Sunday, July 22, 2018

South Indian playback singers who sang Sinhala film songs


South Indian playback singers who sang  unforgettable Sinhala film songs in 50's /60's
සිංහල ගී ගැයූ දකුණු ඉන්දීය ගායිකා ත්‍රිත්වය



ලංකාවේ ජනප්‍රිය සිංහල ගී රැසක් ගායනා කළ දකුණු ඉන්දීය ගායිකා කේ. රානි පසුගියදා ජීවිතයෙන් සමුගත් බව මාධ්‍යය විසින් හෙළි කෙරිණි. කේ. රානිගේ අභාවයත් සමග මට මතකයට ආවේ කේ. රානි ගේ සමකාලීන වූද, තවත් ජනප්‍රිය සිංහල ගී රැසක් ගායනා කළ දකුණු ඉන්දීය ගායිකාවන් දෙදෙනෙකුගේ නම්ය. 

සිංහල සිනමාව ආරම්භක කාලයේ දී බොහෝ සිංහල චිත්‍රපට නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ රූගත කිරීම කෙරුණේ දකුණු ඉන්දියාවේය. ඒ නිසාම එම චිත්‍රපට වලට සම්බන්ධ වූ අධ්‍යක්ෂකවරු, සංගීතඥයින් සහ ගායක ගායිකාවන් ද සැළකිය යුතු ප්‍රමාණයක් දකුණු ඉන්දීය ද්‍රවිඩ ජාතිකයින් බවට පත්වූහ. 

කේ. රානි වගේම කේ. ජමුනා රානි. සහ ජික්කි යනු 50/60 දශකයේදී සිංහල චිත්‍රපට ගීත ක්ෂේත්‍රය බැබළවූ දකුණු ඉන්දියානු අති ජනප්‍රිය ගායිකාවන් තිදෙනෙකි. අපේ රටේ ඇතැම් දෙනා සිතා සිටින්නේ කේ. රානි සහ කේ. ජමුනා රානි යනු එකම පුද්ගලයා බවය. එය එසේ නොවේ. මේ ලිපියෙන් විස්තර වන්නේ මේ ගායිකා ත්‍රිත්වය අපේ සිංහල චිත්‍රපට ගීත ක්ෂේත්‍රයට කළ මෙහෙය කෙටියෙන් විස්තර කිරීමයි. 

පසුගිය දා (2018 ජූලි 13 දා) ජීවිතයෙන් සමුගත්තේ මේ තිදෙනාගෙන් කෙනෙකු වන කේ. රානි ය. ඉතිරි තිදෙනාගෙන් දැනට ජීවතුන් අතර සිටින්නේ කේ. ජමුනා රානි ය. ඇගේ දැන් වයස අවුරුදු 80 කි. ජික්කි මියගියේ 2004 වසරේ දී ඇගේ වයස අවුරුදු 68 ක්ව තිබියදීය. 

අපි මුලින්ම ජික්කි දෙසට හැරෙමු. ඇගේ නියම නම Pillavalu Gajapathi Krishnaveni හෙවත් පී.ජී. ක්‍රිෂ්ණාවෙනි ය. ඇය ඉන්දියාවේ අාන්ද්‍රා ප්‍රදේශ් වල තෙළිඟු පවුලකට අයත් ව උපන්නේ 1935 නොවැම්බර් 3 දිනය. පසු කලෙක ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස නමක් දිනාගත්තාය. ගීත 10,000 ක් පමණ ගායනා කර ඇති ඇය භාෂා 6 කින් ගී ගයා ඇත. ඒවා නම් තෙළිඟු, දෙමළ, කන්නඩ, මලයාලම්, හින්දි සහ සිංහලයි. ඇය ඉන්දියාවේ ප්‍රකට සංගීතඥයින් 50 කට වැඩි ගණනක් යටතේ තම ගායනා ඉදිරිපත් කර ඇත. ඔවුන් අතර සිටි එක් සංගීතඥයෙකි ඒ. එම්. රාජා. (Aemala Manmatharaju Rajah) පසුකලෙක ඇය අතිනත ගත්තේ ද ඒ. එම්. රාජා සමග ය. ජික්කි ගැයූ මේ ගීත 2 ඔබ නිසැක ලෙසම අසා ඇති. 

