Thursday, July 24, 2014

Captain Phillips - කැප්ටන් පිලිප්ස් කතාවේ පසුබිම

Captain Phillips - කැප්ටන් පිලිප්ස් කතාවේ පසුබිම



කැප්ටන් පිලිප්ස් - සත්‍ය කතාවක පසුබිම

මුහුදු මංකොල්ලකරුවන් (Pirates) කියූ සැණින් අප කුඩා කල මතකයට නැගුණේ අපූරු චිත්‍රයකි. මිනී ඔළුවක් සහ ඇට කැබලි දෙකක් සහිත ලාංඡනයක් යෙදූ කොඩියක් රැගත් නෞකාවක ගමන් ගන්නා එකැසක් කළු රෙදි පටියකින් වසා සිටින පුද්ගලයෙකි. ඔහු විශාල තොප්පියක් හිසෙහි ලාගෙන දෙඅත්හිම තුවක්කු රඳවා ගෙන සිටී. මොවුහු මුහුදේ ගමන් ගන්නා වෙනත් නෞකා වලට පහරදී ඒවායෙහි ඇති වස්තුව කොල්ලකා පලායති. මුහුදු කොල්ලකරුවන් පිලිබඳ මෙවැනි මතකයන් එන්නේ අප කුඩා කාලයේදී කියැවූ සහ බැලූ ඉංග්‍රීසි චිත්‍රකතා හෝ එවැනි චිත්‍රපට නිසාය. එසේම එවැනි කතා ගෙතීමට පාදක වූ ක්‍රි.වර්ෂයට පෙර යුගය තරම් ඈත සිදුවූ සත්‍ය කතා වලද මුහුදු කොල්ලකරුවන් සැරසී ඇත්තේ ඉහත කී ආකාරයටම බව ඉතිහාසයේ සඳහන්ව ඇත. මෑතක නිපදවූ හොලිවුඩ් චිත්‍රපටයක් වන “පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්” (Pirates of the Caribbean) වල ප්‍රධාන චරිතයද මා ඉහත කියූ මුහුදු කොල්ලකරුවෙකි. 


ජැක් ස්පැරෝ රඟන පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් චිත්‍රපටයේ පෝස්ටරයක්


නමුත් වර්තමානයේ මුහුදු කොල්ලකරුවන් පිළිබඳ ප්‍රවෘත්ති අපට පුවත්පත්, රූපවාහිනී හෝ අන්තර්ජාලයෙන් ලැබේ. ඒ සෑම ප්‍රවෘත්තියකින්ම ලැබෙන තොරතුරු නිසා මුහුදු කොල්ලකරුවන් (Pirates) කියූ සැණින් අද මතකයට එන්නේ අප්‍රිකානු රටක් වන සෝමාලියාවේ සිට බෝට්ටු මගින් ගැඹුරු මුහුදට පැමිණ, ඒ අසලින් ගමන් ගන්නා මගී හා භාණ්ඩ ප්‍රවාහන නෞකා කොල්ලකා පලා යන මුහුදු කොල්ලකරුවන් පිරිසකි. ඔවුන් ඇතැම්විට නෞකාවල භාණ්ඩ හෝ මුදල් කොල්ලකන අතර තවත් විටක නැව් පිටින් ප්‍රාණ ඇපයට ගනී. එම නැව් නිදහස් කිරීම සඳහා අදාල බලධාරීන් හෝ සමාගම් වලින් කොල්ලකරුවන් විශාල කප්පම් මුදල් ඉල්ලයි. නෞකාවල මෙන්ම කුඩා යාත්‍රා වල ගමන් ගන්නා වැදගත් පුද්ගලයින්ව හෝ ධීවරයින්ව පැහැරගෙන ගොස් ඔවුන් වෙනුවෙන් විශාල කප්පම් මුදල් ඉල්ලා සිටීම සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ නව ප්‍රවණතාවයි. මේ අනුව දැන් සෝමාලියානු කොල්ලකරුවන්ගේ මුඛ්‍ය අරමුණ ඩොලර් කෝටි ගණන් මුදල් උපයා ගැනීමය. 2009 වසරේ සිදුවූ මෙවැනි පුද්ගල පැහැරගැනීමක් ලොව පුරා පුවත් මැවූ විශේෂ සිද්ධියක් බවට පත්විය. ඒ 2009 අප්‍රේල් 08 දින “මාර්ස්ක් ඇලබාමා” (Maersk Alabama) නම් අමෙරිකාවට අයත් කන්ටේනර් නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සිව්දෙනෙකු විසින් පැහැරගෙන පසුව එහි සිටි කපිතාන්ව ප්‍රාණ ඇපයට තබා මුදල් ඉල්ලා සිටීමේ සිද්ධියයි. ත්‍රාසජනක සිද්ධි මාලාවකින් පිරි මෙම කතාන්දරය 2013 දී (Captain Phillips) ලෙස සිනමාවට නැගිණි. එම කතාව පසුබිම් විස්තර සහිතව මෙසේ ඉදිරිපත් කරමි.

“මාර්ස්ක් ඇලබාමා (Maersk Alabama) යනු (කලින් මෙහි නාමය - “අල්වා මාර්ස්ක්”) ලෝ ප්‍රකට “මාර්ස්ක් ලයින්” සමාගමට අයත් කර්ටේනර් ප්‍රවාහන නෞකාවකි. එහි මෙහෙයුම් කටයුතු සිදුකරනු ලැබුවේ “වෝටර්මන් ස්ටීම්ෂිප්” සමාගම විසිනි.


මාර්ස්ක් ඇලබාමා නෞකාව

(*“මාර්ස්ක් ලයින්” සමාගමට අයත් කර්ටේනර් සහිත ට්‍රක් රථ ශ්‍රී ලංකාවේද ගමන්කරනවා ඔබද දැක ඇතිවාට සැක නැත.) 
මාර්ස්ක්  ලයින් සමාගමට අයත් කන්ටේනර් ට්‍රක් රථයක්

නෞකාවේ බඳ සෙසු මාර්ස්ක් නෞකා මෙන්ම ලානිල් සහ බේජ් පැහැයෙන් පින්තාරු කොට තිබුණි. 

