Tuesday, February 11, 2020

Father of Ceylon Tea Industry - ලංකාවේ තේ කර්මාන්තයේ පියා

ලංකාවේ තේ කර්මාන්තයේ පියා සොයා තේ කෞතුකාගාරයට ගියෙමි.
(දුර්ලභ ඡායාරූප සමග විස්තරය)

පසුගියදා සිදුකළ මහනුවර සංචාරයකදී හන්තාන මාර්ගයේ පිහිටි ලංකාවේ තේ ක්ර්මාන්තය පිළිබඳ කෞතුකාගාරයට ගොඩ වුනෙමි. 

එහිදී අපට මිළකල නොහැකි කෞතුක භාණ්ඩ රැසක් දැකගත හැකිවිය. ඒවා අතර ලංකාවේ තේ ආරම්භ කළ 1860 ගණන් වල තේ ඇඹරුම් යන්ත්‍ර, විදුලි ජනක යන්ත්‍ර, මුල්ම තේ පැකට්ටුව මෙන්ම තේ කර්මාන්තය ආරම්භ කළ පුද්ගලයින්ගේ ඡායාරූප හා ඔවුන් භාවිත කළ ආම්පන්න ආදිය ද වේ. එයිනුත් මා වඩාත්ම සිත්ගත්තේ ලංකාවේ තේ කර්මාන්තයේ පියා ලෙස හැඳින්වෙන ජේම්ස් ටේලර් සහ ලංකාවේ තේ කර්මාන්තයෙන් වැඩි ප්‍රමාණයක් සියතට ගත් තෝමස් ලිප්ටන් යන දෙදෙනා පිළිබඳව දැනගත් කරුණු වලටය. මේ සමග අදාල ඡායාරූප කීපයක් ඉදිරිපත් කරමි. 

මීදුමින් වැසුණු තේ කෞතුකාගාරය ඉස්මත්තේ වනාන්තරය

තේ කෞතුකාගාර ගොඩනැගිල්ල 

තේ කෞතුකාගාර ගොඩනැගිල්ලට අයත් භූමිය

ඇතුළුවන දොරටුව

1880 නිෂ්පාදිත හොට් බල්බ් නම් එන්ජිම

සමස්ථ කර්මාන්ත ශාලාවකට බලය සැපයූ 1880 නිෂ්පාදිත
රස්ටන් නම් එන්ජිම



එසේම ජේම්ස් ටේලර් පිළිබඳව කෙටි සටහනකි මේ. 

ලංකාවේ ප්‍රධාන අපනයන භෝග වලින් එකක් ලෙස අපිට තේ හඳුන්වන්න පුළුවන්. ලංකාවේ අවසාන යටත් විජිතවාදීන් වූ ඉංග්‍රීසින්ගේ පාලන සමයේදී තමයි තේ අපට හඳුන්වා දුන්නේ. ඉංග්‍රීසින් විසින් තේ කර්මාන්තය ආරම්භ කිරීමෙන් පසු අපේ රට සීග්‍ර දියුණුවකට පත්වූ බව අමුතුවෙන් කිවයුතු නෑ. එයින් ප්‍රධාන වන්නේ උඩරට ප්‍රදේශයේ සිට රටේ ප්‍රධාන වරායන් දක්වා දුම්රිය මාර්ග සහ මහාමාර්ග ඉදිවීමයි. එයට හේතුව උඩරට වැවෙන තේ විදෙස් රටවලට අපනයන කිරීමට ඒවා වරායන් වෙත ගෙන ඒමට ඒ මාර්ග භාවිතා කිරීමයි. 

