Sunday, April 7, 2013

ඔපරේෂන් තන්ඩර්බෝල්ට්

(Operation Thunderbolt) ඔපරේෂන් තන්ඩර්බෝල්ට්
මෑත අතීතයේ සිදුවූ සත්‍ය සිදුවීම් - 03

World major events in recent history in Sinhala language. Most of them were based for Hollywood movies.
බොහෝවිට සිනමාවට නැගී ඇති ලෝකයේ මෑත අතීතයේ සිදුවී ඇති ත්‍රාසජනක සත්‍ය කථා...සිංහලෙන්...

අන්තර්ජාලය ඇසුරින් පරිවර්තනය කොට ඉදිරිපත්කරන්නේ 
අයෝම ජයසිංහ
Ayoma Jayasinghe  -  ayolanka@gmail.com
Sri Lanka Rupavahini Corporation

ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවේ කොමාන්ඩෝ භටයින් විසින් වර්ෂ 1976 ජූලි මස 4 දින උගන්ඩාවේ එන්ටෙබේ අන්තර්ජාතික ගුවන් තොටුපළේ දී ප්‍රාණ ඇපයට පත්ව සිටි ගුවන් මගීන් පිරිසක් බේරාගැනීමේ ලොමු දැහැගන්වන ත්‍රාසජනක හමුදා ක්‍රියාන්විතය සිදුවූ ආකාරය පියවරෙන් පියවර මෙතැන් සිට ඔබට ඉදිරිපත් කරමි.


මෙම මෙහෙයුමේ නිල නාමය මෙනමින් හැඳින්වේ. ඔපරේෂන් එන්ටෙබේ (Operation Entebbe) , රේඩ් ඔෆ් එන්ටෙබේ හා ඔපරේෂන් යොනතන් ලෙසද ඇතැම් තැනක මෙය හැඳින්වේ.

ක්‍රියාන්විතයේ ජනප්‍රියභාවය නිසාම එම කතා තේමාව අළලා කලා නිර්මාණ රාශියක් බිහිවිය. නවකතා,ටෙලි නිර්මාණ හා සිනමා නිර්මාණ ඒ අතර විය. ඔපරේෂන් තන්ඩබෝල්ට් ඒ අතරින් විශිෂ්ඨ සිනමා නිර්මාණයක් ලෙස සම්මානයට පාත්‍රවිය.


ප්‍රාණඇපකරුවන් බේරාගැනීමේ යුධ ඉතිහාසයේ නොමැකෙන සළකුණක් තැබූ මෙම සිද්ධිය කාලයේ වැලි තලාවෙන් යට නොවී නැවත නැවතත් මතුවී එන්නේ එය වසරක් පාසා ජූලි 4 වැනි දින රටවල් කිහිපයක් විසින් සමරන බැවිනි.


සිදුකළ නොහැකි අතිදුෂ්කර කටයුත්තක් ලෙස විචාරකයන් විසින් හඳුන්වනු ලැබූ මෙම ක්‍රියාන්විතය විවිධ බාධක මැද වුව සාර්ථකව නිමකරන ලදී.

චිත්‍රපටනවකථා,ටෙලි නාට්‍ය හා පරිගණක ක්‍රීඩා සහා හොඳ අමුද්‍රව්‍යයක් වූ මෙම සිද්ධියට පසුබිම් වූ ඉතිහාසය හා එය සිදුවූ ආකාරය මෙතැන් පටන් ඔබ වෙත ගෙන එන්නෙමි.

ඉතිහාසය


දෙවන ලෝක යුද්ධය නිමාවීමත් සමග 1948  දී එක්සත් ජාතීන්ගේ උදව්ව ඇතිව මෙතෙක් පලස්තීනය වශයෙන් තිබූ රට ඊශ්‍රායලය හා පලස්තීනය ලෙස දෙකට බෙදී ගියේය.(මෙයට කදිම උදාහරණයක් ගත හැකිය. හින්දුන් හා ඉස්ලාම් ජනතාව මිශ්‍රව ජීවත්වූ ඉන්දියාව නම් දේශය ඉන්දියාව හා පකිස්ථානය ලෙස දෙකට බෙදී ගිය අන්දමයි.) මෙතෙක් පලස්තීනයේ මිශ්‍රව ජීවත්වූයේ පලස්තීන යුදෙව් ජනතාව හා පලස්තීන අරාබි ජනතාවයි. 1948 දී  පලස්තීනය දෙකට බෙදා පලස්තීන යුදෙව් ජනතාවට සදහා වෙනම රටක් වෙන්කරදුන් අතර එයට ඔවුන් ඊශ්‍රායලය ලෙස නම් තැබීය.මෙම තීරණයට පලස්තීනයේ ජීවත්වූ පලස්තීන අරාබි ජනයා අකමැතිවිය.ඊශ්‍රායලයත් පලස්තීනයත් වටකොට පිහිටියේ අරාබි රටවල්ය. සියළු අරාබි රටවල් පලස්තීනය හා එහි වැසි අරාබින්ට සහයෝගය දුන්හ.මේ නිසා පලස්තීනය ප්‍රමුඛ අරාබි රටවල් දශක ගනණාවක් තිස්සේ ඊශ්‍රායලය සමග වෛරයෙන් පසුවන අතර ඒ නිසාම ඉතිහාසය පුරාම වරින් වර දේපාර්ශවය අතර යුධ ගැටුම් ඇවිලී ගියේය. අදද එසේමය. මෙම ගැටුම්වල උච්ච අවස්ථාව පැමිණියේ වර්ෂ 1967 දීය. (දින 6 ක යුද්ධය) එහිදී ඊශ්‍රායලය වටකොට සියළුම අරාබි රටවල් පහර දෙන්නට විය. ඊශ්‍රායලය තනිවම සටන් කොට සතුරු රටවල්  සියල්ල පරදා ජයග්‍රහණය කළේය.ජයග්‍රහණයෙන් නොනැවතුනු ඔවුහු යුද්ධය අවසන් කළේ අනුන්ට අයත්ව තිබූ ප්‍රදේශ ගණනාවක් ද අල්ලා ගැනීමෙනි. කලක් අල්ලාගත් ප්‍රදේශ ලෙස හඳුන්වනු ලැබූ මෙම ප්‍රදේශ වූයේ ගාසා තීරය හා සිනායි අර්ධද්වීපය (ඊජිප්තුවෙන් ලබාගත් කොටස)බටහිර ඉවුර (ජෝර්දානයෙන් ලබාගත් කොටස)හා ගෝලාන් කඳුකරය (සිරියාවෙන් ලබාගත් කොටස)යි. එම නිසා  අල්ලාගත් අරාබි ප්‍රදේශවල පදිංචිව උන්නේ පලස්තීන සම්භවයක් ඇති ජනතාවය. ආසන්න රටවලට පැනගොස් අනාථ කඳවුරුවල රැඳී සිටි ඔවුන් හා ඊශ්‍රායලය අතර සටන් වෙනත් මගක් ගත්තේය. තම භූමිය නැවත අත්පත් කරගැනීම වෙනුවෙන් නොයෙක් විමුක්ති අරගල පලස්තීන ජනතාව අතර හටගැණුනි. පලස්තීන විමුක්ති සංවිධානය එවැන්නකි. එවැනි තවත් ගරිල්ලා සංවිධාන රාශියක් බිහිවිය. මේ නිසා පලස්තීනය ඊශ්‍රායලය සමග නොනවතින ගරිල්ලා සටනකට පිවිසිණි. ඊශ්‍රායලයද ගරිල්ලන් සොයා මෙහෙයුම් දියත් කළේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ගරිල්ලා භටයින් රැසක් ඊශ්‍රායලය විසින් අල්ලා සිරගෙට යවන ලදී. වෙනත් රටවල සිදුවූ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන්ද ඒ ඒ රටවල සිරගෙවල්වල පලස්තීන ක්‍රියාකාරීන් කොටුවූහ. සිරගෙවල් වල කොටුවූ ත්‍රස්තවාදීන් මුදාගැනීමටද ඔවුන් ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙන්නට වූහ. මෙම කතාවට පාදක වන්නේද ඔවුන්ගේ සගයින් මුදාගැනීමට සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාවකි.