නැවේ ඉතිහාසය 

අල්වා මාර්ස්ක් නෞකාව තායිවානයේ පිහිටි චීන නෞකා නිර්මාණ සමාගම (China Shipbuilding Corporation) මගින් නිපදවා 1998 දී දියඹට මුදාහැර තිබේ. එකල නෞකාව අයත්ව තිබුණේ ඩෙන්මාකයටය. 2004 දී නැවේ නම “මාර්ස්ක් ඇලබාමා” වූ අතර අයිතිය අමෙරිකාවට පැවරුණි. එහි මෙහෙයුම් කටයුතු සිදුකළේ අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නෝ‍ෆෝක් හි (Norfolk, Virginia) මූලස්ථානය කරගත් “මාර්ස්ක් ලයින්” සමාගමයි. නෞකාවේ සුපුරුදු ගමන් මාර්ගය වන්නේ කෙන්යාවේ “මොම්බාසා” වරායේ සිට ඕමානයේ “සලාලා” වරායටත් එතැනින් “ජිබුටි” වලටත් ගමන්කර නැවතත් මොම්බාසා වලට ගමන් කිරීමය. 


2009 දී නෞකාව ග්‍රහණයට ගැනීමට මුහුදු කොල්ලකරුවන් ගත් උත්සාහය

2009 දී නේටෝ සංවිධානයේ උපදෙස් පරිදි අමෙරිකානු සමුද්‍රාසන්න කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සෝමාලියාවට ආසන්නයෙන් ගමන් කරන සියළුම නෞකාවන්ට ආරක්ෂක රීතියක් නිකුත් කරනු ලැබීය. එය නම් එම නෞකා අවම වශයෙන් සෝමාලියානු වෙරළේ සිට නාවුක සැතපුම් 600ක් (කිලෝමීටර් 1,100ක්) වත් ඈතින් ගමන් කළයුතු බවයි. මෙම උපදෙස් හො‍ඳින් ක්‍රියාත්මකව තිබියදීත්, ඇලබාමා නෞකාව මුහුදු කොල්ලකරුවන් අතට පත්වෙද්දී, එය සෝමාලියා වෙරළේ සිට නාවුක සැතපුම් 240 ක් (කිලෝ මීටර් 440ක් හෙවත් සැතපුම් 280ක්) ඈත දියඹේ ස්ථානගත වී තිබී ඇත. එවිට එය සිය ගමන් වාරයක් සම්පූර්ණ කිරීමට කෙන්යාවේ මොම්බාසා වරාය වෙතට පැමිණෙමින් සිට ඇත. එම අවස්ථාවේදී නෞකාවේ මෙට්රික් ටොන් 17,000 ක භාණ්ඩ (කන්ටේනර්) තිබී ඇති අතර ඉන් මෙට්රික් ටොන් 5,000කම තිබී ඇත්තේ කෙන්යාවට, උගන්ඩාවට හා සෝමාලියාවට රැගෙන යමින් තිබූ සහනාධාර අඩංගු බහාලුම්ය.

දිනය 2009 අප්‍රේල් 7 දිනය. මුහුදු මංකොල්ලකරුවන් යම් විටක පැමිණියහොත් ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව කපිතාන් රිචඩ් පිලිප්ස් ප්‍රමුඛ නැවේ කාර්ය මණ්ඩලය පෙරහුරුවක නිරත වෙමින් සිටියහ. පෙරහුරුව නිමාවන්නටත් පෙර ඔවුන්ගේ රේඩාර් තිරයේ පුංචි තිත් දෙකක් සටහන් විය. කුමක් හෝ වස්තුවක් තම නෞකාව දෙසට වේගයෙන් පැමිණෙන බැව් නැවේ කපිතාන්වූ පිලිප්ස්ට වැටහිණි. කපිතාන් එය කුමක්දැයි සැක හැර දැනගැනීමට නැව් තට්ටුවට විත් දුර බලන කණ්නාඩියෙන් ඒ දෙස බැලීය. සැබවින්ම මුහුදු මංකොල්ලකරුවන් රැගත් යාත්‍රා දෙකක් තමන් වෙත පැමිණෙනු ඔහු දුටුවේය. නමුත් මෙවැනි අවස්ථාවක පිළිගත නොහැකි දෙයක් නම් නැවේ කිසිම අවි ආයුධයක් නොතිබීමයි. කපිතාන් විසින් වහාම අමෙරිකානු සමුද්‍රාසන්න කළමනාකරණ මධ්‍යස්ථානයට මේ බව දන්වා ආරක්ෂක උපදෙස් පැතීය. නමුත් එම මධ්‍යස්ථානටද ඉක්මණින් කළ හැකි දෙයක් නොවීය. කෙසේ වෙතත් ඔවුන් නැවේ කාර්ය මණ්ඩලයට උපදෙස් දුන්නේ හමුදා ක්‍රියාන්විතයක් සිදු කරනතුරු කලින් ලබාදී ඇති උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වන ලෙසය. 

