Friday, April 26, 2013

මිඩ්නයිට් එක්ස්ප්‍රස්


මිඩ්නයිට් එක්ස්ප්‍රස් (Midnight Express)
මෑත අතීතයේ සිදුවූ සත්‍ය සිදුවීම් - 04

World major events in recent history in Sinhala language. Most of them were based for Hollywood movies.
බොහෝවිට සිනමාවට නැගී ඇති ලෝකයේ මෑත අතීතයේ සිදුවී ඇති ත්‍රාසජනක සත්‍ය කථා...සිංහලෙන්...

පරිවර්තනය 
අයෝම ජයසිංහ
Ayoma Jayasinghe  -  ayolanka@gmail.com
Sri Lanka Rupavahini Corporation




ලංකාවට ඉඳහිට හෝ පැමිණෙන හොඳ සිනමා පටයක් නැරඹීම මාගේ පුරුද්දක්ව තිබිණි. 1980 ගණන් වල ලංකාවේ අගනුවර සිනමා ශාලාවක තිරගතවුණු Midnight Express චිත්‍රපටය විවිධ හේතු නිසා මට නැරඹීමට නොහැකිවිය. මිතුරන් විසින් නරඹා තිබූ එහි කතා වස්තුව මට පසුව දැනගත හැකි වුවත් එහි එතරම් වටිනාකමක් තිබේද යන්න ගැන කුහුලක් ඇතිවිය.කෙසේ වෙතත් චිත්‍රපටය නැවතත් ලංකාවට පැමිණි විටක බලන්නේ යැයි අදිටන් කරගෙන සිටියෙමි. සිතූ පරිදිම එය 1986 දී පමණ නැවත බැලීමට හැකිවිය. එහි කතාව සත්‍ය සිද්ධියක් වූ නිසා මගේ සිත්ගත් විය. එය නැරඹීමෙන් කලකට පසුව චිත්‍රපටයට පාදක වූ සත්‍ය සිදුවීම ගවේෂණය කිරීමෙන් තෘප්තියක් ලැබුවෙමි. ඒ සම්බන්ධව මා සොයා ගත් සමහර කරුණු සමග අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරුද මුසුකොට ඔබට ඉදිරිපත් කිරීමට සිතුවෙමි. මේ දිග හැරෙන්නේ එයයි.....












මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටයේ පෝස්ටර් කීපයක්

1970 ඔක්තෝබර් 6 දින බිලී හේයිස් නම් අමෙරිකානු සිසුවෙකු තුර්කියේ ඉස්තාන්බුල් නුවර ගුවන් තොටුපළින් තම පෙම්වතිය සමග මව්රට බලා ඒමට සූදානම් විය. නමුත් ඔහු ඒ වනවිට බරපතල වරදක් සිදුකොට තිබුණි. එනම් කාටත් හොර රහසේ තුර්කියේ සිට ඇමෙරිකාවට හෂීස් නම් උග්‍ර මත්ද්‍රව්‍යය විශේෂය රැගෙන යාමට උත්සාහ කිරීමයි. කිලෝ ග්රෑම් 2 ක් වූ එම මත්ද්‍රව්‍යය කුට්ටිකර ඊයම් කඩදාසි වල ඔතා ඒවා තම උදරය වටා අලවා නොපෙනෙන පරිදි ගෙන යාම ඔහුගේ සැලැස්ම විය. ගුවන් තොටුපළේ ඇති ආරක්ෂක මුරකපොළු කීපයක් පසුකර යෑමට ඔහුට හැකිවිය. අවසන් මුර කපොල්ල වූ ගුවන් යානයට නැගීමට ඇති පියගැට පෙළ ආසන්නයේදී සියල්ලන්වම නැවතත් පරීක්ෂාවට භාජනය වූයේ එරට එම වකවානුවේ තිබූ ත්‍රස්තවාදී තර්ජනයක් නිසාය. එම පරීක්ෂාවේදී ඔහු කොටුවිය.

බිලී හේයිස් සිය බඳ වටා හෂීස් ඔතාගෙන සිටින අයුරු චිත්‍රපටයේ දැක්වෙන අයුරු

උදරයේ සවිකොට තිබූ මත්ද්‍රව්‍ය කැබලි දුරට පෙනුණේ බෝම්බ අකාරයටය. ඒ නිසා ආරක්ෂක සෙබළු බියෙන් ඇළලී ගියහ. බිය පහව යෑමෙන් අනතුරුව බිලී හේයිස්ව විශේෂ කාමරයකට රැගෙන විත් දැඩි පරීක්ෂාවට භාජනය කෙරිණි. ඡායාරූප ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කෙරිණි. මඳ වේලාවකට පසු ඇමරිකානුවකු යැයි සිතිය හැකි පුද්ගලයකු පැමිණ හේයිස්ව පොලිස් ස්ථානයකට රැගෙන ගියේය. එහිදී හේයිස් වෙනුවෙන් රහස් පරීක්ෂවරුන් සඳහා භාෂා පරිවර්තන කටයුතු කළේද ඔහුය. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කියා සිටියේ තමනට හෂිස් ලබාදුන්නේ කුලීරථ රියැදුරැකු විසින් බවය. කුලීරථ රියැදුරා පිට වරද පටවා තමා නිදහස් වීමට ඔහු සිතුවේය. රථ රියැදුරා අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කරන අවස්ථාවේ පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමට බිලී හේයිස් උත්සාහ කළේය. එසේ පලායාමේදී ගොඩනැගිල්ලක් තුල කොටුවූයෙන් නැවතත් ඔහුව අත්අඩංගුවට ගන්නා ලද්දේ කලින් කී ඇමෙරිකානු පුද්ගලයා විසිනි.

සැග්මල්සිලර් (Sagmalcilar) සිරගෙදර ගතකරන පළමු රැයේදී බිලී හේයිස් අධික ශීතල වාවාගනු නොහැකිව සිරමැදිරියෙන් රහසින් එළියට පැමිණ බ්ලැන්කෙට්ටුවක් සොරාගෙන තිබිණ. එදින රාත්‍රියේම ප්‍රධාන බන්ධනාගාර නියාමක වන හමිඩෝව් (Hamidou) විසින් බිලීව නින්දෙන් අවදිකරවා මැදිරියෙන් එළියටගෙන දරුණු ලෙස පහරදෙන ලදී.

ඔත්පලව සිටි හේයිස්ව දින කීපයකට පසු යළි දෙපයින් නැගිට්ටුවීමට උදව් කළේ ඔහු වටා සිටි සුදුජාතික සිරකරුවන් ය. ඔවුන් නම් අමෙරිකානුවකු වූ ජිමී (Jimmy) (පල්ලියකින් ඉටි පන්දම් දෙකක් සොරකම් කිරීමේ වරදට බන්ධනාගාරවූවෙකි), ස්වීඩන් ජාතික එරික් (Erich) (මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වීම නිසා දඬුවම් විඳින්නෙකි). තමුන් වැනි විදේශිකයින්ට මෙම බන්ධනාගාරය භයානක තැනක් බවත් මෙහි සිටින බාල මහළු කිසිවෙක් විශ්වාස කළ නොහැකි බවත් ජිමී බිලීට පැවසීය. ටික දිනකට පසු මැක්ස් (Max) නම් බ්‍රිතාන්‍ය ජාතික හෙරොයින් ලෝලියෙකුට බිලීව හඳුන්වා දෙන ලදී.

අත්අඩංගුවට ගත් පසු එළඹුනු සතියේදී තමාගේ නිදහස පතා තුර්කි අධිකරණ පද්ධතියේ පිහිට පැතීමට බිලී කල්පනා කළේය. එම නඩු විභාගය වෙනුවෙන් පෙනීසිටීම සඳහා ඔහු තුර්කි ජාතික නීතිඥයෙකු ලබාගත්තේය. ඔහු මීට පෙරද හෂීස් විශාල ප්‍රමාණයක් ළග තබාගත් අයෙකු වෙනුවෙන් පෙනීසිට ඔහුව චෝදනා වලින් නිදොස් කිරීම නිසා ප්‍රසිද්ධිය ලැබූ නීතිඥයෙකු විය.

මේ අතර බිලීගේ පියා අමෙරිකාවේ සිට පැමිණි අතර දෙදෙනාගේ හමුවීම හැඟුම්බර එකක් විය. උසාවියේදී පැමිණිල්ල ඒක පාර්ශිකව ගොනුකළ චෝදනා නිසා පියාත් පුත්‍රයාත් අන්දමන්ද වූහ. එසේ වන්නේ ඇයි දැයි පියපුතු දෙදෙනා තම නීතිඥයාගෙන් විමසූහ. ඒ ගැන බිය නොවිය යුතු බවත් විනිශ්චයකාරතුමා සාධාරණ තීන්දුවක් දෙනු ඇතැයි තමා සිතන බවත් ප්‍රකාශ කළේය.නමුත් උසාවිය බිලීට වසර 4ක සිර දඬුවමක් නියම කිරීමෙන් පිය පුතු දෙපළගේ බලාපොරොත්තු සුන්වී ගියේය. නීතිඥයා ඔවුන්ට කියා සිටියේ මත්ද්‍රව්‍ය චෝදනාවකට සාමාන්‍යයෙන් ලැබෙනුයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවත් හිමිවූයේ ඒ අතින් සුළු දඬුවමක් බවත්ය. පසුව රැඳවුම් කුටියක් අසලදී පියාත් පුත්‍රයාත් එකිනෙකාගෙන් සමුගත් අතර බිලී තම ඉරණමට අනුව සිර දඬුවම විඳීමට සිතා ගත්තේය.


