Friday, April 26, 2013

මිඩ්නයිට් එක්ස්ප්‍රස්


මිඩ්නයිට් එක්ස්ප්‍රස් (Midnight Express)
මෑත අතීතයේ සිදුවූ සත්‍ය සිදුවීම් - 04

World major events in recent history in Sinhala language. Most of them were based for Hollywood movies.
බොහෝවිට සිනමාවට නැගී ඇති ලෝකයේ මෑත අතීතයේ සිදුවී ඇති ත්‍රාසජනක සත්‍ය කථා...සිංහලෙන්...

පරිවර්තනය 
අයෝම ජයසිංහ
Ayoma Jayasinghe  -  ayolanka@gmail.com
Sri Lanka Rupavahini Corporation




ලංකාවට ඉඳහිට හෝ පැමිණෙන හොඳ සිනමා පටයක් නැරඹීම මාගේ පුරුද්දක්ව තිබිණි. 1980 ගණන් වල ලංකාවේ අගනුවර සිනමා ශාලාවක තිරගතවුණු Midnight Express චිත්‍රපටය විවිධ හේතු නිසා මට නැරඹීමට නොහැකිවිය. මිතුරන් විසින් නරඹා තිබූ එහි කතා වස්තුව මට පසුව දැනගත හැකි වුවත් එහි එතරම් වටිනාකමක් තිබේද යන්න ගැන කුහුලක් ඇතිවිය.කෙසේ වෙතත් චිත්‍රපටය නැවතත් ලංකාවට පැමිණි විටක බලන්නේ යැයි අදිටන් කරගෙන සිටියෙමි. සිතූ පරිදිම එය 1986 දී පමණ නැවත බැලීමට හැකිවිය. එහි කතාව සත්‍ය සිද්ධියක් වූ නිසා මගේ සිත්ගත් විය. එය නැරඹීමෙන් කලකට පසුව චිත්‍රපටයට පාදක වූ සත්‍ය සිදුවීම ගවේෂණය කිරීමෙන් තෘප්තියක් ලැබුවෙමි. ඒ සම්බන්ධව මා සොයා ගත් සමහර කරුණු සමග අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරුද මුසුකොට ඔබට ඉදිරිපත් කිරීමට සිතුවෙමි. මේ දිග හැරෙන්නේ එයයි.....












මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටයේ පෝස්ටර් කීපයක්

1970 ඔක්තෝබර් 6 දින බිලී හේයිස් නම් අමෙරිකානු සිසුවෙකු තුර්කියේ ඉස්තාන්බුල් නුවර ගුවන් තොටුපළින් තම පෙම්වතිය සමග මව්රට බලා ඒමට සූදානම් විය. නමුත් ඔහු ඒ වනවිට බරපතල වරදක් සිදුකොට තිබුණි. එනම් කාටත් හොර රහසේ තුර්කියේ සිට ඇමෙරිකාවට හෂීස් නම් උග්‍ර මත්ද්‍රව්‍යය විශේෂය රැගෙන යාමට උත්සාහ කිරීමයි. කිලෝ ග්රෑම් 2 ක් වූ එම මත්ද්‍රව්‍යය කුට්ටිකර ඊයම් කඩදාසි වල ඔතා ඒවා තම උදරය වටා අලවා නොපෙනෙන පරිදි ගෙන යාම ඔහුගේ සැලැස්ම විය. ගුවන් තොටුපළේ ඇති ආරක්ෂක මුරකපොළු කීපයක් පසුකර යෑමට ඔහුට හැකිවිය. අවසන් මුර කපොල්ල වූ ගුවන් යානයට නැගීමට ඇති පියගැට පෙළ ආසන්නයේදී සියල්ලන්වම නැවතත් පරීක්ෂාවට භාජනය වූයේ එරට එම වකවානුවේ තිබූ ත්‍රස්තවාදී තර්ජනයක් නිසාය. එම පරීක්ෂාවේදී ඔහු කොටුවිය.