මේ අනුව ගුවනින් ප්‍රහාරයක් සිදුවන බව (ගුවන් යානයක් පැමිණ කොල්ලකරුවන්ට බෝම්බ හෙලන බව) නැවේ කාර්ය මණ්ඩලය කොල්ලකරුවන්ට ඇසෙන සේ ව්‍යාජ ගුවන් විදුලි පණිවිඩ හුවමාරුවක නිරතවුණි. මෙය සවන් දුන් එක බෝට්ටුවක සිටි කොල්ලකරුවන් බියට පත්වී තම බෝට්ටුව ආපසු හරවා යන්නට ගියේය. ඉතිරිවුනේ එක බෝට්ටුවක් පමණි. එහි කොල්ලකරුවෝ සිව් දෙනෙක් සිටියහ. ඔවුන් නොනවත්වා ඉදිරියට පැමිණෙන්නට විය. ඊළග උපක්‍රමය ක්‍රියාත්මක විය. නැවේ සුක්කානම ඒ මේ අතට හරවා නැව වේගයෙන් දෙපසට පැද්දීම එයයි. එමගින් දියඹේ විශාල රැලි ඇතිවිය. කුඩා බෝට්ටුවක සිටි කොල්ලකරුවනට එම රැලි වලට මුහුණදීගත නොහැකිව අඩපණ විය. අධික වෙහෙසට පත් ඔවුන් නිසංසල වූහ. රාත්‍රිය ගෙවී පසුදාට එළිවිය. දිනය 2009 අප්‍රේල් 8 ය. කොල්ලකරුවෝ අවි අමෝරාගෙන යළිත් සටනට ආහ. ඔවුන් නැව අසළටම ආවිට නැවේ සිටියවුන් තවත් උපක්‍රමයක් දියත් කළහ. එය නම් නැවේ හතර වටින්ම අධික පීඩනයකින් යුත් නළ වලින් ජලධාරා නිකුත් කිරීමයි. 


ඇලබාමා නැවෙන් කොල්ලකරුවන්ගේ බෝට්ටුවට
පීඩක ජලධාරා විදින අන්දම. මෙය චිත්‍රපටයෙන් උපුටාගත් පිංතූරයකි.


චිත්‍රපටයෙන් උපුටාගත් පිංතූරයකි.

ජලපහරවල් විදීමේ අරමුණ කොල්ලකරුවන්ට නැව අසලට ඒම වැළැක්වීම හා ඔවුන් සමගම බෝට්ටුව ගිල්වා දැමීමයි. කෙසේ හෝ ජල පහරවල් කපාගෙන ගොස් නැවේ එල්ලීමට කොල්ලකරුවෝ මහත් උත්සාහයක් ගත්හ. ඔවුන් නිසැක ලෙසම නැවට ගොඩවන බව දැනගත් නැව් කාර්ය මණ්ඩලය පාලක මැදිරියේ තිබූ පාලක යතුරු කඩා දැමීය. කොල්ලකරුවෝ ඉනිමගක් ආධාරයෙන් නැවට ගොඩවූ පසුයි ඔවුන් පැමිණි බෝට්ටුව මුහුදු රැලි වලට ගිලී ගියේ. 

කාර්ය මණ්ඩලය පහළ එන්ජින් කාමරයේ සැඟවී එහි දොර වසාගත් අතර කපිතාන් පිලිප්ස් හා සගයින් දෙදෙනෙක් පමණක් පාලක මැදිරියේ තනිවිය. කොල්ලකරුවෝ පැමිණ කපිතාන් පිලිප්ස් හා සගයින් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත්හ.

එන්ජින් කාමරයේ හුන් ඉංජිනේරුවන් ඇතුළු පිරිස පහළ සිටම නෞකාවේ පාලනය සියතට ගත් නිසා ඉහළ පාලක මැදිරියෙන් සිදුවූ නැවේ පාලනය ක්‍රියා විරහිතව තිබිණි. මේ නිසා කොල්ලකරුවනට නැව පැහැර ගැනීමට නොහැකි විය. කොල්ලකරුවෝ සුපුරුදු පරිදි මුදල් ඉල්ලා සිටියහ. නැවේ එතරම් මුදලක් නොමැති බව පැවසූ විට නැවේ රැගෙන යන භාණ්ඩ පිළිබ‍ඳව විමසා සිටියහ. නැවේ ඉතිරිව තිබූ ඩොලර් 30,000 ක මුදලද ඔවුන් කොල්ලකෑහ. 

මේ අතර පහළ සිටි නැවේ කාර්ය මණ්ඩලය කොල්ලකරුවන්ගෙන් එකෙකු අල්ලා ගැනීමට සමත්වූහ. පැය 12ක් තිස්සේ රඳවා තබාගත් ඔහු නිදහස් කිරීමට නම් අත්අඩංගුවේ පසුවූ කපිතාන්ව නිදහස් කළ යුතු බව කාර්ය මණ්ඩලය කොල්ලකරුවනට දැන්වීය. කොල්ලකරුවෝ එම ගනුදෙනුවට එකඟවූහ. 

මෙහිදී කොල්ලකරුවෝ කපිතාන්ව රැගෙන හදිසි ගලවාගැනීමේ බෝට්ටුවට ගොඩවූහ. නමුත් එම යාත්‍රාව ක්‍රියාත්මක නොවුණි. පසුව කාර්ය මණ්ඩලය විසින් නැවේ තිබූ ජීවිතාරක්ෂක බෝට්ටුව කොල්ලකරුවන්ට භාවිතා කිරීමට ඉඩ දුන්නේ ප්‍රාණ ඇපකරු හුවමාරුව සිදුවූ පසු කොල්ලකරුවනට පලායාමට ඉඩදීමේ බලාපොරොත්තුව ඇතිවය. අල්ලාගත් කොල්ලකරුවා නිදහස් කළත් ඒ වෙනුවට කපිතාන් පිලිප්ස්ව කොල්ලකරුවෝ නිදහස් නොකළහ. ජීවිතාරක්ෂක බෝට්ටුව නැවේ සිට මුහුදට දියත් කලේ කපිතාන්වද ප්‍රාණ ඇපයට තබාගෙනය. ඔවුන් කපිතාන්ව රැගෙන සෝමාලියාවට පලායාමට අදහස් කළේ පසු දිනක විශාල කප්පම් මුදලක් ලබාගැනීමේ අදහසිනි. මෙම ජීවිතාරක්ෂක බෝට්ටුවේ දින දහයකට සෑහෙන්න ආහාර, ජලය හා වෙනත් අත්‍යාව්‍යශ ද්‍රව්‍යයන් ගබඩා කොට තිබුණි.


