Monday, June 26, 2017

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර


Alive (එලයිව්) “පණපිටින්”/“ජීවතුන් අතර

1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින දකුණු අමෙරිකාවේ ඇන්ඩීස් කඳුවැටියට කඩා වැටීමෙන් සිදුවූ දරුණු ගුවන් අනතුර පිළිබඳව එම කතාවෙන් කියවේ. මා ඔබට ඉදිරිපත් කරන්නේ මේ සත්‍ය කතාවත් එම අනතුරින් දිවිගලවාගෙන අදටත් ජීවත්වන 16 දෙනෙකු තමන්ගේ දිවි ගැලවුණු ආකාරය ලොවට කියාපෑ හද සසල කරන කතාන්දරයයි. 

මෙම සිද්ධියේදී, අයහපත් කාලගුණයක අවම පහසුකම් යටතේ වැඩිම කාලයක් නොනැසී පවත්වාගෙන ගිය මිනිස් ශරීරයක් සතුව ඇති ප්‍රබල ශක්තිය පිළිබඳව වෛද්‍යවරු මවිතයට පත්වූහ. එසේම ගුවන්යානා වලට නවීන තාක්ෂණය ලබාදීමට ලොව ගුවන් සමාගම් උනන්දු වූයේ ද මෙම අනතුරින් පසුවය.

ලොව මෙතෙක් සිදුවී ඇති ගුවන් අනතුරුවලින් ලොව වැඩිම ජනතාවකගේ කතාබහට ලක්වී ඇත්තේ මෙම අනතුරයි. මෙම සිද්ධිය ඇසුරින්, සිනමා චිත්‍රපට, රූපවාහිනී චිත්‍රපට, වාර්තා වැඩසටහන් රැසක් නිෂ්පාදනය වී ඇති අතර නවකතා රැසක් ද විවිධ භාෂා වලින් පළවී තිබේ. 


ඇන්ඩීස් කඳුවැටියට කඩාවැටුණු ගුවන්යානාවේ සිටි දිවිගලවාගත්තවුන් අනතුර සිදුවී සති 10 කට පසු , 1972 දෙසැම්බර් 22 දින ආශ්චර්යකින් මෙන් හමුවෙයි.


උරුගුවේ රටේ රග්බි ක්‍රීඩා කණ්ඩායමක් ඇතුළු කාර්ය මණ්ඩලයේ 45 දෙනෙකු රැගත් උරුගුවේයානු ගුවන් හමුදාවේ කුලී ගුවන් යානයක් 1972 ඔක්තෝබර් 13 දින ආර්ජන්ටිනා ආශ්‍රිත ඇන්ඩීස් කඳුවැටියට කඩාවැටීමෙන් සිදුවූ අනතුර “ ඇන්ඩීස් ගුවන් ඛේදවාචකය” ලෙස ලොව පුරා ප්‍රකට විය. එම අනතුර දකුණු අමෙරිකානු රටවල් විසින් හඳුන්වනු ලබන්නේ “ ඇන්ඩීස් හි ආශ්චර්යය” ලෙසය. අනතුර සිදුවූ සැණින් මගීන්ගෙන් හතරෙන් එකක් පමණ ජීවිතක්ෂයට පත්විය. තව කීපදෙනෙක් බරපතල තුවාල ලැබූ අතර ඇතැමෙක් අධික ශීතලට ගොදුරු විය. අනතුරින් දිවි ගලවාගත් අය අතරින් අවසානයට ඉතිරි වූයේ 16 දෙනෙකු පමණි. මේ අය අතරින් ඉදිරිපත් වූ වීර වික්‍රමාන්විත තරුණයින් දෙදෙනෙකුගේ අප්‍රතිහත උත්සාහය නිසා අනතුර සිදුවී මාස දෙකකට වැඩි කාලයක් හිම කඳු අතර අතරමංව අනේක දුක් විඳිමින් ජීවත්ව සිටි මේ 16 දෙනා 1972 දෙසැම්බර් 23 දින ආශ්චර්යයකින් මෙන් බේරාගන්නා ලදී.

දකුණු අමෙරිකාවේ රටවල් 3ක් පුරා දිග හැරෙන ඔවුන්ගේ කතාව ඇරඹෙන්නේ මෙසේය.

දකුණු අමෙරිකාවේ උරුගුවේ රටෙහි අගනුවර වන මොන්ටිවීඩියෝ (Montevideo) සිට ඕල්ඩ් ක්‍රිස්ටියන් නමින් ප්‍රකටව සිටි උරුගුවේ ජාතික රග්බි පාපන්දු ක්‍රීඩක කණ්ඩායම චිලී දේශය වෙත ගමන් ආරම්භ කිරීමට සැරසුණි. ඒ චිලී හි සාන්තියාගෝ නුවර සුහද රග්බි තරගයකට සහභාගීවීමේ අරමුණ ඇතිවය. මේ ගමන ස‍ඳහා ඔවුන් උරුගුවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කුලියට ලබාගත්හ. එයාෆෝස් ෆ්ලයිට් 571 නම් වූ එම ගුවන් ගමනට යොදාගත්තේ ෆෙයාර්චයිල්ඩ් එෆ්- 27 වර්ගයේ (Turboprop Fairchild FH-27) මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානයකි. පාපන්දු ක්‍රීඩක කණ්ඩායම සමග ඔවුන්ගේ මිතුරන්, පවුලේ ඥාතීන් ද මේ ගමනට එක්විය. යානාවේ ගුවන් මගීන් 40 දෙනෙකු සිටි අතර කාර්ය මණ්ඩලය 5 දෙනෙක් වූහ. ගමන පිටත්වූයේ එරටෙහි අන්තර්ජාතික ගුවන් තොටුපලක් වන කැරැස්කෝ (Carrasco International Airport) අන්තර් ජාතික ගුවන් තොටුපළේ සිටය. චිලී හි සාන්තියාගෝ නුවර දක්වා යන මේ ගමන ආරම්භ කළේ 1972 ඔක්තෝබර් 12 දිනය.

(ගුවන් තොටුපළක නවතා ඇති අනතුර සිදුවූ ගුවන්යානය - මෙය අනතුරට මාස කීපයකට පෙර ගන්නා ලද ඡායාරූපයකි)

මේ ගමන් මාර්ගය වැටී තිබුණේ ආර්ජන්ටිනාවත්, චිලී දේශයත් වෙන්කෙරන හිම කඳු වලින් සමන්විත දැවැන්ත ඇන්ඩීස් කඳු පන්තිය හරහාය. යානයේ සිටි නියමුවන්ට හදිසි පණිවිඩයක් ලැබිණ. ඒ අයහපත් කාලගුණ තත්වය පිළිබඳවය. එයින් කියවුණේ යානය කෙලින්ම සන්තියාගෝ නුවර දක්වා නොගොස් ආර්ජන්ටිනාවේ මැන්ඩෝසා (Mendoza) ගුවන් තොටුපළේ නතරකර පසුව පිටත්වන ලෙසය. ‍මේ අනුව දීර්ඝ ගුවන් ගමනකින් පසු යානය මැන්ඩෝසා ගුවන් තොටුපළේ නතර කරනු ලැබීය. යානයේ ගමන් මාර්ගය පහත සිතියමේ දක්වා ඇත.


ඇන්ඩීස් කඳුවල කාලගුණ තත්වය තරමක් යහපත් වනතුරු ඔවුන්ට දිනක්ම මැන්ඩෝසා හි නතරවන්නට සිදුවිය.
(මැන්ඩෝසා සිට මාරක ගුවන් ගමන සඳහා පිටත්වීමට මොහොතකට පෙර එම ගුවන් තොටුපළේදී අදාල ගුවන්යානයට පිටුපා ඔවුන් ලබාගත් ඡායාරූපය. මෙහි පෙනී සිටින අයගෙන් හරි අඩක්ම තව මොහොතකින් මාරයා විසින් බිලිගනු ලබනු ඇතැයි කිසිවෙකු නොසිතන්නට ඇත. මේ පිරිසේ සිටි කාන්තාවන් 5 දෙනාටම ජීවත්වීමේ වාසනාව හිමි නොවිණි.)

(යානයේ ගමන්ගත් කිසිවෙකු විසින් ගන්නා ලද ඡයාරූපයක්. යානයේ ඇතුලත විනෝදයෙන් කාලය ගතකරන මගීන්. ඔවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 20 සිට 29 දක්වා වූ තරුණයින්ය. තව සුළු මොහොතකින් මෙහි සිටින ඔවුන්ගෙන් කීපදෙනෙකුට තම දිවිය අවසන් කිරීමට සිදුවිය. අනතුර සිදුවීමට පෙර ගන්නා ලද අවසන් ඡායාරූපය මෙය විය හැක.)

පසුදා එනම් ඔක්තෝබර් 13 දින සවස 2.18 ට යානය මැන්ඩෝසා සිට චිලී රටේ සාන්තියාගෝ නුවර බලා පියාසර කිරීම සඳහා ගුවන් ගතවිය. මෙම මධ්‍යම ප්‍රමාණයේ Fairchild යානයකට ගමන් කළ හැකි උපරිම උස අඩි 30,000 ක් නිසා එයට කිසිසේත්ම උස් ගිරි ශිඛර සහිත ඇන්ඩීස් කඳුවැටියට උඩින් කෙළින්ම සන්තියාගෝ නුවරට ළඟාවිය නොහැක. මේ නිසා එවැනි යානා විශේෂ මාර්ගයක් තෝරාගනී. එනම් මෙවැනි මධ්‍යම ප්‍රමාණයේ යානා චිලී රටට ගමන් කරන්නේ ඇන්ඩීස් කඳුයායේ උස අඩුම ස්ථානය වන ප්ලැන්චොන් (Planchon) කපොල්ල හරහාය. මෙන්ඩෝසා ගුවන් තොටුපළෙන් ගුවන්ගතවූ Fairchild යානයට දැන් ගමන් කිරීමට සිදුවන්නේ ඉංග්‍රීසි U අකුරේ හැඩයට ඇති ගුවන් මාර්ගයක් ඔස්සේය. යානය ඇන්ඩීස් කඳු තීරයට සමාන්තරව දකුණට ගමන්කර බටහිරට හැරී සුපුරුදු ප්ලැන්චොන් කපොල්ල හරහා කඳු යාය මතින් ගමන්කර (කඳුයාය පසුකර) නැවතත් චිලී හි කුරිකෝ නගරයෙන් උතුරට හැරී සාන්තියාගෝ නුවරට යාමයි. 

ප්ලැන්චොන් කපොල්ල පසුකරන අවස්ථාවේ කාලගුණය හිටි හැටියේ නරක අතට හැරී ඝන මීදුම් හා වළාකුළු පැමිණි අතර නියමුවාට දර්ශන පථය අපැහැදිලිවිය. වායු රික්තවලට හසුවීමෙන් යානය වේගයෙන් සෙලවෙන්නට පටන් ගත්තේය. යානයේ සිටි මගීන් සියළුදෙනා භයින් ත්‍රස්ත වී ගියහ. ගුවන් නියමුවන්ට කරකියා ගත හැකි දෙයක් නොවිණි. යානය දැන් ගමන් කරන්නේ යානයේ උපකරණ වලින් සැපයෙන දත්ත අනුසාරයෙන් පමණි. තමන් දැන් කොපමණ දුරක් ඇවිත් ඇද්දැයි දැනගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. වෙනදාට සාමාන්‍යයෙන් කඳුයාය පසුකිරීමට ගතවන කාලය ගණනය කර බැලීමෙන්, ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සිතුවේ දැන් යානය කඳුයාය පසුකර චිලී හි කුරිකෝ නගරය පසුකරමින් ඇතිබවය. මේ නිසා දැන් කළ යුතුවන්නේ යානය නැවත උතුරට හැරවීමයි. 

