Thursday, August 18, 2016

Madunagala Hot Springs - මාදුනාගල උණුදිය උල්පත් බලන්න යමු



ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ විනෝද සංචාරයේ යෙදෙන හෝ කතරගම වන්දනාවේ යන ඔබට එහි යන අතරතුර පහසුවෙන් යාහැකි, බොහෝදෙනා නොයන බොහෝදෙනා නොදන්නා එහෙත් දන්නා අය නිතර යන එන ස්ථානයක් පිළිබඳව දැනුවත් කරන්නට සිතුනි. ඒ මාදුනාගල උණුදිය උල්පත් බැලීමට යාමයි. කැමතිනම් එතැන ඇති ඖෂධීය උණුවතුරින් ස්නානය කිරීමටද හැකිය. මේ පිළිබඳව නොදන්නා අයට දැනුවත් කිරීමට ගත් උත්සාහයේදී මේ ස්ථානය පිළිබඳව හැදෑරීමටද හැකිවිය. මේ නිසා එහි නිතරම යන එන ඒ ගැන දන්නා අයවත් නොදන්නා තොරතුරු සමූහයක් මට ලැබිණි. මේ සටහන ඒ පිළිබඳවයි.

පොළොව අභ්‍යන්තරයේ ඇති උණුසුම් ලාවා (ලෝදිය) තට්ටු වලින් උණුසුම ලබාගෙන ඉන්පසු අවසාදිත පාෂාණයක් වන හුණුගල් තට්ටුව හරහා උල්පත පොළොව මතුපිටට පැමිණෙයි. මෙය උණුදිය උල්පත් ලෙසින් අපට දිස්වේ. හුණුගල් හරහා පැමිණීමෙන් එම ජලයට ඛනිජ ලවණ ගණනාවක් එකතුවෙයි. ජලයට ඖෂධීය ගුණයක් ලැබෙන්නේ මේ නිසාය. ඒ නිසා මෙම ජලය නිකම්ම උණු වතුර නොවේ. මෙම ඖෂධීය ජලය ස්නානය කිරීමෙන් සමේ ඇති වන දිලීර රෝග (අළුහම්, කුෂ්ඨ , බිබිලි, දද) ඇතුළු රෝග ගණනාවකටත් ශරීරයේ ඇතිවන වාත වේදනා රැසකටත් ඉක්මන් සුවය ලැබෙන බව අනාදිමත් කාලයක සිට ජනතාව විශ්වාස කරයි. 

ලෝකයේ මෙවැනි ස්වභාවික උණුදිය උල්පත් ඇත්තේ ස්වල්පයකි. ඒ නිසා එය සොබාදහමේ දුර්ලභ විශිෂ්ඨ නිර්මාණයක් බව භූ විද්‍යාඥයෝ සලකති. එහෙයින් මෙවැනි උල්පතකින් ස්නානය කිරීමද ලෝකයේ හැමටම කළ නොහැකි දුර්ලභ වරමකි. වාසනාවට අපේ රටේ මෙවැනි උණුදිය උල්පත් කීපයක් ක්‍රියාත්මකව පවතී. ඒවායින් ප්‍රධානම උල්පත ලෙස සැලකෙන්නේ අනුරාධපුර-ත්‍රිකුණාමලය මාර්ගයේ පිහිටි කන්නියා (සමහරු මෙය කින්නියා ලෙස වැරදියට උච්චාරණය කරති) උල්පතයි. දෙවැන්න බදුල්ල මඩකලපුව මාර්ගයේ පිහිටි මහ ඔය උණුදිය උල්පතයි. තුන්වැන්න මහපැලැස්ස හෙවත් මාදුනාගල උල්පතයි. තවත් උණුදිය උල්පත් කීපයක් නැගෙනහිර පළාතේ පිහිටා ඇත.

ලංකාවේ ඇති ප්‍රධාන උණුදිය උල්පත් මෙසේ දැක්විය හැක.


