Saturday, August 20, 2016

Kamal D. Athukorala - කමල් ඩී. අතුකෝරාල

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු දේශීය වැඩසටහන් සම්පාදකවරයෙකු හා ජනශ්‍රැති පර්යේෂකයෙකු වූ සංගීතඥ කමල් ඩී. අතුකෝරාල මහතාගේ 36 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි


බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ දේශීය ගැමි කට හඩකින් ගැයෙන මෙම ගීතය ඔබට කලකට පෙර ගුවන් විදුලියෙන් නිතර අසා ඇතිවාට සැකයක් නැත. අද එය ඇසෙන්නේ කලාතුරකිනි. ගීතය ගයන ගායකයා කව්ද? අද ඔහු කොහිද? එම ගීතයට ආදරය කරන රසවතුන් එහි ගායකයාගේ වගතුගත් දැනගන්නට කැමැත්තෙන් ඇතැයි සිතමි.

ඔහු අන් කිසිවෙකු නොව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු දේශීය වැඩසටහන් සම්පාදකවරයෙකු හා සංගීතවේදියකු වූ කමල් ඩී. අතුකෝරාල මහතාය. ඔහු අප අතරින් වියෝවී අදට (2016/08/20 වෙනිදාට) වසර 36 ක් සම්පූර්ණ වෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 

බිංකුණ්ඩා යනු ඉතා කුඩා කෘමියෙකි. උන් ජීවත්වන්නේ සියුම් වැලි අතරේ රිංගාගෙනය. වැලි අතරින් උඩට පැමිණි බිංකුණ්ඩෙකු දකින්නටත් අමාරුය. වැලි අතරින් ඌව උඩට ගත්තත් එසැණින් ඌ වැලි අතර සැඟවී යයි. එවිට කෝණාකාර වලක් ඒ කියන්නෙ ආවාටයක් නිර්මාණය වෙයි. අසවල් වැලි වල බිංකුණ්ඩන් සිටින බවට ඇති එක් සලකුණක් නම් ඒ වැලි වල කුඩා කෝණාකාර ආවාට දක්නට ලැබීමයි. එවැනි වැලි අතර ඇති ආවාට වටා ඇඟිල්ලකින් කැරකැවීම කලකට පෙර ලංකාවේ ළමුන් සිදුකල අහිංසක ක්‍රීඩාවකි. අපිද එය කර ඇත්තෙමු. එවිට වැලි අතර සිටිනා බිංකුණ්ඩන් ඇඟිල්ලේ චලනයට අනුරූපිව වටේට දඟලමින් ගමන් කරයි. කව්රුත් කියන්නේ උන් අපේ තාලයට නටනා බවයි. මෙසේ අපි උන් නටවන්නේ එක්තරා ගීයක් මුමුණමින්ය. පැරණි අය කව්රුත් දන්නා එම ගීතය නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ තෝත් නටාපිය මාත් නටන්නම් යන ගීතයයි. එය ජන ගීයක් යැයි විශ්වාස කරමි. එම ජන ගී සහ ජනශ්‍රැති පාදක කරගෙන බිංකුණ්ඩන් පිළිබඳව මනරම් නව ගීයක් 1960 දී පමණ ගුවන්විදුලි සංස්ථාවේ සිටි සංගීතවේදියෙකු විසින් නිර්මාණය කරන ලදී. ඒ දේශීය කියමන්, දේශීය ජන ගී හා දේශිය ගී තනු ඇසුරෙන් නිෂ්පාදනය කළ “සප්තමධුර” නම් ගීත නාටකය සඳහාය. එහි සංගීත නිර්මාණය පමණක් නොවේ ගායනයද ඔහුගේය.


බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ //
තෝත් නටාපිය මාත් නටන්නම්
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ - බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ //
..............................................(සංගීතය)
එරොප්පෙ නැටුමක් තෝත් නටාපිය සිංහල නැටුමක් මාත් නටන්නම්//
සිංහල නැටුමක් මාත් නටන්නම්
දොමිකිට තක දොං දොමිකිට තක දොං//
එරොප්පෙ නැටුමක් තෝත් නටාපිය සිංහල නැටුමක් මාත් නටන්නම්
සිංහල නැටුමක් මාත් නටන්නම්
බිංකුණ්ඩෝ තෝ ටුවිස්ට් නටාපිය මං මගෙ තාලෙට තෙල්මෙ නටන්නම්
තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ
.......................................... (සංගීතය)
ඉතාලි නැටුමක් තොගෙන් නටාපිය උඩරට නැටුමක් මගෙන් නටන්නම්//
උඩරට නැටුමක් මගෙන් නටන්නම්
දෝං දොමිත දොං ජිං රුකුගත - තකුංජීන්තා ජින්කිත කිතතක//
ඉතාලි නැටුමක් තොගෙන් නටාපිය උඩරට නැටුමක් මගෙන් නටන්නම්
උඩරට නැටුමක් මගෙන් නටන්නම්
බිංකුණ්ඩෝ තෝ පොතෙන් නටාපිය මං මගෙ තාලෙට හිතෙන් නටන්නම්
තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ




බිංකුණ්ඩෝ ගීතය ඇසීමට
1930 අගෝස්තු 13 දින උපන් කමල් ඩී. අතුකෝරාල මහතා සංගීතඥයෙකු සහ ගායකයෙකු වුවද ඔහු ක්ෂේත්‍ර ගණනාවක දස්කම් පෑ කලාකරුවෙකු බව බොහෝ දෙනා නොදනී. ජනශ්‍රැති සංරක්ෂකයෙකු, ජනගායනා පර්යේෂකයෙකු, කවියෙකු, උඩරට නර්තන ශිල්පියෙකු, නළුවෙකු, ලේඛකයෙකු හා මාධ්‍යවේදීයෙකුව සිටි බව දන්නේ ඔහු ළඟින් ඇසුරු කළ කීපදෙනෙක් පමණි. එවැනි හැකියාවන් රැසක් සහිත පුද්ගලයන් අද දක්නට නොමැති තරම්ය. දුෂ්කර ගම්මාන වලට ගොස් සිංහල ජනගී සංරක්ෂණය කිරීමට ඔහු තවත් ජන ගී විශාරදයෙකු වන පී.ඩබ්. මකුළොළුව මහතා සමග එක්වුනි. මේ නිසා අතුකෝරාල මහතාද ජන සංගීතයට සිදුකර ඇති සේවය ඔහුගේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී මොනවට පැහැදිලි වෙයි. 

විරිදු හා ජනගී ඇසුරින් ප්‍රතිනිර්මාණය කරන ලද අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියා, කහමලියේ අන්අර කහමලියේ, මධුමදිරා මිහිර සොරා යන ගීත කලකට ඉහත ගුවන්විදුලියේ නිතර ප්‍රචාරය වූ ඔහු ගැයූ ජනප්‍රිය ගීත අතරින් කීපයකි.