මේ අනුව යානය උතුරට හැරවිණ. නමුත් ඔවුන් සිතුවා වැරදිය. යානය වැරදි ස්ථානයකින් උතුරට හරවා තිබිණ. එනම් දැන් යානය ගමන් කළේ ඇන්ඩීස් කඳු පන්තියේ උස් ගිර ශිඛර හරහා උතුරු දෙසටය. යානයේ වැරදි ගමන් මාර්ගය පහත සිතියමේ දක්වා ඇත.


තවමත් දර්ශන පථය පැහැදිලි නැත. එක්වරම උස් කඳු ශිඛරයක හැපීමෙන් යානයේ දකුණු තටුව බඳෙන් ගැලවී ගියේය. ගැලවුණු දකුණු තටුව යානයේ වලිග කොටසේ වැදීමෙන් වලිග කොටසද යානා බ‍‍ඳෙන් ගැලවී ගියේය. වම්පස බර වැඩි නිසා සමබර නොවූ යානය වම් පසටම ඇලවී ගිය අතර වම් තටුවද තවත් කන්දක හැපී ගැලවී ගියේය. බඳ කොටස වේගයෙන් අයිස් හා හිම පොළොවේ සැලකිය යුතු දුරක් ලිස්සා ගොස් නතර විය. පසුපස බඳ කොටසේ සිටි මගීන් සුළඟට ගසාගෙන ගොස් ඉතා දුර ස්ථානවලට වැටුණ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ක්ෂණික මරණය අත්විය.

මියගිය හා මරණයෙන් ගැලවුණු පිරිස

ගුවන්යානයේ සිටි 45 දෙනා අතරින් 12 දෙනෙක් අනතුර සිදුවන අවස්ථාවේ හෝ ඊට සුළු මොහොතකට පසු ජීවිතක්ෂයට පත්වී තිබේ. එම 12 දෙනාගෙන් 5 දෙනෙකුගේ මළසිරුරු එම අවස්ථාවේම හමුවී ඇති අතර ඉතිරි 7 දෙනා අතුරුදන්ව තිබිණ. ඒ අනුව අනතුර සිදුවීමෙන් පසු ජීවත්ව සිටියේ 33 දෙනෙකි. එම 33 දෙනාගෙනුත් බරපතල තුවාල ලැබූ තවත් 4 දෙනෙක් පසුදා පාන්දර මියගියහ. තුවාල ලැබූ තවත් එක් අයෙක් අනතුර සිදුවී 8 වැනි දින (ඔක්තෝබර් 21 දින) මියගියේය. ඒ අන් කිසිවෙකු නොව පසුව මේ කතාවේ වීරයෙක් බවට පත්වන නැන්ඩෝ පරාඩෝගේ නැගණිය වූ සුසානා පරාඩෝයි.

(සුසානා පරාඩෝ තරුණ වියේදී)

ඉතිරි වූ 27 දෙනා අයිස් මිදී ඇති මෙම උස්වූ කඳු ශිඛර අතර නොවිඳිනා දුක් වින්දෝය. මෙයින් බොහොමයකට අනතුරින් ලද තුවාල තිබුණි. විශේෂයෙන් අනතුර සිදුවන අවස්ථාවේ ආසන වලට පාද හිරවීමෙන් ඔවුන්ගේ පාදවල අස්ථි බිඳී ගොස් තිබුණි. එසේම අධික ශීතල දේශගුණයට ඔරොත්තු දිය හැකි ඇඟලුම් හෝ පාවහන් ඔවුන්ට සොයාගත නොහැකිවිය. වෙසෙසින්ම හිම අන්ධභාවයෙන් වැලකීමට හැකි අව් කණ්නාඩිවත් ඔවුන් ළඟ නොතිබුණි. (එනමුත් දිවිගලවාගත් කෙනෙකු වූ 24 හැවිරිදි “ඇඩොල්ෆෝ ස්ට්‍රවුච්” (Adolfo Strauch) ට නියමු කුටියේ තිබී අව් කණ්නාඩියක් සොයාගත හැකි විය. එයින් අයිස් මතින් පරාවර්තනය වන හිරු කිරණින් ඇස් ආරක්ෂා කළ හැකි වන්නේය.) රග්බි කණ්ඩායමේ සිටි නිල වෛද්‍යවරයාද අනතුරින් මියගොස් සිටි නිසා ඔවුනට වෛද්‍යධාර ලබාගත හැකි ක්‍රමයක් ද නොවීය. වාසනාවට දිවි බේරාගත්තවුන් අතර 1 වසරේ සහ 2 වසරේ වෛද්‍ය සිසුන් දෙදෙනෙකු සිටි නිසා ඔවුන් දෙදෙනා එක්ව යානයේ සුන්බුන් අතරින් වෙළුම් පටි සහ අස්ථි ආධාරක පටි සොයාගෙන රෝගීන්ට ප්‍රතිකාර කළහ.

ඔක්තෝබර් 24 දින දිවිගලවාත් අයට මතකයේ රැඳෙන දෙයක් සිදුවිය. මෙතෙක් අතුරුදන්ව සිටි 7 දෙනෙකුගෙන් 6 දෙනෙකුගේම මළ සිරුරු ඔවුන්ට හමුවිය. එක් අයෙක් පමණක් අතුරුදන්ව සිටියේය.

යානය සොයාගැනීමට කළ උත්සාහයන්

රටවල් 3ක සෝදිසි කණ්ඩායම් ගුවන්යානය සෙවීමේ කටයුතු ආරම්භ කළත් මුල්ම සෝදිසි කණ්ඩායම දින 8ක් තිස්සේ කළ සෙවීම නතර කළේය. ගුවන් යානයේ බඳ සුදු පැහැති නිසා එය හිම සමග මුසුවීමෙන් යානය පිහිටි ස්ථානය සෙවීම දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබුණි. එක් අවස්ථාවකදී දිවි බේරාගත්තවුන් විසින් යම් සංඥාවක් ගුවනට පෙනීම සඳහා අපූරු අත්හදා බැලීමක් කරනු ලැබීය. එනම් ගුවන්යානයේ සුන්බුන් අතර තිබී කාන්තාවන් විසින් භාවිතා කරනු ලබන රතු පැහැති තොල් සායම් (Lipstik) ලබාගෙන ඒවායින් ගුවන්යානා බඳෙහි වහළයේ 'SOS' නම් අකුරු තුන පින්තාරු කිරීමයි. (SOS යනු ආපදාවක් හැඟවීමට භාවිතා කරනු ලබන සම්මත මෝස් ඛේතයකි) නමුත් ප්‍රමාණවත් තරම් ලිප්ස්ටික් සොයාගත නොහැකිවීම නිසා, පින්තාරු කළ අකුරු ගුවනට හඳුනාගතහැකි තරම් පැහැදිලි මට්ටමක නොවූයෙන් එම උත්සාහය ව්‍යවර්ථ විණි. නමුත් යානයේ තිබී ඔවුන්ට කුඩා ට්‍රාන්ස්සිස්ටර් රේඩියෝවක් හමුවිය. කණ්ඩායමේ සිටි රෝයි හාලිට (Roy Harley) රේඩියෝ ප්‍රවෘත්ති මගින් අසන්නට ලැබුණේ කණගාටුදායක පුවතකි. එනම් කඳුකරයේ දැනට දින 11ක් තිස්සේ අතරමංව ඇති තමා ඇතුළු පිරිස සෙවීම බලධාරින් නවතා දමා ඇති බවයි. (මේ පිළිබඳව පසුව ලියැවී ඇති පියස් පෝල් රීඩ්ගේ නවකතාවේ සදහන් වන්නේ ඔවුන්ට ලැබුණු මේ අසුබදායක පුවතින් පසු කිසිවෙකුගේ උදව් නැතිව තනිවම එම ස්ථානයෙන් ගැලවීයාමට ඔවුන්ට ආත්ම ශක්තියක් ලැබුණු බවය.)

මිනීමස් අනුභවය (Cannibalism)

ආහාර සඳහා ඔවුන්ට ඉතිරිව තිබුණේ චොකලට් බාර් කීපයක්, විස්කෝතු පැකට් කීපයක් සහ වයින් බෝතල කීපයක් පමණි. අනතුරින් පසු ඔවුන් මෙම ආහාර ස්වල්පය උපරිම දින ගණනක් දක්වා දිනකට කුඩා පංගුව බැගින් එකිනෙකා අතර බෙදාගනිමින් පරිභෝජනය කළහ. අනතුරුව දිවිගලවාගත්තවුන් යානයේ සුන්බුන් සහ අනතුර සිදුවූ අවට ප්‍රදේශය සෝදිසි කර තවත් කෑම ඇතිදැයි සොයා බැලූහ. ප්‍රතිථලයක් නොවූ තැන ඔවුන් යානයේ ආසනවල සවිකර ඇති ප්ලාස්ටික් කවර ගලවා ඒවා අනුභව කරන්නට විය.

ඇඩොල්ෆෝ ෆිටෝ ස්ට්‍රවුච් (Adolfo Fito Strauch) බීමට ජලය ලබාගැනීම සඳහා උපක්‍රමයක් සොයාගත්තේය. එනම් යානයේ ආසන වලින් ගලවාගත් වානේ තහඩු මතට හිම කැට තබා ඒවා හිරු එළියෙන් උණුකර ජලය ලබාගැනීමයි. ඒ ජලය තහඩුවේම සකසා ඇති පුනීල හැඩයෙන් පහළට ගලා ගොස් හිස් වයින් බෝතලවලට එකතුකර ගැනීම ඔහුගේ උපක්‍රමයයි. මෙම අවම සැපයුම් ක්‍රම වලින් පවා ඔවුන්ගේ ශරීර වලට අවශ්‍ය පෝෂණය ලබාගැනීම උගහට විය. පාළු හිම කතරේ ආහාරය සඳහා ගහක් කොළක් හෝ මස්කර ගැනීමට සතෙක් සිව්පාවෙක් හෝ නොවීම එයට හේතුවයි.

කණ්ඩායමේ සියළු දෙනා එකතුවී තම පණනල රැකගැනීම සඳහා යම් තීරණයකට එළඹිණ. ඒ වනවිටත් අනතුරින් මියගොස් සිටි තම සගයින්ගේ සිරුරු වල මාංශ අනුභවය කිරීමට ඔවුන් තීරණය කළහ. මේ තීරණය පහසුවෙන් ගත් තීරණයක් නොවිණ. එයට හේතුව මියගොස් සිටි වැඩි දෙනෙක් ඔවුන්ගේ ළඟම මිත්‍රයින් හා පංති සොයුරන් වූ බැවිනි.

මෙම සංවේදි මොහොත පිළිබඳව නැන්ඩු පැරඩෝ (Nando Parrado) විසින් Miracle in the Andes:72 Days නම් ග්‍රන්ථය සමග කරනු ලැබූ සාකච්ඡාවකදී මතකයට නගන්නේ මෙසේය.

