මෙරට ගීත ක්ෂේත්‍රයේ පෙරළි රැසක් සිදුවූ 70 දශකයේ දී ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ළඟාවූ අසහාය ගායක සිරිල් ටියුඩර් ප්‍රනාන්දු හෙවත් සී.ටී. ප්‍රනාන්දු
ඔහු ලංකාවේ ජනප්‍රිය ගීත කලාව හෙවත් සිංහල පොප් ගීතයේ පුරෝගාමියා වශයෙන් ද හැඳින්වේ. සිංහල තනු වලට, සිංහල ගී රචනාවලට බටහිර සංගීතය මුසු කිරීම මෙතුමාගේ පසුකාලීන ගීත වල පදනම බවට පත්විය. එම සම්ප්‍රදාය එම ගීත ජනප්‍රිය වීමට මූලික වශයෙන් බලපෑවේය. සී.ටී. ගැයූ සියළුම ගීත කාලය අභිබවා අදටත් එකසේ ජනප්‍රිය වීම පුදුම සහගතය. ඔහුගේ ගීත විනෝද චාරිකා වලදී, සුහද හමුවලදී එදත් අදත් ගායනාවීමම, ඔහු ලැබූ ජනප්‍රියත්වයට දිය හැකි කදිම නිදසුනකි.
1921 ජනවාරි 28 දින මොරටුවේ දී උපන් සී.ටී. ප්‍රනාන්දු පාසල් වියේ සිටම පල්ලියේ කන්තාරු කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියා බවට පත්විය. ළමා කාලයේ සිටම ප්‍රසංග වේදිකාවේ ඔහු ගී ගැයූවේය. සී.ටී. ට පමණක් ගී පද ලියූ ආර්.එන්.එච්. පෙරේරා රචකයාගේ “පින්සිදුවන්නේ අනේ බාල ළමුන්නේ” යන පදමාලාවට ලස්සන තනුවක් යොදා ඔහු නිර්මාණය කළ ගීතය ඔහුගේ මුල්ම ජනප්‍රිය ගීතය බවට පත්විය. ඒ 1947 දීය. කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ ලිපිකරුවෙකු ලෙස සේවය කළ සී.ටී. 1951 දී බදුල්ලේ ධනවතී ප්‍රනාන්දු නම් තම ගීත රසිකාවිය සමග විවාහ දිවියට එළඹුණි. ඔවුනට ලැබුණු එකම පුත්‍ර රත්නය පසුකලෙක ජනප්‍රිය ගායකයෙකු බවට පත්වූ ප්‍රියන්ත ප්‍රනාන්දුය.
අද වන විට ආදරණීය ගායක සී.ටී. ප්‍රනාන්දු මහතාත් (අභාවය: 1977 ඔක්තෝබර් 17 දින) ඔහුගේ ප්‍රිය භාර්යාව වූ ධනා ප්‍රනාන්දු මහත්මියත් (අභාවය: 2012 සැප්තැම්බර් 25 දින) , ඔවුන්ගේ එකම පුතු වූ ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාත් (අභාවය: 2018 මැයි 01 දින) ජීවතුන් අතර නොමැත. එනමුත් සී.ටී. ගැයූ ගී අදත් අමරණීයව පවතී.
සී.ටී.ගේ ප්‍රියතම වාද්‍ය භාණ්ඩය බොක්ස් ගිටාරයයි. ඔහු ගීත 175 ක් පමණ ගායනා කොට තිබේ. එයින් ගීත 12ක් හැරෙන්නට ඉතිරි සියළු ගීත වල තනු නිර්මාණය කොට ඇත්තේ ඔහු විසින්මය. ඒවායින් කීපයක් නම්,
පියුමෙහි පැණිබොති වන බඹරෝ - මල මත නොරැඳෙති කළු දෙබරු
දහවල් නොදිලෙයි අඹරෙ තරු - අවරින් නොනැගෙයි නැගෙන හිරු
මෙම ගීතය සී.ටී. ගේ අනන්‍යතා ගීතය ලෙස බොහෝ දෙනා හඳුන්වති. කරුණාරත්න අබේසේකර ශූරින් ලියූ මේ ගීතය සී.ටී. ගේද කැමතිම ගීතය විය. මේ නිසා ඔහු තම නිවස “වන බඹරෝ” ලෙස නම් කළේය.
