Thursday, January 9, 2014

ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව පිලිබඳ අද සිහිවටන - Schindler's List

මෑත අතීතයේ සිදුවූ සත්‍ය සිදුවීම් - 07
World major events in recent history in Sinhala language. Most of them were based for Hollywood movies.
බොහෝවිට සිනමාවට නැගී ඇති ලෝකයේ මෑත අතීතයේ සිදුවී ඇති ත්‍රාසජනක සත්‍ය කථා...සිංහලෙන්...



අදින් වසර 11කට පෙර, එනම් 1993දී හොලිවුඩ් සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිපදවූ ෂින්ඩ්ලර්ස් ලිස්ට් (Schindler's List) චිත්‍රපටය සිනමා ලෝකයේ පෙරළියක් කළ නිර්මාණයකි. අමෙරිකානු ඇකඩමි සම්මාන 7කින් පිදුම් ලැබූ එම විශිෂ්ඨ සිනමා පටයට පාදකවූ 1945 සිදුවූ එම සත්‍ය කතාව නැවත ඔබට කීමට වෙහෙස නොවෙමි. එනමුත් එම කතාවට සම්බන්ධ ඔබ නොදන්නා කරුණු, ඇස නොගැටුණු ඡායාරූප සහ අද ඉතිරිව ඇති එහි සජීවි සිහිවටන කීපයක් ඉදිරිපත් කරමි.


චිත්‍රපටය පිළිබඳ කෙටි සඳහනක්

දෙවන ලෝක සංග්‍රාමය පිළිබඳ මෙතෙක් නිපදවා ඇති බොහෝ චිත්‍රපට නිපදවා ඇත්තේ යුද්ධයට පසු දශකවල එනම් 1950 සිට 1960 අතර කාල සීමාවලය. එමනිසා ඒවා එකල තාක්ෂණය වූ කළු සුදු තාක්ෂණයෙන් නිපදවිණි. යුධ චිත්‍රපට බොහොමයක් කළු සුදු වී ඇත්තේ එම නිසාය. වර්ණ චිත්‍රපට නිපදවන අද යුගයේ ස්පිල්බර්ග් විසින් කළු සුදු චිත්‍රපටයක් ලෙස (Schindler's List) නිපදවා ඇත්තේ එයට පැරණි බවක් වගේම තාත්වික බවක් ලබාදීම සඳහාය.

චිත්‍රපටයේ වැය - ඩොලර් දෙකෝටි විසිලක්ෂයක් ($22,000,000) (රුපියල් කෝටි දෙසිය විස්සක් පමණ)
චිත්‍රපටයේ මුළු ලාභය පමණක් - (අමෙරිකාවෙන් සහ විදේශවලින් ලැබූ) – ඩොලර් තිස්දෙකෝටි දහතුන්ලක්ෂ හයදාස් තුන්සිය පහක් ($321,306,305) (රුපියල් තුන්දාස් දෙසිය දහතුන් කෝටි හයලක්ෂ තිස්දාස් පන්සීයක් පමණ)