(සැලකිය යුතුයි- අල්ලාගත් ප්‍රදේශ වූ ගාසා තීරය-1993 දී පලස්තීන අධිකාරියට හිමිව තිබුණත් පාලනය කළේ ඊශ්‍රායලයයි. 2005 දී ඊශ්‍රායල් හමුදා ඉවත්වූ අතර 2006 දී මැතිවරණයකින් හමාස් නම් සංවිධානයේ පාලනට යටත්විය. බටහිර ඉවුර හා ගෝලාන් කඳුකරය යන ප්‍රදේශ මෑතකදී මැදපෙරදිග සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස යලිත් පලස්තීනයට ලබාදුන් අතර අද පලස්තීන ජනතාව බහුතරයක් ජීවත්වන්නේ මෙම ප්‍රදේශ වලය.)


1976 ජූනි මස 27 දින ප්‍රංශ ගුවන් සේවයට අයත් එයාර් බස් A-300 වර්ගයේ ගුවන් යානය  (ෆලයිට්-139 දරණ අංකය යටතේ) මගීන් 246 දෙනෙකු හා ගුවන් සේවක සේවිකාවන් 12 දෙනෙකුද රැගෙන ඊශ්‍රායලයේ “ටෙල් අවිව්” ගුවන් තොටුපළින් ගුවන් ගතවිය. යානයේ ගමනාන්තය වූයේ ප්‍රංශයේ පැරිස් ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. ග්‍රීසියේ ඇතන්ස් ගුවන් තොටුපළින් මෙම යානයට ගොඩවීමට තවත් මගීන් 58 දෙනෙකු සමග ගුවන් කොල්ලකරුවන් සිව් දෙනෙකුද රැඳී සිටියහ. ඇතන්ස් ගුවන් තොටින් අහසට නැගි යානය එදින දහවල් 12.30 ට පමණ අහසේදීම ගුවන් කොල්ලකරුවන් අතට පත්විය.




පැහැරගනු ලැබුවේ මේ වර්ගයේ ගුවන් යානයකි.



කොල්ලකරුවන් වූයේ “පලස්තීන විමුක්තියේ ජනප්‍රිය පෙරමුණ” නම් පලස්තීන සංවිධානයේ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු හා  හා ජර්මනියේ ක්‍රියාත්මක වූ “විප්ලවීය පෙරමුණ” නම් වූ සංවිධානයේ ත්‍රස්තයින් දෙදෙනෙකි.  දෙවනුව කී ත්‍රස්තයන් දෙදෙනා අඹුසැමියන් වූහ. ඔහු නමින් “විල්ෆ්‍රඩ් බෝස් වූ අතර කොල්ල කල්ලියේ නායකයාද විය. ඇය “බ්‍රිජට් කුල්මාන් විය.





 විල්ෆ්‍රඩ් බෝස් - කොල්ලකල්ලියේ නායක- මෙහෙයුමේදී ඝාතනය විය.





බ්‍රිජට් කුල්මාන්- කල්ලි නායකයාගේ බිරි- මෙහෙයුමේදී ඝාතනය විය.



යානයේ ගමනාන්තය වෙනතකට හැරවූ කොල්ලකරුවෝ එය ලිබියාවේ බෙන්ගාසි ගුවන් තොටුපළට බස්සවන ලදී. එහිදී යානයට ඉන්ධන පිරවීමට පැය 7 කට ආසන්න කාලයක් නවතා තබන ලදී. මේ කාලය තුල ප්‍රසූතියට ආසන්නව සිටි ගැබිණි මවක් ලෙස ඇඟවූ එක් මගී කාන්තාවක් කොල්ලකරුවෝ නිදහස් කළහ. 28 දා සවස 3.15 ට පමණ බෙන්ගාසි ගුවන් තොටින් යානය නැවතත් අහසට නැගිණි. අවසානයේ කොල්ලකරුවෝ යානය උගන්ඩා අගනුවර වූ “කම්පාලා” නුවර ආසන්නයේ පිහිටි “එන්ටෙබේ” අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත රැගෙන යනු ලැබූහ.




යානය ඉන්ධන පිරවීම සදහා නතර කළ ලිබියාවේ බෙන්ගාසි  ගුවන් තොටුපළ




යානය අවසන් වරට නතර කළ උගන්ඩාවේ එන්ටෙබේ  ගුවන් තොටුපළ




“එන්ටෙබේ” හිදී තවත් කොල්ලකරුවන් සිව්දෙනෙකු යානයේ පැමිණි කොල්ලකරුවන් සිව්දෙනා සමග එක්විය. ඔවුන් එවකට උගන්ඩා නායකව සිටි “ඉඩි අමින්” ගේ පලස්තීනයට ලැදි හමුදා කණ්ඩයකට අයත් වූවන්ය.


ගුවන් මගීන් සියළු දෙනා ගුවන් තොටුපළේ පර්යන්ත ගොඩනැගිල්ලක (වර්තමානයේ මෙය පැරණි පර්යන්ත ගොඩනැගිල්ල ලෙස හැඳින්වේ.) රඳවා ඔවුන්ව කණ්ඩායම් දෙකකට වෙන් කරන ලදී. ඒ යුදෙව් හා ඊශ්‍රායල් ජාතිකයින් එක් පසෙකටද අනෙක් සියළුම මගීන් තවත් පසෙකටද වන අයුරිනි. යුදෙව් හා ඊශ්‍රායල් ජාතිකයින් වෙනම ශාලාවක රඳවනු ලැබීය.



