශාලත්වය අද අක්කර 13,108 කි. (හෙක්ටයාර් 5,305 ක්) එය අතීතයේදී අක්කර 15,200 ක් ලෙස පැවතුණි. (හෙක්ටයාර් 6,144 ක්) වේ. (KDN) වනාන්තර සංකීර්ණය “මිනිසා හා ජෛව ගෝල සංචිතයක්” (Man & Biosphere Reserve) ලෙස යුනෙස්කෝව විසින් නම්කර තිබේ.



කන්නෙලිය රක්ෂිතය Bio diversity hot spot හෙවත් ජෛව විවිධත්වය අනුව අතිශයින්ම වැදගත් වනාන්තර කලාපයක් ලෙස සැලකේ. එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වය වාර්තා වන්නේ කන්නෙලියෙනි.

ලංකාවට පමණක් අවේණික බොහෝ සත්ව හා ශාක විශේෂ වලට රැකවරණය සලසන පුංචි සිංහරාජය ලෙස හඳුන්වන මෙම කන්නෙලිය වන රක්ෂිතය පහතරට තෙත් සදාහරිත වනාන්තරයක් ලෙස වර්ගීකරණය කර තිබේ. (Low country wet evergreen forest)

පිහිටීම

එය ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ ගාල්ල නගරයට කිලෝමීටර් 35 ක් පමණ ඊසාන දෙසට වන්නට පිහිටා තිබෙන්නකි. 


දේශගුණය

KDN සංකීර්ණයේ සාමාන්‍ය භූ විෂමතාවයට කඳු වැටි, නිම්න සහ අඩු උසකින් යුක්ත හුදෙකලා කඳු ඇතුළත්ය. දළ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 3500 – 4500 කි. මැයි මස මැද භාගයේ සිට සැප්තැම්බර් මස අග දක්වා සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 4445 ක් පමණ වේ. සාමාන්‍ය මාසික උෂ්ණත්වය 270C පමණ වේ.

මාර්ග විස්තරය - කොළඹ සිට ගමන් කිරීමේදී

පහසු ගමන් මාර්ගය - දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතය - කොට්ටාවේ සිට යන්නේ නම් පින්නදූව හුවමාරුවෙන් එළියට පැමිණ (‍කොට්ටාවේ සිට101kmක් පැමිණ) ගාල්ල-උඩුගම මාර්ගයට පිවිසිය යුතුය. එතැන් සිට උඩුගම දෙසට තවත් කිලෝ මීටර් 25ක් (25km) උඩුගම නගරය දක්වා පැමිණ එතැන් සිට තවත් ඉදිරියට කිලෝ මීටර් 9ක් ගියවිට මාර්ගයේ දකුණු පසින් කන්නෙලියට දිවෙන අතුරු මාර්ගය හමුවේ. එම මාර්ගයේ හරියටම කිලෝ මීටර් 1.5 ක් ගියවිට කන්නෙලිය ප්‍රධාන පිවිසුම් දොරටුවට ළඟාවිය හැක. (මෙම කන්නෙලිය මාර්ගය අවසන් වන්නේ පිවිසුම් දොරටුවෙනි)



විකල්ප මාර්ග2 - කොට්ටාවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතය - පින්නදූව හුමාරුවට කලින් හමුවන බද්දේගම හුවමාරුවෙන් වම්පසින් එළියට පැමිණ නාගොඩ මාර්ගයෙන් උඩුගම දක්වා පැමිණ ඉතිරිය ඉහත දක්වා ඇති ආකාරයට පැමිණිය යුතුය.

මේ සිතියම විශාල කර බැලීමෙන් කන්නෙලියේ අභ්‍යන්තර පිහිටීම ඔබට අවබෝධකරගත හැකිය.

විශේෂයි...

