Thursday, May 30, 2013

ශිරෝමි ප්‍රනාන්දු සහ ශිරෝමාලා ප්‍රනාන්දු





ශිරෝමි ප්‍රනාන්දු සහ ශිරෝමාලා ප්‍රනාන්දු යනු ලංකාවේ ළමා ගායිකාවන් වී සිටි දෙදෙනෙක්ද? නැතහොත් ඒ නම් දෙකින් පෙනී සිටියේ එක් ගායිකාවක්ද?


70 දශකයේ ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි ළමා ගීත ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රියවූ ගී රාශියක් ගැයූ ගායිකාවක් පිළිබඳ තොරතුරු සොයා ඔබවෙත ගෙන ඒමට යෑමේදී මාවෙත ඇතිවූ ප්‍රධාන ගැටලුවකි ඉහත දැක්වූයේ. 1970 යනු මා 2 වසර පංතියේ ඉගෙනුම ලැබූ කාලයයි. 1970 සිට 1976 කාලය තෙක් ගුවන්විදුලියෙන් සවස් යාමයේ කුඩා අප දෙසවනට නිතර අසන්නට ලැබුණේ සුමධුර ළමාගීත සමුදායක්ය. එකල සමස්ත ශ්‍රී ලාංකික දරුවෝ මේ ගීත ආදරයෙන් වැළඳගත්හ. එයට හේතුව එම ගීතවල තිබූ ආදර්ශවත් පදමාලාවත්, හදවත්වලට කාවදින තනු නිර්මාණයත් සුමධුර හා ළයාන්විත හඬින් ගායනා කළ හැකි දක්ෂ ළමා ගායක ගායිකාවන් පිරිසත් නිසා බව අවිවාදයෙන් පැවසිය හැකිය. එයට ගෞරවය හිමිවිය යුත්තේ එම ගීත ලියූ, තනු නිර්මාණය කළ හා සංගීතය සැපයූ වැඩිහිටි කලාකරුවන් පිරිසට හා ළමා ගායක ගායිකාවන් පිරිස ලෝකයට දායාද කල ඔවුන්ගේ දෙමාපිය හා භාරකරුවන්ටය.



මේ ළමා ගීත රාශියෙන් “කොන්ද නමාගෙන- හැරමිටි ගහගෙන” යන අත්තම්මා තෙනෙකු ගැන කියවෙන ගීතය අතිශයින් ජනප්‍රිය වූ ගී වලින් එකක් බවට පත්වී තිබුණි. එම ගීතය හැඳින්වීමේදී ගායනය - ශිරෝමි ප්‍රනාන්දු ලෙස ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුණා මතකය. ඇයගේ තවත් ජනප්‍රිය ගීතයකි “පොඩිකාලේ දඟකෙරුවාම - නටමින් කරදර කෙරුවාම”.



නමුත් 1976 න් පසුව පාසලේ ඉහළ පන්තිවලට යෑමේදී ළමා ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරයවීම තරමක් අඩුවූයෙන් ශිරෝමි ප්‍රනාන්දුගේ ගීතද අඩුවී ගියේය. ඇගේ අලුත් ගීතද නිර්මාණය නොවුනි. 1977 දී ආණ්ඩු පෙරලියක්ද විය. කලකට පසු වැඩිහිටියන් අපට පැවසුවේ ශිරෝමි ප්‍රනාන්දු රට හැරදමා ගොසින් කියාය. කාලය සෙමින් ගෙවී ගියේය. ඇගේ ගීත අපේ කුඩා කාලයේ පමණක් ඇසුණු ගීත ලෙස මතකයේ තැන්පත් විය. එම ගීත අද පවා කලාතුරකින් ප්‍රචාරය වනවා විය හැකිය. නමුත් අද සිටින ළමා පරපුරට පවා එම මුල් ගීත අසන්නට හැකියාවක් නැත. එයට හේතුව රූපවාහිනී මාධ්‍යයට අද ළමා පරපුර ඇබ්බැහිවීම නිසා නිවසක ගුවන්විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක නොවීමත්, අධ්‍යාපන තරගයට අසුවී සිටින ඔවුනට ගීත ඇසීමට කාලයක් නොමැතිවීමත්, රජයේ ගුවන්විදුලි නාලිකාවට අමතරව සිය ගණනක් පුද්ගලික එෆ්.එම්. නාලිකා තිබීම මගින් එම කුමන නාලිකාවක කුමන මොහොතක අසවල් ළමා ගී වැඩසටහන ප්‍රචාරය වන්නේ දැයි කිසිවෙක් නොදැන සිටීමත්ය.