පුන්සඳ හිනැහෙන්නේ - වනමල් පිබිදෙන්නේ
ලස්සන ඔබෙ මුහුණේ - දැක්කම නොවැ මැණිකේ (රචනය- විමලදාස පෙරේරා)
මෙය ලංකාවේ ගීත කෝකිලාවිය වූ රුක්මණි දේවිය සමගින් ගැයූවකි.
මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇසවහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
ඔහුගේ ජනප්‍රිය ගී අතුරින් කීපයක් කෙටියෙන් සඳහන් කරන්නේ නම්.......
අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ - පුළුන් වළා යටින් ඉඳන් එබිල බලන්නේ (රචනය-ආර්.එන්.එච්. පෙරේරා)
ඔන්චිලි චිල්ල මලේ ඔංචිල්ලාවේ - වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැළෑවේ (රචනය-කරුණාරත්න අබේසේකර)
මා බාල කාලේ අම්මාගේ උකුලේ - නැලවූනු කාලේ මට තාම සිහිවේ (රචනය-මාලනී විජේසිංහ) සුවහසක් ගීත රසිකයින් වැළඳගත් මනරම් මව්ගුණ ගීයකි.
සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ - සුලං රැලේ හෙමින් සැරේ උඩට නගින්නේ (රචනය- කරුණාරත්න අබේසේකර)
සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා - මහ උයනක සිරි ඉතිරේ (රචනය- සරත් විමලවීර)
බිළිඳා නැළවේ උකුලේ - හිනැහේ මල සේ කැකුළේ (රචනය- ඇලන්සන් පියදාස) මෙම ගීතය සී.ටී. තම එකම පුතු ප්‍රියන්ත වෙනුවෙන් ගැයූවකි.
ඔහු ගැයූ ජාතිකාභිමානී ගී අතර “හෙළ ජාතික අභිමානේ - වැඩු විරුවන් සේ පොරණේ” සහ “අවදිවන්න, අවදිවන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ” යන ගීත දනන් මුවග රැව්දුන් ගීත ලෙස සැලකිය හැක.
එසේම ඔහු ගැයූ ප්‍රේමණීය ගී අතර “සිහින ලොවේ මිහිර මැවූ මාලී - සිනහ නගයි ඔබයි මනාලී” (රචනය- ලලිත් එස්. මෛත්‍රීපාල)
“කිමද සුමිහිරියේ මේ අරුමේ - මහද පිබිදෙන්නේ” (රචනය- කරුණාරත්න අබේසේකර)
“රන්වන් රන් කෙඳි පීරාලා - චන්දන කල්කෙන් නෑවිලා” (රචනය- ලලිත් එස්. මෛත්‍රීපාල)
“කොයිද අනේ හිමිදිරියේ දුවන්නේ - ගිලී මලේ තරුව ඔයානේ” (රචනය- සරත් විමලවීර)
“ආනෙ ඩිංගක් ඉන්නකෝ - ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ” (රචනය- ඩී.සී. ජයසිංහ)
“සීගිරි සුකුමාලියේ පෙර රජ දවසේ - මතකද අපි පාවුනා පෙම් අම නදියේ” (රචනය- සී.ටී ප්‍රනාන්දු)
ඔහුගේ මධුර හඬ චිත්‍රපට කීපකටද දායක විය. ඔහුගේ ජනප්‍රිය චිත්‍රපට ගී අතර
“මී වදයකි ජීවිතේ - මිපැණි පිරීලා ඇතේ, මත්වීලා ගුම් ගුම් නද දීලා - සැනසෙමු අපි හිතු මතේ” (චිත්‍රපටය-කවුද හරි) සහ “ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා” (චිත්‍රපටය- සාරවිට) යන ගීත වඩාත් ජනප්‍රිය විය.