චිත්‍රපටයේ රූප රාමුවකි. මේ බිලී හා ඔහුගේ පියා සිරගෙදරදී හමුවන ජවනිකාවයි. බිලී ලෙස බ්‍රැඩ් ඩේවිස් රඟපාන අතර පියා ලෙස පෙනී සිටින්නේ  මයික් කෙලින් නම් නළුවාය.

අවුරුදු කීපයක් ඇවෑමෙන් අති භයානක සිර ගෙදරක කටුක දිවියකට බිලී හුරුවිය. මිතුරු එරික් සමග ඔහු සමීප සම්බන්ධයක් පැවැත්වීය. එරික් සමලිංගියෙකුවූ අතර එරික්ගේ එම පැවතුම් වලට බිලී අකමැති විය. කෙසේ වෙතත් නොබෝ කලකින් එරික් සිරගෙදරින් නිදහස් විය. මිතුරු මැක්ස් සමග දීර්ඝ සංවාදයෙන් හා මිළ අඩු මත්ද්‍රව්‍ය හා දුම් භාවිතයෙන් බිලීගේ සිරගෙදර ජීවිතය ගෙවී ගියේය. මෙම මත්ද්‍රව්‍ය සිරගෙදරදී විකුණනු ලැබුවේ රිෆ්කි (Rifki) නම් සිර ජීවිතයක් ගතකරන සිරකරුවන්ගේම භාරකරුවකු විසිනි. බිලී තමා හිරෙන් නිදහස් වන්නේ කවදාදැයි නිතරම ඇඟිලි ගනිමින් සිටියේය.

බිලී නිදහස් වන දිනයට හරියටම මාස 18 කට පෙර ජිමී, තම මිතුරන් වන බිලීට හා මැක්ස්ට සිරගෙයින් පැනයාමේ සැලැස්මක් ඉදිරිපත් කළේය. නමුත් බිලී එයට අකමැති වූයේ තව මාස 18 කින් නිත්‍යානුකූලව තමා නිදහස් වන බව දත් නිසාය. මේ නිසා ජිමී තනිවම මෙම සැලැස්ම ක්‍රියාත්මක කළ අතර එය අසාර්ථක වී ජිමී නිලධාරින්ට හසුවිය. ඔහු මාරාන්තික ලෙස දරුණු වධ හිංසනයට ලක්විය.

1974 දී ඉතා අවාසනාවන්ත සිද්ධියකට පුහුණ පෑමට බිලීට සිදුවිය. නිදහස්වීමේ නියමිත දිනට දින 53 කට පෙර පැමිණිලි පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් හේතුවෙන් අංකාරා නුවර පිහිටි තුර්කි මහාධිකරණය විසින් බිලීගේ නඩුව නැවත කැඳවන ලදී. එහිදී ඔහුගේ දඬුවම වසර 30 ක් දක්වා දීර්ඝ කෙරිණි. මුළු ලොවම තම හිස මත කඩා වැටුණු සෙයක් බිලීට දැණින. තම ඉතිරි දිවිය මෙලොව අපායක ගෙවිය යුතු යැයි සිතූ බිලී ශාරීරිකවත් මානසිකවත් කොතරම් පහළට වැටුණාද කියතොත් සිරගෙදර සිදුවූ ගැටුමකදී තම සහෝදර මිතුරු රිෆ්කිට ඉතා දරුණු ලෙස පහර දුන්නේ ඔහුගේ දිව ද සපා කමින්ය.මෙම සිද්ධියෙන් පසු බිලීව මානසික ආබාධ සහිත රෝගී සිරකරුවන් සිටින වාට්ටුවට මාරු කෙරිණි.

1975 දී බිලීගේ පෙම්වතියවූ සුසාන් ඔහු හමුවීමට පැමිණ ඔහුට අත්වූ ඉරණම ගැන දුක්වූවාය. දැල් වැටකින් වෙන්වූ ඔවුන්ගේ හමුවීමේදී ඇය ඉදිරියේම ස්වයං වින්දනයෙන් තම ආශාවන් සංසිඳුවා ගැනීමටද බිලී අමතක නොකළේය. මෙහිදී ඇය ඔහුට කෙසේ හෝ සිරගෙයින් පැනයාමට උපදෙස් දුන් අතර නැතහොත් මේ ආකාරයට සිටියහොත් ඔහු සිරගෙදරදී මියයාමට වුවත් ඉඩ ඇතැයි ද පෙන්වා දුන්නාය. මුදල් නෝට්ටු කීපයක් බහාලූ සටහන් පොතක් දුන් ඇය එම මුදල් බැංකුවක සේවය කරන බිලීගේ හොඳම මිතුරෙකු විසින් දෙන ලද්දක් බව පැවසුවාය. එම මුදල් සිරගෙයින් පලායාම සඳහා ප්‍රයෝජනයට ගන්නැයි ද එහි සටහන් වී තිබුණි. මේ නිසා ඇගේ පැමිණීම ඔහුට ශක්තියක් ගෙනදුන් අතර මානසිකව යථාතත්වයට පත්වීමටද රුකුලක් විය.

බිලී තම පෙම්වතියවූ සුසාන්ව මුණගැසෙන සංවේදී අවස්ථාව

බිලී තම හිතාදර මිතුරු මැක්ස්ට සමුදී තමා නැවත පැමිණෙනතුරු ජීවත්ව සිටින ලෙසද අවවාද කළේය. ප්‍රධාන බන්ධනාගාර නියාමක හමිඩෝව්ට අල්ලසක්දී මානසික වාට්ටුවෙන් යළි සාමාන්‍ය මැදිරියට යාමට බිලී උත්සාහ කළේය. ඒ වෙනුවට බියෙන් ත්‍රස්තවී සිටි බිලීව හමිඩෝව් විසින් නියාමක නිල නිවසට ගෙනගොස් පහර දුන්නේය. මෙහිදී හමිඩෝව් තම කලිසමේ බඳ පටිය හා කලිසම බුරුල් කිරීම දුටු බිලීට සිතුනේ ඔහු තමාව දූෂණය කිරීමට උත්සාහ කරන බවකි. හමිඩෝව් තම යට ඇඳුම ගලවා දැමීමේදී එය කකුලට හිරවීමෙන් යම් ප්‍රමාදයක් ඇතිවූ අතර ඒ අවසරයෙන් ප්‍රයෝජන ගත් බිලී විදුලි වේගයෙන් විශ්මයජනක ලෙස හමිඩෝව්ව පසුපසට තල්ලුකළේ ඔහුට අනතුරක් කිරීමේ අදහසිනි. පසුපස බිත්තියේ සවිකර තිබූ ඇඳුම් එල්ලන යකඩ කොකුවේ හම්ඩෝව්ගේ බෙල්ල ඇමිණීමෙන් ඔහු එතැනම මරුමුවට පත්විය. 


නියාමකගේ නිසළ සිරුර අසලට ප්‍රවේසමෙන් ගමන්ගත් බිලී ඔහුගේ ගිනි අවිය අතට ගත්තේය. පැනයාමට කදිම අවස්ථාවක් ලත් ඔහු නියාමකගේ නිළ ඇඳුමද ලාගෙන ඉදිරිපස දොරින් උපක්‍රමශීලිව පිටතට පැමිණීමට සමත්විය. ඔහු ඉදිරියටම පයින් ඇවිද ගියේය. තුර්කියට යාබද රට වන ග්‍රීසියට යාම සඳහා බිලී හේයිස් තුර්කි-ග්‍රීසි දේශසීමාව 1975 ඔක්තෝබර් 14 දින රාත්‍රී සාර්ථකව පසුකළ බවත් සති තුනකට පසු අමෙරිකාවේ කෙනඩි ගුවන් තොටුපළට ළඟාවූ බවත් වාර්තාවල සඳහන් වේ.


මා විස්තර කළ මෙම කතාවේ සිත්ගන්නා සුළු තොරතුරු කීපයක් මෙසේ ඉදිරිපත් කරමි.



ප්‍රවීන නළු බ්‍රැඩ් ඩේවිස්


චිත්‍රපටයේ බිලී හේයිස් ලෙස රඟපෑ ප්‍රවීන නළු බ්‍රැඩ් ඩේවිස් (Brad Davis) ගේ දුක්මුසු ජීවිත සමුගැනීම ඉන් එකකි. 1991 සැප්තැම්බර් 8 දින ඔහු මාරාන්තික ඒඩ්ස් රෝගයෙන් අකාලයේ මිය ගියේය. මියයන විට වයස 41 කි. මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටය රඟපෑ කාලයේ ඔහු නිරෝගීව සිටියේය. ඉන්පසුත් චිත්‍රපට කීපයක රඟපෑවේය. ඔහුට රෝගය වැලඳී ඇති බව දැන සිටියේ ඔහුත් ඔහුගේ බිරිඳත් පමණි. (Susan Bluestein Davis) රෝගය රහසක් වශයෙන් තබාගෙන මියයන තුරුම හේ රඟපෑවේය. ඔහු අවසන් වරට රඟපෑවේ ඔහුගේ මරණින් පසුව 1992 දී විකාශය වූ “හැබිටේෂන් ඔෆ් ඩ්‍රැගන්ස් නම් රූපවාහිනී චිත්‍රපටයකය.මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටයේ සිරගෙදරදී මත්ද්‍රව්‍ය ලෝලියෙකු ලෙස රඟපා සැබෑ ජීවිතයේදී ද මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඒඩ්ස් රෝගයෙන් මියයාම විශේෂත්වයකි. 