සිංහල වේදිකාවට පිවිසිණු ප්‍රථම විරිදු නාටකයට සම්බන්ධවීමට තරම් අතුකෝරාල මහතා වාසනාවන්ත විය. ඒ අනුව විමලවීර පෙරේරා රචනා කළ ලංකාවේ ප්‍රථම විරිදු නාටකය වූයේ මධුමතීය. එහි එන ගීත සියල්ල සංගීතවත් කළේ කමල් ඩී. අතුකෝරාලය. 

ප්‍රථම විරිදු නාටකයවූ මධුමතීට ඔහු විසින් සංගීතවත් කළ ගීතයක් පිළිබඳව එදා සරසවිය පුවත්පතේ පළවූ ලිපියක්


අතුකෝරාල මහතා විවාහ ගිවිසගත් දා



අතුකෝරාල මහතාගේ පවුලේ සාමාජිකයින්
වමේ සිට පුත් සඳුන්, දියණිය තිළිණි හා භාර්යාව නන්දා මහත්මිය


පුවත්පතකට “එයා වෙනුවට හඳ” යන සිරසින් ලිව් රසබර පදවැලක අන්තිම කවි දෙක මෙසේ දක්වමි. තම පෙම්වතිය තමා හැරදා වෙනතක ගිය පසු ඇය වෙනුවට සඳට ආදරය කරන පෙම්වතෙකුගේ ඇසින් මෙම කාව්‍ය රචනා වී තිබේ. කමල් ඩී. අතුකෝරාලගේ කවීත්වයට මෙය හොඳ නිදසුනකි.



“හදවත පුබුදු කළ මොලකැති හස  රැල්ල
අද නැත පෙර පරිදි දැඩි වෙයි මැසි  විල්ල
පෙරමග ගන්න ඉවහල් වන කඳු  ලැල්ල
එනු මැන ඔබෙන් ලද හැක මට සැන  සිල්ල

නෙතින් ගලන කඳුලැලි ගජ මුතු වෙද්දෙන්
ගතින් හැලෙන දා බිඳු මිණි කැට වෙද්දෙන්
සිතින් නැගෙන සිතිවිලි මිලිනව යෙද්දෙන්
ඉතින් එයා වෙනුවට හඳ හිනැ හෙද්දෙන්”



අතුකෝරාල මහතාගේ ස්වර ප්‍රස්ථාර ඔහුගේම අත් අකුරින්

එදා ලංකාවේ පුවත්පත්වල චිත්‍රකතා වෙනුවට පිංතූර කතා පළවුණි. ලංකාදීප පත්‍රයට හොල්මන නමින් පළවූ පිංතූර කතාවට අතුකෝරාල මහතා නළුවෙකු ලෙස එක්වී සිටි අයුරු

ඔහු ‍ලේඛන කලාවටද දක්ෂයෙකු බව සනාථ කෙරෙන ඔහු ලියූ පුවත්පත් ලිපියක්


1969 දෙසැම්බර් 21 දින ඔහු අතිනත ගත්තේ කොළඹ මහ රෝහලේ මාණ්ඩලික හෙදි නන්දා අතුකෝරල මහත්මිය සමගය. වැඩිකල් නොගොස් දරුවන් දෙදෙනෙකුගේ සුරතල් බැලීමට ඔහු වාසනාවන්ත විය. වැඩිමලා දියණියක වූ අතර ඇය තිළිණිය. බාලයා සඳුන් පුතාය. දිවියේ අවසන් කාලයේ ඔහු පදිංචිව සිටියේ මහරගම ප්‍රදේශයේය. සිය 50 වන ජන්ම දිනය සමරා දින හතකට පසු එනම් 1980 අගෝස්තු 20 දින ඔහු අප අතරින් සදහටම සමුගගෙන ගියේය.

මා උපන්දා සිට1988 දක්වා පදිංචිව සිටියේ මහරගම විද්‍යාකර මාවතේ නිවසකය. අපගේ නිවස ඉදිරිපිට නිවසේ (ඉස්සරහ ගෙදර) සිදුවන හැමදෙයක්ම අපගේ මතකයේ පවතී. අප කුඩා කාලයේ පටන් දන්නා පවුලක් එහි කාලයක් පදිංචිව සිටියේය. ඔවුන් එක් දිනක් හදිසියේ බඩු බාහිරාදිය වාහනවලට පටවනවා දුටුවෙමු. විපරම් කර බැලීමේදී දැනගන්නට ලැබුණේ ඔවුන් නිවස විකුණා ඇති බවත් එම නිවස හැර යන බවත්ය. ටික දිනකින් අළුත් කට්ටියක් නිවසේ පදිංචියට පැමිණි අතර ඔවුන් ඉතා ඉක්මණින් අප සමග කුළුපග විය. එයට එක් හේතුවක් වූයේ අප ගුවන්විදුලියෙන් කලින් අසා පුරුදු ජනප්‍රිය ගායකයෙකු ඒ නිවසේ මූලිකයා වීමයි. ඒ අන් කවරෙකු නොව ඉහත සඳහන් කළ ඒ වනවිට ජනප්‍රිය විරිදු ගායකයෙකුව සිටි කමල් ඩී. අතුකෝරාල මහතායි. මා ඇතුළු නංගිලා මල්ලිලා ඔහු ඇමතුවේ අතුකෝරාල අංකල් කියාය. 

මගේ පියා ‍සේවය කළේ ලේක් හවුස් ආයතනයේය. අතුකෝරාල අංකල් සේවය කළේ ගුවන් විදුලි සංස්ථාවේය. ප්‍රධාන ජනමාධ්‍ය ආයතන දෙකක දෙදෙනාම සේවය කළ නිසාත් දෙදෙනාම දක්ෂ කවියන් වූ නිසාත් පියාත් අතුකෝරාල අංකලුත් මිතුරන් බවට පත්වීමට වැඩිකල් ගියේ නැත. මගේ පියා සේවය නිමවී බොහෝවිට නිවසට එන්නේ සවස හය හත වේලාවටය. ඒ වනවිටත් අතුකෝරාල අංකල් සේවය නිමවී නිවසට පැමිණ අවසන්ය. එවැනි දවස්වල අංකල් අපේ නිවසේ මිදුලට පැමිණේ. මමත් නංගිල මල්ලිලාත් පියාත් අංකල්ව වටකරගෙන කතා කියන්නට පටන්ගනී. ඒ සඳහා අංකල් ඇතුළු සියළු දෙනා අපේ නිවසේ කොටු තාප්පය මත හිඳගනී. ආගිය තොරතුරු කලා තොරතුරු රටේ තොරතුරු දෙපක්ෂය අතර හුවමාරු වන්නේ මෙතැනදීය. මේ සඳහා පැය දෙක තුනක් ගන්නා නිසා බොහෝවිට කතා මාලාව අවසන් වන්නේ රෑ බෝවීමෙන් පසුය. පවුලේ ළමයින් ඒ කතා අසා ඉන්නවා හැරෙන්න ඒවාට සම්බන්ධ වන්නේ නැත. නමුත් ඒ ආශ්‍රයට අප බොහෝ කැමති විය. 