ඉතිං වර්තමානය වනවිට ඔබට මෙම මුල් ගීත ඒ ආකාරයෙන්ම ඕනෑම මොහොතක අන්තර්ජාලයේ ඇති ගීත වෙබ් අඩවි කීපයක් මගින් පහසුවෙන්ම ශ්‍රවණය කල හැකිය. (miyuru gee සහ sinhalajukebox වැනි වෙබ් අඩවි) මා විසින් මෑතකදී එසේ ළමා ගීයක් ශ්‍රවණය කළෙමි. මසිත නැවත අතීතයට දිවගියේය. ශිරෝමි ප්‍රනාන්දු ගැන ඔබට ලියන්නට සිත්වී ඒ ගැන කරුණු සොයන්නට විවිධ වෙබ් අඩවි පීරන්නට වීමි. එහිදී වැදගත් කරුණක් සොයාගත හැකිවිය.



එනම් එකම කාලවකවානුවක (එනම් 70 දශකයේ ළමා ගී පිටියේ) බැලූ බැල්මට එක සමාන නම් දෙකක් සහිත ළමා ගායිකාවන් දෙදෙනෙක් එකසේ ජනප්‍රියව ළමා ගීත රාශියක් ගැයූ බවයි. ඔවුන් දෙදෙනා නම් ශිරෝමි ප්‍රනාන්දු සහ ශිරෝමාලා ප්‍රනාන්දුයි. ශිරෝමි ප්‍රනාන්දු ගැන උපුටා ඇති ඇතැම් වෙබ් අඩවි වල ඇගේ නම ඉදිරියෙන් වරහන් තුළ “ශිරෝමාලා ප්‍රනාන්දු” ලෙස සටහන් වී තිබුණි. එයින් මේ දෙදෙනා එක් පුද්ගලයෙක් ලෙස වැරදි අර්ථයක් හැඟවෙයි. තවත් කරුණක් වූයේ මේ දෙදෙනා ගැන ලියැවුණු වෙබ් අඩවි තනිව ගත්විට මෙනමින් තවත් පුද්ගලයෙකු ක්ෂේත්‍රයේ සිටින බවක් ඒවා වල කිසිවිටක සඳහන් නොවීමයි. එක් ගායිකාවක් ගැන ලියන්නට සැරසුණද දැන් ඔවුන් දෙදෙනා ගැනම ලිවිය යුතුයැයි සිතුණි. මින් මතු දිග හැරෙන්නේ එයයි....

ශිරෝමි ප්‍රනාන්දු

1960 දශකය අගභාගයේ දී ගායන ලොවට පිවිසි ශිරෝමි ප්‍රනාන්දු ගැයූ ගී ඇසූ අයගේ හදවත්වල අදටත් එම ගීත රැව් පිළිරැව් දෙනබව කිව යුතුය. “බේබි ශිරෝමි” ලෙසද කා අතරත් ජනප්‍රිය වූ ඇගේ ගීත විශේෂයෙන් අවුරුදු 12 න් පහළ ළමුන් වෙත රැල්ලක් මෙන් ඇදී ගියේය. ඇයව ගායන ලොවට හඳුන්වා දී ඇත්තේ ඇගේ මාමාවරුන් පිරිසකි. ඒ වෙන කවුරුවත් නොව ඒ කාලයේ කණ්ඩායම් ගීත ලොවේ හිනිපෙත්තට නැග හුන් “ධර්මරත්න සහෝදරයෝ” නම් එකම පවුලේ සහෝදරයින්ගෙන් සැදුම්ලත් සංගීත කණ්ඩායමයි. මෙහි සාමාජිකයින් රොනල්ඩ්, මැක්ස්වල්, ක්‍රිස්ටි හා මෙල්රෝයි නම් විය. මෙල්රෝයි ධර්මරත්න කණ්ඩායමේ බාලයා මෙන්ම නායකයාද වූ අතර ඔහු තම ඥාති දියණිය වන ශිරෝමි ප්‍රනාන්දු ගායන ලොවට කැන්දන් ආවේය. එවිට ඇගේ වයස අවුරුදු 11 ක් විය. මේ නිසා ශිරෝමි ප්‍රනාන්දු ගැයූ බොහෝ ගීතවල පදමාලාව හා සංගීතය මෙල්රෝයි ධර්මරත්නගේය.