“මට ආලෝකේ ගෙන දේවී සංසාරයේ.. මට ආලෝකේ ගෙන දේවී සංසාරයේ.
මගේ ජීවන මගේ බැමි ස්ථීර වේ..
මට ආලෝකේ ගෙන දේවී සංසාරයේ..” (1957 - චිත්‍රපටය - අයියයි මල්ලියි) 
මේ ගීතය නවක පරපුර අතර නැවත ජනප්‍රිය වූයේ ඉරාජ් වීරරත්වින විසින් මෙහි තනුව උපයෝගී කොට නවතම ගීයක් (Remix) නිර්මාණය කිරීම නිසාය. 


ඇගේ තවත් ජනප්‍රිය ගීයක්..

“ලෝ අම්බලමේ ඉඳලා යනවා..
නිසි පාර සොයා ආගන්තුකයා..
දෙයි මාන බලා කරුමේ පහරා..
මේ ජීවිතයේ කෝ ස්ථීරතා.. ” (1957 චිත්‍රපටය - ජීවිත සටන) 

ලතා වල්පොල මහත්මිය විසින් පසකලෙක ගැයූ එම ගීතයේ වීඩියෝව පහතින් 


ජික්කි ගායනා කරන මුල් ගීතය ඔබට http://sinhalajukebox.org යන වෙබ් අඩවියෙන් ශ්‍රවණය කළ හැකිය. 

එසේම මනුෂ්‍යත්වය චිත්‍රපටයට ඇය ගැයූ 
“අලෝකේ පාලා මෙසේ - ප්‍රීතිය මේ ලෝකෙ පෙනේ - මනහාරී ගීතේ මහා” සහ ජීවිත සටන චිත්‍රපටයට ගැයූ “පහත් තැනින් යයි ගලා ජලේ” හා මොහිදීන් බෙග් සමග ගැයූ, “පෙම් සිහිනේ.. ආලෝකේ දේවී, මේ ජීවිතේ.. මේ ජීවිතේ - ප්‍රේමේහි චන්ද්‍රා නැගීලා.. පෙම් සිහිනේ” යන ගීත ද ලංකාවේ රසිකයින් අතර වඩාත් ජනප්‍රිය භාවයට පත්විය. 

අවසන් කාලයේදී ඇයට පියයුරු පිළිකාවක් සෑදී ඇති බව හෙළිවිය. පිළිකාව ඇගේ වකුගඩු දක්වා ව්‍යප්තව තිබූ හෙයින් ප්‍රතිකාර වලින් එතරම් ඵලක් නොවිණි. වසර 2004 අගෝස්තු 16 වනදා ඇය චෙන්නායි නුවර දී අවසන් හුස්ම හෙළුවාය. 

මේ ගායක ත්‍රිත්වයෙන් ඊළඟට අප අතරින් වෙන් වූයේ (2018 ජූලි 13 දා) කේ. රානි ය. 1943 දී උපන් ඇය විවිධ භාෂා 8 කින් ගීත 500 ක් පමණ ගායනා කොට තිබේ. ඇය ගී ගයා ඇති භාෂා 8 වන්නේ, දෙමළ , තෙළිඟු, කන්නඩ, මලයාලම්, හින්දි ,බෙංගාල, සිංහල සහ උස්බෙකිස්ථාන් ය. 

සිංහල සහ උස්බෙකිස්ථාන් භාෂා වලින් ගීත ගැයූ පළමු දකුණු ඉන්දීය ගායිකාව ලෙස කේ. රානි ඉතිහාස ගත වන්නීය. එසේම ලංකාවේ ජාතික (මුල්වරට තැටිගත කිරීමේදී) ගීයට කාන්තා හඬ නියෝජනය කළේද ඇයයි. මේ කරුණ වැඩි දෙනෙක් නොදැන සිටි දෙයකි. 