බ්‍රැඩ් ඩේවිස් මියයාමෙන් පසු ඔහුගේ ජීවිත කතාව අළලා බිරිද සුසාන් ඩේවිස්  විසින් ලියන ලද නවකථාව



අනෙක් විශේෂත්වය නම් සැබෑ කතාවේ බිලී හේයිස් ගේ පෙම්වතියගේ නමත් ඔහුගේ චරිතයට පනදුන් නළු බ්‍රැඩ් ඩේවිස්ගේ බිරිඳගේ නමත් සුසාන් වීමයි.


සුසාන් ඩේවිස් අද

තවත් විශේෂත්වයක් වන්නේ අතීත සත්‍ය කතාවේ කතානායකයා වන බිලී හේයිස් තවමත් ජීවතුන් අතර සිටීමත් එම චරිතයට පනදුන් නළු බ්‍රැඩ් ඩේවිස් දැන් ජීවතුන් අතර නොමැතිවීමත් ය. 




දැන් අපි බලමු සැබෑ කතාවේ කතා නායකයා වන බිලී හේයිස් ගේ වගතුග.


බිලී හේයිස් අද



බිලී හේයිස් තුර්කි සිරගෙදරින් පලා ආ පසු තම අත්දැකීම් අළලා පොතක් පළ කළේය. මෙම පොත ඇසුරින් ඔලිවර් ස්ටෝන් විසින් තිර කතාව ලියා ඇලන් පාකර් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය වූයේ මිඩ්නයිට් එක්ස්ප්‍රස් ය. තමාගේ කතාව සිනමාවට නැගුනු පසු එය නැරඹීමට බිලී හේයිස් අමතක නොකළේය. චිත්‍රපටය බැලූ ඔහු එය ඉතා විශිෂ්ඨ නිර්මාණයක් ලෙස අගය කරන බව  කියා සිටියේය. නමුත් එහි වැදගත් සමහර සිද්ධීන් තමාගේ සත්‍ය කතාවට වඩා වෙනස් කර තිබෙන බව මාධ්‍යයට පැවසීය. විශේෂයෙන්ම එම චිත්‍රපටයෙන් තුර්කි ජනතාව ලෝකයේ අශිෂ්ඨ ජාතියක් ලෙස හුවා දක්වා තිබෙන බව පැවසීය. සිරගෙයින් පළාගිය ක්‍රමය මෙය නොවන බවද ඔහු පවසයි. එසේම චිත්‍රපටයේ දැක්වෙන සිරකරුවෙකුගේ දිව සපාකෑමේ දර්ශනය සත්‍යයෙන් තොර බවද ඔහු පවසයි. 


1978 කැනාස් චිත්‍රපට උළෙලේදී මුල්වරට මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටය තිරගත කළ අවස්ථාවට සහභාගී වූ බිලී හේයිස් .(පිංතූරයේ දකුණු කෙළවර සිටින්නේ ඔහුය)


(බිලී හේයිස්ගේ  මිඩ්නයිට් රිටර්න් පොතෙන් උපුටාගන්නා ලදී)



2010 ජූනි “නැෂනල් ජියෝග්‍රැෆික්” නාළිකාවෙන් විකාශය වූ “ලොක්ඩ් අප් එබ්‍රෝඩ්” (Locked up Abroad) වැඩසටහන වෙන්කර තිබුණේ බිලී හේයිස් හා ඔහුගේ සිද්ධියටය. එහිදී “ද රියල් මිඩ්නයිට් එක්ස්ප්‍රස් හෙවත් සත්‍ය මිඩ්නයිට් එක්ස්ප්‍රස්” (The Real Midnight Express) නමින් ඔහු තම සත්‍ය කතාව තවදුරටත් මිනිසුන් අතරට ගෙන ගියේය.


එසේම සත්‍ය කතාවේ මෙතෙක් නොකී අමතර කරුණු ද එක්කොට “මිඩ්නයිට් රිටර්න්” (Midnight Return) යන මැයෙන් 2011 දී තවත් පොතක් මුද්‍රණය කළේය.

මිඩ්නයිට් රිටර්න් (Midnight Return) ග්‍රන්ථයේ  පිටකවරය

ඔහු පවසන පරිදි ඔහුව තුර්කි භූමියේ සිට සැතපුම් 20 ක් පමණ දුරින් වූ ඉමරාලි නම් දූපතේ පිහිටි මුහුදු සිපිරිගෙයට  මාරුකර යවනු ලැබීය.
සිතියමේ කළපුව වැනි කොටස මැද පහළින් කුඩා ගොඩබිමක් ලෙස දිස්වන්නේ  ඉමරාලි දූපතයි.මෙහි ඉහළ ගොඩබිම ග්‍රීසිය ද පහළ ගොඩබිම තුර්කිය ද වේ.

ඉමරාලි දූපත ඈතට පෙනෙන අයුරු.
(බිලී හේයිස්ගේ  මිඩ්නයිට් රිටර්න් පොතෙන් උපුටාගන්නා ලදී)

ඉමරාලි දූපතේ පිහිටි මුහුදු සිරගෙය ගුවනේ සිට දර්ශනය වන අතිදුර්ලභ ඡායාරූපයක්. 
(බිලී හේයිස්ගේ  මිඩ්නයිට් රිටර්න් පොතෙන් උපුටාගන්නා ලදී)

ඉමරාලි සිපිරිගෙයි ජීවිතය සැග්මල්සිලර් සිරගෙදර ජීවිතයට වඩා දුක්බර නොවුණි. සිරකරුවන්ට නිදහසේ ඔබමොබ යාමට ඉඩක් ලැබුණි. ඇතැම් සිරකරුවන්ට මුහුදු දිය නෑමට පවා හැකිවිය. මෙම නිදහස් වාතාවරණය බිලී හේයිස්ට පලායාම සඳහා මහත් රුකුලක් විය. 1975 ඔක්තෝබර් 02 බිලීට ඓතිහාසික දිනයක් විය. එදින පැවති ධාරනිපාත වර්ෂාව හා කුණාටුව මැදින් වෙරළේ නවතා තිබූ ඩිංගි බෝට්ටුවක ආධාරයෙන් බිලී හේයිස් ඉස්තාන්බුල් නුවරට ගමන් කළේ  අවුරුදු 5 ක් තිස්සේ සිරගෙදර ගතකළ තම දුක්බර ජීවිතයට ආයුබෝවන් කියාය.
අමෙරිකාවට පලා ආ වකවානුවේදී ලබාගත් බිලී හේයිස්ගේ  ඡායාරූපයක්


සිර ගෙදරදී ගත් බිලී හේයිස්ගේ අති දුර්ලභ ඡායාරූපයක්


බිලී හේයිස් අද

අමෙරිකාවට පැමිණි විගස හේ මාධ්‍ය හමුවකට පෙනී සිටියේය. මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටය තිරගත කළ 1978 කැනාස් චිත්‍රපට උළෙලේදී  ඔහුට තම අනාගත සහකාරිය වන වැන්ඩි වෙස්ට් (Wendy West) මුණගැසුණි. චිත්‍රපට හා රූපවාහිනී කටයුතුවල ක්‍රියාකාරිනියකවූ ඇය නිසා  බිලී හේයිස්ද සිනමා කර්මාන්තයට සම්බන්ධවිය. සිනමා නළුවෙකු, අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු හා කතා රචකයෙකු ආදී වශයෙන් ජීවිතයේ සැඳෑ සමය තෙක්ම ක්ෂේත්‍ර ගණනාවක ඔහු දස්කම් පෙන්වීය.
බිලී හේයිස් තම බිරිඳ වූ වැන්ඩි වෙස්ට් සමග

ඔහුගේ ජීවිත කතාවේ කියවෙන මුල් පෙම්වතිය වූ සැබෑ සුසාන් ගැන තොරතුරු සොයා ගියෙමි. ඇයගේ සම්පූර්ණ නම හෝ ඇයගේ වර්තමාන තොරතුරු ද සොයාගත නොහැකිවිය. නමුත් 2010 දී නැෂනල් ජියෝග්‍රැෆික් වෙබ් අඩවිය ඔස්සේ සුසාන් පිළිබව පාඨකයෙකු අසනු ලැබූ   පැනයකට බිලී හේයිස් මෙසේ පිළිතුරුදී තිබුණි.

“පාසල් යන කාලෙ ඉඳලම මා ඈව දැන සිටියා.ඈ මගේ පැරණිම මිතුරියන්ගෙන් කෙනෙක්. තුර්කියේ සිට අමෙරිකාවට මා පැමිණි කාලේ අප ටික කලක් ආශ්‍රය කළා. මා ගෙදර පැමිණි පසු මට වූ සිද්ධියත් එක්ක  මා පිස්සුවෙන් වගේ ජීවත්වුනා. ඇයට මා එපා වී මගෙන් වෙන්වුනා. මට වඩා ඇයට ආදරය කරන කෙනෙක් ඇය සොයමින් සිටියා.නමුත් අදටත් අප මිතුරන් ලෙස ආශ්‍රය කරනවා.”

චිත්‍රපටයේ බිලී හේයිස් ගේ පෙම්වතිය ලෙස සුළු එහෙත් දක්ෂ රංගනයක යෙදුනේ  අයිරින් මිරැකල් ” (Irene Miracle) නම් හොළිවුඩ් නිළියයි.

