විදුලි දුම්රියේ
ගීතය
විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැකෙන සඳේ..
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතු විය සැලෙන හදේ..
සීත කදුකරේ මීදුම් අධිකයි පමා උනෙමි සොඳුරේ..
රූපවාහිනී අංජන රේඛා.. නළඟන ඔබද ළඳේ..
ආදර සුවඳින් දසතම මතුවන වසන්ත සුළඟෙ හැපී..
සාගර ජල මත පාවෙන උයනේ මීවිත පුරමු අපි..
මිනිසා පළමුව සද තරණය කළ විසිතුරු කතන්දරේ..
පුරසඳ මඩලේ සිනමා මැදුරක නරඹමු නිසංසලේ...
නරබමු නිසංසලේ...
විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැකෙන සඳේ..
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතු විය සැලෙන හදේ..
සීත කඳුකරේ මීදුම අධිකයි පමා උනෙමි සොඳුරේ..
රූපවාහිනී අංජන රේඛා..නළඟන ඔබද ළඳේ..
පාවෙන සඳකැන් සිසිලෙන් නෑවෙන ආදර සඳුන් වනේ...
නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන් පියඹන අවන්හලේ...
මිනිසුන් හෙටදින සොයමින් වෙහෙසෙන පරසතු කුසුම් විලේ....
ජයපැන් තොලගා අමරණීය වන කුමරුන් මමය ඔබේ...
කුමරුන් මමය ඔබේ...
විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැකෙන සඳේ..
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතු විය සැලෙන හදේ..
සීත කඳුකරේ මීදුම අධිකයි පමා උනෙමි සොඳුරේ..
රූපවාහිනී අංජන රේඛා..නළඟන ඔබද ළඳේ..
නළගන ඔබද ලදේ
නළගන ඔබද ලදේ
ජාත්‍යන්තරව ප්‍රචලිත වූ අලුත් මාධ්‍යය අර්ථ ගැන්වීම සඳහා රූපවාහිනිය යනුවෙන් අලුත් වදනක් අපගේ ශබ්දකෝෂයට එකතු වෙද්දී, එම වචනය අරබයා අප රටේ ජනතාවගේ කතාබහට ලක් වූ ගීතයක් ද එයට වසර කීපයකට පෙර සිංහල ගීත සාහිත්‍යයට එකතු වුනා. දයානන්ද කුමාරසිරි ගීත රචකයා විසින් ලියන ලද, මොහොමඩ් සාලි මාස්ටර් විසින් සංගීත අධ්‍යක්ෂණය කළ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ රූපා ඉන්දුමතී සහ ලක්ෂ්මන් රුද්‍රිගු යන ජනප්‍රිය ගායක යුවල විසිනි.
මෙම ගීතය මිනිසා
සඳට පා තැබූ පසු එම වසරේදීම එළි දැක්වීම විශේෂයක්. ඒ වගේම ලංකාවේ ලියැවුනු ප්‍රථම
විද්‍යා ප්‍රබන්ධමය ගීතයත් එයයි. එහි එන ඇතැම් වදන් එකල අපේ අසන්නන්ට නුහුරු ඒවා
විය. විද්‍යා දියුණුවේ අනාගතය විනිවිද දුටු වක්තෘවරයෙකු සේ එම ගීතයට ගීත රචකයා
විසින් වදන් එකතුකර තිබුණි.
මේ පිළිබඳව වරක්
මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනිගේ විසින් ගීත රචකයා සමග කළ පුවත්පත්
සාකච්ඡාවකදී මෙසේ තොරතුරු දිගහැරී තිබේ.
.............................................
හැත්තෑව දශකය
තුළ අපේ රටේ අයට විදුලි දුම්රිය, රූපවාහිනිය විතරක් නෙමෙයි, පාවෙන දූපත් වගේම
පියාඹන අවන්හල් පවා බොහොම නුහුරු දේවල්.
නමුත් මේ හැම
දෙයක්ම ඇතුළත් වුණු බොහොම අපූරු ගීතයක් ඒ දවස්වල ලියැවුණා. මේ ගීතය රචනා කළේ
දයානන්ද කුමාරසිරි.
මෙහි ඇති තවත්
අපූරුම කතාව තමයි එම ගීතය ලියැවෙන කාලයේදී දයානන්දට පවා මේ දේවල් නුහුරු වීම.