ඇය 1951 දී සිනමා ගීත ගායනයට පිවිසුනාය. 1953 දී ඇය ප්‍රථම වරට සිංහල සිනමාවට පා තැබීය. එනම් එම වසරේ තිරගත වූ සුජාතා චිත්‍රපටයේ වැඩි ගීත සංඛ්‍යාවක් ගායනා කිරීමට ඇයට හැකි විය. එම ගීත සංගීතවත් කර ඇත්තේ කේ. දක්ෂිණමූර්ති නම් දකුණු ඉන්දීය සංගීතඥයා විසිනි. ඔබ ද අසා ඇති මේ ගීත කීපය දෙස බලන්න. 

“ඕ සුමධුරවේ - සුපිරිසිදු වේ, අපෙ ආලේ - රම්‍ය යෞවන ප්‍රේමේ” (1953-සුජාතා චිත්‍රපටය/ සංගීතය - කේ. දක්ෂිණමූර්ති ) 


ඇගේ තවත් ජනප්‍රිය ගීයකි මේ.

“පෙම් රැල්ල නගී - ගල් තැල්ලෙ වදී මේ සුන්දර සන්ධ්‍යාවේ, පෙම් දියෙන් තෙමී - ගල ඔපය වැටී පෙන්වයි ආලේ මහිමේ” 
(ධර්මදාස වල්පොල සමග/ 1953-සුජාතා චිත්‍රපටය/ සංගීතය - කේ. දක්ෂිණමූර්ති ) 


“මන රංජන දර්ශනීය ලංකා - මාතා අති රමණී” (1953-සුජාතා චිත්‍රපටය/ සංගීතය - කේ. දක්ෂිණමූර්ති ) 

“ප්‍රේම ගඟේ, මැණික් වගේ - අපි දෙන්නා හිතේ තිබූ ආදරේ” (මොහිදීන් බෙග් සමග, 1953-සුජාතා චිත්‍රපටය/ සංගීතය - කේ. දක්ෂිණමූර්ති ) 
(අදාල වීඩියෝවේ ගායිකාව ලෙස කේ. රානි වෙනුවට කේ. ජමුනා රානි ලෙස වැරදියට සටහන් වී ඇත.) 

ඉන්පසු නැවත වරක් ඇය සිංහල චිත්‍රපටයක් වෙනුවෙන් ගී ගයන්නේ 1955 දී, සැඩ සුළං චිත්‍රපටයටය. එය සංගීතවත් කරන්නේ එස්. දක්ෂිණ මූර්ති සහ ලංකාවේ ප්‍රකට සංගීතඥ ආනන්ද සමරකෝන් මහතාය. (ආනන්ද සමරකෝන් යනු 1951 දී නිර්මාණය වූ ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘවරයාය.) සැඩ සුළං චිත්‍රපටයට කේ. රානි ගැයූ මේ ගීත ද අදටත් ජනප්‍රිය තලයක පවතී. 

“ඕ එන්න. ඕ එන්න - ප්‍රීති වෙන්න මා හා” (1955- සැඩ සුළං චිත්‍රපටය/සංගීතය- එස්. දක්ෂිණ මූර්ති , ආනන්ද සමරකෝන්) 
(එම ගීතය පසුකලෙක කලාවතී විසින් ගැයූ යූ ටියුබ් වීඩියෝව) 

“සොමිබර පෙම්රැලි මහද නැගේ - විනෝද වෙමු බැස ප්‍රේම ගඟේ” (1955- සැඩ සුළං චිත්‍රපටය/සංගීතය- එස්. දක්ෂිණ මූර්ති , ආනන්ද සමරකෝන්) 

