Thursday, June 28, 2018

The 12th Man - දොළොස්වැනියා - හැරල්ඩ් ස්වෝට්ගේ අද්විතීය සිනමා නිර්මාණය


The 12th Man - දොළොස්වැනියා - හැරල්ඩ් ස්වෝට්ගේ අද්විතීය සිනමා නිර්මාණය

ගිය වසරේ එනම් 2017 වසරේදී දෙවන ලෝක යුද්ධයේ වූ සත්‍ය සිද්ධියක් පාදක කරගනිමින් නෝර්වීජියානු චිත්‍රපටයක් කරළියට ආවේය. අතීත සිද්ධියක් වුවත් මෙම චිත්‍රපටය නිසා එම කතාව දත් නොදත් ලොවපුරා සිටින සිනමා ලෝලයින් බොහෝ දෙනෙකු මේ කතාව අසා කම්පනයට පත්වූහ. සැබෑ කතාවේ සිද්ධීන් සිදුවූ ස්ථාන සොයමින් ඉතිහාසයට ලැදි අය වෙහෙසෙන්නට වූහ. අන්තර්ජාලයේ වෙබ් පිටු අළුතින් බිහිවෙන්නට විය. සිනමා පටය වන්නේ 2017 වසරේදී අධ්‍යක්ෂක හැරල්ඩ් ස්වෝට් (Harald Zwart) විසින් නිර්මාණය කරන ලද දොළොස්වැන්නා (12th Man) නම් සිනමා පටයයි. වාසනාවට අන්තර්ජාලය නිසා හොඳ සිනමාපට නොමිලේ නැරඹීමේ අවස්ථාව දැන් හිමිව ඇති නිසා මමද එය නැරඹුවෙමි. ත්‍රාසය කුතුහලය මොනවට ගැබ්ව තිබූ මෙම සිනමා පටයේ යටගිය කතාව දැනගැනීමේ ආශාවෙන් පෙළුණු නිසා එය ගවේෂණය කළෙමි. මින් ඉදිරියට දිග හැරෙන්නේ එම කතාවයි. (චිත්‍රපට කතාව නොව සත්‍ය කතාවයි.) චිත්‍රපටය නැරඹීමට පෙර මේ කතාව කියවා අවබෝධ කරගන්නේ නම් චිත්‍රපටය වඩාත් රස විඳිමට ඔබට හැකිවෙන බව මගේ විශ්වාසයයි. 


දෙවන ලෝක මහා යුද්ධයේදී නාසි ජර්මනිය විසින් තම අවට රටවල් ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරන්නට පටන් ගත්තේය. 1938 දී ජර්මනිය, විසින් චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කිරීමෙන් මේ ආක්‍රමණ රැල්ල ආරම්භ විය. ඊළඟට 1939 දී පෝලන්තය අල්ලා ගත්තේය. අපගේ මේ කතාවට බඳුන් වන නෝර්වේ රට අල්ලා ගන්නා ලද්දේ 1940 දීය. මේ අනුව ජර්මානු භටයන්ගේ තාඩන පීඩන වලට ලක්වෙමින් නෝර්වේ වැසියන් වසර කීපයක් මරණ බියෙන් ජීවත් වූහ. නෝර්වේ දේශප්‍රේමී ජනතාව විටින් විට ජර්මානුවන්ට විරුද්ධව රටේ තැන තැන කැරළි ගැසූහ. දේශප්‍රේමීන් අතර සිටි ජාන් බාල්ස්රූද් නම් පුද්ගලයා අපගේ කතා නායකයා ය. 

ජර්මනිය යටත් කරගත් යුරෝපයේ රටවල්. මේ සිතියමේ ඉහළින් දක්වා ඇති නොර්වේ, ෆින්ලන්තය සහ ස්වීඩනය යන රටවල් හරහා මේ කතාව ගලා යන්නේය.


යන් සිගඩ් බාල්ස්රූද් (Jan Sigurd Baalsrud) උපන්නේ 1917 දෙසැම්බර් 13 වෙනිදා, නෝර්වේ රටේ ඔස්ලෝ නුවරදීය. ඔහු ජර්මානුවන්ට විරුද්ධව සටන් කළේ නෝර්වේ හි වෙස්ට්ෆෝල්ඩ් (Vesfold) නගරයේය. ජර්මන් හමුදාවට මුහුණ දීමට අපහසු වූ, ඔහු යාබද රට වන ස්වීඩනයට පලා ගියේය. එහිදී ඔත්තු බැලීයැයි චෝදනාවකට ලක්වූ ඔහුව එරටින් ද පිටුවහල් කෙරිණි. ඉන්පසු සෝවියට් රුසියාව, අප්‍රිකාව හා අමෙරිකාව යන රටවලට ගමන් කළ ඔහු අන්තිමේදී එංගලන්තයට පැමිණියේය. එහිදී ඔහු නෝර්වීජියානු විමුක්ති ව්‍යාපාරයට බැඳිණි. එය වනාහි ජර්මානුවන්ගෙන් නෝර්වේ රට නිදහස් කරගැනීම සඳහා රටින් පිට පිහටුවාගෙන තිබූ රහස් විමුක්ති සංවිධානයකි. එම සංවිධානයේ භටයින්ව පුහුණු කරනු ලැබුවේ එංගලන්තය විසිනි. ජර්මානුවන්ට විරුද්ධව නොයෙකුත් යුධ ක්‍රමෝපායන් දියත් කලේ මෙම පුහුණුව ලත් භටයින්ය. 

