Tuesday, October 29, 2013

Thalangama - තලන්ගම

ජෝර්ජ් අපගෙ මහ රජා
මේරි බිසව ගුණ කඳා
ලංකාවම රැක දිදී
වැජඹෙත් සෙත් සිරි සැදී..





“ඉස්කෝලෙදි උදේට මෙහෙම කියලා තමයි අපි පොතපතේ වැඩ පටන් ගන්නේ. සුද්දන්ගේ ආණ්ඩුවනේ. 1948 අවුරුද්දට කලින් ඉපදුනු අපි සැවොම බ්‍රිතාන්‍ය ජාතිකයෝ. උප්පැන්න සහතිකයේ තියෙන්නේ එහෙමයි. මගේ නමත් ජෝර්ජ් එඩිමන්ඩ් ජයසිංහ. තාත්තා ජෝර්ජ් ඇල්බට් ජයසිංහ. මගේ මේ ඉංග්‍රීසි නමට මම ආස වුණේම නැහැ. මගේ තාත්තා නැතිවුණේ 1955දී. තාත්තා නැති වුණත් හරි තාත්තත් එක්කම මම මගේ ඉංග්‍රීසි පන්නයේ නමත් වළ දැම්මා. 1936දී මම ඉපදෙන කොට මට ලැබුණු ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ නම 1955දී තලන්ගම ජයසිංහ විදිහට මාරු වුණේ ඔන්න ඔය විදිහටයි. ”

දේශීය සන්නිවේදන ක්ෂේත්‍රයේ චිත්‍රකතා භාවිතය හරහා නමක් දිනා සිටින ප්‍රමුඛ පුද්ගලයකු ලෙස තලන්ගම ජයසිංහ මෙරට කාගේත් මතකයේ රැඳී ඇතුවාට සැක නැත.රුවින් නොහඳුනන නමුත් ‘තලන්ගම’ කියූ සැණින් ‘ජයසිංහ’ නාමයත් අගට එකතු වී ක්ෂණිකව ‘තලන්ගම ජයසිංහ’ යන නාමය මතක් වීමට තරම් ලාංකීය හදවත් තුළ ඔහු ජීවත් වෙමින් සිටී. පුවත්පත්, චිත්‍ර කතාව හා කාටුන් කලාව ජීවිතය කරගත් තලන්ගම ජයසිංහ, ජෝර්ජ් එඩ්මන්ඩ් නමින් බැහැරව තමන්ගේ උපන් ගමේ නමින් පෝෂණය වූ රහස මෙසේය.

“මම උපන් තලන්ගම ග්‍රාමයට මම හරිම ආදරෙයි. ඉස්සර පොඩිකාලේ අපි දියවන්නා ඔයේ එහා ඉවුරේ ඉඳලා මෙහා ඉවුරට පීනන්නේ පුදුම විනෝදයෙන්. මගේ පවුලේ ගෑනු ළමයි තුන්දෙනයි පිරිමි ළමයි දෙන්නයි. මම පාසල් ගියෙත් ගමේම තිබුණු විද්‍යවර්ධන බෞද්ධ මිශ්‍ර පාසලට. සවස එක වෙද්දී ඉස්කෝලේ වැඩ ඉවරයි. ඊට පස්සේ සවස තුනට පටන් ගන්නවා බොරැල්ලේ හේවාවිතාරණ විදුහලේදී ඉංග්‍රීසි පන්තිය. පැලවත්තේ ඉඳලා බොරැල්ලට බස් ගාස්තුව සත 15යි. මේ පන්තිය රෑ 7, 8 වෙනකම් තියෙනවා. අයියයි මමයි දෙන්නත් එක්ක රෑට පන්තිය ඉවර වෙලා ඊට පස්සේ කඩයක් ළඟට වෙලා රේඩියෝ එක අහනවා. එදා තිබුණු ලොකුම සන්නිවේදන මාධ්‍යය රේඩියෝව.