ඇය එම වසරේම (1955 දී) මාතලන් චිත්‍රපටයට පහත සඳහන් ජනප්‍රියම ගීතය ගැයුවාය. 
“හඳ රාහු මුඛයේහි ගිලුනා ලෙසේ - අඳුරූ විය ජීවිතේ මාගේ සෝකෙන් වෙලී” (1955- මාතලන් චිත්‍රපටය/සංගීතය- ආර්.මුත්තුසාමි , සුබයියා නායිදු) 


අපි ඊළඟට කතා කරන්නේ අදටත් අප අතර සිටින ගායක ත්‍රිත්වයෙන් තුන්වැන්නා වන කේ. ජමුනා රානි මහත්මිය ගැනය. 1938 මැයි 17 දින ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි උපත ලැබූ ඇය විවිධ භාෂා වලින් ගීත 6000 ක් පමණ ගායනා කර ඇත. දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම් සහ සිංහල යන භාෂා 5කින් ඇය ගී ගායනා කොට තිබේ. එස්. දක්ෂිණ මූර්ති , ආනන්ද සමරකෝන් ඇතුළු ලංකා සහ ඉන්දීය සංගීතඥයින් රැසක් යටතේ ඇය ගායනයේ යෙදුනාය. මෙහි විශේෂත්වය වන්නේ කලින් සඳහන් කළ කේ.රානි ගැයූ සුජාතා චිත්‍රපටයට මෙන්ම සැඩ සුළං චිත්‍රපටයට ද කේ. ජමුනා රානි විසින් ද වෙනත් ගීත ගැයීමයි. උදාහරණ පහත. 

“ප්‍රේමා ලෝකය නිවී ගියා - ඔබ රූපය මා හද තියා ගියා” (මොහිදීන් බෙග් සමග, 1953-සුජාතා චිත්‍රපටය/සංගීතය-එස්. එස්. දක්ෂිණ මූර්ති ) 
කේ. ජමුනා රානි මොහිදීන් බෙග් මහතාගේ පුත් ඉෂාක් බෙග් සමග “ප්‍රේමා ලෝකය නිවී ගියා” ගීතය ගයන වීඩියෝවක් පහතින් 

“ජිවන මේ ගමන සංසාරේ - යාවී නම් අන්ධකාරේ - නොලැබ ආලෝකේ - යා හැකි දෝ සොයා මාර්ගේ” (1955- සැඩ සුළං චිත්‍රපටය) (මේ ගීතය ඇය ගැයුවේ කලින් සඳහන් කළ ජික්කිගේ සැමියා වන ජනප්‍රිය ගායක ඒ.එම්. රාජා සමගය. සංගීතය-එස්. එස්. දක්ෂිණ මූර්ති ) 

“පෙම් කැකුළ පිපී එන විට මහදේ එය පරව ගියා මාගෙ ලමැද අන්ධකාරේ” (ඒ.එම්. රාජා සමග, 1955-සැඩ සුළං චිත්‍රපටය/සංගීතය-එස්. එස්. දක්ෂිණ මූර්ති ) 

“මනරම් රැඟුමන් - කදිමයි මේ මනු ලෝකේ ” (1957- සූරසේන චිත්‍රපටය/සංගීතය- ආර්.මුත්තුසාමි , සුබයියා නායිදු) මෙම ගීතය කේ. ජමුනා රානි සමග කේ. රානි එක්ව ගායන කළ බව අන් තැනක ස‍දහන්ව ඇත. 
මුල් චිත්‍රපටයේ රූප රචනයට නව සංගීතයෙන් කලාවතී ගයන ගීතයේ වීඩියෝව 

1958 දී - එච්. ආර්. ජෝතිපාලයන් සමග ඇය ගැයූ මේ ගීතයද ඔබගේ මතකයේ ඇතැයි විශ්වාස කරමි. 

“කොළ කඩ කඩ බොරුවට දෙනවා” (1958- වනමෝහිනී චිත්‍රපටය/ සංගීතය-එස්. එස්. දක්ෂිණ මූර්ති) 

ඇතැම් තැනක ගායිකාවගේ නම කේ. ජමුනා රානි වෙනුවට කේ. රානි ලෙස සටහන්වී තිබේ. ගායිකාවන් දෙදෙනාගේ නම් බොහෝදුරට සමාන නිසා මේ පටලැවිල්ල සිදුවී ඇති බව පෙනේ. 


