Saturday, April 10, 2021

The Kumana Ramsar Wetland Cluster - කුමන රම්සා තෙත්බිම් සමූහය



කුමන කුරුළු අභයභූමියේ සුන්දර චාරිකාව




පසුගිය දිනක (2021/04/02) කලකට පසු කොළඹින් පිටත චාරිකාවක් සඳහා පිටත්වූයෙමි. 2020 වසරේ ලංකාව ඇතුළු ලෝකයම වෙලාගත් මාරක කොරෝනා වසංගත තත්වය හමුවේ ලංකාවේ බොහෝ දෙනෙකුට විනෝද සවාරි හෝ දුරගමන් තහනම් බවට පත්විය. තහනම කෙසේවුවත් එවැනි ගමන් බිමන් යාමට බොහෝ දෙනෙක් කැමති වූයේ නැත. 2021 වසර උදාවී ටික කලක් ගතවනවිට රජයේ සෞඛ්‍ය අංශ විසින් බොහෝ සංචරණ සීමා ලිහිල් කළ අතර රට ද ක්‍රමයෙන් සාමාන්‍යකරණය වෙමින් පැවතිණ. රෝගය සෑදුනු බොහෝ දෙනෙක් මේ කාලයේ සුවවී තිබූ නිසා ජනතාව ට යම් මානසික සුවයක්ද ලැබී තිබුණි. මේ නිසා 2021 වසරේ රටේ වැඩි දෙනෙක් තමනට මෙතෙක් කාලයක් යාමට නොහැකිව තිබූ දුර ගමන් සහ විනෝද චාරිකා සංවිධානය කරන්නට පෙළඹී තිබුණි.

ඒ අනුව මමද පවුලේ සියල්ලම සමගින් මෙවැනි සංචාරයක් සඳහා යාමට උත්සුක විය. චාරිකාව සංවිධානය කළේ අපේ හිතවත් තවත් පවුලක සාමාජිකයින් ය. විශේෂයෙන් එම පවුලේ සාමාජිකයින් විසින් සංවිධානය කළ මෙම ගමනට අපිද එක්වූයෙමු.

ගමනාන්තය වූයේ වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් ලංකාවේ නැගෙනහිර පලාතේ ඈත දකුණු කෙළවරේ පිහිටි කුමන අභයභූමියයි. මෙය කුමන කුරුළු අභයභූමිය ලෙසද හැඳින්වේ. ලංකාවේ වෙනත් කිසිම පලාතක දක්නට නොමැති කුරුළු විශේෂ ගණනාවක්ම මෙහිදී දක්නට ලැබෙන නිසා මෙය කුරුල්ලන්ටම වෙන්වුණු අභයභූමියක් ලෙසද හඳුනාගත හැක. මෙම අභයභූමිය හඳුන්වන පුවරුවල දැක්වෙන්නේ “කුමන ජාත්‍යන්තර රම්සා තෙත්බිම් සමූහය” (Kumana International Ramsar Wetland Cluster) ලෙසයි. ඉතින් අපි බලමු රම්සා තෙත්බිම් කියන්නේ කුමක්ද කියලත් කොහොමද ඒ වගේ නාමයක් ලැබුණේ කියලත්.

ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් තෙත්බිම් පිළිබඳ රම්සාර් සම්මුතිය යනු ජලජ පක්ෂීන්ගේ ජනාවාස ලෙස හැඳින්වෙන තෙත්බිම් සංරක්ෂණය හා ඒවා තිරසාර ලෙස භාවිතය සඳහා වන ජාත්‍යන්තර ගිවිසුමකි. එය තෙත්බිම් සම්මුතිය ලෙසද හැඳින්වේ. 1971 පෙබරවාරි 2 දින මෙම සම්මුතිය මුල්වරට අත්සන් කරන ලද්දේ ඉරානයේ රාම්සාර් නගරයේ නිසා මෙම සම්මුතිය එනමින් හඳුන්වන ලදී. තවද මෙම දිනය ලෝක තෙත්බිම් දිනය ලෙස ද වාර්ෂිකව දැන් සමරනු ලැබේ. ශ්‍රී ලංකාව මෙම සම්මුතියට අත්සන් කරන ලද්දේ 1990 ඔක්තෝබර් 15 දින දීය.


