Thursday, August 22, 2013

අන්තරයාකාරී (සකස්කළ) ආහාර වර්ග 7 ක් - 7 Most Unhealthy Processed Foods You Need To Avoid



7 Most Unhealthy Processed Foods You Need To Avoid

ඔබ විසින් පරිභෝජනය නොකළ යුතු සෞඛ්‍යයට වඩාත්ම අන්තරයාකාරී (සකස්කළ) ආහාර වර්ග 7 ක් ගැන දැනුවත් වන්න

සකස්කළ ආහාර (පිසීමක් අවශ්‍ය නොවන මිලදී ගත් සැණින් පරිභෝජනය කළ හැකි හෙවත් ක්ෂණික ආහාර) අනුභවය අද පරිභෝගිකයාගේ ඉතා ජනප්‍රිය අංගයක් වී ඇත. එයට හේතුව කාලය ඉතිරිවීමත්, කාර්යබහුලකම නිසාත් සහ ආහාර පිසීමට නොදන්නා හා අහාර පිසීමට අකමැති ජනතාවක් බිහිවීම නිසාත් ය. වෙළඳපලේ ඇති සකස්කළ ආහාර බොහොමයක මිල අඩුවට සඳහන් කොට ඇත. එනමුත් එම මිළටම එය නිවසේ පිළියෙල කරන්නට ගියවිට වැඩි වියදමක් දැරීමට සිදුවේ. අඩු මිලට පහසුවෙන් රසවත්ව ක්ෂණිකව ආහාර ලබාගත හැකි නිසා සකස්කළ ආහාර ජනප්‍රිය වීම අරුමයක් නොවේ. ඔබ මෙසේ අඩුමිලට ක්ෂණික ආහාර ලබාගත්තත් ඒවා තුළ අධික මිලක් සැඟවී පවතී. ඔබ සිතන්නේ ඒ කුමක් කියාද? සෞඛ්‍යයට ඉතා අහිතකර සංඝටක ඒවා තුළ ඇති නිසා ඔබ ඒවා පරිභෝජනය කිරීමෙන් ඔබ රෝගීවීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඔබට අධික මුදලක් වැයවීම එහි තේරුමයි.

ආහාර විද්‍යාඥයන්ට අනුව සකස්කළ ආහාර අති බහුතරයක් සෞඛ්‍යයට අහිතකරවීම අද වනවිට රහසක් නොවේ. සාමාන්‍යයෙන් සකස්කළ ආහාරවල පෝෂණීය ගුණය හීනය. විශේෂයෙන් ඔක්සිහාරක හා විටමින් අඩුය. නමුත් ඒවා වල කැලරි ප්‍රමාණය අධිකය. තවද රසායනාගාරවල කෘතිමව නිපදවන සංඝටක එම ආහාරවල අඩංගුව තිබිය හැකි නිසා ඒවා මිනිස් ශරීරයට ඉතා අහිතකර විය හැක. ඔබේ ආහාර වට්ටෝරුවෙන් සකස්කළ ආහාර ඉවත් කිරීම ඔබට ඉතා අපහසු විය හැක. නමුත් ඔබ ඔබගේ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන්නේ නම් මෙම ආහාර අකමැත්තෙන් වුවද පරිභෝජනයෙන් ඉවත් කළ යුතුය. පහත දක්වා ඇත්තේ අද වන විට සෞඛ්‍යයට බලවත් තර්ජනයක්ව පවතින සකස්කළ ආහාර වර්ග 7 ක ලැයිස්තුවකි.


