Tuesday, August 12, 2014

මාටෙලෝ කුළුන

මාටෙලෝ කුලුන


බ්‍රිතාන්‍ය සහ ඕලන්ද සමයේ ඉදිකරන ලද ඓතිහාසික ස්මාරකයන් රැසක් හම්බන්තොට කච්චේරි භූමියෙහි පිහිටා ඇත. (මෙම සමස්ත භූමියම එදා හම්බන්තොට කොටුව ලෙස සැලකුණි.) පැරණි ප්‍රදීපාගාරය, පැරණි කච්චේරිය, දිසාපති බංගලාව, උසාවිය, තානායම, අශ්වගාල, එල්ලුම් ගස හා සොහොන් භූමිය ඉන් කීපයකි.



මාටෙලෝ කුලුනද ඉන් එකකි. මෙය හම්බන්තොට නගරයට ඉතා සමීපව වරාය දෙසට මුහුණලා භූමි මට්‌ටමින් තරමක්‌ උස්‌වූ කුඩා කඳු මුදුනක්‌ මත ස්‌ථාපිත කර ඇති ගොඩනැගිල්ලකි.

මාටෙලෝ කුලුනේ අද පෙනුම

මාටෙලෝ කුලුන යනු අතීත කාලයේ එනම් ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකරන ලද යුධ අට්ටාලයකි. මෙය සිලින්ඩරාකාර ගොඩනැගිල්ලකි. මහල් 3කින් සමන්විතවූ මෙහි ඉහළ මාලයේ දැවැන්ත කාලතුවක්කුවක් සවිකොට තිබී ඇත. (එම කාලතුවක්කුව සවිකර තිබූ වෘත්තාකාර වේදිකාව අදද දක්නට ඇත.)

මාටෙලෝ කුලුනේ ඉහල මාලය. දකුණු පසින් ඇත්තේ මැද පිහිටි වෘත්තාකාර වේදිකාවයි.

මෙම කාලතුවක්කුව එකල භාවිතා කොට ඇත්තේ හම්බන්තොට ඈත මුහුදේ දර්ශනය වන සතුරු නෞකාවලට පහරදීම පිණිසය. කාලතුවක්කුව අංශක 360 කින් වෘත්තාකාරව කරකැවීමට හැකි පරිදි යම් යාන්ත්‍රණයක් එහි තිබූ බව කියවේ. 


වෙනත් රටක ඉදිකර තිබූ මාටෙලෝ කුලුනක මුදුනේ සවිකර ඇති වටේට කරකැවිය හැකි යාන්ත්‍රණයක් සහිත කාලතුවක්කුව. ලංකාවේ මාටෙලෝ කුලුනේ මෙම කාලතුවක්කුව නැති අතර එහි මැද රවුම් වේදිකාව පමණක් ඉතිරිව ඇත.

අඩි 25ක් උස්වූද අඩි 40ක විෂ්කම්භය ඇත්තාවූද සිලින්ඩරාකාර තාප්පයකින් හා වෘත්තාකාර පාදමකින් සමන්විතවූ මෙම යුධ කඳවුරේ ඉහළම මහල කොන්ක්‍රීට් වලින් නිමවා ඇත. කලින් සදහන් කළ කාලතුවක්කුව රදවා ඇත්තේ මෙම තට්ටුවේය. එයට ප්‍රවිෂ්ට වීම සඳහා ඉනිමං සකසා ඇත. මැද මහල නිමවා ඇත්තේ ලෑලි තට්ටුවකින්ය. එය යුධ භටයින්ගේ නවාතැන විය. අභ්‍යන්තරයේ ඇති ඉනිමං ආධාරයෙන් තට්ටුවෙන් තට්ටුව ඉහළට ගමන් කළ හැකිය. බිම් මහලට ඇතුළුවීමට මැද මහලේ සිට වෙනම දොරටුවක් ඇත. බිම් මහළේ ගබඩා කර තිබී ඇත්තේ වෙඩි බෙහෙත් හා පුපුරණ ද්‍රව්‍යයයි. නිරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට හැකි වන අයුරින් බිත්තියේ විවිධ ස්ථානවල කුඩා වා කවුළු ඉදිකර ඇත. එසේම කුලුන අභ්‍යන්තරයට ප්‍රවේශ වීම සඳහා ඉදිරිපසින් තරප්පු පෙලක් සහිත එක්‌ දොරටුවක්‌ පමණක්‌ ඉදිකර තිබේ. 

  
වෙනත් රටක ඉදිකර තිබූ මාටෙලෝ කුලුනක ආකෘතිය.එහි කාලතුවක්කුව අංශක 360 කින් කරකැවිය හැකි යාන්ත්‍රණය බලන්න.

වෙනත් රටක ඉදිකර තිබූ මාටෙලෝ කුලුනක තවත් ආකෘතියක්.