අපගේ කතානායක යන් බාල්ස්රූද් තරුණ වියේදී.


1943 දී එංගලන්තයේ පිහිටි නෝර්වීජියානු විමුක්ති ව්‍යාපාරයෙන්, යන් බාල්ස්රූද් ප්‍රමුඛ සාමාජිකයින් සතර දෙනෙකුට භාරදූර කාර්යයක් පැවරුණි. එනම් ජර්මානුවන්ට අසු නොවී, නෝර්වේ රටට රහසින් ගොස් බාඩුෆොස් (Bardufoss) නගරයේ පිහිටි ජර්මානුවන්ගේ ගුවන් පාලක කුළුනට ප්‍රහාරයක් එල්ල කොට එය විනාශ කර දැමීමයි. ඒ මගින් නෝර්වේ රට තුල සිටිමින් සටන් කරන විමුක්තිකාමින්ට ලොකු සහයෝගයක් ලබාදීමයි. 

මේ අනුව යන් බාල්ස්රූද් ඇතුළු සිව්දෙනාගේ කණ්ඩායමට තව අට දෙනෙකු එක්විය. අනෙක් අට දෙනා බෝට්ටුවක සිටි කාර්යය මණ්ඩලයයි. ඔවුන්ගේ අරමුණ පුපුරණ දුව්‍ය ද පටවාගත්, බෝට්ටුවකින් ගොස් උතුරු දෙසින් රටට ඇතුල්වීමයි. එය පහසු කාර්යයක් නොවීය. ඒ සඳහා ඔවුන්ට රට තුළින්ද උදව්වක් අවශ්‍ය විය. කලින් කතාකරගත් විශ්වාසදායක දේශප්‍රේමින් කීපදෙනෙකු රටතුල සිටි නිසා ඔවුන්ගෙන් උදව් බලාපොරොත්තු විය. අවාසනාවට උදව්කරන පිරිස අතර එක් පාවාදෙන්නෙකු සිටි බව ඔවුන්ට සොයාගත නොහැකිවිය. පාවාදෙන්නා විසින් ඔවුන් මග එන බවට ජර්මන් හමුදාවට ඔත්තුවක් ලබාදුන්නේය. 

ගුවන් පාලක කුළුන විනාශ කිරීමේ අරමුණ ඇතිව ටොන් 8 ක පුපුරන ද්‍රව්‍ය රැගත් ධීවර යාත්‍රාව මාර්තු 29 දින නෝර්වේ දෙසට ළඟාවෙමින් තිබිණ. ඔත්තුව නිසා පිබිදුනු ජර්මන් නාවික හමුදාව මහත් උනන්දුවෙන් නෝර්වේ උතුරු වෙරළ ආසන්නයේ ගොදුර එනතුරු රැකවල්ලා සිටියෝය. ඒ දිනය 1943 මාර්තු 29 දාය. ජර්මන් නැවකින් හදිසියේම බෝට්ටුවට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් විමතියට පත් බෝට්ටුවේ සිටි පිරිසද ප්‍රතිප්‍රහාර එල්ල කළහ. ජර්මන් ප්‍රහාරය දරුණු විය. අන් කළ හැකි දෙයක් නැතැයි සිතූ බෝට්ටුවේ පිරිස තමන් සතු ටොන් 8ක පුපුරන ද්‍රව්‍යය තොගයට සේව නූල යොදා ගිනි පත්තු කර, ජීවිතය බේරාගැනීම සඳහා එකිනෙකා මුහුදට පැන්නහ. ඔවුන්ගේ අරමුණ නෝර්වේ ගොඩබිමට හැකි ඉක්මණින් පිහිනා යෑමයි. විශාල හඬක් නගමින් බෝට්ටුව පුපුරා ගිය අතර ඒ සමගම බෝට්ටුවේ තිබූ වෙනත් රහස් ලිපි ද්‍රව්‍ය හා සැලසුමේ සටහන් රැසක් ද විනාශයට පත්විය. යන් බාල්ස්රූද් ඇතුළු පිරිසටද අවශ්‍ය වූයේ තමන්ගේ සැලසුම් ජර්මන්කාරයින් අතට පත්වීම වැළැක්වීම නිසා ලිපි ද්‍රව්‍ය විනාශ කිරීම හිතාමතාම සිදුකළ දෙයක් විය. බෝට්ටුව පුපුරායාමෙන් ජර්මන් නැවට කිසිදු හානියක් වූයේ නැත. මුහුදට පැන්න කීපදෙනෙකු, අහසට නැගුනු දුම් වලාව අතරින් කුඩා බෝට්ටුවකට ගොඩවූහ. එම යාත්‍රාවටද ජර්මන් නැවෙන් ප්‍රහාර එල්ල කර ගිල්වා දැමීය. දොළොස් දෙනාම අධික ශීතල වතුර මැදින් වෙරළ දෙසට පීනන්නට වූහ. 