ගායකයන් අතර සොබාදහමට වඩාත් පෙම්බැඳි ගායකයා සි.ටී. විය හැක. ඔහුගේ පරිසරය හා වනසතුන් සම්බන්ධ ප්‍රකට ගී අතර “මල්බර හිමිදිරියේ පිපුණේ - ඇසළ අරලිය මාලා” (රචනය- සරත් විමලවීර), “මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ - බෑ බෑ නොකියා” (රචනය- සුසිල් සේනාධීර), “දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා” (රචනය- ඇලන්සන් පියදාස), “ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ - සඳරැස් වතුරේ කිමිදෙන්නේ” (රචනය- සුසිල් සේනාධීර), “අඹරුක් සෙවනැල්ලේ - මේ රන් ඔංචිල්ලේ” (රචනය- ආනන්ද ජයසේන) යන ගී මුල්තැනක පවතී.
ලංකාවේ සුපිරි හෝටල්වල ගී ගැයූ සී.ටී. ගේ හඬට ඇලුම් කළ “මැඩම් ඩෙල්ගාඩෝ” නම් යුරෝපීය ඔපෙරා ගායිකාව සී.ටී. ට ලන්ඩනයේ ප්‍රසංගයක් පැවැත්වීමට ආරාධනා කළාය. මේ අනුව විදෙස් රටක සංගීත ප්‍රසංගයක් පැවැත්වූ මුල්ම ශ්‍රී ලාංකික ගායකයා සී.ටී. ප්‍රනාන්දුය. 1969 වසරේ ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩල ශාලාවේ ගීත ගැයූ ඔහු "Golden Voice" (රත්තරන් හඬ) සම්මානයෙන් පිදුම් ලැබීය.
මුල් කාලයේ එනම් 60 දශකයේදී පමණ සී.ටී. ප්‍රනාන්දු ගීත ගායනා කළේ පෙරදිග සංගීතය අනුව යමිනි. ඔහු “පියුමෙහි පැණි බොති වන බඹරෝ” ගීතය ගායනා කළේ මේ සමයෙහිදීය. එකල සිටි “ජෙට්ලයිනර්ස්” නමැති වාදක කණ්ඩායම මෙම වන බඹරෝ ගීතය බටහිර සංගීතය හා මිශ්‍ර කරමින් ප්‍රිය සම්භාෂණ, මංගල උත්සව ආදියෙහි ගායනා කළහ. මෙහිදී බටහිර සංගීතය ප්‍රිය කළ පිරිස් අතර “වන බඹරෝ” ගීතය ක්ෂණික ජනප්‍රියත්වයට පත්විය. එතැන් පටන් බටහිර සංගීතය හා මුසු කරමින් සී.ටී. ගායනා කළ ගීත එකින් එක ජනප්‍රිය වන්නට විය.
සී.ටී. ප්‍රනාන්දුගේ ගීතයක් මුලින්ම තැටිගත කිරීම සඳහා ඔහුට ආරාධනා කළේ එවකට සංගීත ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුව සිටි ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාය. යම් හේතුවක් නිසා වික්‍රමසූරිය මහතාට එම අවස්ථාවේ දී එය සිදුකරගත නොහැකි විය. ඔහුට පෙර ලුවිස් බ්‍රවුන් නම් සමාගම “කොලොම්බියා” ලේබලය යටතේ සී.ටී. ගේ ගීත තැටිගත කිරීමට අවස්ථාවක් ලබාගත්තේය.