වහව පීඩන උණුදිය උල්පත
(ඡායාරූපය - www.panoramio.com)
කපුරැල්උ උණුදිය උල්පත

(ඡායාරූපය - www.lakdasun.com)
නෙළුම්වැව උණුදිය උල්පත

(ඡායාරූපය - exploresrilanka.lk)
මහඔය උණුදිය උල්පත

(ඡායාරූපය - flickr.com)
කිවුලේගම උණුදිය උල්පත


(ඡායාරූපය - www.lakdasun.com)
මා දකින හැටියට දැනට දර්ශනීය ලෙස සහ පහසුකම් සියල්ල සපිරි ලෙස ගොඩනගා ඇත්තේ මාදුනාගල උණුදිය උල්පතයි. මෙහි ප්‍රධාන ළිං පොකුණ නියම උණුදිය උල්පතට සම්බන්ධ කර ඇති නිසා එහි ජලය වඩා උණුසුම්ය. (සෙල්සියස් අංශක 44ක් පමණ) එතැන් සිට නළ මගින් ඊට යාබද ළිඳ වෙත ජලය සම්ප්‍රේෂණ වෙයි. මේ නිසා දෙවන ළිඳේ ජලය උණුසුම් බවින් ටිකක් අඩුය. මේ ආකාරයට ප්‍රධාන උල්පත් ළිඳට අමතරව ළිං 5ක් නිර්මාණය කර ඇත. මේ නිසා තමන් කැමති උණුසුම් මට්ටමක ජලයෙන් ස්නානය කිරීමට මෙහි එන සංචාරකයන්ට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇත.

මහපැලැස්ස උණුදිය උල්පත් ජලයේ රසායන සංයුතිය

විදේශයන්හි පිහිටි උණුදිය උල්පත්වල තත්වය බැලූවිට ඒවා බොහෝවිට ඇත්තේ සංචාරකයින්ට නැරඹීම සඳහා පමණි. ඒවායින් මිනිසුන් ස්නානය කරනු දැකිය හැක්කේ කලාතුරකිනි. එයට හේතුව අධික උෂ්ණත්වය නිසාත් එහි ජලය පතුලේ ගිනිකඳු ලාවා (මැග්මා) පිහිටන නිසාත්ය. එසේම ඒවා ලංකාවේ මෙන් ළිං බැඳ වතුර ඇදගෙන මිනිසුන්ට පහසුවෙන් ස්නානය කිරීම සඳහා නිර්මාණයකර නැත.



විදෙස්උ රටවල පිහිටි උණුදිය උල්පත්

මාදුනාගල හෙවත් මහපැලැස්ස උණුදිය උල්පතට යාමට ඇති මාර්ග

මේ සඳහා ඔබට මාර්ග කීපයක් භාවිතා කළ හැක.


1. ඔබ කොළඹ සිට මාතරට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් (Southern Expressway) යන කෙනෙකු නම් මාතර සිට හම්බන්තොට මාර්ගයේ නෝනාගම දක්වා ගමන්කළ යුතුය. නෝනාගමින් වමට හැරී ඇඹිලිපිටිය මාර්ගයේ ටික දුරක් ගොස් (ඇඹිලිපිටිය හන්දියට කලින්) පදලංගල හන්දියෙන් දකුණට හැරී සූරියවැව මාර්ගයේ ගමන් කළ යුතුය. එම මාර්ගයේ කිලෝ මීටර් 4ක් පමණ ගියවිට හමුවන කුඩා හන්දියෙන් දකුණට හැරී කිලෝ මීටර් 4ක් ගිය තැන මාදුනාගල උනුදිය උල්පත් සංකීර්ණයේ ප්‍රධාන දොරටුව සමීපයට පැමිණිය හැක. 


2. කොළඹ සිට රත්නපුර හරහා කතරගම යන අයෙකුට උඩවලවේ පැත්තට හැරෙන්නේ නැතිව තව දුරටත් ඉදිරියට ඇඹිලිපිටිය දක්වා ගමන් කළ යුතුය. ඇඹිලිපිටියේ සිට තව දුරටත් ඉදිරියට නෝනාගම පාරේ ගමන් කරන විට පදලංගල නගරය හමුවේ. එතැනින් වමට හැරී සූරියවැව මාර්ගයේ ගමන් කළ යුතුය. එම මාර්ගයේ කිලෝ මීටර් 4ක් පමණ ගියවිට හමුවන කුඩා හන්දියෙන් දකුණට හැරී කිලෝ මීටර් 4ක් ගිය තැන මාදුනාගල උනුදිය උල්පත් සංකීර්ණයේ ප්‍රධාන දොරටුව සමීපයට පැමිණිය හැක. 