සිංහල ගීත කීපයක් පමණක් ගායනා කළා යැයි සඳහන් වන තවත් දකුණු ඉන්දීය ගායිකාවන් දෙදෙනෙකුගේ නම් මෙහිදී සඳහන් කළ හැකිය. පී. සුෂීලා එක්කෙනෙකි. 1953 උපන් ඇයට දැන් වයස අවුරුදු 82 කි. අනෙක් ගායිකාව පී. ලීලා ය.1933 උපන් ඇය අවුරුදු 72 ක් ආයු වළඳා 2005 ඔත්තෝබර් 31 දින මෙලොව හැර ගොස් තිබේ. මේ ගායිකාවන් දෙනො ගායනා කළ සිංහල ගීත මට සොයාගත නොහැකි විය.


පී. සුෂීලා (P.Susheela)

පී. ලීලා (P. Leela)

ඔවුන් එදා ගැයූ ගී කොතරම් මනරම් දැයි කියතොත් නූතන පරම්පරාවේ නිර්මාණකරුවන් එම ගීත තනු හෝ ගීත ඛණ්ඩ යොදා නව නිර්මාණ කිරීමට උත්සාහ ගනිමින් සිටී. කලක් අපව ගීතයෙන් සැනහූ දැනට ජීවතුන් අතර සිටිනා කේ. ජමුනා රානී සහ පී. සුෂීලා මහත්මීන්ට දීර්ඝායු වේවායි පතමින් මම නිහඬ වෙමි. 

Monday, July 2, 2018

Athula Somasiri - ප්‍රවීන ගායක අතුල සෝමසිරි


ප්‍රවීන ගායක අතුල සෝමසිරි


අතුල සෝමසිරි මහතා පිළිබඳවත්, එතුමා කළ නිර්මාණ පිළිබඳවත් අද ඉන්නා තරුණ පරපුර බොහෝ දෙනෙකු නොදැන ඉන්නා බව මගේ විශ්වාසයයි. එයට එක් හේතුවක් විය හැක්කේ එතුමා දිගු කලක් ඉතා නිහඬ දිවියක් ගතකළ නිසාය යන්න පැවසීම සාධාරණය. එසේම එදත් අදත් ඔහුව දැනහැඳින ගන්නේ ජනප්‍රිය ගුවන් විදුලි ගායකයෙකු ලෙස පමණි. නමුත් කලාව වෙනුවෙන් ඔහු ඉටුකළ මෙහෙය කොතරම් ද යන්න 1972/ 05/ 26 දින සරසවිය පුවත්පතට අර්නස්ට් වඩුගේ මාධ්‍ය වේදියා විසින් ලියන ලද ලිපිය සාක්ෂි දරයි. දැනට දෙමසකට පමණ පෙර ජාතික ලේඛනාගාරයෙන් මා විසින් පිටපත් කරගන්නා ලද සරසවිය පුවත්පතේ මෙම පිටුව මා ළඟ සුරැකිව තිබූ නිසා අතුල සෝමසිරි මහතා පිළිබඳව මමවත් සමහරවිට ඔබවත් නොදන්නා කරුණු රැසක් එහි අඩංගුව තිබිණ. මේ ලිපියට අනුව අතුල සෝමසිරි යනු ගුවන් විදුලි ගායකයෙකු පමණක් නොවේ, වේදිකා ගී ගායකයෙකු, වේදිකා නළුවෙකු, චිත්‍රපට නළුවෙකු, චිත්‍රපට පසුබිම් ගීත ගායකයෙකු, චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකු ද වෙයි. ඔහුව සැලකිය යුතු ඇගයීමකට පාත්‍ර නොවීම කණගාටුවට කරුණකි. 