මෙල්රෝයි ධර්මරත්න (මිල්ටන් මල්ලවආරච්චි ගයන මේ මැයිගහ යට ගීතය නිර්මාණය කළේද ඔහුය)


සාමාජිකයන් සතරදෙනෙකු සිටි ධර්මරත්න සහෝදරයෝ කණ්ඩායම මෑත කාලයේ ප්‍රසංගයක් පැවැත්වූ අයුරු. මෙහිදී එක් සාමාජිකයෙකු (රොනල්ඩ්) මෙහි නොමැත්තේ ඔහු මේ වනවිට මෙලොව හැරගොස් සිටි නිසාය.

මෙල්රෝයිගේ සංගීතයෙන් ඔප් නැංවුනු ශිරෝමිගේ “කොන්ද නමාගෙන” ගීතය අතිශයින් ජනප්‍රිය විය. ඒ සමගම ඇගේ “පොඩිකාලෙ දඟකෙරුවාම (පෙම්බර අම්මා)” “සකල බුජං” “ආකාසේ රැස්විහිදා (හඳහාමි)” යන ගීත ද එකසේ ජනප්‍රිය විය. මෙහි “ආකාසේ රැස්විහිදා” ගීතය ශිරෝමි විසින් “ආදරේ හිතෙනව දැක්කම” චිත්‍රපටයේ රඟපාමින් ගායනා කළාය. වරක් ඇය ලියුකේමියා රෝගයෙන් මියයමින් සිටි ඇගේ යෙහෙළියක් වෙනුවෙන් විශේෂ ගීයක් ගායනා කලාය. මෙම දුක්මුසු ගීයෙන් බොහෝ දෙනෙකුගේ හදවත් හැඬවිණි. මෙම ගීය ගැයුවේ ශිරෝමිට ලියුකේමියා රෝගය වැළඳී ඇති නිසා යැයි වැරදීමකින් සිතූ ඇතැම් දෙනා කොටහේනේ පිහිටි ඇගේ නිවසට ද ගොඩවන්නට විය.

කාලය මෙසේ ගෙවී යද්දී ඈ ළමා ගායිකාවක්ව සිටි සමයේම ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙක්ද ඇගේ රසිකයෙක් වී සිටියේය. හේ නමින් සුනිල් වැලිකල විය. ඇගේ භාවපූර්ණ කටහඬට මත්වී සිටි ඔහු කෙසේ හෝ ඇගේ නිවසටම ගොස් ඈ හමුවීමට තරම් අවස්ථාවක් උදාකර ගත්තේය. ඔහු ඇයට රසික මිතුරු සමාජයක් ආරම්භ කිරීමට යෝජනා කළේය. මේ කටයුත්තට ඇගේ මාමවරුන්ද කැමති විය. කෙසේ හෝ අවසානයේදී මෙම “ශිරෝමි රසික සමාජයේ” සභාපති වූ සුනිල් වැලිකල 1980 දී ඇගේ අතිනත ගත්තේය. ඔවුනට චමිල් හා හෂී නමින් පුතෙකු හා දියණියක ලැබිණි.


ශිරෝමි ප්‍රනාන්දු හා සුනිල් වැලිකල

සුනිල් ඇගේ ගායන හැකියාවට බාධා නොකල නිසා ඇය තවත් ගීත රාශියක්ම එළි දැක්වූවාය. ඇගේ සැමියා වැවිලිකරුවෙකු වූ නිසා වැවිලි ක්ෂේත්‍රයේ සුහද හමුවලදී හා සාද වලදී ඈ තම ගී ගායනා කලාය. “සූරිය ලේබලය” යටතේ ඈ ඇගේ මුල් ගී නැවත තැටිගත කලාය. එකල අතිශය ජනප්‍රිය ප්‍රවීන ගායකයකුව සිටි වූ ක්ලැරන්ස් විජයවර්ධනයන් ද “සූරිය ලේබලය” යටතේ ගී ගායනා කල නිසා ශිරෝමිද ඒ තත්වයේම සිටි ගායිකාවක් බවට පත්වූවාය. 1987 දී ශිරෝමි තම ආදරණීය සැමියා හා දරුවන් දෙදෙනා සමග කැනඩාවේ පදිංචියට ගියහ. මෙරටදී වැවිලිකරුවෙකුව සිටි සුනිල් කැනඩාවට ගියපසු බැංකුවක රැකියාව කළේය.