වෙරළ දෙසට ළඟාවන ඔවුන්ට ඈත සිට පෙනුනේ වෙරළේ ඔවුන්ව “පිළිගැනීමට ජර්මන් හමුදා සූදානමින් සිටින බවයි. ඔවුන් එකිනෙකා අත්අඩංගුවට ගැනීම ආරම්භ විය. ඔවුන් අතර සිටි එක් පුද්ගලයෙකුට ජීවිත්වීමේ වාසනාව හිමිව තිබුණි. ඒ යන් බාල්ස්රූද් ය. ඔහු වෙරළේම ඇති ගල් කුළක සැඟව සිටියේය. ඔහු හැර අනෙක් එකොළොස් දෙනාවම හමුදා කඳවුරකට රැගෙන ගිය ජර්මන් හමුදාව, ඔවුන්ට අමානුෂික වද හිංසා පැමිණවීය. ඔවුන්ගෙන් හෙළිකර ගැනීමට අවශ්‍ය වූයේ ඔවුන්ගේ අරමුණ සහ ඔවුන් පැමිණි කාරණය යි. නමුත් ඒ කිසිවෙකුත් මුණිවත රැක්කා මිස තොරතුරු හෙළි කළේ නැත. එහෙත් අනපේක්ෂිත ලෙස වැදගත් හෝඩුවාවක් ජර්මන්කාරයින් අතට පත්විය. 

දොළොස්දෙනාට නිකුත්කළ හැඳුනුම්පත් දොළහක් ඔවුන් සතුව තිබී ජර්මානුවන් අතට පත්විය. හැඳුන්ම්පත්වල සඳහන් නම් හා ඡායාරූප සසඳමින් අල්ලාගත් එකොළොස් දෙනෙකුගේ අනන්‍යතාව තහවුරු කෙරිණි. මේ අනුව එක් සතුරෙකු අතුරුදහන්ව ඇති බව ජර්මනුන්ට වටහාගන්නට වැඩි වෙලාවක් ගියේ නැත. අල්ලාගත් පුද්ගලයින් සිරගත කොට අතුරුදහන් වූ පුද්ගලයා සොයා දැවැන්ත මෙහෙයුමක් දියත් කෙරිණි. එක් වරකදී යන් බාල්ස්රූද් පැනයන අයුරු ජර්මන් භට කණ්ඩාමකට විමර්ශනය විය. ඔවුන් යන් බාල්ස්රූද්ට වෙඩි තැබූහ. වාසනාවට එම වෙඩි පහර වැදුනේ ඔහුගේ පාදයටය. වෙඩිපහර කාගෙන එතැනින් පලායාමට හැකි වුවත් අධික ශීතල ජලය සහිත පොකුණකට ඔහු වැටෙන අයුරු ද ජර්මන් භට කණ්ඩාමට දැකගත හැකිවිය. භට කණ්ඩායමේ අණදෙන නිලධාරියා නිසැක ලෙසම බාල්ස්රූද් මියගිය බව දැඩිව විශ්වාස කළේය. නමුත් එවකට නෝර්වේ හි ජර්මානු පොලිස් නිලධාරි කූට් ස්ටේජ් (Kurt Stage), බාල්ස්රූද් මියනොගිය බවත්, ඔහු කොහේ හෝ සැඟවී ජීවත්වන බවත් දැඩිව විශ්වාස කළේය. මේ නිසා බාල්ස්රූද්ව සොයා නැවතත් දැවැන්ත මෙහෙයුමක් දියත් කෙරිණි. මේ සඳහා අහස්යානා, දඩයම් සුනඛයින්, ඔත්තුකරුවන් හා නොයෙකුත් යුධ උපක්‍රම දියත්විය. නමුත් ඒ කිසිම මෙහෙයුමකින් යන් බාල්ස්රූද්ව සොයාගත නොහැකි විය. මාස දෙකක් පමණ සැඟවී සිටීමට හේ සමත් විය. 

බාල්ස්රූද්ව ලුහුබැඳ ගිය ජර්මානු පොලිස් නිලධාරි කූට් ස්ටේජ් (Kurt Stage). යුද්ධයෙන් පසු යුධ අපරාධ යටතේ ඔහුව 1947 දී එල්ලා මරා දමනු ලැබීය. 

