Sunday, December 15, 2013

Escape from Alcatraz - අල්කට්‍රාස් සිපිරිගෙයින් පැනයාම





බොහෝවිට සිනමාවට නැගී ඇති ලෝකයේ මෑත අතීතයේ සිදුවී ඇති ත්‍රාසජනක සත්‍ය කථා...සිංහලෙන්...
අන්තර්ජාලය ඇසුරින් පරිවර්තනය
අයෝම ජයසිංහ
Ayoma Jayasinghe  -  ayolanka@gmail.com

Escape from Alcatraz හෙවත් අල්කට්‍රාස් සිපිරිගෙයින් පැනයාම
යනු අදින් වසර 51 කට පෙර එනම් 1962 ජූනි මස අමෙරිකාවේ “සැන් ෆ්‍රැන්සිස්කෝ” බොක්කේ “අල්කට්‍රාස්” නම් දූපතෙහි පිහිටි වඩාත්ම දරුණු අපරාධකරුවන් රඳවා සිටි සිරගෙදරින් රැඳවියන් තිදෙනෙකු සාර්ථක ලෙස පලායාමේ සිද්ධියයි.



අල්කට්‍රාස් දූපත හා ඒමත පිහිටි සිපිරිගෙය

“ෆ්රෑන්ක් මොරිස්”, “ක්ලැරන්ස් ඇන්ග්ලින්” හා “ජෝන් ඇන්ග්ලින්” යන අපරාධකරුවන් එම රැඳවියන් තිදෙනායි. ඔවුන් මෙහි සිරගතවන්නේ බැංකු ඇතුළු විවිධ මංකොල්ලයන් සිදුකිරීම නිසාය. 




ෆ්රෑන්ක් මොරිස් ,ජෝන් ඇන්ග්ලින් හා ක්ලැරන්ස් ඇන්ග්ලින්

අල්කට්‍රාස් දූපතෙන් ඔවුන් පැනයන්නේ ඔවුන්ම තනාගත් පහුරක ආධාරයෙනි. ඔවුන් සාර්ථක ලෙස එම මහා ජල ක‍ඳ මතින් එගොඩවී දිවි බේරාගත්තේදැයි හෝ ඔවුන් නිසැක වශයෙන් ජලයේ ගිලී මියගියේදැයි යන්න අමෙරිකානු බුද්ධි අංශයට අදටත් විසඳාගත නොහැකි ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙම සත්‍ය සිද්ධිය ඇසුරින් Escape from Alcatraz යනුවෙන් හොලිවුඩ් චිත්‍රපටයක් 1979 දී නිෂ්පාදනය විය. එහි මොරිස්ගේ චරිතයට පනදුන්නේ ප්‍රකට නළු ක්ලින්ට් ඊස්ට්වුඩ්ය.


ක්ලින්ට් ඊස්ට්වුඩ් රගන 
Escape from Alcatraz චිත්‍රපටයේ පෝස්ටරයක්

සිපිරිගෙවල් වලින් සිරකරුවන් පැනයාම අපේ රටට, අමෙරිකාවට හෝ වෙනත් රටවලට අමුත්තක් නොවේ. නමුත් 1962 දී සිදුවූ මෙම සිද්ධියට ලෝකය පුරා මහත් ප්‍රසිද්ධියක් ලැබුණි. බොහෝ දෙනා මෙම සිද්ධිය Great Escape from Alcatraz හෙවත් “අල්කට්‍රාස් සිපිරිගෙයින් මහා පලායාම” ලෙස හඳුන්වන්නට විය. එසේම පලාගිය සිරකරුවන් අපරාධකාරයන් ලෙස නොව වීරයන් ලෙස හඳුන්වන්නට ඇතැම් දෙනා පෙලඹුණි. මෙසේ වූයේ ඇයිදැයි යන්න මෙම කතාව අවසානයේදී ඔබට වැටහෙනු ඇතැයි සිතමි.

මෙයට කෙටි පිළිතුරක් දෙනවා නම් මෙම අල්කට්‍රාස් සිපිරිගෙය එකළ අමෙරිකාවේ හැටියට අධි ආරක්ෂිත සිපිරිගෙයකි. ගොඩබිම පිහිටි වෙනත් සිරගෙවල්වල සිටි දරුණු අපරාධකරුවන් මෙන්ම එම සිරගෙවල්වලින් පැනයා අසුවන සිරකරුවන්ද මෙම දූපතෙහි පිහිටි හුදකලා සිපිරිගෙයට යවන ලදී. ( චිකාගෝවල සිටි දරුණු අපරාධකරුවකු වන “ඇල් කැපෝන්” ද කලක් මෙම සිපිරිගෙයි ගතකර ඇත.) මෙම අල්කට්‍රාස් සිරගෙදරින් කිසිවෙකුටක් මේ දක්වා නිරුපද්‍රිතව පලායා නොහැකිවිය. සිපිරිගෙය දූපතක පිහිටියේ එම අධි ආරක්ෂාව තවත් තහවුරු කිරීම සඳහාය. සිපිරිගෙයින් පලාගියත් දූපත වටා පිහිටි අති විශාල ජලකඳින් එතෙරවීම කිසිවෙකුටත් හිතන තරම් පහසු නොවේ. තත්වය මෙසේ වුවත් මෙම අල්කට්‍රාස් සිරගෙයින්ද විවිධ අවස්ථාවල සිරකරුවන් පැනගොස් හෝ පැනයාමට ප්‍රයත්න දරා හෝ ඇත. නමුත් ඔවුන් සියල්ලන්වම පැනයන අවස්ථාවේ අල්ලාගෙන ඇත. 1962දී සිදුවූයේ එතරම් ආරක්ෂිත මුරකාවල් යොදා තිබූ අල්කට්‍රාස් සිරගෙයින් ආරක්ෂක නිලධාරින් කිසිවෙකුටත් නොදැනී පැය අටක කාලයක් තුල රැඳවියන් තිදෙනෙකු පුදුම හිතෙන උපක්‍රම භාවිතා කොට සාර්ථක ලෙස පැනගොස් දූපතෙනුත් එතෙරවී යාමයි. මේ හේතුව නිසා මෙම සිද්ධිය ලොවපුරා මහත් ආන්දෝලනයක් ඇතිකළේය. ලංකාවේ ප්‍රදර්ශනය වූ Escape from Alcatraz චිත්‍රපටය මා නරඹන විට මට අවුරදු 18 ක් පමණ විය. සත්‍ය සිද්ධියට පදනම්වූ අල්කට්‍රාස් සිරගෙදරම මෙය රූපගත කර ඇති නිසා චිත්‍රපටය වඩාත් තාත්විකවීයැයි මගේ විශ්වාසයයි.

1962ට කලින් රැඳවියන් පලාගිය අවස්ථාවන්...

