Saturday, September 29, 2018

Lenin Amarawickrama - Passed Away - ලෙනින් අමරවික්‍රම අවසන් ගමන් යයි


2018-09-29 දින අවසන් ගමන් ගිය ප්‍රවීන මාධ්‍යවේදී ලෙනින් අමරවික්‍රම


පසුගිය 27 දා සවස ලෙනින් අමරවික්‍රම සහෝදරයා හදිසි හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 60 කි. ජීවිතය නැතිවන්නට මාස 6 කට පමණ පෙර ඔහු රූපවාහිනී සංස්ථාවේ මගේ කාර්යාල මේසය ඉදිරිපිට මා සමග කතාකරමින් සිටියේය. ඔහු බෝහෝවිට මා හමුවන්නට ආවේ ඔහු ලියූ නවකථාවක, වාර්තා පොතක හෝ ළමා කතා කතන්දර පොතක පිටකවරය මා ලවා සිතුවම් කරගැනීමටය. මේ නිසා ලෙනින් අතින් ලියූ අවසන් පොත් කීපයේ නිර්මාණ කාර්යයන් සඳහා මට දායකවීමට ලැබීම ගැන සතුටක් ඇතිවේ. ඒ පොත් අතර ලින්කන් සහ ලෙනින් (අළුත් මුද්‍රණය), නොකැඩුණු ලියමන, ශ්‍රී ලංකාවේ අවාහ හා විවාහ, ඉන්දු ලංකා සාම ගිවිසුම කැපී පෙනෙයි. මා ඔහුට අවසන් වරට පොත් කවරයක් ඇඳ දුන්නේ මල් පාට වුණු හැටි නම් ළමා කතාවටය. මේ අනුව ඔහු ලියූ අවසන් පොත එය විය හැකියි. එම පොත මුද්‍රණය වූවාදැයි මම නොදනිමි.


ලින්කන් සහ ලෙනින් - මෙහි පසුව කළ මුද්‍රණයේදී 
මා ඇඳි සිතුවම පොත්කවරයට ගන්නා ලදී.


නොකැඩුණු ලියමන - මෙහි කවරයේ සිතුවම
මා විසිනි.




ශ්‍රී ලංකාවේ අවාහ විවාහ - මෙහි කවරයේ සිතුවම

මා විසිනි.




මල් පාට වුණු හැටි - මෙහි කවරයේ සිතුවම


මා විසිනි.


ඔහු මා හමුවීමට ආවේ ගුවන් විදුලි සංස්ථාවේ සිටය. ඒ ඔහු කොන්ත්‍රාත් පදනම යටතේ ගුවන්විදුලි ප්‍රවෘත්ති සංස්කාරක වරයෙකු ලෙස සේවයේ යෙදී සිටි ස්ථානයේ සිටය. නමුත් ඔහු මීට පෙර රූපවාහිනී සංස්ථාවේ වසර 12ක කාලයක් සේවය කොට ඉන් ඉවත්ව ගොස් තිබුණි.

අවසන් වරට මා ඔහු හමුවීමෙන් පසු දිගු කලක් ඔහු දක්නට සිටියේ නැත. ඔහුගේ දුරකථනයත් ක්‍රියා විරහිත වී තිබිණි. ඔහුගේ ස්ථිර වාසස්ථානය කොහිදැයි මා දැන සිටියේ නැත. ඔහු අවසන් වරට සේවය කළ ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති කාමරයෙනුත් මා ඔහු පිළිබඳව විමසුවත් පිළිතුර වූයේ ඔහු එම ස්ථානයටද දිගු කලක් නොපැමිණි බවය. ඔහු පිළිබඳ මතකය ටිකෙන් ටික වියැකී යද්දී හදිසියේ අසන්නට ලැබුණේ ඔහුගේ මරණය පිළිබඳව වූ ශෝක ජනක පුවතය.