“පොළොවේ ඉතා උස්වූ ස්ථානයන්හිදී මිනිස් ශරීරයට ඉතා අධික කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අහාර පිළිබඳව කිසිම බලාපොරොත්තුවක් නැති නිසා අපව නිසැක වශයෙන්ම හාමත්භාවයට (Starvation) පත්වීගෙන යන බව අපිට තේරුණා. අධික කුසගින්න නිසා යානාව තුළ කීපවරක්ම විපරම්කළ බැලුවේ පාන් කෑල්ලක්වත් තිබේද යන්නයි. අප අපගේ ගමන්මළු නිපදවා තිබූ සම්තහඩු ගලවා කෑලි වලට ඉරා කෑමට හැකිදැයි බැලුවා. නමුත් එය නොකළේ ඒ සම්තහඩු සමග මිශ්‍රව තිබූ ඇතැම් රසායන ද්‍රව්‍ය ශරීරයට වඩා හානිදායක විය හැකියැයි සිතූ නිසයි. ඉන්පසු ආසන කවර ඉරා ඒ ඇතුලේ පිදුරු තිබේදැයි බැලුවා. නමුත් අපට හමුවුණේ ආසනතුළ තිබූ ෆෝම් රබර් පමණයි. අපිට තිබුණේ අප ඇඳ සිටි ඇඳුම් විතරයි. බලන බලන අත තිබුණේ ඇලුමිනියම්, ප්ලාස්ටික්, අයිස් හා කඳු ගැටයි. ”

සියළුම මගීන් රෝමානු කතෝලික අයවූහ. බයිබල් පාඨයකට (John 15#Verse 13:) අනුව මිනිසෙකුට තම ජීවිතයද තම මිතුරන් වෙනුවෙන් කැපකළ හැකිය යන්න කියවේ. තම පණනල රැකගැනීම සඳහා ඒ අවස්ථාවේ කළ හැකි එකම දෙය මිනිස් මාංශ අනුභව කිරීම බවත් බයිබල් පාඨයට අනුව එය පාපයක් නොවන බවත් ඔවුන්ට ඒත්තු ගිය අතර එම තීරණයට එළඹියේ දින කීපයකට පසුවය. වාර්තාවූ ආකාරයට ඒ අවස්ථාව වනවිට දිවිගලවාගත්තවුන් අතර සිටි එකම හා අවසාන මගී කාන්තාව ලිලීනියා මෙතල් (Liliana Methol) නමැත්තියකි. ඇයට අනතුරින් බරපතල හානි සිදුවී නොතිබුණි. ඇය ඇගේ දැඩි ආගමික භක්තිය නිසා මුලදී මිනිස් මාංශ අනුභවය ප්‍රතික්ෂේප කළත් පසුව ඇගේ ස්වාමි පුරුෂයා වන ජාවියර් මෙතල් (Javier Methol) ඇයට තත්වය තේරුම් කළ පසු එයට හුරුවූවාය. 

හිම නායයාම (Avalanche)

ඔක්තෝබර් 29 දින අපරභාගයේ ඉහළ කඳු මුදුන්වල සිට දරුණු හිම නායයාමක් පහළට රූටන්නට විය. මගීන් ඒ අවස්ථාවේ සිටියේ ගුවන් යානා බඳ තුළ වාඩිවී විවේක ගනිමින්ය. එම යානා බඳ වසාගනිමින් හිම තට්ටුව පතිත විය. සියල්ලන් සමගින් යානා බඳ වැසී ගියේය. යානා බඳ දෙකට වෙන්වී ඇති නිසා යානා කුහරයෙන් හිම තට්ටු ඇතුළටම පැමිණ පණ ඇති සියල්ලන්ම වැසී ගියේ තත්පර කීපයක් ඇතුලතය. සිහිය ඇති කීපදෙනෙක් නැගිට අනෙක් අයව හිම පීරා මතුකරගත්හ. ඒ වනවිටත් මෙම හදිසි අනතුරින් එතෙක් ජීවත්ව සිටි අයගෙන් 8 දෙනෙක් මියගියහ. මියගිය අය අතර කලින් සඳහන් කළ අවසාන මගී කාන්තාව වූ ලිලීනියා මෙතල් ද විය. ඇගේ ස්වාමි පුරුෂයා වන ජාවියර් මෙතල් මෙම කතාවේ අවසන් දිවිගලවාගත් අයගෙන් කෙනෙකි. මෙම අනතුරින් පසු 25 දෙනෙකු මේ වනවිට මියගොස් තිබූ අතර එක් අයෙක් තවමත් අතුරුදන්ව සිටියේය. ඉතිරිව සිටියේ 19 දෙනෙකි. අඩි කීපයක් හිම තට්ටුව තමන්ට ඉහළින් ඇති නිසාත් සීමිත ඉඩකඩකට ඔවුන්ව කොටුවී ඇති නිසාත් හිම අයින් කිරීමට ඔවුන්ට දින 3ක් ගතවී ඇත. කණ්ඩායමේ සිටි නැන්ඩු පැරඩෝ විසින් ලෝහ කූරක් භාවිතා කොට යානා බඳට ඉහළින් සිදුරක් සාදා බඳ තුළට වාතය පැමිණිමට ඉඩ හැරියේය. දිනකින් දෙකකින් හිම දියවී යළිත් යානා බඳ කලින් තිබූ ආකාරයට දිස්විය.

දැඩි තීරණ

හිම නායයාමට පෙර, දිවිගලවාගත්තවුන් කීපදෙනෙකුගේම අදහස වුණේ තම එකම ගැලවුම වී ඇත්තේ ඇන්ඩීස් කඳුයාය තරණයකොට බාහිරින් උදව් සොයා ගමන් කළයුතු බවයි. එසේ සිතීමට මුල්වූයේ ඒ වනවිට ජීවත්ව සිටි සහාය ගුවන් නියමුවා විසින්, අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානය ගමන්කර තිබී ඇත්තේ චිලීහි කුරිකෝ (Curicó) නගරයට උඩින් බවත් ඒ නිසා තමන් දැනටමත් චිලී දේශ සීමාවේ ඉන්නා බවත් දැඩිව කියා සිටීමයි. නමුත් ඔහුගේ නිගමනය වැරදිය. යානය පතිත වී ඇත්තේ ආර්ජන්ටිනා දේශසීමාවට අයත් කඳුකරයේ බටහිර බෑවුමේ කිලෝ මීටර් 89ක් දුරිනි. කෙසේ වෙතත් චිලී දේශය ඉතා ළඟින්ම පිහිටා ඇති බවත් බටහිර දෙසට තරණය කළහොත් පහසුවෙන් එයට ළඟාවිය හැකි බවත් ඔවුන්ට වැටහී තිබිණ. 

ඔවුන් සිටි ස්ථානයේ සිට සැතපුම් 18ක් දුරින් නැගෙනහිරට වන්නට අත්හැර දමන ලද හෝටලයක් ඇති බව ඔවුන් දැනසිටියහ. එය වසා දැමුණේ 1953 දීය. ගොඩනැගිල්ල අබලන් වී ඇතිමුත් ඇතැම්විට එහි ළඟා වුණොත් යම්කිසි ආවරණයක් ලබාගත හැකි වේයැයි ඔවුන් කලින් සිතූහ. එසේම එහි උණුදිය පොකුණක් ඇති බවද ඔවුන් දැන සිටියහ. නමුත් ඒ ගමනට දින 2ක් ගතවන නිසාත් යම් හෙයකින් හෝටලයට පැමිණියත් ආවරණයක් හැරෙන්නට එහි ආහාර සඳහා කිසිවක් නොමැති බව දැනගත් ඔවුන් එහි යාමට ගත් උත්සාහය අත්හැර දැමීය.

(1953 දී අත්හැර දමනු ලැබූ Termas Sosneado නම් වූ හෝටලය)

නැවතත් මතුවූ ගැටළුව වූයේ මිනිසෙකුට ජීවත්විය නොහැකි පරිසරයක ඉන්නා ඔවුන් සියළුදෙනා එම ස්ථානයෙන් බේරී පලා යන්නේ කෙසේද කියාය. සියළු දෙනා වෙනුවට මූලික වශයෙන් කණ්ඩායමේ සතරදෙනෙකු තෝරා ඔවුන් අවට සෝදිසි කිරීමක් සඳහා පිටත්කර හැරිණි. ආපසු පැමිණි ඔවුන් පැහැදිලි නිගමනයකට එළඹුණහ. ඔක්කාරය, විජලනය, හිම අන්ධතාව, මන්දපෝෂණය හා රාත්‍රියට ඇතිවන අධික ශීතල ආදී තත්වයන්ට ඔවුන් හැමටම මුහුණදිය නොහැකිව ඔවුන් සියළු දෙනා මියයාවි යැයි ඔවුන් බියවූහ. මේ නිසා ඇන්ඩීස් කඳු තරණය ඉතා දුෂ්කර බව ද කාටත් අවබෝධ විය.

එම නිසා උදව් පතා යන ගමනට සියළුදෙනා වෙනුවට කුඩා කණ්ඩායමක් තෝරා ගැනීමට තීරණය විය. තෝරාගත් කණ්ඩායම සීමාසහිත ආහාර ප්‍රමාණයකින් යැපීමට හැකි, ශරීර ශක්තියෙන් අනූන පුද්ගලයින්ගෙන් සමන්විය යුතු බවද තීරණය කෙරිණි. මේ සඳහා වඩාත්ම සුදුසු යැයි සිතෙන දෙදෙනෙකු සෙස්සන් විසින් තෝරාගනු ලැබිණ. ඒ නැන්ඩෝ පරාඩෝ (Nando Parrado) සහ වෛද්‍ය සිසුවෙකු වන රොබර්ටෝ කැනේසා යි (Roberto Canessa). නූමා ටර්කැටි (Numa Turcatti) සහ ඇන්ටෝනියෝ විසින්ටින් (Antonio Vizintin) යන දෙදෙනා පැරඩෝ සහ කැනේසාව ඇරලවීමට යාමට (මද දුරක් සහායට යාමට) තෝරා ගැණින. කැනේසා තදින්ම කියා සිටියේ ග්‍රීෂ්ම කාලය එනතුරු තව දින 7ක් බලාසිට ඉන්පසු ගමන පිටත්වීම සුදුසු බවයි. ඔවුන් චිලී දේශය වෙත ගමන් ආරම්භ කිරීමෙන් පසු දක්නට ලැබුණේ තෙරක් නොපෙනෙන මහ කඳු යායකින් එම බටහිර කලාපයම වැසී තිබෙන අන්දමයි. මේ නිසා කණස්සල්ලට පත්වූ ඔවුන් කඳු ඉහළට තරණය කිරීම නවතා නැගෙනහිරට දිවෙන නිම්නයක් ඔස්සේ ගමන් කළේ U හැරවුමක් හමුවුවහොත් ඒ හරහා බටහිරට යාමටය. නැගෙනහිර දෙසට යන ගමනේදී ඔවුන්ට බලාපොරොත්තු නොවූ අපූරු වස්තුවක් හමුවුණි. ඒ අනතුරට පත් යානයේ වලිග කොටසය. ඒ වනවිටත් එය හොඳින් සුරැකිව තිබී ඇත. ඒ තුළ හා ඒ අවට මගීන්ගේ ගමන් මළු හා සූට්කේස් රාශියක් විසිරී තිබුණි. ඒවා තුල තිබී සිගරට්, චොකලට්, පිරිසිදු ඇඳුම් පමණක් නොව චිත්‍රකතා පොත් රැසක් ද ඔවුන්ට හමුවිය. කණ්ඩායම එදින වලිග කොටස ඇතුළත රාත්‍රිය ගතකොට පසුදා උදේ නැගෙනහිර දෙසට යාමට තීරණය කළහ.