කැනඩාවේදී ඔවුන් ගතකළ අවුරුදු 16 ක සුන්දර ජීවිතය එක්වරම අඳුරුවූයේ කිසිවෙක් අපේක්ෂා නොකළ පරිදිය. 2003 සැප්තැම්බර් 10 දින ශිරෝමිගේ සැමියා වන සුනිල් හදිසියේ අසනීපවී ඔහුගේ දෙනෙත් කහපැහැ ගැන්විණි. වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට භාජනය කිරීමෙන් අනතුරුව ඔහුට ලියුකේමීයා රෝගය වැළඳී ඇතැයි වෛද්‍යවරු පැවසූහ. ශිරෝමි ඇගේ කුඩා කාලයට සිය මතකය ගෙන ගියාය. තම මිතුරියගේ ලියුකේමියා රෝගය වෙනුවෙන් ඈ ගැයූ ගීය එක්වරම ඈට සිහිවිය. දින කීපයකට පසු සුනිල්ට තරමක් සුව වූ සෙයක් දක්නට ලැබුණෙන් ඔහුව වෙනත් වාට්ටුවකට මාරු කෙරිණි. එහෙත් අවාසනාවකට මෙන් ඔහුට එහිදී නිව්මෝනියාව වැළඳුණි. නැවතත් ඔහුව කළින් සිටි වාට්ටුවට මාරු කෙරුණි. එහිදී වරක් ශිරෝමිගේ හොඳම රසිකයෙකුව සිටි හා ඉන්පසුව ඇගේ ආදරණීය ස්වාමි පුරුෂයා බවට පත්වූ සුනිල් වැලිකල මහතා වසර 48 ක් දිවි ගෙවා 2003 සැප්තැම්බර් 22 දින සදහටම දෙනෙත් පියාගත්තේය. ඔහු අසනීපව සිටි කාලය දින දොළහකි. ශිරෝමිට හොඳ ස්වාමියෙක් මෙන්ම දරුවනට හොඳ පියෙක්ද අහිමිවිය.


(***ඉහත විස්තරය මා උපුටා ගත්තේ The Island පුවත්පතේ 2003/10/12 leisure වෙබ් පිටුවේ පළව තිබූ ලිපියක් අනුසාරයෙනි. මෙය ලියා ඇත්තේ ප්‍රසාද් ගුණවර්ධන ය. ශිරෝමිගේ මාමාවන මෙල්රෝයි ධර්මරත්න ප්‍රසාද්ගේ පුවත්පත් කාර්යාලයට පැමිණ මෙම තොරතුරු ප්‍රසාද්ට පවසා තිබුණි. මෙහි විශේෂත්වය වන්නේ ප්‍රසාද් හා මියගිය සුනිල් වැලිකල ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ වසර කීපයක්ම එකට ඉගෙනගත් මිතුරන් වීමය. ප්‍රසාද් හා සුනිල් මිතුරන් බව මෙල්රෝයි දැනගත්තේත් එදායිලු. ඔහුගේ ලිපියේ තමාට හොඳ මිතුරෙකුත් නැතිවුනා යැයිද හෙතෙම පවසා තිබිණි.)


සුනිල් වැලිකල සමග ගත් පවුලේ ඡායාරූපයක්

දියණිය හෂී සමග ශිරෝමි වැලිකල (ප්‍රනාන්දු)


වැලිකල පවුලේ වර්තමාන තොරතුරු බික්
දියණිය - හෂී වැලිකල (ඇය ශ්‍රී ලංකාව හැර යනවිට වයස අවුරුදු 3 කි. පියා මියයන විට වයස අවුරුදු 16 කි.)  
පුතා - චමිල් වැලිකල
සහ ශිරෝමි වැලිකල මහත්මිය (පෙර පාසල් ගුරුවරියක ලෙස සේවය කර ඇත.)
පවුලේ සාමාජිකයින් එක්වී සුනිල් වැලිකල සිහිවීම පිණිස කැනඩාවේ වාර්ෂිකව ලේ දන්දීමේ සායනයක් සංවිධානය කර පවත්වාගෙන යයි. දියණිය - හෂී වැලිකල විසින් කැනඩා-ශ්‍රි ලංකා සමාජය යනුවෙන් වෙබ් අඩවියක්ද පවත්වාගෙන යයි.