1962ට කලින් අල්කට්‍රාස් රැඳවියන් විවිධ අවස්ථාවල පැනයාමේ සිද්ධීන් 33ක් වාර්තාවී තිබුණි. පැනයාමේදී ඇතැම් රැඳවියන් වෙඩි තබා ඝාතනය කරනු ලැබූ අතර බෝහෝදෙනා යළි අල්ලාගනු ලැබීය. සාර්ථක ලෙස දූපතෙන් බැහැරවී පිහිනා ගොස් ඇත්තේ “ජෝන් පෝල් ස්කොට්” නමැති සිරකරුවා පමණි. නමුත් ඔහුවද වැඩි වේලාවක් යන්නට පෙර සැන් ෆ්‍රැන්සිස්කෝ ගොඩබිමේදී යළි අල්ලාගනු ලැබීය. මෙය සිදුවූයේ 1962 සිද්ධියට පසුව වීම විශේෂත්වයකි. එනම් 1962 දෙසැම්බර් වලය.



1962ට පෙර අල්කට්‍රාස් වලින් පැනගිය සිරකරුවන් පිරිසක්
නැවත අල්ලා ගත් අයුරු දැක්වෙන පුවත්පත් ලිපියක්

ක්ලැරන්ස් ඇන්ග්ලින් හා ජෝන් ඇන්ග්ලින්



සිරමැදිරියේදී ගත් ජෝන් ඇන්ග්ලින්ගේ නිල ඡායාරූපය


ක්ලැරන්ස් ඇන්ග්ලින්

මොවුන් දෙදෙනා සහෝදරයින් වූහ. වයස් පරතරය අවුරුදු එකකි. මල්ලී වන “ඇල්ෆ්‍රඩ් ක්ලැරන්ස් ඇන්ග්ලින්” 1931 මැයි 11 උපන් අතර අයියා වන “ජෝන් විලියම් ඇන්ග්ලින්” 1930 මැයි 2 උපන්නේය. ඔවුන්ගේ උපන් ගම ඇමෙරිකාවේ “ජෝර්ජියා” ප්‍රාන්තයේ “ඩොනල්සෝවිලේ” නගරයයි. ඔවුන්ගේ රැකියාව වූයේ ගොවිතැනයි. පසුව කම්කරුවන් ලෙසද වැඩ කළහ. ඔවුන් දෙදෙනා එක්ව “ජෝර්ජියා” ප්‍රාන්තයේ බැංකු මංකොල්ලයන්ට සම්බන්ධ වූ නිසා දෙදෙනාම 1956දී අත්අඩංගුවට ගනු ලැබූහ. දෙදෙනාටම අවුරුදු 15 සිට 20 දක්වා වූ සිරදඬුවම් නියමවූ අතර ඔවුන්ව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඇට්ලන්ටා සිපිරිගෙයට යවන ලදී. (මහා පලායාමට සම්බන්ධවූ ෆ්රෑන්ක් මොරිස් හා ඇලන් වෙස්ට් යන දෙදෙනා මොවුන් දෙදෙනාට ප්‍රථම වරට මුණ ගැසුණේ මෙහිදීය.)

ක්ලැරන්ස් හා ජෝන් අවස්ථා කීපයකදී ඇට්ලන්ටා සිරගෙයින් පලායාමට උත්සාහ කළහ. ඒ සියල්ලම අසාර්ථක විය. එමනිසා ඔවුන්ව පැනයා නොහැකි ස්ථානයක් ලෙස සැලකූ අල්කට්‍රාස් සිපිරිගෙයට යැවීමට නියම විය. මේ අනුව 1960 ඔක්තෝබර් 21 ජෝන් අංක AZ1476 දරණ රැඳවියා ලෙසද 1961 ජනවාරි 10 ක්ලැරන්ස් අංක AZ1485 දරණ රැඳවියා ලෙසද අල්කට්‍රාස් වෙත ඇතුළු වූහ.

ෆ්රෑන්ක් මොරිස්



අපගේ කතානායකයා වන්නේ ෆ්රෑන්ක් මොරිස්ය. ඒ මහා පලායාමේ මහමොළකරු ඔහුවන නිසාය. 1926 සැප්තැම්බර් 1 දින වොෂිංටන් ඩී.සී. වල ඔහු උපත ලැබීය. ජීවිතයේ මුල් කාලවල ඔහු වැඩිපුරම ගතකළේ භාරකාර නිවාසවලය. වයස අවුරුදු 11 දී අනාථ මඩමක විසූ ඔහු වයස අවුරුදු 13 දී සිය ප්‍රථම අපරාධය සිදුකළේය. යොවුන් වයසේදී ඔහුව කීපවරක් අත්අඩංගුවට ගනු ලැබූයේ ඔහු සිදුකළ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිට ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම් දක්වා වූ විවිධ අපරාධ නිසාය. මේ නිසා අල්කට්‍රාස් යාමට පෙර මොරිස්ට දිගු අපරාධ ඉතිහාසයක් තිබුණි. සිදුකළ එක් අපරාධයකදී වරක් ඔහුව ඇට්ලන්ටා සිපිරිගෙයට යවන ලදී. මෙහිදී ඔහුට ඇන්ග්ලින් සහෝදරයින් ප්‍රථම වරට මුණ ගැසී තිබේ.

ඇලන් වෙස්ට්




සිරමැදිරියේදී ගත් ඇලන් වෙස්ට්ගේ නිල ඡායාරූපය

ඇලන් ක්ලේන්ට් වෙස්ට් 1929 මාර්තු 25 උපන්නෙකි. ඔහු වාහන සොරකමක් සම්බන්ධයෙන් ඇට්ලන්ටා සිපිරිගෙයට ඇතුළුවූ අයෙකි. ඔහුටද මොරිස් හා ඇන්ග්ලින් සහෝදරයින් ප්‍රථම වරට මුණගැසුණේ මෙම සිරගෙදරදීය. ඔහුද මෙම ස්ථානයෙන් පැනයාමට ගත් උත්සාහය නිසා 1957දී අල්කට්‍රාස් වෙත යවන ලදී. ඔහුගේ සිර අංකය AZ1335 ය.

වෙස්ට් යනු පලායාමේ සැලසුම සකස්කළ සිව්දෙනාගෙන් කෙනෙක් වූ අතර පලායාමට නොහැකිවූ එකම පුද්ගලයාද ඔහු විය. ඔහුට පලායා නොහැකි වුණු හේතුව මෙසේය. සැළසුම් කළ පරිදි අනෙක් තිදෙනා මෙන්ම වෙස්ට්ද සිරකූඩුවෙන් පලායාම සදහා පිටුපස බිත්තියේ සිදුරක් පාදාගත්හ. අනෙක් තිදෙනා එය පහසුවෙන් සිදුකළ අතර වෙස්ට්ගේ සිදුර පාදාගන්නාවිට ආවාසනාවකට ඊට පිටුපසින් යකඩ බටයක් මතුවීමෙන් ඔහුගේ උත්සාහය මුලදී නිශ්ඵල විය. කළ හැකි විකල්පයක් නොවූයෙන් අනෙක් තිදෙනා වෙස්ට්ව හැරදමා යන්නට තීරණය කළහ. පසුදා උදෑසන වනතුරු එනම් බලධාරින්ට පලායාම හෙළිවන තුරු වෙස්ට් තම සිරමැදිරියේ ගත කරන්නට තීරණය කළේය. පලායාම හෙළිවූ පසු වෙස්ට් බුද්ධි අංශයට මෙන්ම බන්ධනාගාර බලධාරින්ට සම්මුඛ සාකච්ඡා දෙමින් සියළු තොරතුරු හෙළි කළේය. පලායාමේ සැලසුමේ සියළු විස්තර ඔහු බලධාරින්ට හෙළිකලේ එමගින් තමාට එල්ලවීමට ඇති චෝදනා අවම කරගැනීමේ අදහසිනි. මේ නිසාම දෝ ඔහුට අල්කට්‍රාස් සිරගෙයින් පැනයාමට උත්සාහ කිරීමේ චෝදනාව එල්ල නොවුණි.  