අයිරින් මිරැකල් 

YouTube හරහා මෙම චිත්‍රපටය නැරඹීමට
http://www.youtube.com/watch?v=eNzxrnlk29I

Sunday, April 7, 2013

දේව කෝපය


(Operation Wrath of God) දේව කෝපය මෙහෙයුම
මෑත අතීතයේ සිදුවූ සත්‍ය සිදුවීම් - 02

(මෑත අතීතයේ සිදුවූ සත්‍ය සිදුවීම් - 01 මියුනිච් සංහාරය ළදීම බලාපොරොත්තුවන්න)

අන්තර්ජාලය ඇසුරින් පරිවර්තනය කොට ඉදිරිපත්කරන්නේ 
අයෝම ජයසිංහ
Ayoma Jayasinghe  -  ayolanka@gmail.com
Sri Lanka Rupavahini Corporation




1972 දී මියුනිච් නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගීවූ තම රටේ මළල ක්‍රීඩකයින් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වගකිවයුතුවූ පුද්ගලයින් ඉලක්ක කරමින් ඊශ්‍රායලය හා එහි ඔත්තු සේවාව වන මොසාඩ් ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද අභිරහස් පළිගැනීමේ මෙහෙයුම මෙනමින් හැ‍ඳින්වේ. මෙය Operation Bayonet ලෙසද ඇතැම් තැනක හඳුන්වා ඇත. තවත් තැනක මෙම සිදුවීම "Revenge of Golda Meir" (ගෝල්ඩා මියර්ගේ පළිගැනීම) ලෙස දක්වා ඇත්තේ එවකට ඊශ්‍රායලයේ අගමැතිනියව සිටි ගෝල්ඩා මියර් මහත්මිය විසින් මෙම මෙහෙයුම සිදුකිරීමට අනුමැතිය ලබාදුන් නිසාය.


1972 මියුනිච් ප්‍රහාර සිද්ධියේදී වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූ ඡායාරූපය. මෙහි දැක්වෙන්නේ සත්‍ය සිද්ධියේදී ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් රවා සිටි හෝටලයේ අදාල මහලේ කාමරයෙන් මොහොතකට පිටතට පැමිණි මුහුණ ආවරණය කරගත් එක් ත්‍රස්තවාදියෙකි. දුර සිටි ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවට ක්ෂණිකව එය හසුවිය.




පිංතූරයෙන් දැක්වෙන්නේ මියුනිච් ප්‍රහාරයේදී හෙලිකොප්ටර් යානයක් තුලදී වෙඩිතබා මරා ඉන්පසු අත් බෝම්බ ගැසීමෙන් පසු පිළිස්සී ගිය ඊශ්‍රායල් ක්‍රීඩකයින්ගේ සිරුරුවල ඉතිරිවූ කොටස්ය. http://beingapartbeingapart.blogspot.com/

මෙම පළිගැනීමේ මෙහෙයුමට ඉලක්ක වූයේ කළු සැප්තැම්බර් (Black September) නම් පලස්තීන සන්නද්ධ කල්ලියක හා පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) ක්‍රියාකාරීන් පිරිසකි. සිද්ධියට සම්බන්ධ අවසන් පුද්ගලයාද විනාශකර මෙහෙයුම අවසන්වීමට වසර 20ක් පමණ ගතවී යැයි විශ්වාස කෙරේ. මෙම සිද්ධිය අළලා 1986 දී  "Sword of Gideon" නමින් රූපවාහිනී චිත්‍රපටයක් නිපදවිණි. තවද 2005 දී ප්‍රකට සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිපදවූ Munich නමැති හොලිවුඩ් සිනමාපටයට පාදක වූයේ ද මෙම කතා වස්තුවයි.

   

මයිකල් ඇන්ඩර්සන්ගේ Sword of Gideon රූපවාහිනී සිනමා පටයේ පෝස්ටරය.

 
ස්ටීවන් ස්පිල්බර්ග්ගේ Munich සිනමා පටයේ පෝස්ටරය.

ඉතිහාසය
1972 ඔලිම්පික් උළෙලේ සිදුවූ සමූහ ඝාතනයෙන් පසු ඊශ්‍රායල් අගමැතිනි ගෝල්ඩා මියර් ඊශ්‍රායලය කළ යුත්තේ කුමක්දැයි සොයාබැලීමට රජයේ නිලධාරින්ගෙන් සමන්විත නමින් කුඩා කමිටුවක් පත්කලාය. මෙම කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ එකැසක් අහිමි ප්‍රකට යුධ නිලධාරියෙකුවූ ආරක්ෂක ඇමති මෝෂේ දයාන්(Moshe Dayan) ය. කමිටුවේ ත්‍රස්ත මර්දනය පිළිබ උපදේශක ලෙස ජනරාල් ඇරෝන් යාරිව් (General Aharon Yariv ) පත්කළ අතර මෙහෙයුමට අණදීමට මොසාඩ් සංවිධානයේ අධ්‍යක්ෂ ස්වි සමීර් ද (Zvi Zamirපත්විය. මියුනිච් ප්‍රහාරය සිදුකළ හා එයට උදව්කළ අයවලුන් විස්මිත අන්දමින් ඝාතනය කිරීමට කමිටුව අවසන් වශයෙන් තීරණය කළේය. ඊශ්‍රායල් ජනතාවගේ හා රහස් ඔත්තු සේවයේ ඉහළ නිලධාරින්ගේ දැඩි බලපෑම මත 71 හැවිරිදි ගෝල්ඩා මියර් අගමැතිනියට අකමැත්තෙන් වුවද මෙම ඝාතන කොන්ත්‍රාත්තුවට අනුමැතිය දීමට සිදුවිය. මියුනිච් ඝාතන සිද්ධියෙන් හරියටම මාස 3 කට පසු ජර්මනිය විසින් එම ඝාතනයට හවුල්වූ එහෙත් ජීවිතය බේරාගෙන සිරගතකොට සිටි අපරාකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලදී. ඒ ජර්මනියට අයත් ලුෆ්තන්සා ගුවන් යානයක් පැහැරගත් ගුවන් කොල්ලකරුවන් පිරිසක් විසින් සිරගතකොට සිටි අපරාධකරුවන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම සිද්ධියත් සමග ගෝල්ඩා මහත්මියගේ මෙතෙක් තිබූ මෙහෙයුමට අවසරදීම සම්බන්ධයෙන් වූ දෙගිඩියාව ඉවත් වුණි.


වයස 71 දී ඊශ්‍රායලයේ දෙවන අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දුන් ගෝල්ඩා මියර් මැතිණිය. ගෝල්ඩා මියර් යනු ලෝකයේ තුන්වැනි අගමැතිනිය ලෙස පත්වූ කාන්තාවයි. පළමු අගමැතිනිය ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හා දෙවන අගමැතිනිය ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි මැතිණියයි. මියයන විට වයස අවුරුදු 80 කි. (උපත -1898 විපත -1978)

කමිටුවේ ප්‍රධාන සාමාජිකයන්

1967 සිට 1974 දක්වා ආරක්ෂක ඇමතිවූ මෝෂේ දයාන් (උපත-1915 විපත 1981)




1968 සිට 1974 දක්වා මොසාඩ් ආයතනයේ අධ්‍යක්ෂක ධූරය දැරූ ස්වි සමීර් (උපත-1915 තවමත් ජීවත් වෙයි)

හමුදා ජනරාල්වරයෙකුව සිට පසුව දේශපාලකයෙකුවූ ජනරාල් ඇරෝන් යාරිව් (උපත-1920 විපත- 1994)

කමිටුවේ ප්‍රථම කර්ත්‍යවය වූයේ මියුනිච් ඝාතන සිද්ධියට සම්බන්ධවූවන් පිළිබ ඝාතන ලැයිස්තුවක් සකස්කොට එය බුද්ධි අංශයට ලබාදීමයි. මෙය සාර්ථකව ඉටුකිරීම සහා මොසාඩ් වෙනුවෙන් ඔත්තු සපයන ක්‍රියාකාරීන්ගෙන් සහ හිතවත් යුරෝපීය ඔත්තුසේවා ආයතනයන්ගෙන් තොරතුරු රැස් කෙරිණි. ලැයිස්තුවට අඩංගුවූ සම්පූර්ණ නාම ලේඛනය නොදන්නාමුත් වාර්තාවන අන්දමට එයට පුද්ගලයින් 20ක ගේ හෝ 30ක ගේ නම් ඇතුළත්විණි.
මෙම මෙහෙයුම මගින් පලස්තීන සන්නද්ධ ගරිල්ලන් තැතිගැන්මකට ලක්කිරීමටද අදහස් කළේය. පසු කළෙක මොසාඩ් මුල් පුටුව හෙබවූ ඩේවිඩ් කිම්චේ (David Kimche) මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙහෙයුමේ ඉලක්ක මගින් හුදෙක් පළිගැනීමේ චේතනාවම නොව පලස්තීන ත්‍රස්තවාදීන් බියපත් කිරීමට තමනට අවශ්‍යවූ බවයි.
“අපට උවමනා කළේ අප ඔවුන් පසුපස නිතරම ඇසගසා සිටින බව ඔවුන්ට දැන්වීමටයි. ඒ නිසා අප නිතරම උත්සාහ කළේ පාරේ ගමන්ගත් පුද්ගලයෙකු මරාදැමීමට වඩා වැඩි යමක් සිදුකිරීමටයි යනුවෙන් හේ පැවසීය.
ඝාතක කණ්ඩායම් මෙහෙයවීම හා සැළසුම් කිරීම මොසාඩ් ඒජන්තවරයෙකු වූ මයිකල් හරාරි (Michael Harari) විසින් සිදුකළ බව දැනගන්නට තිබේ. ඇතැම් සිදුවීම් රජයේ අනුදැනුමකින් තොරව සිදුවිණි. සිද්ධිය පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනය කළ කතුවර සයිමන් රිවී (Simon Reeve) සඳහන් කරන්නේ මොසාඩ් ඝාතක කණ්ඩායමේ විවිධ උප කණ්ඩායම් සඳහා සංකේත නාම ලබාදී ඇත්තේ ඊශ්‍රායලයේ ව්‍යවහර බස වන හීබෘ භාෂාවේ හෝඩියේ අක්ෂර උපයෝගී කරගෙන බවය.