කමල් ඩී. අතුකෝරාල මහතාගේ හදිසි වියෝව මට අද වගේ මතකය. දිනය 1980 අගෝස්තු 20 උදේ වරුවයි. මා නිවසේ යම් වැඩක යෙදී සිටින අතරතුර අපගේ නිවසේ කෙනෙකු අන්න කාටද මොකක්ද වෙලා යැයි හඩ නගා කියනු මට ඇසුණි. මා ඉස්සරහ නිවස දෙස බැලූවිට පෙනුණේ අසල නිවසක පිරිසක් අතුකෝරාල මහතාගේ නිවසට දුවයන අයුරුයි. ඒ එක්කම කව්දෝ විලාප දෙන හඩකුත් ඇසුණි. ඒ කුමක්දැයි ගොසින් බලන ලෙස මට අම්මා පැවසුවාය. මම හනිකට ඉස්සරහ නිවසට ගොස් බැලූවිට එහි කාමරයක ඇඳක් මත සිහිසුන්ව දිගාවී උන් අතුකෝරාල මහතාට ඔහුගේ භාර්යාව නන්දා මහත්මිය ඔහුට කෘතිම ශ්වසනය දෙන අයුරු දුටුවෙමි. තව කෙනෙකු දෙපා රත් කිරීමට ගිනි කබලක් අල්ලන් ඉන්නා අයුරුත් දුටිමි. ඒ මහතා අසල ඒ මහතාගේ මෑණියන්ද සිටිනු දුටිමි. ඒ මහතාගේ දියණිය ඒ අවස්ථාවේ මගේ මව විසින් අපේ නිවසට රැගෙන ගොස් තිබුණි. ඒ මහතාගේ දියණිය අද එම අවස්ථාව ස්මරණය කළේ මෙසේය. “ඒ වනවිට මට අවුරුදු 5ක් විතර වෙනවා. ඒ වෙලාවෙ වෙච්ච දේවල් මට තාම හොඳට මතකයි. අම්මා කලින්දා නයිට් ඩියුටි කරලා උදේ නිදාගෙනයි හිටියේ. මල්ලියි, මමයි අල්ලපු ගෙදර නංගියි එදා උදේ සෙල්ලම් කරකර හිටියේ. මල්ලියි, අර නංගියි රණ්ඩුවුනාට පස්සෙ භූමිතෙල් කෑන් එකක් පෙරලුනා. ඒ වෙලාවේ අම්මා ඇවිත් අපිට බැන බැන බිම සුද්ද කරලා තාත්තට තේ බොන්න කතා කලා. නිදාගෙන හිටිය තාත්තා නැගිට්ටේ නැහැ. ඒ වෙලොවෙ උදේ 10ට විතර ඇති. අහල පහලින් උදව් ඉල්ලුවා. කට්ටිය ආවා. ඉස්සරහ ගෙදර ඇන්ටි මා ඒ ගෙදරට එක්කන් ගියා.” අවශ්‍ය හදිසි කටයුතු කළේ අවට නිවැසියන්ය. ප්‍රථමාධාර වලින් ගුණයක් නොලද නිසා අතුකෝරාල මහතාව රෝහලට රැගෙන යාමට අවශ්‍ය විය. ඒ අවස්ථාව වනවිට මෝටර් රථයක් හිමිව තිබුණේ අතුකෝරාල මහතාගේ නිවස පිටුපස පිහිටි නිවසේ අයට පමණි. ඔවුන්ද උදව්වට පැමිණියහ. ඔවුන්ගේ මෝටර් රථයෙන් අතුකෝරාල මහතාව රෝහලට රැගෙන යන ලදී. මේ අවස්ථාව මතකයට එන විට සංවේදී යමක් මසිත පෙළයි. අතුකෝරාල මහතාව මෝටර් රථයට රැගෙන යාමේදී මා ඔහුගේ දෙපයින් අල්ලාගත් මොහොත මට අද වගේ මතකය. ගමේ කවුරුත් නොවසිල්ලෙන් බලා සිටියේ රෝහලෙන් තොරතුරක් ලැබෙන තෙක්ය. සවස එක වනවිට කව්රුත් බලාපොරොත්තු නොවූ දුක්මුසු පුවතක් කනවැකුණි. ඒ අප කව්රුත් ආදරය කළ කමල් ඩී. අතුකෝරාල මහතා මියගිය පුවතයි. පසුව දැනගන්නට ලැබුණේ නින්දේදීම ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ඒ මහතා මියගොස් ඇති බවය. ගොඩිගමුව පොදු සුසාන භුමියේදී සිරුර මිහිදන් කෙරිනි. ඒ මහතාගේ අවසන් දර්ශනය ලබාගැනීමට මා කනත්තේ දී විවෘත වී ඇති දෙන දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ සංවේගයෙනි.