ඔහු රජයේ සංගීත විද්‍යාලයට ඇතුළුවීම සඳහා දෙමව්පියන්ට හොරා අයදුම්පතක් යැව්වේය. වැඩි දිනක් යාමට පෙරාතුව විද්‍යාලයට ඇතුළුවීම සඳහා පවත්වන සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන ලෙස දන්වා ඔහුට ලිපියක් ලැබුණි. එම ලිපිය ලත්විට ඔහුට ඇතිවූ සොම්නස කිව නොහැකි තරම්ය. කාලයක් තිස්සේ තම හදවතේ රඟදෙමින් තිබූ මියුරු සිහිනයක් සැබෑවීමට යන බව ඔහු සිතුවේය. ඔහු සංගීත විද්‍යාලයෙන් පැමිණි ලිපිය රැගෙන වහාම දුවගියේ මුළුතැන් ගෙයටය. මුළුතැන් ගෙයෙහි කිසියම් වැඩක නිරතව සිටි සිය ආදරණීය මෑණියන්ට ඔහු දුවගොස් එම ලිපිය පෙන්නුවේය. තමා මෙන්ම තම මවද ලිපිය බලා ප්‍රීතිවනු ඇතැයි ඔහු සිතුවේය. එහෙත් සිදුවූයේ අනිකකි. 

දෙමව්පියන් එකහෙළාම ඔහුගේ වෑයමට විරුද්ධ වූහ. ඇත්තවශයෙන් ඔහුට තම දෙමව්පියන්ගෙන් මෙවැනි බාධක කොතෙකුත් ඇතිවිය. අතුල තම අධ්‍යාපනය කඩාකප්පල් කොට දමා සංගීත කාරයෙකු වේයැයි ඔවුන් තුළ දැඩි බියක් වූයෙන් ඔහුගේ එම මග ඇහිරීමට ඔවුන් කොතෙකුත් උත්සාහ දැරූහ. එවන් උත්සාහයන් නොතිබුණා නම් ඇත්තෙන්ම අතුල සෝමසිරි යන නාමය සංගීත ලෝකයේ ජනප්‍රිය වීමට තිබුණේ මෙයට බොහෝ කලිනි. 

ඔහු මුලින්ම සිරි අයියාගේ (අධිනීතිඥ යූ. ඒ. ඇස්. පෙරේරා) ළමා තීරයට බැඳුණේ වර්ෂ 1947 මැයි 23 වෙනිදාය. ඩෝල්ටන් අල්විස් ප්‍රබන්ධ කළ “කුඩා ළමයි රාශියයි, පුහුල් දෝසි දීසියයි” යන ගීය හාපුරා කියා අතුලගේ හඬින් ගුවන් ගතවූ ගීතයයි. අනතුරුව ඔහු දිගටම ළමා තීරය මගින් ගී ගැයීමට පටන් ගත්තේය. එපමණකුදු නොව නොයෙකුත් නාට්‍යවල ගී ගැයීමට මෙන්ම රඟපෑමටද පටන් ගත්තේය. සිය කාලයෙන් වැඩි කොටසක් සංගීතයට හා නාට්‍යයට කැප කරණු දුටු දෙමව්පියන්ට අතුල ගැන බියක් ඇතිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1952 දී අතුල සෝමසිරිට ගුවන් විදුලියෙන් ඈත්වීමට සිදුවිය. සුළු පටු කාලයක් නොව 1963 වෙනතුරු ඔහුට ඈත්වී සිටීමට සිදුවිය. 

එනමුදු ගුවන් විදුලියෙන් ඈත්වී සිටියත් සංගීතය පිළිබඳ අතුලගේ හදවතේ තිබූ ඇල්ම ඈත් කිරීමට දෙමව්පියන්ට නොහැකි විය. දෙමව්පියන්ට හොරෙන් ඔහු රජයේ සංගීත විදුහලෙන් සංගීතය හැදෑරුවේය. එහි සංගීතය පිළිබඳ මධ්‍යම විභාගය සමත්වී ඔහු සහතිකයක් ලබාගත්තේය. 