මොසාඩ් ආයතනයේ බුද්ධි නිලධාරියෙකවූ  මයිකල් හරාරි (උපත-1927 තවමත් ජීවත්වෙයි) මොහු 1976 දී එන්ටෙබේ මෙහෙයුමටද සහභාගීවූ අයෙකි.
(එන්ටෙබේ මෙහෙයුම ගැන කියවන්න මෙතැනින්..
http://nirmana2013.blogspot.com/2013/04/operation-thunderbolt-03-world-major.html


පුද්ගලයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම උප කණ්ඩායම් 5 කට බෙදා ඔවුන්ට විශේෂ රාජකාරී පවරන ලදී. පළමු කණ්ඩායමට දෙදෙනෙක් ඇතුලත්වූ අතර ඔවුන් දෙදෙනා ඝාතකයන් විය. දෙවන කණ්ඩායමටත් දෙදෙනෙකි. ඔවුන්ගේ කාර්යය මුලින් කී දෙදෙනාට ආරක්ෂාව සැපයීමයි. තුන්වැනි කණ්ඩායමේත් දෙදෙනෙකි. ඔවුන් සෙසු සියළු කණ්ඩායම් වලට ඉඳුම් හිටුම් හෙවත් හෝටල් කාමර වෙන් කිරීම, කලට වේලාවට යාන වාහන සැපයීම ආදිය කළ යුතුය. සිව්වන කණ්ඩායමට සාමාජිකයින් 7 ක් හෝ 8ක් විය. මොවුන් මෙහෙයුමේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එනම් ඝාතනයකින් පසු ඝාතකයින්ට එම ස්ථානයෙන් නිරුපද්‍රිතව පැන යෑමේ වටපිටාවක් සකස්කර දීමයි. පස්වන කණ්ඩායමට සාමාජිකයින් දෙදෙනෙක් අයත් වූ අතර ඔවුන්ට පැවරී තිබුණේ සියළු කණ්ඩායම් අතර සන්නිවේදන කටයුතු පවත්වාගෙන යාමයි.

නෝර්වේ රටේ ලිලීහැමර් නගරයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකින් පසු මොසාඩ් ඝාතන කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් එක් උප කණ්ඩායමක් නෝර්වීජියානු බලධරයන් විසින් අල්ලාගනු ලැබීය.එම කණ්ඩාමේ සිටි මයිකල් හරාරි (කළින් සඳහන් කළ මොසාඩ් ඒජන්ත) ඔවුන්ට හසුනොවී කෙසේ හෝ නැවත ඊශ්‍රායලයට පැනගියේය. (මෙම සිද්ධිය පසුවට විස්තර කෙරේ.) ඝාතනයෙන් පසු ලෝප්‍රකට ටයිම් සරාව මෙම සිද්ධිය පිළිබ ලිපියක් ලියමින් හෙළි කළේ සම්පූර්ණ මොසාඩ් ඝාතක කණ්ඩාමට පුද්ගලයන් 15 දෙනෙකු අයත්වන බවයි. 

සෑම ඝාතනයකටම පැය කීපයකට පෙර ඝාතනය වන්නාගේ පවුලේ සාමාජිකයින්ට ශෝක ප්‍රකාශයක්  ලියූ කාඩ්පතක් සමග මල්වඩමක් ලැබී තිබුණි. එම කාඩ්පතේ මෙසේ සදහන් විණි. “මතක තියාගන්න. අප ඔබට කණගාටුව පළ නොකරමු

මෙහෙයුම ක්‍රියාත්මක කිරීම
1972-1988
  • පළමු ඝාතනය 1972 ඔක්තෝබර් 16 දින පලස්තීනයේ වේල් ස්වේටර් (Wael Zwaiter) රෝමයේදී ඝාතනය කිරීමෙන් ඇරඹිණි. ස්වේටර් රාත්‍රී ආහාරය ගෙන නැවත පැමිණෙන තුරු බලාසිටි මොසාඩ් ඒජන්තයන් ඔහුට පිටපිට වෙඩි 11 ක් තැබීය. ඒ මියුනිච් ප්‍රහාරයේදී ඊශ්‍රායල් ජාතිකයින් 11 දෙනෙකු මරුමුවට පත්වීම සංකේතවත් කිරීම සඳහාය. ප්‍රහාරයෙන් පසු මොසාඩ් නිලධාරින් ආරක්ෂක නිවස්නයක සැඟවුණි. ස්වේටර් ඉතාලියේ PLO (පලස්තීන විමුක්ති ) සංවිධානයේ නියෝජිතයාව සිටි නිසා ඊශ්‍රායලය ඔහුව කළු සැප්තැම්බර් කල්ලියේ සාමාජිකයෙකු බව චෝදනා කළේය. එහෙත් PLO සංවිධානය කියා සිටියේ ඔහු කිසිසේත් අදාල සිද්ධියට සම්බන්ධව සිටි අයෙකු නොවන බවය. PLO සංවිධානයේ නියෝජ්‍ය නායකයා කියා සිටියේ ඔහු දැඩි ලෙස ත්‍රස්තවාදයට විරුද්ධව ක්‍රියාකළ අයෙකු බවය.





වේල් ස්වේටර් මැරී වැටි සිටි අන්දම


වේල් ස්වේටර් ගේ සිරුර පරීක්ෂාකරන ඉතාලි බලධාරින්

  • ප්‍රංශයේ සිටි PLO නියෝජිත අචාර්ය මොහොමඩ් හම්සාරි (Mahmoud Hamshari) මොසාඩ් සංවිධානයේ දෙවන බිල්ල බවට පත්විය. ඊශ්‍රායලය විශ්වාස කළේ ඔහු ප්‍රශයේ කළු සැප්තැම්බර් කල්ලියේ නායකයා බවය. ඉතාලි මාධ්‍යවේදියෙක් ලෙස වෙස්වලාගත් මොසාඩ් නියෝජිතයෙකු මොහොමඩ්ව ඔහුගේ නවාතැන්පලින් එළියට රැගෙන යන ලදී. ඒ අතරතුර නවාතැන්පලට ඇතුළුවූ මොසාඩ් කණ්ඩායමක් මොහොමඩ්ගේ මේස දුරකථනය යට බෝම්බයක් සවිකළහ. 1972 දෙසැම්බර් 8 දින මාධ්‍යවේදියෙකු මෙන් සිටි මොසාඩ් නියෝජිතයා නැවත පැමිණ අදාල ස්ථානයේ සිටින්නේ ඔහුම බව සැකහැර දැනගත් පසු තම සගයින්ට ඒ බව දැන්වීය. එසැණින්ම දුරකථනය යට සවිකළ බෝම්බයට පැමිණි සංඥාවත් සමගම එය පුපුරා ගියේය. බරපතල තුවාල ලැබූ මොහොමඩ් හම්සාරි ප්‍රංශ රහස් පරීක්ෂකයන්ට සිදුවූයේ කුමක්දැයි පැවසීමට තරම් එවිට සිහි කල්පනාවෙන් සිටියේය.රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හම්සාරි සති කීපයකට පසු මිය ගියේය.

  • සයිප්‍රසයේ ෆාටා සංවිධානයේ ( ෆාටා යනු පලස්තීන විමුක්ති සංවිධානයේ දේශපාලන පාර්ශවයයි.) නියෝජිතයාව සිටි හුසේන් අල් බෂීර් (Hussein Al Bashir) 1973 ජනවාරි 24 දින රාත්‍රියේ නිකොසියාවේ පිහිටි තම හෝටල් කාමරයේ විදුලි පහන් නිවා දමා නින්දට ගියේය. ස්වල්ප වේලාවකට පසු නිදන සයනය යට අටවන ලද දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මකවූ බෝම්බයක් පුපුරා ගියෙන් ඔහු එතැනම මරුමුවට පත්විය. ඔහු සයිප්‍රසයේ කළු සැප්තැම්බර් කල්ලියේ නායකයා බව ඊශ්‍රායලය විශ්වාස කළේය. ඔහු රුසියානු කේ.ජී.බී. රහස් ඔත්තු සේවය සමග දැඩි සම්බන්ධකමක් තිබීම ඔහු මරා දැමීමට තවත් එක් හේතුවක් වූ බවද කියැවේ.


