ප්‍රවීන ගායක අතුල සෝමසිරි
අතුල සෝමසිරි මහතා පිළිබඳවත්, එතුමා කළ නිර්මාණ පිළිබඳවත් අද ඉන්නා තරුණ පරපුර බොහෝ දෙනෙකු නොදැන ඉන්නා බව මගේ විශ්වාසයයි. එයට එක් හේතුවක් විය හැක්කේ එතුමා දිගු කලක් ඉතා නිහඬ දිවියක් ගතකළ නිසාය යන්න පැවසීම සාධාරණය. එසේම එදත් අදත් ඔහුව දැනහැඳින ගන්නේ ජනප්‍රිය ගුවන් විදුලි ගායකයෙකු ලෙස පමණි. නමුත් කලාව වෙනුවෙන් ඔහු ඉටුකළ මෙහෙය කොතරම් ද යන්න 1972/ 05/ 26 දින සරසවිය පුවත්පතට අර්නස්ට් වඩුගේ මාධ්‍ය වේදියා විසින් ලියන ලද ලිපිය සාක්ෂි දරයි. දැනට දෙමසකට පමණ පෙර ජාතික ලේඛනාගාරයෙන් මා විසින් පිටපත් කරගන්නා ලද සරසවිය පුවත්පතේ මෙම පිටුව මා ළඟ සුරැකිව තිබූ නිසා අතුල සෝමසිරි මහතා පිළිබඳව මමවත් සමහරවිට ඔබවත් නොදන්නා කරුණු රැසක් එහි අඩංගුව තිබිණ. මේ ලිපියට අනුව අතුල සෝමසිරි යනු ගුවන් විදුලි ගායකයෙකු පමණක් නොවේ, වේදිකා ගී ගායකයෙකු, වේදිකා නළුවෙකු, චිත්‍රපට නළුවෙකු, චිත්‍රපට පසුබිම් ගීත ගායකයෙකු, චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකු ද වෙයි. ඔහුව සැලකිය යුතු ඇගයීමකට පාත්‍ර නොවීම කණගාටුවට කරුණකි.
ඔහු රජයේ සංගීත විද්‍යාලයට ඇතුළුවීම සඳහා දෙමව්පියන්ට හොරා අයදුම්පතක් යැව්වේය. වැඩි දිනක් යාමට පෙරාතුව විද්‍යාලයට ඇතුළුවීම සඳහා පවත්වන සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන ලෙස දන්වා ඔහුට ලිපියක් ලැබුණි. එම ලිපිය ලත්විට ඔහුට ඇතිවූ සොම්නස කිව නොහැකි තරම්ය. කාලයක් තිස්සේ තම හදවතේ රඟදෙමින් තිබූ මියුරු සිහිනයක් සැබෑවීමට යන බව ඔහු සිතුවේය. ඔහු සංගීත විද්‍යාලයෙන් පැමිණි ලිපිය රැගෙන වහාම දුවගියේ මුළුතැන් ගෙයටය. මුළුතැන් ගෙයෙහි කිසියම් වැඩක නිරතව සිටි සිය ආදරණීය මෑණියන්ට ඔහු දුවගොස් එම ලිපිය පෙන්නුවේය. තමා මෙන්ම තම මවද ලිපිය බලා ප්‍රීතිවනු ඇතැයි ඔහු සිතුවේය. එහෙත් සිදුවූයේ අනිකකි.
දෙමව්පියන් එකහෙළාම ඔහුගේ වෑයමට විරුද්ධ වූහ. ඇත්තවශයෙන් ඔහුට තම දෙමව්පියන්ගෙන් මෙවැනි බාධක කොතෙකුත් ඇතිවිය. අතුල තම අධ්‍යාපනය කඩාකප්පල් කොට දමා සංගීත කාරයෙකු වේයැයි ඔවුන් තුළ දැඩි බියක් වූයෙන් ඔහුගේ එම මග ඇහිරීමට ඔවුන් කොතෙකුත් උත්සාහ දැරූහ. එවන් උත්සාහයන් නොතිබුණා නම් ඇත්තෙන්ම අතුල සෝමසිරි යන නාමය සංගීත ලෝකයේ ජනප්‍රිය වීමට තිබුණේ මෙයට බොහෝ කලිනි.
