පසුගිය සතියේ තලේබාන් නම් ත්‍රස්තවාදී සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගැනීමත් සමග එය මේ දිනවල විදේශ ප්‍රවෘත්ති වල අංක එකට කියවෙන පුවතක් බවට පත්වුණා. මේ පුවත සම්බන්ධ උනන්දුවන අයට යම් දැනුමක් ලබාදීම මෙම ලිපියේ අරමුණයි.
තලේබාන් සංවිධානය බිහිවුණේ කොහොමද කියන්නට පෙර රටේ ඉතිහාසය මදක් විමසා බලමු. ඒකට 1973 තරම් දුරකට යන්න වෙනවා. 1973 ට පෙර ඇෆ්ගනිස්ථානයේ තිබුණේ රාජාණ්ඩු ක්‍රමයක්. මේ රාජාණ්ඩුවේ කලක් අගමැති විදියට පත්වෙලා සිටිය මොහොමඩ් ඩවුඩ් ඛාන් රාජාණ්ඩුව කුමන්ත්‍රණයක් මගින් පෙරලා දමා බලයට පැමිණියා. මේ නිසා 1973 දී ඇෆ්ගනිස්ථානයේ මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහිකලේ මොහොමඩ් ඩවුඩ් ඛාන්. (Mohammed Daoud Khan) ඔහු ඇෆ්ගනිස්ථානයේ ප්‍රථම ජනාධිපති ලෙස පත්වුණා.
1978 දී ඇෆ්ගන් විප්ලවය ආරම්භ වුනා. ඇෆ්ගන් විප්ලවය යනු කොමියුනිස්ට් සමාජවාදී රුසියාවේ අනුග්‍රහයෙන් සහ ආධාරයෙන් ඇෆ්ගනිස්ථානය තුළ විප්ලවයක් ඇතිකොට ඒ මගින් කොමියුනිස්ට් පාලනයක් ඇති කිරීමයි. මේ විප්ලවයට නායකත්වය දුන්නේ නූර් මොහොමඩ් තාරකි. (Nur Mohammad Taraki) විප්ලවය සාර්ථකවී 1978 දී ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට් හිතවාදී රජයක් පිහිටුවා ගැණුනා. නූර් මොහොමඩ් තාරකි (Nur Mohammad Taraki) තමයි මේ ආණ්ඩුවේ ප්‍රධානියා වුණේ.
නමුත් 1979 දී දියත් වූ තවත් අභ්‍යන්තර කුමන්ත්‍රණයකින් මොහොමඩ් තාරකිව බලයෙන් නෙරපා ඉස්ලාම් ආගමික නායකයෙකු වූ හෆිසුල්ලා අමීන් (Hafizullah Amin) රාජ්‍ය බලය පැහැරගත්තා. බලය ලබාගත් පසු තාරකිව නිදි යහනේදීම කොට්ට වලින් හුස්ම සිරකර ඝාතනය කරනු ලැබුවා.
රුසියන් හිතවාදී තාරකිව ඝාතනය කිරීමත්, කොමියුනිස්ට් ආණ්ඩුව බිඳදැමීමට පාර කැපීමත් රුසියාව කෝපයට පත්කිරීමේ සිද්ධියක් බවට පත්වුණා. මේ හේතුවෙන් රුසියානු හමුදා විසින් 1979 දී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරනු ලැබුවා. එසේම රුසියානු සහාය ලද තවත් ක්‍රමන්ත්‍රණයකින් හෆිසුල්ලා අමීන්වත් ඝාතනය වුනා. ඉන්පසු රට පාලනය කළේ රුසියානු හිතවාදී තවත් පාලකයෙකු වූ බබ්රක් කාමල්ය. (Babrak Karmal)
රුසියානු හිතවාදී නායක බබ්රක් කාමල්
කාමල්ගේ ආණ්ඩුව ආරක්ෂා කරමින් රුසියානු හමුදා දිගටම එරට රුඳී සිටියා. මෙන්න මේ පසුබිම තමයි තලේබාන් සංවිධානය බිහිවීමට පාර කැපුණේ.