මගීන් කොටසක් නිදහස් කිරීම

පළමු දිනයේ ඊශ්‍රායල් නොවන මගීන් 47 දෙනකු නිදහස් කරන ලදී. පසුදින ගුවන් තොටුපළට ගොඩ බැස්සවූ වෙනත් ප්‍රංශ ගුවන් යානයක් මගින් යුදෙව් නොවන මගීන් හා ගුවන් කාර්ය මණ්ඩලය නිදහස් කර පිටවී යාමට අවසර දෙන බව කොල්ලකරුවෝ නිවේදනය කළහ. ප්‍රධාන ගුවන් නියමු “මයිකල් බැකොස්” කොල්ලකරුවන් අමතා කියා සිටියේ ඉතිරිව සිටින සියළුම මගීන්ගේ වගකීම තමා වෙත පැවරී ඇති බැවින් ඔවුන්ව තනිකර දමා තමා නොයන බවය. ඔහුගේ තීන්දුව කාර්ය මණ්ඩලයේ අනෙක් අයද අනුමත කළහ. කෙසේ වෙතත් තවත් ඊශ්‍රායල් නොවන මගීන් 101 දෙනෙකු එම ප්‍රංශ ගුවන් යානයෙන් නිදහස් වීමට සලස්වන ලදී. ප්‍රංශ ජාතික පූජකවරියක් ද නිදහස්වීම ප්‍රතික්ෂේප කළෙන් ඇයවද එම ගුවන් යානයට බලයෙන් රැගෙන යන ලදී. 85 ක් පමණ වූ ඊශ්‍රායල් හා යුදෙව් ජාතික මගීන් පිරිස හා 20 ක් පමණ වූ යුදෙව් නොවන මගීන් හා ගුවන් නියමු කපිතාන් “බාකොස්” ඇතුලු කාර්ය මණ්ඩලයද ඉතිරිවූ පිරිසට අයත් විය. මේ අයුරින් සතියක් පමණ ඔවුන් ගොඩනැගිල්ලේ රඳවා තබනු ලැබූහ.


කපිතාන් මයිකල් බාකොස්  වර්තමානයේදී..




කොල්ලකරුවන්ගේ ඉල්ලීම්



කොල්ලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ ඊශ්‍රායල් සිරකඳවුරුවල ඉන්නා පලස්තීනුවන් 40 ක් හා විවිධ රටවල එනම් කෙන්යාවේ ප්‍රංශයේ, ස්විට්සර්ලන්තයේ හා බටහිර ජර්මනියේ සිරගෙවල් වල සිටි රැඳවියන් 13 දෙනකු නිදහස් කර ගැනීමය. 1976 ජූලි 1 වන විට ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවුනහොත් තම භාරයේ ඉන්නා ප්‍රාණ ඇපකරුවන් මරාදමන බවට ඔවුන් තර්ජනය කළහ.

ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමට ගත් විවිධ උත්සාහයන්

මුලදී හමුදා ක්‍රියාමාර්ගයකින් ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම දුෂ්කර යැයි සිතූ ඊශ්‍රායල් රජය මෙහෙයුමට සතියකට පෙර සිට ඒ සඳහා දේශපාලන ක්‍රියාමාර්ගද අත්හදා බැලුවේය. විශ්‍රාමලත් ඊශ්‍රායල් ආරක්ෂක හමුදා නිලධාරියෙකුවූ “බාරුක් බාලිව්” උගන්ඩා නායක ඉඩි අමින් සමග බොහෝ කාලයක් ඇසුරු කොට දැඩි මිත්‍රත්වයක් ඇතිකරගෙන සිටි අයෙකි. ඊශ්‍රායල් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ඔහු ඉඩි අමින් සමග දුරකථන සාකච්ඡාද පැවැත්වීය. එසේම ඊශ්‍රායල් රජය අමෙරිකාව මගින් එවක ඊජිප්තු ජනාධිපතිව සිටි අන්වර් සදාත් ලවා ද ඉඩි අමින්ට බලපෑම් ද එල්ල කළේය.


අවසන් දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබුණේ ජූලි 01 දිනයයි. නමුත් දින තුනකින් එනම් ජූලි 04 දක්වා එය දික්කර ගැනීමට හැකිවූයේ ඊශ්‍රායල් රජය කොල්ලකරුවන් සමග එකඟතාවකට එළඹීමෙන් පසුවය. මෙසේ කාලය දික්කරගැනීම, රහසේ දියත්වීමට යන හමුදා මෙහෙයුමට මහෝපකාරී විය. දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග අසාර්ථක වන බව දැනගත් ඊශ්‍රායලය හමුදා මෙහෙයුම කෙරෙහි විශ්වාසය තැබීය. ජූලි 03 වැනි දින ඊශ්‍රායල් කැබිනට් මණ්ඩලය මෙහෙයුම අනුමත කළේය.   

මෙහෙයුම සිදුවන අවස්ථාවේ මෙහෙයුමට සම්බන්වධ සිටි ලෝක නායකයන්




ඊශ්‍රායල් ජනපතිව සිටි ඒබ්‍රාහිම් කට්සිර්


ඊශ්‍රායල් අගමැතිව සිටි යිට්ෂැක් රබීන් 
(දෙවරක් අගමැතිවිය. 1974 හා 1992)


අමෙරිකන් ජනාධිපතිව සිටි ජෙරල්ඩ් ෆෝඩ්
(නිල කාලය-1974-1977) 



උගන්ඩා ජනාධිපතිව සිටි ඉඩි අමින්


ඊජිප්තු ජනාධිපතිව සිටි අන්වර් සදාත්

මෙහෙයුම් සැලැස්ම

ඊශ්‍රායලයේ රහස් ඔත්තු සේවය වන “මොසාඩ්” සංවිධානයේ උපදෙස් මත ඊශ්‍රායල් කොමාන්ඩෝ භටයන් විසින් ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුම සැළසුම් කොට ක්‍රියාත්මක කරන්නට විය. ලුතිනන් කර්නල් “ජෝෂුවා ෂානි” මෙහෙයුම් යානයේ ප්‍රධාන නියමුවාය. ඔවුන්ගේ මුල් සැලැස්ම වූයේ නාවික කොමාන්ඩෝ සෙබලුන් වික්ටෝරියා (එන්ටෙබේ ගුවන් ධාවන පථය කෙලවර පිහිටි විලකි.) විලට බස්සවා රබර් බෝට්ටු මගින් විල්තෙරට ගමන් කර එතැනින් ගුවන් තොටුපළට කඩාවැදීමයි. එම සැලැස්ම පසෙකට දැමූයේ එයට විශාල කාලයක් ගතවන නිසාය.




උගන්ඩාවේ වික්ටෝරියා විල- විල කෙළවර ඉදිරියට පෙනෙන්නේ 
එන්ටෙබේ ගුවන් තොටුපළේ ධාවන පථයයි.