ඔහු මුලින්ම සිරි අයියාගේ (අධිනීතිඥ යූ. ඒ. ඇස්. පෙරේරා) ළමා තීරයට බැඳුණේ වර්ෂ 1947 මැයි 23 වෙනිදාය. ඩෝල්ටන් අල්විස් ප්‍රබන්ධ කළ “කුඩා ළමයි රාශියයි, පුහුල් දෝසි දීසියයි” යන ගීය හාපුරා කියා අතුලගේ හඬින් ගුවන් ගතවූ ගීතයයි. අනතුරුව ඔහු දිගටම ළමා තීරය මගින් ගී ගැයීමට පටන් ගත්තේය. එපමණකුදු නොව නොයෙකුත් නාට්‍යවල ගී ගැයීමට මෙන්ම රඟපෑමටද පටන් ගත්තේය. සිය කාලයෙන් වැඩි කොටසක් සංගීතයට හා නාට්‍යයට කැප කරණු දුටු දෙමව්පියන්ට අතුල ගැන බියක් ඇතිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1952 දී අතුල සෝමසිරිට ගුවන් විදුලියෙන් ඈත්වීමට සිදුවිය. සුළු පටු කාලයක් නොව 1963 වෙනතුරු ඔහුට ඈත්වී සිටීමට සිදුවිය.
එනමුදු ගුවන් විදුලියෙන් ඈත්වී සිටියත් සංගීතය පිළිබඳ අතුලගේ හදවතේ තිබූ ඇල්ම ඈත් කිරීමට දෙමව්පියන්ට නොහැකි විය. දෙමව්පියන්ට හොරෙන් ඔහු රජයේ සංගීත විදුහලෙන් සංගීතය හැදෑරුවේය. එහි සංගීතය පිළිබඳ මධ්‍යම විභාගය සමත්වී ඔහු සහතිකයක් ලබාගත්තේය.
මේ අතර කාලයේදී අතුලට ගුණසේන ගලප්පත්තිගේ “සඳකිඳුරු” නාට්‍යයේ රඟපෑමට හා ගී ගැයීමට අවස්ථාව ලැබුණි. එපමණක් නොව ගලප්පත්තිගේ මාර්ගයෙන් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් හඳුනා ගැනීමට වාසනාව ලැබී “මනමේ” නාට්‍යයේ රඟපෑමටද අවස්ථාවක් උදාවිය.
එදා අතුලගේ දෙමව්පියන් තම පුතා සංගීතකරුවෙකු වේයැයි බිය වුවද, වේදිකාව මගින් දස්කම් දක්වන විට එම හැඟීම් තුරන් වී ගියේය. අතුල ඉගෙනීමේ කටයුතු ද අතපසු නොකළේය. ගෘහ නිර්මාණ ශිල්පී විභාගයෙන් ද සමත් වූ ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස රැකියාවක නිරත විය.
“ගීයක ජනප්‍රියත්වයට වඩා එහි සාර්ථකත්වය මා අගය කරනවා”යැයි අතුල කියයි.
එහෙත් ඇත්තෙන්ම ඔහුගෙන් සාර්ථක මෙන්ම ජනප්‍රිය ගී රැසක් බිහිවී ඇති බව කිව යුතුයි. ඔහුගේ බොහොමයක් ගීතයන්හි තනු නිර්මාණ ඔහුගේම වේ.