ඔබ ලංකාවේ කුමන පෙදෙසකින් පැමිණියත් ගාල්ල උඩුගම මාර්ගයට අනිවාර්යයෙන්ම පැමිණිය යුතුය. එතැන් සිට කන්නෙලිය ප්‍රවේශ මාර්ගයට පැමිණිය යුතුය. එයට හේතුව කන්නෙලිය විශාල වනාන්තරයක් වුවත් වෙනත් කිසිම පෙදෙසෙකින් නීත්‍යානුකූලව ඇතුළුවීමට නොහැකි වීමයි.

කන්නෙලිය පිවිසුම් මාර්ගය - ඈතින් පේන්නේ දොරටුවය. දෙපසින් පෙනෙන්නේ නන්නිකිත ඇළයි. එයින් සංචාරකයින්ට ස්නානය කිරීමට අවසර ඇත.

පිවිසුම් දොරටුවේ ඵලකය

ප්‍රවේශ පත්‍ර කවුළුව

ඉතිහාසය කෙටියෙන්

කන්නෙලියේ අතීතය වලගම්බා රජ සමය දක්වාම දිවයයි. විජයබාහු රජතුමා හා සොලීන් අතර මෙම ප්‍රදේශවල පැවති සටන් පිලිබඳව ජනප්‍රවාදයේ සඳහන්වේ. කන්නෙලිය යන්න කන්‍ය එලිය යන්නෙන් බිඳී ආ බව ඇතැම් අය විශ්වාස කරයි. වලගම්ගම්බා රජු මෙම ප්‍රදේශ ආශ්‍රිතව සැඟවී සිටින කාලයේ කුසගින්නේ සිටි කාන්තාවකට තම බත්පත ලබා දී “කන්න ලිය” යැයි පැවසූ ස්ථානය කන්නෙලිය වූ බවට තවත් මතයක් පවතී. 

1934 - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කරයි.


1990 - සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කරයි.

2004 - යුනෙස්කෝව (UNESCO) විසින් මෙම වනාන්තරය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කරයි.

දැව කැපීම නිසා වනයට වූ හානිය

රක්ෂිත වනයක් වුවත් රජයට අයත් නිසාදෝ වසර 1960 – 1977 අතර කාලයේදී මෙහි මහා පරිමාණයෙන් ගස් කැපීම සහ දැව ප්‍රවාහනය සිදුකොට තිබේ. එසේ කර තිබෙන්නේ රාජ්‍ය දැව සංස්ථාවයි. මේ අනුව රජයට හා රජයට අයත් ආයතන සඳහා වන දැව අවශ්‍යතාව ඉටුකර තිබෙන්නේ ජෛව විවිධත්වයෙන් පොහොසත්ව ඇති (එවකට ජෛව විවිධත්වයේ වටිනාකම වැඩි දෙනෙක් අවබෝධ කර නොගෙන ඉන්න ඇති) මෙම වනාන්තරයේ එක දිගට දැව කැපීමෙනි. මෙම දැව ගාල්ල ගිංතොට තුනී ලෑලි කර්මාන්ත ශාලාවට රැගෙ ගිය බව කියවේ. මෙය රජයේ නීතිය අනුව වරදක් නොවූවත් සතා සිවුපාවුන්ට හා වනයට ආදරය කළවුන්ට අනුමත කළ හැකි දෙයක් නොවීය. මේ නිසා විටින් විට ජනතා විරෝධය මේ ක්‍රියාවට එරෙහිව එල්ලවන්නට විය. 