ඔබ දැනගන්න කැමති ඇති කොහොමද අපේ රටට තේ පැළය ආවේ කියල. 1824 දී තරම් ඈත කාලයේ ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍යයන් විසින් චීනයේ සිට මුලින්ම තේ පැළයක් ලංකාවට අරගෙන ඇවිල්ල තියෙනවා. ඒ කාලය හරියටම කියනවා නම්, අපේ අන්තිම රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජජුරුවෝ ඉංග්‍රීසින් විසින් අල්ලගෙන අවුරුදු 14 ක් ගියාට පස්සෙ කාලයයි. ඒ තේ පැලය අරගෙන ඇවිත් පේරාදෙනියේ රාජකීය උද්භිද උද්‍යානයේදී තමයි රෝපණය කරල තියෙන්නෙ. ඒ වාණිජ අරමුණු සඳහා නම් නෙවෙයි. ලංකාවේ පරිසරයට එය ගැලපෙනවද නැද්ද කියල පරීක්ෂණ කටයුතු කරන්න පමණයි. ඊට පස්සෙ1839 දී පමණ නැගෙනහිර ඉන්දියානු සමාගම ලංකාවේ තේ සිටුවීම පිළිබඳව තවදුරටත් පර්යේෂණාත්මක කටයුතු වල නිරත වෙලා තියෙනවා. 

තවත් අවුරුදු 14 කට පස්සෙ එනම් 1852 දී ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් නම් වැවිලිකරුවා ලංකාවට ආවා. ඔහු මහනුවර ගලහ පිහිටි ලූල්කඳුර ප්‍රදේශයේ පදිංචි වුනා. 

ජේම්ස් ටේලර් 1866 දී ආපසු ඉන්දියාවට ගියා. ඒ වතුකරයේ තේ වගා කිරීමේ මූලික කරුණු ඉගෙන ගැනීමටයි. ඔහු නැවත ලංකාවට පැමිණීමෙන් පසු උද්භිද උද්‍යානයේ තිබූ තේ බීජ රැගෙන ඇවිත් ලූල්කඳුර තම ගෙවත්තේ රෝපණය කරල තියෙනවා. පසුව ලූල්කඳුර කඳුකර ප්‍රදේශයේ අක්කර 19 ක කැලෑව කපා විශාල භූමියක් එළිකලා. මේ විදියට ඔහු මුලින්ම එම වතුයායේ තේ වගාව ආරම්භ කලා. ඒ කාලය 1867 යි. මේ වසර ලංකාවේ මුලින්ම තේ වගාව ආරම්භ වුණ වසර ලෙස හැඳින්වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔහු 1872 වනවිට ලූල් කඳුර වතුයායේ අංග සම්පූර්ණ තේ කම්හලක් ද ආරම්භ කලා. 

ටේලර් මෙම තේ කම්හලේ දී පැකට් කළ තේ නිෂ්පාදනය ආරම්භ කලා. 1875 දී ලංකාවේ පළමු තේ තොගය ලන්ඩන් තේ වෙන්දේසියට යැවීමට ටේලර් සමත් වුනා. 

ඔහු ලූල්කඳුර වතුයායේ ජීවත් වූ කාලය තුළ තේ අපනයනය රාත්තල් 23 සිට ටොන් 81 දක්වා ඉහළ ගියා. 1890 දී එය ටොන් 22,900 දක්වා ඉහළ ගියා. 

මේ කාලය වනවිට අපේ රටට කලින් ඉන්දියාව ඇතුළු සමහරක් බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල තේ කර්මාන්තය ආරම්භ වෙලා ඉවරයි. 

මේ විදියට ටේලර් මහත්මයාගේ තේ ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණුවෙනකොට යුරෝපය පුරාම ඒ පිලිබඳව ආරංචි පැතිර ගියා. 