අපේ තාත්තා ඉංග්‍රීසි, සිංහල භාෂා දෙකම දන්න උගත් පුදගලයෙක්. අපේ අම්මා ඊට හාත් පසින්ම වෙනස්. අම්මා අකුරු දන්නෙම නෑ. ඒ වුණාට තමන් දන්නෙ නෑ කියලා අම්මා කාටවත් පෙන්නන්නෙ නෑ. ඒ මදිවට ගමේ මිනිස්සු අම්මාට කියන්නෙ ‘ඉස්කෝලෙ හාමිනේ’ කියලා. ඉස්සර ගමේ අය ටෙලිග්‍රෑම් කියවන්න ගේන්නේ අපේ අම්මා ළඟට. එතකොට අම්මා කියනවා ‘දැන් මගේ ඇස් පේනවා හොඳටම මදි, මෙන්න මේක පුතාට කියලා කියවගන්න’ කියලා. අපි මේවා දිහා බලලා අම්මාගේ වැඩ ගැන හිත යටින් හිනාවෙනවා. හැබැයි මනෝමයෙන් ගණන් හදන්න නම් ඇය හරිම දක්ෂයි. 

අපේ තාත්තට තිබුණා පොත් පුරවපු පරණ පෙට්ටියක්. මේ පෙට්ටියෙ තිබුණෙ නැති පොතක් නෑ. උම්මග්ග ජාතකය, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, ගුත්තිලය. ඊට අමතරව ඩබ්.ඒ. සිල්වාගේ නවකතා, මාර්ටින් වික්‍රමසිංහ, පියදාස සිරිසේන වගේ අයගේ නවකතා හැම එකක්ම වගේ තිබුණා. අපේ තාත්තා හැමදාම රෑට භූමිතෙල් කුප්පි ලාම්පුවක් ළගට අරන් අම්මාට ඇහෙන්න මේ හැම පොතක්ම කියවනවා. මේ හේතුව නිසා අවුරුදු 4,5 වෙද්දී මමත් මේ පොත් සේරම කියවලා ඉවරයි. ඇයි තාත්තා කියවනවා මමත් අහගෙනනේ ඉන්නේ. ”

තලන්ගම ජයසිංහ පාසල් යාම ආරම්භ කළේ වයස අවුරුදු තුනේදී. ආරියදාසට අවුරුදු 10ක් වුණාට තලන්ගමත් ආරියදාසත් ඉගෙන ගත්තේ එකම පන්තියේ. “ආරියදාස චිත්‍ර අඳින්න දක්ෂයා. හැබැයි අඳින්නේ ගමේ ඉන්න චන්ඩින්ට හරියන චිත්‍ර. කිනිස්ස වටේ එතුණු නාගයාගේ රූපය, තරු, ගුරුළු රූප වගේ පච්චවලට හරියන රූප තමයි සේරම. හැබැයි ඒ අතර බුද්ධ රූප, දේව රූපත් නැතුවාම නෙවෙයි.” ආරියදාසගේ හැකියාව තලන්ගමගේ හිත චිත්‍ර අඳින්න නැඹුරු කරවීමට සමත් වුණා.

“ආරියදාස චිත්‍ර අඳිනවා දැක්කම මටත් ආස හිතුණා චිත්‍ර අඳින්න. මම ආරියදාසට කියනවා මගේ පිටේ චිත්‍ර අඳින්න කියලා. ඒවා පාටත් කර ගන්නවා කාබන් පැන්සල්වලින්. මේවා බලාගෙන දවසක් මමත් ඇන්දා බුද්ධ රූපයක්. ඇඳලා හේවාවිතාරණ ඉස්කෝලෙට අරගෙන ගියා. ඒක දැකපු අය කිව්වෙ මූ බොරුවක් කරන්නෙ. කවුද ඇඳපු එකක් ගෙනත් පෙන්නනවා කියලා. ඔන්න මගේ චිත්‍රවලට මගේ හැකියාවට හා හා පුරා කියලා ලැබුණු ප්‍රතිචාරය. එදා මට තරහා ගියා හොඳටම.