වනය ආශ්‍රිතව ගම්මුන්ගේ අත්දැකීම් වලින් බිඳක්

මෙම වනාන්තරය අසල තවමත් ජීවත්වන පැරැන්නන් හමුවී ඉතිහාස තොරතුරු ලබාගත්තෙමි. එවකට (1989) කැරැල්ලකට සහභාගී වී සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් මෙම ඝන වනාන්තරය ඔවුන්ගේ කටයුතු සඳහා භාවිතා කර තිබූ බව දැනගන්නට ලැබුණි. ජවිපෙ සහ ගස් කැපීමේ නිරත නිලධාරින් අතර ද ගැටුම් ඇතිවූ බව කියවේ. දිනක් ජවිපෙ කැරලිකරුවන් සිය ගණනක් පැමිණ වනය වටකොට පිවිසුම් දොරටුවට පැමිණ වන සංරක්ෂණ කාර්යාලයට ද ප්‍රහාරයක් එල්ලකර ඇත. එහිදී දේපළ හා දැව ප්‍රවාහන කරන වාහන ගිනිතබා විනාශ කළේලු. ප්‍රහාරයේදී මරණ සිදුවුණේදැයි පැහැදිලි නැත. දින කීපයකට පසු මේ ප්‍රහාරයට පලිගැනීමක් වශයෙන් ජවිපෙ සාමාජිකයින් කීප දෙනෙකු වනාන්තරය තුල යම් ස්ථානයක ටයර් සෑයක පිළිස්සී ගිය බව ගමේ බොහෝ දෙනා පවසන කතාවයි. නමුත් මෙය ඇත්තක් ද යන්න හරියටම කිව නොහැක්කේ මේ කතාවේ කොනක්වත් අන්තර්ජාලයෙන් හෝ ලිඛිත වාර්තාවලින් මට සොයාගත නොහැකි වූ නිසාය. ටයර් සෑය තිබුනා යැයි ගම්මුන් කියන පිළිස්සී ගිය බිම අවුරුදු 30 කට පසුත් තවමත් දකින්නට ලැබීම පුදුම සහගතය. (මා විසින් ගන්නා ලද මෙහි ඡායාරූපයක් මෙම ලිපියේ ඇත.)

ටයර් සෑය තිබුනා යැයි කියන පිළිස්සී ගිය බිම අද 

කෙසේ වෙතත් කැරැල්ලෙන් පසු එවකට පැවති රජය සුබවාදී තීරණයක් ගෙන තිබුණි. ඒ කන්නෙලිය වනාන්තරයේ දැව කැපීම හා ප්‍රවාහනය සම්පූර්ණයෙන් නවතා දැමීමට ගත් තීරණයයි. මෙය වනාන්තරයට ආදරය දැක්වූවන් ලැබූ ජයග්‍රහණයකි. මේ නිසා වනාන්තරය 1990 දී සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කරනු ලැබීය.

වටිනා ශාඛයක් වන වල්ලපට්ට බහුල ලෙස මෙම වනාන්තරයේ වැවී තිබේ. ඇතැම් අය රහසේ වනයට රිංගා වල්ලපට්ට සොරකම් කළ අවස්ථා ඇත. වල්ලපට්ට සොරකම්කර අසුවූ අයෙකු පිවිසුම් දොරටුවේ සිට පොලීසිය දක්වා ගෙනයන්නේ නිලධාරින් සහ ගමේ අයගේ ගුටිබැට සංග්‍රහ මැදින්ය. පසුගිය දිනක රාත්‍රියේ විදෙස් යුවලක් තමන් නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් බැහැරව කන්නෙලිය වනාන්තරයට රහසේ ඇතුළු වී තිබේ. ඔවුන් මූලික වරදවල් දෙකක් සිදුකොට තිබුණි. එකක් අවේලාවේ වනාන්තරයට ඇතුළු වීමයි. (සවස 6න් පසු වනයට ඇතුළු වීම තහනම් කර ඇත.) අනෙක ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුළු නොවී වෙනත් තැනකින් ඇතුළු වීමයි. තම ගැනුම්කරුවන් ආපසු ඒමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් නවාතැන්පලේ අයිතිකරු පිවිසුම් දොරටුවේ ආරක්ෂක නිලධාරින්ට පැමිණිලි කළේය. ආරක්ෂක අංශ කැලයේ සෝදිසි කර ඔවුන්ව අල්ලා ගෙන තිබේ. අත් අඩංගුවට ගත් විදෙස් යුවල උසාවියට රැගෙන යන ලදින් අන්තිමේ සිර දඬුවම් විඳීමටද ඔවුන්ට සිදුවිය. 