බිලී හේයිස් සිය බඳ වටා හෂීස් ඔතාගෙන සිටින අයුරු චිත්‍රපටයේ දැක්වෙන අයුරු

උදරයේ සවිකොට තිබූ මත්ද්‍රව්‍ය කැබලි දුරට පෙනුණේ බෝම්බ අකාරයටය. ඒ නිසා ආරක්ෂක සෙබළු බියෙන් ඇළලී ගියහ. බිය පහව යෑමෙන් අනතුරුව බිලී හේයිස්ව විශේෂ කාමරයකට රැගෙන විත් දැඩි පරීක්ෂාවට භාජනය කෙරිණි. ඡායාරූප ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කෙරිණි. මඳ වේලාවකට පසු ඇමරිකානුවකු යැයි සිතිය හැකි පුද්ගලයකු පැමිණ හේයිස්ව පොලිස් ස්ථානයකට රැගෙන ගියේය. එහිදී හේයිස් වෙනුවෙන් රහස් පරීක්ෂවරුන් සඳහා භාෂා පරිවර්තන කටයුතු කළේද ඔහුය. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කියා සිටියේ තමනට හෂිස් ලබාදුන්නේ කුලීරථ රියැදුරැකු විසින් බවය. කුලීරථ රියැදුරා පිට වරද පටවා තමා නිදහස් වීමට ඔහු සිතුවේය. රථ රියැදුරා අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කරන අවස්ථාවේ පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමට බිලී හේයිස් උත්සාහ කළේය. එසේ පලායාමේදී ගොඩනැගිල්ලක් තුල කොටුවූයෙන් නැවතත් ඔහුව අත්අඩංගුවට ගන්නා ලද්දේ කලින් කී ඇමෙරිකානු පුද්ගලයා විසිනි.

සැග්මල්සිලර් (Sagmalcilar) සිරගෙදර ගතකරන පළමු රැයේදී බිලී හේයිස් අධික ශීතල වාවාගනු නොහැකිව සිරමැදිරියෙන් රහසින් එළියට පැමිණ බ්ලැන්කෙට්ටුවක් සොරාගෙන තිබිණ. එදින රාත්‍රියේම ප්‍රධාන බන්ධනාගාර නියාමක වන හමිඩෝව් (Hamidou) විසින් බිලීව නින්දෙන් අවදිකරවා මැදිරියෙන් එළියටගෙන දරුණු ලෙස පහරදෙන ලදී.

ඔත්පලව සිටි හේයිස්ව දින කීපයකට පසු යළි දෙපයින් නැගිට්ටුවීමට උදව් කළේ ඔහු වටා සිටි සුදුජාතික සිරකරුවන් ය. ඔවුන් නම් අමෙරිකානුවකු වූ ජිමී (Jimmy) (පල්ලියකින් ඉටි පන්දම් දෙකක් සොරකම් කිරීමේ වරදට බන්ධනාගාරවූවෙකි), ස්වීඩන් ජාතික එරික් (Erich) (මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වීම නිසා දඬුවම් විඳින්නෙකි). තමුන් වැනි විදේශිකයින්ට මෙම බන්ධනාගාරය භයානක තැනක් බවත් මෙහි සිටින බාල මහළු කිසිවෙක් විශ්වාස කළ නොහැකි බවත් ජිමී බිලීට පැවසීය. ටික දිනකට පසු මැක්ස් (Max) නම් බ්‍රිතාන්‍ය ජාතික හෙරොයින් ලෝලියෙකුට බිලීව හඳුන්වා දෙන ලදී.

අත්අඩංගුවට ගත් පසු එළඹුනු සතියේදී තමාගේ නිදහස පතා තුර්කි අධිකරණ පද්ධතියේ පිහිට පැතීමට බිලී කල්පනා කළේය. එම නඩු විභාගය වෙනුවෙන් පෙනීසිටීම සඳහා ඔහු තුර්කි ජාතික නීතිඥයෙකු ලබාගත්තේය. ඔහු මීට පෙරද හෂීස් විශාල ප්‍රමාණයක් ළග තබාගත් අයෙකු වෙනුවෙන් පෙනීසිට ඔහුව චෝදනා වලින් නිදොස් කිරීම නිසා ප්‍රසිද්ධිය ලැබූ නීතිඥයෙකු විය.