“1966
අවුරුද්දේ තුරඟ තරඟ පිටියේ පැවති ප්‍රදර්ශනයකදී
මම රූපවාහිනිය මුල්වරට දැක තිබුණා. ඉන්පසුව ඇම්.ඩී. ගුණසේන සමාගම පැවැත්වූ ප්‍රදර්ශනයක්
වෙලාවෙත් රූපවාහිනී යන්ත්‍රයක් දැක තිබුණා. එවැනි තැන්වල ඇරුණු කොට ලංකාවේ ගෙවල්
වල නම් රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැහැ. පසුකාලයේ ලංකාවට රූපවාහිනිය ගෙන්වා ගැනීමේ
සාකච්ඡා සිදුවෙමින් තිබුණු වකවානුවක තමයි මේ ගීතය මා අතින් ලියැවුණේ.
”
“ඒ
ඇරුණු කොට පාවෙන දූපත්, පියාඹන අවන්හල් හා විදුලි දුම්රියට අදාළ කතා මම කියවලා
තිබුණේ පොත්පත්වලින්. මිනිස්සුන්ගේ විනෝදය වෙනුවෙන් යුරෝපය වගේම ජපානය වගේ
රටවල්වලත් පාවෙන දූපත් හා අවන්හල් වගේ හැදූ ගුවන්යානා ගැන විස්තර ඒ පොත්වල ඇතුළත්
වී තිබුණා. ”
“මෙන්න
මේ දේවල් තමයි මම ගීතයට එකතු කරගත්තේ” කුමාරසිරි පවසනවා.
මෙවැනි ගීතයක්
ලියන්න ඔහුට හිතුණේ කොහොමද? මේ අත්දැකීම ඔහුගේම එකක්ද? මේ පිළිබඳවත් අපි ඔහුගෙන් අසා
දැනගත යුතුයි.
“මේ
ගීතය මගේ අත්දැකීමක් නෙමෙයි. නමුත් මම දුටු සිදුවීමක් මූලික කොටගෙන තමයි මේ ගීතය
ලිව්වේ.
”
දයානන්ද
කුමාරසිරි ඒ කාලයේ රාජකාරි කළේ කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ අමාත්‍යාංශයේ.
“මම
කඳානේ සිට රැකියාවට යන්නේ එන්නේ දුම්රියේ. ඉතින් එක දවසක් මම කොටුව දුම්රිය පොළට
ඇවිත් යාළුවෙක් එනතුරු ටිකක් රැඳී සිටියා.
මම හිටියේ 1 සහ
2 පදික වේදිකා යාවෙන පාලම උඩ. මේ වෙලාවේ මම දැක්කා තරුණ ගෑනු ළමයෙක් ටිකක්
ලැජ්ජාවෙන් හා බියෙන් වගේම නොසන්සුන් ගතියෙන් යුතුව පහළ තිබෙන පදික වේදිකාව දිහා
බලා ඉන්නවා.
ටික වේලාවකින් ඒ
වේදිකාවට දුම්රියක් ආවා. මේ දුම්රියේ ආපු තරුණයෙක් ඊළඟට බොහොම කඩිමුඩියේ ඇය ළඟට
දුවගෙන ආවා.
තරුණිය එක්වරම
අර තරුණයාගෙන් ඇහුවා මෙච්චර වෙලා මොනවද කළේ?...මම දැන් කොයිතරම් වේලාවක් බලා
ඉන්නවද කියලා. ඔය අතරෙදි තරුණිය ලේන්සුවෙන් කඳුළු පිස දමන ආකාරයත් මා දුටුවා.
තරුණයා මේ මොහොතේ
ඇහුවා මොනවා කරන්නද? ඉලෙක්ට්‍රික් දුම්රියක් තිබුණා නම් මට විගහට එන්න තිබුණා....
මෙක ආවෙ හෙමින් කියලා...
ඔන්න ඔය සිදුවීම
තමයි ගීතය ලියන්න මුල් පසුබිම හැටියට සකස් වුණේ. ඉතින් මේ අදහස හිතේ තියාගෙන
පොත්පත්වලින් දැන තිබුණු දේත් උපයෝගී කරගෙන මම මේ ගීතය ලිව්වා. ඇත්තටම මොහොමඩ්
සාලි මහති වගේම රූපා ඉන්දුමතී හා ලක්ෂමන් රුද්‍රිගු දෙපොළගේ ගායනයත් මේ ගීතය ජනප්‍රිය
වෙන්න තදින් බලපෑවා. ”
දයානන්ද මේ
වෙද්දී විදේශගතව රාජකාරී කරනවා.
.....................................
ගීතයේ පසුබිම්
සංගීතය වන ධාවනය වන දුම්රියක හඬ සංගීත භාණ්ඩ ඇසුරින් ප්‍රතිනිර්මාණය කිරීම මොහොමඩ්
සාලි මාස්ටර්ගේ අගය කළ යුතු විස්මිත කාර්යයක් කියල කියන්න පුළුවන්.
මෙතැනින් ගීතය
අහන්න.
No comments:
Post a Comment