1971 දී ඉරානයේ පැවති මුල්ම තෙත්බිම් සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව

රම්සාර් සම්මුතියට අනුව ශ්‍රී ලංකාවේ සංරක්ෂිත තෙත්බිම් 6 ක් දැනට හඳුනාගෙන ඇත. 
 
ශ්‍රී ලංකාවේ පිහිටි රම්සා තෙත්බිම් 6 මෙසේයි.

·බුන්දල - ලංකාවේ පළමු රම්සා තෙත්බිම.(1990 දී)
·ආනවිලුන්දාව - දෙවන රම්සා තෙත්බිම.(2001 දී)
·මාදුගඟ අභයභූමිය - තුන්වන රම්සා තෙත්බිම.(2003 දී)
·මන්නාරම වාන්කාලේ අභයභූමිය - හතරවන රම්සා තෙත්බිම.(2010 දී)
·කුමන-පානම අභයභූමිය - පස්වන රම්සා තෙත්බිම.(2010 දී)
·විල්පත්තුව අභයභූමිය - හයවන රම්සා තෙත්බිම.(2013 දී)


ලංකාවේ පිහිටි රම්සා තෙත්බිම් 6


මේ අනුව කුමන අභයභූමිය 2010 දී ලංකාවේ ප්‍රකාශයට පත්කළ පස්වැනි සහ විශාලතම රම්සා තෙත්බිම් සමූහයයි. මෙය ඉහත සඳහන් කළ කරදිය වර්ගයට අයත් තෙත්බිමකි.

කුමන පිහිටීම පිළිබඳව කෙටි විස්තරයක් ද ඉදිරිපත් කළොත් වඩා උචිත යැයි සිතමි. කුමන පිහිටියේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ දකුණු කෙළවර. කුමන අභයභූමිය නිර්මාණය කළේ කොටස් කීපයක් එකතුකිරීමෙනි. යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානය සහ පානම-කුඩුම්බිගල අභයභූමිය එකතු කිරීමෙනි. කුමන අභයභූමිය හෙක්ටෙයාර 35,665 ක් පුරා පැතිර පවතී. එයට නිත්‍යානුකූලව ඇතුළුවීමට නම් ලංකාවේ ඕනෑම දිසාවකින් පළමුව පොතුවිල් වලට පැමිණිය යුතුවේ. ඉන්පසු එතැන් සිට ආරුගම්බේ වෙත පැමිණ ඉන්පසු පානමට පැමිණිය යුතුවේ. කොළඹ සිට කුමනට දුර කිලෝ මීටර් 390 කි. විවෘතව තබන වේලාව උදේ 6 සිට සවස 6 දක්වා පමණි.



මෙහි රතු කවයෙන් ආවරණය වන අළුපැහැයෙන් දක්වා ඇති කොටස සහ ඊට යාබද ලා නිල් පැහැයෙන් දක්වා ඇති කොටස දැන් කුමන අභයභූමියට අයත්වෙයි.


කුමන යාම සඳහා ඇති එකම ගමන් මාර්ගය - ලංකාවේ ඕනෑම පලාතක සිට පොතුවිල්  නගරයට පැමිණ පානම දෙසට ගමන් කළ යුතුය.

පාන්දර 5 ට පමණ කොළඹින් පිටත්වූ අප මඩකලපුව ස්ලෝටර් හවුස් ලේක් පාරේ පිහිටි අපගේ නවාතැනට පැමිණෙන විට සවස 5 ත් පසුවී තිබුණි. එතරම් වේලාවක් ගතවුණේ අතරමගදී පොළොන්නරුව ඓතිහාසික සොමාවතී චෛත්‍යය ද වැඳපුදාගත් නිසාය. නවාතැනේ සේවකයින් විසින් පිළියෙළ කරන ලද ප්‍රණීත රාත්‍රී ආහාරය ලබාගැනීමෙන් පසු නින්දට පිවිසි අප පසුවදා පාන්දරින්ම අවදිවූයේ කුමන ගමනට සූදානම් වීම සඳහාය.