චිත්‍රපටයේ හෙවත් සත්‍ය කතාවේ අන්තර්ගතය කෙටියෙන්

මෙය සත්‍ය කතාවකි.1945 දෙවන ලෝක යුධ සමයේ මුළු ලොවම යටත් කරගැනීමේ මුග්ධ ආශාවෙන් පෙළුණු නාසි ජර්මනිය විසින් (1939දී) ආක්‍රමණය කළ මුල්ම රට පෝලන්තයයි. ජර්මනියේ අනෙක් අභිප්‍රාය වූයේ මුළු යුරෝපයෙන්ම යුදෙව් ජාතිය අතුගා දැමීමයි. ඔවුන් විසින් යටත් කරගත් රටවල විශාල වශයෙන් යුදෙව් ජාතීන් ජීවත් වූහ. ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කිරීමේදී එහි ජනාවාසව සිටි යුදෙව්වන් විශාල සිර කවුරු වලට ගාල් කරන ලදී. ඔවුන්ගෙන් බරපතල ලෙස වැඩ ගෙන වධ හිංසා කොට අවසානයේ ගෑස් කාමරවල සිරකොට දමා මරාදැමීම ජර්මාන් නාසිවාදීන්ගේ අවසාන අරමුණ විය. ආක්‍රමණ අවස්ථාවේ ජර්මන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙක් ද සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සහා ජර්මානුන් සමග පෝලන්තයට ගියේය. ඔහු නමින් ඔස්කාර් ෂින්ඩ්ලර්ය. ඔහුගේ එක් ව්‍යාපාරයක් එරට ඇරඹීය. ඒ බෙලෙක් භාණ්ඩ නිපදවන විශාල කම්හලකි. මෙහි සේවයට ගත්තේ ඒ වනවිටත් සිරකරුවන් බවට පත්ව සිටි යුදෙව් ජාතික කම්කරුවන්ය. යුදෙව් ජාතිකයින් යුද්ධයේදී මරාදමනු සියැසින් දුටු ඔස්කාර් ෂින්ඩ්ලර් සන්ත්‍රායට පත්වූ අතර ඔහු සිතේ  යුදෙව්වන් කෙරෙහි දයානුකම්පාවක් හටගැණින. අනෙක් සිරකවුරුවල සිටි යුදෙව්වන්ව මරාදැමීම සහා ඝාතකාගාර වලට ගෙනගියත් ෂින්ඩ්ලර්ගේ කම්හලේ යුදෙව් සේවක පිරිසට එසේ නොවූයේ කම්හලේ සේවය කළ නිසාය. පසුව යුද්ධයට අවශ්‍ය නොවන කම්හල් වසාදැමීමට ජර්මන් බලධාරීන් තීරණය කළෙන් ෂින්ඩ්ලර්ද තම කම්හල වැසීයාම වැළැක්වීමට  වහාම තම කම්හලේ නිෂ්පාදන භාණ්ඩය වෙනස් කළේය. එනම් ඉන්පසු කම්හලේ නිෂ්පාදනය කළේ යුද්ධයට අවශ්‍ය අවි ආයුධ  ය. ඒ තම සේවකයන් බේරා ගැනීම සහාය. එසේ නොවන්නට කම්හල වැසී සේවක පිරිසගේ ජීවිතද අනතුරේ වැටීමට ඉඩ තිබුණි.නමුත් ටික කලකදී ජර්මන් සොල්දාදුවන් විසින් මෙම යුදෙව් පිරිසද ඝාතකාගාර වෙත ගෙනයාමට සැලසුම් කරන ලදී. ෂින්ඩ්ලර් තම සේවකයින්ව මරණයෙන් ගලවාගැනීමට මහා මෙහෙයුමක් දියත් කළේය. ඒ සඳහා ජර්මන් හමුදාවේ ඉහළ නිලධාරින් සමග ඔහු පැවැත්වූ කිට්ටු ඇසුර ද හේ අවියක් කර ගත්තේය. ජර්මන් හමුදාවේ ඉහළ නිලධාරින්ට අල්ලස් පවා ලබා දුන්නේය. මේ නිසා තමා සතු විශාල මුදල් සම්භාරයද සේවකයින් බේරාගැනීමේ මෙහෙයුමට යෙදවීය. කම්හලේ සේවය කළ පිරිසගේ නම් ඔහු ලේඛනයකට ඇතුලත් කොට ජර්මන් බලධාරින්ට යැව්වේය. Schindler's List හෙවත් ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව ලෙස පසුකාලයේ ප්‍රකට වූයේ මෙම ලැයිස්තුවයි. ඔහුගේ වෑයම සඵල කරමින් ඝාතකාගාරයට ගෙනගිය ඔහුගේ සේවක පිරිස යළි කම්හල වෙත රැගෙන ඒමට සමත් විය. යුද්ධය අවසන්වන තෙක් (ජර්මනිය මිත්‍ර හමුදාවට යටත් වන තෙක්) සේවක පිරිස කම්හල තුළ රඳවා ගැනීමට ෂින්ඩ්ලර් සමත් විය. මේ ආකාරයට ඔහු විසින් බේරාගත් යුදෙව්වන්ගේ ප්‍රමාණය 1200ක් පමණ විය. චිත්‍රපටයට පාදක වූ කතා වස්තුව එයයි.

සැබෑ ඔස්කාර් ෂින්ඩ්ලර්



ඔස්කාර් ෂින්ඩ්ලර්ගේ චරිතයට පනදුන් නළු ලියම් නීසන්




ලියම් නීසන් අද

Schindler's List  චිත්‍රපටයේ දර්ශනයක්. ලියම් නීසන් (ෂින්ඩ්ලර්) හා බෙන් කිංග්ස්ලි (ඉට්ෂැක් ස්ටර්න්) ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව පිළියෙළ කරමින්

ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුවේ මුල් පිටපතේ මුල් පිටුව

යුද්ධයෙන් පසු
මිත්‍ර හමුදා විසින් යුධ අපරාධ කළ නාසි ජර්මන් නායකයින්ව එල්ලා මරන ලදී. නාසි ජර්මන් කරුවෙක් වූ ෂින්ඩ්ලර්ට යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට නොහැකිවූයේ ඔහු විසින් යුදෙව්වන් 1200ක් බේරාගන්නා ලද බව හෙළිවීම නිසාය. යුදෙව්වන්ගේ දේශය වන ඊශ්‍රායලය විසින් දැන් ඔහු ජාතික වීරයෙක් ලෙස පිළිගනු ලබයි. මුළු මහත් යුද්ධයෙන් නාසින් විසින් යුදෙව්වන් හැට ලක්ෂයක් මරා දමනු ලැබුවත් යුදෙව්වන් ආදරය කරන එකම නාසිවාදියා ෂින්ඩ්ලර් පමණි. ෂින්ඩ්ලර්ගේ ඉල්ලීමක් මත ඔහුගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇත්තේ ඊශ්‍රායලයේ ජෙරුසලමේය. වසරක් පාසා ඔහුගේ සොහොන් කොතට බුහුමන් දක්වන්නේ ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුවේ සිට එකල දිවි බේරාගත් අදටත් ජීවත්වන කීපදෙනා සහ ඔවුන්ගේ දරු මුණුබුරන්ය. මෙම පිරිස “ෂින්ඩ්ලර්ගේ යුදෙව්වෝ” ලෙස හැඳින්වේ. ෂින්ඩ්ලර්ස් ලිස්ට් චිත්‍රපටය ඔබ නැරඹුවේ නම් එහි අවසානයේ දැක්වෙන ෂින්ඩ්ලර්ගේ සොහොන් කොතට අවසන් ගෞරව දක්වන්නේද “ෂින්ඩ්ලර් යුදෙව්වවන්” පිරිසකි.

ෂින්ඩ්ලර් සමග සිටින්නේ “ෂින්ඩ්ලර් යුදෙව්වන්” පිරිසකි.

අදවන විට ෂින්ඩ්ලර් යුදෙව්වන්ගෙන් පැවත එන්නන් 6000කට වඩා වාසය කරන්නේ අමෙරිකාවේ, යුරෝපයේ හා වැඩිහරියක් ඊශ්‍රායලයේය. දෙවන ලෝක යුද්ධයට පෙර පෝලන්තයේ යුදෙව්වන් ලක්ෂ 35ක් සිටි අතර අදවන විට එහි වසන්නේ යුදෙව්වන් 3000 සිට 4000ක් දක්වා අඩු සංඛ්‍යාවකි.

යුද්ධයෙන් පසු ෂින්ඩ්ලර්ට මොකද වුණේ?

යුද්ධයෙන් පසු ෂින්ඩ්ලර්ගේ ව්‍යාපාර ජීවිතය බොහෝ අසාර්ථක විය. එසේම යුද්ධයෙන් පසු ජර්මනියේ රැඳී සිටීම ඔහුට අනතුරුදායක විය. එයට හේතුව ඉතිරිව සිටි නාසිවාදීන්ගෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් තිබූ නිසාය. මේ නිසා අමෙරිකාවේ පදිංචි වීමට හේ අවසර පැතීය. ඔහු නාසි පක්ෂයේ සාමාජිකයෙක් නිසා අමෙරිකාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. මේ නිසා පදිංචිය සඳහා ඔහු ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවරට පැමිණියේ තම භාර්යාව වූ එමිලී ෂින්ඩ්ලර් හා “ෂින්ඩ්ලර් යුදෙව්වවන්” පිරිසක්ද සමගය. චිත්‍රපටය අවසානයේ දැක්වෙන ෂින්ඩ්ලර්ගේ සොහොන් කොතට අවසන් ගෞරව දක්වන පිරිස අතර එවකට ජීවමානව සිටි සැබෑ එමිලී ෂින්ඩ්ලර් ද වූවාය.

චිත්‍රපටය අවසානයේ දැක්වෙන ෂින්ඩ්ලර්ගේ සොහොන් කොතට අවසන් ගෞරව දක්වන පිරිස අතර එවකට (1993) ජීවමානව සිටි ඔස්කාර් ෂින්ඩ්ලර් ගේ භාර්යාව, එමිලී ෂින්ඩ්ලර්

1946දී එමිලී ෂින්ඩ්ලර් සමග ඔස්කා ෂින්ඩ්ලර් පෙනී සිටින දුර්ලභ ඡායාරූපයක්

එමිලී ෂින්ඩ්ලර් තරුණ වයසේදී

එමිලී ෂින්ඩ්ලර් ජීවිතයේ සැදෑ සමයේදී. ඔස්කා ෂින්ඩ්ලර්ගේ ආදරණීය භාර්යාව වූ එමිලී ෂින්ඩ්ලර් ඔස්කා ෂින්ඩ්ලර්ගේ මරණයෙන් අවුරුදු 27 කට පසු එනම් 2001 ඔක්තෝබර් 5 දින ජර්මනියේ බර්ලින් නුවරදී සදහටම දෙනෙත් පියාගත්තාය.