වනාන්තරයේ වැදගත්කම

දැව කැපීම නතරවීමෙන් පසු අවුරුදු 27ක් තුල වනාන්තරය නැවත ඝනව වැඩී තිබෙන්නේ ද්විතියික වනාන්තරයක් ලෙසිනි. කාලයක් තිස්සේ වූ දැව හෙළීම් නිසා මෙම රක්ෂිතයේ දැවැන්ත විශාල ගස් බහුලව දක්නට නැත. වැඩි වශයෙන් දක්නට ඇත්තේ සිහින් කඳ ඇති ශාඛය. පහළටම හිරු කිරණ පතිත වීම නිසා වියන් ස්තරය, උපවියන් ස්තරය, පඳුරු ස්තරය හා යටි වියන් රෝපණය වශයෙන් වනාන්තරය බෙදී පවතී. මේ නිසා වනාන්තරය, ලාක්ෂණික ස්ථර රැසකින් සමන්විත, ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ තලයක් ඇති, ඉතාම ඉහළ මට්ටමක වර්ධනයක් පෙන්නුම් කරන වනාන්තරයකි. මෙහි ශාක විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක පවතින අතර, සපුෂ්ප ශාක විවිධත්වය ද සාපේක්ෂව ඉහළ අගයක පවතී. මේ නිසා සිංහරාජ වනාන්තරයට වඩා කන්නෙලිය ජෛව විවිධත්වයෙන් අනූන ස්ථානයක් බවට පත්වී ඇති බව වන විද්‍යාඥයින්ගේ අදහසයි. (ජෛව විවිධත්වයෙන් අනූන යනු කුඩා වර්ග ප්‍රමාණයක පවා සත්ව හා ශාක විශේෂ සිය ගණනක් තිබේය යන්නය.)

හදිසියේ හමුවූ කළු ගැරඬියා


කන්නෙලියටම ආවේනික වෘක්ෂයක් වන මැන්ඩෝරා (Stemonoporus Kanneliyensis)

ලංකාවටම අවේනික සතුන් හා ගස්වැල්ද, කන්නෙලියටම ආවේනික සතුන් හා ගස්වැල් ද තිබීමෙන් මෙම වනාන්තරයේ වටිනාකම මිල කළ නොහැක. ජාත්‍යන්තර වශයෙන් මෙම දත්තයන් ශ්‍රී ලංකාවට ඉතා වටී. දෙස් විදෙස් පර්යේෂකයින්ට ද මෙම කරුණ ඉතා වැදගත්ය. සංචාරක කර්මාන්තයට ද මෙය වැදගත්ය. වනාන්තරය විනාශ වුවහොත් ඒ සියල්ලම විනාශවී යයි.

වෘක්ෂයක් දිගේ ඉහළට යන වෙනිවැල් 

මෙහි ජීවත්වන ශාක විශේෂ සහ සත්ව විශේෂ පිළිබඳව වැඩි විස්තර අන්තර්ජාලයෙන් ලබාගත හැක. මෙම වනාන්තරය පිළිබඳ දීර්ඝ පර්යේෂණයක් කොට එච්.කේ.එන්. කරුණාරත්න මහතා විසින් ග්‍රන්ථයක් සම්පාදනය කොට ඇත. ඔබට එයින් බොහෝ විස්තර ලබාගත හැක. පිටු 225 කින් සමන්විත එම ග්‍රන්ථය ඔබට රු. 600/-ක මුදලකට ආපනශාලාවෙන් ලබාගත හැක.
කන්නෙලිය පිළිබඳ ග්‍රන්ථය