ශිරෝමාලා ප්‍රනාන්දු




ශිරෝමාලා පුනාන්දු ද ශිරෝමි ප්‍රනාන්දු මෙන් එකම කාලවකවානුවක ළමා ගී ලොවට පෑයු තරුවකි. එදා ළමා පරපුර අතර මෙන්ම අද ළමා පරපුර අතරේද එකසේ ජනප්‍රිය “හිංචි පිංචි හාවා යද්දි තනිවෙලා” ගීය එදා ශිරෝමාලා පුනාන්දු ගායනා කළවිට ඇගේ වයස අවුරුදු 7 කි. ගුවන්විදුලියේ ළමා ගී ජනප්‍රිය වූ කාලයේදී ළමා මුවග රැව්දුන් ඇය ගායනා කළ තවත් ගීයකි, “කොටු වැටිච්ච පුංචි සරම” එසේම “චූටි දුවේ සුදු රන් කැටියා” , “මුල් අකුරට මගෙ හෝඩි පොතේ” , “රණ මොනරෝ” , සහ “ලස්සනයි පි‍්‍රයංකරයි උපන්න රට මගේ” යන ගීතද ඇය ගායනා කලාය.




ශිරෝමාලා කුඩා කාලයේ



ඇයට කුඩා කාලයේදීම ගීත නිර්මාණය කරදී ඇත්තේ සිය පියා වන කැමිලස් ප්‍රනාන්දු නම් ප්‍රවීන සංගීතඥයා විසිනි. පියාගේ වියෝවෙන් පසු ඇය සංගීත ක්ෂේත්‍රයෙන් තරමක් ඈත්වුනු බව ඇය වරක් මාධ්‍ය වෙත පවසා තිබුණි.



ගුවන්විදුලියේ හඳමාමා වැඩසටහනට ඇය මුලින්ම ගීයක් ගායනා කලාය. සිය පියාගේ තනුවකට අනුව “චූටි දුවේ සුදු රන් කැටියා” නම් ඒ ගීය ගායනා කරන විට ඇයට අවුරුදු 6 ක් පමණ විය. එය එකල ජනප්‍රිය තැටි ලේබලයක්වූ “සරස්වතී” යටතේ තැටිගත වූ ගීත 4 කින් එකකි. දළුගම පිහිටි සරසවි ශබ්දාගාරය තුල තැටිගතවුණු එම ගී ගැන ශිරෝමාලා පැවසුවේ මෙවැන්නකි.


“දළුගම තිබූ සරසවි ශබ්දාගාරයේදී තමයි ගීත පටිගත කළේ. රෑ එළිවෙන තුරුම මට දුක් විඳගෙන ඒ ගීත ගයන්න සිදුවුණා. මට නිදිමත වෙනකොට තාත්තා මගේ ඇස් දෙකේ වතුර ගානවා. කොහොම හරි ඊට පස්සේ සංගීත සංදර්ශනවල ගීත ගයද්දී ඒ ගීත වලට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙන්න ගත්තම හරිම සතුටක් දැනුණා. එච්.ආර්. ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු, ලතා වල්පොල වැනි ප්‍රවීණ ගායක ගායිකාවන්ගෙන් ලැබුණු අගය කිරීම සහ ආදරය ඒ දවස්වල මට විශාල ශක්තියක් වුණා.”




මේ 1960 දශකයේ අග භාගයේදී මහනුවර පැවැති සංගීත ප්‍රසංගයකට යන අතරතුරේදී ගන්නා ලද ඡායාරූපයක්. ගීත රචක චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ, ජේ. ඒ. රොම්ලස් පෙරේරා, ලක්ෂ්මන් රුද්‍රිගු, මිල්ටන් පෙරේරා ගායන ශිල්පීන් සමඟින් ළමා ගායිකා ශිරෝමාලා ප්‍රනාන්දු සහ ක්ලෝඩ් ද සොයිසා.


පියාගේ වියෝවෙන් පසු පූර්ණකාලීනව සංගීත ක්ෂේත්‍රයේ සිටීමට නොහැකි වුවත් ඉඳහිට සංගීත ප්‍රසංගවල ඇය ගීත ගායනා කළාය. 1980 මැයි 17 වැනිදා ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙසින් ඇය වෙලින්ටන් ප්‍රනාන්දු සමඟ විවාහවිය. එවිට ඇගේ වයස අවුරුදු දාසයකි. විවාහයෙන් චමිලා, චමීර, යුරංග නම් දරුවන් ලැබී ඇය මවක වූවාය. පවුලේ කටයුතු වලට වැඩි වගකීමක් දැරීමට සිදුවූ හෙයින් එයද තම සංගීත දිවිය ඉදිරියට ගෙන නොයාමට හේතුවිය. චමිලා දුවටද දැන් දියණියක් සිටින නිසා ශිරෝමාලා පුනාන්දු දැන් මිත්තණියක වී සිටී.