1958 පෙබරවාරි 25 වෙනිදා දිය බිබිලේ, මැටිපිඹියේගම නම් ග්‍රාමයේ දී උපත ලැබූ ලෙනින් අමරවික්‍රමගේ පියා වූයේ ලිපිකරුවෙකු වූ ලයනල් අමරවික්‍රමයි. මව අසන්දි මිත්‍රා ඒකනායක යි. ලෙනින්ගේ පවුලේ සියළුදෙනා පමුණුගම නුගපේ ප්‍රදේශයට සංක්‍රමණය වූයේ ලෙනින් කුඩා කාලේදීමය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ පුත්තලම සාන්ත ඇන්ඩෘ විද්‍යාලයෙනි. පියාගේ රැකියාවට අනුව ඔහුට රටේ එහෙ මෙහෙ යෑමට සිදුවිය. අනතුරුව ද්විතීයික අධ්‍යාපනය අනුරාධපුර මධ්‍ය මහා විදුහලෙන් ලැබීය.  සාමාන්‍ය පෙළ හැදෑරීම සඳහා ඔහුට 1974 දී ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලට ඇතුලත් වීමට සිදුවිය. එහි විද්‍යා ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයත්, පාසල් නාට්‍ය සංගමයේ සභාපති ධූරයත් ඔහුට ලැබිණ. විවාද කණ්ඩායමේ නායකයා ලෙසත් ක්‍රියා කළේය. පාසල් කාලයේදීම එනම් 1979 දී සර්වෝදය සඟරාවේ සංස්කාරකවරයෙකු ලෙස දායක විය. ආචාර්ය තිලෝක සුන්දරී කාරියවසම් මහත්මියගෙන් ළමා සාහිත්‍ය ලිවීම පිළිබඳව මනා පුහුණුවක් ලබාගත්තේය. 1980 දී එම පාසලෙන්ම උසස් පෙළ විභාගයට පෙනී සිටීයේය. පාසැල් දිවියෙන් පසු ලෙනින් ගල්කිස්ස විජයරත්නපාර පෙදෙසෙහි නිවසක නතර වූයේ ඔහුට කොළඹින් ලැබුණු නව රැකියාවට යාමට පහසු වනු පිණිසය. 1981 දී ලේක්හවුස් ආයතනයේ (යොවුන් ජනතා පුවත්පතට) නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස තම පෑන මෙහෙය වීමෙන් ලෙනින් අමරවික්‍රම මාධ්‍ය ලෝකයට අවතීර්ණ විය.

ඉන්පසු ඔහු නතර වූයේ (1982 දී) ශ්‍රී ලංකා ගුවන් විදුලියේය. එහි ප්‍රවෘත්ති අංශයේ පුහුණුවන මාධ්‍යවේදී තනතුර ඔහුට ලැබිණ. ගුවන් විදුලි ප්‍රවෘත්ති සංස්කරණය හා වාර්තාකරණය පිළිබඳ පුහුණවක් ලත් හෙතෙම විශේෂ වාර්තාකරුවෙකු බවට පත්විය. තරුණ වියේදීම මාධ්‍ය ක්ෂේත්‍රයට බැඳුනු නිසා කෙටි කලකින් ජනමාධ්‍යය ක්ෂේත්‍රය පිළිබඳ මනා පරිචයක් ලබාගත්තේය. 1983 දී ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් විය. එම පරීක්ෂණයෙන් සමත් වූ ඔහු 1983-10-03 දින රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ පුහුණුවන නිෂ්පාදන සහකාරවරයෙකු ලෙස වැඩ බාරගත්තේය. පසුව 1989 දී ප්‍රවෘත්ති අංශයේ ස්ථිර නිෂ්පාදකයෙකු බවට පත්විය.



ලෙනින් අමරවික්‍රම රූපවාහිනී ප්‍රවෘත්ති කාමරයේදී (වමේ) - මෙහි දකුණින් සිටින්නේ අහමඩ් අයුබ්ය. අයුබ්ට පසුපසින් සිටින්නේ සකුලි හෙවත් සමන් කුමාර ලියනගේ ය.




ලෙනින් අමරවික්‍රම රූපවාහිනී ප්‍රවෘත්ති මැදිරියේදී - ඔහුට සහාය වන්නේ එස්.ඒ. සුමිත්ය.




1989 වසර ඔහුගේ ජීවිතයේ වැදගත් සංදිස්ථානයකි. ඒ ඔහුගේ විවාහය සිදුවූ වසරයි. ඔහුගේ අතිනත ගත්තේ ප්‍රියන්ති ද සිල්වා යි. ඉක්මණින්ම දියණියන් දෙදෙනෙකුගේ සුරතල් බැලීමට ඔවුන් වාසනාවන්ත වූහ.

1990 හා 1994 වසරවල හේ මැලේසියාවේ දී ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ මනා පුහුණුවක් ලබාගත්තේය. 1993 දී ජපානයේ එන්.එච්.කේ. ආයතනයේ පැවති ඒෂියා විෂන් සම්බන්ධීකරණ සමුළුවේ ජාතික රූපවාහිනිය නියෝජනය කළේ ලෙනින්ය. වසර 12ක් සේවය කිරීමෙන් පසු 1995-08-15 දින ඔහු රූපවාහිනියෙන් ඉල්ලා අස්විය.