පසු කාලෙ වෙද්දී මම ළමා සගරාවලට කවි ලිව්වා. චිත්‍ර ඇන්දා. අපරාදෙ කියන්න බෑ යවන යවන හැමදේම සඟරාවේ පළවුණා. මේ අඳින චිත්‍රවල කාටුන් හුරුව තිබුණේ. චිත්‍රයට යටින් කවි පදයකුත් ලියනවා. මේ හැමදේම පළ වෙනවා. මුලදී මම පාවිච්චි කළේ තලන්ගම තිලක ජයසිංහ කියලා. පස්සේ තිලක නම අතහැරියා. දවසක් ගියා මම බාබර් සාප්පුවට. ඉස්සර හිටිය බාබර්ලා සේරම ඉන්දියානු ජාතිකයෝ. මම මේ කියන්නේ 1940 ගණන්වල සිද්ධියක්. බාබර් හොද කලා රසිකයෙක්. සාප්පුව වටේම දිලිප් කුමාර් කියන නළුවාගේ පින්තූර එල්ලලා. ඒ අතරේ වෙස් මූණක් දාගත්තු යකෙකුගේ මූණකුත් තිබුණා. බාබර් දන්නවා මම චිත්‍ර අඳිනවා කියලා. ඒ ගමන මට අර යක් මූණ පෙන්නලා කියනවා ‘අර හූනියම් යකාව මට ඇඳලා දෙන්න’ කියලා. මමත් නිකම් හිටියේ නෑ. පුළුවන් උපරිමයෙන් ලස්සනට ඇන්දා. බාබර්ට චිත්‍රය හොදට හිතට ඇල්ලුවා. එයා ඒක රාමු කරලා බිත්තියේ එල්ලුවා. ඔන්න ඊට පස්සේ නම් මං ගැන යහපත් ප්‍රතිචාර එන්න ගත්තා. මේ එක්කම මම මරදානේ ‘ටෙක්නිකල් කොලේජ්’යන්න ගත්තා වැඩිදුරටත් චිත්‍ර විෂය හදාරන්න. ”

අපොස සාමාන්‍ය පෙළ පන්තිය තෙක් පාසල් අධ්‍යාපනය ලද තලන්ගම ජයසිංහ රජයේ ලලිත කලා ආයතනයට පස් අවුරුදු පාඨමාලාවක් සඳහා සම්බන්ධ වුණේ 1951දී. එහිදී අධ්‍යාපනය ලද මුල් මාස තුන පසුවීමත් සමග තලන්ගමගේ දක්ෂතාව තේරුම් ගත් ගුරුවරු ඔහුට උසස්වීම් දෙකක් ලබා දුන්නේ වාර දෙකකදීම පන්තියක් පසුකර පන්තියකට යාමට ඉඩ සලසා දෙමිනි.

“චිත්‍ර, මූර්ති, මැටි හා ලාකඩ කියන විෂයන් හතරම මම මෙහිදී හැදෑරුවා. ඊට අමතරව නිවාස සැලසුම පිළිබඳවත් ඉගෙන ගත්තා. මේ මගේ ගේත් මගේම සැලසුමට අනුව ගොඩනැගුණේ.”

ගෙයි හතර අතටම අපේ ඇස් දිවගියේ ඔහුගේ දක්ෂතාව පිළිබඳව යම් මිනුමක් ලබාගැනීමේ අරමුණින්. ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව ගැඹුරු හැදෑරීමක් අප සතු නොවුවත් බැලූ බැල්මට ඉතාමත් අලංකාරවූත් හුරුබුහුටි වූත් නිවසේ හැඩරුව අපේ සිත් පැහැර ගත්තා.