එක්සත් රාජධානියේ කෝටිපතියෙකු වන තෝමස් ලිප්ටන් 1890 ගණන් වලදී ඕස්ට්‍රේලියාවට යන ගමන් ලංකාවටත් ඇවිල්ල අර ටේලර් මහත්මයව හමුවෙලා තියෙනවා. දෙන්න එකතු වෙලා තේ අපනනයනය පිළිබඳව සාකච්ඡා කරල තියෙනවා. ලිප්ටන් සමාගම ටේලර් මහතාගේ තේ මිලදී ගන්න තීරණය කලා. මේ විදියට තමයි තෝමස් ලිප්ටන් ලංකාවට සම්බන්ධ වන්නේ. ඒ කියන්නේ ලංකාවෙ තේ ආරම්භ කරන්නත් කලින් ලිප්ටන් මහතාගේ ලිප්ටන් තේ ලොව පුරා ජනප්‍රිය වෙලා තියෙනව වගේම ඔහු තේ ව්‍යාපාරයෙන් කෝටිපතියෙක් බවට පත්වෙලා තිබුණා. 

ලිප්ටන් වැනි බලවත් තේ සමාගම් ලංකාවේ තේ කර්මාන්තය ක්‍රම ක්‍රමයෙන් තම ග්‍රහණයට ගත්තා. මෙහිදී කුඩා තේ වතු හිමියන් ගේ තේ වතු සහ එම ව්‍යාපාරවල පාලනය බලවත් සමාගම් යටතට පත්වුණා. නව කළමනාකාරිත්වය විසින් ලූල්කඳුර වතුයායෙන් ජේම්ස් ටේලර්ව සේවයෙන් පහ කරනු ලැබුවා. 

ලූල්කඳුර වතුයායෙන් නෙරපා හැර වසරකට පසු දරුණු ආමාශ ආශ්‍රිත රෝග හා අතීසාරය හේතුවෙන් 1892 දී ජේම්ස් ටේලර් සදහටම දෙනෙත් පියා ගත්තා. ඔහුගේ දේහය මහනුවර මහයියාව සුසාන භූමියේ තැන්පත් කරල තියෙනවා. ඔහුගේ සොහොන් කොතෙහි මෙසේ සඳහන් වෙනවා. "මෙම දිවයිනේ සින්කෝනා සහ තේ ව්‍යාපාරයේ පුරෝගාමියා වූ ලූල්කඳුර වතුයායේ ජේම්ස් ටේලර්1892 මැයි 2 වන දින මිය යන විට ඔහුගේ වයස අවුරුදු 57 කි." 

ඔහුගේ මරණයෙන් අවුරුද්දකට පස්සෙ එනම් 1893 දී ලන්ඩනයට අපනයනය කළ ලංකා තේ පැකට් මිලියනයක් චිකාගෝ ලෝක ප්‍රදර්ශනයේදී විකුණන්නට පුළුවන් වුනා.මේ කාලය වනවිට තේ වතු වලින් වැඩි ප්‍රමාණයක් ඒ කියන්නෙ සියයට 80 කටත් වඩා වැඩි ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය සමාගම් සතු වුනා. 1971 දී ශ්‍රී ලංකා රජය විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත හඳුන්වා දුන් අතර තේ වතු වල අයිතිය රජය ලබාගත්තා. ඒකට තේ කර්මාන්තය ජනසතු කිරීම කියලයි කියන්නෙ. 

අදටත් ලෝකයේ ලංකාව ගැන අසා නැති අය පවා ලංකා තේ නම් හොඳට හඳුනනවා. ඒ අපේ රටේ තේ ලෝකයේ ඉස්තරම්ම තේ ලෙස නමක් දිනාගෙන තියෙන හින්දයි. ඒ වගේම තේ අපනයනයෙන් අපි විශාල විනියමයක් උපයනවා. එවන් තත්වයක් අපට හිමිකර දුන් ජේම්ස් ටේලර් මහතා සිහිපත් කිරීම අපේ යුතුකමක් ද වනවා. ඔහු ජීවත් වූ ස්ථානයේ ඔහුව සිහි කිරීම සඳහා 1992 දී කෞතුකාගාරයක් ද ඉදිකරල තියෙනවා.

No comments:

Post a Comment

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...