ජෙරල්ඩ් වික්‍රමසූරිය
1977 දී සී.ටී. ප්‍රනාන්දු වියෝ වූ පසු , යළිත් වරක් සී.ටී.ගේ ගීත සුවහසක් රසික රසිකාවියන් අතට පහසුවෙන් පත්කිරීමට ඉඩ ලැබුණේ මේ ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාගේ අප්‍රතිහත ධෛර්යය නිසාය. එවකට සී.ටී.ගේ ගීතවල අයිතිය තිබුණේ ඉන්දියාවේ සමාගමකටය. මාස්ටර් ටේප් එක තිබුණේ ද ඉන්දියාවේය. සී.ටී. ප්‍රනාන්දු මහත්මියගේ අවසරය පිට ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතා ඉන්දියාවට ගොස් සී.ටී.ගේ මාස්ටර් ටේප් එක සොයාගත්තේය. ඔහු එයින් පිටපතක් රැගෙන ලංකාවට පැමිණ සී.ටී.ගේ තැටි “ගෝල්ඩන් වොයිස් ඔෆ් සී.ටී.” නමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය.
සී.ටී. ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වූයේ 1977 දී නිසා එම වසර එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණි වකවානුවයි. එම රජය හඳුන්වාදුන් විවෘත ආර්ථිකයත් සමග ගීත කලාවේ තාක්ෂණික හරඹයන්ද සිදුවිය. ගුවන් විදුලියට අමතරව මෙතෙක් ගීතය ජනතාව අතරට ගෙනගිය මාධ්‍යය වූ ගී තැටිය වෙනුවට කැසට් පටය කරළියට පැමිණියේය. ලංකාවේ කැසට් ව්‍යාපාරයේ ප්‍රාරම්භකයා වූ විජය රාමනායක ගේ තරංගා නම් වූ කැසට් ව්‍යාපාරය දියුණු තත්වයක තිබිණි. විජය රාමනායක සී.ටී. ප්‍රනාන්දුගේ කැසට් පටයක් නිර්මාණය කළේය. මේ අනුව සී.ටී. ගේ ප්‍රථම කැසට් පටය විජය රාමනායකගේ නිෂ්පාදනයකි. නමුත් එම කැසට් පටය සඳහා ගීත ලබාගත්තේ සී.ටී. ගේ ගෝල්ඩන් වොයිස් තැටියෙන් විය හැකිය. ඒ නිසාදෝ එම කැසට් පටයට විරුද්ධව සී.ටී. ප්‍රනාන්දු මහත්මිය නඩු මගට ගිය කතාවක්ද අසන්නට ලැබේ.
සී.ටී. ප්‍රනාන්දු මහතාගේ ගීතවල තුන්වන අදියර ඇරඹුණේ 1996 දීය. ඒ තාක්ෂණික ක්‍රමයක් මගින් ගායකයාගේ හඬ හැර මුල් සංගීතය මකා දමා මුල් සංගීතයට හානියක් නොවන අන්දමින් උසස් සංගීත ගුණයක් සහිත නව සංගීතය මුසුකොට නැවත ගීත නිර්මාණය කිරීමයි. මේ ගීත ගබඩා වූයේ සංයුක්ත තැටියකටය. මේ කර්ත්‍යවය සිදුකළේ ද ජෙරල්ඩ් වික්‍රමසූරිය මහතාය. ඔහු මේ ගීත ඔහුගේම ව්‍යාපාරයක් වූ “සූරිය” ලේබලය යටතේ නිකුත් විය. මේ නිසා අද වනවිට රසිකයින්ට උසස් රසවින්දනයක් සහිත සී.ටී. ගේ ගීත ශ්‍රවණය කිරීමට භාග්‍යය උදාවී තිබේ.
සුවහසක් රසිකයින් ගීතයෙන් අමන්දානයට පත්කළ සී.ටී. ප්‍රනාන්දු නම් අසහාය ගායන තරුව සදහටම නිහඬ වූයේ 1977 ඔක්තෝබර් 17 දින දීය. ඒ හෘදයාබාධයක් හේතුවෙනි.
මේ ලිපියට පාදක වූයේ මාධ්‍යවේදිනි නෙළුම් ගුණරත්න, මාධ්‍යවේදී හරිත් ගුණවර්ධන සහ මාධ්‍ය වේදී මිල්ටන් මලවි ආරච්චි විසින් ලියන ලද පුවත්පත් ලිපි ඇසුරිනි. ඔවුන්ටත් ස්තුතිය පුද කරමි.
No comments:
Post a Comment