               ප්‍රධාන මෙහෙයුම් යානයේ නියමු ජෝෂුවා ෂානි

මෙහෙයුම රාත්‍රියේ සිදුකිරීම සැළැස්ම විය. එය සැළසුම් කිරීමට සතියක් පමණ ගතවූ අතර ඒ සඳහා ඊශ්‍රායල් කොමාන්ඩෝ සෙබලු 100 දෙනෙකු රැගත් ගුවන් යානා කීපයක් ඊශ්‍රායලයේ සිට සැතපුම් 2500 ක් හෙවත් කිලෝ මීටර් 4000 ක් මගගෙවා උගන්ඩාවට පැමිණිය යුතුවිය.   


ඊශ්‍රායලයේ සිට උගන්ඩාවට ගමන් ගත් මාර්ගය


මෙහෙයුම් යානාවලට අතරමගදී ඉන්ධන සපයාගත් ආකාරය

මෙහෙයුම් යානාවලට (Lockheed C130 Hercules Aircraft) සැතපුම් දහස් ගණනක් මග ගෙවා යාමට සිදුවන බැවින් අතරමගදී කුමන හෝ ගුවන් තොටුපළකින් ඉන්ධන සපයාගත යුතුවිය. ඔවුන් ගමන් කළ මග දෙපස දිගටම පිහිටියේ නැගෙනහිර අප්‍රිකානු රටවල්ය. එම රටවල් බොහොමයක් ඉඩි අමින්ගේ උගන්ඩාව සමගත් පලස්තීනය සමගත් සබඳකම් පැවැත්වූ රටවල් නිසා ඔවුන්ගෙන් උදව් පැතීම අන්තරායකාරී විය. එසේම ඊශ්‍රායල් හමුදාවේ කිසිම යානයකට තම රටවල ගුවන් කලාපයට ඇතලුවීමට ඉඩ නොදීමට එම රටවල් එකගතාවකට පැමිණ තිබුණි. එවකට එම කලාපයේ මිලිටරි බලවතාව සිටියේ ද උගන්ඩාවය. අඩු වශයෙන් එක් නැගෙනහිර අප්‍රිකානු රටක හෝ සහයෝගය නොමැතිව මෙහෙයුම ඉදිරියට ගෙනයාම සිහිනයක් විය.


 

මෙහෙයුම සදහා සෙබලුන් ගෙනගිය
ලොක්හීඩ් සී-130 හර්කියුලිස් කාගෝ යානයක්
(මෙවැනි යානා 4 ක් මෙහෙයුමට සහභාගිවිය.)

කෙන්යාවේ පිහිටි “බ්ලොක්” (Block) හෝටල් සමූහයේ අධිපති යුදෙව් ජාතිකයෙකි. එසේම ඊශ්‍රායල් හා යුදෙව් ජාතිකයන් රැසක්ද ඔහු යටතේ නයිරෝබි නුවර හෝටල් රැසක සේවය කළහ. එසේම ඔවුන් එවකට කෙන්යා ජනාධිපතිව සිටි ජෝමෝ කෙන්යාටාට දේශපාලන වශයෙන් උදව් කරමින් සිටි නිසා ඔවුන්ගේ මාර්ගයෙන් කෙන්යා ජනපතිගෙන් යම් අවසරයක් ලබාගැනීමට හැකිවෙතැයි ඊශ්‍රායලය කල්පනා කළේය. ඊශ්‍රායලය ගත් උත්සාහය සඵල විණි. කෙන්යා ගුවන් සීමාව තරණය කිරීමටත් එරටෙහි වූ “ජෝමෝ කෙන්යාටා” අන්තර්ජාතික ගුවන් තොටුපළින් ඉන්ධන ලබාගැනීමටත් ඊශ්‍රායල් ගුවන් යානාවලට අවසර ලැබුණි. (කෙන්යාවේ සිටි යුදෙව්- ඊශ්‍රායල් ප්‍රජාව විසින් එන්ටෙබේ මෙහෙයුමට දුන් සහයෝගයට පළිගැනීමක් වශයෙන් පසුකලෙක එනම් 1980 දෙසැම්බර් 31 දින පලස්තීන විමුක්ති සංවිධානය විසින් “බ්ලොක්” හෝටල් සමූහ ව්‍යාපාරයට අයත් “නෝෆෝක්” නම් හෝටලය බෝම්බ ගසා විනාශ කරනු ලැබීය.)


ඊශ්‍රායලයට උදව් කළ කෙන්යා ජනපතිව සිටි
ජෝමෝ කෙන්යාටා
ජෝමෝ කෙන්යාටා අන්තර්ජාතික ගුවන් තොට
ප්‍රහාරයෙන් පසු එදා නෝෆෝක් හෝටලය දිස්වූ අයුරු
නෝෆෝක් හෝටලයේ අද තත්වය

ප්‍රාණ ඇපකරුවන් පිළිබද නිවැරදි චිත්‍රයක් ලබාගැනීම


මොසාඩ් නිලධාරින් මෙහෙයුම සැළසුම් කිරීම සඳහා, ප්‍රාණ ඇපකරුවන් ඉන්නා ස්ථානය, ඔවුන්ගේ ප්‍රමාණය, කොල්ලකරුවන්ගේ ප්‍රමාණය හා උගන්ඩා හමුදාවන් සිටින ස්ථානයන් යනාදී වැදගත් තොරතුරු ලබාගත්තේ විටින් විට නිදහස් කරනු ලැබූ ගුවන් මගීන්ගෙන්ය. 1960 සිට 1970 දක්වා අප්‍රිකානු රටවල විවිධ ප්‍රදේශවල ඉදිකිරීම් කොන්ත්‍රාත් භාරව සිටි ඊශ්‍රායල් සමාගම් මගින් ද තොරතුරු රැස්කෙරිණි. විශේෂයෙන් “සොලෙල් බොන්” (Solel Boneh) නම් සමාගම එන්ටෙබේ ගුවන් තොටුපළේ පර්යන්ත ගොඩනැගිල්ල (ප්‍රාණ ඇපකරුවන් රඳවා සිටි ගොඩනැගිල්ල) සැළසුම් කළ නිසා ඔවුන්ගේ තොරතුරුද මෙහෙයුමට මහෝපකාරී විය. තවද එම සමාගමේ උපදෙස් ඇසුරින් නියම පර්යන්ත ගොඩනැගිල්ලේ ආකෘතියක් ඉදිකර එමගින් මෙහෙයුම පුහුණු වීමටද අවකාශ ලැබුණි.