ඒ මහතාගේ දියණිය තිළිණි ජිතේන්ද්‍රිකා අතුකෝරාලද පියාගේ අඩිපාරේ ගමන්කළ ජනප්‍රිය කලාකාරිනියකි. සිය පියා මෙන් ඇයද කලා ක්ෂේත්‍ර ගණනාවක දස්කම් පෑවාය. ඒ නිසා මට ඇය ජනප්‍රිය ගායිකාවක් පමණක් ලෙස හැඳින්විය නොහැක. ගායිකාවක්, නිවේදිකාවක්, ගේය පද රචිකාවක්, සංගීතඥවරියක්, කිවිඳියක්, ලේඛිකාවක් ආදි බහු කලා මාධ්‍යයන්හි උපරිම තලයට පැමිණි තාරකාවක් ලෙස හැඳින්වීම සාධාරණ යැයි සිතේ. වෙනත් කලාකරු පවුල්වල මෙවන් දියණියකට ඉදිරියට ඒම සඳහා අත දීමට ඇගේ කලාකරු මව් පියන්ට නිරායාසයෙන්ම අවස්ථාව සැලසේ. නමුත් තිළිණි දියණියට ඒ අවස්ථාව මග හැරෙන්නේ ඇගේ ආදරණීය කලාකරු පියා ඈ කුඩා කාලයේදීම ජීවිතයෙන් සමුගත් නිසාය. නමුත් පියාගේ ආරෙන් ලැබුණු උපන් හැකියාවක් ඈ සතු නිසාදෝ සියළු අභියෝග ජයගෙන ඉදිරියට යාමට නොපසුබට අධිෂ්ඨානයක් ඈ සතුවිය. මවද කලාවට සම්බන්ධ නොවූ අයෙක් නිසා තිළිණිට තම අරමුණ කරා යාමට සිදුවූයේ තනිවමය. ඒ සඳහා පියාගේ මිතුරන් හිතවතුන් ප්‍රවීන කලාකරුවන් ඇයට පිටුපසින් සිට උදව් කළහ. හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙන්නාසේ ඇය කුඩාකලම ඇගෙන් ඒ බව පිළිඹිබු වන්නට විය. මට මතක හැටියට ඇයට අවුරුදු 10ක් පමණ වන වයසේදී (ඒ වනවිටත් පියා මියගොස් ඇත.) ගමේ කොල්ලො කුරුට්ටො තනිවම රැස්කරගෙන විවිධ කලා කටයුතු සංවිධානය කිරීමට තරම් ඉදිරිපත්වීමේ ශක්තියක් ඈ සතුවිය. මේ කාලය වනවිට අප අපේ නිවස හැරදා වෙනත් ප්‍රදේශයකට පදිංචියට පැමිණියෙන් පසුකල ඇගේ ජීවන තොරතුරු දැනගැනීමට හා දැකගැනීමට අවස්ථාවක් නොලැබුණි. නමුත් ලැබුණු තොරතුරු වලට අනුව ඇය පාසල් කාලයේත් (මහරගම ජනාධිපති විද්‍යාලයේ සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ) දක්ෂ ලෙස කලා කටයුතුවල නිරතවී තිබේ. සංගීතපති ප්‍රේමදාස මුදුන්කොටුව මහතාගෙන් සංගීතය හැදෑරූ ඇය අද සංගීතය පිළිබඳ විශාරද උපාධිධාරිනියක‌ද වන්නීය. තම අරමුණ කරා පියවරෙන් පියවර ගමන් ගත් දිරිය දියණියක් වූ ඇය 21 වන වියේදී ඇගේ පළමු රැකියාව ලෙස ලක්හඬ ගුවන් විදුලි සේවය තෝරාගත්තාය. පසුව විසිර සංස්කෘතික විකාශය, ඉසුර එෆ්.එම්. යන මාධ්‍ය ආයතනයන් හි නිවේදිකාවක, නිෂ්පාදිකාවක, ප්‍රවෘත්ති සංස්කාරිකාවක සහ ප්‍රකාශිකාවක ලෙසත් සෙත් එෆ්.එම්. ආයතනයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනිය ලෙසත් කටයුතු කලාය. ඉන් අනතුරුව  www.senehasarasdio වෙබ් ගුවන්විදුලියේ සිංහල සේවයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසත් ඒෂියන් මිරර් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ ප්‍රවෘත්ති සංස්කාරිකාව ලෙසත් කටයුතු කලාය. දැන් ඇය ඇගේම ලක්දන වෙබ් ගුවන් විදුලියේ ප්‍රධාන නියමු ලෙස කටයුතු කරන්නීය. සිය පියා සිටි තත්වයට සමාන තත්වයකට පැමිණීමම තිළිණි දියණිය මියගිය සිය පියාට සිදුකරන ලොකුම හා හොඳම උපහාරය නොවන්නේද? 

අතුකෝරාල මහතාගේ දියණි තිළිණි ජිතේන්ද්‍රිකා අතුකෝරාල
මාධ්‍යවේදිනියක ලෙස

කමල් ඩී. අතුකෝරාල මහතාගේ එකම පුත්‍ර රත්නය සඳුන් අතුකෝරාලයි. ඔහු තරුණ වියේදීම ජාතික රූපවාහිනියට බැඳුණේය. අද ඔහු එහි අංග රචන ශිල්පියෙකු ලෙස සේවයේ යෙදී සිටින අතර ඔහුගේ සහකාරිය වී සිටින්නේ ජනප්‍රිය නිවේදිකා හා නිළි සුරංගි කෝසලාය.


අතුකෝරාල මහතාගේ පුත් සඳුන් අතුකෝරාල
ජාතික රූපවාහිනියේ අංගරචන ශිල්පියෙකු ලෙස

මෙයට වසර 36 කට පෙර අප අතරින් වෙන්වී ගිය දක්ෂ කලාකරුවෙකු සේම හිත හොඳ සහෘදයෙකු වූ කමල් ඩී. අතුකෝරාල මහතා නැවතත් අප අතරම ඉපදේවා කියා පතමි.

Thursday, August 18, 2016

Madunagala Hot Springs - මාදුනාගල උණුදිය උල්පත් බලන්න යමු



ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ විනෝද සංචාරයේ යෙදෙන හෝ කතරගම වන්දනාවේ යන ඔබට එහි යන අතරතුර පහසුවෙන් යාහැකි, බොහෝදෙනා නොයන බොහෝදෙනා නොදන්නා එහෙත් දන්නා අය නිතර යන එන ස්ථානයක් පිළිබඳව දැනුවත් කරන්නට සිතුනි. ඒ මාදුනාගල උණුදිය උල්පත් බැලීමට යාමයි. කැමතිනම් එතැන ඇති ඖෂධීය උණුවතුරින් ස්නානය කිරීමටද හැකිය. මේ පිළිබඳව නොදන්නා අයට දැනුවත් කිරීමට ගත් උත්සාහයේදී මේ ස්ථානය පිළිබඳව හැදෑරීමටද හැකිවිය. මේ නිසා එහි නිතරම යන එන ඒ ගැන දන්නා අයවත් නොදන්නා තොරතුරු සමූහයක් මට ලැබිණි. මේ සටහන ඒ පිළිබඳවයි.

පොළොව අභ්‍යන්තරයේ ඇති උණුසුම් ලාවා (ලෝදිය) තට්ටු වලින් උණුසුම ලබාගෙන ඉන්පසු අවසාදිත පාෂාණයක් වන හුණුගල් තට්ටුව හරහා උල්පත පොළොව මතුපිටට පැමිණෙයි. මෙය උණුදිය උල්පත් ලෙසින් අපට දිස්වේ. හුණුගල් හරහා පැමිණීමෙන් එම ජලයට ඛනිජ ලවණ ගණනාවක් එකතුවෙයි. ජලයට ඖෂධීය ගුණයක් ලැබෙන්නේ මේ නිසාය. ඒ නිසා මෙම ජලය නිකම්ම උණු වතුර නොවේ. මෙම ඖෂධීය ජලය ස්නානය කිරීමෙන් සමේ ඇති වන දිලීර රෝග (අළුහම්, කුෂ්ඨ , බිබිලි, දද) ඇතුළු රෝග ගණනාවකටත් ශරීරයේ ඇතිවන වාත වේදනා රැසකටත් ඉක්මන් සුවය ලැබෙන බව අනාදිමත් කාලයක සිට ජනතාව විශ්වාස කරයි. 

ලෝකයේ මෙවැනි ස්වභාවික උණුදිය උල්පත් ඇත්තේ ස්වල්පයකි. ඒ නිසා එය සොබාදහමේ දුර්ලභ විශිෂ්ඨ නිර්මාණයක් බව භූ විද්‍යාඥයෝ සලකති. එහෙයින් මෙවැනි උල්පතකින් ස්නානය කිරීමද ලෝකයේ හැමටම කළ නොහැකි දුර්ලභ වරමකි. වාසනාවට අපේ රටේ මෙවැනි උණුදිය උල්පත් කීපයක් ක්‍රියාත්මකව පවතී. ඒවායින් ප්‍රධානම උල්පත ලෙස සැලකෙන්නේ අනුරාධපුර-ත්‍රිකුණාමලය මාර්ගයේ පිහිටි කන්නියා (සමහරු මෙය කින්නියා ලෙස වැරදියට උච්චාරණය කරති) උල්පතයි. දෙවැන්න බදුල්ල මඩකලපුව මාර්ගයේ පිහිටි මහ ඔය උණුදිය උල්පතයි. තුන්වැන්න මහපැලැස්ස හෙවත් මාදුනාගල උල්පතයි. තවත් උණුදිය උල්පත් කීපයක් නැගෙනහිර පළාතේ පිහිටා ඇත.

