Tuesday, March 26, 2019

Abeywardena Balasooriya - 9 වසරකට පෙර අපෙන් සමුගත් අබේවර්ධන බාලසූරිය

අදින් වසර 9 කට පෙර අපෙන් සමුගත් රූපවාහිනියේ නන්දන වින්දන නිර්මාතෘවර අබේවර්ධන බාලසූරිය






1982 දී ආරම්භ කළ ශ්‍රී ලංකාවේ දෙවෙනි රූපවාහිනී නාලිකාවේ (ජාතික රූපවාහිනියේ) ආරම්භක යුගයේ වැඩසටහන් වල අතිශය ජනප්‍රිය වූ සංගීත වැඩසටහනකි “නන්දන වින්දන. එය විකාශය වූයේ සෑම ඉරිදාවකම රාත්‍රී 8.30 සිට 9.30 දක්වාය. එය කෙතරම් ජනප්‍රිය වූවා දැයි කියතොත් එක් වැඩසටහනක් නිමවී එය නැවත ආරම්භ වන ඊළඟ ඉරුදින එනතෙක් රසිකයෝ ඇඟිලි ගනිමින් සිටියහ. සෑම නිවසකම රූපවාහිනී යන්ත්‍ර නොතිබූ ඒ යුගයේ එවැනි යන්ත්‍රයක් ඇති නිවසකට ඉරුදින සවස් යාමයේ අවට නිවැසියන් රැස්වන්නේ නන්දන වින්දන නැරඹීමටය. ඒසා තරම් එය ජනප්‍රිය වීමට හේතු කීපයක් බලපෑවේය. ඒ යුගයේ ලංකාවටම නාළිකා 2 ක් පමණක් තිබීමත් ජාතික නාළිකාවේ විකාශ පරාසය ලංකාවේ සෑම පළාතක්ම ආවරණයවීමත් එක් හේතුවකි. වඩාත්ම බලපෑ හේතුව එය නොවේ. මෙතෙක් කලක් ගුවන් විදුලියෙන් පමණක් ගායක ගායිකාවන්ගේ ගීත ශ්‍රවණය කළ (බොහෝ) සුවහසක් රසික ජනතාවට තම ආදරණීය ගායක ගායිකාවන්ගේ හඬ වගේම ඔවුන්ගේ රූපකායත් ප්‍රථම වරට දැකගැනීමට මෙමගින් අවස්ථාව හිමිවීම ප්‍රධාන හේතුවයි. එළිමහන් සංගීත ප්‍රසංග වලදී ඇතැම් රසිකයින් ඔවුන්ව දැක තිබුණත් බොහෝ අයට මේ අවස්ථාව හිමිව තිබුණේ නැත. උදාහරණයක් ලෙස මා මිල්ටන් මල්ලව ආරච්චි මහතාව පවා මින් පෙර දැක ගත්තේ අපැහැදිලි ලෙස සංගීත ප්‍රසංගයකදී දුරස් රූපයක් ලෙසිනි. 

ජාතික රූපවාහිනිය ආරම්භ කොට ටික කලකට පසුව මෙවැනි වැඩසටහනක් නිර්මාණය කළ යුතු බවට අදහසක් පහළ වූයේ එවකට රූපවාහිනියේ ප්‍රවාහන ඒකකයේ ප්‍රධානියාව සිටි ජනප්‍රිය ගායක අබේවර්ධන බාලසූරිය මහතාටය. නන්දන වින්දන වැඩසටහන මගින් ඉදිරිපත් කළ සෑම ගීතයක්ම එම වැඩසටහන මගින් නැවත විකාශය වූයේ නැති අතර සෑම ඉරිදාවකම රූපගත කළ නැවුම් ගීතයක්ම විකාශය විය. එසේම සෑම ගීතයක් සඳහාම සංගීතය සැපයූවේ එකම සංගීත කණ්ඩායමකි. ඒ සුපර් ස්ටාර්ස් සංගීත කණ්ඩායමයි. මේ නිසා සුපර් ස්ටාර්ස් ද අතිශය ජනප්‍රියත්වයට පත්විය. 