මෙහෙයුමේ සංවිධායක “මුකී බෙට්සර්” (Muki Betzer) පසුකලෙක මාධ්‍යයට පැවසූ පරිදි, කලින් නිදහස් කළ ගුවන් මගීන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්නකර තොරතුරු ලබාගෙන තිබුණි. එසේම හමුදා පසුබිමක් තිබූ ප්‍රංශ-යුදෙව් ජාතික ගුවන් මගියෙකුගෙන් කොල්ලකරුවන් අත තිබූ අවි ආයුධ පිළිබඳ නිවැරදි විස්තරයක් ලබාගන්නා ලදී. මේ ආකාරයෙන් ලබාගන්නා ලද සියලු තොරතුරු ඇසුරින් බෙට්සර් මෙහෙයුම සැලසුම් කළේය. එන්ටෙබේ ගුවන් ආරක්ෂණ පද්ධතියට හසුනොවන ආකාරයට සී- 130 හර්කියුලිස් මගී ගුවන් යානා හතරක් එන්ටෙබේ බලා මධ්‍යම රාත්‍රීයේදී පියාසර කරන්නට විය.



මෙහෙයුමේ මොළකරු මුකී බෙට්සර්



සිය දෙනෙකුගෙන් සමන්විත ඊශ්‍රායල් බිම් කාර්යය බලකායේ සමස්ත අණදෙන නිලධාරියා වූයේ බ්‍රිගේඩියර් ජනරාල් “දන් ෂැම්රෝන්ය. මෙම බලකාය බලඇණි දෙකකින් සමන්විත විය. එකක් 29 දෙනෙකුගෙන් යුත් ප්‍රහාරක බලඇණිය වූ අතර එහි නායකයා වූයේ ලුතිනන් කර්නල් “ජොනතන් නෙතන්යාහුය. (මොහු මෙහෙයුමේදී මරණයට පත්වූ අතර ඒ නිසාම ඊශ්‍රායල් ජනතාවගේ වීරයෙකු බවටද පත්විය. එසේම හෙතෙම වත්මන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ වැඩිමහල් සහෝදරයාය.) පර්යන්ත ගොඩනැගිල්ලට පහරදී කොල්ලකරුවන් විනාශ කොට ගුවන් මගීන් බේරාගැනීම මෙම බලඇණියට පැවරුණි.


මෙහෙයුමේ සමස්ථ අණදෙන නිලධාරී
දන් ෂැම්රොන්- මොහු 1967 දින හයේ යුද්ධයටද සහභාගී වූ අයෙකි.


ප්‍රහාරක බලඇණියේ නායක
ප්‍රහාරයේදී මියගිය එකම ඊශ්‍රායල් සෙබල -ජොනතන් නෙතන්යාහු.


ජොනතන් නෙතන්යාහුගේ සහෝදර  වත්මන් ඊශ්‍රායල් අගමැති
බෙන්ජමින් නෙතන්යාහු


අනෙක් බලකාය සහායක බලඇණියයි. ඔවුන්ට කාර්යයන් කීපයක් පැවරී තිබුණි. මෙහෙයුම් ප්‍රදේශය ආරක්ෂා කිරීම, සී-130 යානා මගින් මෙහෙයුමට බාධාවක්වන ඕනෑම සතුරු හමුදාවකට ප්‍රහාර එල්ල කිරීම, උගන්ඩා ගුවන් හමුදාවෙන් එල්ලවෙතැයි සිතූ ප්‍රතිප්‍රහාරයන් වැළැක්වීම සඳහා තොටුපළේ නවතා තිබූ උගන්ඩාවට අයත් මිග් ප්‍රහාරක යානා සියල්ල විනාශ කිරීම මොවුන්ට පැවරී තිබුණි. එසේම මුදාගත් මගීන් ඉක්මණින් යානා වලට ගෙනයාම හා යානාවලට ඉන්ධන පිරවීම ද මෙම කණ්ඩායමට පැවරී තිබුණි.  


ප්‍රහාරක ගමන්මග සහ එන්ටෙබේ වෙත කිසිවෙකුගේ ඇස නොගැටෙන අයුරින් ඇතුලුවූ ආකාරය 


ඊශ්‍රායලයෙන් පිටත්වූ පසු සිනායි අර්ධද්වීපයේ දකුණු තුඩුවේ පිහිටි ෂාම් අල් ෂේක් නගරයට උඩින් පියාසර කරමින් තිබූ යානය රතු මුහුද හරහා වැටී තිබූ අන්තර්ජාතික ගුවන් මාර්ගයට පිවිසිණි. බොහෝවිට යානය පියාසර කළේ පොළොවේ සිට මීටර් 30 හෙවත් අඩි 100 ක් පමණ ඉහළිනි. ඒ ඊජිප්ත්තුවේ, සුඩානයේ හෝ සවුදි අරාබියේ රේඩාර් පද්ධති වලට හසුනොවීම සඳහාය.

හර්කියුලිස් කාගෝ යානා පිටුපස ඊශ්‍රායල් ගුවන් හමුදාවට අයත් බෝයිං 707 යානා 2 ක් ද ගමන්ගති. පළමු බෝයිං යානය වෛද්‍ය පහසුකම් වලින් සමන්විතවූ අතර එය කෙන්යාවේ නයිරෝබි නුවර ජෝමෝ කෙන්යාටා ගුවන් තොටේ නවතනු ලැබීය. අනෙක් බෝයිං යානය මෙහෙයුම සිදුවන අවස්ථාවේදී මෙහෙයුම් අණදෙන නිලධාරී ජනරාල් “යකුටි ඇඩම් සමගින් ගුවන් තොට වටා අහසේ සැරිසරමින් සිටියහ.




බෝයිං 707 යානාවක්


අවසානයේදීප්‍රධාන ප්‍රහාරක යානය එන්ටෙබේ ගුවන් ධාවන පථය කෙළවරට ගොඩබසින ලද්දේ යානයේ කාගෝ කුටියේ දොරවල්ද විවෘත කරගෙනය. කාගෝ කුටිය තුලින් ක්‍රමයෙන් එළියට පැමිණියේ කලු පැහැති “මර්සිඩිස් බෙන්ස් වර්ගයේ රථයකුත්ඊට පිටුපසින් “ලෑන්ඩ් රෝවර් රථයකුත්ය. සාමාන්‍යයෙන් උගන්ඩා ආඥාදායක ඉඩි අමින් භාවිතා කරන නිලරථයට සමාන ලෙස සැකසූ බෙන්ස් රථය එයයි. ඒ සමගම ඔහුගේ නිල රථයට පිටුපසින් කවදත් ගමන් කරන ලෑන්ඩ් රෝවර් රථයට සමාන ලෙස අනෙක් රථය සකසා තිබුණි.



මෙහෙයුමට යොදාගත් බෙන්ස් රථය මෙහි දැක්වේ.


රථ දෙකේම සැගවී පැමිණියේ ඊශ්‍රායල් ප්‍රහාරක බලකායයි. ඔවුන් මෙවැනි උපායක් අනුගමනය කළේ ආරක්ෂක මුරකාවල් තුළින් පහසුවෙන් රිංගා යාමටය. ඉඩි අමින් ගුවන් තොටුපළට පැමිණෙන සුපුරුදු ආකාරයටම ඔවුන් ද පර්යන්තය අසලට ගමන් කළේය. එහිදී අනපේක්ෂිත දෙයක් සිදුවිය.