මේ අතර බිලීගේ පියා අමෙරිකාවේ සිට පැමිණි අතර දෙදෙනාගේ හමුවීම හැඟුම්බර එකක් විය. උසාවියේදී පැමිණිල්ල ඒක පාර්ශිකව ගොනුකළ චෝදනා නිසා පියාත් පුත්‍රයාත් අන්දමන්ද වූහ. එසේ වන්නේ ඇයි දැයි පියපුතු දෙදෙනා තම නීතිඥයාගෙන් විමසූහ. ඒ ගැන බිය නොවිය යුතු බවත් විනිශ්චයකාරතුමා සාධාරණ තීන්දුවක් දෙනු ඇතැයි තමා සිතන බවත් ප්‍රකාශ කළේය.නමුත් උසාවිය බිලීට වසර 4ක සිර දඬුවමක් නියම කිරීමෙන් පිය පුතු දෙපළගේ බලාපොරොත්තු සුන්වී ගියේය. නීතිඥයා ඔවුන්ට කියා සිටියේ මත්ද්‍රව්‍ය චෝදනාවකට සාමාන්‍යයෙන් ලැබෙනුයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවත් හිමිවූයේ ඒ අතින් සුළු දඬුවමක් බවත්ය. පසුව රැඳවුම් කුටියක් අසලදී පියාත් පුත්‍රයාත් එකිනෙකාගෙන් සමුගත් අතර බිලී තම ඉරණමට අනුව සිර දඬුවම විඳීමට සිතා ගත්තේය.


චිත්‍රපටයේ රූප රාමුවකි. මේ බිලී හා ඔහුගේ පියා සිරගෙදරදී හමුවන ජවනිකාවයි. බිලී ලෙස බ්‍රැඩ් ඩේවිස් රඟපාන අතර පියා ලෙස පෙනී සිටින්නේ  මයික් කෙලින් නම් නළුවාය.

අවුරුදු කීපයක් ඇවෑමෙන් අති භයානක සිර ගෙදරක කටුක දිවියකට බිලී හුරුවිය. මිතුරු එරික් සමග ඔහු සමීප සම්බන්ධයක් පැවැත්වීය. එරික් සමලිංගියෙකුවූ අතර එරික්ගේ එම පැවතුම් වලට බිලී අකමැති විය. කෙසේ වෙතත් නොබෝ කලකින් එරික් සිරගෙදරින් නිදහස් විය. මිතුරු මැක්ස් සමග දීර්ඝ සංවාදයෙන් හා මිළ අඩු මත්ද්‍රව්‍ය හා දුම් භාවිතයෙන් බිලීගේ සිරගෙදර ජීවිතය ගෙවී ගියේය. මෙම මත්ද්‍රව්‍ය සිරගෙදරදී විකුණනු ලැබුවේ රිෆ්කි (Rifki) නම් සිර ජීවිතයක් ගතකරන සිරකරුවන්ගේම භාරකරුවකු විසිනි. බිලී තමා හිරෙන් නිදහස් වන්නේ කවදාදැයි නිතරම ඇඟිලි ගනිමින් සිටියේය.

බිලී නිදහස් වන දිනයට හරියටම මාස 18 කට පෙර ජිමී, තම මිතුරන් වන බිලීට හා මැක්ස්ට සිරගෙයින් පැනයාමේ සැලැස්මක් ඉදිරිපත් කළේය. නමුත් බිලී එයට අකමැති වූයේ තව මාස 18 කින් නිත්‍යානුකූලව තමා නිදහස් වන බව දත් නිසාය. මේ නිසා ජිමී තනිවම මෙම සැලැස්ම ක්‍රියාත්මක කළ අතර එය අසාර්ථක වී ජිමී නිලධාරින්ට හසුවිය. ඔහු මාරාන්තික ලෙස දරුණු වධ හිංසනයට ලක්විය.