ජංගම දුරකථන වලට යොදා තිබූ Google Map යෙදුම භාවිතා කරනවිට දැකගත හැකිවූයේ මඩකලපුවේ සිට කුමන අභයභූමි පිවිසුමට ඇති දුර කිලෝමීටර් 165 ක් වන බවයි. එය සුළුපටු දුරක් නොවේ. නමුත් යායුතුම විය.

මඩකලපුවේ සිට ආරුගම්බේ දක්වා මාර්ගය සුපිරි තත්වයේය. අපි මේසා විශාල දුරක් පසුකරගෙන යනවිට අප මෙයට කලින් අසා ඇති නමගිය නගර කීපයක් හමුවිය. ඒවා අපේ මතකයේ රැඳී ඇත්තේ ඊළාම් යුද්ධයේ ප්‍රවෘත්ති වාර්තා නිසාය. නැතහොත් පාස්කු ප්‍රහාරයේ වාර්තා නිසාය. ඒවා නම්, කල්ලඩි පාලම, කාත්තන්කුඩි, කුරුක්කල් මඩම්, කලවංචිකුඩි, පන්දිරිප්පු, කල්මුනේ, සයින්දමරුදු, කාරතිව් , ඔලුවිල්, අඩ්ඩාලචේනෙයි, අක්රෙයිපත්තු, තිරුක්කෝවිල්, විනයාගපුරම්, සන්ගමන්කන්ද, පොතුවිල් ආදියයි.

කුමනට යාම සඳහා ආරුගම්බේ සිට මුලින්ම කිලෝමීටර් 17 ක් මගගෙවා පානම-කුඹුක්කන පාර පිවිසුමට පැමිණිය යුතුය. මෙම මාර්ගයද කාපට් අතුරා ඉතා හොඳ තත්වයේ ඇති මාර්ගයකි.

පානම-කුඹුක්කන පාරට හැරෙන හන්දියේ කුමන අභයභූමිය පිළිබඳ ප්‍රචාරක පුවරුවක් ඉදිකර තිබේ. එහි කුමන පිවිසුමට එතැන් සිට දුර කිලෝමීටර් 16 ක් ලෙස දක්වා ඇත. 


පානම-කුඹුක්කන පාරට හැරෙන මංසන්දිය

මෙම මාර්ගය ඉතා අබලන් තත්වයේ පවතී. කෙතරම් හොඳ තත්වයේ වාහනයකට වුණත් මෙම මාර්ගයේ යාම ඉතා අපහසුය. එතැන මගීන් නොමැති සෆාරි ජීප් රථයක් ඒ අවස්නොථාවේ එතැන නොතිබූ නිසා අප තීරණය කළේ අප ගිය වාහනයෙන්ම කුමන පිවිසුම් දොරටුව වෙත යාමයි. ගමන අපහසු වුණත් අවට ඇති පරිසරයේ සුන්දරත්වය නිසාම ගමනේ වෙහෙස අපට එතරම් නොදැණුනි. අපි මුලින්ම ගමන් ගත්තේ පානම-කුඩුම්බිගල අභය භූමිය මැදින්ය. පානම අභයභූමිය අවසන් වනවාත් සමග විශාල පුරන්වී ගිය කුඹුරුයායක් අපට හමුවිය. මෙම කුඹුරුයාය පසුකළවිට අප ළඟාවූයේ කුමන අභයභූමියේ සීමාවටය. මගදී ඈත ගල්තලාවක් මත පිහිටි කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය දුටුවෙමු. මෙම සීමාවේ සිට අභයභූමිය තුලට තවත් කිලෝමීටර් 3 ක් පමණ ගමන් කරන විට අප මෙතෙක් වේලා බලාපොරොත්තුව සිටි කුමන පිවිසුම් දොරටුවට ළඟාවුණි.