(යානයේ වලිග කොටස මත රාත්‍රිය ගතකරන සිව්දෙනාගෙන් තිදෙනෙකි මේ. පිංතූරය ගන්නා ලද්දේ පිංතූරයේ නැති සිව්වැන්නා විසින් බව පැහැදිලිය.)

(එහිම තවත් පිංතූරයක්)

පළමු රාත්‍රිය ආවරණයක් (වලිග කොටස තුළ) තුළ ගතකළත් දෙවන දින රාත්‍රිය ගතකිරීමට සිදුවූයේ අයිස් මතය. තෙවන දින උදේ අවදි වනවිට අධික ශීතල නිසා ඔවුන් ගල් බවට පත්වී තිබිණ. එනම් මරණයට ආසන්න අවස්ථාවට ළඟාවී තිබිණ. මේ නිසා තව දුරටත් ඉදිරියට ගමන් කිරීම අවදානම් යැයි සිතූ ඔවුන් සිය ගමන ආපසු හරවාගෙන යානා වලිග කොටසට නැවත පැමිණියහ. වලිග කොටසේ තිබූ ගුවන් යානා බැටරිය ගලවාගැනීමට තීරණය විය. බැටරිය අවශ්‍ය වූයේ ඒ මගින් යානයේ පණිවුඩ හුවමාරු යන්ත්‍රය පණ ගන්වා සන්තියාගෝ නුවරට උදව් පතා පණිවිඩ යැවීමටය.

පණිවුඩ හුවමාරු යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම 

යානා වලිගය වෙත පැමිණි ඔවුන්ට දැකගත හැකි වූයේ එහි ඉහළ තට්ටුවක සවිකර ඇති බැටරියයි. එය ඔසවා ගෙන යාමට බැරි තරම් අධික බරකින් යුතුවිය. ඒ නිසා ඔවුන් තීරණය කළේ නැවත යානා බඳවෙත ගොස් රේඩියෝ පද්ධතිය ගලවාගෙන නැවත වලිගය වෙත පැමිණ එයට බැටරිය සම්බන්ධ කිරීමයි. කණ්ඩායමේ සිටි ඉලෙක්ට්‍රොනික් විද්‍යාව පිළිබඳ දැනුමක් ඇතිව සිටි රෝයි හාලි (Roy Harley) නමැත්තාගේ උදව් ද මේ සඳහා ලබාගැණින. නමුත් යානයේ පණිවුඩ හුවමාරු යන්ත්‍රය AC විදුලියෙන් ක්‍රියාත්මක වීමත් යානයේ බැටරිය DC විදුලියෙන් ක්‍රියාත්මකවීමත් ගැටළුවක් විය. දින කීපයක් තිස්සේ පණිඩුඩ හුවමාරු යන්ත්‍රය පණ ගැන්වීමට ගත් උත්සාහය අත්හැර දැමීමට සිදුවිය. නිදහස සොයා යන ඔවුන්ගේ අවසන් උත්සාහය ද මෙසේ නිෂ්ඵලවී ගියෙන් නැවත යානා බඳ වෙත පැමිණියහ. මේ නිසා බාහිරින් උදව් සොයා ගොස් ජීවිතය බේරාගැනීමට නම් කළයුත්තේ නිසැක ලෙසම බටහිර දෙසට කඳු තරණය කිරීම බව ඔවුන්ට අවබෝධ විය. 

නොවැම්බර් 15 සහ 18 දෙදින කණ්ඩායමේ සිටි තවත් දෙදෙනෙකු ඇතිවී තිබූ තුවාල වලට නිසි ප්‍රතිකාරයක් නොලද්දෙන් ශෝචනීය ලෙස ජීවිතක්ෂයට පත්විය. මේ අනුව ඉතිරිවූයේ 17 දෙනෙකි. එක් අයෙක් තවමත් අතුරුදන්ය.
(ආටොරෝ නොගුවේරා (Arturo Eduardo Nogueira Paullier) - රග්බි කණ්ඩායමේ කැපීපෙනෙන ක්‍රීඩකයෙකි. මියයන විට 21 හැවිරිදි වියේ පසුවිය. ගුවන් අනතුරින් දිවි බේරුණත්, ඇතිවූ බරපතල තුවාල නිසා අනතුර සිදුවී මසකට පසු එනම් නොවැම්බර් 15 දින හිම කතරේම තම වටිනා තරුණ ජීවිතය අවසන් කිරීමට ඔහුට සිදුවිය.)

(රෆායල් එචවරෙන් (Rafael Echavarren) - කෘෂිකර්ම විද්‍යාව හැදෑරූ සිසුවෙකි. රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙකි. මියයන විට 22 වියේ පසුවිය. ගුවන් අනතුරින් දිවි බේරුණත්, ඇතිවූ බරපතල තුවාල නිසා අනතුර සිදුවී මසකට පසු එනම් නොවැම්බර් 18 දින නොගුවේරා මෙන් ඔහුටද තම වටිනා ජීවිතය අවසන් කිරීමට සිදුවිය. නමුත් ඔහු ගැන විශේෂ සඳහනක් කළ යුතුය. මියගිය අයගේ සිරුරු අතරින් හිම කතරෙන් එපිටට රැගෙන යාමට හැකිවූයේ මොහුගේ සිරුර පමණකි. සිද්ධියෙන් පසු ඔහුගේ පියා වන රිකාඩෝ එචවරෙන් විසින් අනතුර සිදුවූ ස්ථානයට පැමිණ තම ආදරණීය පුතුගේ දේහය තම මව්රට වූ උරැගුවේ දේශයට රැගෙන ගොස් භූමදානය කළේය.)

(රෆායල් එචවරෙන්ගේ දේහය ගුවන්යානයකින් උරුගුවේ රටට රැගෙන ආ අයුරු - එරට පුවත්පතක පළවූ ඡායාරූපයකි)

නිදන බෑගය නිර්මාණය වීම

නිදහස සොයා යන මේ අවදානම් ගමන යන්නේ නම්, රාත්‍රියේදී ඇතිවන අධික ශීතලටද යම් විසඳුමක් සොයාගත යුතුබව ඔවුන්ට පැහැදිලිව අවබෝධ වී තිබුණි. නැතහොත් එම ගමනද අතරමග නතර කිරීමට සිදුවේ. මෙයට විසඳුමක් ලෙස නිදන බෑග් (Sleeping bag) ගෙනයාමට තීරණය විය.

මේ පිළිබඳව පසුව Miracle in the Andes: 72 Days ග්‍රන්ථයට අදහස් දක්වූ නැන්ඩෝ පරාඩෝ-


“අපට ඇතිවූ මීළඟ අභියෝගය වූයේ හිරු බැසයාමෙන් පසු ආවරණයක් නොමැතිව ඉන්නා අප ජීවත්වන්නේ කෙසේද යන්නයි. මොකද ඒ වසරේ ඇති දේශගුණය අනුව දහවල් කාලයේ සැළකිය යුතු උෂ්ණත්වයක් තිබුණත් රාත්‍රි කාලයේ අධික ශීතලක් පැවතුණා. කිසිදු ආවරණයක් නොමැති විවෘත භූමියක රාත්‍රිය ගතකරන විට එම අධික ශීතලෙන් ඕනෑම ජීවියෙකු මියයාහැකි බව අපට වැටහුණා. යානයේ වලිග කොටසින් සොයාගත් බැටරි ආවරණයෙන් මේ සඳහා සාර්ථක විසඳුමක් අප සොයාගත්තා. එහි තිබූ විශාල පරිවාරක කොටස් ගලවා එකට මූට්ටු කර ඇතිරිල්ලක් හැදුවා. එය දෙකට නමා උෂ්ණත්ව පරිවාරක ගුණයක් සහිත කදිම නිදන බෑගයක් නිර්මාණය කළා. මේ බෑගය අප තුන්දෙනාටම නිදාගැනීමට තරම් ප්‍රමාණවත් වුණා. එය වඩාත් ශීතල රාත්‍රිවලින් අපව ආරක්ෂා කළා.

බෑගය කෑල්ලෙන් කෑල්ල මහන්න සිදුවුණා. කණ්ඩායමේ සිටි කැලිටස් (Carlitos) ගේ රෙදි මැසීම සඳහා ලබා තිබූ පුහුණුව ඒ සඳහා ප්‍රයෝජනවත් වුනා. ඔහු අන් අයටත් මහන හැටි ඉගැන්වූවා. කෝච් (Coche), ගුස්ටාවෝ (Gustavo), සහ ෆිටෝ (Fito) ආදීන් එක්වී අන්තිමේදී බෑගය නිර්මාණය කළා.”

නිදන බෑගය නිර්මාණය කළ පසු කණගාටුදායක සිද්ධියක් වාර්තා විය. ඒ ගමනට සහායකයෙකු ලෙස සහභාගීවීමට සිටි 24 හැවිරිදි නූමා ටර්කැටි (Numa Turcatti) රෝගයක් හේතුවෙන් දෙසැම්බර් 11 දින ජීවිතක්ෂයට පත්වීමයි. ඒ අනතුර සිදුවී 60 වන (දෙමසකට පසු) දිනයේය. මේ කතාන්දරයේ අවසානයට මියගිය පුද්ගලයා ඔහුය. දැන් ඉතිරිව ඉන්නේ හරියටම මගීන් 16 දෙනෙකි.

(ගුවන් යානයේ සිටි මගී පිරිසෙන් අවසානයට මියගිය පුද්ගලයා 24 හැවිරිදි නූමා ටර්කැටි (Numa Turcatti) ය. ඔහු රග්බි කණ්ඩායමේ ද ක්‍රීඩකයෙකි. අනතුරින් කිසිදු තුවාලයක් නොවී බේරුණත් අයහපත් දේශගුණය නිසා ඇතිවූ යම් රෝගී තත්තවයක් හේතුවෙන් ඔහු මියගියේය. ඔහු මියගියේ සහන කණ්ඩායම් පැමිණීමට දෙසතියකට පෙරය.)

(කැඩී බිඳී ගිය යානා බඳ පාළු හිම කතරේ වැටී තිබෙන අයුරු. මියගිය අයෙකුගේ සිරුරක් ද මෙහි දක්නට ඇත.)

(යානා බඳ අසල බලාපොරොත්තු රහිතව තැන තැන වැටී සිටින ගුවන් මගීන්)
(යානා බඳ අසල ගිමන් හරින කීපදෙනක්. අව් කණ්නාඩියක් පැළඳ සිටින්නේ ජෝස් ලුවිස් ඉන්සියාටේ José Luis Inciarte ය. ඔහු අදටත් ජීවත්වන එදා දිවිගලවාගත් කෙනෙකි.)

(අනතුරින් දිවිගලවාගත් කීපදෙනෙක් යානා බඳ තුළ වාඩිවී සිටී. වමේ සිට තුන්වැන්නා - සුදු හිස්වැස්මක් පැළඳ සිටින්නේ එදා රග්බි කණ්ඩායමේ සිටි දක්ෂ ක්‍රීඩකයෙකුව සිටි ගුස්ටාවෝ සර්බිනෝ ය. Gustavo Zerbino) දකුණේ සිට දෙවැන්නා රාමන් සබෙලා (Ramón Sabella) මේ දෙදෙනාම තවමත් ජීවත්වෙයි.