ලංකාවේ ඇති ප්‍රධාන උණුදිය උල්පත් මෙසේ දැක්විය හැක.


වහව පීඩන උණුදිය උල්පත
(ඡායාරූපය - www.panoramio.com)
කපුරැල්උ උණුදිය උල්පත

(ඡායාරූපය - www.lakdasun.com)
නෙළුම්වැව උණුදිය උල්පත

(ඡායාරූපය - exploresrilanka.lk)
මහඔය උණුදිය උල්පත

(ඡායාරූපය - flickr.com)
කිවුලේගම උණුදිය උල්පත


(ඡායාරූපය - www.lakdasun.com)
මා දකින හැටියට දැනට දර්ශනීය ලෙස සහ පහසුකම් සියල්ල සපිරි ලෙස ගොඩනගා ඇත්තේ මාදුනාගල උණුදිය උල්පතයි. මෙහි ප්‍රධාන ළිං පොකුණ නියම උණුදිය උල්පතට සම්බන්ධ කර ඇති නිසා එහි ජලය වඩා උණුසුම්ය. (සෙල්සියස් අංශක 44ක් පමණ) එතැන් සිට නළ මගින් ඊට යාබද ළිඳ වෙත ජලය සම්ප්‍රේෂණ වෙයි. මේ නිසා දෙවන ළිඳේ ජලය උණුසුම් බවින් ටිකක් අඩුය. මේ ආකාරයට ප්‍රධාන උල්පත් ළිඳට අමතරව ළිං 5ක් නිර්මාණය කර ඇත. මේ නිසා තමන් කැමති උණුසුම් මට්ටමක ජලයෙන් ස්නානය කිරීමට මෙහි එන සංචාරකයන්ට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇත.

මහපැලැස්ස උණුදිය උල්පත් ජලයේ රසායන සංයුතිය

විදේශයන්හි පිහිටි උණුදිය උල්පත්වල තත්වය බැලූවිට ඒවා බොහෝවිට ඇත්තේ සංචාරකයින්ට නැරඹීම සඳහා පමණි. ඒවායින් මිනිසුන් ස්නානය කරනු දැකිය හැක්කේ කලාතුරකිනි. එයට හේතුව අධික උෂ්ණත්වය නිසාත් එහි ජලය පතුලේ ගිනිකඳු ලාවා (මැග්මා) පිහිටන නිසාත්ය. එසේම ඒවා ලංකාවේ මෙන් ළිං බැඳ වතුර ඇදගෙන මිනිසුන්ට පහසුවෙන් ස්නානය කිරීම සඳහා නිර්මාණයකර නැත.



විදෙස්උ රටවල පිහිටි උණුදිය උල්පත්

මාදුනාගල හෙවත් මහපැලැස්ස උණුදිය උල්පතට යාමට ඇති මාර්ග

මේ සඳහා ඔබට මාර්ග කීපයක් භාවිතා කළ හැක.


1. ඔබ කොළඹ සිට මාතරට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් (Southern Expressway) යන කෙනෙකු නම් මාතර සිට හම්බන්තොට මාර්ගයේ නෝනාගම දක්වා ගමන්කළ යුතුය. නෝනාගමින් වමට හැරී ඇඹිලිපිටිය මාර්ගයේ ටික දුරක් ගොස් (ඇඹිලිපිටිය හන්දියට කලින්) පදලංගල හන්දියෙන් දකුණට හැරී සූරියවැව මාර්ගයේ ගමන් කළ යුතුය. එම මාර්ගයේ කිලෝ මීටර් 4ක් පමණ ගියවිට හමුවන කුඩා හන්දියෙන් දකුණට හැරී කිලෝ මීටර් 4ක් ගිය තැන මාදුනාගල උනුදිය උල්පත් සංකීර්ණයේ ප්‍රධාන දොරටුව සමීපයට පැමිණිය හැක. 


2. කොළඹ සිට රත්නපුර හරහා කතරගම යන අයෙකුට උඩවලවේ පැත්තට හැරෙන්නේ නැතිව තව දුරටත් ඉදිරියට ඇඹිලිපිටිය දක්වා ගමන් කළ යුතුය. ඇඹිලිපිටියේ සිට තව දුරටත් ඉදිරියට නෝනාගම පාරේ ගමන් කරන විට පදලංගල නගරය හමුවේ. එතැනින් වමට හැරී සූරියවැව මාර්ගයේ ගමන් කළ යුතුය. එම මාර්ගයේ කිලෝ මීටර් 4ක් පමණ ගියවිට හමුවන කුඩා හන්දියෙන් දකුණට හැරී කිලෝ මීටර් 4ක් ගිය තැන මාදුනාගල උනුදිය උල්පත් සංකීර්ණයේ ප්‍රධාන දොරටුව සමීපයට පැමිණිය හැක. 


3. කතරගම ගොස් අපසු පැමිණෙන වන්දනාකරුවෙකු නම් ඔහුට ද මාර්ග දෙකක් තෝරාගත හැක. හම්බන්තොට දක්වා පැමිණ එහි අධිවේගී මාර්ග සංකීර්ණයෙන් මීගහජඳුර දැක්වෙන මාර්ග පුවරුව භාවිතාකොට මීගහජඳුරට පැමිණ එතැනින් සූරියවැව හරහා පදලංගල දක්වා දිවෙන මාර්ගයේ පැමිණ ඉහත කී කුඩා හංදියෙන් වමට හැරී ඉහත කී අයුරු උණුදිය පොකුණට ළඟාවිය හැක. එහෙම නැත්නම් කතරගම සිට හම්බන්තොට මාර්ගයේ මිරිජ්ජවිල දක්වා ගමන්කර එතැන අධිවේගී මාර්ග සංකීර්ණයෙන් සූරියවැව පුවරුව භාවිතාකොට සූරියවැවට පැමිණිය යුතුය. එතැන් සිට පදලංගල දක්වා දිවෙන මාර්ගයේ පැමිණ ඉහත කී කුඩා හංදියෙන් වමට හැරී ඉහත කී අයුරු උණුදිය පොකුණට ළඟාවිය හැක.