1962 සිද්ධියෙන් වසරකට පසු අල්කට්‍රාස් සිරගෙය අමෙරිකානු ආණ්ඩුව විසින් වසා දැමූ අතර සියළු රැදවියන් වෙනත් සිරගෙවල් වලට මාරු කරන ලදී. (සිරගෙය වසාදැමීමේ හේතු ලෙස දක්වා තිබුණේ එය පවත්වාගෙන යාම සදහා රජයට අධික නඩත්තු මුදලක් වැයකිරීමට සිදුවන බවයි.) මේ අනුව වෙස්ට්ද 1963 පෙබරවාරි 6 දින (මේ ලියන මා ඉපදී දින 4කට පසු) වොෂින්ටන්වල මැක්නීල් දිවයිනටත් 1965 ජනවාරි 7 ඇට්ලන්ටා සිරගෙයටත් මාරු කරන ලදී. සිර දඩුවම් විදීමෙන් පසු පූර්ණ වශයෙන් ඔහු නිදහස ලැබූයේ 1967දීය. නමුත් අවාසනාවක මහත. පුරුද්ද අත්හරින්න බැරිවාසේ ඔහුව යළිත් අත් අඩංගුවට පත්වූයේ සොරකම්, වංචාවන් හා පැනයාමේ උත්සාහයන් සිදුකිරීම නිසාය. විවිධ වැරදි වලට නියමවූ දඩුවම් අතර ජීවිතාන්තය දක්වාවූ සිරදඬුවමක්ද විය. ඔහුව 1969 ජනවාරිවල ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රජයේ සිරගෙයට යවන ලදුව 1972 ඔක්තෝබර් 30 දින එහිදී ඔහු තවත් සිරකරුවෙකුට පිහියා ඇනුමකින් මරණීය තුවාල සිදුකළේය. 1978 දෙසැම්බරයේදී අධික උදර වේදනාවකින් පෙළුන වෙස්ට් රෝහලකට ඇතුලත් කළ අතර 1978 දෙසැම්බර් 21 සදහටම දෙනෙත් පියාගත්තේ ඔහු දරුණු අන්ත්‍රා ඉදිමීමේ රෝගයකට ගොදුරුවූ නිසාය. මියයන විට ඔහුට වයස අවුරුදු 49ක් විය. 

පලායාම

1961 සැප්තැම්බර් වනවිට මොරිස්, වෙස්ට් හා ඇන්ග්ලින් සහෝදරයින් පලායාමේ සැලැස්ම සකස්කරන්නට වූහ. සැලැස්මේ එක් අංගයක් වූයේ තමන්ගේ රුවට සමාන ලෙස හිසේ අනුරූ හතරක් (ඔලුබක්කන්) සෑදීමයි. පලායන රාත්‍රියේ හා පසුදා උදේ පහන් වනතෙක් තම තමන්ගේ සිර මැදිරිවල ඇඳන් මත ඒවා තබායාමට සැලසුම් කළේ රාත්‍රියේ සිරමැදිරි පරීක්ෂා කිරීමට පැමිණෙන බන්ධනාගාර නියාමකයන් රැවටීම සඳහාය. එවිට නියාමකයන් සිතන්නේ ඔවුන් තවමත් නින්දේ පසුවන බවයි. මෙම අනුරූ නිර්මාණය කළේ ටොයිලට් කඩදාසි, සබන් හා රෙදි කැබලි එකට එකතු කිරීමෙනි. 


තමන්ගේ මුහුණුවලට සමාන ලෙස තනාගත් අනුරූ


තමන් නින්දේ පසුවන බව ඇඟවීමට ඇ සකසා ඇති අයුරු.
ඈතින් පෙනෙන්නේ වා කවුළුව කඩාදමා ඇති අයුරුයි

එසේම රැඳවියන්ට ලබාදෙන ගෑරුප්පු හා හැඳි වලින් ඔවුහු ආයුධ තනාගත්හ. ඒවා භාවිතා කොට ඔවුහු තමන්ගේ සිරමැදිරියට සම්බන්ධවන වා කවුළුව කඩා සිදුරක් ඇතිකොට එම සිදුර ක්‍රමයෙන් විශාල කිරීමට පටන් ගත්හ. මේ සඳහා ඔවුන්ට අවුරුද්දක් පමණ ගතවුණි. 


සකසාගත් අවි ආයුධ

නියමිත දිනයේ සිරමැදිරි තුනට සම්බන්ධ වා කවුළු තුනකින් මොරිස් හා ඇන්ග්ලින් සහෝදරයන් දෙදෙනා පිටතට පැනගත් අතර පිටතවූයේ පාළුවට ගොස් තිබූ සේවා කොරිඩෝවකි.



සේවා කොරිඩෝව


මෙම පිංතූරයේ ඉහළින් පෙනෙන්නේ වා කවුළුව
කඩා දැමීමෙන් පසු එය වසා තැබීම සහා ඔවුන් විසින් 
නිර්මාණය කරන ලද ව්‍යාජ වා කවුළුවකි. ඔවුන්ගේ නිර්මාණ
ශක්තිය මෙයින් මොනවට පැහැදිලි වේ.