කුඩුම්බිගල ආරණ්‍යය සේනාසනයට පිවිසෙන අතුරු මග. ඈත වනයේ ගිරිකුලක් සේ උඩට එසවී පෙනෙන්නේ මෙම සෙනසුන පිහිටි පර්වතයයි.

පිවිසුම් දොරටුවේදී ද මගීන් නොමැති සෆාරි ජීප් රථයක් ලබාගැනීමට අපිට නොහැකි විය. ජංගම දුරකථන ඇමතුමකින් වෙනත් සෆාරි ජීප් රථයක් අප අසලටම ගෙන්වා ගැනීමට අපට සිදුවිය.


කුමන අභයභූමි පිවිසුම

පිවිසුමේදී ජීප් රථයට සංචාරක මග පෙන්වන්නෙකු ද ගොඩවිය. කුරුල්ලන්ගේම පාරාදීසයක් ලෙස නම්දරා තිබූ මෙම කුමන අභයභූමියේදී ලංකාවේ ජීවත්වන පක්ෂීන් වර්ග 400 න් 255 ක්ම ඔබට දැකබලා ගත හැකිය. ඒ වගේම අප්‍රේල් සිට ජූලි මාසය දක්වා විවිධ රටවලින් පැමිණෙන සංචාරක ජලජ පක්ෂීන් විශේෂ 35 ක් පමණ ද මෙහිදී දැකගත හැකිය. ඔවුන්ගේ ආහාර ගබාඩව සහ විවේකී ස්ථනය වන්නේ ද මෙම කුරුළු පාරාදීසයයි. එසේම ඇතැම් පක්ෂීන් තම වර්ගයා බෝ කිරීම සහ කූඩු සෑදීමට තෝරාගන්නේ ද මෙම ස්ථානයයි.

කුරුල්ලන් පමණක් නොව අභයභූමියකදී දැකගත හැකි සියළුම සතුන් පවා දැකගැනීමේ වාසනාව අපට හිමිවිය. කුළුමීමුන්, වල් ඌරන්, මුවන්, ගෝනුන්, අලි ඇතුන්, කිඹුලුන් පමණක් නොව දැකගැනීමට දුර්ලභ සතෙකු වූ කොටියෙක්වද අපට දැකගැනීමට ලැබුණි.

කැළය තුලට මද දුරක් යනවිට විල්ලුවක් අද්දර නැරඹුම් අට්ටාලයක් ද ඉදිකර තිබුණි. මහල් හතරකින් සමන්විත මෙම අට්ටාලය මතට නැගගත්විට අවට කිලෝමීටර් ගණනාවක් දුර දර්ශන පැහැදිලිව බලාගත හැකිය. එසේ බලන විට අපේ ගමනේ මෙතෙක් දැකගැනීමට නොලැබුණු සත්වයෙක් ඉතා ඈත තණ පිටියක සිටිනු දැකගැනීමට ලැබුණා. ඒ අලින් තුන්දෙනෙකි.

මෙම අට්ටාලය අසලදී, තවත් විශේෂ ස්ථානයක් අපට දැකගැනීමට ලැබුණේ මගපෙන්වන්නා විසින් ඒ පිළිබඳව විස්තර කළ නිසාය. ඔහු අපට ඉදිරියෙන් ඈත ඝන වනාන්තරය දෙසට අත දිග් කරමින් පොල් ගස් කීපයක් සහිත ස්ථානයක් අපට පෙන්වීය. ඔහු අපූරු විස්තරයක් ද ඒ පිළිබඳව එළි කළේය. වසර ගණනාවකට පෙර ඒ ස්ථානය ගම්මානයක් බවත්, එහි ජීවත්වූයේ ඌව වෙල්ලස්ස සටනින් ජීවිතය බේරාගෙන කැලෑවැදී සැඟවී ජීවත්වූ ජන කොට්ඨාශයක් බවත්ය. 
 