    • 1973 අප්‍රේල් 6 දින කළු කැප්තැම්බර් කල්ලියට සංවිධානාත්මක ලෙස අවි ආයුධ සැපයූ හා වෙනත් පලස්තීන කණ්ඩායම් සමග සම්බන්ධ බවට ඊශ්‍රායලය විසින් සැකකළ බීරුට්හි අමෙරිකානු විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබද මහාචාර්ය වරයෙකුවූ අචාර්ය බැසිල් අල්-කුබාෂි (Dr. Basil al-Kubaissi) ප්‍රංශයේ තම නිවසේ රාත්‍රී ආහාරය ගෙන නැවත ආපසු එන ගමනේදී වෙඩි තබා මරා දැමිණි. කලින් වතාවක දැක්වූ ඝාතනයකදී මෙන්ම මොහුගේ සිරුරටද උණ්ඩ 12 ක් වැදී තිබුණි. 


      • ඝාතන ලැයිස්තුවේ ඊළග ඉලක්ක තුනක්ම පදිංචිව සිටියේ ගරිල්ලන්ට අධි ආරක්ෂක ප්‍රදේශයක්වූ ලෙබනනයෙහිය. ඔවුන්ව බිලිබාගැනීම සිතූ තරම් ලෙහෙසි නොවන බව අවබෝධ විය. ඒ සදහා (තාරුණ්‍යයේ වසන්ත මෙහෙයුම) Operation Spring of Youth නම් වෙනම උප මෙහෙයුමක් දියත් කරන ලදී. ඒ 1973 අප්‍රේල් 9 දිනයයි. ලෙබනන මුහුදේ ඈත දියඹේ නවතා තිබූ ඊශ්‍රායල් නාවුක මිසයිල් බෝට්ටු මගින් මුදා හැරුණු අධිවේගී ප්‍රහාරක බෝට්ටුවල නැගී සෙයරාට් මක්කල්,ෂෙයාරාට් 13, හා සෙයරාට් සැන්හනිම්(Sayeret Matkal, Shayetet 13 and Sayeret Tzanhanim) යන බලකාවලට අයත් කොමාන්ඩෝ සෙබළුන් ලෙබනන වෙරල තීරයට ළගාවූහ.ගොඩබිම සිටි මොසාඩ් ඒජන්තවරු ඔවුන්ව කලින් දින කුලියට ගත් වාහන වලින් ඉලක්ක වෙත රැගෙන ගිය අතර ප්‍රහාරයෙන් පසු රහසේම නැවත වෙරල තීරයට ගෙනත් ඇරලූහ.කොමාන්ඩෝ සෙබළු සාමාන්‍ය ජනයා මෙන් වෙස්වලා ගත් අතර ඇතැමෙක් කාන්තාවන් සේ සැරසිණි.ලෙබනන් අගනුවර බීරුට්හිදී මුරකාවල් තරකල නිවාසමය ගොඩනැගිල්ලක් වටලා ඔවුන් සිදුකළ ප්‍රහාරයෙන් එහි සිටි මොහොමඩ් යූසුෆ් නජිර් (Muhammad Youssef al-Najjar)-කළු සැප්තැම්බරයේ මෙහෙයුම් නායක,කමල් අද්වාන් (Kamal Adwan)- PLO සංවිධානයේ ක්‍රියාකාරී නායකයෙක් සහ කමල් නසීර් (Kamal Nasser) - PLO විධායක කමිටු සාමාජිකයෙක් යන පුද්ගලයින් මරුමුවට පත්විය. මෙහෙයුමේදී ලෙබනන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු, ඉතාලි ජාතිකයෙකු හා නජීර්ගේ බිරිදද මරුමුවට පත්විය. එක් ඊශ්‍රායල් සෙබලෙකු තුවාල ලැබීය. සෙයරාට් සැන්හනිම් බලකායට අයත් පැරෂුට් භටයින් “නිදහස් පලස්තීනයේ ජනප්‍රිය පෙරමුණ” Popular Front for the Liberation of Palestine (PFLP) සංවිධානයේ මූලස්ථාන ගොඩනැගිල්ල වැටලූහ. පැරෂුට් භටයින් දැඩි ප්‍රතිප්‍රහාරයකට මුහුණදී තම සගයින් දෙදෙනෙකු අහිමිකරගත් නමුත් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ කළහ. මේ අතර සෙයාරාට් 13 නාවුක කොමාන්ඩෝ සෙබළුන් හා සෙයරාට් සැන්හනිම් පැරෂුට් සෙබළුන් එක්ව PLO සංවිධානයට අයත් අවි කම්හල් හා ඉන්ධන ගබඩා විනාශ කළහ. මෙම ප්‍රහාරයේදී PLO හා PFLP සාමාජිකයින් 12 සිට 100 අතර ප්‍රමාණයක් මියගියහ.




      මෙම පිංතූරයේ උපැස් යුවලක් පැළ සිටින්නේ පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) නායක යසර් අරෆත්ය. ඔහුට දකුණුපසින් කමල් අද්වාන් ය. වම් පසින් කමල් නසාර් ය. මියගිය තුන්වැන්නා වන මොහොමඩ් යූසුෆ් නජිර් පහළ පිංතුරයෙන් දැක්වේ.



      • ලෙබනන් ප්‍රහාරයෙන් පසු එකළඟ ප්‍රහාර 3 ක් දියත් කෙරුණි. කලින් සඳහන් කළ සයිප්‍රසයේ අල් බෂීර් ඝාතනයෙන් පසු ඒ වෙනුවට පත්වූ සයිඩ් මුචාසි (Zaiad Muchasi) අප්‍රේල් 11 දින ඔහුගේ හෝටල් කාමරයේ අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් මරුමුවට පත්විය. කළු සැප්තැම්බර් කල්ලියේ පහළ සාමාජිකයන් දෙදෙනෙකුවූ අබ්දුල් හමීඩ් ෂිබි (Abdel Hamid Shibi) හා (Abdel Hadi Nakaa) අබ්දුල් හඩි නකා යන දෙදෙනා රෝමයේදී ඔවුන්ගේ මෝටර්රථය තුලදී තුවාල ලැබීය.


        • මොසාඩ් නියෝජිතයෝ ප්‍රංශයේ කළු සැප්තැම්බර් කල්ලියේ මෙහෙයුම් අධ්‍යක්ෂව සිටි මොහොමඩ් බවුජියා (Mohammad Boudia) පසුපසද හඹා ගියහ. 1973 ජූනි 28 දින ප්‍රංශයේදී ඔහුගේ මෝටර් රථයේ අසුන යට සවිකළ යහමින් යකඩ බෝල්ට් ඇණ යොදා සකස් කළ පීඩන බෝම්බයක් පුපුරා යාමෙන් ජීවිතක්ෂයට පත්විය.


          • 1979 දෙසැම්බර් 15 දින ශබ්දය නොනැගෙන අවියකින් වෙඩිතබා අලි සලේම් අහමඩ් (Ali Salem Ahmed) හා ඉබ්‍රාහිම් අබ්දුල් අසීස් (Ibrahim Abdul Aziz) නම් පලස්තීන ජාතිකයින් දෙදෙනෙකු සයිප්‍රසයේදී ඝාතනය විය.


            • 1982 ජූනි 17 ඉතාලියේදී ඉහළ පෙලේ PLO සාමාජිකයින් දෙදෙනෙකු ප්‍රහාර දෙකකදී මරුමුවට පත්විය. PLO සංවිධානයේ රෝම කාර්යාලයේ ඉහළ තනතුරක් දරන නසියර් මේයර් (Nazeyh Mayer) වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ තම නිවස ඉදිරිපිටදීය. එම කාර්යාලයේම සේවය කරන PLO නියෝජ්‍ය අධ්‍යක්ෂ කමල් හුසේන් (Kamal Husain) නමැත්තා සිද්ධියෙන් පැය 7 කට පමණ පසු මියගිය තම සගයාගේ සිරුර පිහිටි ස්ථානයට පැමිණියේ මරණ පරීක්ෂණයට පැමිණ සිටි පොලීසියට සහාය වීම සඳහාය. ආපසු නිවස බලා යන ගමනේදී ඔහුද ජීවිතක්ෂයට පත්වූයේ ඔහුගේ මෝටර් රථයේ පිටුපස ආසනයට යට සවිකරන ලද පොකුරු බෝම්බයක් පිපිරීමෙනි.


              • 1982 ජූලි 23 දා ප්‍රංශයේ PLO නියෝජ්‍ය අධ්‍යක්ෂව සිටි ෆදල් දානි (Fadl Dani) ද කාර් බෝම්බයක් පිපිරීමෙන් මරුමුවට පත්වූ අතර 1983 අගෝස්තු 21, ඇතන්ස් නුවරදී PLO නිලධාරියෙකුවූ මැමෝන් මෙරීෂ් (Mamoun Meraish) යතුරු පැදියක නැගි මොසාඩ් වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් තබන ලද වෙඩිතැබීමකින් මරුමුවට පත්විය.


                • 1986 ජූනි 10 දින PLO සංවිධානයේ දේශපාලන අංශයේ මහ ලේකම් ව සිටි කාලිඩ් අහමඩ් නසාල් (Khaled Ahmed Nazal) නමැත්තා ග්‍රීසියේ ඇතන්ස්හි හෝටලයක් ඉදිරිපිටදී වෙඩිතබා මරා දැමිණි. ඔහුගේ හිසට වෙඩි පහරවල් 4 ක් වැදී තිබුණි.


                • 1986 ඔක්තෝබර් 21 ඇතන්ස් හිදීම පලස්තීන ජාතික සභාවේ මන්ත්‍රීවරයෙකු හා PLO සංවිධානයේ ඉහළ නිළධාරියෙකුවූ මුන්සර් අබු ගසාලා (Munzer Abu Ghazala) උමං මාර්ගයක් තුලින් සිය මෝටර් රථය පදවමින් සිටියදී බෝම්බයකට හසුවී මරු වැළද ගත්තේය.