 වෙස්ට්ට තම වා කවුළුව කඩා දැමීමට නොහැකිබව අනෙක් තිදෙනාට අවබෝධ විය. සේවා කොරිඩෝවට පැනගත් තිදෙනාගෙන් ක්ලැරන්ස් තම මිතුරු වෙස්ට්ගේ වා කවුළුව කඩා දැමීමට සිරකුටියේ පිටත සිට උදව් කළේය. එම උත්සාහද නිශ්ඵල විය. වෙස්ට්ව අතහැර දැමීමට අනෙක් තිදෙනා තීරණය කළහ. සේවා කොරිඩෝවේ සිට යකඩ නළයක් දිගේ මහල් තුනක් ඉහළට නැගගත් ඔවුන් තිදෙනා එතැන සිට කොන්ක්‍රීට් වහලයේ සවිකර ඇති ප්‍රධාන වා කවුළුව දෙසට ගමන් කළහ. අවසන් දිනයට පෙර ඔවුන් තිදෙනා කිහිප වරක් මේ ආකාරයටම මෙම ස්ථානයට පැමිණ තිබුණේ ඔත්තු බැලීමට සහ ගමනට තිබූ බාධා ඉවත් කිරීමටය. ප්‍රධාන වා කවුළුවෙන් එළියට ඒමට නම් එහි පියන ගැලවිය යුතුවිය. පියන ගැලවී වහලය මතට වැටීමේදී විශාල ශබ්දයක් නිකුත්වී ඇත. ආරක්ෂක සෙබළුන්ට මෙම ශබ්දය ඇසුණත් එය එතරම් ගණනකට ගෙන නැත. පියන ගලවා එතුලින් එළියට එනම් කොන්ක්‍රීට් වහලය මතට පැනගත් ඔවුන් ඉන්පසු ජලපවහන නළයක් දිගේ ගොඩනැගිල්ලෙන් බිමට රූටා විත් යකඩ වැට ළඟ නැවතුණි. යකඩ වැටෙන් එළියට පැන සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ ජලතලය වෙත පියමංකළ ඔවුන් තමන් මෙතෙක් වේලා රැගෙනවිත් තිබූ වටිනාම භාණ්ඩය එළියට ගත්හ. එනම් තමන්ට සිරගෙදරදී ලබාදුන් වැහි කබා සහ මැලියම් ප්‍රයෝජනයට ගෙන රහසේ නිෂ්පාදනය කරන ලද ඩිංගි බෝට්ටුවයි. බෝට්ටුවේ කපාට වලට මුඛයෙන් පිඹ ඇති තරම් වායුව පුරවාගත් ඔවුහු තමන් ගෙනා ජීවිතාරක්ෂක කබාද පැළඳ ගත්හ. වේලාව රාත්‍රී 10 විය. බෝට්ටුවට නැගගත් ඔවුන් තිදෙනා හිරගෙදරදී අතින් සාදාගත් හබල්වල ආධාරයෙන් නිසොල්මනේ පිටත්වූහ. අල්කට්‍රාස් වෙරළේ සිට ඔවුන් පැනයන අන්දම කිසිවෙකු හෝ සැඟවී බලා සිටියානම් දැඩි අඳුර හා ඝන ශීතල මැදින් ඔවුන් නොපෙනී යන අන්දම ඔහුට පෙනීමට ඉඩ තිබුණි. ඔවුන්ගේ වාසානාවට බන්ධනාගාර සංකීර්ණයේ රැකවලුන් කිසිවෙකුත් එම මොහොතේ ඒ අසලකවත් නොවීය. 

ඔවුන් තිදෙනා සිරකුටියේ වා කවුළු කඩා පිටත්වී ස්වල්ප වේලාවකට පසුව ඇලන් වෙස්ට්ට ඔහුගේ වා කවුළුව බිඳ දැමීමට හැකිවිය. සැළසුම් කළ පරිදි ඔහු අනෙක් තිදෙනා ගිය මග ඔස්සේ යමින් වෙරළටද පැමිණ තිබේ. නමුත් අවාසනාවකට ඔහුට තම සගයින් කිසිවෙකු හෝ ඩිංගි බෝට්ටුව හෝ හමු නොවීය. පැනයා හැකි මගක් ද පේන තෙක් මානයක නොවීය. බලාපොරොත්තු සුන්වූ වෙස්ට් කිසිවක් සිදුනොවූවා සේ නැවත තම සිරකුටියට පැමිණ නිදාගත්තේය. මෙම තොරතුරු ඔහු බලධාරින්ට හෙළි කළේ සිද්ධිය අනාවරණය වූවාට පසුය.

ඔවුන් තිදෙනා නිරුපද්‍රිතව ජලාශයෙන් එගොඩ වුනේදැයි හෝ ජලයේ ගිලී මියගියේදැයි යන්නට පිළිගතහැකි කිසිම තොරතුරක් එම සිද්ධියට අවුරුදු 51 ක් ගතවීත් සොයාගෙන නැත. එයට හේතුව ජලයේ තිබී ඔවුන්ගේ මළ සිරුරුවල කිසිම කොටසක් හෝ ගොඩබිම කළ දැවැන්ත සෝදිසි කිරීම් වලින් ඔවුන් ජීවමානව සිටීදැයි යන්න හෝ මේ දක්වා සොයාගත නොහැකි වූ නිසාය.

පරීක්ෂණ ආරම්භවේ

පසුදා උදෑසන සිරකරුවන් තිදෙනා පලයාම අනාවරණය විය. මුලදී බලධාරින් සිතුවේ කිසිවෙකු විසින් ඔවුන්ගේ හිසගසා දමා ඇතැයි කියාය. ව්‍යාජ අනුරූ බව සොයාගැනීමෙන් පසු ඉතාමත් සැලසුම් සහගත පලායාමක් බව අවබෝධවීමට වැඩි වේලාවක් ගියේ නැත. 

මොරිස් හා ඇන්ග්ලින් සහෝදරයින් සිටි සිරමැදිරි ශාලාවේ සිද්ධිය වූ දින රාත්‍රී සිට පසුදින උදේ දක්වා රාජකාරී කටයුතුවල නියැලී සිටියේ බිල් ලෝං නම් නියාමක වරයාය. රාත්‍රියේදී ඔහුට කිසිම අමුත්තක් හෝ ශබ්දයක් ඇසී තිබුනේ නැත. “මට එදින වෙනදා වගේම සාමාන්‍ය දිනයක් වුණා” ඔහු පවසයි. දැන් වයස 85ක් වන ඔහු පෙනිසිල්වේනියාවේ ජීවත්වෙයි. නමුත් එදින රාත්‍රී යම් යම් අමුතු දේවල් සිදුවුණු බව තම සහායක නියාමකවරු පසුදින තමාට පැවසූ බව බිල් කියයි. ඉන් එකක් වන්නේ රාත්‍රීයේදී වහල දෙසින් විශාල ශබ්දයක් ඇසුණු බවයි. එය නිසැකයෙන්ම වා කවුළු පියන කොන්ක්‍රීට් පියස්ස මතට වැටුණු හඬ වියහැකි බව ඔහු පවසයි. තවත් නිලධාරියෙකු බිල්ට පවසා තිබුණේ ඉහල තට්ටුවක් මත යම් කිසිවෙක් ඇවිදින හඬ ඔහුට ඇසුණු බවය. නමුත් එම ශබ්දවලට කිසිම ප්‍රතිචාරයක් දැක්වුණේ නැත. පසුදින උදේ බිල් සිරකරුවන් ගණන් කිරීමේ අණ නිකුත් කළේය. එවිට සිරකරුවන් ඔවුන්ගේ කූඩු වලින් එළියට පැමිණ ප්‍රධාන කොරිඩෝවේ එකෙකු පස එකෙකු ලෙස සිටගත යුතුය. නම කියා ගණන් කිරීමේදී B1 බ්ලොක් එකේ කිසිවෙකු පැමිණ නොසිටි බව බිල්ට අවබෝධ විය. ඔහු වෙනත් නිලධාරියෙකු අදාල සිරමැදිරිය වෙත පිටත් කලේය. ඔහු බිල් අමතා කීවේ “බිල් මහත්මයා අන්න හාදයෙක් ඉන්නවා. තාම නිදි. නැගිටලා නැහැ.” කියාය. “හරි සාජන් මං ඒ මිනිහව නැගිට්ටවන්නම්” කියා බිල්ද ඒ දෙසට ගමන් කළේය. බිල් එදා සිදුවීම ආවර්ජනය කරන්නේ මෙසේය. “මං සිරමැදිරිය ළඟට ගොස් දණගසා පහත්වී යකඩ පොලු අතරට හිස තබා විපරම් කළා. මගේ වම් අත යකඩ පොලු අතරින් රිංගා සිරකරුගේ හිස තබා ඇති ඇ‍‍‍ඳ කොට්ටය සොලවා ‘නැගිටපං මිනිහො ගණන්කරන්න එන්න’ කියලා කිව්වා”. එකෙනෙහිම සිරකරුගේ හිස ඇඳ මත රෝල්වී බිමට වැටෙන අයුරු දුටුවා යැයි බිල් පවසයි. සිදුවී ඇති සියල්ල අවබෝධ කරගත් බිල් හැකි ඉක්මනින් දුරකථනයක් වෙත ගොස් අනෙක් අයටද සිදුවීම පවසා අනතුරු සංඥා නලාව (එලාම්) නාද කළේය.