මේ ගමනින් පසුව මේ පිළිබඳව හොඳින් දන්නා මිතුරන් දෙදෙනෙකුගෙන් මෙහි ඇත්ත නැත්ත විපරම් කර බැලී මට සිත්විය. එහිදී සත්‍යය සිදුවීම සොයාගත හැකිවිය. මෙම ගම්මානයේ නම කුමනගමයි. එහි ජීවත්ව සිට ඇත්තේ කලින් දැක්වූ ආකාරයට 1817 දී ඌව වෙල්ලස්ස සටනින් පසුබැස පලාගිය ජන සමූහයකි. වසර 200 කටත් වැඩි කාලයක් තිස්සේ ඔවුන්ගේ පරම්පරා කීපයක් මෙහි ජීවත්ව සිට ඇත. අවට ප්‍රදේශය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කළ පසුත් ඔවුහු  මෙහි ජීවත්ව සිටියහ. අභය භූමියක ජනවාස ඉදිවිය නොහැකි බැවින් ඔවුන් ගම හැරදා යායුතුව තිබුණත් එවක පැවති රජයට එය බලය යොදා කළ නොහැකිව තිබුණේ ඔවුන් වසර ගණනාවක්ම එහි පදිංචිව සිට ඇති නිසාය. එම නිසා ඔවුන්ට එහි විසීමට අවසර දීමට රජයට සිදුවිය. නමුත් අනපේක්ෂිත සිද්ධියක් එම ජනතාවට එරෙහිව ක්‍රියාත්මක විය. ඒ ඊළාම් යුද්ධය පැවති සමයේ සිංහල ගම්මාන වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා කොටි ත්‍රස්තයන් යාල සහ කුමන අභයභූමියට ඇතුළුවී සිටීමයි. මහ කැළයේ හුදකළා ගම්මානයක් වූ කුමනගමට හමුදා ආරක්ෂාව ලබාදීමට රජයට සිදුවිය. කොටි අවදානම වැඩිවෙත්ම ගම්මානයේ මිනිසුන් තම ජීවිත ආරක්ෂාව පතා ගම්මානය හැරදා යාමට තීරණය කළහ. ඔවුන් ඒ පිළිබඳ ස්ථාවරය රජයට දැන්වීය. මේ අනුව රජය විසින් ඔවුන්ව එම ගම්මානයෙන් ඉවත්කොට මහවැලි ව්‍යාපාරයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන් වගා ඉඩම් ලබාදී එහි පදිංචි කරවූ බව කියවේ.

දැනට එහි ගම්මානයක් තිබූ බවට ඇති එක් සාක්ෂියක් වන්නේ  මිනිසුන් විසින්ම වගා කර ඇති පොල් ගස් කීපයයි. මගේ මිතුරෙකු රූපවාහිනී වැඩසටහනක් (සැරිසර) පටිගත කිරීම සඳහා පැමිණි අවස්ථාවක අත් හැරදා ගිය එම ගම්මානය තුලටම ගොස් තිබේ. ඔහු පැවසූවේ මිනිසුන් පදිංචිව සිටි එම ගම්මානයේ තවමත් නටබුන් වී ගිය ගෙවල් දොරවල් තමා දුටු බවයි.

තවත් ඉදිරියට ගිය අපට කලින් අට්ටාලය උඩදී දැකගත් අලින් තුන්දෙනා සමීපයට යාමට අවස්ථාවක් ලැබුණි. මේ අලින් තුන්දෙනා සිටි ස්ථානය ඉතාමත් දර්ශනීය ස්ථානයකි. 

මෙම ස්ථානය පමණක් නොව මේ මුළු අභයභූමිය පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතු යමක් ඇත. මා දැක ඇති පරිදි ලංකාවේ සියළුම අභයභූමි වලට වඩා ඉතාමත් සුන්දර හා දර්ශනීය වටපිටාවක් සහිත හා මිනිසාගෙන් කිලිටි නොවූ එකම අභයභූමිය කුමන යි. අනෙක් විශේෂත්වය වන්නේ සියළුම සතුන් උපරිමව ජීවිතය විඳින බව හැඟෙයි. අපි දැකගත් අලියා අති විශාල විල්ලුවක් මැද තමනට රිසි ලෙස තණ කොළ බුදියි. ඌට මිනිසාගෙන් කිසිදු තර්ජනයක් නොමැත. ඌ අසල තනියට දෝ කොක්කු රෑනක් ඉන්නවා අපිට පෙණුනි. 