1974 දී ඉතා අවාසනාවන්ත සිද්ධියකට පුහුණ පෑමට බිලීට සිදුවිය. නිදහස්වීමේ නියමිත දිනට දින 53 කට පෙර පැමිණිලි පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් හේතුවෙන් අංකාරා නුවර පිහිටි තුර්කි මහාධිකරණය විසින් බිලීගේ නඩුව නැවත කැඳවන ලදී. එහිදී ඔහුගේ දඬුවම වසර 30 ක් දක්වා දීර්ඝ කෙරිණි. මුළු ලොවම තම හිස මත කඩා වැටුණු සෙයක් බිලීට දැණින. තම ඉතිරි දිවිය මෙලොව අපායක ගෙවිය යුතු යැයි සිතූ බිලී ශාරීරිකවත් මානසිකවත් කොතරම් පහළට වැටුණාද කියතොත් සිරගෙදර සිදුවූ ගැටුමකදී තම සහෝදර මිතුරු රිෆ්කිට ඉතා දරුණු ලෙස පහර දුන්නේ ඔහුගේ දිව ද සපා කමින්ය.මෙම සිද්ධියෙන් පසු බිලීව මානසික ආබාධ සහිත රෝගී සිරකරුවන් සිටින වාට්ටුවට මාරු කෙරිණි.

1975 දී බිලීගේ පෙම්වතියවූ සුසාන් ඔහු හමුවීමට පැමිණ ඔහුට අත්වූ ඉරණම ගැන දුක්වූවාය. දැල් වැටකින් වෙන්වූ ඔවුන්ගේ හමුවීමේදී ඇය ඉදිරියේම ස්වයං වින්දනයෙන් තම ආශාවන් සංසිඳුවා ගැනීමටද බිලී අමතක නොකළේය. මෙහිදී ඇය ඔහුට කෙසේ හෝ සිරගෙයින් පැනයාමට උපදෙස් දුන් අතර නැතහොත් මේ ආකාරයට සිටියහොත් ඔහු සිරගෙදරදී මියයාමට වුවත් ඉඩ ඇතැයි ද පෙන්වා දුන්නාය. මුදල් නෝට්ටු කීපයක් බහාලූ සටහන් පොතක් දුන් ඇය එම මුදල් බැංකුවක සේවය කරන බිලීගේ හොඳම මිතුරෙකු විසින් දෙන ලද්දක් බව පැවසුවාය. එම මුදල් සිරගෙයින් පලායාම සඳහා ප්‍රයෝජනයට ගන්නැයි ද එහි සටහන් වී තිබුණි. මේ නිසා ඇගේ පැමිණීම ඔහුට ශක්තියක් ගෙනදුන් අතර මානසිකව යථාතත්වයට පත්වීමටද රුකුලක් විය.

බිලී තම පෙම්වතියවූ සුසාන්ව මුණගැසෙන සංවේදී අවස්ථාව

බිලී තම හිතාදර මිතුරු මැක්ස්ට සමුදී තමා නැවත පැමිණෙනතුරු ජීවත්ව සිටින ලෙසද අවවාද කළේය. ප්‍රධාන බන්ධනාගාර නියාමක හමිඩෝව්ට අල්ලසක්දී මානසික වාට්ටුවෙන් යළි සාමාන්‍ය මැදිරියට යාමට බිලී උත්සාහ කළේය. ඒ වෙනුවට බියෙන් ත්‍රස්තවී සිටි බිලීව හමිඩෝව් විසින් නියාමක නිල නිවසට ගෙනගොස් පහර දුන්නේය. මෙහිදී හමිඩෝව් තම කලිසමේ බඳ පටිය හා කලිසම බුරුල් කිරීම දුටු බිලීට සිතුනේ ඔහු තමාව දූෂණය කිරීමට උත්සාහ කරන බවකි. හමිඩෝව් තම යට ඇඳුම ගලවා දැමීමේදී එය කකුලට හිරවීමෙන් යම් ප්‍රමාදයක් ඇතිවූ අතර ඒ අවසරයෙන් ප්‍රයෝජන ගත් බිලී විදුලි වේගයෙන් විශ්මයජනක ලෙස හමිඩෝව්ව පසුපසට තල්ලුකළේ ඔහුට අනතුරක් කිරීමේ අදහසිනි. පසුපස බිත්තියේ සවිකර තිබූ ඇඳුම් එල්ලන යකඩ කොකුවේ හම්ඩෝව්ගේ බෙල්ල ඇමිණීමෙන් ඔහු එතැනම මරුමුවට පත්විය. 