වනාන්තරය ඇතුලත පරිසරය හා භූ විෂමතාව සහ බැලීමට හැකි දේ

ශ්‍රී ලංකාවේ දකුණේ ප්‍රධාන ගංගාවන් වන ගිං ගඟ සහ නිල්වලා ගඟට ජලය සපයන ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන්නේ මෙම KDN වනාන්තර සංකීර්ණයයි. වනාන්තරය තුලින් ආරම්භ වන දිය දහරා විශාල සංඛ්‍යාවක් පවතින බැවින්, ජල විද්‍යාත්මක වැදගත්කම අතින් දකුණු ලංකාවේ මුල් ස්ථානය කන්නෙලිය වනාන්තරයට හිමිවේ. මෙම කුඩා ජල දහරාවන් ප්‍රධාන දිය දහරා තුනකට ජලය සපයයි. ඒ නන්නිකිත ඇළ, කන්නෙලිය ඇළ හා උඩුගම දොළයි. මෙම අතු ගංගා තුන ඔස්සේ ගිං ගඟට ජලය සැපයේ. එක් අතු ගංගාවකින් මීටර් 46 ක් උස අනගිමල ඇල්ල සහ මීටර් 70 ක් උස නාරංගස් ඇල්ල යන අති සුන්දර දිය ඇලි උපත ලබයි. ඇතැම් දොළ පහරකින් ගලායන ජලය බීමට ගතහැකි ලෙස ඉතාම පිරිසිදුය.

දිය කඳුරුවලින් ගලායන ජලය බීමට සුදුසුය.

මහවන මැදින් ගලායන සුන්දර
අනගිමල ඇල්ල.

අනගිමල ඇල්ලේ සුන්දරත්වය විඳිමින්

දැව ප්‍රවාහනයට යොදාගත් කොටන් ලොරි ගමන් කිරීමට වනය මැදින් ඉදිකළ තාරදමා සකස්කළ මාර්ග පද්ධතිය, අදත් දක්නට ඇත. එය අද සංචාරකයින් ගමන් කරන මාර්ගය බවට පත්වී ඇත. කොහොම කොටන් ඇදීමක් එදා සිදුවුණේදැයි සිතෙන හැඟීමක් මෙම මාර්ග නරඹන විට සංචාරකයාට නිතැතින්ම ඇතිවේ. එසේම එදා දැව කැපීමේ කටයුතු සඳහා ඉදිකරන ලද ගොඩනැගිලිද දක්නට ඇත.

එදා කොටන් ලොරි ගමන් කළ මාර්ගය අද සංචාරකයන්ට පහසුවෙන් ගමන්කළ හැකි මාර්ගයක් බවට පත්වී ඇත.

විශාල ලොරි ගමන් කළ ඇලක් උඩින් තැනූ එක් මාර්ගයක් දැන් සම්පූර්ණයෙන් කැඩී ඇති අතර  එහි කණ්ඩියක් දිගේ ගමන් කරමින්.

වතුරේ බැස වවුල් ගුහාව තුලින් යායුතුය


වනය තුල මෙවැනි නැරඹුම් අට්ටාල සහ ගිමන් හල් කීපයක් පිහිටුවා ඇත.

මෙවැනි ලී පාලම් කීපයක්ම අතරමගදී හමුවේ.

වනාන්තරයේ සුන්දරත්වයට හා ගංගා බිහිවීමට හේතුවන උස් කඳු ශිඛරයක්ද වනය මැද පිහිටා ඇත. ඒ කබ්බලේ කන්දයි. බොහෝවිට විශ්ව විද්‍යාලවලින් පැමිණෙන සිසුන් ඔවුන්ගේ ක්ෂේත්‍ර අධ්‍යයන සඳහා මෙම කන්ද තරණය කිරීමට පෙළඹී සිටිති. කබ්බලේ කන්ද තරණය කර ආපසු ඒමට සම්පූර්ණ දිනක්ම ගතවන බව පැවසේ. එහි සිට බිම බැලූවිට හික්කඩුව වෙරළේ සිට මාතර වෙරළ දක්වා මුහුද දර්ශනය වන බව කියවේ. (මතු දිනක කබ්බලේ කන්ද නැගීමටත් බලාපොරොත්තුවෙමි) එයට අමතරව කොන්ඩගල කන්ද ඇතුළු කඳු මුදුන් 20ක් පමණ මෙම වනාන්තරයේ පිහිටා ඇත.