ඉන්පසු උදව් පතා යන ගමනට වෙන්වූ ඉතිරි තිදෙනා සෙසු සගයන් 13 දෙනෙකු හිමයේ නවත්වා දෙසැම්බර් 12 දින ඓතිහාසික ගමන ආරම්භ කිරීමට සූදානම් විය.

1972 දෙසැම්බර් 12 දින ඉරණම් ගමන ඇරඹීම

1972 දෙසැම්බර් 12 දින ඔවුන් අයිස් ගිරි ශිඛර තරණය කිරීමේ අවදානම් ගමන ආරම්භ කළේ ගුවන් අනතුර සිදුවී මාස 2කට පසුය. ඔවුන් නම් පැරඩෝ, කැනේසා සහ විසිංටින් යන තිදෙනාය. ආහාර පාන සඳහා මිනිස් මාංශත්, ජලයත් ඔවුන් රැගෙන ගියහ. පැරඩෝ ඉදිරියෙන් ගමන් කළේය. ඔක්සිජන් වායුව ඉතා තුනී මට්ටමක තිබූ නිසා ගමන අසීරු විය. පරිසරය අධික ශීතල වුවත්, ඔවුන් ගෙනගිය නිදන බෑග් රාත්‍රීයේදී ඔවුන්ගේ ජීවය රැක දුනි. 

මේ දුෂ්කර ගමනේ තුන්වැනි දින වනවිට පැරඩෝ, අනෙක් දෙදෙනාට පෙර මුල්ම කන්දේ මුදුනටම ළඟාවිය. එතැනින් ඔබ්බට ඔහුට දිස්වූයේ තෙරක් නොපෙනෙන තවත් අයිස් කඳු රාශියකි. මේ වනවිට ඔහු තරණය කර ඇත්තේ ආර්ජන්ටිනාව සහ චිලී වෙන්වන මායිමේ පිහිටි ඇන්ඩීස් කඳු පංතියේ අඩි 15,260ක් උසවූ එක් කන්දක් පමණි. මෙයින් අදහස් වන්නේ ඔවුන්ට චිලී දේශයේ හරිත කොටසට ළඟාවීමට අඩුම ගණනේ මෙතෙක් පැමිණියාමෙන් දහ ගුණයක දුරක් ඉදිරියට ගෙවීමට ඇති බවයි. කඳු වළල්ලෙන් ඔබ්බෙහි ජීවිතය පිළිබඳ යම්කිසි බලාපොරොත්තුවක් ඇතැයි යන්න තදින් විශ්වාස කළ පැරඩෝ, බාධා හමුවේ පසුබට වූයේ නැත.

කඳු තරණයට කලින් සිතුවාට වඩා කාලයක් ගතවන බවත්, ඔවුන්ගේ ආහාර ඉක්මණින්ම අවසන්වන බවත් පැරඩෝටත්, කැනේසාටත් අවබෝධ වූ නිසා තුන්වැන්නා වන විසින්ටින්ව ආපසු යානා බඳ වෙත හරවා යවනු ලැබූහ. විසින්ටින්ගේ ආපසු ගමන හුදෙක් කඳු බැස්මක් පමණක් නිසා ඔහුට පහසුවෙන් පහළට ලිස්සා යෑමට හැකිවිය. ඒ සඳහා ඔහුට ගතවී තිබුණේ පැයක් වැනි කෙටි කාලයකි. 

කාලොස් වැලේටා ගේ සිරුර හමුවීම 

මේ අතර මෙතෙක් අතුරුදන්ව සිටි පුද්ගලයා වන කාලොස් වැලේටා (Carlos Valeta) ගේ මළසිරුර දෙසැම්බර් 14 දින සොයාගැණින.

(පසුව ලැබුණු ආරංචිමාර්ග වලින් කියවුණේ කාලොස් වැලේටා පිළිබඳ අනුවේදනීය පුවතකි. එනම් අනතුරින් ඔහු දිවි ගලවාගත් බවයි. යානය හිම කන්ද මත ගැටීමෙන් යානයේ බඳ දෙකට වෙන්වීමේදී කාලොස් අනෙක් මියගිය අයමෙන් ඉවතට විසිවී ගොස් ඈතට වැටුණු බව සගයින් දැක ඇත. නමුත් බිමට වැටුණු කාලොස් දෙපයින් නැගී සිට ඇත. පසුව ඔහු අනෙක් සගයින් සිටි තැනට පැමිණෙමින් සිටි මොහොතේ අවාසනාවට අඩි 100 ක් පමණ ගැඹුරු හිම තට්ටුවකට වැසී නොපෙනී ගිය බව සගයින් දැක ඇත. )

උදව් සොයා ගමන් කිරීම

එවකට 21 හැවිරිදි වියේ පසුවූ පැරඩෝ සහ 19 හැවිරිදි වියේ පසුවූ කැනේසා දින කීපයක්ම කඳු තරණය කළහ. කලින් දිනක උස් කඳු මුදුනක සිට බැලීමේදී පැරඩෝ විසින් දක්නා ලද පටු නිම්නයකට ඔවුන්ට ළඟාවීමට හැකිවිය. මේ නිම්නය බටහිරට දිවෙන ගංගාවක උපන් ස්ථානයකි. ගංගාවක නිම්නයක් බව අවබෝධ කරගත් ඔවුන් ඒ ගංගා නිම්නය ඔස්සේ ක්‍රමයෙන් පහළට බසින්නට විය. ඔවුන්ට ඉක්මණින්ම හිම සීමාව අවසන් වන බව වැටහිණ. ක්‍රම ක්‍රමයෙන් මනුෂ්‍ය වාසභවනයක් ළඟ ළඟම ඇති බවට විවිධ සළකුණු මතුවන්නට විය. මුලින්ම දක්නට ලැබුණේ කිසිවකු විසින් කූඩාරම් ගසා ඇති බවට වූ මං සළකුණකි. කඳු තරණය ආරම්භවී නම වැනි දින වනවිට ඔවුන්ට ප්‍රථම වරට තණ බිමක සිටි එළදෙනෙකු දක්නට ලැබිණ. ඔවුන් ඉදිරියෙන් සැඩ පහර අධිකවූ ගංගාවක් ගලායමින් තිබිණ. එදින සවස ඔවුන් එම ස්ථානයේ ගිමන් හැරීමට තීරණය කළේ අධික තෙහෙට්ටුව නිසාත්, කැනේසාට තවත් ඉදිරියට යාමට ශක්තියක් නොවූ නිසාත්ය. පැරඩෝ ලී දඬු කීපයක් සොයාගෙන ආවේ ශරීර උණුසුම පිණිස ගිනි ගොඩක් ගැසීමටය. ඉඳගෙන සිටි කැනේසාට ගඟෙන් එහා ඉවුරේ අසකු පිට සිටින යමෙකුගේ රුවක් අපහැදිලි ලෙස දක්නට ලැබුණි. කැනේසා අත් ඔසවා අමුත්තාට කෑගැසුවේය. පැරඩෝ වේගයෙන් ගඟ පහළට දිව්වේය. මුලදී එක් අශ්වාරෝහකයෙක් පමණක් දැකගත්තත් අවසානයේ එතැන අශ්වාරෝහකයින් තුන් දෙනෙකු සිටින බව කැනේසාට පෙනී ගියේය. පැරඩෝ හා කැනේසා තමන්ට සිදුවූ දේ අමුත්තන්ට පැවසීමට උත්සාහ කළත් ඔවුන්ට එය නොවැටහුණේ ගංගාවෙන් නැගුණු ඝෝෂාකාරී ශබ්දය නිසාය. 

කොටළුවන් දක්කන්නෙක් වූ චිලී ජාතික සර්ජියෝ කැටලාන් (Sergio Catalan) “හෙට අපි හමුවෙමු”යැයි කෑ ගසා කීවේය. මෙම ස්ථානය හෙට දින තමන්ව බේරාගනු ලබන ස්ථානය විය හැකි යැයි සිතා සංචාරකයින් දෙදෙනා සැනසුම් සුසුම් හෙළූහ. ඒ නිසා එදින සවස ඔවුහු ගංගාව අසල නිදාගැනීමට සූදානම් වූහ.

සර්ජියෝ කැටලාන් එදින සවස තමන් දුටු දේ අනෙක් මිතුරන් සමග කතා කළේය. එක් මිතුරෙක් ඔහුට වැදගත් තොරතුරක් ලබාදුන්නේය. සති කීපයකට පෙර ඇන්ඩීස් ගුවන් අනතුරින් විපතට පත් කෙනෙකු වන කාලෝස් පියර්ස් (Carlos Paez) නමැත්තාගේ පියා තමාව හමුවී අනතුර පිළිබඳව අළුත් තොරතුරු මොනවාදැයි තමාගෙන් විපරම් කර බැලූ බවත් ඔහු ගුවන් අනතුර හා විපතටපත්වූවන් පිළිබඳ ගමින් ගමට යමින් විස්තර සෙවූ බවත් එම මිතුරා කියා සිටියේය. ඇතැම් විට ගංතෙරේ දුටු පිරිස ගුවන් අනතුරට පත්වූ අය විය හැකි යැයි එතැන උන් සියළු දෙනා සැක සිතුවත් අනතුරින් කිසිවෙකුත් බේරී නොමැති බව ඔවුන් තරයේ විශ්වාස කළහ.

1972 දෙසැම්බර් 21 දාට පහන් විය. පාන්ගෙඩියකුත් රැගෙන එහා ගං ඉවුරට පැමිණි සර්ජියෝ පැරඩෝට හා කැනේසාට කතා කළේය. ඔහු පාන්ගෙඩිය එහා ඉවුරට වීසිකළෙන් එය අහුලා ගත් සංචාරකයින් දෙපළ කටට දෙකට එය ගිල දැම්මේ අධික කුසගින්න නිසාය. තවද සර්ජියෝ ගලක ගැටගැසූ කඩදාසියක් හා පෑනක් මෙහා ගං ඉවුරට විසි කළේය. පැරඩෝ එය අහුලාගෙන තමන්ට සිදුවූ විපත සහ වහා තමා ඇතුළු පිරිස බේරාගැනීමට උදව්වන ලෙස ඉල්ලමින් ලියූ කඩදාසිය සර්ජියෝ අතට පත් කළේය. ලිපිය කියවූ පසු සර්ජියෝගේ සැකය තහවුරු විය. 



(පැරඩෝ විසින් එදා සර්ජියෝට ලියන ලද ලිපියයි මේ)


සර්ජියෝ උදව් පතා දිගු වේලාවක් අසුපිටින්ම ඉවුරදිගේ බටහිර පැත්තට ගමන් කළේය. අවසානයේ ඔහුට අසුපිට නැගි තවත් කොටළුවන් දක්කන්නෙක් අනෙක් ඉවුරේ සිටිනවා දුටුවේය. සර්ජියෝ ඔහුට කතාකොට සංචාරකයින් දෙදෙනාව “මේටිනස්” (Maitenes) නගරයට කැඳවාගෙන යන ලෙස ඉල්ලුවේය. ඉන්පසු සර්ජියෝ මගදී හමුවූ ට්‍රක් රථයක නැගී එතැනින් ළඟම ඇති පොන්ටෙ නිග්‍රෝ (Puente Negro) නගරයේ පොලිස් ස්ථානයට පැමිණ බලධාරින්ට කරුණු අනාවරණය කර සාන්තියාගෝ නුවරටද ගොස් පණිවුඩය ලබාදුන්නේය. මේ වනවිට පැරඩෝ සහ කැනේසා මේටිනස් නගරය වෙත ළඟාවී තිබුණි. ඔවුන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කරනු ලැබ විවේක ගැනීමට ද පහසුකම් ලබාදී තිබුණි.