සෝමාලි කොල්ලකරුවන් සිව්දෙනා හා නැවේ කපිතාන් ගමන්ගත් දිගින් අඩි 28ක් වූ ජීවිතාරක්ෂක බෝට්ටුව. මෙම පිංතූරය ගන්නා ලද්දේ අමෙරිකානු නාවුක හමුදාවෙන් ගුවන්ගත කළ නියමුවන් රහිත කුඩා ගුවන්යානයක් මගිනි. මෙහි දිනය සහ වේලාව ලෙස සටහන්වී ඇත්තේ
2009-04-09    අළුයම 03.59 ලෙසය.


සත්‍ය ජීවිතාරක්ෂක බෝට්ටුෙවහි හැඩය පැති කීපයකින්


මේ සියළු සිදුවීම් නැවේ ඉතිරිවූ කාර්ය මණ්ඩලය විසින් අමෙරිකානු සමුද්‍රාසන්න කළමනාකරණ මධ්‍යස්ථානයටත් නාවුක හමුදාවටත් වාර්තා කරන ලදී. 

මේ අතර අමෙරිකානු නාවුක හමුදාවට අයත් මිසයිල නාශක යුධනැව (USS Bainbridge) සහ රාජ්‍ය ආරක්ෂක යුධ නැවක්වූ “හැලිබර්ටන්” (USS Halyburton) නෞකාව ගල්ෆ් මුහුද බලා යාත්‍රා කරමින් තිබුණි. ඒ අමෙරිකානු පුරවැසියෙක්වූ කපිතාන් පිලිප්ස්ව කොල්ලකරුවන්ගෙන් බේරාගැනීමේ මෙහෙයුම සඳහාය. අප්‍රේල් 9 දින අළුයම අමෙරිකානු යුධ නැව් වලින් ගුවන් ගතකළ නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් කොල්ලකරුවන් ගමන්ගත් ජීවිතාරක්ෂක බෝට්ටුව අසලට යවා තොරතුරු එක්රැස් කරගන්නා ලදී. එම නෞකා දෙකම එදින දහවල් වනවිට මාර්ස්ක් ඇලබාමා නෞකාව අසලට ළඟාවිය. මාර්ස්ක් ඇලබාමා නැව යුධ ආරක්ෂාව මධ්‍යයේ එහි ගමනාන්තය වන කෙන්යාවේ මොම්බාසා වෙත හරවා යවනු ලැබීය. 

USS Bainbridge නෞකාව 


USS Halyburton නෞකාව 

ක්‍රමයෙන් යුද නැව් දෙකම කොල්ලකරුවන් හා කපිතාන් රැගත් ජීවිතාරක්ෂක බෝට්ටුව දෙසට ළංවිය. කපිතාන්ගේ ජීවිතයට හානිවිය හැකි නිසා හමුදාව මුලදී ප්‍රහාරයක් එල්ල කළේ නැත. ඔවුන් මුලින් කළේ කපිතාන් තවමත් යහතින් සිටී දැයි සැක හැර දැනගැනීමය. ඒ සඳහා කොල්ලකරුවන් ඇමතීමට හමුදාවට සිදුවිය. කපිතාන් සමගත් කොල්ලකරුවන් සමගත් අදහස් හුවමාරු කරගැනීමට සාම මැදිහත්කරුවෙකු යොදා ගන්නා ලදී. නාවුක හමුදා භටයින් කොල්ලකරුවන්ට අවශ්‍ය කප්පම් මුදල් ඉක්මණින් පිළියෙල කරන බව මැදිහත්කරුවා ඔවුන්ට දැන්වීය. පැය කීපයක් ඉක්මයාමෙන් පසු මුදල් සූදානම්ව ඇතැයිද ඒ ස‍ඳහා කොල්ලකරුවන්ගෙන් එක් නියෝජිතයෙක් හමුදාව සමග පැමිණිය යුතු යැයිද දන්වා සිටින ලදී. මේ සඳහා කොල්ල කල්ලි නායක මූසේ ඉදිරිපත්විය. මූසේව නිරායුධ කරගත් හමුදා නිලධාරින් ඔහුව මුදල් ගනුදෙනුව සිදුවන ස්ථානයට කැඳවා ගෙන යන ලදී. නමුත් මෙය ඔහුව අල්ලා ගැනීම සඳහා වූ උපක්‍රමයක් විය. අනික් කොල්ලකරුවන්ට නොදැනෙන්නට මූසේව අත් අඩංගුවට ගෙන ඉවතට ගෙනයන ලදී. 

එළියට ගිය තම නායකයා නැවත පැමිණීම ප්‍රමාදවීමෙන් කලබලයට පත් ඉතිරි කොල්ලකරුවන් තිදෙනා කපිතාන්ව නිරුවත් කර දරුණු වධහිංසා පමුණුවන්නට විය. නමුත් ජීවිතාරක්ෂක බෝට්ටුවේ ඇතුලත සිදුවන සියළු දේ එළියේ සිටින නාවුක භටයෝ හොඳින් නිරීක්ෂණය කරමින් සිටියහ. නැවතත් සාකච්ඡා ආරම්භ විය. 

කොල්ල කල්ලි නායක මූසේ නැවත ඉක්මණින් පැමිණෙන බව කියා සිටි මැදිහත්කරුවා නැවතත් කපිතාන්ව තමාට බැලීමට අවශ්‍ය බව කියා සිටියේය. කොල්ලකරුවෝ නැවතත් කපිතාන්ව ජීවිතාරක්ෂක බෝට්ටුවේ දොරටුව වෙත රැගෙන ආහ. මේ අවස්ථාවේ හමුදා භටයින් විසින් කපිතාන්ට ඇඳගැනීමට තැඹිලි පැහැති කබායක් ලබාදෙන ලදී. මෙයද සියුම් උපක්‍රමයක් විය. කපිතාන් එම කබාය ඇඳගත් පසු කොල්ලකරුවන් තිදෙනාගෙන් කපිතාන් කව්දැයි දුර තියා හඳුනා ගැනීම එම උපක්‍රමයයි. එසේම කපිතාන්ට බෝට්ටුවේ නියමිත අසුනේම වාඩිවී සිටීමටද උපදෙස් දෙන ලදී. 

