Wednesday, August 25, 2021

Who are the Taliban and the history of Afghan War - ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරු යනු කව්රුහුද?

ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරු යනු කව්රුහුද? සහ එහි පසුබිම සහ ඉතිහාසය කෙටියෙන්...

පසුගිය සතියේ තලේබාන් නම් ත්‍රස්තවාදී සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගැනීමත් සමග එය මේ දිනවල විදේශ ප්‍රවෘත්ති වල අංක එකට කියවෙන පුවතක් බවට පත්වුණා. මේ පුවත සම්බන්ධ උනන්දුවන අයට යම් දැනුමක් ලබාදීම මෙම ලිපියේ අරමුණයි.
පාකිස්ථානයට යාබද රට ඇෆ්ගනිස්ථානයයි

තලේබාන් සංවිධානය බිහිවුණේ කොහොමද කියන්නට පෙර රටේ ඉතිහාසය මදක් විමසා බලමු. ඒකට 1973 තරම් දුරකට යන්න වෙනවා. 1973 ට පෙර ඇෆ්ගනිස්ථානයේ තිබුණේ රාජාණ්ඩු ක්‍රමයක්. මේ රාජාණ්ඩුවේ කලක් අගමැති විදියට පත්වෙලා සිටිය මොහොමඩ් ඩවුඩ් ඛාන් රාජාණ්ඩුව කුමන්ත්‍රණයක් මගින් පෙරලා දමා බලයට පැමිණියා. මේ නිසා 1973 දී ඇෆ්ගනිස්ථානයේ මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහිකලේ මොහොමඩ් ඩවුඩ් ඛාන්. (Mohammed Daoud Khan) ඔහු ඇෆ්ගනිස්ථානයේ ප්‍රථම ජනාධිපති ලෙස පත්වුණා.


ඇෆ්ගනිස්ථානයේ ප්‍රථම ජනාධිපති මොහොමඩ් ඩවුඩ් ඛාන්
1978 දී ඇෆ්ගන් විප්ලවය ආරම්භ වුනා. ඇෆ්ගන් විප්ලවය යනු කොමියුනිස්ට් සමාජවාදී රුසියාවේ අනුග්‍රහයෙන් සහ ආධාරයෙන් ඇෆ්ගනිස්ථානය තුළ විප්ලවයක් ඇතිකොට ඒ මගින් කොමියුනිස්ට් පාලනයක් ඇති කිරීමයි. මේ විප්ලවයට නායකත්වය දුන්නේ නූර් මොහොමඩ් තාරකි. (Nur Mohammad Taraki) විප්ලවය සාර්ථකවී 1978 දී ඇෆ්ගනිස්ථානයේ කොමියුනිස්ට් හිතවාදී රජයක් පිහිටුවා ගැණුනා. නූර් මොහොමඩ් තාරකි (Nur Mohammad Taraki) තමයි මේ ආණ්ඩුවේ ප්‍රධානියා වුණේ.

ඇෆ්ගන් විප්ලවයේ අවස්ථාවක්

රුසියන් හිතවාදී කොමියුනිස්ට් ආණ්ඩුවේ ජනාධිපති නූර් මොහොමඩ් තාරකි
නමුත් 1979 දී දියත් වූ තවත් අභ්‍යන්තර කුමන්ත්‍රණයකින් මොහොමඩ් තාරකිව බලයෙන් නෙරපා ඉස්ලාම් ආගමික නායකයෙකු වූ හෆිසුල්ලා අමීන් (Hafizullah Amin) රාජ්‍ය බලය පැහැරගත්තා. බලය ලබාගත් පසු තාරකිව නිදි යහනේදීම කොට්ට වලින් හුස්ම සිරකර ඝාතනය කරනු ලැබුවා. 
කුමන්න්ත්‍රණයකින් බලය ලබාගෙන  මොහොමඩ් තාරකිව ඝාතනය කළ හෆිසුල්ලා අමීන්

රුසියන් හිතවාදී තාරකිව ඝාතනය කිරීමත්, කොමියුනිස්ට් ආණ්ඩුව බිඳදැමීමට පාර කැපීමත් රුසියාව කෝපයට පත්කිරීමේ සිද්ධියක් බවට පත්වුණා.  මේ හේතුවෙන් රුසියානු හමුදා විසින් 1979 දී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරනු ලැබුවා. එසේම රුසියානු සහාය ලද තවත් ක්‍රමන්ත්‍රණයකින් හෆිසුල්ලා අමීන්වත් ඝාතනය වුනා. ඉන්පසු රට පාලනය කළේ රුසියානු හිතවාදී තවත් පාලකයෙකු වූ බබ්රක් කාමල්ය. (Babrak Karmal) 

රුසියානු හිතවාදී නායක බබ්රක් කාමල්

එවකට රුසියානු ජනාධිපතිව සිටි ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් සමග බබ්රක් කාමල්

කාමල්ගේ ආණ්ඩුව ආරක්ෂා කරමින් රුසියානු හමුදා දිගටම එරට රුඳී සිටියා. මෙන්න මේ පසුබිම තමයි තලේබාන් සංවිධානය බිහිවීමට පාර කැපුණේ.

තම රට ආක්‍රමණය කරමින් එරට රැඳී සිටින රුසියානු හමුදාවට සහ ඔවුන්ට සහාය දෙන රජයේ හමුදාවට එරෙහිව ඇෆ්ගනිස්ථාන් ආගමික කොටස් සටන් කරන්න තීරණය කළා. ඇතැමෙක් මෙම කොටස් මුස්ලිම් අන්තවාදී ගරිල්ලන් ලෙස හැඳින්වූවා. නමුත් ඔවුන්ව හැඳින්වූ නිල නාමය වූයේ මුජහිදීන්වරු ලෙසයි. (Mujahideen) මුජහිදීන් යනු ජිහාඩ් හෙවත් ශුද්ධවූ යුද්ධය වෙනුවෙන් පෙනී සිටින්නා යන අර්ථයයි. 

1980 ගණන්වල රුසියානු හමුදාවට පහරදුන් මුජහිදීන් ගරිල්ලන්

මේ අනුව මුජහිදීන්වරුන්ගේ ප්‍රබල ප්‍රහාරයන්ට මුහුණ දීමට රුසියානු හමුදාවන්ට සිදුවුණා. මුජහිදීන්වරු සටනේ දී වඩාත් බලවත් වුණේ චීනය, පාකිස්ථානය, ඉරානය, එංගලන්තය සහ අමෙරිකාව විසින් ඔවුන්ට නවීනතම යුධ ආම්පන්න ලබාදුන් නිසයි. විශේෂයෙන් අමෙරිකාව විසින් සපයන ලද කරමත තබාගෙන ගුවන්යානාවලට වෙඩි තැබිය හැකි ගුවන් යානා නාශක මිසයිල් තුවක්කු නිසා රුසියානු ගුවන් බලය විනාශකර දැමීමට මුජහිදීන්වරුන්ට හැකිවුණා. 

රුසියානු ගුවන් යානා වලට සාර්ථකව පහරදුන්
ගුවන්යානා නාශක තුවක්කුවක් වූ ස්ටින්ජර් මිසයිල විදිනය

මේ අතර 1986 දී බබ්රක් කාමල් වෙනුවට මොහොමඩ් නජිබුල්ලා (Mohammad Najibullah) රාජ්‍ය පාලකයා ලෙස පත්වුනා.
රුසියන් හමුදා යටතේ තවත් පාලකයෙක් - මොහොමඩ් නජිබුල්ලා

1978 දී ආරම්භ වූ මෙම සිවිල් යුද්ධය ඇෆ්ගන් යුද්ධය ලෙසයි හැඳින්වෙන්නේ. යුද්ධය වසර 10 ක් ඇදී ගියත් කාටවත් පැහැදිලි ජයග්‍රහණයක් හිමිවුණේ නැහැ. හැම පාර්ශවයකටම අලාබහානි සිදුවුනා. මේ යුද්ධයෙන් මුජාහිදීන් ගරිල්ලන් 90,000 ක් ද, ඇෆ්ගන් රජයේ හමුදා සාමාජිකයන් 18,000 ක් ද, සෝවියට් සොල්දාදුවන් 14,500 ක් ද මියගියා.

එවකට රුසියාවේ ජනාධිපතිව සිටියේ මිකායල් ගර්බචොෆ්. ඇෆ්ගන් යුද්ධයෙන් තම රටේ හමුදා භටයින් විශාල ප්‍රමාණයක් මියයාමත්, හමුදා සම්පත් විනාශවීමත් නිසා තම රටේ ආණ්ඩුවේත් රුසියානු ජනතාවගේත් දැඩි පීඩනයකට ගර්බචොෆ් ජනාධිපතිවරයා පත්ව සිටියා. ඇෆ්ගනිස්ථානයේ ඵලක් නොවන යුද්ධයකට මැදිහත්වීම නිරර්ථක ක්‍රියාවක් බව අවබෝධකරගත් ගර්බචොෆ් ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත්කර ගැනීමට තීරණය කළා. ඒ සඳහා ඔහු අමෙරිකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය සමග සාම ගිවිසුමක් අත්සන් කළා. මේ ගිවිසුමට අනුව රුසියානු හමුදා නැවත රුසියාවට කැඳවීම, මුජහිදීන්වරුන්ට අමෙරිකාව විසින් ආයුධ නොසැපයීම, ඇෆ්ගනිස්ථානයේ කටයුතු වලට පාකිස්ථානය අත නොපෙවීම ආදී කරුණු ඇතුළත් වුණා. මෙසේ ඇෆ්ගනිස්ථානයෙන් අවසාන රුසියානු සොල්දාදුවා පිටවුණේ 1989 දී. එතැන් සිට ඇෆ්ගනිස්ථානය ලෝක බලවතුන් ඇඟිලි නොගසන රාජ්‍යයක් බවට පත්වුණත් මුජහිදීන්වරුන් සහ රජයේ හමුදා අතර සටන් දිගටම පැවතුනා.