කබ්බලේ කන්ද ඈතට පෙනෙන අයුරු

වනාන්තරය පාලනයට දැඩි නීති රීති

වර්තමානයේදී මෙම වනාන්තරය පාලනය කරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. දිවයිනේ වෙනත් වනාන්තර වලට වඩා පරිසර විරෝධී මිනිස් ක්‍රියාකාරකම් වලින් මෙම වනාන්තරය හොඳින් ආරක්ෂාවී ඇත්තේ දෙපාර්තමේන්තුව විසින් පනවා ඇති දැඩි නීතිරීති නිසාය. ඒවා නම්

1.මග පෙන්වන්නෙකු නොමැතිව කිසිම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට වනයට ඇතුළු වීමට අවසර නොලැබේ.

2. වනය තුලට වනය තුලට මත්පැන් ගෙනයාම, වනය තුල මත්පැන් පානය, මත්වූවන් වනය තුලට ඇතුළුකර ගැනීම සම්පූර්ණයෙන් තහනම්ය.

2. වනය තුලට පොලිතීන් හා ඒ ආශ්‍රිත ද්‍රව්‍ය ගෙනයාම තහනම්ය.

3. වනය තුලට ආහාර පාන හා ප්ලාස්ටික් ජල බෝතල් රැගෙන යාමට ඉඩදෙන අතර ආපසු නික්ම යාමේදී ඒවායේ දවටන හෝ හිස් බෝතල් ආරක්ෂක නිලධාරින්ට පෙන්විය යුතුය.

4. ගස්වැල් හෝ ඒ ආශ්‍රිත කොටස් සොරකම් කිරීම, සතුන් හෝ සත්ව කොටස් සොරකම් කිරීම සපුරා තහනම්ය. එසේම සංචාරකයින්ට ගස්වැල් වලට හෝ මල්වලට හානි නොකරන ලෙස අවවාද කෙරේ.

5. වනය තුල ඇති කිසිම දිය ඇල්ලකින් ස්නානය කිරීම සපුරා තහනම්ය.

මෙම දැඩි නීති රීති නිසාදෝ වනයට මුලින්ම ගිය කෙනෙකුට වුවද සිතෙන්නේ මිනිස් පහස නොලද කැළයකට තමා ඇතුළු වී ඇති බවට වූ හැඟීමකි. මම ද එක් අත්දැකීමක් ලදිමි. අපගේ මග පෙන්වන්නා, පසුගිය සතියේ දිනක පැමිණි 200 කට අධික පාසල් ළමුන් පිරිසක් තම දහවල් ආහාරය ගත් ස්ථානයක් කැලය තුලදී මට පෙන්වීය. මං නිකමට වගේ අවට බිම ටොපි කොලයක් හෝ වැටී ඇත්දැයි විපරම් කළෙමි. එසේ තිබුණේ නැත. නොඉඳුල් වනය එපරිද්දෙන්ම තිබුණි.
අපගේ සංචාරයේ අපට ලැබුණු මගපෙන්වන්නා - රෝහණ ජයදේව මහතා, ඔහුට වනයේ සතා සිවුපාවා හා වනයේ ඉතිහාසය පිළිබඳ පරිණත දැනුමක් තිබුණි.