එදින රාත්‍රීය මුළුල්ලේම Bainbridge නෞකාවේ සිටි නාවුක ස්නයිෆර් වෙඩික්කරුවන් තිදෙනෙකුගේ ඉලක්ක 3ක් කොල්ලකරුවන් තිදෙනා වෙත එල්ල වෙමින් තිබුණි. නයිට් විෂන් කැමරා සහිත එම තුවක්කු වලින් නිවැරදි එල්ලය ලබා ගැනීමට සෑහෙන කාලයක් ගතවිය. එයට හේතුව කොල්ලකරුවන් තිදෙනාගේ එල්ල තුනම එකම මොහොතක ලබාගැනීමට අත්‍යාවශ්‍ය වූ නිසාය. මධ්‍යම රාත්‍රියට ආසන්න වෙද්දී ඔවුන්ගේ උත්සාහය සඵල විණි. 2009 අප්‍රේල් 12 දින කොල්කරුවන් තිදෙනා වෙඩිතබා මරා කපිතාන් පිලිප්ස්ව නිදහස් කරගන්නා ලදී. වෙඩික්කරුවන් විසින් කොල්කරුවන්ගේ හිසටම එල්ලකරන ලද වෙඩි ප්‍රහාරයන්ගෙන් ඔවුන් තිදෙනාම ජීවිතාරක්ෂක බෝට්ටුව තුළ මැරී වැටුණහ. 

ඔවුන් තිදෙනාගෙන් කෙනෙකු අලි ඒදන් එල්මි (Ali Aden Elmi) ලෙසද, අනෙකාගේ නම නජී (Najee) ලෙසද හඳුනාගත් අතර තුන්වැන්නා බිලාල් (Bilal) විය. හමුදාව විසින් පිටතට රැගෙන යාම නිසා ජීවිතය බේරුණු සිව්වැන්නා හෙවත් කොල්ල කල්ලියේ නායකයා අබ්දුවාලි (Abduwali Muse) මූසේ නම් විය. මූසේ හමුදාවට බාරවූ අතර ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී. 


සැබෑ මූසේව අත්අඩංගුවට පත්වූ මොහොත. ඔහුගේ වම් අත 
වෙලා ඇත්තේ ජීවිතාරක්ෂක බෝට්ටුව තුළ ඇතිවූ අනතුරකදී 
ලත් තුවාලයක් නිසාය. 


මූසේ ගේ තවත් පිංතූර

සිද්ධිය වන අවස්ථාවේ මූසේට වයස අවුරුදු 16ක් හෙවත් ඔහු බාල වයස්කරුවෙක් බව මූසේගේ දෙමව්පියන් අධිකරණයට කියා සිටියේ ඒ මගින් මූසේට යම් සමාවක් ලැබේ යැයි බලාපොරොත්තුවූ නිසාය. නමුත් අධිකරණයේදී ඔහු බාල වයස්කරුවෙක් බව ඔප්පු කිරීමට සාධක නොමැති විය. අධිකරණයේදී වරක් ඔහු ඉකිගසා හඬාවැටී ඇත. තමාට මුදල් නැති නිසා මෙවැනි දෙයකට පෙළඹුනු බව එහිදී ඔහු පැවසීය. පුද්ගලයන් පැහැරගැනීම හා නැව් කොල්ලකෑම ආදී චෝදනාවන්ට වරදකරුවූ අබ්දුවාලි මූසේ වසර 33 ක සිර දඬුවමකට යටත්විය. මේ මොහොතේත් අමෙරිකානු සිරගෙදරක ඔහු එම දඬුවම විඳිමින් සිටී. ඔහු නිදහස් වියයුත්තේ වසර 2044 දීය. හිරේට යනවිට ඔහුට අවුරුදු 20ක් නම්, හිරගෙදරදින් නිදහස් වන මොහොතේ ඔහුගේ වයස අවුරුදු 53ක් පමණ විය හැකිය. 

ඒකේ-47 රයිෆලයකින් කොල්ලකරුවෙකු විසින් පිටකොන්දට පහර දීම නිසා අවදානම් තත්වයේ පසුවූ කපිතාන් පිලිප්ස්ට වහා ප්‍රථමාධාර ලබාදෙන ලදී.

කපිතාන් පිලිප්ස්ව ප්‍රාණ ඇපයේ තබා සිටි ජීවිතාරක්ෂක බෝට්ටුව මහජන ප්‍රදර්ශනය සඳහා දැනට අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පියර්ස් හි නැෂනල් නේවි සීල් කෞතුකාගාරයේ (National Navy SEAL Museum) තබා ඇත. ඒ සමගම ගුවනින් ගොස් ඔත්තු බැලූ නියමුවන් රහිත යානයද ප්‍රදර්ශනයට තබා ඇත.


ජාතික නාවුක කෞතුකාගාරයේ දැනට මහජන ප්‍රදර්ශනයට තබා ඇති මාර්ස්ක් ඇලබාමා ජීවිතාරක්ෂක බෝට්ටුව.


මාර්ස්ක් ඇලබාමා නෞකාවට තවත් පහරදීම්

විශේෂ සිදුවීම වන්නේ මෙම මාර්ස්ක් ඇලබාමා නෞකාව 1979 සිද්ධියෙන් පසු සිව් වතාවක්ම මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක්වීමයි. 2009 නොවැම්බර් 18, 2010 සැප්තැම්බර් 29, 2011 මාර්තු 8 හා 2011මැයි 14 දිනවල සිදුවූ සිද්ධින් වලදී කොල්ලකරුවන්ට ජයග්‍රහණයක් අත් නොවූයේ නෞකාව ආයුධ සන්නද්ධව සිටි නිසාය. 2014 පෙබරවාරි 19 දින නෞකාව මතදී ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු මරුමුවට පත්ව සිටියේ මුහුදු කොල්ලකරු සිද්ධියක් නිසා නොව ඔවුන් මත්පැන් සමග අධිකව හෙරොයින් පානය කර ඇති නිසාය. මේ සම්බන්ධ පරීක්ෂණ තවමත් පැවැත්වේ.