01-චිකන් නගට්ස්



හොට් ඩෝග්ස් මෙන් චිකන් නගට්ස් ද ආහාර කර්මාන්තයේ දැවැන්ත නිෂ්පාදනයක් බවට පත්වී ඇත. එය ප්‍රෝටීන් අධික ආහාරයක් ලෙස ඔබ සිතුවත් 50 % කට වඩා එහි ඇත්තේ ප්‍රෝටීන් වලට වඩා කාබෝහයිඩ්රේට් හා මේද ය. තව මතක තබාගත යුතු කරුණක් වන්නේ මෙහි පිරවුමෙහි සහ පිටත හමුවන මෙම කාබෝහයිඩ්රේට් ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර විශේෂයක් බවයි. බොහෝවිට චිකන් නගට්ස් බදිනු ලබන්නේ ගැඹුරු තෙලෙහිය. මෙම තෙල් බෝහෝවිට අසංතෘප්ත වර්ගයේ මේදය. අසංතෘප්ත වර්ගයේ මේද මගින් අපගේ ශරීරයේ සෛල පටක විකෘතිවීමක් ඇති කරයි. මෙමගින් ටයිප් 2 වර්ගයේ දියවැඩියාව වැනි පරිවෘත්තික රෝගාබාධ ඇතිවිය හැක. එපමණක් නොව චිකන් නගට්ස්වල ශරීරයට අහිතකර රසකාරක හා කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු විය හැක. ඒවායින් කීපයක් නම් MSG හෙවත් Monosodium glutamate (මොනො සෝඩියම් ග්ලූටමේට්) සහ TBHQ හෙවත් Tertiary butylhydroquinone (ටර්ටරි බතිල් හයිඩ්‍රොකෝන්)


02- සෝඩා පොප් (පැණි බීම වර්ග)





සෝඩාවල කිසිම පෝෂ්‍යදායි ගුණයක් නැත. එහි කැලරි ද නැත. වැඩිපුරම ඇත්තේ ඔබට හානිකරන සංඝටක වේ. එහි සීනි අඩංගු නම් එහි එතරම් වරදක් නැතත් අද ඒවා රස කිරීමට වැඩිපුරම මුසු කොට ඇත්තේ කෘතිම සීනි වර්ගයක් වන අධි සාන්ද්‍ර ෆරුක්ටෝස් නම් පැණි විෂේශයකි (හයි ෆරුක්ටෝස් කෝන් සිරප් -HFCS). ඒවා සීනි වලට වඩා ශරීරයට හානිදායකය. HFCS ද්‍රව්‍යය මිනිසාගේ අක්මාව තුවාල කිරීමට සමත් අතර (සීනි භාවිතයට වඩා) කඩිනමින් රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ දැමීමටද සමත්ය.


සෝඩා පැණි බීමවල බලගතු අම්ල ජනිත කළහැකි සංඝටක පවතී. අප මුදල් දී ඒවා අපගේ ශරීරයට දමාගනී. ශරීරය තුලදී අම්ල ඇතිවීමෙන් සාමාන්‍ය pH අගයේ තිබූ ශරීරය ආම්ලික පරිසරයක් සහිත ශරීරයක් බවට පත්වේ. ආම්ලික පරිසරයකදී පිළිකා සෛල පහසුවෙන් වර්ධනය විය හැක. ආම්ලික ශරීරයක් ඇති කෙනෙකුට ප්‍රතිශක්ති ක්‍රියාවලිය දුර්වලවීමෙන් පහසුවෙන් වෛරස් හා බැක්ටීරියා ආසාදනයන්ට ද ලක්විය හැක.

03- හොට් ඩෝග්ස් සහ එවැනි සකස්කළ මාංශ ආහාර




හොට්ස්ඩෝග්ස් , දශක ගණනාවක් පුරා අමෙරිකානු ආහාර වේලේ ප්‍රධාන අංගයක් ලෙස පවතී. අමෙරිකාවේ ජාතික හොට්ස්ඩෝග්ස් හා සොසේජස් කවුන්සිලයේ වාර්තාවලට අනුව වසරකට අමෙරිකානුවන් හොට්ස්ඩෝග්ස් බිලියන 20 ක් අනුභව කරයි.(බිලියන 1ක් යනු මිලියන දහසකි. එනම් 1යි බිංදු 9 ක් ඇති සංඛ්‍යාවකි - 1,000,000,000 එය අපේ ව්‍යවහරයෙන් පවසනවා නම් කෝටි 100 කි. ඒ අනුව බිලියන 20 ක් යනු කෝටි 2000 ක් බව සිතන්න) තවද එම වාර්තාවෙන් වැඩිදුරටත් ස‍ඳහන් කරන්නේ අමෙරිකානු නිවාසවලින් 95% ක්ම හොට්ස්ඩෝග්ස් පරිභෝජනය කරන බවයි.