නියාමකගේ නිසළ සිරුර අසලට ප්‍රවේසමෙන් ගමන්ගත් බිලී ඔහුගේ ගිනි අවිය අතට ගත්තේය. පැනයාමට කදිම අවස්ථාවක් ලත් ඔහු නියාමකගේ නිළ ඇඳුමද ලාගෙන ඉදිරිපස දොරින් උපක්‍රමශීලිව පිටතට පැමිණීමට සමත්විය. ඔහු ඉදිරියටම පයින් ඇවිද ගියේය. තුර්කියට යාබද රට වන ග්‍රීසියට යාම සඳහා බිලී හේයිස් තුර්කි-ග්‍රීසි දේශසීමාව 1975 ඔක්තෝබර් 14 දින රාත්‍රී සාර්ථකව පසුකළ බවත් සති තුනකට පසු අමෙරිකාවේ කෙනඩි ගුවන් තොටුපළට ළඟාවූ බවත් වාර්තාවල සඳහන් වේ.


මා විස්තර කළ මෙම කතාවේ සිත්ගන්නා සුළු තොරතුරු කීපයක් මෙසේ ඉදිරිපත් කරමි.



ප්‍රවීන නළු බ්‍රැඩ් ඩේවිස්


චිත්‍රපටයේ බිලී හේයිස් ලෙස රඟපෑ ප්‍රවීන නළු බ්‍රැඩ් ඩේවිස් (Brad Davis) ගේ දුක්මුසු ජීවිත සමුගැනීම ඉන් එකකි. 1991 සැප්තැම්බර් 8 දින ඔහු මාරාන්තික ඒඩ්ස් රෝගයෙන් අකාලයේ මිය ගියේය. මියයන විට වයස 41 කි. මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටය රඟපෑ කාලයේ ඔහු නිරෝගීව සිටියේය. ඉන්පසුත් චිත්‍රපට කීපයක රඟපෑවේය. ඔහුට රෝගය වැලඳී ඇති බව දැන සිටියේ ඔහුත් ඔහුගේ බිරිඳත් පමණි. (Susan Bluestein Davis) රෝගය රහසක් වශයෙන් තබාගෙන මියයන තුරුම හේ රඟපෑවේය. ඔහු අවසන් වරට රඟපෑවේ ඔහුගේ මරණින් පසුව 1992 දී විකාශය වූ “හැබිටේෂන් ඔෆ් ඩ්‍රැගන්ස් නම් රූපවාහිනී චිත්‍රපටයකය.මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටයේ සිරගෙදරදී මත්ද්‍රව්‍ය ලෝලියෙකු ලෙස රඟපා සැබෑ ජීවිතයේදී ද මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඒඩ්ස් රෝගයෙන් මියයාම විශේෂත්වයකි. 


බ්‍රැඩ් ඩේවිස් මියයාමෙන් පසු ඔහුගේ ජීවිත කතාව අළලා බිරිද සුසාන් ඩේවිස්  විසින් ලියන ලද නවකථාව



අනෙක් විශේෂත්වය නම් සැබෑ කතාවේ බිලී හේයිස් ගේ පෙම්වතියගේ නමත් ඔහුගේ චරිතයට පනදුන් නළු බ්‍රැඩ් ඩේවිස්ගේ බිරිඳගේ නමත් සුසාන් වීමයි.


සුසාන් ඩේවිස් අද

තවත් විශේෂත්වයක් වන්නේ අතීත සත්‍ය කතාවේ කතානායකයා වන බිලී හේයිස් තවමත් ජීවතුන් අතර සිටීමත් එම චරිතයට පනදුන් නළු බ්‍රැඩ් ඩේවිස් දැන් ජීවතුන් අතර නොමැතිවීමත් ය. 




දැන් අපි බලමු සැබෑ කතාවේ කතා නායකයා වන බිලී හේයිස් ගේ වගතුග.