3. කතරගම ගොස් අපසු පැමිණෙන වන්දනාකරුවෙකු නම් ඔහුට ද මාර්ග දෙකක් තෝරාගත හැක. හම්බන්තොට දක්වා පැමිණ එහි අධිවේගී මාර්ග සංකීර්ණයෙන් මීගහජඳුර දැක්වෙන මාර්ග පුවරුව භාවිතාකොට මීගහජඳුරට පැමිණ එතැනින් සූරියවැව හරහා පදලංගල දක්වා දිවෙන මාර්ගයේ පැමිණ ඉහත කී කුඩා හංදියෙන් වමට හැරී ඉහත කී අයුරු උණුදිය පොකුණට ළඟාවිය හැක. එහෙම නැත්නම් කතරගම සිට හම්බන්තොට මාර්ගයේ මිරිජ්ජවිල දක්වා ගමන්කර එතැන අධිවේගී මාර්ග සංකීර්ණයෙන් සූරියවැව පුවරුව භාවිතාකොට සූරියවැවට පැමිණිය යුතුය. එතැන් සිට පදලංගල දක්වා දිවෙන මාර්ගයේ පැමිණ ඉහත කී කුඩා හංදියෙන් වමට හැරී ඉහත කී අයුරු උණුදිය පොකුණට ළඟාවිය හැක.

උණුදිය උල්පතට ප්‍රවේශ වන මාර්ග සඳහන් සිතියම

උණුදිය උල්පත අවට ප්‍රදේශය

ඇතැමුන් මාදුනාගල උණුදිය පොකුණ බැලීමට යාමට බියවෙති. ඒ වෙන හේතුවක් නිසා නොව වල් අලින්ගෙන් කරදර ඇතිවේයැයි සිතන නිසාය. ඇත්ත වශයෙන් මෙම ස්ථානය අයත් ප්‍රදේශය අධ්‍යයනය කිරීමේදී එය කලකට ඉහත වල් අලින්ගේ රජදහනක්ව තිබී ඇත. අතීතයේදී හම්බන්තොට ප්‍රදේශයට දැඩි නියං සමයවල් පැවති කල්හි ජලය සොයා මෙම නොසිඳෙන ජල පොකුණ වෙත වල් අලින් පැමිණ තිබේ. ඇතැම් අවස්ථාවල කුඩා අලි පැටවුන් මෙම ජල වලට වැටී (එකල අද මෙන් ළිං බැඳ නොතිබුණි.) මරුමුවට පත්වූ අවස්ථා ද ඇත.

අතීතයේදී මෙලෙස වල්අලි පැමිණෙන්නට ඇත.
(සැකසූ ඡායාරූපයකි)



මෙම මාරක අනතුරු වැළැක්වීම සඳහාත් සංචාරකයන්ගේ පහසුව තකාත් වලවේ ව්‍යාපෘතියට අනුබද්ධ මහවැලි අධිකාරිය මගින් 1980 දී මෙම උණුදිය පොකුණ වටා තාප්ප ඉදිකළ අතර ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට වෙන වෙනම භාවිතා කිරීම සඳහා පහසුකම් සකස් කෙරිණ. ඉන්පසු අලි අනතුරු සිදුවූයේ නැත. දශකයකට හෝ දෙකකට පෙර ඝන වනාන්තරයක් මැද පිහිටි මෙම පොකුණ අද විවෘත මනරම් භූමියක පිහිටන සේ දර්ශනීයව නිර්මාණය කර ඇත. එසේම එම ස්ථානයට මනා ආරක්ෂාවක්ද යොදා ඇති නිසා අද එහි යාමට බියවිය යුතු නැත. 