තම රට ආක්‍රමණය කරමින් එරට රැඳී සිටින රුසියානු හමුදාවට සහ ඔවුන්ට සහාය දෙන රජයේ හමුදාවට එරෙහිව ඇෆ්ගනිස්ථාන් ආගමික කොටස් සටන් කරන්න තීරණය කළා. ඇතැමෙක් මෙම කොටස් මුස්ලිම් අන්තවාදී ගරිල්ලන් ලෙස හැඳින්වූවා. නමුත් ඔවුන්ව හැඳින්වූ නිල නාමය වූයේ මුජහිදීන්වරු ලෙසයි. (Mujahideen) මුජහිදීන් යනු ජිහාඩ් හෙවත් ශුද්ධවූ යුද්ධය වෙනුවෙන් පෙනී සිටින්නා යන අර්ථයයි.
මේ අනුව මුජහිදීන්වරුන්ගේ ප්‍රබල ප්‍රහාරයන්ට මුහුණ දීමට රුසියානු හමුදාවන්ට සිදුවුණා. මුජහිදීන්වරු සටනේ දී වඩාත් බලවත් වුණේ චීනය, පාකිස්ථානය, ඉරානය, එංගලන්තය සහ අමෙරිකාව විසින් ඔවුන්ට නවීනතම යුධ ආම්පන්න ලබාදුන් නිසයි. විශේෂයෙන් අමෙරිකාව විසින් සපයන ලද කරමත තබාගෙන ගුවන්යානාවලට වෙඩි තැබිය හැකි ගුවන් යානා නාශක මිසයිල් තුවක්කු නිසා රුසියානු ගුවන් බලය විනාශකර දැමීමට මුජහිදීන්වරුන්ට හැකිවුණා.
රුසියානු ගුවන් යානා වලට සාර්ථකව පහරදුන්
ගුවන්යානා නාශක තුවක්කුවක් වූ ස්ටින්ජර් මිසයිල විදිනය
මේ අතර 1986 දී බබ්රක් කාමල් වෙනුවට මොහොමඩ් නජිබුල්ලා (Mohammad Najibullah) රාජ්‍ය පාලකයා ලෙස පත්වුනා.
1978 දී ආරම්භ වූ මෙම සිවිල් යුද්ධය ඇෆ්ගන් යුද්ධය ලෙසයි හැඳින්වෙන්නේ. යුද්ධය වසර 10 ක් ඇදී ගියත් කාටවත් පැහැදිලි ජයග්‍රහණයක් හිමිවුණේ නැහැ. හැම පාර්ශවයකටම අලාබහානි සිදුවුනා. මේ යුද්ධයෙන් මුජාහිදීන් ගරිල්ලන් 90,000 ක් ද, ඇෆ්ගන් රජයේ හමුදා සාමාජිකයන් 18,000 ක් ද, සෝවියට් සොල්දාදුවන් 14,500 ක් ද මියගියා.
එවකට රුසියාවේ ජනාධිපතිව සිටියේ මිකායල් ගර්බචොෆ්. ඇෆ්ගන් යුද්ධයෙන් තම රටේ හමුදා භටයින් විශාල ප්‍රමාණයක් මියයාමත්, හමුදා සම්පත් විනාශවීමත් නිසා තම රටේ ආණ්ඩුවේත් රුසියානු ජනතාවගේත් දැඩි පීඩනයකට ගර්බචොෆ් ජනාධිපතිවරයා පත්ව සිටියා. ඇෆ්ගනිස්ථානයේ ඵලක් නොවන යුද්ධයකට මැදිහත්වීම නිරර්ථක ක්‍රියාවක් බව අවබෝධකරගත් ගර්බචොෆ් ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත්කර ගැනීමට තීරණය කළා. ඒ සඳහා ඔහු අමෙරිකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය සමග සාම ගිවිසුමක් අත්සන් කළා. මේ ගිවිසුමට අනුව රුසියානු හමුදා නැවත රුසියාවට කැඳවීම, මුජහිදීන්වරුන්ට අමෙරිකාව විසින් ආයුධ නොසැපයීම, ඇෆ්ගනිස්ථානයේ කටයුතු වලට පාකිස්ථානය අත නොපෙවීම ආදී කරුණු ඇතුළත් වුණා. මෙසේ ඇෆ්ගනිස්ථානයෙන් අවසාන රුසියානු සොල්දාදුවා පිටවුණේ 1989 දී. එතැන් සිට ඇෆ්ගනිස්ථානය ලෝක බලවතුන් ඇඟිලි නොගසන රාජ්‍යයක් බවට පත්වුණත් මුජහිදීන්වරුන් සහ රජයේ හමුදා අතර සටන් දිගටම පැවතුනා.