ඒ වනවිටත් නෝර්වේ වැසියන් විශේෂයෙන්ම දේශප්‍රේමී ජනතාව යන් බාල්ස්රූද් රැකබලා ගැනීමේ හා ආරක්ෂා කිරීමේ වගකීම අකුරටම පිළිපැද්දේය. බාල්ස්රඩ්ට ඇතිවූ ලොකුම අවාසනාව ඔහුට ඇවිද ගැනීමට නොහැකි වීමයි. පාදයට වෙඩි වැදීමෙන් හා අධික ශීතලට තැම්බීමෙන් ඔහුගේ පාදයේ ඇඟිලි කුණුවෙමින් තිබුණි. තම සාක්කු පිහිය අතට ගත් ඔහු තම පාදයේ වූ කුණුවූ මහපට ඇඟිල්ල කපා ඉවත් කළේය. නරක්වූ රුධිරය පිටවීමත් සමග තරමක සහනයක් ඔහුට දැණින. ඔත්පල වූ බාල්ස්රූද් ජර්මානුවන්ට අසුනොවී රැකබලාගෙන ස්වීඩන් රටට රහසේ ඇරලවීම දේශප්‍රේමී ජනතාවගේ ඊළඟ අභිප්‍රාය බවට පත්විය. මේ සඳහා මුලදී බාල්ස්රූද්ව ඇතැම් ගම්මානවල ගව මඩුවල පවා සඟවා තැබූහ. ජර්මන් හමුදාවලට ඔහු හසු නොවූයේ අනූනමයෙනි. අවසන් වරට හුදකලා නිම්නයක ඇති පාළු ලෑලි නිවසක (බාල්ස්රූද් මේ නවාතැන හැඳින්වූයේ හොටෙල් සැවෝයි කියාය.) බාල්ස්රූද්ව සඟවන ලදී. ඊළඟට ඔහුව හිම කාන්තාරයේ වූ ගල් ගුහාවක නැවැත්වූහ. මෙම ගුහාවේ සිටි කාලයේ ඔහු තම දෙපයේ ඉතිරි ඇඟිලි නමයම කපා ඉවත්කළේය. මේ සැත්කම නිසා ඔහුගේ දෙපා නරක්නොවී බේරාගත හැකිවිය. දේශප්‍රේමීන් නැවත පැමිණ, ලෑලි වලින් සෑදූ හිම මත ලිස්සා යන අට්ටාලයක තබා බාල්ස්රූද්ව බැඳ හිම කඳු මතින් (ෆින්ලන්තය හරහා ) ඇදගෙන යන ලදී. මේ ගමනට දින 27ක් ගත වූයෙන් බාල්ස්රූද් මරණාසන්න අවස්ථාවට ළඟාවිය. ජීවිත අනතුරක් වීමට පෙර ස්වීඩන් දේශසීමාවට සේන්දු වූ බාල්ස්රූද් ස්වීඩන් දේශප්‍රේමී ජනතාව විසින් පිළිගනු ලැබීය. 

බාල්ස්රූද් නෝරවේ සිට ෆින්ලන්තය හරහා ස්වීඩනයට පැමිණි ගමන් මාර්ගය

උතුරු ස්වීඩනයේ රැඳී හුන් යන් බාල්ස්රූද් රතුකුරුස සංවිධානයේ ගුවන්යානයකින් බෝඩ්න් (Boden) නුවර පිහිටි ස්වීඩන් රෝහල වෙත ගෙනයනු ලැබීය. මාස 7ක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව තවත් ගුවන් යානයකින් ඔහුව එංගලන්තයට රැගෙන යන ලදී. නෝර්වේ රටට ගොස් ජර්මානුන්ට එරෙහිව සටන් කරන දේශප්‍රේමී ව්‍යාපාරයේ සාමාජිකයින්ව පුහුණු කිරීමේ වගකීම යන් බාල්ස්රූද්ට පැවරුණි. ඉතා දිගු කලකට පසු ඔහුට පොළොවේ පය ගසා ඇවිදීමට හැකිවිය. 1945 දී යුද්ධය අවසන් වූ විගස ඔහු යළි නෝර්වේ රටට පා තැබීය. ඔස්ලෝ නුවරට ගිය ඔහු නැවතත් ඔහුගේ පවුලේ සාමාජිකයින් හා එක්විය. ඒ ඔවුන්ගෙන් වෙන්වී අවුරුදු 5කට පසුවය. නෝර්වේ රටේ ජාතික වීරයෙක් ලෙස ඔහු අවස්ථාවන් කීපයකදී ගරු බුහුමන් ලැබීය. 


1957 සිට 1964 දක්වා නෝර්වීජියානු අබාධිත ප්‍රවීනයන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කළේය. 

1962 දී ස්පාඥ්ඥයට ගිය ඔහු තම ඉතිරි ජීවිතයෙන් වැඩි කාලයක් එහි ගත කළේය. ජීවිතයේ අවසන් භාගයේදී හේ නැවතත් තම මව්රට වන නෝර්වේ රටට ගියේය. වසර 71 දී එනම් 1988 දෙසැම්බර් 30 දා යන් බාල්ස්රූද් තම ජීවිත ගමන අවසන් කළේය. ඔහුගේ භෂ්මාවශේෂ තැන්පත් කළේ තවත් විශේෂ පුද්ගලයෙකුගේ සොහොන අද්දරය. ඒ එදා නොර්වේ රටින් පළායාමට බාල්ස්රූද්ට උදව් කළ 1943 දී මියගිය, ඇස්ලක් ෆොස්වොල් නම් (Aslak Aslaksen Fossvoll) දේශප්‍රේමියාගේ සොහොන අසලය. 