බිලී හේයිස් අද



බිලී හේයිස් තුර්කි සිරගෙදරින් පලා ආ පසු තම අත්දැකීම් අළලා පොතක් පළ කළේය. මෙම පොත ඇසුරින් ඔලිවර් ස්ටෝන් විසින් තිර කතාව ලියා ඇලන් පාකර් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය වූයේ මිඩ්නයිට් එක්ස්ප්‍රස් ය. තමාගේ කතාව සිනමාවට නැගුනු පසු එය නැරඹීමට බිලී හේයිස් අමතක නොකළේය. චිත්‍රපටය බැලූ ඔහු එය ඉතා විශිෂ්ඨ නිර්මාණයක් ලෙස අගය කරන බව  කියා සිටියේය. නමුත් එහි වැදගත් සමහර සිද්ධීන් තමාගේ සත්‍ය කතාවට වඩා වෙනස් කර තිබෙන බව මාධ්‍යයට පැවසීය. විශේෂයෙන්ම එම චිත්‍රපටයෙන් තුර්කි ජනතාව ලෝකයේ අශිෂ්ඨ ජාතියක් ලෙස හුවා දක්වා තිබෙන බව පැවසීය. සිරගෙයින් පළාගිය ක්‍රමය මෙය නොවන බවද ඔහු පවසයි. එසේම චිත්‍රපටයේ දැක්වෙන සිරකරුවෙකුගේ දිව සපාකෑමේ දර්ශනය සත්‍යයෙන් තොර බවද ඔහු පවසයි. 


1978 කැනාස් චිත්‍රපට උළෙලේදී මුල්වරට මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටය තිරගත කළ අවස්ථාවට සහභාගී වූ බිලී හේයිස් .(පිංතූරයේ දකුණු කෙළවර සිටින්නේ ඔහුය)


(බිලී හේයිස්ගේ  මිඩ්නයිට් රිටර්න් පොතෙන් උපුටාගන්නා ලදී)



2010 ජූනි “නැෂනල් ජියෝග්‍රැෆික්” නාළිකාවෙන් විකාශය වූ “ලොක්ඩ් අප් එබ්‍රෝඩ්” (Locked up Abroad) වැඩසටහන වෙන්කර තිබුණේ බිලී හේයිස් හා ඔහුගේ සිද්ධියටය. එහිදී “ද රියල් මිඩ්නයිට් එක්ස්ප්‍රස් හෙවත් සත්‍ය මිඩ්නයිට් එක්ස්ප්‍රස්” (The Real Midnight Express) නමින් ඔහු තම සත්‍ය කතාව තවදුරටත් මිනිසුන් අතරට ගෙන ගියේය.


එසේම සත්‍ය කතාවේ මෙතෙක් නොකී අමතර කරුණු ද එක්කොට “මිඩ්නයිට් රිටර්න්” (Midnight Return) යන මැයෙන් 2011 දී තවත් පොතක් මුද්‍රණය කළේය.

මිඩ්නයිට් රිටර්න් (Midnight Return) ග්‍රන්ථයේ  පිටකවරය

ඔහු පවසන පරිදි ඔහුව තුර්කි භූමියේ සිට සැතපුම් 20 ක් පමණ දුරින් වූ ඉමරාලි නම් දූපතේ පිහිටි මුහුදු සිපිරිගෙයට  මාරුකර යවනු ලැබීය.
සිතියමේ කළපුව වැනි කොටස මැද පහළින් කුඩා ගොඩබිමක් ලෙස දිස්වන්නේ  ඉමරාලි දූපතයි.මෙහි ඉහළ ගොඩබිම ග්‍රීසිය ද පහළ ගොඩබිම තුර්කිය ද වේ.

ඉමරාලි දූපත ඈතට පෙනෙන අයුරු.
(බිලී හේයිස්ගේ  මිඩ්නයිට් රිටර්න් පොතෙන් උපුටාගන්නා ලදී)

ඉමරාලි දූපතේ පිහිටි මුහුදු සිරගෙය ගුවනේ සිට දර්ශනය වන අතිදුර්ලභ ඡායාරූපයක්. 
(බිලී හේයිස්ගේ  මිඩ්නයිට් රිටර්න් පොතෙන් උපුටාගන්නා ලදී)