මේ කාලයේදී ඔහු එතෙර විත්ති මෙතෙර ඇසින් යන පොත ද, රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය නම් පොත ද සම්පාදනය කළේය. රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය පොත අද විශ්ව විද්‍යාලවල ජනමාධ්‍ය විෂය හදාරන ශිෂ්‍යයින්ට නිර්දේශිත පොතක් ලෙස වර්ගීකරණය කර තිබේ.

ඉන්පසු සිරස මාධ්‍ය ජාලයේ එම්.ටී.වී. ප්‍රවෘත්ති මැදිරියේ ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙකු ලෙස සේවයට එක්වුණි. එම ආයතනයේ අවුරුදු 8ක සේවයෙන් පසු රවී කරුණානායක අමාත්‍යවරයාගේ මාධ්‍ය කළමනාකරු ලෙස අවුරුදු 2ක් සේවය කළේය.‍ ඔහු ඒ කාලයේ පදිංචිවී සිටියේ කොම්පඥඥ්වීදියේ ඩබ්.ඒ.ඩී. රාමනායක මාවතේය.

2013 වසරේදී සේවයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව ඔහු නැවතත් තම මුල් මාධ්‍ය නිවහනක් වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට පැමිණියේය. ඒ කොන්ත්‍රාත් පදනම යටතේ ප්‍රවෘත්ති සංස්කාරවරයෙකු ලෙස සේවය කිරීමටය. ඔහු මා හමුවීමට විටින් විට පැමිණියේ මේ කාලය තුලය. යම් වියපත් බවක් ඔහුගෙන් දිස්විය. ජීවත් වීමට අමතර ආදායමක් ලබාගැනීමට සිතූ නිසාදෝ ඔහු විවිධ වර්ගයේ ලේඛන කලාවට අත ගැසීය. විටෙක පර්යේෂණ ග්‍රන්ථ ලිවීය. විටෙක ළමා කතන්දර ලීවේය. ඔහු ලියූ බොහෝ පොත්පත් වලට මුද්‍රණයෙන් අතහිත දුන්නේ ඔහුගේ කුළුපග මිතුරෙක් බවට පත්ව සිටි විජිත යාපා මහතාය. චිත්‍රපටයකට කතාවක් ලිවීමට ඔහුට අවශ්‍යයි කියා වරක් මා සමග පැවසීය. නමුත් ඔහුට එය නිමකර ගැනීමට නොහැකි විය. ඔහු යම්කිසි රෝගී තත්වකින් පෙළෙන බව මට අවබෝධ විය. ඇදුම ආශ්‍රීත රෝගයකින් පෙළුණු ඔහු ඒ සඳහා බෙහෙත් ගන්නා බවත් බෙහෙත් මිලදී ගැනීම සඳහා විජිත යාපා මහතා උදව් කර ඇති බවත් ඔහු දිනක් මා සමග පැවසීය.

ඔහු අවසන් වරට මා හමුවීමට පැමිණියේ ඔහු වෙනුවෙන් මා ඇඳි පොත් කවරයක සුළු නිවැරදි කිරීමක් කරගැනීමටය. ඉන්පසු ඔහු පිලිබඳ සළකුණක්වත් මට ලබාගත නොහැකි විය.  ඉතාම අහිංසක මනුස්සකමින් පිරිපුන් පුද්ගලයෙකු වූ ඔහුගේ නිහැඬියාව මට මහත් ප්‍රහේළිකාවක් විය.

ඒ වගේම හදිසියේ කණ වැකුණු ඔහුගේ මරණය පිළිබඳ ආරංචියත් මට මහත් කම්පාවක් ගෙන ආවේය. මෙතෙක් පුංචි බොරැල්ලේ ලංකා මල් ශාලාවේ තැන්පත් කෙරුණු දේහය අද දින සවස බොරැල්ල කනත්තේදී අදාහනය කෙරෙනු ඇති.



ඔහුට අජරාමර නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනය කරමි.
2018-09-29

ඔහුගේ නිවසේ ලිපිනය -56 B,14, ගල්වල දෙනිය පාර, ග්‍රීන් වැලි, 2 පටුමග, මත්තෙගොඩ.