1994 දී මුජායිහිදීන්වරුන් සම්බන්ධයෙන් විශේෂ සිදුවීමක් වුණා. සංවිධානාත්මකව සටන් මෙහෙයවීම සඳහා මුජායිහිදීන් ගරිල්ලන් නව සංවිධානයක් බිහිකලා. ඒ තමයි තලේබාන් සංවිධානය. ඒ අනුව තලේබාන් සංවිධානය ආරම්භ කරනු ලැබුවේ 1994 දී මොහොමඩ් ඕමාර් සහ මුල්ලා අබ්දුල් ඝානි බරදාර් විසින්. මෙ අනුව සංවිධානයේ නියෝජ්‍ය නායක වුනේ මේ අබ්දුල් ඝානි යි.
තලේබාන් මුල් නායක මොහොමඩ් ඕමාර්


නියෝජ්‍ය නායක අබ්දුල් ඝානි බරදාර්

රජයේ හමුදා අතර සිටි තලේබාන් හිතවාදී සෙබළුන් සහ තලේබාන් කැරලිකරුවන් එක්ව 1996 දී රටේ අගනුවර වන කාබුල් අල්ලාගත්තා. ඔවුන් ජනපති මාලිගයේ සිටි රාජ්‍ය නායක නජිබුල්ලාව ද ඝාතනය කිරීමෙන් මේ සටන අවසාන කළා. රාජ්‍ය නායකයා වුනේ තලේබාන් නායක මොහොමඩ් ඕමාර්ය. ඔවුන් “ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය එමිරේට් රාජ්‍යය” ප්‍රකාශයට පත්කළා.

මේ අනුව 1996 දී තලේබාන් සංවිධානය මුළු ඇෆ්ගනිස්ථානයම අල්ලා ගැනීමෙන් පසු රට තුළ දැඩි ඉස්ලාමීය නීති රීති පැනෙව්වා. කාන්තාවන්ට හිසේ සිට දෙපතුල දක්වා ආවරණ පැලඳීමට සිදු වූ අතර, ඉගෙනීමට හෝ වැඩ කිරීමට ඉඩ නොදුන් අතර තනිව ගමන් කිරීම කාන්තාවන්ට තහනම් විය. රූපවාහිනිය, සංගීතය සහ ඉස්ලාමීය නොවන නිවාඩු දින ද තහනම් කළා

මේ තත්වය වෙනස් වූයේ 2001 සැප්තැම්බර් 11 න් පසුවයි. එනම් ත්‍රස්තවාදීන් 19 දෙනෙකු අමෙරිකාවට අයත් වාණිජ ගුවන් යානා 4 ක් පැහැරගෙන, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුළුණු දෙකකටත්, පෙන්ටගනයටත්, අනෙක පෙන්සිල්වේනියාවේ කෙතකටත් කඩා වැදීමෙන් පසුවයි. මෙම ප්‍රහාර වලින් පුද්ගලයින් 2,700 කට වැඩි පිරිසක් මිය ගියා. මෙම ප්‍රහාරය සැලසුම් කළේ අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් බවත්, ඔහු තලේබාන්වරු පාලනය කළ ඇෆ්ගනිස්ථානය තුළ සිට ක්‍රියාත්මක වී ඇති බවත් අමෙරිකාව සොයාගත්තා.

අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්

ප්‍රහාරය සිදුවී මාසයක් ගතවීමටත් පෙර අමෙරිකාව ඇතුළු මිත්‍ර හමුදා ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළා. ඒ අල්කයිඩා සංවිධානයට තලේබාන් සංවිධානය විසින් ආරක්ෂිත ස්ථානයක් ලබා දීම වැළැක්වීමට සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ඇෆ්ඝනිස්ථානය යොදා ගැනීම නැවැත්වීමටයි. 2001 දී අමෙරිකාව විසින් තලේබාන්වරු බලයෙන් පහකර අමෙරිකාවට පක්ෂපාතී භාරකාර ආණ්ඩුවක් ඇෆ්ගනිස්ථානය තුළ පිහිටුවනු ලැබුවා. භාරකාර රජයේ නායකයා වුනේ හමීඩ් කර්සායි. (Hamid Karzai). 2004 දී රජයේ නිල නාමය ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජය ලෙස වෙනස් වුවත් එම රජයේ නායකයා වුනේද හමීඩ් කර්සායි. 2014 දී ඇෆ්ගනිස්ථානයේ ජනපති ලෙස පත්කරනු ලැබුවේ අශ්රෆ් ගානි ය. ඔහු වර්තමානය දක්වා බලයේ සිටියා.
අමෙරිකානු හමුදා යටතේ සිටි ඇෆ්ගන් ජනපති හමිඩ් කර්සායි

අමෙරිකානු හමුදා ඉවත්වනවිට සිටි ඇෆ්ගන් ජනපති අශ්රෆ් ගානි

‍2013 දී තලේබාන් සංවිධානයේ ආරම්භකයා ක්ෂය රෝගය සෑදී මියයාමෙන් පසු ඔහු මියගිය පුවත එතැන් සිට දෙවසරක් තිස්සේ රහසක් වශයෙන් තබාගැනීමට සංවිධානය තීරණය කළා. මේ නිසා නව නායකයා ලෙස මුල්ලා අක්තාර් මන්සූර්ට (Mullah Akhtar Mansour) පත්වීම ලැබුණේ 2015 දී. නමුත් ඔහුට බලයේ සිටින්නට ඉඩ ලැබුණේ වසරක කාලයක් පමණයි. පාකිස්ථානයේදී එල්ල කළ අමෙරිකානු ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වුණා.


2016 දී තලේබාන් සංවිධානයේ නව නායකයා ලෙස පත්වුණේ ආරම්භක පරම්පරාවේ නායකයෙකු වූ මව්ලවි හයිබතුල්ලා අකුන්ද්සාඩා ය. (Mullah Hibatullah Akhundzada)

මේ අනුව වසර 2001 සිට අවුරුදු 20 ක්ම (2021 දක්වා) තලේබාන් සංවිධානය මිත්‍ර හමුදා සහ අමෙරිකාවේ උදව් ලබන ඇෆ්ගනිස්ථාන් රජයට එරෙහිව දිගටම සටන් කළා.

අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අමෙරිකානු හමුදා යළි ආපසු කැඳවීමට ගත් තීරණය නිසා 2021 අගෝස්තු මුලදී අමෙරිකානු හමුදා ඉවත්ව ගිය වහාම යළි තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගත්තා. එතෙක් කාබුල් නුවර ජනපති මන්දිරයේ සිටි ජනපති අශ්රෆ් ගානි රටින් පැනගියා. නැවතත් දෙවන වරට තලිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය එමිරේට් රාජ්‍යය ප්‍රකාශයට පත්කරනු ලැබුවා. ඒ සමගම මේ දක්වා රටින් පිට සැඟවී සිටි තලේබාන් නායකයින් කීප දෙනෙක් ආපසු ඇෆ්ගනිස්ථානය වෙත ළඟාවුනා. ඔවුන් අතර තලිබාන් සංවිධානය ගොඩනැගූ නියෝජ්‍ය නායක අබ්දුල් ඝානි බරදාර් ද සිටියා. තවමත් ජාත්‍යන්තර පිළිනොගත් මේ රජයේ නායකයා ලෙස දැන් පත්ව සිටින්නේ කලින් සඳහන් කළ වත්මන් තලිබාන් සංවිධානයේ නායක හයිබතුල්ලා අකුන්ද්සාඩා ය.



Saturday, April 10, 2021

The Kumana Ramsar Wetland Cluster - කුමන රම්සා තෙත්බිම් සමූහය



කුමන කුරුළු අභයභූමියේ සුන්දර චාරිකාව




පසුගිය දිනක (2021/04/02) කලකට පසු කොළඹින් පිටත චාරිකාවක් සඳහා පිටත්වූයෙමි. 2020 වසරේ ලංකාව ඇතුළු ලෝකයම වෙලාගත් මාරක කොරෝනා වසංගත තත්වය හමුවේ ලංකාවේ බොහෝ දෙනෙකුට විනෝද සවාරි හෝ දුරගමන් තහනම් බවට පත්විය. තහනම කෙසේවුවත් එවැනි ගමන් බිමන් යාමට බොහෝ දෙනෙක් කැමති වූයේ නැත. 2021 වසර උදාවී ටික කලක් ගතවනවිට රජයේ සෞඛ්‍ය අංශ විසින් බොහෝ සංචරණ සීමා ලිහිල් කළ අතර රට ද ක්‍රමයෙන් සාමාන්‍යකරණය වෙමින් පැවතිණ. රෝගය සෑදුනු බොහෝ දෙනෙක් මේ කාලයේ සුවවී තිබූ නිසා ජනතාව ට යම් මානසික සුවයක්ද ලැබී තිබුණි. මේ නිසා 2021 වසරේ රටේ වැඩි දෙනෙක් තමනට මෙතෙක් කාලයක් යාමට නොහැකිව තිබූ දුර ගමන් සහ විනෝද චාරිකා සංවිධානය කරන්නට පෙළඹී තිබුණි.

ඒ අනුව මමද පවුලේ සියල්ලම සමගින් මෙවැනි සංචාරයක් සඳහා යාමට උත්සුක විය. චාරිකාව සංවිධානය කළේ අපේ හිතවත් තවත් පවුලක සාමාජිකයින් ය. විශේෂයෙන් එම පවුලේ සාමාජිකයින් විසින් සංවිධානය කළ මෙම ගමනට අපිද එක්වූයෙමු.

ගමනාන්තය වූයේ වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් ලංකාවේ නැගෙනහිර පලාතේ ඈත දකුණු කෙළවරේ පිහිටි කුමන අභයභූමියයි. මෙය කුමන කුරුළු අභයභූමිය ලෙසද හැඳින්වේ. ලංකාවේ වෙනත් කිසිම පලාතක දක්නට නොමැති කුරුළු විශේෂ ගණනාවක්ම මෙහිදී දක්නට ලැබෙන නිසා මෙය කුරුල්ලන්ටම වෙන්වුණු අභයභූමියක් ලෙසද හඳුනාගත හැක. මෙම අභයභූමිය හඳුන්වන පුවරුවල දැක්වෙන්නේ “කුමන ජාත්‍යන්තර රම්සා තෙත්බිම් සමූහය” (Kumana International Ramsar Wetland Cluster) ලෙසයි. ඉතින් අපි බලමු රම්සා තෙත්බිම් කියන්නේ කුමක්ද කියලත් කොහොමද ඒ වගේ නාමයක් ලැබුණේ කියලත්.

ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් තෙත්බිම් පිළිබඳ රම්සාර් සම්මුතිය යනු ජලජ පක්ෂීන්ගේ ජනාවාස ලෙස හැඳින්වෙන තෙත්බිම් සංරක්ෂණය හා ඒවා තිරසාර ලෙස භාවිතය සඳහා වන ජාත්‍යන්තර ගිවිසුමකි. එය තෙත්බිම් සම්මුතිය ලෙසද හැඳින්වේ. 1971 පෙබරවාරි 2 දින මෙම සම්මුතිය මුල්වරට අත්සන් කරන ලද්දේ ඉරානයේ රාම්සාර් නගරයේ නිසා මෙම සම්මුතිය එනමින් හඳුන්වන ලදී. තවද මෙම දිනය ලෝක තෙත්බිම් දිනය ලෙස ද වාර්ෂිකව දැන් සමරනු ලැබේ. ශ්‍රී ලංකාව මෙම සම්මුතියට අත්සන් කරන ලද්දේ 1990 ඔක්තෝබර් 15 දින දීය.


1971 දී ඉරානයේ පැවති මුල්ම තෙත්බිම් සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව

රම්සාර් සම්මුතියට අනුව ශ්‍රී ලංකාවේ සංරක්ෂිත තෙත්බිම් 6 ක් දැනට හඳුනාගෙන ඇත. 
 
ශ්‍රී ලංකාවේ පිහිටි රම්සා තෙත්බිම් 6 මෙසේයි.

·බුන්දල - ලංකාවේ පළමු රම්සා තෙත්බිම.(1990 දී)
·ආනවිලුන්දාව - දෙවන රම්සා තෙත්බිම.(2001 දී)
·මාදුගඟ අභයභූමිය - තුන්වන රම්සා තෙත්බිම.(2003 දී)
·මන්නාරම වාන්කාලේ අභයභූමිය - හතරවන රම්සා තෙත්බිම.(2010 දී)
·කුමන-පානම අභයභූමිය - පස්වන රම්සා තෙත්බිම.(2010 දී)
·විල්පත්තුව අභයභූමිය - හයවන රම්සා තෙත්බිම.(2013 දී)


ලංකාවේ පිහිටි රම්සා තෙත්බිම් 6


මේ අනුව කුමන අභයභූමිය 2010 දී ලංකාවේ ප්‍රකාශයට පත්කළ පස්වැනි සහ විශාලතම රම්සා තෙත්බිම් සමූහයයි. මෙය ඉහත සඳහන් කළ කරදිය වර්ගයට අයත් තෙත්බිමකි.

කුමන පිහිටීම පිළිබඳව කෙටි විස්තරයක් ද ඉදිරිපත් කළොත් වඩා උචිත යැයි සිතමි. කුමන පිහිටියේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ දකුණු කෙළවර. කුමන අභයභූමිය නිර්මාණය කළේ කොටස් කීපයක් එකතුකිරීමෙනි. යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානය සහ පානම-කුඩුම්බිගල අභයභූමිය එකතු කිරීමෙනි. කුමන අභයභූමිය හෙක්ටෙයාර 35,665 ක් පුරා පැතිර පවතී. එයට නිත්‍යානුකූලව ඇතුළුවීමට නම් ලංකාවේ ඕනෑම දිසාවකින් පළමුව පොතුවිල් වලට පැමිණිය යුතුවේ. ඉන්පසු එතැන් සිට ආරුගම්බේ වෙත පැමිණ ඉන්පසු පානමට පැමිණිය යුතුවේ. කොළඹ සිට කුමනට දුර කිලෝ මීටර් 390 කි. විවෘතව තබන වේලාව උදේ 6 සිට සවස 6 දක්වා පමණි.



මෙහි රතු කවයෙන් ආවරණය වන අළුපැහැයෙන් දක්වා ඇති කොටස සහ ඊට යාබද ලා නිල් පැහැයෙන් දක්වා ඇති කොටස දැන් කුමන අභයභූමියට අයත්වෙයි.


කුමන යාම සඳහා ඇති එකම ගමන් මාර්ගය - ලංකාවේ ඕනෑම පලාතක සිට පොතුවිල්  නගරයට පැමිණ පානම දෙසට ගමන් කළ යුතුය.

පාන්දර 5 ට පමණ කොළඹින් පිටත්වූ අප මඩකලපුව ස්ලෝටර් හවුස් ලේක් පාරේ පිහිටි අපගේ නවාතැනට පැමිණෙන විට සවස 5 ත් පසුවී තිබුණි. එතරම් වේලාවක් ගතවුණේ අතරමගදී පොළොන්නරුව ඓතිහාසික සොමාවතී චෛත්‍යය ද වැඳපුදාගත් නිසාය. නවාතැනේ සේවකයින් විසින් පිළියෙළ කරන ලද ප්‍රණීත රාත්‍රී ආහාරය ලබාගැනීමෙන් පසු නින්දට පිවිසි අප පසුවදා පාන්දරින්ම අවදිවූයේ කුමන ගමනට සූදානම් වීම සඳහාය.

ජංගම දුරකථන වලට යොදා තිබූ Google Map යෙදුම භාවිතා කරනවිට දැකගත හැකිවූයේ මඩකලපුවේ සිට කුමන අභයභූමි පිවිසුමට ඇති දුර කිලෝමීටර් 165 ක් වන බවයි. එය සුළුපටු දුරක් නොවේ. නමුත් යායුතුම විය.

මඩකලපුවේ සිට ආරුගම්බේ දක්වා මාර්ගය සුපිරි තත්වයේය. අපි මේසා විශාල දුරක් පසුකරගෙන යනවිට අප මෙයට කලින් අසා ඇති නමගිය නගර කීපයක් හමුවිය. ඒවා අපේ මතකයේ රැඳී ඇත්තේ ඊළාම් යුද්ධයේ ප්‍රවෘත්ති වාර්තා නිසාය. නැතහොත් පාස්කු ප්‍රහාරයේ වාර්තා නිසාය. ඒවා නම්, කල්ලඩි පාලම, කාත්තන්කුඩි, කුරුක්කල් මඩම්, කලවංචිකුඩි, පන්දිරිප්පු, කල්මුනේ, සයින්දමරුදු, කාරතිව් , ඔලුවිල්, අඩ්ඩාලචේනෙයි, අක්රෙයිපත්තු, තිරුක්කෝවිල්, විනයාගපුරම්, සන්ගමන්කන්ද, පොතුවිල් ආදියයි.

කුමනට යාම සඳහා ආරුගම්බේ සිට මුලින්ම කිලෝමීටර් 17 ක් මගගෙවා පානම-කුඹුක්කන පාර පිවිසුමට පැමිණිය යුතුය. මෙම මාර්ගයද කාපට් අතුරා ඉතා හොඳ තත්වයේ ඇති මාර්ගයකි.

පානම-කුඹුක්කන පාරට හැරෙන හන්දියේ කුමන අභයභූමිය පිළිබඳ ප්‍රචාරක පුවරුවක් ඉදිකර තිබේ. එහි කුමන පිවිසුමට එතැන් සිට දුර කිලෝමීටර් 16 ක් ලෙස දක්වා ඇත. 


පානම-කුඹුක්කන පාරට හැරෙන මංසන්දිය

මෙම මාර්ගය ඉතා අබලන් තත්වයේ පවතී. කෙතරම් හොඳ තත්වයේ වාහනයකට වුණත් මෙම මාර්ගයේ යාම ඉතා අපහසුය. එතැන මගීන් නොමැති සෆාරි ජීප් රථයක් ඒ අවස්නොථාවේ එතැන නොතිබූ නිසා අප තීරණය කළේ අප ගිය වාහනයෙන්ම කුමන පිවිසුම් දොරටුව වෙත යාමයි. ගමන අපහසු වුණත් අවට ඇති පරිසරයේ සුන්දරත්වය නිසාම ගමනේ වෙහෙස අපට එතරම් නොදැණුනි. අපි මුලින්ම ගමන් ගත්තේ පානම-කුඩුම්බිගල අභය භූමිය මැදින්ය. පානම අභයභූමිය අවසන් වනවාත් සමග විශාල පුරන්වී ගිය කුඹුරුයායක් අපට හමුවිය. මෙම කුඹුරුයාය පසුකළවිට අප ළඟාවූයේ කුමන අභයභූමියේ සීමාවටය. මගදී ඈත ගල්තලාවක් මත පිහිටි කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය දුටුවෙමු. මෙම සීමාවේ සිට අභයභූමිය තුලට තවත් කිලෝමීටර් 3 ක් පමණ ගමන් කරන විට අප මෙතෙක් වේලා බලාපොරොත්තුව සිටි කුමන පිවිසුම් දොරටුවට ළඟාවුණි.


කුඩුම්බිගල ආරණ්‍යය සේනාසනයට පිවිසෙන අතුරු මග. ඈත වනයේ ගිරිකුලක් සේ උඩට එසවී පෙනෙන්නේ මෙම සෙනසුන පිහිටි පර්වතයයි.

පිවිසුම් දොරටුවේදී ද මගීන් නොමැති සෆාරි ජීප් රථයක් ලබාගැනීමට අපිට නොහැකි විය. ජංගම දුරකථන ඇමතුමකින් වෙනත් සෆාරි ජීප් රථයක් අප අසලටම ගෙන්වා ගැනීමට අපට සිදුවිය.


කුමන අභයභූමි පිවිසුම

පිවිසුමේදී ජීප් රථයට සංචාරක මග පෙන්වන්නෙකු ද ගොඩවිය. කුරුල්ලන්ගේම පාරාදීසයක් ලෙස නම්දරා තිබූ මෙම කුමන අභයභූමියේදී ලංකාවේ ජීවත්වන පක්ෂීන් වර්ග 400 න් 255 ක්ම ඔබට දැකබලා ගත හැකිය. ඒ වගේම අප්‍රේල් සිට ජූලි මාසය දක්වා විවිධ රටවලින් පැමිණෙන සංචාරක ජලජ පක්ෂීන් විශේෂ 35 ක් පමණ ද මෙහිදී දැකගත හැකිය. ඔවුන්ගේ ආහාර ගබාඩව සහ විවේකී ස්ථනය වන්නේ ද මෙම කුරුළු පාරාදීසයයි. එසේම ඇතැම් පක්ෂීන් තම වර්ගයා බෝ කිරීම සහ කූඩු සෑදීමට තෝරාගන්නේ ද මෙම ස්ථානයයි.