එයින් කීපයක් නම්
“උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි - රත්තරනින් ගිගිරි වළලු රන්රසු හඬ දෙයි.” (රචනය- සුනිල් සරත් පෙරේරා)
“සකුරා මල් චෙරි මල් හිනෙහෙද්දී සීතල අතරින් ජපානයේ - නොරිකෝ සන්ගේ නෙත්යුග පත්ලේ සොඳුරු වසන්තය රැඳී තියේ” (රචනය- ප්‍රේමදාස ශ්‍රී අලවත්ත)
“මුතුමාල රුවන් පට - සේල නැතත් මට සෝක තැවුල් නොවෙමි.” (රචනය- ඩෝල්ටන් අල්විස්)
“සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙලදෙන, සිංහල දෙරණේ සරණ සිංහල සරණේ ”
ගුවන් විදුලියේ “ඒ” ශ්‍රේණියේ ශිල්පියෙකු වන අතුල සෝමසිරි, සරල හා ශාස්ත්‍රීය ගී ගායනයට පමණක් නොව පද්‍ය ගායනා, ගුවන් විදුලි නාට්‍ය, විරිදු හා නෘත්‍ය ගී ගායනා සඳහා ද දස්කම් දක්වා තිබේ. අමරදේවයන්ගේ ඉතාමත්ම සාර්ථක හා ජනප්‍රිය සංගීත විචිත්‍රාංගය වූ මධුවන්ති, රස මියුරු, විජය ගීත, ස්වර්ණ වර්ණ, ප්‍රාර්ථනා ආදිය මගින් ද අතුල තම හැකියාවන් පෙන්නුම් කළේය.
අතුල සෝමසිරි යන නමත් සමග අපට නිතරම එකට අසන්නට ලැබෙන නමකි ලාලනී සෝමසිරි. ලාලනී, අතුලගේ සංගීත ජීවිතයේ සහකාරිය මෙන්ම සැබෑ ජීවිතයේත් සහකාරිය බවට පත්විය. ලාලනී සෝමසිරි ජනප්‍රිය ගුවන් විදුලි ගායිකාවකි. අතුල මෙන්ම ලාලනීත් මුලින්ම සංගීත ලොවට පිවිසියේ ළමා පිටියෙනි. ලාලනී වේදිකා නාට්‍ය රංගන ශිල්පිණියක් ද වෙයි. ඔවුන් එක්වූයේත් වේදිකා නාට්‍යයකදී හමුවීමෙන් හටගත් මිත්‍රත්වය මෝරා වැඩී ප්‍රේමයකට පත්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. අතුල සෝමසිරි මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙකි. වසර 25ක් තිස්සේ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකයේ සුප්පා දේවී ලෙස රඟපාන නිහාරි (සෝමසිරි) වික්‍රමාරච්චි, ඔහුගේ දියණියකි. දක්‍ෂ තබ්ලා වාදකයෙකු වන ධනංජය සෝමසිරි එක් පුත්‍රයෙකි. අනෙක් දියණිය අමානිය.
අතුල හා ලාලනී සෝමසිරි දෙපළ තරුණ වියේදී
අතුල සෝමසිරි වඩාත් ප්‍රකට සංගීත ශිල්පියෙක් ලෙසද නැතහොත් නාට්‍ය ශිල්පියෙක් ලෙසද යනුවෙන් තීරණයක් ගැනීම මදක් අපහසු වෙයි. ඔහු අතිශය ජනප්‍රිය වූ නාට්‍ය රැසක් මගින් තම දසකම් පෙන්නුම් කොට ප්‍රේක්ෂකයාගේ හදවත් දිනාගෙන ඇත.
“සඳකිඳුරු”, “මනමේ” හැරුණු විට ඇස්. කරුණාරත්නගේ “ගුත්තිල” ගුණසේන ගලප්පත්තිගේ “මූදු පුත්තු”, සුගතපාල ද සිල්වාගේ “නිල් කට්රොල් මල්” හා “හිත හොඳ අම්මණ්ඩි” ප්‍රේමසිරි කේමදාසගේ “සිතිජය” සතිශ්චන්ද්‍ර එදිරිසිංහගේ “හොටබරි යුද්ධය” ඇතුළු නාට්‍ය 53 ක අතුල එක්කෝ රඟපා ඇත. නැතහොත් ගී ගායනා කර ඇත.