මේ අතර කාලයේදී අතුලට ගුණසේන ගලප්පත්තිගේ “සඳකිඳුරු” නාට්‍යයේ රඟපෑමට හා ගී ගැයීමට අවස්ථාව ලැබුණි. එපමණක් නොව ගලප්පත්තිගේ මාර්ගයෙන් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් හඳුනා ගැනීමට වාසනාව ලැබී “මනමේ” නාට්‍යයේ රඟපෑමටද අවස්ථාවක් උදාවිය. 

එදා අතුලගේ දෙමව්පියන් තම පුතා සංගීතකරුවෙකු වේයැයි බිය වුවද, වේදිකාව මගින් දස්කම් දක්වන විට එම හැඟීම් තුරන් වී ගියේය. අතුල ඉගෙනීමේ කටයුතු ද අතපසු නොකළේය. ගෘහ නිර්මාණ ශිල්පී විභාගයෙන් ද සමත් වූ ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස රැකියාවක නිරත විය. 

“ගීයක ජනප්‍රියත්වයට වඩා එහි සාර්ථකත්වය මා අගය කරනවා”යැයි අතුල කියයි. 

එහෙත් ඇත්තෙන්ම ඔහුගෙන් සාර්ථක මෙන්ම ජනප්‍රිය ගී රැසක් බිහිවී ඇති බව කිව යුතුයි. ඔහුගේ බොහොමයක් ගීතයන්හි තනු නිර්මාණ ඔහුගේම වේ. 

එයින් කීපයක් නම් 

“උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි - රත්තරනින් ගිගිරි වළලු රන්රසු හඬ දෙයි.” (රචනය- සුනිල් සරත් පෙරේරා)

“සකුරා මල් චෙරි මල් හිනෙහෙද්දී සීතල අතරින් ජපානයේ - නොරිකෝ සන්ගේ නෙත්යුග පත්ලේ සොඳුරු වසන්තය රැඳී තියේ” (රචනය- ප්‍රේමදාස ශ්‍රී අලවත්ත)

“මුතුමාල රුවන් පට - සේල නැතත් මට සෝක තැවුල් නොවෙමි.” (රචනය- ඩෝල්ටන් අල්විස්)

“සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙලදෙන, සිංහල දෙරණේ සරණ සිංහල සරණේ ” 

ගුවන් විදුලියේ “ඒ” ශ්‍රේණියේ ශිල්පියෙකු වන අතුල සෝමසිරි, සරල හා ශාස්ත්‍රීය ගී ගායනයට පමණක් නොව පද්‍ය ගායනා, ගුවන් විදුලි නාට්‍ය, විරිදු හා නෘත්‍ය ගී ගායනා සඳහා ද දස්කම් දක්වා තිබේ. අමරදේවයන්ගේ ඉතාමත්ම සාර්ථක හා ජනප්‍රිය සංගීත විචිත්‍රාංගය වූ මධුවන්ති, රස මියුරු, විජය ගීත, ස්වර්ණ වර්ණ, ප්‍රාර්ථනා ආදිය මගින් ද අතුල තම හැකියාවන් පෙන්නුම් කළේය. 

අතුල සෝමසිරි යන නමත් සමග අපට නිතරම එකට අසන්නට ලැබෙන නමකි ලාලනී සෝමසිරි. ලාලනී, අතුලගේ සංගීත ජීවිතයේ සහකාරිය මෙන්ම සැබෑ ජීවිතයේත් සහකාරිය බවට පත්විය. ලාලනී සෝමසිරි ජනප්‍රිය ගුවන් විදුලි ගායිකාවකි. අතුල මෙන්ම ලාලනීත් මුලින්ම සංගීත ලොවට පිවිසියේ ළමා පිටියෙනි. ලාලනී වේදිකා නාට්‍ය රංගන ශිල්පිණියක් ද වෙයි. ඔවුන් එක්වූයේත් වේදිකා නාට්‍යයකදී හමුවීමෙන් හටගත් මිත්‍රත්වය මෝරා වැඩී ප්‍රේමයකට පත්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. අතුල සෝමසිරි මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙකි. වසර 25ක් තිස්සේ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකයේ සුප්පා දේවී ලෙස රඟපාන නිහාරි (සෝමසිරි) වික්‍රමාරච්චි, ඔහුගේ දියණියකි. දක්‍ෂ තබ්ලා වාදකයෙකු වන ධනංජය සෝමසිරි එක් පුත්‍රයෙකි. අනෙක් දියණිය අමානිය. 