කුරුල්ලන් පමණක් නොව අභයභූමියකදී දැකගත හැකි සියළුම සතුන් පවා දැකගැනීමේ වාසනාව අපට හිමිවිය. කුළුමීමුන්, වල් ඌරන්, මුවන්, ගෝනුන්, අලි ඇතුන්, කිඹුලුන් පමණක් නොව දැකගැනීමට දුර්ලභ සතෙකු වූ කොටියෙක්වද අපට දැකගැනීමට ලැබුණි.

කැළය තුලට මද දුරක් යනවිට විල්ලුවක් අද්දර නැරඹුම් අට්ටාලයක් ද ඉදිකර තිබුණි. මහල් හතරකින් සමන්විත මෙම අට්ටාලය මතට නැගගත්විට අවට කිලෝමීටර් ගණනාවක් දුර දර්ශන පැහැදිලිව බලාගත හැකිය. එසේ බලන විට අපේ ගමනේ මෙතෙක් දැකගැනීමට නොලැබුණු සත්වයෙක් ඉතා ඈත තණ පිටියක සිටිනු දැකගැනීමට ලැබුණා. ඒ අලින් තුන්දෙනෙකි.

මෙම අට්ටාලය අසලදී, තවත් විශේෂ ස්ථානයක් අපට දැකගැනීමට ලැබුණේ මගපෙන්වන්නා විසින් ඒ පිළිබඳව විස්තර කළ නිසාය. ඔහු අපට ඉදිරියෙන් ඈත ඝන වනාන්තරය දෙසට අත දිග් කරමින් පොල් ගස් කීපයක් සහිත ස්ථානයක් අපට පෙන්වීය. ඔහු අපූරු විස්තරයක් ද ඒ පිළිබඳව එළි කළේය. වසර ගණනාවකට පෙර ඒ ස්ථානය ගම්මානයක් බවත්, එහි ජීවත්වූයේ ඌව වෙල්ලස්ස සටනින් ජීවිතය බේරාගෙන කැලෑවැදී සැඟවී ජීවත්වූ ජන කොට්ඨාශයක් බවත්ය. 
 
මේ ගමනින් පසුව මේ පිළිබඳව හොඳින් දන්නා මිතුරන් දෙදෙනෙකුගෙන් මෙහි ඇත්ත නැත්ත විපරම් කර බැලී මට සිත්විය. එහිදී සත්‍යය සිදුවීම සොයාගත හැකිවිය. මෙම ගම්මානයේ නම කුමනගමයි. එහි ජීවත්ව සිට ඇත්තේ කලින් දැක්වූ ආකාරයට 1817 දී ඌව වෙල්ලස්ස සටනින් පසුබැස පලාගිය ජන සමූහයකි. වසර 200 කටත් වැඩි කාලයක් තිස්සේ ඔවුන්ගේ පරම්පරා කීපයක් මෙහි ජීවත්ව සිට ඇත. අවට ප්‍රදේශය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කළ පසුත් ඔවුහු  මෙහි ජීවත්ව සිටියහ. අභය භූමියක ජනවාස ඉදිවිය නොහැකි බැවින් ඔවුන් ගම හැරදා යායුතුව තිබුණත් එවක පැවති රජයට එය බලය යොදා කළ නොහැකිව තිබුණේ ඔවුන් වසර ගණනාවක්ම එහි පදිංචිව සිට ඇති නිසාය. එම නිසා ඔවුන්ට එහි විසීමට අවසර දීමට රජයට සිදුවිය. නමුත් අනපේක්ෂිත සිද්ධියක් එම ජනතාවට එරෙහිව ක්‍රියාත්මක විය. ඒ ඊළාම් යුද්ධය පැවති සමයේ සිංහල ගම්මාන වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා කොටි ත්‍රස්තයන් යාල සහ කුමන අභයභූමියට ඇතුළුවී සිටීමයි. මහ කැළයේ හුදකළා ගම්මානයක් වූ කුමනගමට හමුදා ආරක්ෂාව ලබාදීමට රජයට සිදුවිය. කොටි අවදානම වැඩිවෙත්ම ගම්මානයේ මිනිසුන් තම ජීවිත ආරක්ෂාව පතා ගම්මානය හැරදා යාමට තීරණය කළහ. ඔවුන් ඒ පිළිබඳ ස්ථාවරය රජයට දැන්වීය. මේ අනුව රජය විසින් ඔවුන්ව එම ගම්මානයෙන් ඉවත්කොට මහවැලි ව්‍යාපාරයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන් වගා ඉඩම් ලබාදී එහි පදිංචි කරවූ බව කියවේ.

දැනට එහි ගම්මානයක් තිබූ බවට ඇති එක් සාක්ෂියක් වන්නේ  මිනිසුන් විසින්ම වගා කර ඇති පොල් ගස් කීපයයි. මගේ මිතුරෙකු රූපවාහිනී වැඩසටහනක් (සැරිසර) පටිගත කිරීම සඳහා පැමිණි අවස්ථාවක අත් හැරදා ගිය එම ගම්මානය තුලටම ගොස් තිබේ. ඔහු පැවසූවේ මිනිසුන් පදිංචිව සිටි එම ගම්මානයේ තවමත් නටබුන් වී ගිය ගෙවල් දොරවල් තමා දුටු බවයි.

තවත් ඉදිරියට ගිය අපට කලින් අට්ටාලය උඩදී දැකගත් අලින් තුන්දෙනා සමීපයට යාමට අවස්ථාවක් ලැබුණි. මේ අලින් තුන්දෙනා සිටි ස්ථානය ඉතාමත් දර්ශනීය ස්ථානයකි. 

මෙම ස්ථානය පමණක් නොව මේ මුළු අභයභූමිය පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතු යමක් ඇත. මා දැක ඇති පරිදි ලංකාවේ සියළුම අභයභූමි වලට වඩා ඉතාමත් සුන්දර හා දර්ශනීය වටපිටාවක් සහිත හා මිනිසාගෙන් කිලිටි නොවූ එකම අභයභූමිය කුමන යි. අනෙක් විශේෂත්වය වන්නේ සියළුම සතුන් උපරිමව ජීවිතය විඳින බව හැඟෙයි. අපි දැකගත් අලියා අති විශාල විල්ලුවක් මැද තමනට රිසි ලෙස තණ කොළ බුදියි. ඌට මිනිසාගෙන් කිසිදු තර්ජනයක් නොමැත. ඌ අසල තනියට දෝ කොක්කු රෑනක් ඉන්නවා අපිට පෙණුනි. 

නිදහසේ ජීවිතය ගෙවන අලි ඇතුන්

කුළු මීමුන් සහ දෙස් විදෙස් ජලජ පක්ෂීන් තම තමන්ගේ ලෝකවල කිසිදු බාහිර තර්ජනයකට බිය නොවී, උපරිම නිදහස් සුවය විඳිති. මේ විදියට සතුන් හැසිරෙනවා මං වෙනත් අභයභූමිවල දැක නැත.
 
කිඹුලන්

ලතුවැකියා නම් කුරුළු විශේෂය

දැඩි අව් රශ්මියෙන් බේරීමට කුළු මීමුන් නිතරම මඩේ ලගියි.

අහිංසක මුව පොව්වන් කැලෑ පඳුරු අසල නිතර  දක්නට ලැබෙයි.

බොහෝ විට දක්නට ලැබෙන සත්වයෙකි වල් ඌරා

මහ වනාන්තරය මැදින් දිවයන තෙරක් නොපෙනෙන මාර්ග

අප ගමන් ගත් මාර්ගයෙන් කඩිමුඩියේ ඉවත්වන ලතුවැකියෙක්


එසේම මෙතෙක් අභයභූමියේ නොඉඳුල් බව හා ආරක්ෂාව පවත්වාගැනීමට තවත් ප්‍රබල හේතු කීපයක් බලපා ඇතිබව පෙනේ. එකක් නම් මෙම භූමිය අධි රක්ෂිත අභයභූමියක් බවට ප්‍රකාශයට පත්කිරීමයි. අනෙක වෙනත් අභයභූමියක නැති ස්වභාවික භූගෝලීය ආරක්ෂාවක් තිබීමයි. එනම් අභයභූමියේ නැගෙනහිර මායිමෙන් විශාල කොටසක් මුහුදින් ආරක්ෂාවීමයි. අනෙක් මායිම කුඹුක්කන් ඔයින් වෙන්වීමයි. මේ නිසා කුඹුක්කන් ඔයට එපිටින් පිහිටි යාල කැලයේ සිට සතුන්ට හෝ මිනිසුන්ට පහසුවෙන් කුමනට පිවිසීමට නොහැකිය.

කුරුල්ලන් නිරීක්ෂණය (Bird Watching) කිරීමට කැමති විදෙස් සංචාරකයින් විශාල පිරිසක් අවුරුදු පතා කුමන වෙත පැමිණෙන්නේ මෙම අභයභූමිය ලොව පුරා මහත් ප්‍රසිද්ධියක් ලබා ඇති නිසාය. අනෙක් කරුණ වන්නේ දැනට ලෝකයේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ කීපයකගේ වාසස්ථාන හා බෝවීමේ ස්ථානය කුමන බවට පත්වීමයි. උදාහරණයක් ලෙස පහත දක්වා ඇති කැස්බෑ වර්ග තුනක් සඳහන් කළ හැකිය.

1. Green Turtle (Chelonia mydas)

2. Loggerhead Turtle (Caretta caretta)

3. Olive Ridley Turtle (Lepidochelys olivaceae)

කුමන ජීවත්වන වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති අනෙක් සත්ව විශේෂ

1. Mugger Crocodile (Crocodylus palustris) - කිඹුල් වර්ගයක්

2. Lesser Adjutant (Leptoptilus javanicus) - කුරුළු වර්ගයක්


3. Fishing Cat (Prionailurus viverrinus) - කැළෑ බළල්  වර්ගයක්

සෆාරි සංචාරයේ ගමනාන්තය වූයේ කුඹුක්කන් ඔය දක්වා පැමිණීමයි. කුඹුක්කන් ඔය අසලදී රථයෙන් බැසගත් අපිට සුළු විවේකයක් ලැබුණි. එම ස්ථානය අසල කුඩා කැබිලිත්ත දේවාලය පිහිටා තිබුණි. සංචාරකයින් මෙන්ම වන්දනා කරුවන්ද මෙම දේවාලයට පුද පඬුරු පූජාකරති. දේවාලයේ කපු මහතා ඇතුළු පිරිසක් මුරුතැන් පූජාව සකස් කරමින් සිටියහ. මා ඔවුන්ගෙන් අසා දැනගත් පරිදි මේ වනවිට මහත් ප්‍රසිද්ධියක් උසුලන මහ කැබිලිත්ත දේවාලය පිහිටියේ මෙතැන් සිට තවත් කිලෝමීටර් ගණනාවක් කැලය තුලය. මහ කැබිලිත්ත දේවාලයට යාමට වෙනත් මාර්ගයක් ද ඇති බව මම පසුව දැනගත්තෙමි. ඇතැම් වන්දනාකරුවෝ කුඹුක්කන් ඔයෙන් ස්නානය කරගෙන මෙම ස්ථානයේ දිවා ආහාරය උයා පිහාගෙන අනුභව කරති. වසරකට වරක් යාපනයේ සිට සහ ඇතැම් විට ඉන්දියාවේ සිට කතරගම දක්වා පා ගමනින් හෙවත් පාද යාත්‍රාවේ යෙදෙන හින්දු බැතිමතුන් මෙම ස්ථානයෙන් කුඹුක්කන් ඔයට බැස යාල අභයභූමියට එතෙරවන බව දැනගතිමි. 