පිලිප්ස් මුහදේදී තමාව බේරාගත් නාවිකයින්ට ප්‍රසිද්ධියේ ස්තූති කළේය. එම ත්‍රාසජනක සිද්ධියෙන් පසු රිචඩ් පිලිප්ස් තම අත්දැකීම අලළා A Captain's Duty (නාවිකයෙකුගේ රාජකාරිය) යන මැයෙන් ග්‍රන්ථයක් සම්පාදනය කළේය. 



රිචඩ් පිලිප්ස් විසින් රචිත ග්‍රන්ථය

2010 දී කොළොම්බියා පික්චර්ස් සමාගම එම පොතේ කතාව සිනමාවට නැගීමට අවසරය ලබාගත්තේය. “කැප්ටන් පිලිප්ස්” (Captain Phillips)ලෙස සිනමාවට නැගුණේ එම කතාවයි. 2011 මාර්තුවේදී ප්‍රවීන නළු “ටොම් හෑන්ක්ස්” රිචඩ් පිලිප්ස්ගේ චරිතයටද, “බාකඩ් අබ්දි” අබ්දුවාලි මූසේගේ චරිතයටද පෙනීසිටින බවට නිවේදනය කෙරිණි. නජීගේ චරිතයට “ෆයිසාල් අහමඩ්” පනදුන් අතර බිලාල්ගේ චරිතය නිරූපනය කළේ “බාකඩ් අබ්දිරහමන්”ය. එසේම එල්මි ගේ චරිතය “මහත් එම් අලි” නිරූපණය කළේය. මේ කොල්ලකරු චරිත නිරූපණය කළ නළුවන් සිව්දෙනාම සෝමාලි ජාතිකයින් වීමත් ඔවුන් සියළු දෙනා ආධුනිකයින් වීමත් (ඔවුන් කිසිවෙක් මින් පෙර කිසිම චිත්‍රපටයක රඟපා නැත.) විශේෂත්වයකි. 



කැප්ටන් පිලිප්ස් චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරයක්.මෙහි අධ්‍යක්ෂවරයාගේ නම වෙනුවට ප්‍රධාන නළුවාගේ නම දක්වා ඇත.


චිත්‍රපටයේ අධ්‍යක්ෂ පෝල් ග්‍රීන්ග්‍රාස් (Paul Greengrass)



කැප්ටන් පිලිප්ස්ගේ චරිතයට පන පොවන ටොම් හෑන්ක්ස් 
පෙනී සිටින රූප රාමුවක්.


ටොම් හෑන්ක්ස් ගේ සාමාන්‍ය පෙනුම .


සැබෑ කැප්ටන් පිලිප්ස්


සැබෑ කැප්ටන් පිලිප්ස් සහ ටොම් හෑන්ක්ස් 


මූසේ ගේ චරිතයට පනපොවන බාකඩ් අබ්දි


බාකඩ් අබ්දි ගේ සැබෑ පෙනුම


2013 සැප්තැම්බර් 27 අමෙරිකාවේ ලින්කන් මධ්‍යස්ථානයේ පැවති
51 වන නිව්යෝක් චිත්‍රපට උළෙලේ දී කැප්ටන් පිලිප්ස් චිත්‍රපටයේ 
මුහුරත් උළෙලද පැවැත්විණි. එයට සහභාගිවීමට පැමිණ සිටි චිත්‍රපටයේ
නළුවන්. වමේ සිට දකුණට, බාකඩ් අබ්දි ,මහත් එම් අලි, ටොම් හෑන්ක්ස් සහ ෆයිසාල් අහමඩ්


සිද්ධියෙන් පසු ගුවන් මගින් අමෙරිකාවට පැමිණි රිචඩ් පිලිප්ස්
ගුවන් තොටුපළේ සිට පවුලේ සාමාජිකයන් කැදවාගෙන ගිය අයුරු. 



සිද්ධියෙන් පසු රිචඩ් පිලිප්ස් අමෙරිකා ජනාධිපති 
බැරැක් ඔබාමා හමුවූ අවස්ථාව


රිචඩ් පිලිප්ස් ගැන තොරතුරු ටිකක්

රිචඩ් පිලිප්ස් (උපත 1955 මැයි 16) යනු අමෙරිකානු ජාතිකයෙකි. ඔහු ව්‍යාපාරිකයෙක්, නාවිකයෙක් වගේම කතුවරයෙක්ද වේ. 2009 අප්‍රේල් සිදුවූ සෝමාලි මුහුදු කොල්ලකරු සිද්ධියේදී මාර්ස්ක් ඇලබාමා නෞකාවේ කපිතාන් වරයා ලෙසද සේවය කළේය. 

පිලිප්ස් උපත ලද්දේ මැසචුසෙට්ස් (Massachusetts) ප්‍රාන්තයේ වින්චෙස්ටර් (Winchester) නුවරය. 1973 වින්චෙස්ටර් උසස් පාඨශාලාවෙන් අධ්‍යාපනය ලබා ජාත්‍යන්තර නීතිය පිළිබද හැදෑරීමට මැසචුසෙට්ස් සරසවියට ඇතුළුවිය. නමුත් පසුව මැසචුසෙට්ස් නාවුක ඇකඩමියට ඇතුළුවූ හේ ඒ පිළිබඳ උපාධිය 1979 දී ලබාගත්තේය. අධ්‍යාපනය ලබන අවධියේ ඔහු බොස්ටන්වල කුලීරථ රියැදුරෙකු ලෙසද රැකියාවක් කළේය. 

සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ඉතිහාසයෙන් බිඳක්‌

1990 ගණන්වල පැවති සෝමාලියානු සිවිල් යුද්ධය ආරම්භවීමත් සමග සෝමාලියානු වෙරළ තීරයේ මුහුදු මංකොල්ලකෑමේ ක්‍රියාවන් ආරම්භවූවා යැයි සැලකේ. නමුත් ජාත්‍යන්තර නෞකා කොල්ලකෑම පටන්ගත්තේ වසර 2005 සිටය. එනම් ලංකාවටත් බලපෑ 2004 සුනාමියටත් පසුවය. (මේ සුනාමියත්, මුහුදු මංකොල්ල ආරම්භවීමත් අතර යම් සම්බන්ධයක් ද ඇත.)