මා මේ කියන්න යන්නේ නන්දන වින්දන නිර්මාතෘ අබේවර්ධන බාලසූරිය මහතා ගැනය. තනතුරු වලින් හිස උදුම්මා නොගත් ඉතා නිහතමානී චරිතයක් වන අබේ අයියා ඔහු යටතේ වැඩකළ සියළු දෙනා ඇමතුවේ මල්ලී කියාය. නන්දන වින්දන නිෂ්පාදනයේදී ඔහුගේ ප්‍රධාන සහායකයා වූයේ ජය ශ්‍රී විජේරත්න යි. මා රූපවාහිනියට ගිය මුල් කාලයේ දී බාලසූරිය මහතා මැදිරි අංක 2 දී නන්දන වින්දන වැඩසටහන නිෂ්පාදනය කරනවා අනන්තවත් දුටිමි. මැදිරිය එකම කඩි ගුලක් සේ දිස්විණ. විශාල පිරිසක් මැදිරිය තුලත්, පාලක මැදිරියේත් එහා මෙහා දුවමින් ක්‍රියාශීලිව වෙහෙසෙයි. කැමරා ශිල්පීන්, පසුතල නිර්මාණ ශිල්පීන්, මැදිරි අලෝකකරණ ශිල්පීන්, ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් එකට අත්වැල් බැඳගනිමින් එකම පවුලක් සේ වැඩකිරීම විශ්මය ජනකය. ඒ උත්සාහයේ අරමුණ ඉහලම රසාස්වාදයෙන් පිරි නිර්මාණයක් ජනගත කිරීමය. 

බාලසූරිය මහතා තම වැඩසටහන තුළින් තමාගේම ක්ෂේත්‍රයේ සහෝදර ගායක ගායිකාවන් බොහෝ දෙනෙකුට අත දුන්නේය. මේ නිසා කිසිදු බේදයකින් තොරව ගායන ලෝකයේ නිහතමානිම මිනිසා බවට පත්වීමට ඔහුට වැඩි කලක් ගියේ නැත. නන්දන වින්දන වලින් නොනැවතුණු ඔහු ප්‍රවීන ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සමග එක්ව අඳුන නම් කාලීන මාතෘකා අඩංගු විවාදාත්මක වැඩසටහන ඉදිරිපත් කළේය. නන්දන වින්දන නිෂ්පාදනය කිරීම තම සහායක ජය ශ්‍රී ට බාරදුන් ඔහු රූපවාහිනියෙන් සමුගෙන ගොස් නිහඬ දිවියක් ගත කළ ද තම සුපුරුදු ගායන දිවිය නතර කළේ නැත. 2010 වසරේ මාර්තු මස 26 දින සුවහසක් රසික රසිකාවියන්ගේ නෙතට කඳුලක් එක් කරමින් ඔහු හදිසියේ අභාවප්‍රාප්ත විය. ඔහුට අජරාමර නිවන් සුව අත්වේවායි පතමු. 

අසමසම කටහඬක් හිමි අබේවර්ධන බාලසූරිය නම් ලයාන්විතයාගේ ගීත පිළිබඳ ව විවරණය කරමින් මාධ්‍යවේදිනි සුලෝචනා වික්‍රමසිංහ විසින් එතුමාගේ පළමු සංවත්සර දින එනම් 2011/03/26 දින දිවයින පත්‍රයට ලියන ලද මනරම් ලිපියක් ඔහුට ගෞරව පිණිස මතු උපුටා දැක්වේ. 

..................................................... 

අබේවර්ධන බාලසූරිය බිහි වූයේ අතිශයින් ආඨ්‍ය සංස්‌කාතික වටපිටාවකය. එය අපගේ වාසනාවකි. මන්ද එම යුගයෙහි ඔහු බිහි නොවන්නට මෙවැනි මතක සංග්‍රහයක්‌ කිසි දින අපෙන් නොලියවීමට ඉඩ තිබූ බැවිනි. අබේවර්ධන බාලසූරියගේ චන්ද්‍ර ස්‌වරය සුපහන්ය. සංවේදීය. ඝෝෂාකාරී ගීත ඔහුගේ මුවින් කිසිදින ගායනා නොවීය. ඔහුටම හිමි හඬ පරාසයක්‌ තුළ ඔහුටම අනන්‍ය වූ ගායනා ශෛලියක්‌ ගොඩනඟා ගැනීමට ඔහුට හැකියාවක්‌ තිබිණි. ඔහුගේ ගීත සමුදාය ඔහුට පමණක්‌ ආලෝකයක්‌ නොවීය. එය එම ගීත සඳහා දායක වූ සෙසු නිර්මාණ ශිල්පීන් හටද ආලෝකයක්‌ම විය. ඔහුගේ ගායන දිවියෙහි පමණක්‌ නොව ජීවිත ගමනෙහිද සහකාරිය වූ නිරංජලා සරෝජිනී හා එක්‌ව ගැයූ ගීත සමුච්චය පමනක්‌ වුවද එයට ප්‍රබල සාක්‍ෂියකි. අබේවර්ධන බාලසූරිය නිරංජලා සරෝජිනී සුසංයෝගයෙන් බිහි වූ "කව්ද ආවේ, කව්ද ආවේ" "නිසංසලේ මා තනියෙන්" "මගෙ හිත පිරී තියෙන්නෙ" "බඹරෙකු හැඬුවා" "ඉසුරු දෙවිඳු" ඇතුළු අනෙකුත් බොහෝ නිර්මාණ රසිකයෝ ආදරයෙන් වැළඳගත්හ. 