සිරමැදිරියෙන් පිටුපස ඇති සේවා කෝරිඩෝවට ඇතුළුවූ
රහස් පරීක්ෂකයෙක් කැඩුණු වා කවුළුව පරීක්ෂා කරයි


කොන්ක්‍රීට් වහලය මත ඇති ප්‍රධාන වා කවුළු විවරය. මිනිසෙකුට 
රිංගා යා හැකි පරිදි යකඩ පටි නවා ඇති අන්දම මෙහි දැක්වේ.
ඊට ඉහළින් ඇත්තේ මහ හඬ නංවමින් පෙරලී ගිය එහි පියනයි.


අවුරුදු 86ක් ආයු වි බිල් ලෝං පසුගියදා එනම් 2010 මාර්තු 17 දා 
ජීවිතයෙන් සමුගත්තේය.

සිදුවීම වන අවස්ථාවේ ප්‍රධාන බන්ධනාගාර පාලකවරයාගේ දියණිය වන ජොලෙන් බේබික්ගේ වයස අවුරුදු 15 කි. ඇය නිල නිවසේ ඇඳ මත නිදා සිටියාය. “ නලා හඬ ඇසුණු ගමන් මට ඇහැරුණා. මට අද වගේ එම සිදුවීම හොඳට මතකයි. ඔවුන් මගේ පියාගේ නම කියා කෑ ගැසුවා. පියා වහාම බන්ධනාගාරයේ ආරක්ෂාව තරකලා.” ඇය කියයි.



ජොලෙන් බේබික් එදා සහ අද

පොලීසිය පැමිණ අල්කට්‍රාස් දූවේ හා එයට ආසන්නම දූපත වන ඒන්ජල් දූපත පීරා සිරකරුවන් සෙවීම ආරම්භ කළත් කිසිම හෝඩුවාවක් හමු නොවීය. අමෙරිකානු අපරාධ පරීක්ෂණ පිළිබඳ ෆෙඩරල් කාර්යාංශයද Federal Bureau of Investigation (FBI) පරීක්ෂණ වලට එකතු විය.

රැඳවියන් පළාගියායැයි සැලකෙන බෝට්ටුවේ සුන්බුන්, හබල් හා ගමන් මල්ලක් ඒන්ජල් දූපතේ වෙරළේ තිබී සොයාගන්නා ලදී. FBI ආයතනය සඳහන් කරන පරිදි සාගර දියවැල් ගමන් කරන දිසාව අනුව හා ජලයේ උෂ්ණත්වය අනුව රැඳවියන් තිදෙනා ඒන්ජල් දූපතට ළඟාවීම තර්කානුකූලව විය හැක්කක් බවයි. එම ආයතනය තව දුරටත් සඳහන් කරන්නේ ඒන්ජල් දූපතට ළඟාවීමෙන් පසු කාගෙන් හෝ ඇඳුම් පැළඳුම් සොරකම් කරගෙන ඉන්පසු මෝටර් රථයකුත් සොරකම් කරගෙන එතැනින් පළායන්නට ඇති බවයි. නමුත් එම දිවයිනේ කෙරුණු පරීක්ෂණ වලින් ඇඳුම් සොරකමක් හෝ වාහන සොරකමක් පිළිබඳව කිසිම පැමිණිල්ලක් පොලීසිය වෙත ලැබී තිබුණේ නැත.

අවුරුදු 17ක පරීක්ෂණ වලින් පසු 1979 දෙසැම්බර් 31 දින FBI ආයතනය විසින් රැඳවියන් සෙවීමේ කටයුතු හා පරීක්ෂණ සම්පූර්ණයෙන් නවතා දමනු ලැබීය. එසේ කිරීමට ඔවුන් පෙළඹුණේ රැඳවියන් ප්‍රධාන භූමියට ළඟාවීමේදී ඔවුන් අධික ශීතල ජලයේ ගිලී මරණයට පත්වීයැයි සාක්ෂි නැති නිගමනයකට ඔවුන්ම එළඹීම නිසාය. 

පරීක්ෂණ නැවත ආරම්භවේ.

2009 සැප්තැම්බරයේදී පමණ මෙම පරීක්ෂණය අමෙරිකානු යුධ සේවා අධිකාරිය විසින් නැවතත් ආරම්භ කරන ලදී. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වන මයිකල් ඩයික් මෙසේ පවසයි. “ඔවුන් ඇල්ලීම සඳහා නිකුත් කරන ලද වරෙන්තුව තාමත් විවෘතයි. ඒ මිනිස්සුන්ව අල්ලන එක අපි අත්හැරල නැහැ. මොකද සමහරු කියනවා ඔවුන් වතුරෙ ගිලුනා. ඒ නිසා හොයලා වැඩක් නැහැ කියල. නමුත් එසේ වුනා කියල කිසිම සාක්කියක් නැහැ”  



මයිකල් ඩයික් 

2003දී ඩිස්කවරි නාළිකාවේ අල්කට්‍රාස් පැනයාම පිළිබඳවූ වාර්තා වැඩසටහනේදී අල්කට්‍රාස් දූපත, ඒන්ජල් දූපත, බෝට්ටුව හා ජලය යනාදියේ කුඩා අකෘතියන් තනා සම්පූර්ණ ක්‍රියාවලිය විද්‍යානුකූලව අත්හදා බලන ලදී. එහිදී රැඳවියන් ඒන්ජල් දූපතට ළඟාවීම විය හැක්කක් බව ඔප්පු විය. 2011දී නැෂනල් ජියොග්‍රැෆික් නාළිකාවේ විකාශය වූ මේ පිළිබඳ වැඩසටහනේදී රහස් පරීක්ෂකවරුන්ට ඒන්ජල් දූපතේ වෙරළේ බෝට්ටුවේ සුන්බුන් හමුවූ ස්ථානයේ සිට ගොඩබිම වෙත මිනිස් පාසටහන් වගයක් හමුවුණේ යැයි දක්වා තිබුණි. එසේම සිද්ධියවූ රාත්‍රියේ FBI වාර්තාවට පටහැණි ලෙස නිල් පැහැති චැවලට් වර්ගයේ මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තාවී තිබූ බවද එම වැඩසටහනින් විකාශය විය.