                  • 1988 පෙබරවාරි 14 සයිප්‍රසයේ ලිමාසොල් නුවර කාර් බෝම්බයක් පිපිරීමෙන් පලස්තීනුවන් වන අබු අල් හසාන් කාසිම් (Abu Al Hassan Qasim) හා හම්දි අද්වාන් (Hamdi Adwan) මරුමුවට පත්වූ අතර මාවන් කනෆාමි (Marwan Kanafami) නමැත්තා තුවාල ලැබීය. 

                  කළු සැප්තැම්බර් කල්ලියේ නායකයා සොයායෑම





                  රතු කුමාරයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ කළු සැප්තැම්බර් කල්ලියේ නායක අලි හසාන් සලමේ 

                  1972 සිට 1988 දක්වා විටින් විට සිදුවූ පළිගැනීමේ මෙහෙයුම් මේ ආකාරයට සිදුවුවත් මීළගට දැක්වෙන්නේ කළු සැප්තැම්බර් කල්ලියේ නායකයා පසුපස මොසාඩ් නිලධාරින් හඹාගිය ආකාරයයි.  ඔහු මියුනිච් ප්‍රහාරයේ මහ මොළකරු ලෙසද  ඊශ්‍රායලය වරක් විශ්වාස කළේය.ඔහු ෆෝස් 17 නම් බලකායේද නායකයාය.රතු කුමාරයා (Red Prince) යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ඔහුගේ සැබෑ නම අලි හසාන් සලමේ (Ali Hassan Salamehය. ඔහු යුරෝපයේ ක්‍රියාත්මකවූ බොහෝ ත්‍රස්ත ප්‍රහාර සහා සහභාගි වුවත් මියුනිච් ප්‍රහාරය සහා සම්බන්ධ නොවූ බව කළු සැප්තැම්බර් කල්ලියේ ඉහළ නායකයන් පසුව කළ ප්‍රකාශ නිසා ඊශ්‍රායලයේ මෙම මතය තවමත් අභියෝගයට ලක්වී ඇත.

                  *මියුනිච් ප්‍රහාරයේ මහමොළකරු අලි හසාන් සලමේ නොව මොහොමඩ්  ඩාවුඩ් අවුඩේ හෙවත් අබු ඩාවුඩ් බව (Mohammed Daoud Oudeh) දැක්වෙන දිනමිණ පුවත්පතේ ලිපියක පුරුකක් මේ සමග දක්වා ඇත. එහි අබු ඩාවුඩ් නමැත්තා  මෑතක් වන තුරු සිරියාවේ නිරුපද්‍රිතව ජීවත්ව ඇති බවත් මිය ගියේ ඩැමස්කස් නුවරදී 2010 ජූලි 03 බවත් දක්වා ඇත. Link එක මෙසේය.

                  http://www.dinamina.lk/sithijaya/art.asp?id=2010/07/08/sPg05_1

                  මියුනිච් සිද්ධියෙන් පුරා වසරකට පසු කුඩා නෝර්වේජියානු නගරයක්වූ ලිලිහැමර් වල සලමේ සිටින බව මොසාඩ් සංවිධානය විශ්වාස කලේය.1973 ජූලි 21 මොසාඩ් කණ්ඩාමක් එක්වී මියුනිච් ප්‍රහාරයට හා කළු සැප්තැම්බර් කල්ලියට සම්බන්ධයක් නොමැති මොරොක්කෝ ජාතික භෝජනාගාර සේවකයෙකුවූ අහමඩ් බුජිකි (Ahmed Bouchiki) නමැත්තාව සලමේ යැයි සිතා වැරදීමකින් වෙඩිතබා මරා දැමීය. මෙහිදී මොසාඩ් ඒජන්තවරු 6 දෙනෙකු නෝර්වේ පොලීසියට කොටුවිය. කණ්ඩායම් නායක මයිකල් හරාරි කෙසේ හෝ පොලිසියෙන් බේරී නැවත මව්රට වන ඊශ්‍රායලයට පැනගියේය.ඉතිරිවූ පස්දෙනා මිනීමැරීමේ චෝදනා මත සිරගත කරනු ලැබූ අතර 1975 දී හිරෙන් නිදහස් වී නැවත ඊශ්‍රායලයට පැමිණියහ.

                  1974 ජනවාරියේදී මොසාඩ් නිලධාරින්ට සලමේ පිළිබඳ රහසිගත පණිවුඩයක් ලැබුණි. ඒ ඔහු ජනවාරි 12 දින ස්විට්සර්ලන්තයේ දේවස්ථානයක් තුල PLO නායකයන් සමග හමුවකට යන බවයි. මොසාඩ් ඝාතකයින් දෙදෙනෙක් දේවස්ථානයට ඇතුළුවනවාත් සමගම අරාබි ජාතිකයින් තුන්දෙනෙකු ඔවුන්ට හරස්වූහ. එක් අරාබිවරයෙක් තම අවිය ඔසවනවාත් සමග මොසාඩ් නිලධාරින් ක්‍රියාත්මක වූහ.අරාබින් තුන්දෙනාම වෙඩිවැදී මරුමුවට පත්වූ අතර සලමේ සෙවීම ඇරඹිණි. නමුත් ඔහු සොයාගත නොහැකි වූයෙන් මෙහෙයුම නතරකොට මොසාඩ් නිලධාරින් පැනගියහ.

                  ටික කලකට පසු මොසාඩ් ක්‍රියාකාරින් තිදෙනෙකු සලමේ පිළිබඳ තොරතුරක් සොයා ගත් කෙනෙකු හමුවීමට ලංඩනයට පැමිණියහ. එම හෝඩුවාව බොරුවක් බව වැටහුණාට පසු ඔවුන් සතුරු පාර්ශවයන් ගැන සැකයෙන් හා සෙවිල්ලෙන් පසුවූහ. කුලියට මිනීමරන කාන්තාවක් විසින් එක් මොසාඩ් නිලධාරියෙකු හෝටලයක් තුලදී වරදට පොළඹවාගත්තේය. ඉන්පසු ඇය ඔහුට වෙඩි තබා මරා දැමීය. මාස තුනකට පසු ඇයද ඇගේ නිවස අසල මරා දමා තිබිණි.

                  මෙම සිද්ධියෙන් පසු මෙහෙයුම් අධ්‍යක්ෂ මයිකල් හරාරි සලමේ මාරාදැමීමේ මෙහෙයුම නතර කිරීමට නියෝග දුන්නේය. ඝාතක කණ්ඩායම එම නියෝගය පසෙකලා තව එක් වරක් මෙම මෙහෙයුම අත්හදා බලන්නට තීරණය කළේය. ස්පාඥ්ඥයේ ටරීෆා නුවර නිවසක සලමේ සිටින බව බුද්ධි වාර්තාවකින් කියැවිණි. මොසාඩ් ඒජන්තයින් තිදෙනෙකු එහි ඇතුළුවනවාත් සමග සන්නද්ධ අරාබි ජාතිකයෙකුද එහි ඇතුළුවිය. අරාබි ජාතිකයා තම රයිෆලය ඔසවනවාත් සමගම ඔහුට වෙඩි වැදිණි. මෙහෙයුම අතරමග නතරකළ මොසාඩ් ඒජන්තයන් පලාගියහ.

                  සලමේ සොයාගිය ගමනේදී නෝර්වේහි ලිලිහැමර් නගරයේදී අනපේක්ෂිත ලෙස අහිංසකයෙකු ඝාතනයවීමේ සිද්ධියෙන් පසු (මෙය ඉහත සඳහන් කර ඇත.)අගමැතිනි ගෝල්ඩා මියර් මැතිණිය දේව කෝපය මෙහෙයුම සමාප්ත කිරීමට අණ දුන්නාය. නෝර්විජියානු බලධාරින් විසින් පවත්වනු ලැබූ පරීක්ෂණයේදී මොසාඩ්වරුන්ගේ අනන්‍යතාව, මෙහෙයුම් විධි හා ආරක්ෂක නිවස්න යනාදි රහස් බොහොමයක් අනාවරණයවීමද අගමැතිනියගේ මෙම නියෝගයට බලපෑවේය. මෙයින් අවුරුදු 5 කට පසු එනම් ඊශ්‍රායලයේ මීළඟට පත්වූ අගමැති වන මෙනචම් බෙගින් (Menachem Begin) පාලන යුගයේදී ඉතිරිවූවන් සොයා නැවතත් දේව කෝපය මෙහෙයුම ආරම්භවිය.