අබේවර්ධන බාලසූරිය ඔහුගේ ගායන දිවියෙහි මුල් යුගයෙහි ගැයූ "සිහිවටනය සේ කුමක්‌ ලියන්නද? "ආදරයෙන් මා හදවත" "තොටිල්ලෙහි වැටෙන් එහා" "කලක හේමන්තය වුණා ඔබ ", "ඔබෙන් තොර ලෝකයක්‌, " "ගංඟා එන්නකො ගංඟා" මෙන්ම මෑත යුගයෙහි ගැයූ "භවයෙන් භවේ" "රැළකින් තනිවී වන මැද සරනා" "සැරසිලි ගොක්‌ කොළ" "හෝ මස්‌සිනේ" යන ගී සමුදාය රසිකයන්ගේ මනදොළ පිරවීමට සමත් විය. එතකුදු වුව මෙම ගීත සමුච්චිය තුළ අගනාම නිර්මාණයක්‌ වනුයේ "කල්පනා ලොව" මල්වනේ" ගීතයයි. ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පදවැලකට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ මධුර තනු නිර්මාණය අබේවර්ධන බාලසූරියගේ නිවී සැනහුණු හඬ පරාසයට කදිම විචිත්‍රවයක්‌ ළඟා කර දුනි. මෙම මුල් ගීතයෙහි නිම්නාද වන මධුර ස්‌වර සංයෝජනය හා මුසුවන අබේවර්ධන බාලසූරියගේ ගායන කෞෂල්‍යය රස නොවිඳි එකදු හෝ පෙම්වතකු එදා නොවීය. පෙම්වතුන්ගේ පරමාදර්ශී ගීතය බවට එවකට පත් වූයේ "කල්පනා ලොව මල්වනේ" ගීතය විය. 

අද දවස පවා සෑම කෙනෙකුම රස විඳින උක්‌ත ගීතයෙහි, මුල් පටිගත කිරීම නොඇසීමට ලැබීම මහත් ඛේදවාචකයකි. සාමාන්‍ය සරල ගීතයක ලක්‍ෂණ ඉක්‌මවා ගිය "කල්පනා ලොව මල්වනේ" ගීතය මෙන්ම ධර්මසිරි ගමගේ විසින් රචනා කරන ලද "බඹරෙකු හැඬුවා" ගීතය සඳහා ප්‍රේමසිරි කේමදාසයන් යොදා ඇති සංගීත සංයෝජනය සාමාන්‍ය සරල ගීතයකින් නොලැබෙන විදග්ධ සංගීත රචනාවෝ ම වූහ.

"අනුරාධපුරය ඔබයි" "මං නැතිදා මේ රට" අවසන් හුස්‌ම පොද නොබියව හෙළන්නට" ඔහු ගැයූ දේශභිමානී ගී අතර සුවිශේෂී වෙයි. 

අනෙකුත් ගායකයන්ට සාපේක්ෂව ඔහුගේ ගායන දිවියෙහි දක්‌නට ලැබුණු විශේෂ ලක්‍ෂණයක්‌ නම්, ඔහු ගායිකාවන් බොහෝ දෙනෙකු සමග බොහෝ ජනප්‍රිය යුග ගී ගයා ඇති බවයි. ඒවා අතර නන්දා මාලිනි සමග "ඔබ මට මල් කැකුලකි" නාලිනී රණසිංහ සමග "මලවුන්ගේ නගරයේ" ඉන්ද්‍රානි පෙරේරා සමග "වැලිබත් ඉව්වා මතකයි අපි දෙන්නා." ඉන්ද්‍රානි බෝගොඩ සමග "නොහඬන් සූරිය කාන්තා" නිර්මලා රණතුංග සමග "කුඹුකෙ ළිඳෙන්" චන්ද්‍රිකා සිරිවර්ධන සමග "කීර පලා දලු" ත්‍යාගා එන්. එඩ්වඩ් සමග "රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ" සුජාතා අත්තනායක සමග "බොඳ මීදුම් කඳුරැල්ලේ" සහ නෙරංජලා සරෝජිනී සමග "ඉසුරු ඳෙවිඳු උමයංගනී"ඉන් ප්‍රධාන වේ. 