උගන්ඩා ආරක්ෂක භටයින් දෙදෙනෙකු වාහනය නවතන්නට අණ කළහ. මෙතෙක් නිසොල්මනේ පැමිණි කොමාන්ඩෝ භටයින් ක්ෂණිකව තම අත තිබූ සයිලන්සර් පිස්තෝල භාවිතාකොට ඔවුන්ව නිහ කලේ මරා දැමීමෙන් නොව අඩපණ කිරීමෙනි. (මෙහෙයුම නිමකොට ආපසු යන ගමනේදී එක් ඊශ්‍රායල් භටයකු විසින් අනපේක්ෂිතව තබන ලද වෙඩි පහරකින් ඔවුන් දෙදෙනා ඝාතනය වූ බව පසුව දැනගන්නට ලැබුණි.)


ක්ෂණිකව පර්යන්ත ගොඩනැගිල්ලට ඇතුළුවූ ප්‍රහාරක බලඇණිය නිසා කොල්ලකරුවන් අන්දමන්ද වූහ.



ප්‍රහාරයට සම්බන්ධ පර්යන්තයත් (අද පැරණි පර්යන්තය ලෙස 
හදුන්වන)හර්කියුලිස් යානයකුත් එක්කොට 1994 දී ගන්නා ලද
ඡායාරූපයක්.ඡායාරූපය දෙස ඔබ හොදින් බැලූවිට එදා වූ ප්‍රහාරයේදී වූ වෙඩිතැබීමේ සළකුණු පර්යන්තය ඉහළ කොටසේ දක්නට ඇත.


බේරාගැනීම

කොමාන්ඩෝ සෙබළුන් විදුලි වේගයෙන් වාහන වලින් පැන ප්‍රධාන ශාලාවට කඩාපැන්නහ. ප්‍රධාන ශාලාව යනු පර්යන්ත ගොඩනැගිල්ලට යාබදව පිහිටි ප්‍රාණ ඇපකරුවන් රැදී සිටි ශාලාවයි. ශාලාවට ඇතුලුවනවාත් සමග සෙබළුන් “පහත් වෙන්න පහත් වෙන්න අපි ඊශ්‍රායල් සෙබළු යැයි හීබෘ හා ඉංග්‍රීසි බසින් කෑගැසීය. මෙහිදී බලාපොරොත්තු නොවූවක් සිදුවිණි. පහත් වෙන්න යැයි දුන් අණ නොඇසුණු හෝ නොවැටහුණු “ජීන් මැකස් මයිමෝනී” නම් ප්‍රංශ ජාතික 19 හැවිරිදි තරුණයා මුකී බෙට්සර් හා තවත් සෙබළෙකු විසින් තබන ලද වෙඩි පහරකින් මරුමුවට පත්විය. ඒ ඔහු කොල්ලකරුවකු යැයි වරදවා වටහා ගත් නිසාය. ඊශ්‍රායල් වෛද්‍ය රක්ෂණ සමාගමක කළමනාකරුවකුවූ 52 හැවිරිදි “පස්කෝ කොහෙන් නම් පුද්ගලයෙකුටද වෙඩි වැදී බරපතල තුවාල සිදුවිය. (මොහු කෙන්යානු රෝහලක ප්‍රතිකාර ලැබ පසුව මියගියේය.) තවද රුසියානු යුදෙව් ජාතිකයෙකුවූ 56 හැවිරිදි “ඉඩා බොරොචෝවිට් නම් මගියෙකුද වෙඩි හුවමාරුවේදී මරුමුවට පත්විය.



මෙහෙයුමේදී නිකරුණේ මියගිය තරුණයා-
මයිමෝනි



මයිමෝනිගේ  ඡායාරූපය අතැතිව සොවින් තැවෙන
ඔහුගේ දෙමව්පියන්

පසුව ලැබුණු  ආරංචි මාර්ග අනුව මෙහෙයුම ආරම්භවූ පසු මගීන් රැදී සිටි ශාලාවට ඇතුලුවූ එකම කොල්ලකරුවූයේ කොල්ල නායක විල්ෆ්‍රඩ් බෝස්ය. මුලදී මගීන් වෙත සිය රයිෆලය මානාගෙන සිට ඉන්පසු ඔවුන්ව ආරක්ෂක ස්ථාන වලට යන ලෙස උපදෙස් දී තිබුණි. බෝස් නිතරම ඉලක්කය ලබාගත්තේ කොමාන්ඩෝ සෙබළුන්ට විනා ප්‍රාණඇපකරුවන්ට නොවන බව සිද්ධිය ඇසින් දුටු අය පසුව ප්‍රකාශ කොට තිබුණි.


එක් අවස්ථාවකදී ඊශ්‍රායල් සෙබළුන් හීබෘ බසින් මගීන් අමතා “අනෙක් කොල්ලකරුවන් කෝ යැයි විමසීය. මගීන් ප්‍රධාන ශාලාවේ ඇති දොර කවුළුවක් පෙන්වමින් ඔවුන් එහි ඇතැයි හැවීය. සෙබළුන් ඒ තුලට ග්‍රෙ‍නේඩ් බෝම්බ වලින් දමා ගැසූහ. කාමරය තුලට කඩාවැදුනු කොමාන්ඩෝ භටයින් ඉතිරිව සිටි කොල්ලකරුවන් මරා දමා ප්‍රහාරය අවසන් කළහ.


මේ වනවිට අනෙක් සී - 130 යානා තුන ගුවන්තොටට ගොඩබස්වා ඒ තුල රැගෙන ආ යුධරථ බිමට ගැණිනි. යානා වලට ඉන්ධන පුරවන තෙක් ඒවාට ආරක්ෂාව සැපයීමත්සතුරන් මෙහෙයුම කඩාකප්පල් කිරීමට ප්‍රතිප්‍රහාර දේවි යැයි සිතා ගුවන්තොටේ නවතා තිබූ උගන්ඩාවට අයත් මිග් ප්‍රහාරක යානා විනාශ කිරීමත් මෙම යුධ රථවලට පැවරුණි. 