ඉමරාලි සිපිරිගෙයි ජීවිතය සැග්මල්සිලර් සිරගෙදර ජීවිතයට වඩා දුක්බර නොවුණි. සිරකරුවන්ට නිදහසේ ඔබමොබ යාමට ඉඩක් ලැබුණි. ඇතැම් සිරකරුවන්ට මුහුදු දිය නෑමට පවා හැකිවිය. මෙම නිදහස් වාතාවරණය බිලී හේයිස්ට පලායාම සඳහා මහත් රුකුලක් විය. 1975 ඔක්තෝබර් 02 බිලීට ඓතිහාසික දිනයක් විය. එදින පැවති ධාරනිපාත වර්ෂාව හා කුණාටුව මැදින් වෙරළේ නවතා තිබූ ඩිංගි බෝට්ටුවක ආධාරයෙන් බිලී හේයිස් ඉස්තාන්බුල් නුවරට ගමන් කළේ  අවුරුදු 5 ක් තිස්සේ සිරගෙදර ගතකළ තම දුක්බර ජීවිතයට ආයුබෝවන් කියාය.
අමෙරිකාවට පලා ආ වකවානුවේදී ලබාගත් බිලී හේයිස්ගේ  ඡායාරූපයක්


සිර ගෙදරදී ගත් බිලී හේයිස්ගේ අති දුර්ලභ ඡායාරූපයක්


බිලී හේයිස් අද

අමෙරිකාවට පැමිණි විගස හේ මාධ්‍ය හමුවකට පෙනී සිටියේය. මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටය තිරගත කළ 1978 කැනාස් චිත්‍රපට උළෙලේදී  ඔහුට තම අනාගත සහකාරිය වන වැන්ඩි වෙස්ට් (Wendy West) මුණගැසුණි. චිත්‍රපට හා රූපවාහිනී කටයුතුවල ක්‍රියාකාරිනියකවූ ඇය නිසා  බිලී හේයිස්ද සිනමා කර්මාන්තයට සම්බන්ධවිය. සිනමා නළුවෙකු, අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු හා කතා රචකයෙකු ආදී වශයෙන් ජීවිතයේ සැඳෑ සමය තෙක්ම ක්ෂේත්‍ර ගණනාවක ඔහු දස්කම් පෙන්වීය.
බිලී හේයිස් තම බිරිඳ වූ වැන්ඩි වෙස්ට් සමග

ඔහුගේ ජීවිත කතාවේ කියවෙන මුල් පෙම්වතිය වූ සැබෑ සුසාන් ගැන තොරතුරු සොයා ගියෙමි. ඇයගේ සම්පූර්ණ නම හෝ ඇයගේ වර්තමාන තොරතුරු ද සොයාගත නොහැකිවිය. නමුත් 2010 දී නැෂනල් ජියෝග්‍රැෆික් වෙබ් අඩවිය ඔස්සේ සුසාන් පිළිබව පාඨකයෙකු අසනු ලැබූ   පැනයකට බිලී හේයිස් මෙසේ පිළිතුරුදී තිබුණි.

“පාසල් යන කාලෙ ඉඳලම මා ඈව දැන සිටියා.ඈ මගේ පැරණිම මිතුරියන්ගෙන් කෙනෙක්. තුර්කියේ සිට අමෙරිකාවට මා පැමිණි කාලේ අප ටික කලක් ආශ්‍රය කළා. මා ගෙදර පැමිණි පසු මට වූ සිද්ධියත් එක්ක  මා පිස්සුවෙන් වගේ ජීවත්වුනා. ඇයට මා එපා වී මගෙන් වෙන්වුනා. මට වඩා ඇයට ආදරය කරන කෙනෙක් ඇය සොයමින් සිටියා.නමුත් අදටත් අප මිතුරන් ලෙස ආශ්‍රය කරනවා.”

චිත්‍රපටයේ බිලී හේයිස් ගේ පෙම්වතිය ලෙස සුළු එහෙත් දක්ෂ රංගනයක යෙදුනේ  අයිරින් මිරැකල් ” (Irene Miracle) නම් හොළිවුඩ් නිළියයි.

අයිරින් මිරැකල් 

YouTube හරහා මෙම චිත්‍රපටය නැරඹීමට
http://www.youtube.com/watch?v=eNzxrnlk29I

No comments:

Post a Comment

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...