නිදහසේ ජීවිතය ගෙවන අලි ඇතුන්

කුළු මීමුන් සහ දෙස් විදෙස් ජලජ පක්ෂීන් තම තමන්ගේ ලෝකවල කිසිදු බාහිර තර්ජනයකට බිය නොවී, උපරිම නිදහස් සුවය විඳිති. මේ විදියට සතුන් හැසිරෙනවා මං වෙනත් අභයභූමිවල දැක නැත.
 
කිඹුලන්

ලතුවැකියා නම් කුරුළු විශේෂය

දැඩි අව් රශ්මියෙන් බේරීමට කුළු මීමුන් නිතරම මඩේ ලගියි.

අහිංසක මුව පොව්වන් කැලෑ පඳුරු අසල නිතර  දක්නට ලැබෙයි.

බොහෝ විට දක්නට ලැබෙන සත්වයෙකි වල් ඌරා

මහ වනාන්තරය මැදින් දිවයන තෙරක් නොපෙනෙන මාර්ග

අප ගමන් ගත් මාර්ගයෙන් කඩිමුඩියේ ඉවත්වන ලතුවැකියෙක්


එසේම මෙතෙක් අභයභූමියේ නොඉඳුල් බව හා ආරක්ෂාව පවත්වාගැනීමට තවත් ප්‍රබල හේතු කීපයක් බලපා ඇතිබව පෙනේ. එකක් නම් මෙම භූමිය අධි රක්ෂිත අභයභූමියක් බවට ප්‍රකාශයට පත්කිරීමයි. අනෙක වෙනත් අභයභූමියක නැති ස්වභාවික භූගෝලීය ආරක්ෂාවක් තිබීමයි. එනම් අභයභූමියේ නැගෙනහිර මායිමෙන් විශාල කොටසක් මුහුදින් ආරක්ෂාවීමයි. අනෙක් මායිම කුඹුක්කන් ඔයින් වෙන්වීමයි. මේ නිසා කුඹුක්කන් ඔයට එපිටින් පිහිටි යාල කැලයේ සිට සතුන්ට හෝ මිනිසුන්ට පහසුවෙන් කුමනට පිවිසීමට නොහැකිය.

කුරුල්ලන් නිරීක්ෂණය (Bird Watching) කිරීමට කැමති විදෙස් සංචාරකයින් විශාල පිරිසක් අවුරුදු පතා කුමන වෙත පැමිණෙන්නේ මෙම අභයභූමිය ලොව පුරා මහත් ප්‍රසිද්ධියක් ලබා ඇති නිසාය. අනෙක් කරුණ වන්නේ දැනට ලෝකයේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ කීපයකගේ වාසස්ථාන හා බෝවීමේ ස්ථානය කුමන බවට පත්වීමයි. උදාහරණයක් ලෙස පහත දක්වා ඇති කැස්බෑ වර්ග තුනක් සඳහන් කළ හැකිය.

1. Green Turtle (Chelonia mydas)

2. Loggerhead Turtle (Caretta caretta)

3. Olive Ridley Turtle (Lepidochelys olivaceae)

කුමන ජීවත්වන වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අනෙක් සත්ව විශේෂ