බක්මහ දීගේ ලක්සෙට කොඩිය, පාරා වළලු, අක්කර පහ යන චිත්‍රපට වල පසුබිම් ගීත ගැයූ ඔහු චිත්‍රපට නළුවෙක් ද වෙයි. සිරි ගුණසිංහගේ රන්වන් කරල් වෘතාන්ත චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේව සූරින් ගායනා කරන ආලෙ බැන්ද මාගෙ පනේ සෝමාවතී මගේ සෝමාවතී ගීතය සඳහා රඟපෑවේ අතුල සෝමසිරි ය. කොළඹ සූරයෝ චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු දොරට වැඩීය.
“මට පැමිණි දුරට වඩා යන්න තියෙන දුර විශාල බව මා පිලිගන්නවා” කියා අතුල එදා අර්නස්ට් වඩුගේ ට කියා තිබුණි. පැමිණි දුර එළි පෙහෙළි කර ගැනීමේදී අතහිත දුන් අමරදේවයන්, ඩන්ස්ටන් ද සිල්වා, සෝමදාස ඇල්විටිගල, අචාර්ය ලයනල් එදිරිසිංහ, ජී.එස්.බී. රාණි හා දයාරත්න රණතුංග ආදීන් ඔහු හද බැතියෙන් එදා සිහිපත් කර ඇත.
අතුල සෝමසිරි අවමඟුල අද (2018/07/02) සවස
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී අතුල සෝමසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
දේහය අද උදේ 10.00 සිට බොරැල්ල මල් ශාලාවක තැන්පත් කර තිබේ.
කෙටි කලක් රෝගාතුරව සිටි ගායන ශිල්පී අතුල සෝමසිරි මහතා පසුගිය දා අභාවප්‍රාප්ත වූයේ දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේදීය. මිය යන විට 79 වන වියේ පසුවූ ඔහු, මෙරට සංගීත ක්ෂ්ත්‍රයට විශිෂ්ට සේවයක් ඉටු කර ඇතිමුත් එම සේවය මේ දක්වාම කිසිදු ඇඟයුමකට ලක් නොවූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
ඔහුටම අනන්‍ය වූ ගැඹුරු කටහඬක් හිමි, මනා ගායන හැකියාවක් සහිත ගායකයෙකු ලෙසින් ඔහු පිළිබඳ ව දැන සිටියා මිස වෙනත් කිසිම තොරතුරක් ඔහු පිළිබඳ ව නොදැන සිටියෙමි.
ReplyDeleteස්තුතියි ඔබට... ඔහු වෙනුවෙන් ලියැවුණු මේ සටහන ඔහුට උපහාරයක් ම වේවා..!!
ඔබ මේ සිදු කර ඇත්තේ ජාතික මෙහෙවරකි. රාජ්‍ය ගුවන් විදුළියට හැර, මිනීමරුවන් ගැන පවා පැය ගණන් කථා කරන අනිත් අය ඔහු ගැහ තැකීමක් කළේ නැත. වෙන මොනවා නැතත් "උඩහ ගෙදර රන් එතනා" හා "සිංහළ ජයගීත හඬට" යන ගීත දෙක පමණක්ම මටනම් හොඳටම ඇති. මා දන්නා තරමින් මේ ගීත නැවත පටිගත කර ඔහු මුදල් හම්බ කෙරුවේ නැත. "රන් එතනා දෝතට දිය බොයි" ඔහු ගයන්නේ අමුතුම හැඩකට. එකල විනෝද සමය වැඩසටහනකත් බර්ටි ගුණතිලක මහතා මේ කොටස යොදාගෙන තිබුනා. රෝහිත ප්‍රනාන්දු
ReplyDeleteඅපි දන්න දේ අපට කළ හැකි දේ අනුන්ට බෙදා දෙන්නයි අපේ යුතුකම.ස්තුතියි ප්‍රතිචාරයට.
Delete