යන් බාල්ස්රූද් මැදි වියේදී ... තම පාදය පෙන්වමින්

යන් බාල්ස්රූද් සිය බිරිඳ Jovelyn Evy Miller Baalsrud සමග

යන් බාල්ස්රූද්  1940 දී සහ 1980 දී පෙනුම

බාල්ස්රූද් සහ ෆොස්වොල්  දෙදෙනාගේම ස්මාරක එක තැනය.

සිද්ධියෙන් වෙඩිතබා මරාදැමුණු 11 දෙනා සමග ජීවිතය බේරාගත් බාල්ස්රූද් (රූපයේ දැක්වෙන අවසන් පුද්ගලයා)

යුද්ධය නිමාවී අවුරුදු 10කට පසු එනම් 1955 දී යන් බාල්ස්රූද්ගේ ත්‍රාසජනක අත්දැකීම ඇසුරින් ලෝප්‍රකට යුධ නවකතාකරුවෙකු වූ ඩේවිඩ් හොවාත් (David Howarth) විසින් We Die Alone නම් නවකතාව සම්පාදනය කළේය. ඩේවිඩ් හොවාත් (David Howarth) ගේ පොත ඇසුරින් පළමු සිනමා පටය බිහිවුණේ 1957 දීය. එහි නම Ni Li (Nine Lives) ය. කළු සුදු චිත්‍රපටයක් ලෙස නිර්මාණය වූ එය අධ්‍යක්ෂණය කළේ ආනෙ ස්කොවුන් (Arne Skouen) නම් අධ්‍යක්ෂවරයාය. 






ඩේවිඩ් හොවාත්ගේ නවකතාව විවිධ මුහුණුවරින්

1957 දී Ni Li (Nine Lives) චිත්‍රපටයේ දර්ශනයක්

(Nine Lives) චිත්‍රපටයේ  අධ්‍යක්ෂ ආනෙ ස්කොවුන් (Arne Skouen)

මේ සත්‍ය කතාව අසුරින් “යන් බාල්ස්රූද් සහ ඔහුව බේරාගත් පිරිස” (Jan Baalsrud and Those Who Saved Him) නමින් ඇස්ට්‍රික් කාල්ස්සන් (Astrid Karlsen Scott) සහ තෝර් හෝග් (Tore Haug) විසින්ද ග්‍රන්ථයක් සම්පාදනය කළහ. මෙම ග්‍රන්ථය ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අයිතිය 2004 වසරේදී සිනමා අධ්‍යක්ෂක හැරල්ඩ් ස්වෝට් (Harald Zwart) විසින් ලබාගනු ලැබීය. ඔහු අතින් 2017 වසරේදී දොළොස්වැන්නා (12th Man) සිනමා පටය බිහිවුණේ ඒ ආකාරයටය. 


ඇස්ට්‍රික් කාල්ස්සන් (Astrid Karlsen Scott) සහ තෝර් හෝග් (Tore Haug) විසින් ලියන ලද නවකතාවේ විවිධ ස්වරූප

නවකතාකරු ඇස්ට්‍රික් කාල්ස්සන් (Astrid Karlsen Scott)

නවකතාකරු තෝර් හෝග් (Tore Haug)


දොළොස්වැනියා හෙවත් (The 12th Man) චිත්‍රපටයේ යන් බාල්ස්රූද්ගේ  චරිතයට පන පොවන ප්‍රධාන නළු තෝමස් (Thomas Gullested)  

තෝමස් (Thomas Gullested) සාමාන්‍ය ජීවිතයේදී

(The 12th Man) චිත්‍රපටයේ  කූට් හේග් ගේ චරිතයට පන පොවන Jonathan Rhys Meyers
නළු Jonathan Rhys Meyers සාමාන්‍ය ජීවිතයේදී.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ හැරල්ඩ් ස්වෝට් (Harald Zwart



Friday, June 22, 2018

Golden voice of CT - අසහාය ගායක සී.ටී. ප්‍රනාන්දු



මෙරට ගීත ක්ෂේත්‍රයේ පෙරළි රැසක් සිදුවූ 70 දශකයේ දී ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ළඟාවූ අසහාය ගායක සිරිල් ටියුඩර් ප්‍රනාන්දු හෙවත් සී.ටී. ප්‍රනාන්දු 

ඔහු ලංකාවේ ජනප්‍රිය ගීත කලාව හෙවත් සිංහල පොප් ගීතයේ පුරෝගාමියා වශයෙන් ද හැඳින්වේ. සිංහල තනු වලට, සිංහල ගී රචනාවලට බටහිර සංගීතය මුසු කිරීම මෙතුමාගේ පසුකාලීන ගීත වල පදනම බවට පත්විය. එම සම්ප්‍රදාය එම ගීත ජනප්‍රිය වීමට මූලික වශයෙන් බලපෑවේය. සී.ටී. ගැයූ සියළුම ගීත කාලය අභිබවා අදටත් එකසේ ජනප්‍රිය වීම පුදුම සහගතය. ඔහුගේ ගීත විනෝද චාරිකා වලදී, සුහද හමුවලදී එදත් අදත් ගායනාවීමම, ඔහු ලැබූ ජනප්‍රියත්වයට දිය හැකි කදිම නිදසුනකි. 