වෙළෙඳපලේ විකිණීමට ඇති හොට්ස්ඩෝග්ස් හා එවැනි සකස්කළ මාංශ ආහාරවල වැඩිපුරම ඇත්තේ කුමන සංඝටකදැයි ඔබ දන්නේද? අධිකව යෙදූ ලුණු, MSG, සෝඩියම් නයිට්‍රේට්, කල්තබාගැනීමේ ද්‍රව්‍ය, කෘතිම රසකාරක ද්‍රව්‍ය, ලාබදායි ලෙස සැකසූ සෙඛ්‍යාරක්ෂිත නොවූ මැද පිරවුම් යනාදියයි. නිෂ්පාදනයේදී මාංශ වෙන් කෙරෙන්නේ යන්ත්‍රානුසාරයෙනි. බොහෝ පාරිභෝගිකයන්ට මෙම නිෂ්පාදනවල පෝෂ්‍යදායි ගුණය ගැන වැටහීමක් නැත. යන්ත්‍රානුසාරයෙන් මාංශ වෙන්කිරීමේදී ඒවා දැඩි උෂ්ණත්වයකට හා පීඩනයකට යටත්වන නිසා ඒවාවල පෝෂ්‍යදායිබව වියැකී යයි. උදාහරණයක් ලෙස මාංශවල ඇති ප්‍රෝටීන් ද මෙම අධිකාර්මික ක්‍රියාව නිසා විකෘතිභාවයට පත්වේ.

04- කුකීස් විස්කෝතු, කේක්, ස්පන්චි හා ක්‍රැකර්ස් වර්ග




කුකීස් විස්කෝතු, කේක්, ස්පන්චි හා ක්‍රැකර්ස් වර්ග මෙසේ එක කාණ්ඩයකට ගොනුකළේ ඒ සෑම ආහාරයකින්ම සිදුවිය හැකි හානිය එක සමාන වන නිසාය. අධිකව සීනි හා ලුණු අඩංගු එම අහාරවල ඊටත් වඩා අධිකව ඇත්තේ අසංතෘප්ත මේදයයි. මිල අධික සොඛ්‍යාරක්ෂිත මේද වලට වඩා අසංතෘප්ත මේද ලාබදායි නිසා එවැනි ආහාර නිෂ්පදනයේදී ඒවා එකතුවෙයි. තවද අසංතෘප්ත මේද යෙදීමට තවත් හේතුවක් වන්නේ නරක් නොවී කල්තබාගැනීමටත් පදම ලබාගැනීමටත් එයින් පහසුවන නිසාය. යම් ආහාර නිෂ්පාදනයක අසංතෘප්ත මේදය කොපමණ ඇත්දැයි ඔබට එහි ලේබලයෙන් බලාගත හැකිය. යම් නිෂ්පාදනයක් සිල්ලර ප්‍රමාණයෙන් පාරිභෝගිකයාට ලබාදෙන විට එහි අසංතෘප්ත මේදය ග්රෑම් 0.05 කට වඩා අඩුවෙන් ඇත්නම් එහි අසංතෘප්ත මේදය නොමැති ලෙස ලේබල් වල දැක්වීමට අමෙරිකානු ආහාර පාලක මණ්ඩලය මගින් ආහාර නිෂ්පාදකයින්ට අවසර ලබා දී තිබේ. ආහාර වෙලෙන්දන් පාරිභෝගිකයින් රැවටීමට මෙම නීතියම උපයෝගී කරගෙන තිබේ. උදාහරණයක් ලෙස විස්කෝතු ඇසුරුමක අසංතෘප්ත මේදය හානිදායක ප්‍රමාණයක ඇත්නම් එහි එක් විස්කෝතුවක ඇති ප්‍රමාණය ගණනය කිරීමේදී එය ග්රෑම් 0.05 කට වඩා අඩුවිය හැක. එවිට වෙළඳුන් ඇසුරුමේ ලේබලයේ දක්වන්නේ එක් විස්කෝතුවක අඩංගු ද්‍රව්‍ය සඳහන් කොට එහි අසංතෘප්ත මේදය නොමැත යන්නයි. ඕනෑම ආහාර නිෂ්පාදනයක අසංතෘප්ත මේදය ඇත්දැයි ඔබට සැකහැර දැනගත හැකි තවත් ක්‍රමයක් මෙසේය. එහි අඩංගු ද්‍රව්‍ය ලැයිස්තුවේ hydrogenated හෝ partially hydrogenated යන වදන් ඇතුලත් නම් එම ආහාරයේ අනිවාර්යෙන්ම අසංතෘප්ත මේද අඩංගුවේ. අසංතෘප්ත මේද මගින් අපගේ ශරීරයේ සෛල පටක විකෘතිවීම හා ටයිප් 2 වර්ගයේ දියවැඩියාව වැනි රෝගබාධ ඇතිවිය හැකි බව මීට ඉහතද දක්වා ඇත.