උණුදිය උල්පතට ප්‍රවේශ වන මාර්ග සඳහන් සිතියම

උණුදිය උල්පත අවට ප්‍රදේශය

ඇතැමුන් මාදුනාගල උණුදිය පොකුණ බැලීමට යාමට බියවෙති. ඒ වෙන හේතුවක් නිසා නොව වල් අලින්ගෙන් කරදර ඇතිවේයැයි සිතන නිසාය. ඇත්ත වශයෙන් මෙම ස්ථානය අයත් ප්‍රදේශය අධ්‍යයනය කිරීමේදී එය කලකට ඉහත වල් අලින්ගේ රජදහනක්ව තිබී ඇත. අතීතයේදී හම්බන්තොට ප්‍රදේශයට දැඩි නියං සමයවල් පැවති කල්හි ජලය සොයා මෙම නොසිඳෙන ජල පොකුණ වෙත වල් අලින් පැමිණ තිබේ. ඇතැම් අවස්ථාවල කුඩා අලි පැටවුන් මෙම ජල වලට වැටී (එකල අද මෙන් ළිං බැඳ නොතිබුණි.) මරුමුවට පත්වූ අවස්ථා ද ඇත.

අතීතයේදී මෙලෙස වල්අලි පැමිණෙන්නට ඇත.
(සැකසූ ඡායාරූපයකි)



මෙම මාරක අනතුරු වැළැක්වීම සඳහාත් සංචාරකයන්ගේ පහසුව තකාත් වලවේ ව්‍යාපෘතියට අනුබද්ධ මහවැලි අධිකාරිය මගින් 1980 දී මෙම උණුදිය පොකුණ වටා තාප්ප ඉදිකළ අතර ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට වෙන වෙනම භාවිතා කිරීම සඳහා පහසුකම් සකස් කෙරිණ. ඉන්පසු අලි අනතුරු සිදුවූයේ නැත. දශකයකට හෝ දෙකකට පෙර ඝන වනාන්තරයක් මැද පිහිටි මෙම පොකුණ අද විවෘත මනරම් භූමියක පිහිටන සේ දර්ශනීයව නිර්මාණය කර ඇත. එසේම එම ස්ථානයට මනා ආරක්ෂාවක්ද යොදා ඇති නිසා අද එහි යාමට බියවිය යුතු නැත. 

මෙම ස්ථානයට මාදුනාගල උණුදිය උල්පත් යැයි ව්‍යාවහර කළත් එහි නියම නාමය මහපැලැස්ස උණුදිය උල්පත වේ. මහපැලැස්සට එන ඔබට ඒ අවට ඇති පුරාණ ගල්ලෙන් ආරණ්‍ය සේනාසන 2ක් ද දැකගත හැකිය. ඒ මාදුනාගල ආරණ්‍ය සේනාසනය සහ කරඹගල ආරණ්‍ය සේනාසනයයි. උණුදිය උල්පතට මාදුනාගල නම වැටී ඇත්තේ ඒ අසල පිහිටි මාදුනාගල ආරණ්‍ය සේනාසනය නිසා බව සිතිය හැක.

 මාදුනාගල ආරණ්‍ය සේනාසනය
(ඡායාරූපය - www.vvip.lk)


කරඹගල ආරණ්‍ය සේනාසනය

මාදුනාගලට පැමිණෙන ඔබට නැරඹිය යුතු තවත් ස්ථානයක් ඒ අසලම පිහිටා ඇත. ඒ ලංකාවේ පළමු සෆාරි සතුන්වත්ත (අලි, කොටි වනසතුන් කූඩුවල නොදමා නිදහසේ සිටින සතුන්වත්ත) වන රිදියගම සෆාරි පාක් එකයි. එය අභිනවයෙන් විවෘත කරන ලද්දේ 2016 මාර්තු 28 දින දීය.

ලංකාවේ පළමු සෆාරි උයන - රිදියගම  
(ඡායාරූපය - hirunews.lk)

රිදියගම  සෆාරි උයනේ සවාරියක් 

උණුදිය පොකුණ වෙත පහසුවෙන් ළඟාවීම සඳහා ඇඹිලිපිටියේ පදලංගල සහ සූරියවැව සිට පැමිණෙන මාර්ග ද උණුදිය පොකුණ ද වසර 2004 දක්වා පැවතියේ අබලන් තත්වකය. 2004 දී දකුණු පළාත් සභාවේ දකුණු පළාත් සංචාරක කාර්යාංශය මගින් දැනට පවතින තත්වයට ඉතා රමණීය ලෙස නැවත මෙම ස්ථානය නවීකරණය කරන ලදී.



උණුදිය උල්පත් බැලීමට යන ස්ථානයේ  ඇති ප්‍රධාන දොරටුව

විශාල වාහන නැවතුම් පලක්, ප්‍රවේශ පත්‍ර අලෙවි කරන කාර්යාලයක් හා වැසිකිළි එක් පසෙක ඇති අතර ස්නානය කරන ස්ථානයට සමීපව ඇඳුම් මාරුකරන කාමර 2ක් පිහිටා ඇත. බාහිර වෙළඳුන් හට අයත් වෙළෙඳසැල් කීපයක්ද ඇත. බීම හා ස්නැක් අලෙවිකරන ස්ථාන, බෙලිමල් හා රණවරා බීම පානය කළ හැකි කඩ, එළවළු විකුණන කඩ ඒ අතර වෙයි. 

මාදුනාගල අතීතය

ඉතාම ඈත අතීතයේදී අවුරුදු ලක්ෂ ගණනකට පෙර ස්වභාවිකවම මෙම උණුදිය උල්පත් නිර්මාණය වී තිබේ.

උණුදිය උල්පතක හරස්කඩක්  
(ග්‍රැෆික් චිත්‍රය -Sunday times/Suresh Fernando)

පුරාතනයේදී මාදුනාගල උණුදිය උල්පතට සමීපව පිහිටා තිබූ ආරණ්‍ය සේනාසනවල ඇති ගල්ලෙන්වල මහරහතන් වහන්සේලා වැඩ උන් බව සඳහන්වේ. එම රහතන් වහන්සේලා හා භික්ෂූන් වහන්සේලා මෙම උණුදිය උල්පතේ ඇති ජලයේ සමේ රෝග හා වාත රෝග නිවාරණය කිරීමේ බලයක් ඇති බව හොඳින් දැන සිටියහ. මේ නිසා උන් වහන්සේලා මෙම උණුදිය ස්නානය කිරීමට මෙම ස්ථානයට නිතිපතාම වැඩම කර තිබේ. 

ලංකාවේ සිටි කීර්තිමත් පුරා විද්‍යාඥයෙකු වූ ආචාර්ය ආර්.එල්. බ්‍රෝහියර් සිය ‘Seeing Ceylon’ නම් ග්‍රන්ථයේ මේ පිළිබඳව අපූරු සටහනක් ලියා ඇත. ඔහු කියන පරිදි අලි ඇතුන් සිය අවසන් හුස්ම හෙළීම සඳහා මේ කියන මහපැලැස්සේ උණු දිය වල වෙත පැමිණෙන බවයි.