1921 ජනවාරි 28 දින මොරටුවේ දී උපන් සී.ටී. ප්‍රනාන්දු පාසල් වියේ සිටම පල්ලියේ කන්තාරු කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියා බවට පත්විය. ළමා කාලයේ සිටම ප්‍රසංග වේදිකාවේ ඔහු ගී ගැයූවේය. සී.ටී. ට පමණක් ගී පද ලියූ ආර්.එන්.එච්. පෙරේරා රචකයාගේ “පින්සිදුවන්නේ අනේ බාල ළමුන්නේ” යන පදමාලාවට ලස්සන තනුවක් යොදා ඔහු නිර්මාණය කළ ගීතය ඔහුගේ මුල්ම ජනප්‍රිය ගීතය බවට පත්විය. ඒ 1947 දීය. කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ ලිපිකරුවෙකු ලෙස සේවය කළ සී.ටී. 1951 දී බදුල්ලේ ධනවතී ප්‍රනාන්දු නම් තම ගීත රසිකාවිය සමග විවාහ දිවියට එළඹුණි. ඔවුනට ලැබුණු එකම පුත්‍ර රත්නය පසුකලෙක ජනප්‍රිය ගායකයෙකු බවට පත්වූ ප්‍රියන්ත ප්‍රනාන්දුය. 

අද වන විට ආදරණීය ගායක සී.ටී. ප්‍රනාන්දු මහතාත් (අභාවය: 1977 ඔක්තෝබර් 17 දින) ඔහුගේ ප්‍රිය භාර්යාව වූ ධනා ප්‍රනාන්දු මහත්මියත් (අභාවය: 2012 සැප්තැම්බර් 25 දින) , ඔවුන්ගේ එකම පුතු වූ ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාත් (අභාවය: 2018 මැයි 01 දින) ජීවතුන් අතර නොමැත. එනමුත් සී.ටී. ගැයූ ගී අදත් අමරණීයව පවතී. 

සී.ටී.ගේ ප්‍රියතම වාද්‍ය භාණ්ඩය බොක්ස් ගිටාරයයි. ඔහු ගීත 175 ක් පමණ ගායනා කොට තිබේ. එයින් ගීත 12ක් හැරෙන්නට ඉතිරි සියළු ගීත වල තනු නිර්මාණය කොට ඇත්තේ ඔහු විසින්මය. ඒවායින් කීපයක් නම්, 

පියුමෙහි පැණිබොති වන බඹරෝ - මල මත නොරැඳෙති කළු දෙබරු 
දහවල් නොදිලෙයි අඹරෙ තරු - අවරින් නොනැගෙයි නැගෙන හිරු 

මෙම ගීතය සී.ටී. ගේ අනන්‍යතා ගීතය ලෙස බොහෝ දෙනා හඳුන්වති. කරුණාරත්න අබේසේකර ශූරින් ලියූ මේ ගීතය සී.ටී. ගේද කැමතිම ගීතය විය. මේ නිසා ඔහු තම නිවස “වන බඹරෝ” ලෙස නම් කළේය. 

පුන්සඳ හිනැහෙන්නේ - වනමල් පිබිදෙන්නේ 
ලස්සන ඔබෙ මුහුණේ - දැක්කම නොවැ මැණිකේ (රචනය- විමලදාස පෙරේරා) 

මෙය ලංකාවේ ගීත කෝකිලාවිය වූ රුක්මණි දේවිය සමගින් ගැයූවකි. 

මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ 
ලස්සන මුහුණට ඇසවහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ 

ඔහුගේ ජනප්‍රිය ගී අතුරින් කීපයක් කෙටියෙන් සඳහන් කරන්නේ නම්....... 

අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ - පුළුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ (රචනය-ආර්.එන්.එච්. පෙරේරා) 

ඔන්චිලි චිල්ල මලේ ඔංචිල්ලාවේ - වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැළෑවේ (රචනය-කරුණාරත්න අබේසේකර) 

මා බාල කාලේ අම්මාගේ උකුලේ - නැලවූනු කාලේ මට තාම සිහිවේ (රචනය-මාලනී විජේසිංහ) සුවහසක් ගීත රසිකයින් වැළඳගත් මනරම් මව්ගුණ ගීයකි. 

සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ - සුලං රැලේ හෙමින් සැරේ උඩට නගින්නේ (රචනය- කරුණාරත්න අබේසේකර) 

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා - මහ උයනක සිරි ඉතිරේ (රචනය- සරත් විමලවීර) 

බිළිඳා නැළවේ උකුලේ - හිනැහේ මල සේ කැකුළේ (රචනය- ඇලන්සන් පියදාස) මෙම ගීතය සී.ටී. තම එකම පුතු ප්‍රියන්ත වෙනුවෙන් ගැයූවකි. 