05- උදෑසන ආහාරයට ගන්නා සෙරීල්ස්




විකිණිමට ඇති බොහෝ උදෑසන සෙරීල්ස් ආහාරවල “විටමින් හා ඛණිජවලින් ස්වයංපෝෂිතයි” යනුවෙන් සඳහන් කර ඇත්තේ ඇයිද කියා ඔබ දන්නවාද? එසේ නොවන්නේ නම් කිසිවෙක් එම ආහාර මිලදී නොගනු ඇත. ගුණයෙන් අඩු කෘත්‍රිම විටමින් එහි අඩංගු නිසා විටමින් වලින් ස්වයංපෝෂිතයි යැයි සඳහන් කිරීමට නිෂ්පාදකවරුන්ට හැකිවී තිබේ. බොහෝ සෙරීල්ස් ආහාරවල සීනි හෝ අධි සාන්ද්‍ර ෆ්රුක්ටෝස් කෝන් සිරප් අඩංගු වේ. ඔවුන් කෝන් යොදාගන්නේ නම් ඒවා අනිවාර්යයෙන්ම ජානවලින් නිපදවූ මිලෙන් අඩු කෝන් විශේෂයක් විය යුතුය. නිෂ්පාදන වියදම අඩුවීමෙන් අධික ලාභයක් ලැබීම ඔවුන්ගේ පරමාර්ථය වන බැවිනි. යුරෝපයේ මෑතක සිදුකළ පර්යේෂණ වලදී ජානවලින් නිපදවූ කෝන් ආහාරයට ගැනීමෙන් මීයන්ගේ මොළයේ ගෙඩි (ටියුමර්) ඇතිවන බව සොයාගෙන තිබේ. (මෙය මිනිසාට රතු එළියකි) මේ පිළිබඳ පර්යේෂණ කිරීම දැන් සීමා සහිතවී තිබේ. එයට හේතුව මහා පරිමාණ සමාගම්, පර්යේෂණ කරන විද‍්‍යාඥයින්ට විරුද්ධව නඩු දමා තර්ජනය කිරීමයි. කෙසේ වෙතත් ජානමය කෝන් ආහාරයට ගත් ඇතැම් ගවපට්ටි හා ගොවිපළ සතුන් රෝගීවූ බවට හෝ මියගිය බවට සිද්ධීන් ගණනාවක් වාර්තාවී ඇත.

06- ග්‍රැනෝලා බාර්ස්
-(මේවා ඕස්ට්‍රේලියා, නවසීලන්ත හා උතුරු අමෙරිකාවේ ජනප්‍රිය රසකැවිල්ලක් වන අතර එය රටකජු, කජු, පොරි , මුද්දරම්පලම්,බැදපු පීනට්ස්, ආමන්ඩ්,තල ඇට, සූර්යකාන්ත ඇට වැනි ද්‍රව්‍ය සමග ලුණු හා කෝන් සිරප් මිශ්‍ර කොට සාදාගනී.ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල්වල විකිණීමට තිබේ)