ආපසු පැමිණීමේදී අභයභූමිය තුලදී විරල දසුනක් දැකගත හැකිවිය. ඒ ඉතාමත් ළඟින් දිවියෙකු දැකීමයි. ඌ කිසියම් ගොදුරක් කා දමා ඇති නිසාදෝ වැඩි කලබලයක් නොමැතිව පඳුරක් යට ගිමන් හරිනු දක්නට ලැබුණි. අප ගමන්ගත් සෆාරි ජීප්රථය ඌ අසලටම ගමන්කර රථයේ ඇන්ජිම ටික වේලාවක් නතර කර තැබූයෙන් රිසි ලෙස ඡායාරූප ගැනීමට අපට හැකිවිය. අප සිටින තැනින් වම්පස ඈත මුව රංචුවක් කෙළි දෙලෙන් සිටිනු පෙනුණි. උන්ට දිවියාගෙන් හානියක් නැති බව පෙනේ. මෙවැනි ගමනකදී දිවියෙකු දැකබලා ගැනීම දුලබ සිදුවීමක් නිසා එය අපේ වාසනාවක් ලෙස අපි සිතුවෙමු.

ගස් පඳුරක් යට ගිමන් හරින දිවියා.

ආපසු යළි පිවිසුම් දොරටුව වෙත පැමිණ සෆාරි ජීප් රථයේ රියැදුරුට සමුදුන් අපි අපේ වාහන වලට ගොඩවී නැවතත් දුෂ්කර ආපසු ගමනකට සූදානම් වීමු. රාත්‍රී නවාතැන්පලට පැමිණි විට නවාතැන් භාර සේවකයින් විසින් නැවතත් ප්‍රණීත ආහාරයකින් අපට සංග්‍රහ කරන ලදී. ඊට පසුදා අපි ආපසු නිවෙස් බලා පිටත්වූයෙමු.

කිසි දිනක අමතක නොවන සුන්දර මතකයන් ගොන්නක් මේ සංචාරයේදී අපට එකතුවී තිබුණි. ඔබත් කුමන යනවා නම් එයට පෙර ඒ සඳහා හොඳින් සූදානම් වීමට අවශ්‍ය කරුණු මේ සටහනින් ඔබට ලබාගැනීමට හැකිබව මගේ විශ්වාසයයි.

Wednesday, March 24, 2021

Viduli Dumriye - (Original Version) - විදුලි දුම්රියේ චංචල නාදය (මුල් ගීතය)

 

විදුලි දුම්රියේ ගීතය







විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැකෙන සඳේ..
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතු විය සැලෙන හදේ..

සීත කදුකරේ මීදුම් අධිකයි පමා උනෙමි සොඳුරේ..
රූපවාහිනී අංජන රේඛා.. නළඟන ඔබද ළඳේ..

ආදර සුවඳින් දසතම මතුවන වසන්ත සුළඟෙ හැපී..
සාගර ජල මත පාවෙන උයනේ මීවිත පුරමු අපි..


මිනිසා පළමුව සද තරණය කළ විසිතුරු කතන්දරේ..
පුරසඳ මඩලේ සිනමා මැදුරක නරඹමු නිසංසලේ...
නරබමු නිසංසලේ...

විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැකෙන සඳේ..
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතු විය සැලෙන හදේ..

සීත කඳුකරේ මීදුම අධිකයි පමා උනෙමි සොඳුරේ..
රූපවාහිනී අංජන රේඛා..නළඟන ඔබද ළඳේ..

පාවෙන සඳකැන් සිසිලෙන් නෑවෙන ආදර සඳුන් වනේ...

නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන් පියඹන අවන්හලේ...

මිනිසුන් හෙටදින සොයමින් වෙහෙසෙන පරසතු කුසුම් විලේ....

ජයපැන් තොලගා අමරණීය වන කුමරුන් මමය ඔබේ...
කුමරුන් මමය ඔබේ...

විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැකෙන සඳේ..
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක් මතු විය සැලෙන හදේ..

සීත කඳුකරේ මීදුම අධිකයි පමා උනෙමි සොඳුරේ..
රූපවාහිනී අංජන රේඛා..නළඟන ඔබද ළඳේ..

නළගන ඔබද ලදේ
නළගන ඔබද ලදේ

ජාත්‍යන්තරව ප්‍රචලිත වූ අලුත් මාධ්‍යය අර්ථ ගැන්වීම සඳහා රූපවාහිනිය යනුවෙන් අලුත් වදනක් අපගේ ශබ්දකෝෂයට එකතු වෙද්දී, එම වචනය අරබයා අප රටේ ජනතාවගේ කතාබහට ලක් වූ ගීතයක් ද එයට වසර කීපයකට පෙර සිංහල ගීත සාහිත්‍යයට එකතු වුනා. දයානන්ද කුමාරසිරි ගීත රචකයා විසින් ලියන ලද, මොහොමඩ් සාලි මාස්ටර් විසින් සංගීත අධ්‍යක්ෂණය කළ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ රූපා ඉන්දුමතී සහ ලක්ෂ්මන් රුද්‍රිගු යන ජනප්‍රිය ගායක යුවල විසිනි.

මෙම ගීතය මිනිසා සඳට පා තැබූ පසු එම වසරේදීම එළි දැක්වීම විශේෂයක්. ඒ වගේම ලංකාවේ ලියැවුනු ප්‍රථම විද්‍යා ප්‍රබන්ධමය ගීතයත් එයයි. එහි එන ඇතැම් වදන් එකල අපේ අසන්නන්ට නුහුරු ඒවා විය. විද්‍යා දියුණුවේ අනාගතය විනිවිද දුටු වක්තෘවරයෙකු සේ එම ගීතයට ගීත රචකයා විසින් වදන් එකතුකර තිබුණි.

මේ පිළිබඳව වරක් මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනිගේ විසින් ගීත රචකයා සමග කළ පුවත්පත් සාකච්ඡාවකදී මෙසේ තොරතුරු දිගහැරී තිබේ.

.............................................

හැත්තෑව දශකය තුළ අපේ රටේ අයට විදුලි දුම්රිය, රූපවාහිනිය විතරක් නෙමෙයි, පාවෙන දූපත් වගේම පියාඹන අවන්හල් පවා බොහොම නුහුරු දේවල්.

නමුත් මේ හැම දෙයක්ම ඇතුළත් වුණු බොහොම අපූරු ගීතයක් ඒ දවස්වල ලියැවුණා. මේ ගීතය රචනා කළේ දයානන්ද කුමාරසිරි.

මෙහි ඇති තවත් අපූරුම කතාව තමයි එම ගීතය ලියැවෙන කාලයේදී දයානන්දට පවා මේ දේවල් නුහුරු වීම.

1966 අවුරුද්දේ තුරඟ තරඟ පිටියේ  පැවති ප්‍රදර්ශනයකදී මම රූපවාහිනිය මුල්වරට දැක තිබුණා. ඉන්පසුව ඇම්.ඩී. ගුණසේන සමාගම පැවැත්වූ ප්‍රදර්ශනයක් වෙලාවෙත් රූපවාහිනී යන්ත්‍රයක් දැක තිබුණා. එවැනි තැන්වල ඇරුණු කොට ලංකාවේ ගෙවල් වල නම් රූපවාහිනී යන්ත්‍ර තිබුණේ නැහැ. පසුකාලයේ ලංකාවට රූපවාහිනිය ගෙන්වා ගැනීමේ සාකච්ඡා සිදුවෙමින් තිබුණු වකවානුවක තමයි මේ ගීතය මා අතින් ලියැවුණේ.

ඒ ඇරුණු කොට පාවෙන දූපත්, පියාඹන අවන්හල් හා විදුලි දුම්රියට අදාළ කතා මම කියවලා තිබුණේ පොත්පත්වලින්. මිනිස්සුන්ගේ විනෝදය වෙනුවෙන් යුරෝපය වගේම ජපානය වගේ රටවල්වලත් පාවෙන දූපත් හා අවන්හල් වගේ හැදූ ගුවන්යානා ගැන විස්තර ඒ පොත්වල ඇතුළත් වී තිබුණා.

මෙන්න මේ දේවල් තමයි මම ගීතයට එකතු කරගත්තේ කුමාරසිරි පවසනවා.

මෙවැනි ගීතයක් ලියන්න ඔහුට හිතුණේ කොහොමද? මේ අත්දැකීම ඔහුගේම එකක්ද? මේ පිළිබඳවත් අපි ඔහුගෙන් අසා දැනගත යුතුයි.

මේ ගීතය මගේ අත්දැකීමක් නෙමෙයි. නමුත් මම දුටු සිදුවීමක් මූලික කොටගෙන තමයි මේ ගීතය ලිව්වේ.

දයානන්ද කුමාරසිරි ඒ කාලයේ රාජකාරි කළේ කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ අමාත්‍යාංශයේ.

මම කඳානේ සිට රැකියාවට යන්නේ එන්නේ දුම්රියේ. ඉතින් එක දවසක් මම කොටුව දුම්රිය පොළට ඇවිත් යාළුවෙක් එනතුරු ටිකක් රැඳී සිටියා.

මම හිටියේ 1 සහ 2 පදික වේදිකා යාවෙන පාලම උඩ. මේ වෙලාවේ මම දැක්කා තරුණ ගෑනු ළමයෙක් ටිකක් ලැජ්ජාවෙන් හා බියෙන් වගේම නොසන්සුන් ගතියෙන් යුතුව පහළ තිබෙන පදික වේදිකාව දිහා බලා ඉන්නවා.