"බොඳ මීදුම් කඳුරැල්ලේ" ගීතය අබේවර්ධන බාලසූරියගේ පළමුවැනි චිත්‍රපට පසුබිම් ගීතය විය. චිත්‍රපටය වනුයේ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ "දුහුලු මලක්" ය. 

සුජාතා අත්තනායකගේ මිහිරි හඬ හා එක්‌ වූ අබේවර්ධන බාලසූරියගේ අව්‍යාජ ගායනය ඔවුන් දෙදෙනා එක්‌ රැයකින් ජනප්‍රියත්වයේ ඉහළ තලයකට රැගෙන ගියේය. සුජාතා අත්තනායක යනු අපට සිටින දක්‍ෂතම ගායකාවකි. චිත්‍රපට පසුබිම් ගායනය තුළ සුජාතා අත්තනායකට හිමි වනුයේ අද්විතීය ස්‌ථානයකි. එහෙත් ඇයගේ සෑම යුග ගීතයක්‌ පරයා "බොඳ මීදුම්" ගීතය කැපී පෙනෙනුයේ එම ගීතය තුළ නිම්නාද වන අබේවර්ධන බාලසූරියගේ සංයමයෙන් යුතු ගායනයයි. චිත්‍රපටයේ රූප පෙළ හා මනා ලෙස බද්ධ වූ එම ගීතයෙහි මුල් ගැයුම අප හදවත් තවමත් ආනන්දයෙන් පුරවාලයි. ඉන් අනතුරුව "චූඩා මානික්‍යය" "බඹා කෙටූ හැටි" "හරියන කොට ඔහොම තමයි" "කිඳුරු කුමාරි" "සරුංගලේ යන චිත්‍රපට හරහා ගලායන අබේවර්ධන බාලසූරියගේ චිත්‍රපට ගී ගායනා අතර "අනුපමා" චිත්‍රපටය සඳහා ගායනා කරන ලද "මරු කතරේ පිපුන මලක්‌ " ගීතය විශේෂ වේ.

"පියාණනී මා නැවත උපන්නොත්" ගීතය අබේවර්ධන බාලසූරිය ලකුණ සිංහල සංගීත ක්‍ෂේත්‍රයේ ස්‌ථාවරව සටහන් වූ ගීතයයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පදවැල හා මුසු වූ වික්‌ටර් රත්නායකයන්ගේ රමණීය තනුව අබේවර්ධන බාලසූරිය නමැති ගායකයා ගව් ගණනක්‌ ඈතට රැගෙන ගියේය. පිය ගුණ ගීත සඳහා මූලික අඩිතාලම මෙම ගීතය හරහා නිර්මාණය වූ අතර ඒ හරහා අබේවර්ධන බාලසූරිය සිංහල සංගීත ක්‍ෂේත්‍රයේ නොබිඳෙන පුරුකක්‌ බවට පත්විය. මෙසේ යුග කිහිපයක්‌ රසික අපගේ මනදොළ පිරවූ අබේවර්ධන බාලසූරිය කලා කරුවාගේ වර්ෂ පූර්ණ සංවත්සරය සැමරෙන මෙවන් සමයක යළි ඔහු අප අතර ඉපිද ඔහුගේ නිවුනු පහන් ස්‌වරය හරහා යළිත් අප හෝ අපගේ අනාගත පරපුර පිනවීමට අවශ්‍ය පුණ්‍ය ශක්‌තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

- සුලෝචනා වික්‍රමසිංහ 

අබේවර්ධන බාලසූරිය ගායකයාගේ ගීත පිළිබඳව විචාරශීලිව ලියූ මා කියවූ හොඳම ලිපිය ලෙස මා දකින්නේ අස්වැන්න බ්ලොග් අඩවියට මාධ්‍යවේදී දයානන්ද රත්නායකයන් විසින් රචිත ලිපියයි. http://aswanna.blogspot.com/2012/03/blog-post_08.html

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...