සිද්ධිය ජනතාව අතර ජනප්‍රිය වීමට තුඩුදුන් මාධ්‍යයන්

සිද්ධියවී වසරකට පසු එනම් 1963 ජේ.කැම්බල් බෲස් සිද්ධිය අළලා Escape from Alcatraz නමින් ග්‍රන්ථයක් සම්පාදනය කළේය. 1979දී Escape from Alcatraz චිත්‍රපටය නිෂ්පාදනය වුනි. එහි ෆ්රෑන්ක් මොරිස් ගේ චරිතය ප්‍රකට නළු ක්ලින්ට් ඊස්ට්වුඩ් රඟපෑ අතර නළු ෆ්‍රෙඩ් වෝඩ්, ජෝන් ඇන්ග්ලින්ගේ චරිතයට හා නළු ජැක් තිබී ක්ලැරන්ස් ඇන්ග්ලින්ගේ චරිතයට පන දුන්හ. ඇලන් වෙස්ට්ගේ චරිතය රඟපෑවේ ලැරී හැන්කින් නම් නළුවාය. චිත්‍රපටයෙන් ප්‍රබල ලෙස කියාපෑවේ රැඳවියන් සාර්ථක ලෙස පළාගිය බවය. 


Escape from Alcatraz චිත්‍රපටයේ අඩංගු වීඩියෝ 
කැසට් කවරයක්

අවුරුදු 50කට පසුවත් අල්කට්‍රාස් පැනයාම පිළිබඳ අබිරහස නොවිස‍‍‍දේ
අල්කට්‍රාස් පැනයාම පිළිබඳ 50 වසර සැමරුම

අවුරුදු 50කට පෙර අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ ජලය මත වැහිකබා වලින් තැනූ බෝට්ටුවකින් මිනිසුන් තිදෙනෙක් ගමන් කරමින් සිටියහ. ඒ අමෙරිකානු ඉතිහාසයේ නීර්භිතම පළායාම සනිටුහන් කරමින් පැනයා නොහැකි සිරගෙය ලෙස විරුදාවලිය ලබා තිබූ අල්කට්‍රාස් සිරගෙදරින් මිනිසුන් තිදෙනෙකු පැනගිය අන්දමයි.

සිරමැදිරියේ මුළුතැන්ගෙයින් සොරාගන්නා ලද හැඳි ආදියෙන් සකස් කරගන්නා ලද ආයුධ උපයෝගී කරගෙන සිරමැදිරිය බිඳ නිදහසේ අරුනළු සොයාගිය මේ අරුම පුදුම මිනිසුන් තිදෙනා පිළිබද සාක්ෂි නොමැති නිසා ඔවුන් මියගොස් ජලාශ පතුලේ රැඳී ඇතැයි හෝ ඈත මුහුදට ගසාගෙන ගොස් ඇතැයි හෝ ඇතැම් දෙනා විශ්වාස කළහ. ෆ්රෑන්ක් මොරිස්, ජෝන් හා ක්ලැරන්ස් ඇන්ග්ලින් තිදෙනා ඉතිහාසයට එක්කළ මේ සිදුවීමට 2012 වසරට අවුරුදු 50ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් සංවිධානය කර තිබුණි. මෙම උත්සවයට සිද්ධියට සම්බන්ධ රැඳවියන්ගේ පවුල්වල උදවියද සහභාගි වූහ. මෙම උත්සවය අල්කට්‍රාස් සිරගෙදර තුළම පැවැත්වීම විශේෂත්වයකි.(දැන් අල්කට්‍රාස් සිරගෙදරක් නොව සංචාරක පුරයකි)

ජෝන් හා ක්ලැරන්ස් ඇන්ග්ලින්ගේ බාලම නැගණිය වන මේරි විඩ්නර් ද මෙම උත්සවයට සහභාගි වූවාය. ඇගේ අදහස් මෙසේය. “ මං කවදාවත් විශ්වාස කරන්නෑ ඔවුන් මැරුණ කියල.” ඇයට තම අයියලා හිරෙන් පැනගිය ආරංචිය ලැබෙන විට ඇගේ වයස අවුරුදු 20ක් විය. “ මං එදා රේඩියෝවට සවන් දිදී ඉන්න විට තමයි මේ ප්‍රවෘත්තිය ප්‍රචාරය වුණේ. ඒක අහපු හැටියෙ මං සතුටින් අසල්වැසි නිවසට දුවල ගිහින් ‘ඔයාල රේඩියෝ එකෙන් ඇහුවෙ නැද්ද අන්න මගේ අයියල අල්කට්‍රාස් එකෙන් පැනල’ කියල මං කෑගහල කිව්වා”


මේරි ඇන්ග්ලින් විඩ්නර් අද


ඇන්ග්ලින් සහෝදරයින්ගේ නැගණියන් දෙදෙනා 
අල්කට්‍රාස් සමරු උත්සවයට පැමිණි මොහොතේ මාධ්‍ය
සාකච්ඡාවකට සහභාගිවෙමින් 

“බලධාරින් කලින් කියල තිබුණා අයියල දෙන්නව කවදාවත් එකට තියන්නෙ නෑ කියල. මොකද එකට තිබ්බොත් ඔවුන් දෙදෙනා කලින් හිරගෙවල්වල සිදුකළාක් මෙන් යළි පැනයාමට කුමන්ත්‍රණය කරයි කියලා. නමුත් අල්කට්‍රාස්වලට ගෙනාවට පස්සේ අයියලව එකට තිබ්බා. හේතුව මේ සිරගෙදරින් ඕනෑම කෙනෙක් පැනයාම සිහිනයක් බව බලධාරින් සිතා සිටියා.” යැයි විඩ්නර් සඳහන් කළාය.

රැඳවියන් තිදෙනා තම කාර්යය සාර්ථක ලෙස නිමකළ බවට පිළිගත හැකි සාක්ෂි හමු නොවීය. සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ එදින රාත්‍රියේ තිබූ ප්‍රබල දියවැල් හා රළු ස්වභාවය නිසා ඔවුන්ව පැයක් ඇතුලත පැසිෆික් සාගරය දෙසට ගසාගෙන ගොස් මුහුදු පතුලේ සැඟවී යන්නට ඇතැයි අනුමාන කිරීමට පුළුවන. ඒ අසල පිහිටි ගෝල්ඩන් ගේට් මහා පාලමට සැතපුම් කීපයක් ඈතින් ගමන්ගත් නෝර්වේජියානු නැවක සිටි පිරිසක් විසින් මුහුදේ පාවෙමින් තිබූ නිල් පැහැති කබායක් සහිත මළ සිරුරක් තමන් දුටු බවට වාර්තා කර තිබුණි. ඔවුන්ද ඒ බව වාර්තා කළේ සති හයකට පසුවය. ඒ හැරෙන්නට ඔවුන් මියගිය බවට කිසිදු සාක්ෂියක් හමු නොවුණි.

සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ කෙළවරක පිහිටි තැබෑරුමක ඩාවින් කූන් නම් පුදගලයෙක් සේවය කරයි. එතැනට එන කාටත් වඩා ඔහු දැන් වයසය. කවුරුත් ඔහුව හොඳින් හඳුනති. ඔහු අල්කට්‍රාස් සිරගෙදර සිටි රැඳවියෙකි. උපරිම ආරක්ෂාවක් සපයා තිබූ සිරගෙදරින් 1962දී මිනිසුන් තිදෙනෙකු පලායන අවස්ථාවේ එහි සිටි රැඳවියන් අතරින් තවමත් ජීවත් වන්නේ අතලොස්සක් පමණි. කූන්ද එවැන්නෙකි.

කූන් අතීතය මෙනෙහි කරයි. සිරමැදිරියෙන් එළියේ සිටි තමාව එක් නිලධාරියෙකු විසින් ඇදගෙන අවුත් මැදිරිය තුලට තල්ලු කල පසු සියළුම ආරක්ෂක නිලධාරින් “උන් පැනල ගිහින්, උන් පැනල ගිහින්, උන් පැනල ගිහින්” යැයි කෑ ගැසූ බව කූන් සිහි කරයි. කූන් සිද්ධිය අසා පුදුම නොවූ බව පවසයි. හේතුව තමා මුළුතැන්ගෙයි සේවය කළ නිසා මාස 6ක් තිස්සේ තමා ඉස්කුරුප්පු නියන්, කතුරු හා පීරි ජෝන් ඇන්ග්ලින්ට ලබාදී ඔහුට උදව් කළ බව කීය. සිරමැදිරියේ ඇති යම් භාණ්ඩ ජෝන් ඇන්ග්ලින් කඩාදැමූ පසු ඒවා අලුත්වැඩියා කිරීමට පැමිණෙන කූන්ගේ මිතුරෙකු ලවා උවමනාවෙන්ම යම් ආයුධ අමතකව සිරමැදිරිය තුල දමා යයි. ඒ ඔවුන්ගේ සැලැස්මයි. “ජෝන් මට සිටි හොඳම මිතුරෙක්. සහෝදරයින් දෙන්නම ප්‍රියමනාප පුද්ගලයින්” කූන් පවසයි. නමුත් කූන්ට තම හොඳම මිතුරන් දෙදෙනා යළි කිසි දිනක දැක ගැනීමට ලැබුණේ නැත. එනමුත් කූන් දැඩිව විශ්වාස කරන්නේ ඔවුන් ජීවිත රැකගෙන සාර්ථකව පැනගත් බවයි.

මයිකල් ඩයික්ගේ පරීක්ෂණ

යුධ සේවා අධිකාරි මයිකල් ඩයික් අර්ධ ශතකයක් ගතවීත් ඔවුන් ගැන සොයමින් සිටින පුද්ගලයෙකි. ඔහුට එය විනෝදාංශයකි. ඔහුට වෙනත් කාර්යයක් නොමැති අවස්ථාවල මේ පිළිබඳව උනන්දු වන්නේය.

පැනගිය තිදෙනා සෙවීමේ මහා මෙහෙයුමේදී බලධාරින්ට මුහදේ තිබී ජීවිතාරක්ෂක කබා කීපයක් හමුවිය. එකක් බොක්කේ තිබියදීද තව එකක් මුහුදේ තිබියදීද අනෙක සිරමැදිරි සංකීර්ණයේ කොන්ක්‍රීට් වහලයේ තිබියදීය. FBI ආයතනය ඒවා සියල්ලම පරීක්ෂා කර නිගමනය කළේ ජලයේ සෑහෙන වේලාවක් ඒවා තිබූ බවය. ඒ මගින් ඒන්ජල් දූපතට පැමිණීමට ඇති තරම් කාලයක් ඔවුන්ට තිබූ බව නිගමනය කළේය. 


මයිකල් ඩයික්ද විවිධ පර්යේෂණ කළේය. ඔහු වෙරළාරක්ෂක බලකායට රැඳවියන් පලාගිය ආකාරයට සමානව ආදර්ශ බෝට්ටු ගමනක් සංවිධානය කිරීමට නියෝග කළේය. මෙයින් ඔප්පු වූයේ කිසියම් ලෙසකින් බෝට්ටුව පෙරලී ගියහොත් එහි ගමන්ගත්තවුන් ශීතල ජලයේ අවම වශයෙන් පැය දෙකහමාරක්වත් ජීවත්විය හැකි බවයි. ඒන්ජල් දූපත් වෙරළේදී හබලක් සොයාගත් බව ඩයික් පවසයි. තහවුරු නොකළ වාර්තාවකින් දැක්වුණේ ඒන්ජල් දූපතේ ගොඩබිම මතත් හබලක් සොයාගත් බවයි.

දීප ව්‍යාප්ත මෙහෙයුමක් සිදුවන විටකදි වුවත් ඔවුන් මෝටර් රථයක් පැහැරගත්තේ නම් දිවයිනේ බෝහෝ අතට මාර්ග තිබූ නිසා කිසිදා දකින්නට බැරි විදියට සැඟවෙන්නට ඔවුන්ට අවකාශ තිබූ බව ඩයික් පවසයි. සමහරවිට ඔවුන් මෙතැනින් වෙනත් රටකට පැනගියා නොවේදැයිද ඩයික් තර්ක කරයි.

බන්ධනාගාර කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂකවරයා ඒකාලයේ මාධ්‍යයට වාර්තා කොට තිබුණේ එදින රාත්‍රියේ සුළං හා දියවැල්වල ප්‍රචණ්ඩතාව අනුව පුහුණු පිහිණුම් ශුරයෙකුට හැරෙන්නට වෙනත් අයෙකුට පිහිනා ගොස් එතෙරවීමට නුපුළුවන් වන බවය. ඒ ප්‍රකාශය සත්‍යය නොවන බව පසුව වැටහුණි. අල්කට්‍රාස් සිට සැන් ෆ්‍රැන්සිස්කෝ වෙරල දක්වා පිහිනා යන “අල්කට්‍රාස් අභියෝග ශූරතාව” ලෙස හැඳින්වූ පිහිනුම් තරගයකට සහභාගීවූ වයස අවුරුදු 14 ක ලාබාල තරුණයෙකු එය සාර්ථක ලෙස අවසන් කිරීම නිසා ඉහත ප්‍රකාශය බිඳ වැටුණි.