පසුදා උදේ (1972 දෙසැම්බර් 22) සන්තියාගෝ නුවරින් විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ විය. එතැනින් ගුවනට නැගණු හෙලිකොප්ටර් යානා 2ක් මීදුම කපාගෙන නැගෙනහිරට ගමන් කළේය. පැරඩෝ සහ කැනේසා මේටිනස් සිට පොන්ටෙ නිග්‍රෝ වෙත ගමන් ආරම්භකර ඇති බව දැනගත් හෙලිකොප්ටර් යානාවේ සිටි අය විසින් එම යානා මේටිනස් ආසන්නයේ ඇති පිටියක ගොඩබස්සවන ලදී. එතැනින් පැරඩෝව එක් හෙලිකොප්ටර් යානාවකට නැංවූයේ කඳුකරයේ ඉතිරි පිරිස බේරාගැනීමේ මෙහෙයුම සඳහා මාර්ගෝපදේශකත්වය ලබාගැනීමටය. මේ අතර මේ අසිරිමත් පුවත ජාත්‍යන්තර මාධ්‍ය ජාලයට වාර්තා වූයෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් වැල නොකැඩී පැමිණි අතර ඔවුන් පොන්ටෙ නිග්‍රෝ අසල මාර්ගයක විපතට පත්වූවන් යළි බේරාගෙන පැමිණෙන තෙක් නොඉවසිල්ලෙන් බලා උන්හ. ඔවුන් අතර රූපවාහිනී, ගුවන්විදුලි හා පුවත්පත් වාර්තාකරුවන් සහ කැමරාකරුවන් ද විය. මේ පුවත ඔවුන්ගේ ප්‍රවෘත්ති සඳහා හොඳ අමුද්‍රව්‍යයක් ද විය.

(බේරාගැනීමේ මෙහෙයුමේ මූලිකයා - සර්ජියෝ කැටලාන් (Sergio Catalan) එදා)


(සර්ජියෝ කැටලාන් එදා පැරඩෝ සහ කැනේසාව බේරාගැනීමේදී. එතැනට පැමිණි මාධ්‍ය වේදියෙකු විසින් ගන්නා ලද ඡායාරූපයකි.)

(සිද්ධිය සැළවී එතැනට පැමිණි දෙස් විදෙස් මාධ්‍යවේදීන්)

(පැරඩෝගෙන් යමක් සටහන් කරගන්නා මාධ්‍යවේදියෙක්.)

 (කැනේසා මාධ්‍යවේදීන් සමග)

(පැරඩෝව නිලධාරින් විසින් අසුපිට නංවා අදාල ස්ථානයෙන් ඉවතට රැගෙන යන අයුරු. බිම සිටින්නේ සර්ජියෝ කැටලාන් ය.)

(කැනේසාව අසු පිටින් රැගෙන යන අයුරු)

(කැනේසාවත් පැරඩෝවත් අසු පිටින් රැගෙන යන විට පසුපස දිවයන කැමරා ශිල්පීන්)

බේරාගැනීමේ මෙහෙයුම

මෙහෙයුම ආරම්භ වූ දෙසැම්බර් 22 දින සවස හිමයේ අතරමංව සිටි විපතටපත් වූවන්ට සුබ ආරංචියක් ලැබිණ. එය නම් ඔවුන් සතුව තිබූ ගුවන්විදුලි යන්ත්‍රයෙන් ඇසුණු ප්‍රවෘත්තියකි. එයින් කියවුණේ පැරඩෝ සහ කැනේසා සාර්ථක ලෙස කඳුකරය තරණය කොට චිලී දේශයට සේන්දු වූ බවත්, තමන්ව බේරා ගැනීමට දැන් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත්ය. 

ඇන්ඩීස් කඳුකරයේ පැවති අධික සුළං සහිත අනතුරුදායක කාලගුණික තත්වය නිසා, පැරඩෝව රැගෙන යමින් තිබූ හෙලිකොප්ටරයට අනතුර සිදුවූ ස්ථානයට යාමට හැකිවූයේ එදින සවසය. අයහපත් කාලගුණය නිසාම හෙලිකොප්ටර් යානා දෙකෙන්ම එකවර බේරාගැනීමට හැකිවූයේ විපතට පත්වූවන්ගෙන් 7 දෙනෙකු පමණි. ඉතිරි අය සමග වෛද්‍යාධාර සහිත සහන සේවා කණ්ඩායමක් නවත්වා යානා දෙකම ආපසු පිටත්විය.

(සහන සේවා කණ්ඩායම රැගත් හෙලිකොප්ටර් යානාවක් කඳුකරය බලා පිටත්වීමට මොහොතකට පෙර)

(පැරඩෝ සිටි හෙලිකොප්ටරය අදාල ස්ථානයට පහත් කිරීමේදී යානයේ සිටි කිසිවෙකු විසින් ගන්නා ලද ඓතිහාසික ඡායාරූපය. එතෙක් මරණය පෙනි පෙනී යානා බ‍ඳේ ජීවත්වූ 14 දෙනෙකු ගුවන් යානය පැමිණීමේ සතුටට දෑත් අහසට දිගුකරමින් ප්‍රීතිය පළකල අයුරු ඔබට මෙහිදී පැහැදිලිව දැකගත හැක.)

(පළමු හෙලිකොප්ටරයෙන් ගොඩබට සහන සේවා කණ්ඩායම සමග දිවිගලවාගත් පිරිස)


(පළමු හෙලිකොප්ටරයෙන් ගොඩබට සහන සේවා කණ්ඩායම සමග දිවිගලවාගත් පිරිස පෙනී සිටින තවත් සේයාරුවක්)

පසුදා එනම් දෙසැම්බර් 23 දින උදයේ දෙවන මෙහෙයුම ආරම්භ විය. එහිදී හෙලිකොප්ටර් යානාවලින් ඉතිරිව සිටි 7 දෙනා බේරාගන්නා ලදී. 

(සියළුම දිවිගලවාගත්තවුන් චිලී හි පොන්ටෙ නිග්‍රෝ වෙත රැගෙන ආහ. මෙම සේයාරුවෙන් දැක්වෙන්නේ කාලෝ පියර්ස් විසින් තමා ඇතුළු කණ්ඩායම බේරාගැනීමට උදව් කළ පැරඩෝව වැළඳගන්නා සංවේදී මොහොතයි. වැළඳගන්නා තුන්වැන්නා මෙහි පැහැදිලිව හඳුනාගත නොහැක)


(අසාධ්‍යව සිටි අයට ප්‍රථමාධාර ලබාදෙන අයුරු. උපැස් යුවලක් පැළඳ සිටින්නේ නැන්ඩෝ පැරඩෝ ය)



(ප්‍රථමාධාර ලබාදෙන තවත් අවස්ථාවක්)


(මුදාගැනීමේ මෙහෙයුමෙන් පසු අල්වාරෝ මැන්ගිනෝට (Alvaro Mangino) ට සහ ජෝස් ලුයිස් ඉන්සියාටේ ට (José Luis Inciarte) (රැවුල වැවී ඇති පුද්ගලයා) ප්‍රථමාධාර ලබාදෙන අවස්ථාව)



(ජෝස් ලුවිස් ඉන්සියාටේ José Luis Inciarte ව බේරාගත් අයුරු)



(හෙලිකොප්ටර් යානාවෙන් රෝහල වෙත රැගෙන ආ දිවිගලවාගත්තවුන්)

පසුව ඔවුන් සියල්ලෝම චිලී හි සැන් ෆර්නැන්ඩු රෝහලටත් පසුව සන්තියාගෝ රෝහලටත් ඇතුළු කෙරිණ.
(දිවිගලවාගත්තවුන් සිව්දෙනෙකු සැන් ෆර්නැන්ඩු රෝහලේ සිටියදී මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබාදුන් අයුරු)

(දිවිගලවාගත්තවුන් සියළුදෙනා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින්)

ඔවුන්ව සොයාගැනීමෙන් පසු එකල බොහෝ පුවත්පත් ලිපි මගින් උලුප්පා දැක්වූයේ ඔවුන් කළ වීරත්වයට වඩා ඔවුන් සිදුකළ මස් මාංශ අනුභවයයි. එම නිසා පුවත්පත් මාධ්‍ය හමුවන් වලට දිවි බේරාගත්තවුන් බලයෙන්ම රැගෙන ගොස් ඔවුන්ගෙන් සිදුවූයේ කුමක්දැයි විමසන්නට වුණි. මේ හමුවන් වලදී ඔවුන් කළ ප්‍රකාශ නිසා ඔවුන් කෙරෙහි පැවති පිළිකුළ පහවී ගොස් අනුකම්පාවත්, සාධාරණත්වයත් ඔවුන්ට ලැබිණ.

වසර 2002 දී ඕල්ඩ් ක්‍රිස්ටියන් කණ්ඩායමට අයත් දිවිබේරාගත්තවුන් 14 දෙනෙකු යළිත් චිලී රටට ගොස් තමන්ට එදා සහභාගිවීමට දෛවය විසින් අවස්ථාව නොදුන් රග්බි තරගයට සහභාගිවූහ. එහිදී ඔවුන් මිනිත්තු 50ක තරගයකින් තරග වට 28-11 කින් සන්තියාගෝ ඕල්ඩ් බෝයිස් කණ්ඩායම පරදා ජයග්‍රහණයක් ලැබීය.

(ගලවාගැනීමේ මෙහෙයුමෙන් පසු සහන කණ්ඩායම නැවතත් අනතුර සිදුවූ ස්ථානයට ගොස් ඉතිරිව තිබූ මළ සිරුරු හා සිරුරු කොටස් රැස්කර එකම වලක භූමදානය කළෝය.)


(අදටත් ජීවත්වන දිවිගලවාගත්තවුන් කීපදෙනෙකු සොහොන් කොත ළඟට පැමිණ සිද්ධිය අනුස්මරණය කළ අයුරු)

(මගීන්ගේ දිරාගිය ගමන්මළු සහ යානයේ සුන්බුන් රැස්කර ලෝහ කුරුසයක් ද තබා නිර්මාණය කරන ලද ඇන්ඩීස් ඛේදවාචකයේ අනුස්මරණ සොහොන් කොතයි මේ. අනතුර අනුස්මරණය කරන වසරේ එක් දිනක් මේ ස්ථානය ජනාකීර්ණ වුවත් අනෙක් දින364ම මේ සොහොනත් අවටත් පාළු හිම කතරේ හුදකලාවේ පවතී. අනතුර සිදුවී දැනට අවුරුදු 45ක් ගතවී ඇත. තවත් අවුරුදු සිය ගණනක් මේ සිහිවටනය සුරැකිව තිබේවි. අනාගතයේ එය දැකගන්නා ඔනෑම කෙනෙකු ඇන්ඩීස් ගුවන් ඛේදවාචකය ගැන තොරතුරු සොයාවි. ඒ වනවිට දැනට ජීවත්ව ඉන්නා දිවිගලවාගත්තවුන්ගේ දරු මුණුබුරන්ගෙන් මේ අනතුර ගැන තොරතුරු විමසාවි----අයෝම ජයසිංහ )

සිද්ධියෙන් අනතුරුව සිදුවූ දේවල්

මෙම ගුවන් අනතුර ලොව ගුවන් යානා සමාගම් වලට යළිත් මේ ආකාරයේ ඛේදවාචකයක් සිදුනොවීම සඳහා කදිම පණිවුඩයක් ලබාදුන්නේය. ගුවන් යානා වලට ඉහළ තාක්ෂණික මෙවලම් සවිකළයුතු බවට තීරණය විය. එසේම හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගතහැකි වනසේ හැකි තරම් ආහාර ප්‍රමාණයක් රැගෙන යාමට ඉදිරියේදී ගුවන්යානා වලට පහසුකම් සැලසිය යුතු බවටද තීරණය කෙරිණි.