අතුල හා ලාලනී සෝමසිරි දෙපළ තරුණ වියේදී

අතුල සෝමසිරි වඩාත් ප්‍රකට සංගීත ශිල්පියෙක් ලෙසද නැතහොත් නාට්‍ය ශිල්පියෙක් ලෙසද යනුවෙන් තීරණයක් ගැනීම මදක් අපහසු වෙයි. ඔහු අතිශය ජනප්‍රිය වූ නාට්‍ය රැසක් මගින් තම දසකම් පෙන්නුම් කොට ප්‍රේක්ෂකයාගේ හදවත් දිනාගෙන ඇත. 

“සඳකිඳුරු”, “මනමේ” හැරුණු විට ඇස්. කරුණාරත්නගේ “ගුත්තිල” ගුණසේන ගලප්පත්තිගේ “මූදු පුත්තු”, සුගතපාල ද සිල්වාගේ “නිල් කට්රොල් මල්” හා “හිත හොඳ අම්මණ්ඩි” ප්‍රේමසිරි කේමදාසගේ “සිතිජය” සතිශ්චන්ද්‍ර එදිරිසිංහගේ “හොටබරි යුද්ධය” ඇතුළු නාට්‍ය 53 ක අතුල එක්කෝ රඟපා ඇත. නැතහොත් ගී ගායනා කර ඇත. 

බක්මහ දීගේ ලක්සෙට කොඩිය, පාරා වළලු, අක්කර පහ යන චිත්‍රපට වල පසුබිම් ගීත ගැයූ ඔහු චිත්‍රපට නළුවෙක් ද වෙයි. සිරි ගුණසිංහගේ රන්වන් කරල් වෘතාන්ත චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේව සූරින් ගායනා කරන ආලෙ බැන්ද මාගෙ පනේ සෝමාවතී මගේ සෝමාවතී ගීතය සඳහා රඟපෑවේ අතුල සෝමසිරි ය. කොළඹ සූරයෝ චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු දොරට වැඩීය. 

“මට පැමිණි දුරට වඩා යන්න තියෙන දුර විශාල බව මා පිලිගන්නවා” කියා අතුල එදා අර්නස්ට් වඩුගේ ට කියා තිබුණි. පැමිණි දුර එළි පෙහෙළි කර ගැනීමේදී අතහිත දුන් අමරදේවයන්, ඩන්ස්ටන් ද සිල්වා, සෝමදාස ඇල්විටිගල, අචාර්ය ලයනල් එදිරිසිංහ, ජී.එස්.බී. රාණි හා දයාරත්න රණතුංග ආදීන් ඔහු හද බැතියෙන් එදා සිහිපත් කර ඇත. 

අතුල සෝමසිරි අවමඟුල අද (2018/07/02) සවස 

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී අතුල සෝමසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. 

දේහය අද උදේ 10.00 සිට බොරැල්ල මල් ශාලාවක තැන්පත් කර තිබේ. 

කෙටි කලක් රෝගාතුරව සිටි ගායන ශිල්පී අතුල සෝමසිරි මහතා පසුගිය දා අභාවප්‍රාප්ත වූයේ දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේදීය. මිය යන විට 79 වන වියේ පසුවූ ඔහු, මෙරට සංගීත ක්ෂ්ත්‍රයට විශිෂ්ට සේවයක් ඉටු කර ඇතිමුත් එම සේවය මේ දක්වාම කිසිදු ඇඟයුමකට ලක් නොවූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. 


මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...