මෙම උල්පත ඇති ළිඳෙන් ලබාගත් උණුසුම් ජලය බත් පිසීම සදහා යොදාගත්විට එම බත් නරක් නොවී දිගු කාලයක් තබාගත හැකි බව මෙහි ගම්මුන් පවසයි.

අතීතයේදී හම්බන්තොට දිසාපතිව සිටි ලෙනාඩ් වුල්ෆ් මහතා තම දිනපොතේ 1910/08/01 දින ලියා ඇති සටහනක මෙම මහපැලැස්සේ පිහිටි උණුදිය උල්පත් ජලයේ ඇති රසායනික සංයුතිය දක්වා ඇත. ඔහු මෙසේ කියයි, “ මා මේ පොකුණෙන් ලබාගත් ජලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යැව්වා. ඔහුගේ වාර්තාවේ හැටියට ජල කොටස් 10,000 ක් ගත්තොත් එයින් කොටස් 534ක ඝන ද්‍රව්‍ය අඩංගු බව දක්වල තියෙනවා. ක්ලෝරින්, මැග්නීසියම්, ලයිම් (හුණු) හා සල්පේට් අඩංගු බව එහි දැක්වෙනවා.”

අවුරුදු 50ක් නැත්නම් අඩසියවසක් තිස්සේ මහපැලැස්ස උණුදිය උල්පත මහ ඝන වනාන්තරයෙන් වැසී ගොස් තිබුණි. හරිහැටි මාර්ග නොතිබූ එකල අම්බලන්තොට - රිදියගම රජයේ ගොවිපලේ සිට මාදුනාගල ආරණ්‍ය සෙනසුන හරහා මෙම ස්ථානයට ළඟාවිය හැකිව තිබේ. එම මාර්ගයේ පැමිණෙන්නෙකුට කැලය මැදින් සැතපුම් 3ක් මගගෙවා පයින්ම පැමිණිය යුතුවිය.

එකල තිබූ අනෙක් මාර්ගය දුෂ්කර එහෙත් ත්‍රාසජනක අත්දැකීමක් ලබාගතහැකි මාර්ගයකි. ඒ සඳහා වලවේ ගඟෙන් බෝට්ටුවකින් එතෙර විය යුතුය. ලියන්ගස්තොට වැව් අමුණ අසලින් බෝට්ටුවට නැගී බෙගිගංතොටින් බැස දිවුල් ගස් වලින් පිරි කැලයක් මැද්දෙන් සැතපුම් 2-3 ක් ගමන් කිරීමෙන් පසු උණුදිය පොකුණට ළඟාවිය යුතුව තිබිණි.

එකල හම්බන්තොට දිස්ත්‍රික්කයේ (1908-1911) උප දිසාපතිව හුන් ලෙනාඩ් වුල්ෆ් වරක් මෙම උණුදිය වල සොයාගිය ගමන ඔහුගේ දිනපොතේ පැහැදිලිව ලියා තිබේ. ඔහු එම ස්ථානයට ළඟාවී ඇත්තේ ද වලවේ ගඟේ බෙගිගංතොට හරහා පැදවූ බෝට්ටුවකින් බව එහි සඳහන් වෙයි.

1960 දී එවකට පැවති රජය ජලවිදුලිය නිපදවීමටත් වාරි කටයුතු සඳහාත් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වලවේ ද්‍රෝණිය සංවර්ධනය කිරීමට තීරණයක් ගත්තේය. එය දැවැන්ත බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කරන ලදී. කෘෂි ආශ්‍රිත කර්මාන්ත ඇතිකිරීම, අළුතින් වී වගාව , වැව් අමුණු බැඳීම, විදුලි බලාගාර ඇති කිරීම, මහමාර්ග තැනීම ඒ අතර ප්‍රධාන වේ. එහි ආරම්භක පියවරක් වශයෙන් 1967 දී උඩ වලවේ ජලාශය ඉදිකළේය. ඉන්පසු ආසියානු සංවර්ධන බැංකුව වලවේ ජලාශයේ දකුණු ඉවුරේ සම්පූර්ණයෙන් සහ වම් ඉවුරේ කොටසක වාරි කටයුතු සහ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ආධාර දුන්නේය. 

උඩවලවේ බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිසා එතෙක් ගම්මුන් අතර පමණක් ප්‍රකටව තිබූ මහපැලැස්ස හෙවත් මදුනාගල උණුදිය උල්පත නැවත රටපුරා ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් බවට පත්වුණි. මෙතෙක් පොළොව මට්ටමේ දිය වලක් ලෙසින් තිබූ උණුදිය උල්පත 1960 න් පසු අඩි භාගයක් පමණ උසින් යුත් ගල් පාදමක් සහිත සතරැස් පොකුණු 5ක් ලෙස සංවර්ධනය කෙරුණු අතර සංචාරකයන්ට ස්නානය සඳහා පහසුකම් යෙදිණි. එසේම පොකුණ වෙත පිවිසීමට ක්‍රමවත් මාර්ග පද්ධතියක් ද ඉදිවිණි.

වලවේ ව්‍යාපාරයේ අගනුවර බවට පත්වූයේ ඇඹිලිපිටිය ගම්මානයයි. පෙර කල කුඩා ගමක්ව තිබූ එය අද ගාල්ල, මාතර, අම්බලන්තොට, හම්බන්තොට, තිස්සමහාරාම ඇතැම්විට වැල්ලවාය ආදී නගර යා කෙරෙන විශාල නගරයක් බවට පත්වී තිබේ. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය මගින් උඩවලව ජලාශයේ වම් ඉවුරේ ඉදිකිරීම් කටයුතු සිදුවන සමයේ සූරියවැව ගම්මානය ප්‍රධාන උප නගරයක් ලෙස සංවර්ධනය කරන ලදී. මහපැලැස්සට ළඟාවීම සඳහා සූරිය වැව සිට මාර්ගයක් ද ඉදිවිණි.

වල් අලින් පැමිණ මෙම පොකුණ ආක්‍රමණය කිරීම වැලැක්වීමට 1980 දී වලවේ ව්‍යාපෘතියට අනුබද්ධ මහවැලි අධිකාරිය මගින් උණුදිය පොකුණ වටා ගල් තාප්පය වඩා උසට ඉදිකෙරිණි. අවට මාර්ගද සංවර්ධනය කෙරිණ. කාලයාගේ ඇවෑමෙන් හා හරිහැටි නඩත්තුවක් නොවීමෙන් පොකුණද මාර්ගද අබලන් තත්වයට පත්වුණි. 2004 දී ඒ අවට ප්‍රදේශය යලිත් සංවර්ධනයට ලක්වුණි. එවර එයට දායකත්වය දුන්නේ දකුණු පලාත් සභාවේ දකුණු සංචාරක කාර්යාලයයි. මේ නිසා මහපැලැස්සට යාම සඳහා අතීතයේ තිබූ බොරළු පාරවල් වෙනුවට අද ඉතා හොඳ කාපට් ඇතිරූ මාර්ගයන් ඉදිවී ඇත.