                  1978 සරත් සෘතුව අගභාගයේදී ලෙබනනයේ බීරුට් නුවර සලමේ හොල්මන් කරන බව මොසාඩ් නියෝජිතයිනගේ බුද්ධි ජාලයට අසුවිය. 1978 නොවැම්බරයේදී මොසාඩ් ඒජන්තවරියකවූ එරිකා චැම්බර්ස් (Erika Chambers) බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක්ද අතැතිව ලෙබනනයට පැමිණියාය. සලමේ නිතරම භාවිතා කරන රූ වර්ඩුන් (Rue Verdun) නම් වීදියක පිහිටි නවාතැන් පලක් ඇය කුලියට ගත්තාය. ඉන්පසු තවත් ඒජන්තවරු දෙදෙනෙක්ද ලෙබනනයට පැමිණියහ. ව්‍යාජ නම් ගම් සහිතව පැමිණි ඔවුන් අත කැනේඩියානු හා බ්‍රිතාන්‍ය ගමන්බලපත්‍ර විය. ඔවුන් පැමිණි වොක්ස්වැගන් රථය ප්ලාස්ටික් පුපුරණ ද්‍රව්‍යවලින් පුරවා තිබිණි. රථය නැවැත්වූයේ කාන්තාව කුලියට ගත් නිවස ආසන්නයේ රූ වර්ඩුන් වීදියෙහිය. ඒ දිනය 1979 ජනවාරි 22 යි. වේලාව පස්වරු 3.35 යි. බෝම්බ රථය අසලින් ගමන්ගත්තේ සලමේ හා ඔහුගේ ආරක්ෂක භටයින් සතරදෙනෙකු රැගත් චැවලොට් ස්ටේෂන්වැගන් රථයයි. නිවස්නයේ සිට ආ දුරස්ථ පාලක සංඥාවකින් වොක්ස්වැගන් රථය බිහිසුණු හඩක් නංවමින් පුපුරා ගියේය. මෙතෙක් කලක් කට්ටි පනිමින් සිටි සලමේද අවසානයේදී මොසාඩ් නිලධාරින්ට ගොදුරු විය. කෙසේ වෙතත් මෙම පිපිරීමෙන් බ්‍රිතාන්‍ය සිසුවෙක්, ජර්මන් පූජකවරයෙක් ඇතුළු පාරේ ගමන්ගත් අහිංසක පුද්ගලයින් සිව්දෙනෙකුටද තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. 18 දෙනෙකු තුවාල ලැබීය.

                  ප්‍රහාරයට කෙලින්ම සම්බන්ධව සිට ජීවිතය බේරුණු ත්‍රස්තවාදීන් තිදෙනෙක්
                  1972 මියුනිච් ඝාතන සිද්ධියෙන් හා එම ක්‍රීඩකයන් බේරාගැනීමේ අසාර්ථක මෙහෙයුමෙන් පසු ජර්මන් අත් අඩංගුවට ගෙන සිරභාරයට ගනු ලැබූ ත්‍රස්තවාදීන් තිදෙනා යළි නිදහස්වූයේ වෙනත් ගුවන්යානා කොල්ලයකදී එම කොල්ලකරුවන්ගේ ඉල්ලිමකට දැක්වූ ප්‍රතිචාරයක් වශයෙනි. ඔවුන් නම් ජමාල් අල් ගෂේ, අද්නාන් අල් ගෂේ හා මොහොමඩ් සෆාඩි යි.

                  මොවුන්ගෙන් අද්නාන් අල් ගෂේ හා මොහොමඩ් සෆාඩි පසුව මැරුම්කෑ බව විශ්වාස කෙරේ. නමුත් මොවුන් දෙදෙනා පිළිබඳ විවිධ කටකතා පැතිර ගියේය. මොහොමඩ් සෆාඩි ලෙබනනයේ පදිංචි තම පවුල සමග සම්බන්ධවූ බව ඇතැම් ආරංචි මාර්ග පවසයි. ඊශ්‍රායල් ලේඛකයෙකු පවසා සිටියේ අද්නාන් අල් ගෂේ හෘදායාබාධයකින් මියගිය බවත් මොහොමඩ් සෆාඩි ක්‍රිස්තියානු අන්තවාදියෙකු විසින් මරාදමා හෝ තවමත් ජීවතුන් අතර සිටින බවත්ය.

                  අනෙක් පුද්ගලයා වන ජමාල් අල් ගෂේ නිසැක වශයෙන්ම උතුරු අප්‍රිකාවේ තවමත් සැවී ජීවත්වන බව විශ්වාස කෙරේ. අවසන් වරට ඔහු ලෝකයාට පෙනී සිටියේ 1999 දී කෙවින් මැක්ඩොනල්ඩ් අධ්‍යක්ෂණය කළ වන් ඩේ ඉන් සැප්ටෙම්බර් (One Day in Septemberනම් සම්මානනීය වාර්තා චිත්‍රපටයේ සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටීමෙනි.



                  කෙවින් මැක්ඩොනල්ඩ් අධ්‍යක්ෂණය කළ ‘සැප්තැම්බරයේ  එක් දිනක්’නමැති සම්මානනීය වාර්තා චිත්‍රපටයේ  පෝසටර් කීපයක්



                  දිවි ගැලවුණු ත්‍රස්තවාදින් තිදෙනාම පෙනීසිටින දුර්ලභ ඡායාරූපයකි. සිරගෙයින් නිදහස්වී ලිබියාවට පැමිණි පසු ඔවුන් මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිටියහ. පිංතූරයේ වම්පස අද්නාන් අල් ගෂේ හා දකුණු පස මොහොමඩ් සෆාඩි දැක්වේ. ඔවුන් දෙදෙනා පසු කලෙක ඝාතනය වූ බව විශ්වාස කෙරෙන අතර මැදින් සිටින්නා වන ජමාල් අල් ගෂේ තවමත් සැවී ජීවත්වන බව විශ්වාස කෙරේ. සිද්ධියෙන් කලකට පසු (One Day in September) නම් වාර්තා චිත්‍රපටයේ පෙනී සිටියේ මොහුය.

                  දේව කෝපය මෙහෙයුමේදී තවත් අරාබි හා පලස්තීන ජාතිකයින් හත් දෙනෙකු විවිධ රටවල විවිධ ආකාරයට මියගියහ. ඉහත වාර්තාවූ 21 දෙනා සමග මරණ සංඛ්‍යාව 28 දක්වා ඉහළ නැගුණි.


                  දේව කෝපය මෙහෙයුම ක්‍රියාත්මක වුනු මුළු කාලය පුරාම එම ඝාතන වලට එරෙහිවත් ප්‍රචණ්ඩ ක්‍රියා ලෝකය පුරා තැන තැන සිදුවිය. මේ මගින් විවිධ නිලතල දැරූ ඊශ්‍රායල් ජාතිකයෝ සැලකිය යුතු ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වූහ. වරක් කළු සැප්තැම්බර් කල්ලි නායක සලමේ විසින් රෝමයේදී මිසයිල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඊශ්‍රායල් අගමැතිනි ගෝල්ඩා මියර් මහත්මිය ඝාතන කිරීමට ගත් උත්සාහයක් නිශ්ඵල කෙරුණි.

                  1988 දී සයිප්‍රසයේ සිදුවූ ද්විත්ව ඝාතනයෙන් පසුව (මෙය ඉහත විස්තර කොට ඇත.) දේව කෝපය මෙහෙයුම අවසන් වූවා යැයි විශ්වාස කෙරේ. මෙම සිද්ධිය තේමා කරගෙන ප්‍රවීණ කතුවරුන් විසින් ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළහ.මෙයින් ඇතැම් ඒවා වලින් ඊශ්‍රායල් පිළිවෙත විවේචනයවූ අතර තවත් ඒවා වලින් පලස්තීන ප්‍රචණ්ඩ ක්‍රියා විවේචනය විණි.

                  බිහිසුණු ත්‍රස්තවාදයට බිහිසුණු ත්‍රස්තවාදයෙන්ම පිළිතුරු දීමට ගිය ඊශ්‍රායල් රජයේ මෙම ප්‍රතිපත්තිය දශක ගණනාවක් පුරා විවේචනයට ලක්විය. එයට හේතුව මෙහෙයුම් ඉලක්ක හඹායෑමේදී වෙනත් රටවලට අවසරයකින් තොරව ඇතුළුවීම මගින් ඒ රටවල ස්වෛරීත්වය උල්ලංඝණය කිරීමත් අහිංසක ජීවිත ගණනාවක් විනාශ වීමත් වෛරී අදහස් වැපිරුනා මිස සාමයක් ලබාගත නොහැකි වීමත් නිසාය. පාර්ශ්ව දෙකම තවමත් සිටින්නේ එකිනෙකා සමග සැකයෙන්ය. මරණ බියෙන්ය. මැදහත් බොහෝදෙනාගේ අදහස බලවත් රටවල් විසින්  ඊශ්‍රායලය හා අරාබි රටවල් එකිනෙකා සමග ඇනකොටා ගැනීමට උපකාරීවන ක්‍රියාවලින් වැලකී ඒ වෙනුවට එකිනෙකා සමග මිත්‍රශීලීව හා විශ්වාසයෙන් යුක්තව කටයුතු කිරීමට සහයෝගය දෙන්නේ නම්  ස්ථිරසාර සාමයක් ලැබී සදාකල්හිම මරණ බියෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය වන බවයි.


                  මියුනිච් ප්‍රහාරය සහ ඉන්පසු සිදුවූ ඊශ්‍රායල් පළිගැනීමේ මෙහෙයුම පිළිබ තව දුරටත් ඔබට කරුණු සොයාගැනීමට අවශ්‍ය පුරුක් කීපයක් පහත දක්වා ඇත.

                  සිළුමිණ පුවතකින්..

                  දිවයින පුවතකින්..
                  http://www.divaina.com/2012/07/01/diyaga06.html

                  සරසවිය පුවතකින්..

                  දිනමිණ පුවතකින්..

                  දිනමිණ පුවතකින්..



                  සිංහල උප සිරැසි සමග මියුනිච් චිත්‍රපටය බා ගැනීමට...


                  http://www.baiscopelk.com/?p=1082






                  මේවාත් බලන්න

                  Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

                  Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...