වඩාත්ම අනතුරුදායක ආහාර වර්ග 7 ලැයිස්තුවට ග්‍රැනෝලා බාර් අයත්වීම කෙරෙහි ඔබ පුදුමයට පත්වනු ඇත. එයට හේතුව ඒවා වෙළඳපලට එන්නේ වඩාත්ම පෝෂ්‍යදායි ආහාරයක් ලෙස කියාය. බොහෝ මිනිසුන් සිතන්නේ ද එය රසවත්, සෙඛ්‍යයට හිතකර අහාරයක් කියාය.නමුත් සත්‍ය තත්වය එයට හාත්පසින්ම වෙනස්ය. දෙමාපියන් තම දරුවන්ට ග්‍රැනෝලා බාර් රැගෙන දුන්නත් එහි චොකලට් බාර් එකක ඇති පෝෂණීය ගුණයවත් නැත. දවටනයේ හෝ ලේබලයේ හෝ ඒ පිළිබඳ දැක්වෙන වෙළෙඳ දැන්වීමේ කුමන දේ පැවසුවත් ඇත්තවශයෙන්ම එහි වැඩිපුරම අඩංගුව ඇත්තේ ශරීරයට අහිතකර අධි සාන්ද්‍ර ෆ්රුක්ටෝස් කෝන් සිරප් ය. ඔබ මෙය විශ්වාස නොකරනවා නම් ඔබ ඕනෑම සුපිරි වෙළඳ සැලකට ගොස් විවිධ වෙළඳ නම් වලින් එන ග්‍රැනෝලා බාර් ගෙන එහි දවටනයේ මෙම හානිකර ද්‍රව්‍ය අඩංගු නොවන්නේ දැයි සැකහැර බලාගන්න. තවද ග්‍රැනෝලා බාර්වල අසංතෘප්ත මේදය හා සෝඩියම්ද අඩංගු වේ.

07- සෑදූ අහාර රසගන්වනයන් (Pre- Made Condiments)
(කෝඩියල් වර්ග, ජෑම් වර්ග, අබ පේස්ට් , සෝස් වර්ග, චිලී පේස්ට්, කෙචප් වර්ග, චට්නි වර්ග, විනාකිරි වර්ග යනාදිය මෙම කාණ්ඩයට අයත්ය.)




මෙම ආහාර රසගන්වනයන් වලට බොහෝවිට අධි සාන්ද්‍ර ෆ්රුක්ටෝස් කෝන් සිරප් අඩංගු කර ඇත. තම නිෂ්පාදන අඩු වියදමකින් රසගැන්වීම සඳහා වෙළෙඳ ආයතන ඒවා යෙදාගනී. තවද අසංතෘප්ත මේද හා MSG වැනි කෘතිම රසකාරක ද ඒවාට ඇතුලත් කරයි. ශරීරයට අහිතකර කල්තබාගැනීමේ ද්‍රව්‍ය හා වර්ණක ද මේවායෙහි අඩංගුය. ඔබ නැවුම් එළවළු ගෙන පෝෂ්‍යදායි සලාදයක් පිළියෙල කලා යැයි අපි සිතමු. එය වඩා රසවත් කිරීමට වෙළඳපළෙන් ගත් සෝස් වර්ගයක් ඒ මත දැමූවිට මුළු ආහාරයම ශරීරයට අහිතකර ආහාරයක් බවට පත්වේ. මේ තත්වයෙන් මග හැරීමට ගත යුතු හොඳම මග වනුයේ ඉහත සඳහන් ආහාර රසගන්වනයන් හැකිනම් නිවසේදීම සාදා ගැනීමට පුරුදුවීමයි.

උපුටා ගැනීම
http://www.watchfreeks.com/48-chef-s-corner/35203-7-most-unhealthy-processed-foods-you-can-eat.html

අන්තර්ජාලය ඇසුරින් පරිවර්තනය කොට ඉදිරිපත්කළේ
අයෝම ජයසිංහ
Ayoma Jayasinghe  -  ayolanka@gmail.com
Sri Lanka Rupavahini Corporation













No comments:

Post a Comment

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...