හම්බන්තොට මාටෙලෝ කුළුණ උච්ඡත්වයෙන් ඉහළ කුඩා කඳු මුදුනක්‌ කේන්ද්‍ර කර ගනිමින් හාත්පස නගරය හෝ මහ සයුර පෙනෙන අයුරින් සහ නගරයට ඇතිවන බාහිර උපද්‍රවයන් කල් තබා හඳුනා ගැනීමට හැකිවන අයුරින් ගොඩනගා ඇත. මෙම කුළුණේ ස්‌වරූපය මත එය සතුරු ප්‍රහාරයකින් පහසුවෙන් බිඳහෙළිය නොහැකිය. තවද මුදුන් මහලේ සිට එල්ල කරනු ලබන කාලතුවක්‌කු ප්‍රහාර මගින් සතුරු යාත්‍රා වලට දරුණු ප්‍රහාර එල්ල කිරීමට හැකි වීම ද මෙහි විශේෂ ලක්‍ෂණයකි.


මාටෙලෝ කුලුන මුදුනේ සිට පෙනෙන හම්බන්තොට මහ සයුර. මෙහි ඈත දිස්වූ සතුරු නෞකා වලට මෙහි සිට පහර දෙන ලදී.


ප්‍රතිසංස්කරණය

හම්බන්තොට කච්චේරි භූමියෙහි පිහිටි ඓතිහාසික ස්මාරක දශක කිහිපයකට පෙර එනම් 1999 වසරේදී නෝර්විජීයානු රජයේ නෝරාඩ් NORAD ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ධීවර කෞතුකාගාරය පිහිටුවීම පිණිස ය. මේ නිසා 1999 වසරේ මාටෙලෝ කුලුනද ප්‍රතිසංස්කරණයට භාජනය විය. නමුත් මේ සියල්ල මෙතෙක් කාලයක් බරපතළ ලෙස ගරා වැටෙමින් තිබී ඇත. මාටෙලෝ කුලුනට නැගීම පවා සංචාරකයන්ට තහනම් කර තිබී ඇත්තේ එහි ඉහළ මාලයේ පැරණි තුනී කොන්ක්‍රීට් තට්ටුව අබලන් තත්වයක පැවති නිසාය. (පැරණි තට්ටුව සාදා තිබී ඇත්තේ ලෑලි තට්ටුවක් සාදා ඒ මත තුනී කොන්ක්‍රීට් තට්ටුවක් ඇසිරීමෙනි.)

දැනට අවුරුද්දකට පමණ පෙර එක් දිනක මධ්‍යම රාත්‍රීය පුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව මැද්දේ මෙහි ඉහළ මාලය කඩා වැටුණු ශබ්දය එහි ආරක්ෂාවට සිටි සේවක මහතෙකුට ඇසුණු බව අප එහි ගිය සංචාරයකදී දැනගන්නට ලැබුණි. ඉන්පසු 2013දී මෙහි තුනවන වරටත් ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි.


2013- ප්‍රතිසංස්කරණයේදී.


ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසු 2014දී.

නොබෝදා අප එහි යන විට මෙහි සියළු තට්ටු යකඩ බාල්ක සහ කොන්ක්‍රීට් යොදා ඉතා ශක්තිමත්ව නිමවා තිබුණි. දැන් සංචාරකයන්ට එහි මුදුනටම නැග අවට සිරි නැරඹිය හැක.

මාටෙලෝ කුලුන ලංකාවට පමණක් අවේනික දෙයක් නොවේ. එය යටත් විජිත පාලන සමයන්හිදී (පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි) වෙනත් යටත් විජිත රටවලද ඉදිකරන ලද හමුදා ආරක්ෂක අට්ටාල වර්ගයකි. ලෝකයේ එවැනි සමහර රටවල ඉදිකර තිබූ මාටෙලෝ කුලුනු අදටත් දක්නට ඇත. නමුත් ඒවා බොහොමයක් නටබුන් බවට පත්ව තිබේ. ඇතැම් කුලුනු තවමත් හොඳින් ආරක්ෂා වී ඇත. 




අදටත් හොදින් ආරක්ෂාවී ඇති වෙනත් රටවල ඇති මාටෙලෝ කුලුනු

නැඟෙනහිර කෝසිකෝවේ මාටෙලෝ කුලුනෙහි සැලැස්ම අනුගමනය කරමින් ලංකාවේ මාටෙලෝ කුලුන ගොඩනඟන ලද බව සඳහන් වේ. ලංකාවටම ඇති එකම මාටෙලෝ කුලුන මෙයවේ. දකුණු ආසියානු රටවල් ගත්විට හොඳින් ඉතිරිව ඇති එකම කුලුනද මෙය වේ. තවද එය ලෝකයේ මෙතෙක්‌ ශේෂව ඇති එවැනි නිර්මාණ කිහිපය අතුරින් පැරණිතම ස්‌මාරකය‌ ද වන්නේය. ඒ නිසා එය අද අපට ඇති හොඳ කෞතුක වස්තුවකි. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ඇද ගත හැකි හොඳ ඉල්ලමක් බවට පත්කිරීම වගකිවයුත්තන්ගේ කාර්යයකි.