සංචාරය කරන්නන්ට මගෙන් උපදෙසක්
1. ඇති තරම් පානීය ජලය රැගෙන යන්න.
2. කූඩැල්ලන් අධික බැවින් දෙපා වලට යම් ආරක්ෂක උපක්‍රමයක් යොදාගන්න. (බූට් සපත්තු/විශේෂ මේස්/පැඟිරි තෙල් ඉසින හෝ සබන් වතුර)

ලංකාවේ පිහිටි අනෙකුත් වනාන්තර වලට වඩා මෙම වනාන්තරයේ මා දකින විශේෂත්වය වන්නේ දැඩී නීති රීති පාලනය හා අවට ගම්වාසීන් වනය රැකගැනීමට දක්වන දැඩි උනන්දුවයි. 

සංචාරකයන්ට පහසුකම්

දැඩි නීති රීති වගේම සංචාරකයින්ට පහසුකම් සැපයීමටද දෙපාර්තමේන්තුව අමතක කර නැත. ඒවා නම්

1.සෑම සංචාරක කණ්ඩායමකටම පුහුණු මාර්ගෝප- දේශකයෙකු සැපයීම.

2. වනාන්තරයේ විවිධ ස්ථානවල නිරීක්ෂණ අට්ටාල සහ ගිමන් හැරීමට ස්ථාන.

3. තොරතුරු මධ්‍යස්ථානයකින්, ප්‍රවේශ පත්‍ර අලෙවි කරන කාර්යාලයකින්, සම්මන්ත්‍රණ ශාලාවකින් සහ පිටත හිඳගෙන විවේක ගැනීමට සැකසුණු ස්ථානවලින් සමන්විත වූ සංරක්ෂණ මධ්‍යස්ථානය.

4. ආපනශාලාවෙන් ආහාරපාන සහ මුද්‍රිත ද්‍රව්‍ය මිලදීගත හැකිවීම.

5. විශාල පිරිසකට වුවත් නැවතිය හැකි වනය තුලම ඇති නවාතැන් මධ්‍යස්ථානය අඩු මුදලකට ලබාගත හැකිවීම.(මෙය කොළඹ වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවෙන් කලින් වෙන්කරවා ගත යුතුය.)

6.පැල තවානෙන් වන වගාව සඳහා පැල මිලදී ගත හැකිවීම.

7. දියනෑමට අවශ්‍ය අයෙකුට ඇතුළුවීමේ දොරටුවෙන් පිටත පිහිටි “නන්නිකිත” ඇලෙන් ඕනෑ තරම් දිය නාගත හැක.

පැල තවානට පිවිසුම් මාර්ගය


ප්‍රවේශ පත්‍ර මිල ගණන් සහ මංපෙත් ගාස්තු

කන්නෙලිය රක්ෂිතය නැරඹීමට යන සංචාරකයෙකුට මගපෙන්වන්නෙකු ලබා ගැනීම අනිවාර්ය වේ. ප්‍රවේශ පත්‍රයක මිල (වැඩිහිටි) රුපියල් 30 කි. රක්ෂිතය තුල වැදගත් ස්ථාන ආවරණය වන පරිදි මංපෙත් (trails) 6ක් සකසා ඇති අතර මෙම මංපෙත් කිහිපයක් එකට ඇතුලත්වන පරිදි පැකේජ (tour plan) 3ක් සකසා ඇත.

ගුහාව මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 1.5 - ගතවන කාලය පැය 01යි.
අනගිමල ඇල්ල මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 2.3 - ගතවන කාලය පැය 03යි.
යෝධ පුස්වැල මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 2.3 - ගතවන කාලය පැය 03යි.
යෝධ නවඳගස මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.2 - ගතවන කාලය පැය 03යි.
නාරංගස් ඇල්ල මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.2 - ගතවන කාලය පැය 06යි.
කබ්බලේ කන්ද මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.5 - ගතවන කාලය පැය 06යි.

තමනට ගතකළ හැකි කාලය හා වියදම් කළ හැකි මුදලට සරිලන ගමන් පැකේජයක් තෝරාගත හැකිය.