1994 දී මුජායිහිදීන්වරුන් සම්බන්ධයෙන් විශේෂ සිදුවීමක් වුණා. සංවිධානාත්මකව සටන් මෙහෙයවීම සඳහා මුජායිහිදීන් ගරිල්ලන් නව සංවිධානයක් බිහිකලා. ඒ තමයි තලේබාන් සංවිධානය. ඒ අනුව තලේබාන් සංවිධානය ආරම්භ කරනු ලැබුවේ 1994 දී මොහොමඩ් ඕමාර් සහ මුල්ලා අබ්දුල් ඝානි බරදාර් විසින්. මෙ අනුව සංවිධානයේ නියෝජ්‍ය නායක වුනේ මේ අබ්දුල් ඝානි යි.
රජයේ හමුදා අතර සිටි තලේබාන් හිතවාදී සෙබළුන් සහ තලේබාන් කැරලිකරුවන් එක්ව 1996 දී රටේ අගනුවර වන කාබුල් අල්ලාගත්තා. ඔවුන් ජනපති මාලිගයේ සිටි රාජ්‍ය නායක නජිබුල්ලාව ද ඝාතනය කිරීමෙන් මේ සටන අවසාන කළා. රාජ්‍ය නායකයා වුනේ තලේබාන් නායක මොහොමඩ් ඕමාර්ය. ඔවුන් “ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය එමිරේට් රාජ්‍යය” ප්‍රකාශයට පත්කළා.
මේ අනුව 1996 දී තලේබාන් සංවිධානය මුළු ඇෆ්ගනිස්ථානයම අල්ලා ගැනීමෙන් පසු රට තුළ දැඩි ඉස්ලාමීය නීති රීති පැනෙව්වා. කාන්තාවන්ට හිසේ සිට දෙපතුල දක්වා ආවරණ පැලඳීමට සිදු වූ අතර, ඉගෙනීමට හෝ වැඩ කිරීමට ඉඩ නොදුන් අතර තනිව ගමන් කිරීම කාන්තාවන්ට තහනම් විය. රූපවාහිනිය, සංගීතය සහ ඉස්ලාමීය නොවන නිවාඩු දින ද තහනම් කළා
මේ තත්වය වෙනස් වූයේ 2001 සැප්තැම්බර් 11 න් පසුවයි. එනම් ත්‍රස්තවාදීන් 19 දෙනෙකු අමෙරිකාවට අයත් වාණිජ ගුවන් යානා 4 ක් පැහැරගෙන, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුළුණු දෙකකටත්, පෙන්ටගනයටත්, අනෙක පෙන්සිල්වේනියාවේ කෙතකටත් කඩා වැදීමෙන් පසුවයි. මෙම ප්‍රහාර වලින් පුද්ගලයින් 2,700 කට වැඩි පිරිසක් මිය ගියා. මෙම ප්‍රහාරය සැලසුම් කළේ අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් බවත්, ඔහු තලේබාන්වරු පාලනය කළ ඇෆ්ගනිස්ථානය තුළ සිට ක්‍රියාත්මක වී ඇති බවත් අමෙරිකාව සොයාගත්තා.