ඔහු ගැයූ ජාතිකාභිමානී ගී අතර “හෙළ ජාතික අභිමානේ - වැඩු විරුවන් සේ පොරණේ” සහ “අවදිවන්න, අවදිවන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ” යන ගීත දනන් මුවග රැව්දුන් ගීත ලෙස සැලකිය හැක. 

එසේම ඔහු ගැයූ ප්‍රේමණීය ගී අතර  “සිහින ලොවේ මිහිර මැවූ මාලී - සිනහ නගයි ඔබයි මනාලී” (රචනය- ලලිත් එස්. මෛත්‍රීපාල) 

“කිමද සුමිහිරියේ මේ අරුමේ - මහද පිබිදෙන්නේ” (රචනය- කරුණාරත්න අබේසේකර) 

“රන්වන් රන් කෙඳි පීරාලා - චන්දන කල්කෙන් නෑවිලා” (රචනය- ලලිත් එස්. මෛත්‍රීපාල) 

“කොයිද අනේ හිමිදිරියේ දුවන්නේ - ගිලී මලේ තරුව ඔයානේ” (රචනය- සරත් විමලවීර) 

“ආනෙ ඩිංගක් ඉන්නකෝ - ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ” (රචනය- ඩී.සී. ජයසිංහ) 

“සීගිරි සුකුමාලියේ පෙර රජ දවසේ - මතකද අපි පාවුනා පෙම් අම නදියේ” (රචනය- සී.ටී ප්‍රනාන්දු) 

ඔහුගේ මධුර හඬ චිත්‍රපට කීපකටද දායක විය. ඔහුගේ ජනප්‍රිය චිත්‍රපට ගී අතර 

“මී වදයකි ජීවිතේ - මිපැණි පිරීලා ඇතේ, මත්වීලා ගුම් ගුම් නද දීලා - සැනසෙමු අපි හිතු මතේ” (චිත්‍රපටය-කවුද හරි) සහ “ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා” (චිත්‍රපටය- සාරවිට) යන ගීත වඩාත් ජනප්‍රිය විය. 

ගායකයන් අතර සොබාදහමට වඩාත් පෙම්බැඳි ගායකයා සි.ටී. විය හැක. ඔහුගේ පරිසරය හා වනසතුන් සම්බන්ධ ප්‍රකට ගී අතර “මල්බර හිමිදිරියේ පිපුණේ - ඇසළ අරලිය මාලා” (රචනය- සරත් විමලවීර), “මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ - බෑ බෑ නොකියා” (රචනය- සුසිල් සේනාධීර), “දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා” (රචනය- ඇලන්සන් පියදාස), “ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ - සඳරැස් වතුරේ කිමිදෙන්නේ” (රචනය- සුසිල් සේනාධීර), “අඹරුක් සෙවනැල්ලේ - මේ රන් ඔංචිල්ලේ” (රචනය- ආනන්ද ජයසේන) යන ගී මුල්තැනක පවතී. 

ලංකාවේ සුපිරි හෝටල්වල ගී ගැයූ සී.ටී. ගේ හඬට ඇලුම් කළ “මැඩම් ඩෙල්ගාඩෝ” නම් යුරෝපීය ඔපෙරා ගායිකාව සී.ටී. ට ලන්ඩනයේ ප්‍රසංගයක් පැවැත්වීමට ආරාධනා කළාය. මේ අනුව විදෙස් රටක සංගීත ප්‍රසංගයක් පැවැත්වූ මුල්ම ශ්‍රී ලාංකික ගායකයා සී.ටී. ප්‍රනාන්දුය. 1969 වසරේ ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩල ශාලාවේ ගීත ගැයූ ඔහු "Golden Voice" (රත්තරන් හඬ) සම්මානයෙන් පිදුම් ලැබීය. 

මුල් කාලයේ එනම් 60 දශකයේදී පමණ සී.ටී. ප්‍රනාන්දු ගීත ගායනා කළේ පෙරදිග සංගීතය අනුව යමිනි. ඔහු “පියුමෙහි පැණි බොති වන බඹරෝ” ගීතය ගායනා කළේ මේ සමයෙහිදීය. එකල සිටි “ජෙට්ලයිනර්ස්” නමැති වාදක කණ්ඩායම මෙම වන බඹරෝ ගීතය බටහිර සංගීතය හා මිශ්‍ර කරමින් ප්‍රිය සම්භාෂණ, මංගල උත්සව ආදියෙහි ගායනා කළහ. මෙහිදී බටහිර සංගීතය ප්‍රිය කළ පිරිස් අතර “වන බඹරෝ” ගීතය ක්ෂණික ජනප්‍රියත්වයට පත්විය. එතැන් පටන් බටහිර සංගීතය හා මුසු කරමින් සී.ටී. ගායනා කළ ගීත එකින් එක ජනප්‍රිය වන්නට විය. 