පිටත්වීම

මෙහෙයුමෙන් පසු ප්‍රහාරක බලඇණිය කඩිනමින් ගුවන්යානාවලට පැමිණියේ ගුවන් මගීන් යානාවලට පැටවීමට සහායවීම ස‍ඳහාය. උගන්ඩා සොල්දාදුවෝ මේ අවස්ථාවේදී ක්‍රියාත්මක විය. පර්යන්ත කුළුන මුදුනේ සිට ඔවුන් වෙඩි තබන්නට විය. කුළුන මුදුනේ සිට පැමිණි උන්ඩයක් ප්‍රහාරක බලඇණි නායක ලුතිනන් කර්නල් “ජොනතන් නෙතන්යාහු”ගේ උර තලයට වැදිණ. සුළු වේලාවකින් මරු වැළඳගත් ඔහුට වැදී තිබුණේ ස්නයිපර් උණ්ඩයක් බව පසුව හෙළිවිණ. මෙහෙයුමේදී මියගිය එකම ඊශ්‍රායල් කොමාන්ඩෝ සෙබලා ඔහුය. ඊශ්‍රායල් කොමාන්ඩෝ සෙබළුන් සැහැල්ලු අවි හා ආර්.පී.ජී. වලින් ප්‍රතිප්‍රහාර දුන් අතර උගන්ඩා සෙබළුන් බොහෝ ගණනක් බරපතල තුවාල ලැබීය. සියළුම මගීන් හා නෙතන්යාහුගේ දේහයද නංවාගත් ඊශ්‍රායල් සෙබළුන් එදින රාත්‍රියේම එන්ටෙබේ හැරදමා ආපසු සියරට බලා ඒමට පිටත් වූහ.


සම්පූර්ණ මෙහෙයුමට විනාඩි 53 ක් ගතවූ අතර ප්‍රහාරය සඳහා පමණක් විනාඩි 30 ක් ගතවිය. සිද්ධිය වන අවස්ථාවේ සිටි කොල්ලකරුවන් හත් දෙනෙකුද, උගන්ඩා හමුදාවේ සොල්දාදුවන් 45 දෙනෙකුද, ප්‍රාණ ඇපකරුවන්ව සිටි මගීන් තිදෙනෙකුද, ප්‍රහාරක කණ්ඩායමේ නායකත්වය දැරූ ලුතිනන් කර්නල් “ජොනතන් නෙතන්යාහු” ද මරණයට පත්විය. කොමාන්ඩෝ සෙබළු පස්දෙනෙකු හා ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු තුවාල ලැබීය. එසේම ගුවන් තොටුපළේ නවතා තිබූ උගන්ඩාවට අයත් මිග්-17 හා මිග්-21 වර්ගයේ සෝවියට් දේශයේ නිෂ්පාදිත ප්‍රහාරක යානා 11 ක් විනාශ විය. බේරාගත් මගීන් 102 දෙනකු කෙන්යාවේ නයිරෝබි නුවර හරහා ඊශ්‍රායලයට පිටත් කළහ.



මෙහෙයුමෙන් පසු උගන්ඩාවේ ප්‍රතිචාරය

මෙහෙයුමෙන් පැය 24 කට පසුව අසල පිහිටි රෝහලක (Mulago Hospital in Kampala) ප්‍රතිකාර ලබමින් සිටි ගුවන් මගී කාන්තාවක් ද උගන්ඩා හමුදා නිලධාරින් විසින් ඝාතනය කරනු ලැබිය. ඇය මෙහෙයුමට පෙර කොල්ලකරුවන්ගේ ප්‍රාණ ඇපයේ සිට හදිසියේ අසනීපව රෝහල් ගත කර තිබූ කාන්තාවකි. (75 හැවිරිදි “ඩෝරා බෝ” ) 


ඩෝරා බෝ මහත්මිය



පවුලේ සමීප ඥාතීන් ඩෝරා බෝ මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අයුරු 

මේ නිසා මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ ගණන 4 කි. 1987 දී උගන්ඩා අධිකරණ අමාත්‍යවරයා උගන්ඩා මානව හිමිකමි කොමිසමට ඩෝරා බෝ මහත්මියගේ අවසානය සිදුවූ ආකාරය පැහැදිලි කළේය. ඉඩි අමින්ගේ නියෝග මත උගන්ඩා යුධ භටයින් දෙදෙනෙකු විසින් රෝහල් ඇද මත උන් ඇයව ඇදගෙන අවුත් වෙඩි තබා මරා දමා ඇති බව ඉන් හෙළිවිණ. ඉන්පසු ඇගේ දේහය උගන්ඩා බුද්ධි අංශයට අයත් වාහනයක ඩිකියේ දමාගෙන ගිය බව ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඇගේ සිරුරේ කොටස් සිද්ධියෙන් වසර තුනකට පසු එනම් 1979 දී (උගන්ඩා -ටැන්සානියා යුද්ධය හේතුවෙන් ඉඩි අමින්ගේ පාලනය අවසන්ව තිබූ වකවානුවේදී) කම්පාලා නුවරට කිලෝ මීටර් 32 ක් නැගෙනහිරින් පිහිටි උක් වගාවක් අසල තිබී සොයාගන්නා ලදී. තවද මෙහෙයුමට පසු ඉඩි අමින් විසින් උගන්ඩාවේ ජීවත්වන අහිංසක කෙන්යානු ජාතිකයින් සිය ගණනක් මරා දැම්මේ කෙන්යාව විසින් ඊශ්‍රායලයට කල සහයෝගයට පළිගැනීමක් ලෙසය.


මෙහෙයුමෙන් පසු ඇතිවූ තත්වයන්

· තම රටේ ස්වෙරීත්වයට කළ හානිය නිසා හමුදා මෙහෙයුම දැඩි ලෙස හෙළා දැකිය යුතු යැයි උගන්ඩා රජය විසින් එක්සත්ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේය. උගන්ඩාව හෝ ඊශ්‍රායලය ගෙන එන කිසිම යෝජනාවක් අනුමත නොකිරීමට අවසානයේ ආරක්ෂක මණ්ඩලය තීරණය කළේය. ඊශ්‍රායල් තානාපති (Chaim Herzog) ආරක්ෂක කවුන්සලයට කළ දේශනයේදී ප්‍රකාශ කර සිටියේ ජාතිබේද නොසලකා අප ඉටුකළේ මානුෂික මෙහෙයුමක් බවත් එහිදී ගැහැණුන්, මිනිසුන් මෙන්ම කුඩා ළමුන් ඇතුළු අහිංසක ජනතාව සිය දෙනෙකුගේ ජීවත්වීමේ නිදහස තහවුරු කළ බවත්ය.  
   
· බටහිර ජාතීන් මෙහෙයුමට පක්ෂපාතීව කතා කළ අතර බටහිර ජර්මනිය එය ආත්මාරක්ෂාව වෙනුවෙන් ගත් පියවරක් ලෙස අර්ථ දැක්වීය. ප්‍රංශය හා ස්විසර්ලන්තය මෙහෙයුමට ප්‍රශංසා කළහ. අමෙරිකාව හා එංගලන්තය එය අදහාගත නොහැකි මෙහෙයුමක් ලෙස හඳුන්වමින් දැඩි ලෙස වර්ණනා කළහ. විශේෂයෙන් අමෙරිකාව නිදහස ලබා හරියටම වසර 200 ක් ඉක්ම ගිය 1979 ජූලි 4 දිනම මෙහෙයුම සිදුවීම අමෙරිකාවට විශේෂත්වයක් විය.