මෙම සිද්ධිය අළලා නවකතා රැසක් පළවිය. එම නවකතා කීපයක් ලියන ලද්දේ සිද්ධියට සහභාගීවූ අයවළුන් විසින් වීම විශේෂත්වයකි. එයිනුත් ප්‍රකට ලේඛකයෙකු වූ පියර්ස් පෝල් රීඩ් (Piers Paul Read) විසින් ලියන ලද එලයිව් (Alive) නම් වූ නවකතාව අතිශය ජනප්‍රිය විය.



(පියර්ස් පෝල් රීඩ් විසින් ලියන ලද නවකථාවේ විවිධ පිටපත්. චිත්‍රපටය නිපදවූයේ මෙම කෘතිය ඇසුරිනි.)

එම නවකතාව ඇසුරින් 1993 දී නිපදවූ ඊතන් හෝක් රඟන අලයිව් (Alive) චිත්‍රපටය වඩාත් තාත්වික වූයේ සිද්ධියේ සැබෑ උරුමකරුවන්ගේ උපදෙස් අනුව නිර්මාණය වූ නිසාය. මේ සිද්ධිය අළලා වාර්තා සහ රූපවාහිනී චිත්‍රපට රැසක් ද නිෂ්පාදනය විය.

(චිත්‍රපට පෝස්ටරය)

(Alive චිත්‍රපටයේ දර්ශනයක්)



(නැන්ඩෝ පරාඩෝ විසින් ලියන ලද කෘතිය.)


 
(රොබර්ටෝ කැනේසා විසින් ලියන ලද කෘතීන් දෙකක්)

(කිසිදු පිළිසරණක් නැති යන අර්ථය ඇති 2007 දී නිපදවූ "Stranded" නම් වාර්තා චිත්‍රපටයේ වීඩියෝ පටය)

(දිවිගලවාගත්තෙකු වූ ජෝස් ලුයිස් ඉන්සියාටේ විසින් ලියන ලද කෘතිය.)

(දිවිගලවාගත්තෙකු වූ ජෝස් පැඩ්රෝ ඇල්ගෝටා විසින් ලියන ලද කෘතිය.)

(දිවිගලවාගත්තෙකු වූ එඩුවාඩෝ ස්ට්‍රවුච් විසින් ලියන ලද කෘතිය.)

(දිවිගලවාගත්තෙකු වූ ඩැනියල් ෆර්නැන්ඩුස් ස්ට්‍රවුච් විසින් ලියන ලද කෘතිය.)


ඇන්ඩීස් ඛේදවාචකයෙන් 16 දෙනෙකුගේ දිවිගලවාගැනීමට මූලික වූ සර්ජියෝ කැටලාන්
(බේරාගැනීමේ මෙහෙයුමේ මූලිකයා - සර්ජියෝ කැටලාන්(Sergio Catalan), සිද්ධියේ වීරයෙකු වූ රොබර්ටෝ කැනේසා සමග මෑතකදී)

ඇන්ඩීස් ඛේදවාචකය අළුත් වූ සිද්ධියක්

1972 සිදුවූ ඇන්ඩීස් ගුවන් අනතුර නැවතත් කාගෙත් මතකයට නැංවෙන සිද්ධියක් 2005 දී වාර්තා විය. අමෙරිකාවේ දක්ෂ තරුණ කඳු නගින්නෙකු වූ රිකාඩෝ පෙනා (Ricardo Peña) ට මීට අවුරුදු 45 කට පෙර (එවකට අවුරුදු 33කට පෙර) සිදුවූ ගුවන් අනතුර පිළිබඳව සොයාබැලීමට බලවත් උනන්දුවක් ඇතිවිය. අනතුර සිදුවූ කාලයේ ඔහු කුඩා ළමයෙකුව සිටි අතර ඔහුට සිද්ධිය හොඳින් මතකයේ තිබී ඇත. රිකාඩෝ වැඩිවියට පත්වූ පසු අනතුර සිදුවූ ස්ථානයට මිතුරකු සමග සංචාරය කළේ 2005 වසරේදීය. යානයේ සුන්බුන් එකතුකර පුළුස්සා දැමූ තැන පිහිටුවා ඇති කුරුසය වෙත ඔහු ගමන් කළේය. නමුත් සත්‍ය ලෙස යානය පතිතව තිබූ ස්ථානය එතැනට වඩා තවත් අඩි දහසක් උසින් පිහිටියේය. ඔහු එතැනටද ගියේය. අවට හොඳින් සෝදිසි කිරීමේදී අයිස් යට තිබී නිල් පැහැති යමක් සොයා ගත්තේය. එය අයිස් වලට මිදුණු නිල් පැහැති කබායකි. කබායේ සාක්කුවක තිබී වස්තූන් කීපයක් සොයාගත්තේය. කැමරා පටල පටියක්, උරුගුවේයානු පෙසෝ (මුදල් ඒකක) 1000ක් , අමෙරිකානු ඩොලර් 13ක් සහ හැඳුනුම්පතක් ය. හැඳුනුම්පත අනුව මෙහි අයිතිකරු ඔහු සොයාගත්තේය. ඔහු වනාහි එදා අනතුරින් දිවිගලවාගත්තෙකු වන එඩුවාඩෝ ස්ට්‍රවුච් ය. (Eduardo Strauch). පසුව රිකාඩෝ එවකට 53 වියේ පසුවූ එඩුවාඩෝට කතාකර සිහිවටන ඔහුට ලැබීමට සැලැස්වීය. එඩුවාඩෝ පමණක් නොව අනෙක් දිවිගලවාගත්තවුන් ද මේ පුවත අසා පුදුමයටත් දුකටත් පත්වූහ. උරුගුවේ ජනමාධ්‍ය වලින් මෙයට විශාල ප්‍රචාරයක් ලබා දුන්නේය.

(එදා රිකාඩෝ පෙනා කුරුසය අසළ)

(රිකාඩෝ සොයාගත් නිල් කබාය)

(2005 දී රිකාඩෝ සොයාගත් එඩුවාඩෝ ස්ට්‍රවුච්ගේ හැඳුනුම්පත)

(ඛේදවාචකය පිළිබඳව හිස්ටරි චැනලය විසින් නිපදවනු ලැබූ වාර්තා චිත්‍රපටයේ රඟපෑම සඳහා ඇන්ඩීස් වෙත පැමිණ සිටි රිකාඩෝ පෙනා සහ එඩුවාඩෝ ස්ට්‍රවුච්)


මෙම ලිපිය කියැවූ අයට මින් මතුවට දක්වා ඇත්තේ මේ සිද්ධියට සම්බන්ධ අමතර දැනුමයි.

1. ඛේචවාචකයෙන් දිවිගලවාගත් 16 දෙනාගේ කතාව.

(දැනට ජීවතුන් අතර ඉන්නා 16 දෙනා. **මෑතකදී මින් එක් අයෙකු අභාවප්‍රාප්ත විය.)


2. දිවිගලවාගත් 16 දෙනාගේ තොරතුරු


1.(ඇන්ටෝනියෝ විසින්ටින් Antonio José Tintín Vizintín Brandi- වමේ සිට දකුණට - එදා නීති ශිෂ්‍යයෙකු සහ රග්බි ක්‍රීඩකයෙකු ලෙස, එදා හිම කතරේදී සහ වර්තමායෛ්. ඔහු අද ව්‍යාපාරිකයෙකු මෙන්ම කථිකාචාර්යවරයෙකුද වේ. පරාඩෝ හා කැනේසා සමග මඳ දුරක් කඳු නැග පසුව යානා බඳ වෙත ආපසු හරවා යවන ලද්දේ මොහුවය.)



2.(ජෝස් පැඩ්රෝ ඇල්ගෝටා (José Pedro Algorta) රග්බි කණ්ඩායමේ මිතුරෙකු ලෙස ගුවන් ගමනට එක්විය. පසුව ආර්ථික විද්‍යා උපාධිය ලබා අද ව්‍යාපාර කීපයක විධායක නිලධාරියෙක් ලෙස සේවය කරයි.)



3.(ඇල්ෆ්‍රෙඩෝ ඩෙල්ගඩෝ (Alfredo Daniel Pancho Delgado Salaverry) වමේ සිට- තරුණ අවධියේදී, සිද්ධිය වූ 1972 දී සහ වර්තමානයේදී . ඔහු රග්බි කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහුගේ පැහැදිලි රූපයක් අන්තර්ජාලයේ සොයාගැනීම අසීරු වූ හේතුව විමර්ශනය කළෙමි. ඔහු දැනට අප්‍රසිද්ධියේ ජීවත්වෙයි. අනතුර සිදුවන අවස්ථාවේ ආත්මාර්ථකාමී ලෙස හැසිරී ඇති බව වාර්තාවේ. එවකට නීති ශිෂ්‍යෙයකුව සිටි ඔහු අද නීතිඥවරයෙකි. ගුවන් අනතුරේ සංවත්සර උත්සව සඳහා බොහෝවිට සහභාගි නොවේ.)


4.(ඇඩොල්ෆෝ ෆිටෝ ස්ට්‍රවුච් (Adolfo Luis Fito Strauch Urioste) වමේ සිට- එදා, මැදි වයසේදී සහ වර්තමානයේදී . 1972 දී 24 වියේ පසුවූ හෙතෙම උපාධිධාරියෙකි. සිද්ධියේදී බීමට සුදුසු ජලය ලබාගැනීමේ තාක්ෂණය සොයාගත්තේ මොහුය. දැන් ඔහු කෘෂිකර්ම බෝග නිෂ්පාදකයෙක් වගේම කථිකාචාර්යවරයෙකි.)