සී.ටී. ප්‍රනාන්දුගේ ගීතයක් මුලින්ම තැටිගත කිරීම සඳහා ඔහුට ආරාධනා කළේ එවකට සංගීත ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුව සිටි ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාය. යම් හේතුවක් නිසා වික්‍රමසූරිය මහතාට එම අවස්ථාවේ දී එය සිදුකරගත නොහැකි විය. ඔහුට පෙර ලුවිස් බ්‍රවුන් නම් සමාගම “කොලොම්බියා” ලේබලය යටතේ සී.ටී. ගේ ගීත තැටිගත කිරීමට අවස්ථාවක් ලබාගත්තේය. 


ජෙරල්ඩ් වික්‍රමසූරිය

1977 දී සී.ටී. ප්‍රනාන්දු වියෝ වූ පසු , යළිත් වරක් සී.ටී.ගේ ගීත සුවහසක් රසික රසිකාවියන් අතට පහසුවෙන් පත්කිරීමට ඉඩ ලැබුණේ මේ ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාගේ අප්‍රතිහත ධෛර්යය නිසාය. එවකට සී.ටී.ගේ ගීතවල අයිතිය තිබුණේ ඉන්දියාවේ සමාගමකටය. මාස්ටර් ටේප් එක තිබුණේ ද ඉන්දියාවේය. සී.ටී. ප්‍රනාන්දු මහත්මියගේ අවසරය පිට ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා ඉන්දියාවට ගොස් සී.ටී.ගේ මාස්ටර් ටේප් එක සොයාගත්තේය. ඔහු එයින් පිටපතක් රැගෙන ලංකාවට පැමිණ සී.ටී.ගේ තැටි “ගෝල්ඩන් වොයිස් ඔෆ් සී.ටී.” නමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය. 

සී.ටී. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වූයේ 1977 දී නිසා එම වසර එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණි වකවානුවයි. එම රජය හඳුන්වාදුන් විවෘත ආර්ථිකයත් සමග ගීත කලාවේ තාක්ෂණික හරඹයන්ද සිදුවිය. ගුවන් විදුලියට අමතරව මෙතෙක් ගීතය ජනතාව අතරට ගෙනගිය මාධ්‍යය වූ ගී තැටිය වෙනුවට කැසට් පටය කරළියට පැමිණියේය. ලංකාවේ කැසට් ව්‍යාපාරයේ ප්‍රාරම්භකයා වූ විජය රාමනායක ගේ තරංගා නම් වූ කැසට් ව්‍යාපාරය දියුණු තත්වයක තිබිණි. විජය රාමනායක සී.ටී. ප්‍රනාන්දුගේ කැසට් පටයක් නිර්මාණය කළේය. මේ අනුව සී.ටී. ගේ ප්‍රථම කැසට් පටය විජය රාමනායකගේ නිෂ්පාදනයකි. නමුත් එම කැසට් පටය සඳහා ගීත ලබාගත්තේ සී.ටී. ගේ ගෝල්ඩන් වොයිස් තැටියෙන් විය හැකිය. ඒ නිසාදෝ එම කැසට් පටයට විරුද්ධව සී.ටී. ප්‍රනාන්දු මහත්මිය නඩු මගට ගිය කතාවක්ද අසන්නට ලැබේ. 

සී.ටී. ප්‍රනාන්දු මහතාගේ ගීතවල තුන්වන අදියර ඇරඹුණේ 1996 දීය. ඒ තාක්ෂණික ක්‍රමයක් මගින් ගායකයාගේ හඬ හැර මුල් සංගීතය මකා දමා මුල් සංගීතයට හානියක් නොවන අන්දමින් උසස් සංගීත ගුණයක් සහිත නව සංගීතය මුසුකොට නැවත ගීත නිර්මාණය කිරීමයි. මේ ගීත ගබඩා වූයේ සංයුක්ත තැටියකටය. මේ කර්ත්‍යවය සිදුකළේ ද ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාය. ඔහු මේ ගීත ඔහුගේම ව්‍යාපාරයක් වූ “සූරිය” ලේබලය යටතේ නිකුත් විය. මේ නිසා අද වනවිට රසිකයින්ට උසස් රසවින්දනයක් සහිත සී.ටී. ගේ ගීත ශ්‍රවණය කිරීමට භාග්‍යය උදාවී තිබේ. 

සුවහසක් රසිකයින් ගීතයෙන් අමන්දානයට පත්කළ සී.ටී. ප්‍රනාන්දු නම් අසහාය ගායන තරුව සදහටම නිහඬ වූයේ 1977 ඔක්තෝබර් 17 දින දීය. ඒ හෘදයාබාධයක් හේතුවෙනි.  

මේ ලිපියට පාදක වූයේ මාධ්‍යවේදිනි නෙළුම් ගුණරත්න, මාධ්‍යවේදී හරිත් ගුණවර්ධන සහ මාධ්‍ය වේදී මිල්ටන් මලවි ආරච්චි විසින් ලියන ලද පුවත්පත් ලිපි ඇසුරිනි. ඔවුන්ටත් ස්තුතිය පුද කරමි.





මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...