ප්‍රවේශ පත්‍ර ගාස්තුව - වැඩිහිටි - රු. 40/- වාහන නැවතුම් ගාස්තුව රු. 50/- පිටතින් බාල්දි රැගෙන පැමිණීම තහනම් කර ඇත.

දකුණු පලාතේ සංචාරයට යන ඔබට දැන් මාදුනාගල ගොස් ඖෂධීය ජලයෙන් ගත සිත සනහාගෙන ගමනේ විඩාව දුරුකරගැනීමට අවස්ථාව සැලසී ඇත. එය ඔබට නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය.

Thursday, August 4, 2016

Wijaya Ramanayake - විජය රාමනායක



මේ පිංතූරයේ ඉන්නා පුද්ගලයාත් මෙම ලාංඡනයත් ඔබ හඳුනනවාද? අද ඉන්නා තරුණ පරපුරේ වැඩි දෙනෙක් නොදන්නවා යැයි මා සිතන ඔහු ලංකාවේ සංගීත කර්මාන්තය උඩු යටිකුරුකළ පුද්ගලයෙකි. ඔහු නමින් විජය රාමනායක වේ. අපි මෙසේ ඔහු ගැන කියමු. 1977 ආණ්ඩු පෙරලියෙන් පසු ඇතිවූ විවෘත ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ බොහෝ අය ඉසුරු සොයා මැද පෙරදිග රටවල රැකියා සඳහා ගියහ. ඔවුන් නිවාඩුවට ආපසු ගමරට බලා ඒමේදී වැඩිමනත් ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ ගෙනඒමට පුරුදු විය. ඒ භාණ්ඩ අතර කැසට් රෙකෝඩර් හෙවත් හඬ පට වාදන යන්ත්‍ර ප්‍රමුඛස්ථානයේ විය. පටිගත කර ඇති ගීත නැවත ඇසීමේ යන්ත්‍රයක් වන මෙහි ධාවනය පිණිස ගීත කැසට් පටද ඕනෑ විය. පිටරටින් යන්ත්‍ර රැගෙන එන අය ඒවාට අවශ්‍ය ගීත කැසට් පටද ශවුන් පිටරටින් රැගෙන ආහ.බොහෝවිට ඒවා හින්දි, දෙමළ හෝ ඉංග්‍රීසි ගීතය. එයට හේතුව කිසිම කැසට් පටයක් හෝ විශේෂයෙන්ම සිංහල ගීත අඩංගු කැසට් පටයක් ලංකාවේ වෙළෙඳ සැල් වලින් ලබා ගැනීමට නොහැකි වීමයි. ලංකාවේ දී ගීතයක් නැවත ඇසීම සඳහා එතෙක් භවිතා වූයේ ගීත තැටි (රෙකෝඩ්ස්) සහ එම තැටි වාදන යන්ත්‍රයි. ශූර ව්‍යාපාරික ඥාණයක් තිබූ විජය රාමනායක නම් මාධ්‍යවේදී/ව්‍යාපාරික තරුණයා මේ සිදුවන වෙළෙඳ ප්‍රතිසංස්කරණය දෙස බලා උන්නේය. ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත,කැසට්පටවලට නගා ලංකාවේම ඒවා නිෂ්පාදනය කළ නොහැකිදැයි ඔහු කල්පනා කළේය. ඔහුගේ අදහස යථාර්තයක් කිරීමට ඔහු බොහෝ වෙහෙසුණේය. (කට්ට කෑවේය.) ඔහුගේ පළමු කැසටය හෙවත් ලංකාවේ පළමු ගීත කැසටය ඔහු නිෂ්පාදනය කළේය. ඒ ගායක මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත 12ක් අඩංගු “සඳෙන් එහා” නම් කැසට් පටයයි. ඒ වනවිට කැසට් රෙකෝඩර් යන්ත්‍ර හිමිකරුවන් රැසක් ලංකාවේ සිටි නිසා එම කැසට් උණු කැවුම් මෙන් අලෙවි විය. ඉන්පසු බොහෝ ගායක ගායිකාවන්ගේ ගීත කැසට්පට එකින් එක වෙළෙඳ පලට නිකුත් විය. මෙම ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසා ලංකාවේ ව්‍යාපාරිකයෝ මහා පරිමාණයෙන් කැසට් වාදන යන්ත්‍ර ලංකාවට ආනයනය කළහ. විජය රාමනායක මහතාගේ කැසට් ව්‍යාපාරය තරංගා ඉන්ටනැෂනල් නමින් ප්‍රචලිත විය. ඉහත දැක්වූයේ එම ආයතනයේ නිල ලාංඡනයයි. තරංගා ආයතනය පිහිටියේ කොළඹ කොටුවේ රීගල් සිනමා හල ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලේය. ලංකාවේ කැසට් නිෂ්පාදනයේ පුරෝගාමියා ලෙස හැඳින්වූ විජය රාමනායක මහතා මගේ පියාගේ හොඳම මිතුරෙකි. කැසට් ව්‍යාපාරයට පෙර ඔහු සේවය කලේ මගේ පියා සේවය කළ ලේක්හවුස් ආයතනයේමය. අප කුඩා කාලයේ ඔහු අප එකල පදිංචිව සිටි මහරගම නිවසට නිතරම වගේ ආගිය පුද්ගලයෙකි. කැසට් ව්‍යාපාරය අතරතුර ඔහු චිත්‍රපට නිෂ්පාදනයට ද අත ගැසීය. ආරාධනා, කලියුගය, යුගාන්තය, රිදී නිම්නය හා මල්දෙනියේ සිමියොන් යන චිත්‍රපට ඔහු නිෂ්පාදනය කළේය. ඉන්පසු දීර්ඝ කාලයක් ඔහු ගැන තොරතුරක් නොවීය. චිත්‍රපට නිෂ්පාදනයෙන් ඔහු සිතූ ලාභය නොලැබුණු නිසාදෝ ඔහු පසු කලෙක සියළු ව්‍යාපාර නවතා රට හැරගිය බවට තොරතුරු ලැබුණි. තරමක් අසනීප තත්වයෙන් සිටියදී ඔහු මට දීර්ඝ කාලයකට පසු හමුවූයේ දැනට අවුරුදු දෙකකට පමණ පෙර ආසිරි රෝහලට පැමිණ සිටියදීය. ඊයේ පෙරේදාත් මට ඔහු හමුවුණි. ඒ අනුව ඔහු දැනට පදිංචිව සිටින්නේ මා ඉන්නා බත්තරමුල්ල ප්‍රදේශයේමය. ලංකාවේ ගායක ගායිකාවන්ට කළ සේවය වෙනුවෙන් ඔහුට උපහාර පිදීමක් හෝ ඇගයීමට ලක් කිරීමක් හෝ නොවුනු එක කණගාටුවට කරුණකි. ඔහු මේ දිනවල තම චරිතාපදානය ලිවීමට සැරසෙන බවට මාධ්‍ය මගින් දැනගන්නට ලැබුණි. මම ඔහුට දීර්ඝායුෂ පතමි.

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...