මෙම ස්ථානයට මාදුනාගල උණුදිය උල්පත් යැයි ව්‍යාවහර කළත් එහි නියම නාමය මහපැලැස්ස උණුදිය උල්පත වේ. මහපැලැස්සට එන ඔබට ඒ අවට ඇති පුරාණ ගල්ලෙන් ආරණ්‍ය සේනාසන 2ක් ද දැකගත හැකිය. ඒ මාදුනාගල ආරණ්‍ය සේනාසනය සහ කරඹගල ආරණ්‍ය සේනාසනයයි. උණුදිය උල්පතට මාදුනාගල නම වැටී ඇත්තේ ඒ අසල පිහිටි මාදුනාගල ආරණ්‍ය සේනාසනය නිසා බව සිතිය හැක.

 මාදුනාගල ආරණ්‍ය සේනාසනය
(ඡායාරූපය - www.vvip.lk)


කරඹගල ආරණ්‍ය සේනාසනය

මාදුනාගලට පැමිණෙන ඔබට නැරඹිය යුතු තවත් ස්ථානයක් ඒ අසලම පිහිටා ඇත. ඒ ලංකාවේ පළමු සෆාරි සතුන්වත්ත (අලි, කොටි වනසතුන් කූඩුවල නොදමා නිදහසේ සිටින සතුන්වත්ත) වන රිදියගම සෆාරි පාක් එකයි. එය අභිනවයෙන් විවෘත කරන ලද්දේ 2016 මාර්තු 28 දින දීය.

ලංකාවේ පළමු සෆාරි උයන - රිදියගම  
(ඡායාරූපය - hirunews.lk)

රිදියගම  සෆාරි උයනේ සවාරියක් 

උණුදිය පොකුණ වෙත පහසුවෙන් ළඟාවීම සඳහා ඇඹිලිපිටියේ පදලංගල සහ සූරියවැව සිට පැමිණෙන මාර්ග ද උණුදිය පොකුණ ද වසර 2004 දක්වා පැවතියේ අබලන් තත්වකය. 2004 දී දකුණු පළාත් සභාවේ දකුණු පළාත් සංචාරක කාර්යාංශය මගින් දැනට පවතින තත්වයට ඉතා රමණීය ලෙස නැවත මෙම ස්ථානය නවීකරණය කරන ලදී.



උණුදිය උල්පත් බැලීමට යන ස්ථානයේ  ඇති ප්‍රධාන දොරටුව

විශාල වාහන නැවතුම් පලක්, ප්‍රවේශ පත්‍ර අලෙවි කරන කාර්යාලයක් හා වැසිකිළි එක් පසෙක ඇති අතර ස්නානය කරන ස්ථානයට සමීපව ඇඳුම් මාරුකරන කාමර 2ක් පිහිටා ඇත. බාහිර වෙළඳුන් හට අයත් වෙළෙඳසැල් කීපයක්ද ඇත. බීම හා ස්නැක් අලෙවිකරන ස්ථාන, බෙලිමල් හා රණවරා බීම පානය කළ හැකි කඩ, එළවළු විකුණන කඩ ඒ අතර වෙයි. 

මාදුනාගල අතීතය

ඉතාම ඈත අතීතයේදී අවුරුදු ලක්ෂ ගණනකට පෙර ස්වභාවිකවම මෙම උණුදිය උල්පත් නිර්මාණය වී තිබේ.

උණුදිය උල්පතක හරස්කඩක්  
(ග්‍රැෆික් චිත්‍රය -Sunday times/Suresh Fernando)

පුරාතනයේදී මාදුනාගල උණුදිය උල්පතට සමීපව පිහිටා තිබූ ආරණ්‍ය සේනාසනවල ඇති ගල්ලෙන්වල මහරහතන් වහන්සේලා වැඩ උන් බව සඳහන්වේ. එම රහතන් වහන්සේලා හා භික්ෂූන් වහන්සේලා මෙම උණුදිය උල්පතේ ඇති ජලයේ සමේ රෝග හා වාත රෝග නිවාරණය කිරීමේ බලයක් ඇති බව හොඳින් දැන සිටියහ. මේ නිසා උන් වහන්සේලා මෙම උණුදිය ස්නානය කිරීමට මෙම ස්ථානයට නිතිපතාම වැඩම කර තිබේ. 