ටික වේලාවකින් ඒ වේදිකාවට දුම්රියක් ආවා. මේ දුම්රියේ ආපු තරුණයෙක් ඊළඟට බොහොම කඩිමුඩියේ ඇය ළඟට දුවගෙන ආවා.

තරුණිය එක්වරම අර තරුණයාගෙන් ඇහුවා මෙච්චර වෙලා මොනවද කළේ?...මම දැන් කොයිතරම් වේලාවක් බලා ඉන්නවද කියලා. ඔය අතරෙදි තරුණිය ලේන්සුවෙන් කඳුළු පිස දමන ආකාරයත් මා දුටුවා.

තරුණයා මේ මොහොතේ ඇහුවා මොනවා කරන්නද? ඉලෙක්ට්‍රික් දුම්රියක් තිබුණා නම් මට විගහට එන්න තිබුණා.... මෙක ආවෙ හෙමින් කියලා...

ඔන්න ඔය සිදුවීම තමයි ගීතය ලියන්න මුල් පසුබිම හැටියට සකස් වුණේ. ඉතින් මේ අදහස හිතේ තියාගෙන පොත්පත්වලින් දැන තිබුණු දේත් උපයෝගී කරගෙන මම මේ ගීතය ලිව්වා. ඇත්තටම මොහොමඩ් සාලි මහති වගේම රූපා ඉන්දුමතී හා ලක්ෂමන් රුද්‍රිගු දෙපොළගේ ගායනයත් මේ ගීතය ජනප්‍රිය වෙන්න තදින් බලපෑවා.

දයානන්ද මේ වෙද්දී විදේශගතව රාජකාරී කරනවා.

.....................................

ගීතයේ පසුබිම් සංගීතය වන ධාවනය වන දුම්රියක හඬ සංගීත භාණ්ඩ ඇසුරින් ප්‍රතිනිර්මාණය කිරීම මොහොමඩ් සාලි මාස්ටර්ගේ අගය කළ යුතු විස්මිත කාර්යයක් කියල කියන්න පුළුවන්.

මෙතැනින් ගීතය අහන්න.

https://youtu.be/gxGg8DeKEdk


 


 

 


 

Tuesday, February 11, 2020

Father of Ceylon Tea Industry - ලංකාවේ තේ කර්මාන්තයේ පියා

ලංකාවේ තේ කර්මාන්තයේ පියා සොයා තේ කෞතුකාගාරයට ගියෙමි.
(දුර්ලභ ඡායාරූප සමග විස්තරය)

පසුගියදා සිදුකළ මහනුවර සංචාරයකදී හන්තාන මාර්ගයේ පිහිටි ලංකාවේ තේ ක්ර්මාන්තය පිළිබඳ කෞතුකාගාරයට ගොඩ වුනෙමි. 

එහිදී අපට මිළකල නොහැකි කෞතුක භාණ්ඩ රැසක් දැකගත හැකිවිය. ඒවා අතර ලංකාවේ තේ ආරම්භ කළ 1860 ගණන් වල තේ ඇඹරුම් යන්ත්‍ර, විදුලි ජනක යන්ත්‍ර, මුල්ම තේ පැකට්ටුව මෙන්ම තේ කර්මාන්තය ආරම්භ කළ පුද්ගලයින්ගේ ඡායාරූප හා ඔවුන් භාවිත කළ ආම්පන්න ආදිය ද වේ. එයිනුත් මා වඩාත්ම සිත්ගත්තේ ලංකාවේ තේ කර්මාන්තයේ පියා ලෙස හැඳින්වෙන ජේම්ස් ටේලර් සහ ලංකාවේ තේ කර්මාන්තයෙන් වැඩි ප්‍රමාණයක් සියතට ගත් තෝමස් ලිප්ටන් යන දෙදෙනා පිළිබඳව දැනගත් කරුණු වලටය. මේ සමග අදාල ඡායාරූප කීපයක් ඉදිරිපත් කරමි. 

මීදුමින් වැසුණු තේ කෞතුකාගාරය ඉස්මත්තේ වනාන්තරය

තේ කෞතුකාගාර ගොඩනැගිල්ල 

තේ කෞතුකාගාර ගොඩනැගිල්ලට අයත් භූමිය

ඇතුළුවන දොරටුව

1880 නිෂ්පාදිත හොට් බල්බ් නම් එන්ජිම

සමස්ථ කර්මාන්ත ශාලාවකට බලය සැපයූ 1880 නිෂ්පාදිත
රස්ටන් නම් එන්ජිම



එසේම ජේම්ස් ටේලර් පිළිබඳව කෙටි සටහනකි මේ. 

ලංකාවේ ප්‍රධාන අපනයන භෝග වලින් එකක් ලෙස අපිට තේ හඳුන්වන්න පුළුවන්. ලංකාවේ අවසාන යටත් විජිතවාදීන් වූ ඉංග්‍රීසින්ගේ පාලන සමයේදී තමයි තේ අපට හඳුන්වා දුන්නේ. ඉංග්‍රීසින් විසින් තේ කර්මාන්තය ආරම්භ කිරීමෙන් පසු අපේ රට සීග්‍ර දියුණුවකට පත්වූ බව අමුතුවෙන් කිවයුතු නෑ. එයින් ප්‍රධාන වන්නේ උඩරට ප්‍රදේශයේ සිට රටේ ප්‍රධාන වරායන් දක්වා දුම්රිය මාර්ග සහ මහාමාර්ග ඉදිවීමයි. එයට හේතුව උඩරට වැවෙන තේ විදෙස් රටවලට අපනයන කිරීමට ඒවා වරායන් වෙත ගෙන ඒමට ඒ මාර්ග භාවිතා කිරීමයි. 

ඔබ දැනගන්න කැමති ඇති කොහොමද අපේ රටට තේ පැළය ආවේ කියල. 1824 දී තරම් ඈත කාලයේ ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍යයන් විසින් චීනයේ සිට මුලින්ම තේ පැළයක් ලංකාවට අරගෙන ඇවිල්ල තියෙනවා. ඒ කාලය හරියටම කියනවා නම්, අපේ අන්තිම රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජජුරුවෝ ඉංග්‍රීසින් විසින් අල්ලගෙන අවුරුදු 14 ක් ගියාට පස්සෙ කාලයයි. ඒ තේ පැලය අරගෙන ඇවිත් පේරාදෙනියේ රාජකීය උද්භිද උද්‍යානයේදී තමයි රෝපණය කරල තියෙන්නෙ. ඒ වාණිජ අරමුණු සඳහා නම් නෙවෙයි. ලංකාවේ පරිසරයට එය ගැලපෙනවද නැද්ද කියල පරීක්ෂණ කටයුතු කරන්න පමණයි. ඊට පස්සෙ1839 දී පමණ නැගෙනහිර ඉන්දියානු සමාගම ලංකාවේ තේ සිටුවීම පිළිබඳව තවදුරටත් පර්යේෂණාත්මක කටයුතු වල නිරත වෙලා තියෙනවා. 

තවත් අවුරුදු 14 කට පස්සෙ එනම් 1852 දී ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් නම් වැවිලිකරුවා ලංකාවට ආවා. ඔහු මහනුවර ගලහ පිහිටි ලූල්කඳුර ප්‍රදේශයේ පදිංචි වුනා. 

ජේම්ස් ටේලර් 1866 දී ආපසු ඉන්දියාවට ගියා. ඒ වතුකරයේ තේ වගා කිරීමේ මූලික කරුණු ඉගෙන ගැනීමටයි. ඔහු නැවත ලංකාවට පැමිණීමෙන් පසු උද්භිද උද්‍යානයේ තිබූ තේ බීජ රැගෙන ඇවිත් ලූල්කඳුර තම ගෙවත්තේ රෝපණය කරල තියෙනවා. පසුව ලූල්කඳුර කඳුකර ප්‍රදේශයේ අක්කර 19 ක කැලෑව කපා විශාල භූමියක් එළිකලා. මේ විදියට ඔහු මුලින්ම එම වතුයායේ තේ වගාව ආරම්භ කලා. ඒ කාලය 1867 යි. මේ වසර ලංකාවේ මුලින්ම තේ වගාව ආරම්භ වුණ වසර ලෙස හැඳින්වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔහු 1872 වනවිට ලූල් කඳුර වතුයායේ අංග සම්පූර්ණ තේ කම්හලක් ද ආරම්භ කලා. 

ටේලර් මෙම තේ කම්හලේ දී පැකට් කළ තේ නිෂ්පාදනය ආරම්භ කලා. 1875 දී ලංකාවේ පළමු තේ තොගය ලන්ඩන් තේ වෙන්දේසියට යැවීමට ටේලර් සමත් වුනා. 

ඔහු ලූල්කඳුර වතුයායේ ජීවත් වූ කාලය තුළ තේ අපනයනය රාත්තල් 23 සිට ටොන් 81 දක්වා ඉහළ ගියා. 1890 දී එය ටොන් 22,900 දක්වා ඉහළ ගියා. 

මේ කාලය වනවිට අපේ රටට කලින් ඉන්දියාව ඇතුළු සමහරක් බ්‍රිතාන්‍ය යටත් විජිත රටවල තේ කර්මාන්තය ආරම්භ වෙලා ඉවරයි. 

මේ විදියට ටේලර් මහත්මයාගේ තේ ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණුවෙනකොට යුරෝපය පුරාම ඒ පිලිබඳව ආරංචි පැතිර ගියා. 

එක්සත් රාජධානියේ කෝටිපතියෙකු වන තෝමස් ලිප්ටන් 1890 ගණන් වලදී ඕස්ට්‍රේලියාවට යන ගමන් ලංකාවටත් ඇවිල්ල අර ටේලර් මහත්මයව හමුවෙලා තියෙනවා. දෙන්න එකතු වෙලා තේ අපනනයනය පිළිබඳව සාකච්ඡා කරල තියෙනවා. ලිප්ටන් සමාගම ටේලර් මහතාගේ තේ මිලදී ගන්න තීරණය කලා. මේ විදියට තමයි තෝමස් ලිප්ටන් ලංකාවට සම්බන්ධ වන්නේ. ඒ කියන්නේ ලංකාවෙ තේ ආරම්භ කරන්නත් කලින් ලිප්ටන් මහතාගේ ලිප්ටන් තේ ලොව පුරා ජනප්‍රිය වෙලා තියෙනව වගේම ඔහු තේ ව්‍යාපාරයෙන් කෝටිපතියෙක් බවට පත්වෙලා තිබුණා. 