5.(කාලොස් පියර්ස් (Carlos Páez Rodríguez) වමේ සිට-එදා සිද්ධියේදී, පැරඩෝව වැළඳගනිමින් සහ වර්තමානයේදී)

6. (ඩැනියල් ෆර්නැන්ඩුස් ස්ට්‍රවුච් (Daniel Fernández Strauch) වමේ සිට -එදා සිද්ධියේදී, අනතුර සිදුවූ තැනදී, බේරාගැනීමේ මෙහෙයුමේදී සහ වර්තමානයේදී)



7. (අල්වාරෝ මැන්ගිනෝ (Alvaro Mangino Schmid) වමේ සිට-එදා සිද්ධියේදී, එදා රෝහලේදී, මැදි වයසේදී සහ වර්තමානයේදී)

8. (එඩුවාඩෝ ස්ට්‍රවුච් (Eduardo José Strauch Urioste) - රග්බි කණ්ඩායම පිහිටුවීමේ පුරෝගාමියෙකි. මෙහි කලින් සඳහන් කළ ඩැනියල් ස්ට්‍රවුච් හා ඇඩොල්ෆෝ ස්ට්‍රවුච් යන දෙදෙනා මොහුගේ ඥාති සහෝදරයින් වෙති. 1972 දී ඔහු 25 වියේ පසුවිය. සිද්ධිය පිළිබඳ වාර්තා වැඩසටහන්වලට එක්විය.ගෘහ නිර්මාණ ශිල්පියෙකු, චිත්‍ර ශිල්පියෙකු හා ලේඛකයෙකු වූ ඔහු දැනට 70 වියේ පසුවෙයි. වමේ සිට-එදා සිද්ධියේදී, මුදවාගැනීමේ මෙහෙයුමෙන් පසු මාධ්‍යවේදීන් ඉදිරියේ, චිත්‍ර අඳිමින් සහ වර්තමානයේදී )



9.(ගුස්ටාවෝ සර්බිනෝ (Gustavo Zerbino Stajano) - උරුගුවේ රග්බි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. අද සමාගම් කීපයක අධ්‍යක්ෂවරයෙකි. වමේ සිට - රග්බි කණ්ඩායමේ, එදා සිද්ධියේදී, සහ වර්තමානයේදී )


10. (රාමන් සබෙලා (Ramón Sabella) - සිද්ධිය වන අවස්ථාවේ 21 වියේ පසුවූ ඔහු එදා කෘෂිකර්ම විද්‍යා සිසුවෙකුව සිටියේය. තවත් කෘෂිකර්ම විද්‍යා සිසුවෙකුව සිටි අනතුරින් මියගිය රෆායල් එචවරෙන් (Rafael Echavarren) මොහුගේ පන්තියේ මිතුරෙකි. දැන් ඔහු ව්‍යාපාරිකයෙක් මෙන්ම කථිකාචාර්යවරයෙකි. වමේ සිට - එදා යානා බඳ තුළ වැතිරී, තරුණ වයසේදී සහ වර්තමානයේදී )


11. (රෝයි හාලේ (Roy Harley) - සිද්ධිය වන අවස්ථාවේ 20 වියේ පසුවූ ඔහු එදා කාර්මික ඉංජිනේරු සිසුවෙකුව සිටියේය. රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙකි. ඔහු දැන් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉංජිනේරුවරයෙකි. වමේ සිට - තරුණ අවධියේදී, ගලවා ගැනීමේ මෙහෙයුමෙදී සහ වර්තමානයේදී )



12. (ජෝස් ලුයිස් ඉන්සියාටේ (José Luis Nicolás Coche Inciarte Vázquez) - රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙකි. ඔහු දැන් කෘෂී විද්‍යාඥයෙකි. වමේ සිට - තරුණ අවධියේදී, හිම කතරේ අතරමංව, මුදවා ගැනීමේ මෙහෙයුමෙදී, මව්රටට පැමිණීමේදී, පවුලේ අය සමග සහ වර්තමානයේදී )


13. රොබර්ටෝ බොබී ෆ්‍රැන්සියස් (Roberto Bobby Francois) - රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙකි. ඔහු දැන් කෘෂි විද්‍යා කාර්මිකයෙකු මෙන්ම වැවිලිකරුවෙකි. වමේ සිට - තරුණ අවධියේදී, මුදවා ගැනීමේ මෙහෙයුමෙදී, සහ වර්තමානයේදී )



14. (රොබර්ටෝ කැනේසා (Roberto Canessa) - සිද්ධිය වන අවධියේ 19 වියේ පසුවූ ඔහු වෛද්‍ය සිසුවෙකුව සිටියේය. රග්බි කණ්ඩායමේ ද ක්‍රීඩකයෙකි. ඇන්ඩීස් ඛේචවාචකයේ ප්‍රධාන වීරයන් දෙදෙනාගෙන් කෙනෙකි. හිමයේ අතරංමංව සිටි තම සගයින් 14 දෙනෙකු මුදවා ගැනීම සඳහා නැන්ඩෝ පරාඩෝ සමග ගිර ශිඛර තරණය කළේ ඔහුය. ඔහු දැන් වෛද්‍යවරයෙකු මෙන්ම දේශපාලනඥයෙකි. වමේ සිට - තරුණ අවධියේදී, මාධ්‍ය වේදීන් සමග, මුදවා ගැනීමේ මෙහෙයුමෙදී, මව්රටට පැමිණීමේදී සහ වර්තමානයේදී)


15. (නැන්ඩෝ පරාඩෝ (Fernando Seler Parrado) - සිද්ධිය වන අවධියේ 23 වියේ පසුවූ ඔහු රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙකුව සිටියේය. ඇන්ඩීස් ඛේචවාචකයේ ප්‍රධාන වීරයන් දෙදෙනාගෙන් කෙනෙකි. හිමයේ අතරංමංව සිටි තම සගයින් 14 දෙනෙකු මුදවා ගැනීම සඳහා රොබර්ටෝ කැනේසා සමග ගිර ශිඛර තරණය කළේ ඔහුය. ඔහු දැන් ව්‍යාපාරිකයෙක්, රූපවාහිනී නිවේදකයෙක්, පෞරුෂත්ව සංවර්ධන කථිකයෙක් මෙන්ම ලේඛකයෙකි. වමේ සිට - රග්බි ක්‍රීඩකයෙකු ලෙස, මුදවා ගැනීමේ මෙහෙයුමෙදී, මාධ්‍ය වේදීන් සමග සහ වර්තමානයේදී)

3. අනතුර පිළිබඳවත්, ගලවාගැනීමේ මෙහෙයුම පිළිබඳවත් දත්ත සටහන් වී ඇති ග්‍රාෆික රූපයක්


මෙම ග්‍රැෆික් චිත්‍රය මා සොයාගත්තේ අහම්භයෙනි. එය ස්පාඥ්ඥ බසින් විදෙස් සඟරාවක පළකොට අන්තර්ජාලයට මුදාහැර තිබූ එකකි. පළමුව එහි ස්පාඥ්ඥ බස ඉංග්‍රීසියට පෙරළා (ගූගල් භාෂා පරිවර්තකය මගින්) පසුව එය සිංහලට පෙරළා පොටෝෂෝප් මෘදුකාංගය මගින් සදොස් තැන් නිවැරදි කර ඉදිරිපත් කර ඇත. මේ මත ක්ලික් කිරීමෙන් මෙහි විශාලනයක් ලබාගත හැක.

4. දිවි බේරාගත් 16 දෙනාගෙන් මෑතකදී මියගිය එකම පුද්ගලයා.



16. (ජාවියල් මෙතල් (Javier Methol) 1972 ඔක්තෝබර් 29 දින ඇතිවූ දරුණු හිම නායයාමේදී එතෙක් ජීවත්ව සිටි එකම හා අවසාන මගී කාන්තාව වන ලිලිනියා මෙතල් ගේ දයාබර ස්වාමි පුරුෂයා මොහුය. පසුව සමාගම් අධ්‍යක්ෂවරයෙකු මෙන්ම දේශකයෙකුද වූ ඔහු 2015 ජූනි 04 දින අවුරුදු 79 වියේදී මොන්ටිවීඩියෝහි දී අභාවප්‍රාප්ත විය. වමේ සිට-එදා සිද්ධියේදී, හිම මත හෙලිකොප්ටර් යානාව එනතෙක්, මැදි වියේදී සහ ලිලිනියා මෙතල්)

5. සත්‍ය සිද්ධියේදී කැමරාගත කළ දර්ශන/වාර්තා වැඩසටහන්. 

පළමු හෙලිකොප්ටරයෙන් විපතටපත්වූවන් බේරාගැනීමට යාමේදී එම යානාවේ සිට වීඩියෝ (එකළ චිත්‍රපට කැමරා) කැමරාවකින් රූපගත කළ දුර්ලභ දර්ශන සහ දෙවන හෙලිකොප්ටරයෙන් රැගෙන ආ සෙසු සහෝදරයින් යානාවෙන් බසින විට පැරඩෝ විසින් ඔවුන් වැළඳගන්නා සංවේදී දර්ශන සහ වෙනත් දර්ශන අඩංගු වීඩියෝවේ යූ ටියුබ් ලින්ක් එක 


නැෂනල් ජියොග්‍රැෆික් නාලිකාවේ විකාශය වූ වාර්තා වැඩසටහන- යූ ටියුබ් ලින්ක් එක


හිස්ටරි නාලිකාවේ විකාශය වූ වාර්තා වැඩසටහන- යූ ටියුබ් ලින්ක් එක


ස්පාඥ්ඥ භාෂාව අපට නොතේරුණත් අනතුරින් බේරුණු අදටත් ජීවත්ව ඉන්නා ඇන්ඩීස් වීරයෝ රූපවාහිනී මැදිරියක වැඩසටහනක් සඳහා එකට එකතුවූ දුර්ලභ අවස්ථාවක් . එම ස්පාඥ්ඥ භාෂාවෙන් නිපැයුණු එම වීඩියෝවේ යූ ටියුබ් ලින්ක් එක 


2012 ඔක්.13 පැවති ඛේදවාචකය සැමරීමේ 40 වන සංවත්සරය- යූ ටියුබ් ලින්ක් එක


Alive- එලයිව් චිත්‍රපටයේ අඩු විභේදනයක් සහිත (Low Quality )වීඩියෝවක යූ ටියුබ් ලින්ක් එකක් .


6. දිවිදුන් ගුවන් කාර්ය මණ්ඩලයේ සහ මගීන්ගේ නාම ලේඛනය. 

අනතුරින් මියගිය 29 දෙනාගේ නාම ලේඛනය - නමට ඉදිරියෙන් දක්වා ඇත්තේ මියයන විට ඔහුගේ හෝ ඇයගේ වයසය.


01. Coronel Julio César Ferradás Benítez, 39, ප්‍රධාන නියමු 
02. Teniente coronel Dante Héctor Lagurara Guiado, 41, සහාය නියමු
03. Teniente Ramón Martínez Rezende, 30, යානයේ දිශාව බාරකරු
04. Sargento Ovidio Joaquín Ramírez Barreto, 26, ගුවන් සේවක
05. Sargento Carlos Roque González, 24, කාර්මික ශිල්පී 
06. Francisco Domingo Abal Guerault, 21
07. Gastón Costemalle Jardi, 23
08. Rafael Echavarren Vázquez, 22
09. Guido José Magri Gelsi, 23
10. Jorge Alexis Hounié Sere, 20
11. Felipe Horacio Maquirriain Ibarburu, 22
12. Graciela Obdulia Augusto Gumila de Mariani, 43
13. Julio Martínez Lamas, 24
14. Daniel Agustín Maspons Rosso, 20
15. Juan Carlos Menéndez Villaseca, 22
16. Liliana Beatriz Navarro Petraglia de Methol, 34
17. Esther Horta Pérez de Nicola, 40
19. Francisco Nicola Brusco, 40
10. Gustavo Diego Nicolich Arocena, 20
20. Arturo Eduardo Nogueira Paullier, 21
21. Eugenia Dolgay Diedug de Parrado, 50
22. Susana Elena Alicia Parrado Dolgay, 20
23. Marcelo Pérez del Castillo Ferreira, 25
24. Enrique Platero Riet, 22
25. Daniel Gonzalo Shaw Urioste, 24
26. Diego Storm Cornah, 20
27. Numa Turcatti Pesquera, 24
28. Carlos Alberto Valeta Vallendor, 18
29. Fernando Vásquez Nebel, 20




(මියගිය 29 දෙනාගෙන් කාර්ය මණ්ඩලයේ 5 දෙනා හැර ඉතිරි 24 දෙනා මෙහි දැක්වේ)

තොරතුරු මූලාශ්‍රය - විකිපීඩියා නිදහස් විශ්වකෝෂය/ගූගල් සිතියම/Alive චිත්‍රපටය/ගූගල් සෙවුම් යන්ත්‍රය