· මෙහෙයුමෙන් උගන්ඩා සොල්දාදුවන් සැලකිය යුතු ප්‍රමාණයක් මියගිය නිසා එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම්ව සිටි කූට් වෝල්ඩ්හයිම් විසින් එය උගන්ඩාවේ ස්වාධීනත්වය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස  අර්ථ දැක්වීය. අරාබි හා කොමියුනිස්ට් රටවල් එය හෙළා දකිනු ලැබූ අතර ප්‍රචණ්ඩත්වය මුදාහැරීමක් ලෙසද හැඳින්වීය.

·  කොල්ලකරුවන් ලබාදුන් නිදහස ප්‍රතික්ෂේප කළ ප්‍රංශ ගුවන් නියමු කපිතාන් බාකොස් ට සිය රටේ දී පිළිගැනීමක් නොලැබුණි. ඔහුව නිලයෙන් පහළට දමා සුළු කාලයකට වැඩතහනමට ලක්කෙරුණි. නමුත් හෙතෙම පසුකලෙක ජාතික ගෞරව සම්මානයෙන් පුද ලද අතර කාර්ය මණ්ඩලයේ සෙස්සන් ප්‍රංශ මෙරිට් සම්මානයෙන් පුදනු ලැබීය.

· මියගිය නෙතන්යාහු ගේ සහෝදරයින් (වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හා ඉඩෝ නෙතන්යාහු) හා විශේෂ බලකායේ සාමාජිකයින් අතර නෙතන්යාහුගේ මරණය හා මෙහෙයුමේ අසාර්ථකවූ උපාය මාර්ගයන් පිළිබව වාද විවාද ඇතිවිය.

· 2012 දී උගන්ඩාවත් ඊශ්‍රායලයත් එක්ව නෙතන්යාහුගේ මරණය සිදුවූ පැරණි පර්යන්ත ගොඩනැගිල්ල ඉදිරිපිටදී එන්ටෙබේ සිද්ධිය සමරනු ලැබීය. එහිදී එම දෙරටම ත්‍රස්තවාදයට එරෙහි ප්‍රතිපත්තිය නැවත සපථ කළ අතර මානුෂිකත්වයෙන් ඉදිරියටත් ක්‍රියාකළ යුතු බව කියා සිටියහ. මෙම උත්සවයේදී මියගිවුන් සිහිකර නිශ්ශබ්දතාව පවත්වා මල්වඩම් තැන්පත් කර ගුණ කථා හා කවි ගායනාද කරනු ලැබීය. දෙරටේම ජාතික ධජ ඔසවා එකිනෙකාගේ රාජ්‍ය තාන්ත්‍රික සබතා තහවුරු කළ අතර මෙහෙයුමේ කෙටි ඉතිහාසයක් සහන් සමරු ඵලකයක්ද විවෘත විණි. මෙම උත්සවයට උගන්ඩා පශු සම්පත් අමාත්‍ය (වත්මන්) බ්‍රයිට් වමිරවා (Bright Rwamirama) සහ ඊශ්‍රායල් නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ඩැනියල් එයොලොන් (Daniel Ayalon) සහභාගි වූහ.




එන්ටෙබේ සිද්ධියේ 36 වැනි සංවත්සරයට සහභාගිවූ ඩැනියල් එයොලෝන්                 


සිද්ධියේ විශේෂ සිහිවටන





බේරාගත් මගීන් ඊශ්‍රායලයේ බෙන් ගූරින් ගුවන් තොටට පැමිණි පසු 
යානයෙන් ජයග්‍රාහිව පිටතට පැමිණෙන අයුරු.අවසන් ඡායාරූපයේ එවකට ඊශ්‍රායල් අගමැතිව සිටි යිට්ෂැක් රබීන් මගීන්ගෙන් සුවදුක් විමසූ ආකාරය දැක්වේ.

සිද්ධිය ජනතාව අතරට ගෙනගිය නිර්මාණ

 

රේඩ් ඔන් එන්ටෙබේ නමින් නිපදවූ මුල්ම චිත්‍රපටය. මෙහි හොලිවුඩ් සුපිරි නලු චාල්ස් බ්‍රොන්සන් රගපෑවේ දන් ෂැම්රොන්ගේ චරිතයයි.


රේඩ් ඔන් එන්ටෙබේ හි දර්ශනයක්. ඉදිරියෙන් සිටින්නේ 
ප්‍රධාන කොල්ලකරුගේ චරිතයට පනපොවන නළුවායි.


ඔපරේෂන් තන්ඩබෝල්ට් නමින් දෙවනුව නිපදවූ චිත්‍රපටය. මෙහි දක්වා ඇති පෝස්ටරයේ තේමා පාඨය වූයේ  ලෝකය බලාසිටියා ..ලෝකය ඉවසන් සිටියා.. අන්තිමේ ලෝකයම ඔල්වරසන් නැගුවා යන්නයි. ප්‍රකට නළු  කලවුන්ස් කින්ස්කි ”රගපෑවේ ප්‍රධාන කොල්ලකරුගේ චරිතයයි.


ඔපරේෂන් තන්ඩබෝල්ට් හි කලවුන්ස් කින්ස්කි ”රගපෑ දර්ශනයක්






මෙහෙයුම අළලා නිපදවුනු විවිධ වීඩියෝ චිත්‍රපට හා වීඩියෝ ක්‍රීඩා
කිහිපයක් ඉහළින් දැක්වේ.






මෙහෙයුම අළලා ලියැවුනු නවකතා කිහිපයක් ඉහළින් දැක්වේ.











3 comments:

  1. නියම ලිපියක් දිගටම ලියන්න මේ වගේ සත්‍යය අමුතු සිදුවීම් ගැන
    ස්තූතිවන්ත වෙනවා මේ වගේ ලිපි වලින් අපේ දැනුම අලුත්කරන එක ගැන
    දිගටම ලියන්න ශක්තිය හැකියාව ලැබේවා !

    ReplyDelete
  2. නොදත් කරුනු ගොඩක් ගැන දැනුවක් උනා.. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. විවේක මදකම නිසා කාලෙකින් හොඳ ලිපියක් ලියන්න බැරිවුනා. මගේ තරුණ කාලේ රූපවාහිනී නොතිබූ නිසා අපි ඒ කාලේ වැඩිපුරම පුවත්පත් බැලුවා.ඒ පුවත්වල එකල සිදුවූ ප්‍රකට සිදුවීම් සජීවිව වාර්තා වුනා. අපි ඒවා ආසාවෙන් රස වින්දා. ඒ නිසයි ඉතිහාස රසයක් අපට ඇතිවුනේ. ඉතිස්තුතියි ඔබේ කොමෙන්ටුවට.

      Delete