ලංකාවේ සිටි කීර්තිමත් පුරා විද්‍යාඥයෙකු වූ ආචාර්ය ආර්.එල්. බ්‍රෝහියර් සිය ‘Seeing Ceylon’ නම් ග්‍රන්ථයේ මේ පිළිබඳව අපූරු සටහනක් ලියා ඇත. ඔහු කියන පරිදි අලි ඇතුන් සිය අවසන් හුස්ම හෙළීම සඳහා මේ කියන මහපැලැස්සේ උණු දිය වල වෙත පැමිණෙන බවයි.

මෙම උල්පත ඇති ළිඳෙන් ලබාගත් උණුසුම් ජලය බත් පිසීම සදහා යොදාගත්විට එම බත් නරක් නොවී දිගු කාලයක් තබාගත හැකි බව මෙහි ගම්මුන් පවසයි.

අතීතයේදී හම්බන්තොට දිසාපතිව සිටි ලෙනාඩ් වුල්ෆ් මහතා තම දිනපොතේ 1910/08/01 දින ලියා ඇති සටහනක මෙම මහපැලැස්සේ පිහිටි උණුදිය උල්පත් ජලයේ ඇති රසායනික සංයුතිය දක්වා ඇත. ඔහු මෙසේ කියයි, “ මා මේ පොකුණෙන් ලබාගත් ජලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යැව්වා. ඔහුගේ වාර්තාවේ හැටියට ජල කොටස් 10,000 ක් ගත්තොත් එයින් කොටස් 534ක ඝන ද්‍රව්‍ය අඩංගු බව දක්වල තියෙනවා. ක්ලෝරින්, මැග්නීසියම්, ලයිම් (හුණු) හා සල්පේට් අඩංගු බව එහි දැක්වෙනවා.”

අවුරුදු 50ක් නැත්නම් අඩසියවසක් තිස්සේ මහපැලැස්ස උණුදිය උල්පත මහ ඝන වනාන්තරයෙන් වැසී ගොස් තිබුණි. හරිහැටි මාර්ග නොතිබූ එකල අම්බලන්තොට - රිදියගම රජයේ ගොවිපලේ සිට මාදුනාගල ආරණ්‍ය සෙනසුන හරහා මෙම ස්ථානයට ළඟාවිය හැකිව තිබේ. එම මාර්ගයේ පැමිණෙන්නෙකුට කැලය මැදින් සැතපුම් 3ක් මගගෙවා පයින්ම පැමිණිය යුතුවිය.

එකල තිබූ අනෙක් මාර්ගය දුෂ්කර එහෙත් ත්‍රාසජනක අත්දැකීමක් ලබාගතහැකි මාර්ගයකි. ඒ සඳහා වලවේ ගඟෙන් බෝට්ටුවකින් එතෙර විය යුතුය. ලියන්ගස්තොට වැව් අමුණ අසලින් බෝට්ටුවට නැගී බෙගිගංතොටින් බැස දිවුල් ගස් වලින් පිරි කැලයක් මැද්දෙන් සැතපුම් 2-3 ක් ගමන් කිරීමෙන් පසු උණුදිය පොකුණට ළඟාවිය යුතුව තිබිණි.

එකල හම්බන්තොට දිස්ත්‍රික්කයේ (1908-1911) උප දිසාපතිව හුන් ලෙනාඩ් වුල්ෆ් වරක් මෙම උණුදිය වල සොයාගිය ගමන ඔහුගේ දිනපොතේ පැහැදිලිව ලියා තිබේ. ඔහු එම ස්ථානයට ළඟාවී ඇත්තේ ද වලවේ ගඟේ බෙගිගංතොට හරහා පැදවූ බෝට්ටුවකින් බව එහි සඳහන් වෙයි.

1960 දී එවකට පැවති රජය ජලවිදුලිය නිපදවීමටත් වාරි කටයුතු සඳහාත් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වලවේ ද්‍රෝණිය සංවර්ධනය කිරීමට තීරණයක් ගත්තේය. එය දැවැන්ත බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කරන ලදී. කෘෂි ආශ්‍රිත කර්මාන්ත ඇතිකිරීම, අළුතින් වී වගාව , වැව් අමුණු බැඳීම, විදුලි බලාගාර ඇති කිරීම, මහමාර්ග තැනීම ඒ අතර ප්‍රධාන වේ. එහි ආරම්භක පියවරක් වශයෙන් 1967 දී උඩ වලවේ ජලාශය ඉදිකළේය. ඉන්පසු ආසියානු සංවර්ධන බැංකුව වලවේ ජලාශයේ දකුණු ඉවුරේ සම්පූර්ණයෙන් සහ වම් ඉවුරේ කොටසක වාරි කටයුතු සහ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ආධාර දුන්නේය. 