අසූව දශකයේ අග භාගයේදී නැවත ගීත ගායනයට එක් වෙමින් “මල් වසන්තයේ” නමින් ගීත ඇල්බමයක් ශිරෝමාලා නිකුත් කළා ය. එහි අඩංගු වූ ඇය ගායනා කළ “වාසනා සිනා” , “සුමුදු පෙති තලා” සහ “මල් වසන්තේ හිඳින්න මා ළඟින් ඔයා” වැනි ගීත එවකට ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ නිතර ඇසුණු ගීත විය.



විදේශීය මාර්ග උපදේශකයෙකු ලෙස කටයුතු කරන සැමියා නිතර විදේශ ගත වීම නිසාත් ජපානයෙන් වාහන ගෙන්වා අලෙවි කරන සිය ව්‍යාපාරයේ කටයුතු බහුල වීම නිසාත් නැවතත් ශිරෝමාලාට ගීත ගායනයෙන් ඈත් වීමට සිදුවිය.



මේ දිනවල ඇය සිය ව්‍යාපාරයේ කටයුතුවල නියුතු වී සිටින අතර සිය මිණිබිරිය වන මෙනුලි සමඟ සුවිශේෂ කටයුත්තකට සූදානම් වෙමින් සිටී. ඒ පිළිබඳ ශිරෝමාලා පැවසුවේ මෙලෙසින් ය.



“මා ගායනා කරපු ළමා ගීත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ළමා ගීත බව මේ රටේ හැම කාලෙකටම අයත් ගීත රසික ජනතාව පිළිගෙන තිබෙනවා. මුදල් කෑදරකමින් එම ගීත විකෘති කර විනාශ කරන පිරිසක් ඉන්නවා. මා තවම ජීවත්ව ඉන්නා බව වත් ඔවුන් හිතන්නේ නැහැ.



“මගේ මිණිබිරිය මෙනුලි මගේ ගීත හොඳින් ගායනා කරනවා. මෙනුලි ගායනා කරන මා ගැයූ ළමා ගීත සියල්ල සමඟ අලුත් ළමා ගීත කිහිපයක් ඇතුළත් ගී ඇල්බමයක් නිකුත් කිරීමට කටයුතු මේ දිනවල කරගෙන යනවා.”



“සැබැවින්ම දරුවන්ට ගායනා කිරීමට හැකි ඔවුන්ට සුදුසු ළමා ගීත පමණක් ඇතුළත් වන මෙම ගීත ඇල්බමයේ අපේ ප්‍රවීණ පද රචක කරුණාරත්න අබේසේකර ලියූ ගීත මෙන්ම සංගීතවේදී වික්ටර් දළුගම තනු නිර්මාණය කළ ගීත සමඟ රසබර ළමා ගීත රාශියක් වීම විශේෂයක් වේවි. ඒ වගේම ඉදිරියේදී මගේ පුතා යුරංග සමඟ ගයන ගීතයක මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීමට ද බලාපොරොත්තුවෙන් ඉන්නවා.”



“පෞද්ගලික ජීවිතයේ කාර්ය බහුලකම නිසා පූර්ණ කාලීනව ගීත ගායනය නොකළාට ලැබෙන ආරාධනා අනුව සුදුසු අවස්ථා තෝරා ගෙන තවමත් මම ගීත ගායනා කරනවා. මට මේ හැකියාව පුංචි කාලයේදීම දෙවියන්ගෙන් ලැබුණු ආශිර්වාදයක්. ඉතින් ජීවත් වනතුරු ගීත ගයන්නේ නැතුව ඉන්න නම් කවදාවත් මට බැරි වේවි. ”



පවුලේ සාමාජිකයින් සමග


(2011 පෙබ. 06 දින සිළුමිණ පුවත්පතේ රසඳුන වෙබ් පිටුවට ජෝජ් රොබ්සන් ද සිල්වා ලියූ ලිපියක් ඇසුරිනි)

3 comments:

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...