මෙම කුලුන ගොඩනැගීම පිළිබඳ මත 2ක් පවතී. එකක් ඕලන්ද හෙවත් ලන්දේසි ජාතිකයන් 1796 දී මෙය ගොඩනගන ලද බවකි. අනික ඉංග්‍රීසි ජාතික හමුදාවේ ඉංජිනේරු බලකායේ කැප්ටන් ගෝපාර් නමැත්තා විසින් 1803දී මෙය ගොඩනගා ඇති බවයි. මෙම මත දෙකම සනාථ කළහැකි ඉතිහාසගත කරුණු සොයාගත හැකිය. මේ නිසා 1796 දී ඕලන්ද පාලන බලය මෙරටින් තුරන් කිරීමට පෙරාතුව ඉදිකරන ලදුව කැප්ටන් ගෝපර් විසින් පසුව සංවර්ධනය කරන ලද්දක්‌ විය හැකි යැයි සිතීම වඩාත් සාධාරණ තර්කයක්‌ ලෙස පෙනීයයි. ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ අල්ලාගත් පසු අත්අඩංගුවට ගත් අවසන් ලන්දේසි සෙබළුන් සිරකරුවන් විදිහට මෙම කුලුන තුළ රඳවාගෙන සිටි බවටද මතයක් ඇත. 

ප්‍රදීපාගාරය

කච්චේරි භූමියෙහි පිහිටා ඇති තවත් ස්මාරකයක් වන්නේ අඩි 35ක් පමණ උස ප්‍රදීපාගාරයයි. ප්‍රදීපාගාරයේ පහනක් දල්වා එම ආලෝකය මුහුද වෙත යොමු කරන ලද බව සඳහන්ය.

වසර 105කට පමණ පෙර ඉදිකරන ලදැයි සැලකෙන දිසාපති බංගලාව එවකට උප දිසාපතිවරයෙකු හා ගත්කතුවරයෙකු ලෙස ප්‍රකටව සිටි ලෙනාඩ් වුල්ෆ් මහතාගේ නිවහන විය.

මෙය වරින් වර ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් අදත් ඉතාමත් සතුටුදායක පවතින අතර වත්මන් දිසා ලේකම් වරයාගේ නිවහන වී ඇත.

හම්බන්තොට කච්චේරි ගොඩනැඟිල්ල ද අවුරුදු 110කට වඩා පැරණිය.මෑතක් වනතුරුම හම්බන්තොට දිසා අධිකරණය පිහිටියේ මෙහි ය.

තානායම

අදටත් සංචාරකයන් නවාතැන් ගන්නා හම්බන්තොට රජයේ තානායම එදා දවස ලෙනාඩ් වුල්ෆ් මහතාද නවාතැන් ගත් තානායම විය.


තානායම අද

එල්ලුම්ගහ

ඉංග්‍රීසි පාලන සමයේදී මරණීය දණ්‌ඩනයට ලක්‌කළ පුද්ගලයන් එල්ලා මරා දමනු ලැබූ "එල්ලුම් ගහ" තවමත් මේ කොටුව තුළ පිහිටා තිබේ. එය දකුණු මුහුද අයිනෙ පාලු, හුදකලා ස්‌ථානයක සවිකර තිබේ. මේ එල්ලුම් ගහේ කොටසක්‌ අදවන විට විනාශවී ඇතත් යකඩ පාදමත් ඊට සවිකළ ඕක්‌ අරටු කඳේ අඩි 30-35 ක කොටසකුත් තවම සංරක්‍ෂණය වී පවතී. මේ එල්ලුම් ගහේ මෙතෙක් පුද්ගලයින් 7 දෙනෙකු එල්ලා මරා දමා ඇති බව කියවේ. ඔවුන්ට මරණීය දණ්ඩනය ලබාදෙන අයුරු ලෙනාඩ් වුල්ෆ් තමන්ගේ නිල නිවසේ සිට එදා බලාගෙන හිටිය බවට මතයක්ද පවතී.


හම්බන්තොට දකුණු තුඩුවේ කෙළවරම පිහිටි එල්ලුම් ගස. මෙහි එල්ලා මරන ලද මිනිසුන් හත් දෙනාගේ අවසන් හුස්ම පොද එදා මුහුදු සුළගත් සමග මුසුවන්නට ඇත. මෙම ප්‍රදේශයේ ඉතා අධික සුලං හැමීමක් පවතී.


එල්ලුම් ගසේ  පාදම යකඩින් නිමවා ඇත. ගසේ මුල විශාල කොටසක් දිරාපත්ව ඇති නිසා අද හෙටම මෙය සුළගත් සමග කඩා වැටෙන්නට ආසන්න බව පෙනේ. මෙය වහා සංරක්ෂණය කළයුතු පුරාවිද්‍යා ස්මාරකයකි.


මෙම සමස්ථ භූමි ප්‍රදේශයම ඓතිහාසික ස්මාරක වලට හානියක් නොවන පරිද්දෙන් මේ දිනවල සංවර්ධනය කෙරෙමින් පවතී. 
* මෙම බ්ලොග් ලිපියේ පළවී ඇති ඡායාරූප මත ක්ලික් කිරීමෙන් ඒවා ඔබට විශාල කර බැලිය හැක.

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...