ප්‍රහාරය සිදුවී මාසයක් ගතවීමටත් පෙර අමෙරිකාව ඇතුළු මිත්‍ර හමුදා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළා. ඒ අල්කයිඩා සංවිධානයට තලේබාන් සංවිධානය විසින් ආරක්ෂිත ස්ථානයක් ලබා දීම වැළැක්වීමට සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ඇෆ්ඝනිස්ථානය යොදා ගැනීම නැවැත්වීමටයි. 2001 දී අමෙරිකාව විසින් තලේබාන්වරු බලයෙන් පහකර අමෙරිකාවට පක්ෂපාතී භාරකාර ආණ්ඩුවක් ඇෆ්ගනිස්ථානය තුළ පිහිටුවනු ලැබුවා. භාරකාර රජයේ නායකයා වුනේ හමීඩ් කර්සායි. (Hamid Karzai). 2004 දී රජයේ නිල නාමය ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජය ලෙස වෙනස් වුවත් එම රජයේ නායකයා වුනේද හමීඩ් කර්සායි. 2014 දී ඇෆ්ගනිස්ථානයේ ජනපති ලෙස පත්කරනු ලැබුවේ අශ්රෆ් ගානි ය. ඔහු වර්තමානය දක්වා බලයේ සිටියා.

2013 දී තලේබාන් සංවිධානයේ ආරම්භකයා ක්ෂය රෝගය සෑදී මියයාමෙන් පසු ඔහු මියගිය පුවත එතැන් සිට දෙවසරක් තිස්සේ රහසක් වශයෙන් තබාගැනීමට සංවිධානය තීරණය කළා. මේ නිසා නව නායකයා ලෙස මුල්ලා අක්තාර් මන්සූර්ට (Mullah Akhtar Mansour) පත්වීම ලැබුණේ 2015 දී. නමුත් ඔහුට බලයේ සිටින්නට ඉඩ ලැබුණේ වසරක කාලයක් පමණයි. පාකිස්ථානයේදී එල්ල කළ අමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වුණා.
2016 දී තලේබාන් සංවිධානයේ නව නායකයා ලෙස පත්වුණේ ආරම්භක පරම්පරාවේ නායකයෙකු වූ මව්ලවි හයිබතුල්ලා අකුන්ද්සාඩා ය. (Mullah Hibatullah Akhundzada)
මේ අනුව වසර 2001 සිට අවුරුදු 20 ක්ම (2021 දක්වා) තලේබාන් සංවිධානය මිත්‍ර හමුදා සහ අමෙරිකාවේ උදව් ලබන ඇෆ්ගනිස්ථාන් රජයට එරෙහිව දිගටම සටන් කළා.
අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අමෙරිකානු හමුදා යළි ආපසු කැඳවීමට ගත් තීරණය නිසා 2021 අගෝස්තු මුලදී අමෙරිකානු හමුදා ඉවත්ව ගිය වහාම යළි තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගත්තා. එතෙක් කාබුල් නුවර ජනපති මන්දිරයේ සිටි ජනපති අශ්රෆ් ගානි රටින් පැනගියා. නැවතත් දෙවන වරට තලිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය එමිරේට් රාජ්‍යය ප්‍රකාශයට පත්කරනු ලැබුවා. ඒ සමගම මේ දක්වා රටින් පිට සැඟවී සිටි තලේබාන් නායකයින් කීප දෙනෙක් ආපසු ඇෆ්ගනිස්ථානය වෙත ළඟාවුනා. ඔවුන් අතර තලිබාන් සංවිධානය ගොඩනැගූ නියෝජ්‍ය නායක අබ්දුල් ඝානි බරදාර් ද සිටියා. තවමත් ජාත්‍යන්තර පිළිනොගත් මේ රජයේ නායකයා ලෙස දැන් පත්ව සිටින්නේ කලින් සඳහන් කළ වත්මන් තලිබාන් සංවිධානයේ නායක හයිබතුල්ලා අකුන්ද්සාඩා ය.
මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDeleteස්තුතියි, හොඳ කාර්යයක්. සහයෝගය දෙන්නෙමි.
Delete