සෝමාලි ජනතාව මුහුදු කොල්ලකරුවන් බවට පත්වූ හේතුව

සෝමාලියාව පිහිටා ඇත්තේ අප්‍රිකානු මහාද්වීපයේ නැගෙනහිර කොටසේය. එසේම එම රට අසලින් අරාබි හා ආසියා රටවලට දිවෙන ප්‍රධාන මුහුදු මාර්ගය වැටී ඇත. මෙම කලාපය ඒඩන් බොක්ක (Gulf of Aden) ලෙස හැඳින්වේ.මේ නිසා දිනකට ලොකු කුඩා නැව් සියගණනක් සෝමාලියාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගමන් කරයි. මෙම ඇතැම් නෞකා නීති විරෝධීව සෝමාලියාවට අයත් මුහුදු සීමාවේ මාළු ඇල්ලීම සහ විෂ ද්‍රව්‍ය (Toxic Waste) මුහුදට එක්‌ කිරීම කාලයක් තිස්සේ සිදුකර තිබේ. විෂ ද්‍රව්‍ය එක්කිරීම සෝමාලියාවට එදිරිව ඕනෑකමින් සිදුකලාද නැතහොත් නෞකාවල එකතුවන විෂ අපද්‍රව්‍ය සාමාන්‍ය ලෙස මුහුදට එකතු කලාද යන්න පැහැදිලි නැත. මෙම විෂ ද්‍රව්‍ය නිසා සෝමාලියාවේ විවිධ ලෙඩ රෝග හා පරිසර දූෂණය වීම් පවා ඇතිවිය. 2004 සිදුවූ සුනාමියෙන් මෙතෙක් ගැඹුරු මුහුදේ පාවෙමින් තිබූ විෂ රසායන ද්‍රව්‍ය ටොන් ගණන් සෝමාලියානු වෙරළ තීරයට පාවී ගියේය. මේ නිසා වෙරළාසන්න සෝමාලියානු ජනතාව මේ ව්‍යසනය ප්‍රථමවරට දැනගත්හ. ලෙඩ රෝග හා පරිසර දූෂණය ඇතිවීමටත්, මත්ස්‍ය සම්පත වේගයෙන් අඩුවීමටත් හේතු අවබෝධකරගත් ඔවුහු කල්ලි වශයෙන් එකතුවී තමනට හිංසා කරන නැව් වලට පහර දෙන්නට වූහ. මුලින්ම මෙලෙස කල්ලි ගැසී ඇත්තේ අනවසරයෙන් තමන්ගේ මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත ගෙන යන නැව් හා බෝට්ටුවලටත්, ඒවායින් තම මුහුදු සීමාවට එකතු කරන අපද්‍රව්‍ය දැමීම වැලැක්වීමටත් එරෙහිවයි. පසුව එය ඉතා ලාභදායි ව්‍යාපාරයක් ලෙස දැනීමත් සමග වෙරළ ප්‍රදේශයේ ජීවත් වන 70% ක පිරිසක් ඔවුන්ගේ මූලික ජීවනෝපායවූ ධීවර කර්මාන්තය අතහැර මුහුදු කොල්ලකරුවන් බවට පත්විය. 

කොල්ලකෑම් සිදුවන ආකාරය

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අරමුණ වී ඇත්තේ තම රටේ වෙරළ තීරයට ළඟාවන නැව් මෙන්ම නැව්වල ගමන් ගන්නා මගීන්, නාවුක නිලධාරීන්, එසේම කුඩා යාත්‍රා වලින් සෝමාලියා මුහුදු කලාපයට පැමිණෙන ධීවරයින් සිරභාරයට ගෙන එම නැව් හෝ යාත්‍රා අයත් සමාගම් වලින් මෙන්ම ඒවා අයත් රටවල් වලින් කප්පම් මුදල් ලබා ගැනීමය. මෙසේ නාවුකයන්, ධීවරයන් මෙන්ම මගීන් ද සෝමාලි කොල්ලකරුවන්ගේ ප්‍රාණ ඇපයට පත්වෙයි. මෙමගින් තම ආර්ථිකය ශක්‌තිමත් කරගැනීමට ඔවුන් පෙළඹී සිටී. 2009 - 2010 කාල වකවානුවේදී නීති විරෝධී පැහැරගැනීම් වලින් ඔවුන් ලබාගත් මුළු ආදායම යුරෝ මිලියන 39 කි.

කොල්ලකෑම් වර්ධනයවූ ආකාරය

සෝමාලියානු සිවිල් යුද්ධය හා ආර්ථිකයේ බිඳවැටීම නිසා සෝමාලියාව ලෝකයේ දුප්පත්ම රටක්‌ බවට පත්විය. වර්ෂ 2008 වන විට සෝමාලියාවේ ආහාර අර්බුදය දරුණු අතට පත්වූ අතර ආහාර සඳහා ආධාර මත යැපෙන තත්වයකට පත්ව තිබිණි. ලෝක බැංකුවට අනුව මෙම වසර වන විට සෝමාලියානු ජනගහණයෙන් 73% ක ප්‍රමාණයකගේ දෛනික ආදායම ඇමරිකානු ඩොලර් 02 ක්‌ පමණ විය. මෙම හේතුන් නිසා සෝමාලියානු තරුණ ජනකාය මුදල් සොයාගැනීම සඳහා පැහැර ගැනීම් ආදී නීති විරෝධී ක්‍රියා වලට යොමුවූහ. උපයන මුදලින් කොටසක් වැයකර මංකොල්ලකෑම් සඳහා යොදාගන්නා නවීන අවි ආයුධද ඔවුන් යේමන රජයෙන් මිළට ගනී. ජනගහනයෙන් වැඩි කොටසක් අන්ත දුප්පතුන් ලෙස ජීවත්වන විටක දී තවත් කොටසක් මුහුදු මංකොල්ලකෑම් වලින් උපයන මුදලින් පෙහොසතුන් ලෙස ජීවත්වීමට උත්සාහ ගත්හ. පොහොසතුන් ලෙස දිවි ගෙවන්නවුන්ගේ ක්‍රියාකාරකම් දෙස බලා සිටි දුප්පත් නූගත් බාල පරම්පරාවද නිරායාසයෙන්ම සමාජ විරෝධී ක්‍රියාවන්ට පෙළඹෙන්නට විය. මේ නිසා වසරින් වසර මුහුදු මංකොල්කරුවන්ගේ ප්‍රමාණයද, මංකොල්ලකෑම්ද ඉහළ ගියේය. 