ලිප්ටන් වැනි බලවත් තේ සමාගම් ලංකාවේ තේ කර්මාන්තය ක්‍රම ක්‍රමයෙන් තම ග්‍රහණයට ගත්තා. මෙහිදී කුඩා තේ වතු හිමියන් ගේ තේ වතු සහ එම ව්‍යාපාරවල පාලනය බලවත් සමාගම් යටතට පත්වුණා. නව කළමනාකාරිත්වය විසින් ලූල්කඳුර වතුයායෙන් ජේම්ස් ටේලර්ව සේවයෙන් පහ කරනු ලැබුවා. 

ලූල්කඳුර වතුයායෙන් නෙරපා හැර වසරකට පසු දරුණු ආමාශ ආශ්‍රිත රෝග හා අතීසාරය හේතුවෙන් 1892 දී ජේම්ස් ටේලර් සදහටම දෙනෙත් පියා ගත්තා. ඔහුගේ දේහය මහනුවර මහයියාව සුසාන භූමියේ තැන්පත් කරල තියෙනවා. ඔහුගේ සොහොන් කොතෙහි මෙසේ සඳහන් වෙනවා. "මෙම දිවයිනේ සින්කෝනා සහ තේ ව්‍යාපාරයේ පුරෝගාමියා වූ ලූල්කඳුර වතුයායේ ජේම්ස් ටේලර්1892 මැයි 2 වන දින මිය යන විට ඔහුගේ වයස අවුරුදු 57 කි." 

ඔහුගේ මරණයෙන් අවුරුද්දකට පස්සෙ එනම් 1893 දී ලන්ඩනයට අපනයනය කළ ලංකා තේ පැකට් මිලියනයක් චිකාගෝ ලෝක ප්‍රදර්ශනයේදී විකුණන්නට පුළුවන් වුනා.මේ කාලය වනවිට තේ වතු වලින් වැඩි ප්‍රමාණයක් ඒ කියන්නෙ සියයට 80 කටත් වඩා වැඩි ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය සමාගම් සතු වුනා. 1971 දී ශ්‍රී ලංකා රජය විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත හඳුන්වා දුන් අතර තේ වතු වල අයිතිය රජය ලබාගත්තා. ඒකට තේ කර්මාන්තය ජනසතු කිරීම කියලයි කියන්නෙ. 

අදටත් ලෝකයේ ලංකාව ගැන අසා නැති අය පවා ලංකා තේ නම් හොඳට හඳුනනවා. ඒ අපේ රටේ තේ ලෝකයේ ඉස්තරම්ම තේ ලෙස නමක් දිනාගෙන තියෙන හින්දයි. ඒ වගේම තේ අපනයනයෙන් අපි විශාල විනියමයක් උපයනවා. එවන් තත්වයක් අපට හිමිකර දුන් ජේම්ස් ටේලර් මහතා සිහිපත් කිරීම අපේ යුතුකමක් ද වනවා. ඔහු ජීවත් වූ ස්ථානයේ ඔහුව සිහි කිරීම සඳහා 1992 දී කෞතුකාගාරයක් ද ඉදිකරල තියෙනවා.

Tuesday, March 26, 2019

Abeywardena Balasooriya - 9 වසරකට පෙර අපෙන් සමුගත් අබේවර්ධන බාලසූරිය

අදින් වසර 9 කට පෙර අපෙන් සමුගත් රූපවාහිනියේ නන්දන වින්දන නිර්මාතෘවර අබේවර්ධන බාලසූරිය






1982 දී ආරම්භ කළ ශ්‍රී ලංකාවේ දෙවෙනි රූපවාහිනී නාලිකාවේ (ජාතික රූපවාහිනියේ) ආරම්භක යුගයේ වැඩසටහන් වල අතිශය ජනප්‍රිය වූ සංගීත වැඩසටහනකි “නන්දන වින්දන. එය විකාශය වූයේ සෑම ඉරිදාවකම රාත්‍රී 8.30 සිට 9.30 දක්වාය. එය කෙතරම් ජනප්‍රිය වූවා දැයි කියතොත් එක් වැඩසටහනක් නිමවී එය නැවත ආරම්භ වන ඊළඟ ඉරුදින එනතෙක් රසිකයෝ ඇඟිලි ගනිමින් සිටියහ. සෑම නිවසකම රූපවාහිනී යන්ත්‍ර නොතිබූ ඒ යුගයේ එවැනි යන්ත්‍රයක් ඇති නිවසකට ඉරුදින සවස් යාමයේ අවට නිවැසියන් රැස්වන්නේ නන්දන වින්දන නැරඹීමටය. ඒසා තරම් එය ජනප්‍රිය වීමට හේතු කීපයක් බලපෑවේය. ඒ යුගයේ ලංකාවටම නාළිකා 2 ක් පමණක් තිබීමත් ජාතික නාළිකාවේ විකාශ පරාසය ලංකාවේ සෑම පළාතක්ම ආවරණයවීමත් එක් හේතුවකි. වඩාත්ම බලපෑ හේතුව එය නොවේ. මෙතෙක් කලක් ගුවන් විදුලියෙන් පමණක් ගායක ගායිකාවන්ගේ ගීත ශ්‍රවණය කළ (බොහෝ) සුවහසක් රසික ජනතාවට තම ආදරණීය ගායක ගායිකාවන්ගේ හඬ වගේම ඔවුන්ගේ රූපකායත් ප්‍රථම වරට දැකගැනීමට මෙමගින් අවස්ථාව හිමිවීම ප්‍රධාන හේතුවයි. එළිමහන් සංගීත ප්‍රසංග වලදී ඇතැම් රසිකයින් ඔවුන්ව දැක තිබුණත් බොහෝ අයට මේ අවස්ථාව හිමිව තිබුණේ නැත. උදාහරණයක් ලෙස මා මිල්ටන් මල්ලව ආරච්චි මහතාව පවා මින් පෙර දැක ගත්තේ අපැහැදිලි ලෙස සංගීත ප්‍රසංගයකදී දුරස් රූපයක් ලෙසිනි. 

ජාතික රූපවාහිනිය ආරම්භ කොට ටික කලකට පසුව මෙවැනි වැඩසටහනක් නිර්මාණය කළ යුතු බවට අදහසක් පහළ වූයේ එවකට රූපවාහිනියේ ප්‍රවාහන ඒකකයේ ප්‍රධානියාව සිටි ජනප්‍රිය ගායක අබේවර්ධන බාලසූරිය මහතාටය. නන්දන වින්දන වැඩසටහන මගින් ඉදිරිපත් කළ සෑම ගීතයක්ම එම වැඩසටහන මගින් නැවත විකාශය වූයේ නැති අතර සෑම ඉරිදාවකම රූපගත කළ නැවුම් ගීතයක්ම විකාශය විය. එසේම සෑම ගීතයක් සඳහාම සංගීතය සැපයූවේ එකම සංගීත කණ්ඩායමකි. ඒ සුපර් ස්ටාර්ස් සංගීත කණ්ඩායමයි. මේ නිසා සුපර් ස්ටාර්ස් ද අතිශය ජනප්‍රියත්වයට පත්විය. 

මා මේ කියන්න යන්නේ නන්දන වින්දන නිර්මාතෘ අබේවර්ධන බාලසූරිය මහතා ගැනය. තනතුරු වලින් හිස උදුම්මා නොගත් ඉතා නිහතමානී චරිතයක් වන අබේ අයියා ඔහු යටතේ වැඩකළ සියළු දෙනා ඇමතුවේ මල්ලී කියාය. නන්දන වින්දන නිෂ්පාදනයේදී ඔහුගේ ප්‍රධාන සහායකයා වූයේ ජය ශ්‍රී විජේරත්න යි. මා රූපවාහිනියට ගිය මුල් කාලයේ දී බාලසූරිය මහතා මැදිරි අංක 2 දී නන්දන වින්දන වැඩසටහන නිෂ්පාදනය කරනවා අනන්තවත් දුටිමි. මැදිරිය එකම කඩි ගුලක් සේ දිස්විණ. විශාල පිරිසක් මැදිරිය තුලත්, පාලක මැදිරියේත් එහා මෙහා දුවමින් ක්‍රියාශීලිව වෙහෙසෙයි. කැමරා ශිල්පීන්, පසුතල නිර්මාණ ශිල්පීන්, මැදිරි අලෝකකරණ ශිල්පීන්, ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් එකට අත්වැල් බැඳගනිමින් එකම පවුලක් සේ වැඩකිරීම විශ්මය ජනකය. ඒ උත්සාහයේ අරමුණ ඉහලම රසාස්වාදයෙන් පිරි නිර්මාණයක් ජනගත කිරීමය. 

බාලසූරිය මහතා තම වැඩසටහන තුළින් තමාගේම ක්ෂේත්‍රයේ සහෝදර ගායක ගායිකාවන් බොහෝ දෙනෙකුට අත දුන්නේය. මේ නිසා කිසිදු බේදයකින් තොරව ගායන ලෝකයේ නිහතමානිම මිනිසා බවට පත්වීමට ඔහුට වැඩි කලක් ගියේ නැත. නන්දන වින්දන වලින් නොනැවතුණු ඔහු ප්‍රවීන ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සමග එක්ව අඳුන නම් කාලීන මාතෘකා අඩංගු විවාදාත්මක වැඩසටහන ඉදිරිපත් කළේය. නන්දන වින්දන නිෂ්පාදනය කිරීම තම සහායක ජය ශ්‍රී ට බාරදුන් ඔහු රූපවාහිනියෙන් සමුගෙන ගොස් නිහඬ දිවියක් ගත කළ ද තම සුපුරුදු ගායන දිවිය නතර කළේ නැත. 2010 වසරේ මාර්තු මස 26 දින සුවහසක් රසික රසිකාවියන්ගේ නෙතට කඳුලක් එක් කරමින් ඔහු හදිසියේ අභාවප්‍රාප්ත විය. ඔහුට අජරාමර නිවන් සුව අත්වේවායි පතමු. 