“මගේ තාත්තා නැති වුණේ මේ කාලෙදී. හේවුඩ් එකේ ඉගෙන ගන්න ගමන් වෙළෙඳ දැන්වීම් ආයතනයක අමතර රස්සාවකට ගියේ ජීවත්වෙන්න ඉගෙන ගන්න සල්ලි ඕන නිසා. මේ වෙද්දි නංගිලා දෙන්නත් ඉගෙන ගන්නවා. එයාලගෙ ඒ කටයුතු බලන්න වුණෙත් මට. පඩිය රුපියල් 125යි. එතැනින් තව තැනකට ගියා. එතැනින් ලැබුණේ රුපියල් 150යි. මේ වගේ මම දැන්වීම් ආයතන පහක වැඩ කළා. මේ අතරේ තමයි 1956දී සිළුමිණ පත්තරේට චිත්‍ර ශිල්පියෙක් අවශ්‍යයි කියන දැන්වීම දැක්කේ. මේ වෙද්දි මගේ වයස අවුරුදු 19යි. අවිත් තිබුණු ඉල්ලුම්පත් ගණන 400කට වැඩියි. කොහොමහරි පත්තරයක වැඩ කරන්න තිබුණු ආසාවටම රුපියල් 250ක් වැනි වැටුපකට මම මේ රස්සාව තෝරාගත්තේ 400ක් වැනි අයදුම්කරුවන් අතරින් මාව තෝරාගෙන තිබුණ සතුටත් හිත ඇතිව. ”

1957දී එලෙස ලේකහවුස් ආයතනයේ සිළුමිණ පත්‍රයට සම්බන්ධ වූ තලන්ගම ජයසිංහ ඇටසැකිල්ල නමින් සිය දෙවන චිත්‍රකතාව නිර්මාණ කරනු ලැබුවා. චිත්‍රකතා කලාවේ ආරම්භය ඔහු ලබා ගනුයේ දිනමිණ පත්‍රයට තම මුල්ම චිත්‍රකතාව ‘චිත්‍රා’ නිර්මාණය කරමිනි. ඒ 1954 අවුරුද්දයි. පණට පණ, මිනිස් දඩයම, මා ආලය කළ තරුණිය, සුදු සහ කළු, කල්හාරී, වියරු මුහුද අප හඳුනාගත් ඔහුගේ ජනප්‍රියතමවූ චිත්‍රකතා අතරින් කිහිපයකි.

“අවුරුදු 42ක් ලේක්හවුස් ආයතනයේ වැඩකළා. 1998 වසරේදී මට එම ආයතනයෙන් ඉවත්වෙන්න කිව්වා. ඒ වෙද්දි මම අවුරුදු 18ක් මධුර පත්‍රෙය් කර්තෘ. මගේ ඒ ප්‍රතික්ෂේප වීම මම සතුටින් භාර ගත්තා. 2005 අවුරුද්ද වෙනකම් සිළුමිණ පත්‍රයට චිත්‍රකතා ඇන්දා. මේ වෙද්දි මම චිත්‍රකතා 72ක් නිර්මානය කරලා තියෙනවා. තාත්තා මියගිය පසු මම භාවිත කල තලන්ගම ජයසිංහ නමත් එක්ක ගොඩාක් දුර ආවා. මට අනිත් අය අතර කැපිලා පේන්න ඕන විදිහේ නමක් නෙමෙයි ඕන වුණේ. මගේ පහසුවට, භාවිතයේ පහසුවට කෙටි නමක් හා නියම හුරුවේ සිංහල නමකුයි මට ඕන වුණේ. ”



2013-10-24 දිනපතා රිවිර පත්‍රයේ ‘දිවි මංපෙත’ අතිරේකයට චාමිණී ගම්මන්පිල ලියූ ලිපියක් ඇසුරිනි.

No comments:

Post a Comment

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...