ගමන් පැකේජ දැක්වෙන පුවරුව

අප විසින් තෝරාගනු ලැබූ ගමන් පැකේජයෙහි ගාස්තුව රු. 800/- ක් වූ අතර (කණ්ඩායමේ සිටින සාමාජිකයින් ගණන මෙයට බලපාන්නේ නැත) කාලය පැය 3 කි. එයට අයත් වූයේ ගුහාව මංපෙත, අනගිමල ඇල්ල සහ යෝධ නවඳගහ බැලීමයි. මේ පැකේජයට යෝධ පුස්වැල ද අයත්වුවත් අප එය අතහැරීය. එයට හේතුව පුස්වැල දැන් මැරී ඇති නිසාත් එය බැලීමට යාම ටිකක් දුෂ්කර නිසාත්ය.

මාර්ගෝපදේශකයාට වෙනම මුදල් ගෙවීම අනිවාර්යය නොවුනත් අවශ්‍යනම් ඔහුට සන්තෝසම් ලෙස කිසියම් මුදලක් පරිත්‍යාග කළ හැක. වැඩිම ගාස්තුවක් අයකරන්නේ සහ වැඩිම කාලයක් ගතවන්නේ කබ්බලේ කන්ද තරණය කරන පැකේජයටයි. එයට පැය 6ක් ගතවන බව සඳහන් වුවත් මුළු දවසම ඒ සඳහා ගතවේ.

මෙයට අමතරව ඇතුළුවීමේ දොරටුවට ආසන්නව හා එයට කිලෝමීටර් කීපයක් ආසන්නව පුද්ගලික නවාතැන්පලවල් කීපයක් පිහිටුවා ඇත. විවිධ මිල ගණන් යටතේ හා විවිධ පහසුකම් යටතේ ඒවා ලබාගත හැක. ඒවායින් හතරක විස්තර මෙසේය.

1. Eco Garden –Holiday Inn - 0771700893

2. Kanneliya Mount Resort - 0718640041

3. Kanneliya Forest Resort - 0777747818

4. Rain Drops Holiday Inn - 0767886518




අප නැවතී සිටියේ ඇතුළුවීමේ දෙරටුවට දෙවෙනියට ආසන්නයේම පිහිටි නවාතැන්පල වන “කන්නෙලිය මවුන්ට් රෙසෝර්ට්” හිය. ඔබගේ දැනගැනීම සඳහා මෙහි පහසුකම් හා මිළ ගණන් මෙසේය.

අප නැවතී සිටි මවුන්ට් රෙසෝර්ට් - ඈතින් පෙනෙන්නේ කබ්බලේ කන්දයි.

කාමර වර්ග 3කි.

(ඩබල් රූම් - දිනකට රු. 2000/- ඩබල් ඇඳන් 1යි - දෙදෙනෙකුට සෑහේ - ඩබල් රූම් 1ක් ඇත.)

(ට්‍රිබල් රූම් - දිනකට රු. 2500/- ඩබල් ඇඳන් 1යි/ සින්ගල් ඇඳන් 1 යි - 3දෙනෙකුට සෑහේ - ට්‍රිබල් රූම් 2ක් ඇත.)

(ෆැමිලි රූම් - දිනකට රු. 3000/- (ඩබල් ඇඳන් 2යි) 4 දෙනෙකුට සෑහේ - ෆැමිලි රූම් 1ක් ඇත.

උදයේ කෑම - රු. 200/-

දහවල් කෑම - රු. 250/-??

රාත්‍රී කෑම - රු. 500/-

වෙනත් කරුණු - මදුරුවන් නැති තරම්ය. ඒ වගේම TV එකකුත් නැත.(එය අඩුපාඩුවකි) ආහාරපාන නම් ප්‍රනීතය. නවාතැන් පලේ තම වාහනය නවතා පයින්ම කන්නෙලිය පිවිසුම් දොරටුවට ළඟාවිය හැක. 

Owner - HMS Hennayake /Contact Number - 0718640041