1. Mugger Crocodile (Crocodylus palustris) - කිඹුල් වර්ගයක්

2. Lesser Adjutant (Leptoptilus javanicus) - කුරුළු වර්ගයක්


3. Fishing Cat (Prionailurus viverrinus) - කැළෑ බළල්  වර්ගයක්

සෆාරි සංචාරයේ ගමනාන්තය වූයේ කුඹුක්කන් ඔය දක්වා පැමිණීමයි. කුඹුක්කන් ඔය අසලදී රථයෙන් බැසගත් අපිට සුළු විවේකයක් ලැබුණි. එම ස්ථානය අසල කුඩා කැබිලිත්ත දේවාලය පිහිටා තිබුණි. සංචාරකයින් මෙන්ම වන්දනා කරුවන්ද මෙම දේවාලයට පුද පඬුරු පූජාකරති. දේවාලයේ කපු මහතා ඇතුළු පිරිසක් මුරුතැන් පූජාව සකස් කරමින් සිටියහ. මා ඔවුන්ගෙන් අසා දැනගත් පරිදි මේ වනවිට මහත් ප්‍රසිද්ධියක් උසුලන මහ කැබිලිත්ත දේවාලය පිහිටියේ මෙතැන් සිට තවත් කිලෝමීටර් ගණනාවක් කැලය තුලය. මහ කැබිලිත්ත දේවාලයට යාමට වෙනත් මාර්ගයක් ද ඇති බව මම පසුව දැනගත්තෙමි. ඇතැම් වන්දනාකරුවෝ කුඹුක්කන් ඔයෙන් ස්නානය කරගෙන මෙම ස්ථානයේ දිවා ආහාරය උයා පිහාගෙන අනුභව කරති. වසරකට වරක් යාපනයේ සිට සහ ඇතැම් විට ඉන්දියාවේ සිට කතරගම දක්වා පා ගමනින් හෙවත් පාද යාත්‍රාවේ යෙදෙන හින්දු බැතිමතුන් මෙම ස්ථානයෙන් කුඹුක්කන් ඔයට බැස යාල අභයභූමියට එතෙරවන බව දැනගතිමි. 

ආපසු පැමිණීමේදී අභයභූමිය තුලදී විරල දසුනක් දැකගත හැකිවිය. ඒ ඉතාමත් ළඟින් දිවියෙකු දැකීමයි. ඌ කිසියම් ගොදුරක් කා දමා ඇති නිසාදෝ වැඩි කලබලයක් නොමැතිව පඳුරක් යට ගිමන් හරිනු දක්නට ලැබුණි. අප ගමන්ගත් සෆාරි ජීප්රථය ඌ අසලටම ගමන්කර රථයේ ඇන්ජිම ටික වේලාවක් නතර කර තැබූයෙන් රිසි ලෙස ඡායාරූප ගැනීමට අපට හැකිවිය. අප සිටින තැනින් වම්පස ඈත මුව රංචුවක් කෙළි දෙලෙන් සිටිනු පෙනුණි. උන්ට දිවියාගෙන් හානියක් නැති බව පෙනේ. මෙවැනි ගමනකදී දිවියෙකු දැකබලා ගැනීම දුලබ සිදුවීමක් නිසා එය අපේ වාසනාවක් ලෙස අපි සිතුවෙමු.

ගස් පඳුරක් යට ගිමන් හරින දිවියා.

ආපසු යළි පිවිසුම් දොරටුව වෙත පැමිණ සෆාරි ජීප් රථයේ රියැදුරුට සමුදුන් අපි අපේ වාහන වලට ගොඩවී නැවතත් දුෂ්කර ආපසු ගමනකට සූදානම් වීමු. රාත්‍රී නවාතැන්පලට පැමිණි විට නවාතැන් භාර සේවකයින් විසින් නැවතත් ප්‍රණීත ආහාරයකින් අපට සංග්‍රහ කරන ලදී. ඊට පසුදා අපි ආපසු නිවෙස් බලා පිටත්වූයෙමු.

කිසි දිනක අමතක නොවන සුන්දර මතකයන් ගොන්නක් මේ සංචාරයේදී අපට එකතුවී තිබුණි. ඔබත් කුමන යනවා නම් එයට පෙර ඒ සඳහා හොඳින් සූදානම් වීමට අවශ්‍ය කරුණු මේ සටහනින් ඔබට ලබාගැනීමට හැකිබව මගේ විශ්වාසයයි.

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...