උඩවලවේ බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිසා එතෙක් ගම්මුන් අතර පමණක් ප්‍රකටව තිබූ මහපැලැස්ස හෙවත් මදුනාගල උණුදිය උල්පත නැවත රටපුරා ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් බවට පත්වුණි. මෙතෙක් පොළොව මට්ටමේ දිය වලක් ලෙසින් තිබූ උණුදිය උල්පත 1960 න් පසු අඩි භාගයක් පමණ උසින් යුත් ගල් පාදමක් සහිත සතරැස් පොකුණු 5ක් ලෙස සංවර්ධනය කෙරුණු අතර සංචාරකයන්ට ස්නානය සඳහා පහසුකම් යෙදිණි. එසේම පොකුණ වෙත පිවිසීමට ක්‍රමවත් මාර්ග පද්ධතියක් ද ඉදිවිණි.

වලවේ ව්‍යාපාරයේ අගනුවර බවට පත්වූයේ ඇඹිලිපිටිය ගම්මානයයි. පෙර කල කුඩා ගමක්ව තිබූ එය අද ගාල්ල, මාතර, අම්බලන්තොට, හම්බන්තොට, තිස්සමහාරාම ඇතැම්විට වැල්ලවාය ආදී නගර යා කෙරෙන විශාල නගරයක් බවට පත්වී තිබේ. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය මගින් උඩවලව ජලාශයේ වම් ඉවුරේ ඉදිකිරීම් කටයුතු සිදුවන සමයේ සූරියවැව ගම්මානය ප්‍රධාන උප නගරයක් ලෙස සංවර්ධනය කරන ලදී. මහපැලැස්සට ළඟාවීම සඳහා සූරිය වැව සිට මාර්ගයක් ද ඉදිවිණි.

වල් අලින් පැමිණ මෙම පොකුණ ආක්‍රමණය කිරීම වැලැක්වීමට 1980 දී වලවේ ව්‍යාපෘතියට අනුබද්ධ මහවැලි අධිකාරිය මගින් උණුදිය පොකුණ වටා ගල් තාප්පය වඩා උසට ඉදිකෙරිණි. අවට මාර්ගද සංවර්ධනය කෙරිණ. කාලයාගේ ඇවෑමෙන් හා හරිහැටි නඩත්තුවක් නොවීමෙන් පොකුණද මාර්ගද අබලන් තත්වයට පත්වුණි. 2004 දී ඒ අවට ප්‍රදේශය යලිත් සංවර්ධනයට ලක්වුණි. එවර එයට දායකත්වය දුන්නේ දකුණු පලාත් සභාවේ දකුණු සංචාරක කාර්යාලයයි. මේ නිසා මහපැලැස්සට යාම සඳහා අතීතයේ තිබූ බොරළු පාරවල් වෙනුවට අද ඉතා හොඳ කාපට් ඇතිරූ මාර්ගයන් ඉදිවී ඇත.

ප්‍රවේශ පත්‍ර ගාස්තුව - වැඩිහිටි - රු. 40/- වාහන නැවතුම් ගාස්තුව රු. 50/- පිටතින් බාල්දි රැගෙන පැමිණීම තහනම් කර ඇත.

දකුණු පලාතේ සංචාරයට යන ඔබට දැන් මාදුනාගල ගොස් ඖෂධීය ජලයෙන් ගත සිත සනහාගෙන ගමනේ විඩාව දුරුකරගැනීමට අවස්ථාව සැලසී ඇත. එය ඔබට නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය.

2 comments:

  1. Thank you Ayoma. This is very interesting and important.Further more, I never knew about your Blog. Quite happy to know this fine achievement.

    ReplyDelete
    Replies
    1. Thank you for your comment Mr. Goonatilleke.

      Delete