අසමසම කටහඬක් හිමි අබේවර්ධන බාලසූරිය නම් ලයාන්විතයාගේ ගීත පිළිබඳ ව විවරණය කරමින් මාධ්‍යවේදිනි සුලෝචනා වික්‍රමසිංහ විසින් එතුමාගේ පළමු සංවත්සර දින එනම් 2011/03/26 දින දිවයින පත්‍රයට ලියන ලද මනරම් ලිපියක් ඔහුට ගෞරව පිණිස මතු උපුටා දැක්වේ. 

..................................................... 

අබේවර්ධන බාලසූරිය බිහි වූයේ අතිශයින් ආඨ්‍ය සංස්‌කාතික වටපිටාවකය. එය අපගේ වාසනාවකි. මන්ද එම යුගයෙහි ඔහු බිහි නොවන්නට මෙවැනි මතක සංග්‍රහයක්‌ කිසි දින අපෙන් නොලියවීමට ඉඩ තිබූ බැවිනි. අබේවර්ධන බාලසූරියගේ චන්ද්‍ර ස්‌වරය සුපහන්ය. සංවේදීය. ඝෝෂාකාරී ගීත ඔහුගේ මුවින් කිසිදින ගායනා නොවීය. ඔහුටම හිමි හඬ පරාසයක්‌ තුළ ඔහුටම අනන්‍ය වූ ගායනා ශෛලියක්‌ ගොඩනඟා ගැනීමට ඔහුට හැකියාවක්‌ තිබිණි. ඔහුගේ ගීත සමුදාය ඔහුට පමණක්‌ ආලෝකයක්‌ නොවීය. එය එම ගීත සඳහා දායක වූ සෙසු නිර්මාණ ශිල්පීන් හටද ආලෝකයක්‌ම විය. ඔහුගේ ගායන දිවියෙහි පමණක්‌ නොව ජීවිත ගමනෙහිද සහකාරිය වූ නිරංජලා සරෝජිනී හා එක්‌ව ගැයූ ගීත සමුච්චය පමනක්‌ වුවද එයට ප්‍රබල සාක්‍ෂියකි. අබේවර්ධන බාලසූරිය නිරංජලා සරෝජිනී සුසංයෝගයෙන් බිහි වූ "කව්ද ආවේ, කව්ද ආවේ" "නිසංසලේ මා තනියෙන්" "මගෙ හිත පිරී තියෙන්නෙ" "බඹරෙකු හැඬුවා" "ඉසුරු දෙවිඳු" ඇතුළු අනෙකුත් බොහෝ නිර්මාණ රසිකයෝ ආදරයෙන් වැළඳගත්හ. 

අබේවර්ධන බාලසූරිය ඔහුගේ ගායන දිවියෙහි මුල් යුගයෙහි ගැයූ "සිහිවටනය සේ කුමක්‌ ලියන්නද? "ආදරයෙන් මා හදවත" "තොටිල්ලෙහි වැටෙන් එහා" "කලක හේමන්තය වුණා ඔබ ", "ඔබෙන් තොර ලෝකයක්‌, " "ගංඟා එන්නකො ගංඟා" මෙන්ම මෑත යුගයෙහි ගැයූ "භවයෙන් භවේ" "රැළකින් තනිවී වන මැද සරනා" "සැරසිලි ගොක්‌ කොළ" "හෝ මස්‌සිනේ" යන ගී සමුදාය රසිකයන්ගේ මනදොළ පිරවීමට සමත් විය. එතකුදු වුව මෙම ගීත සමුච්චිය තුළ අගනාම නිර්මාණයක්‌ වනුයේ "කල්පනා ලොව" මල්වනේ" ගීතයයි. ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පදවැලකට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ මධුර තනු නිර්මාණය අබේවර්ධන බාලසූරියගේ නිවී සැනහුණු හඬ පරාසයට කදිම විචිත්‍රවයක්‌ ළඟා කර දුනි. මෙම මුල් ගීතයෙහි නිම්නාද වන මධුර ස්‌වර සංයෝජනය හා මුසුවන අබේවර්ධන බාලසූරියගේ ගායන කෞෂල්‍යය රස නොවිඳි එකදු හෝ පෙම්වතකු එදා නොවීය. පෙම්වතුන්ගේ පරමාදර්ශී ගීතය බවට එවකට පත් වූයේ "කල්පනා ලොව මල්වනේ" ගීතය විය. 

අද දවස පවා සෑම කෙනෙකුම රස විඳින උක්‌ත ගීතයෙහි, මුල් පටිගත කිරීම නොඇසීමට ලැබීම මහත් ඛේදවාචකයකි. සාමාන්‍ය සරල ගීතයක ලක්‍ෂණ ඉක්‌මවා ගිය "කල්පනා ලොව මල්වනේ" ගීතය මෙන්ම ධර්මසිරි ගමගේ විසින් රචනා කරන ලද "බඹරෙකු හැඬුවා" ගීතය සඳහා ප්‍රේමසිරි කේමදාසයන් යොදා ඇති සංගීත සංයෝජනය සාමාන්‍ය සරල ගීතයකින් නොලැබෙන විදග්ධ සංගීත රචනාවෝ ම වූහ.

"අනුරාධපුරය ඔබයි" "මං නැතිදා මේ රට" අවසන් හුස්‌ම පොද නොබියව හෙළන්නට" ඔහු ගැයූ දේශභිමානී ගී අතර සුවිශේෂී වෙයි. 

අනෙකුත් ගායකයන්ට සාපේක්ෂව ඔහුගේ ගායන දිවියෙහි දක්‌නට ලැබුණු විශේෂ ලක්‍ෂණයක්‌ නම්, ඔහු ගායිකාවන් බොහෝ දෙනෙකු සමග බොහෝ ජනප්‍රිය යුග ගී ගයා ඇති බවයි. ඒවා අතර නන්දා මාලිනි සමග "ඔබ මට මල් කැකුලකි" නාලිනී රණසිංහ සමග "මලවුන්ගේ නගරයේ" ඉන්ද්‍රානි පෙරේරා සමග "වැලිබත් ඉව්වා මතකයි අපි දෙන්නා." ඉන්ද්‍රානි බෝගොඩ සමග "නොහඬන් සූරිය කාන්තා" නිර්මලා රණතුංග සමග "කුඹුකෙ ළිඳෙන්" චන්ද්‍රිකා සිරිවර්ධන සමග "කීර පලා දලු" ත්‍යාගා එන්. එඩ්වඩ් සමග "රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ" සුජාතා අත්තනායක සමග "බොඳ මීදුම් කඳුරැල්ලේ" සහ නෙරංජලා සරෝජිනී සමග "ඉසුරු ඳෙවිඳු උමයංගනී"ඉන් ප්‍රධාන වේ. 

"බොඳ මීදුම් කඳුරැල්ලේ" ගීතය අබේවර්ධන බාලසූරියගේ පළමුවැනි චිත්‍රපට පසුබිම් ගීතය විය. චිත්‍රපටය වනුයේ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ "දුහුලු මලක්" ය. 

සුජාතා අත්තනායකගේ මිහිරි හඬ හා එක්‌ වූ අබේවර්ධන බාලසූරියගේ අව්‍යාජ ගායනය ඔවුන් දෙදෙනා එක්‌ රැයකින් ජනප්‍රියත්වයේ ඉහළ තලයකට රැගෙන ගියේය. සුජාතා අත්තනායක යනු අපට සිටින දක්‍ෂතම ගායකාවකි. චිත්‍රපට පසුබිම් ගායනය තුළ සුජාතා අත්තනායකට හිමි වනුයේ අද්විතීය ස්‌ථානයකි. එහෙත් ඇයගේ සෑම යුග ගීතයක්‌ පරයා "බොඳ මීදුම්" ගීතය කැපී පෙනෙනුයේ එම ගීතය තුළ නිම්නාද වන අබේවර්ධන බාලසූරියගේ සංයමයෙන් යුතු ගායනයයි. චිත්‍රපටයේ රූප පෙළ හා මනා ලෙස බද්ධ වූ එම ගීතයෙහි මුල් ගැයුම අප හදවත් තවමත් ආනන්දයෙන් පුරවාලයි. ඉන් අනතුරුව "චූඩා මානික්‍යය" "බඹා කෙටූ හැටි" "හරියන කොට ඔහොම තමයි" "කිඳුරු කුමාරි" "සරුංගලේ යන චිත්‍රපට හරහා ගලායන අබේවර්ධන බාලසූරියගේ චිත්‍රපට ගී ගායනා අතර "අනුපමා" චිත්‍රපටය සඳහා ගායනා කරන ලද "මරු කතරේ පිපුන මලක්‌ " ගීතය විශේෂ වේ.

"පියාණනී මා නැවත උපන්නොත්" ගීතය අබේවර්ධන බාලසූරිය ලකුණ සිංහල සංගීත ක්‍ෂේත්‍රයේ ස්‌ථාවරව සටහන් වූ ගීතයයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පදවැල හා මුසු වූ වික්‌ටර් රත්නායකයන්ගේ රමණීය තනුව අබේවර්ධන බාලසූරිය නමැති ගායකයා ගව් ගණනක්‌ ඈතට රැගෙන ගියේය. පිය ගුණ ගීත සඳහා මූලික අඩිතාලම මෙම ගීතය හරහා නිර්මාණය වූ අතර ඒ හරහා අබේවර්ධන බාලසූරිය සිංහල සංගීත ක්‍ෂේත්‍රයේ නොබිඳෙන පුරුකක්‌ බවට පත්විය. මෙසේ යුග කිහිපයක්‌ රසික අපගේ මනදොළ පිරවූ අබේවර්ධන බාලසූරිය කලා කරුවාගේ වර්ෂ පූර්ණ සංවත්සරය සැමරෙන මෙවන් සමයක යළි ඔහු අප අතර ඉපිද ඔහුගේ නිවුනු පහන් ස්‌වරය හරහා යළිත් අප හෝ අපගේ අනාගත පරපුර පිනවීමට අවශ්‍ය පුණ්‍ය ශක්‌තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

- සුලෝචනා වික්‍රමසිංහ 

අබේවර්ධන බාලසූරිය ගායකයාගේ ගීත පිළිබඳව විචාරශීලිව ලියූ මා කියවූ හොඳම ලිපිය ලෙස මා දකින්නේ අස්වැන්න බ්ලොග් අඩවියට මාධ්‍යවේදී දයානන්ද රත්නායකයන් විසින් රචිත ලිපියයි. http://aswanna.blogspot.com/2012/03/blog-post_08.html

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...