ඇත්තෙන්ම සෝමාලියාව මෙලෙස කප්පම්කරුවන්ගේ හා මුහුදු කොල්ලකරුවන්ගේ රජදහනක්‌ බවට පත්වූයේ එරට නීතිය හා සාමය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසාය. සෝමාලියාවේ රජයට එරට නීතිය හා සාමය ක්‍රියාත්මක කළ නොහැකි අතර එහි අගනුවර වන මොගඩිෂු නුවර පවා පාලනය කරන්නේ ආයුධ සන්නද්ධ කණ්‌ඩායම් විසිනි. 1990 සිට සෝමාලියාවේ හරියාකාරව නොතිබුනු දේශපාලන තත්වයත් දැනටත් රට කොටස් වලට බෙදී තිබීමත්, රටේ ආරක්ෂාව සඳහා සිටින හමුදා නිලධාරීනුත් මේ කල්ලිවලට සහයෝගය දීමත් හා සමාජිකයන්වී සිටීමත් නිසා මෙම තත්වය මර්ධනය කිරීම එරටටම ඉතා අපහසු වී ඇත. 

පසුවදන

ඉන්දියානු සාගරය, රතු මුහුද, අරාබි මුහුද, මධ්‍යධරණීය මුහුද හා සුවස් ඇළ මාර්ගයට කේන්ද්‍ර වන ස්ථානයක් වන මේ ඒඩ්න් බොක්ක හරහා නෞකා හා යාත්‍රා මගින් වසරකට ආසන්න වශයෙන් පුද්ගලයින් 22,000 ක් වත් ගමන් කරයි. දැනට අවුරුදු 20 කට ආසන්න කාලයක සිට මෙම ප්‍රදේශයේ කොල්ලකෑම් හා කප්පම් ගැනීම් සිදුවේ. පසුගිය වසර දෙක ඇතුලත ශ්‍රී ලාංකික නාවුකයින් හා ධීවරයින් සෝමාලි කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ගත් අවස්ථා රැසක් ද වාර්තා විය.

ඇත්තෙන්ම සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නිසා සමස්‌ත ලෝකයේම නාවික ප්‍රවාහන කටයුතුවලට මහත් බාධාවක්‌ ඇතිව තිබේ. 1982 දී සම්මත කරගනු ලැබූ එක්‌සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය අනුවද මුහුදු මංකොල්ලකෑම බරපතල අපරාධයකි. 2008 වසරේදී සෝමාලියානු කොල්ලකරුවන් නැව් 111 කට පහරදුන් අතර එයින් 42 ක්‌ පැහැරගත්හ. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ බහුතර වයස අවුරුදු 20-35 ත් අතර වේ. කොල්ලකරුවෝ ආර්. පී. ජී. අවි වල සිට ස්‌වයංක්‍රීය රිවෝල්වර දක්වාද අත්බෝම්බ මෙන්ම තවත් නවීන ස්‌වයංක්‍රීය ආයුධද (AK47) භාවිතා කරති. 

අවධානයට

ඉහත විස්තර අනුව සෝමාලියාව කිසිම රටක් උදව් නොකරන අසරණ ජාතියක් බවට පත්ව ඇත්තේ නූගත්කම, දුප්පත්කම, වර්ගවාදය හා බාහිර ජාතීන්ගේ නොමනා ක්‍රියාවන් නිසා බව පෙනේ. බලය යොදා ඔවුන් වෙඩිතබා මරා දැමීමෙන් ගැටළුව නිරාකරණය නොවන බව මගේ හැඟීමයි. මේ අවස්ථාවේ සියළුම බලවත් ජාතීන් එකතුවී සෝමාලියාව ජාත්‍යන්තර වශයෙන් හුදකලා නොකොට ඔවුන්ට හැම අතින්ම උදව් කළහොත් ගෞරවනීය ජාතියක් ලෙස යළි හිස එසවිය හැකි බව මගේ විශ්වාසයයි. පළමුව කළ යුත්තේ සෝමාලියාව අවට මුහුදේ නෞකා මගින් සාගරයට අපද්‍රව්‍ය දැමීම හා සෝමාලියානු මත්ස්‍ය සම්පත සූරාකෑම වහාම නැවැත්වීමයි. ඊළඟට බලය යොදා සියළුම ආයුධ සන්නද්ධ කල්ලි නිරායුධ කළ යුතුය. තෙවනුව රජය සමග සාකච්ඡා කොට එරටට මූල්‍ය පහසුකම් සපයා රට සංවර්ධනය කිරීමට ආධාර සැපයීමයි. නමුත් මේ ආකාරයටම බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කීපයක් විසින් මෙයට පෙර සෝමාලියාවට ආධාර උපකාර ලබාදෙන ලදී. අවාසනාවකට සිවිල් යුද්ධයක් ආරම්භ වී ඔවුන්ගේ එම උත්සාහය නිෂ්ඵල විණි. නැවතත් එවන් උත්සාහයක් කළොත් සාර්ථකවීමටද බැරි නැත. එසේ වුවහොත් මූසේ වැනි තරුණ ජීවිත අකාලයේ විනාශ වන්නේ හෝ තම වටිනා තරුණ කාලය සිරකුටි තුළ ගෙවී යන්නේද නැත.

No comments:

Post a Comment