අල්කට්‍රාස් පිහිනුම් තරගයක අවස්ථාවක්
ඈතින් පෙනෙන්නේ ගෝල්ඩන් ගේට් මහා පාලමයි

මයිකල් ඩයික්ට මෑතකදී ක්ලැරන්ස් ඇන්ග්ලින්ගේ ඇඟිලි සළකුණු වලට සමාන ඇඟිලි සළකුණු සහිත පුද්ගලයෙකුද හමුවී තිබුණි. ඒ හැරෙන්නට සිද්ධියවූ දින අල්කට්‍රාස් වෙත බෝට්ටුවක් යවන ලද තැබෑරුමක් හිමි පුද්ගලයෙකු පසුපසද හේ හඹා ගියේය. තවද ඇන්ග්ලින්ලා වාසය කළ ජෝර්ජියා ප්‍රාන්තයේ පුද්ගලයින් රාශියකගෙන්ද ඔහු ප්‍රශ්න කළේය. ඇතැම් ඇන්ග්ලින් පවුලේ සාමාජිකයින් ප්‍රකාශ කළේ ඇන්ග්ලින්ලා ස්ථිර වශයෙන්ම ජීවත්වන බවත් විටක ඔවුන්ව දැක ඇති බවත්ය.

නමුත් කාලය ගෙවී ගියත් කිසිවක් සිදුවූයේ නැත. අඩසියවසක් ගෙවී ගියත් කටකතා හැර මොරිස් හෝ ඇන්ග්ලින් සහෝදරයින් ගොඩබිම දෙපයින් සිටගත් බවට අංශුමාත්‍රයක පිළිගත හැකි එක් සාක්ෂියක් හෝ නොමැතිවීම අවාසනාවකි. 

රැඳවියන්ගේ උත්සාහය අසාර්ථක බවට කරුණු ඉදිරිපත් කරන අය වඩාත් තාර්කික අදහසක් ගෙනඑයි. මෙම අපරාධකරුවන්ට සැපයුම් මාර්ග හෝ මුදල් නොමැතිව මාසයක්වත් වෙනත් අපරාධයක් සිදු නොකර ජීවත්වීමට හැකිද? සුළු අපරාධයක් හෝ නොකර අවුරුදු 50ක් තිස්සේ ඔවුන්ට සැඟවී සිටිය හැකිද?

මොරිස් හා ඇන්ග්ලින් සහෝදරයින් තම සැලැස්ම ක්‍රියාවට නැගීමෙන් පසු වසරේ වඩාත්ම අවදානම් කාලයක, දිනයේ වඩාත්ම අවදානම් වෙලාව වන කිසිවක් නොපෙනෙන රාත්‍රියේදී හා ඒන්ජල් දිවයින සොයා වඩාත්ම අවදානම් දිශාවකට කුඩා පහුරකින් එගොඩවීම කෙසේ කළා දැයි සිතාගැනීමටත් නොහැකිය. එම නිසා ඔවුන් බොහෝ දුරට පැයක් ඇතුලත පැසිෆික් සාගරය වෙත තල්ලුවී ගියේ යැයි අනුමාන කළ හැකිය. ඔවුන් අනපේක්ෂිත ආකාරයෙන් මුහුදු පතුලට ගිලීගියේ යැයි හෝ ඔවුන්ගේ සිරුරු මෝරුන් විසින් කා දැමීම නිසා කිසිම සලකුණක්වත් ඉතිරි නොවීයැයි අද බොහෝ දෙනා පිළිගන්නා මතයයි.

අල්කට්‍රාස්  දිවයින අමෙරිකාවේ කුමන පළාතක
පිහිටියේ දැයි සොයාගත හැකි අනුක්‍රමික සිතියම්
හතරක් පහත දැක්වේ 






නමුත් ඔවුන් තවමත් ජීවත්වන බව ඇතැම් දෙනෙක් විශ්වාස කරයි. කෙසේවෙතත් ෆ්රෑන්ක් මොරිස් අද ජීවත්ව සිටියේ නම් (2013 වනවිට) ඔහුට දැන් වයස අවුරුදු 84ක් විය යුතුය. ජෝන් ඇන්ග්ලින්ට අවුරුදු 80 ක් හා ඔහුගේ සහෝදරයා වන ක්ලැරන්ස්ට අවුරුදු 79ක් විය යුතුය. ඇතැම් දෙනා ප්‍රකාශ කරන්නේ ඔවුන් සත්‍ය ලෙසම සැඟවී සිටියේ නම් දැන් ඔවුන්ගේ වයස ගැන සැලකූවිට ඔවුන්ගෙන් කීප දෙනෙක් ස්වභාවික මරණයකින් හෝ දැනටමත් ජීවිතයෙන් සමුගෙන ඇති බවයි.



ඔවුන් අද ජීවත්ව සිටින්නේ නම් ඔවුන්ගේ රුව මෙසේ
විය හැකි යැයි පරිගනකයෙන් කළ සිතුවම්

මෙම කතා පුවත මැවූ අල්කට්‍රාස් සිරගෙදර දැන් මහජනයා සදහා විවෘත සංචාරක පුරයකි. 1963 දී සිරගෙදර වසා දැමුවත් බලධාරින් සංචාරකයන්ට බලාගැනීම සදහා බන්ධනාගාර සංකීර්ණය නවීකරණය නොකොට ඒ ආකාරයටම තබාගත්හ. 1962 සිද්ධියට සම්බන්ධ සිරමැදිරි හා උපකරණ ඒ ආකාරයෙන්ම දැක බලාගැනීමට දැන් දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සලසා ඇත.


දැන් එම සිරමැදිරි දැකබලා ගැනීමට
සංචාරකයන් දහස් ගණනක් පැමිණෙති


මාධ්‍ය වේදින්ද නිතර මෙම සිරමැදිරි රූපගත කිරීමට පැමිණෙති.


අල්කට්‍රාස් නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට අපූරු
ඔවදනක් සහිත විශාල ඡායාරූපයක් දැකබල ගත හැක.
ඔබ සමාජ නීති කැඩුවොත් ඔබට හිරගෙදරට යා හැක.
ඔබ හිරගෙදර නීති නැඩුවොත් ඔබට අල්කට්‍රාස් යා හැක

අවුරුදු 50ක් ම ඔවුන් ගැන බොහෝදෙනා කතා කළහ. සොයා බැලූහ. තර්ක විතර්ක ගෙන ආහ. නමුත් ඇත්තටම ඔවුන්ට වූ දෙය කුමක්දැයි මේවන තුරු පැහැදිලි නිගමනයකට ඒමට නොහැකිවිය. ඔවුන්ට ඇළුම්කළ අයගේ සිත්තුල ඔවුන්ගේ නාමයන් තවදුරටත් රැදී පවතිනු ඇත. අල්කට්‍රාස් උද්‍යානය පවතින තාක්කල් මිනිස්සුන්ට ඔවුන්ව අමතක නොවනු ඇත. තවත් අවුරුදු 50ක් ගතවූ පසුත් මිනිස්සු ඔවුන් ගැන කතාකරාවි.

අල්කට්‍රාස් චිත්‍රපටය නොමිලේ ඔන් ලයින් නැරඹීමට මෙන්න පුරුකක්.
ඩවුන්ලෝඩ් මැනේජර් වලින් මෙය බාගැනීමටද පුළුවන.
(විකීපීඩියා ඇසුරින් පරිවර්තනය කර මාගේ සංකල්පනාද මිශ්‍රකොට මෙම ලිපිය සකස් කළෙමි.)

No comments:

Post a Comment

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...