එම ප්‍රදේශයේ කෘෂිකාර්මික ව්‍යාපාරයක් ගෙනගිය ඔහුට මුදල් ආධාර ලබාදුන්නේ යුදෙව් සංවිධානයකින් හා ඔහුව කිසිදා අමතක නොකරන මිත්‍රශීලී යුදෙව් ජාතිකයින් විසිනි. නමුත් එම ව්‍යාපාරයද බංකොලොත් වූයෙන් හේ ආපසු යුරෝපය (ජර්මනිය) බලා ගියේ තම ප්‍රිය භාර්යාවද නොමැතිවය. ආර්ජන්ටිනාවේ ජීවත්වූ එමලී ෂින්ඩ්ලර්ට නැවත කිසිදාක ඔස්කාර්ව හමු නොවීය. ඔස්කාර් ෂින්ඩ්ලර් මෙවර පදිංචි වූයේ බටහිර ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර කුලී නිවස්නයකය. යුදෙව් සංවිධානයක ආධාර ඇතිව ඔහු මෙහි සිමෙන්ති නිෂ්පාදන කම්හලක් ආරම්භ කළේය. සුපුරුදු පරිදි 1961දී මෙයද අසාර්ථක ව්‍යාපාරයක් බවට පත්විය. 1962දී ඊශ්‍රායල් රජය විසින් ඔස්කා ෂින්ඩ්ලර්ට ධර්මිෂ්ඨ පුද්ගලයා යන ගෞරව සම්මානය පුද කරන ලදී. මේ සම්මානය නිසා ජර්මනියේ සිටි ඔස්කාගේ ව්‍යාපාර හවුල්කරුවා කුපිත විය. ඔහු ඔස්කාට පැවසුවේ “දැන් හොඳටම පැහැදිලියි. ඔබ යුදෙව්වන්ගේ මිත්‍රයෙක් කියලා. මින්පසු මාත් එක්ක හවුල් ව්‍යාපාර ඉවරයි” කියාය. ඉන්පසු ඔහුගේ ජීවිතය යැපුනේ ඔහු විසින් බේරාගන්නා ලද යුදෙව්වන් විසින් ඔහුට විටින් විට ලබාදුන් මුදල් හා තෑගිබෝග වලිනි.

ඔහුගේ කිට්ටුම මිතුරාවූ ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ් තම මිතුරා වෙනුවෙන් හොඳ යෝජනාවක් ගෙන ආවේය. අවුරුද්දකට එක්දින වැටුපක් ෂින්ඩ්ලර් වෙනුවෙන් පරිත්‍යාග කිරීම සදහා සෑම ෂින්ඩ්ලර් යුදෙව්වෙකුටම ඔහු උපදෙස් දුන්නේය. තවත් ෂින්ඩ්ලර් යුදෙව්වෙකු හා ෂින්ඩ්ලර්ගේ මිතුරෙකුවූ මෝෂේ බෙස්කි (මොහු පසුකලෙක ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු විය) ෂින්ඩ්ලර්ට සතියකට ඩොලර් 3000ක මාසික දීමානාවක් ගෙවීමටද යෝජනා කළේය.

ඔස්කාර් ෂින්ඩ්ලර්ට ඔහු යන එන සෑමතැනකින්ම ඔහුගේ යුදෙව් මිතුරන්ගෙන් ගරු බුහුමන් ලැබිණි. වයස 66ක් ව තිබියදී ෆ්රැන්ක්ෆර්ට් නුවරදී 1974 ඔක්තෝබර් 9 දින ඔස්කාර් ෂින්ඩ්ලර් සදහටම දෙනෙත් පියාගත්තේ අක්මාව අක්‍රියවීමෙන් හටගත් රෝගී තත්වයක් හේතුවෙනි. 1939 සිට මියයන තෙක්ම ඔහු යුදෙව්වන්ට ආදරය කළ නිසා තමා මිහිදන් කළ යුත්තේ ජෙරුසලමේ බව ඔහු කල් තියා ප්‍රකාශ කොට තිබුණි. ඔහුගේ මිතුරු පොල්ඩෙක් ප්‍රිෆර්බ් ඔහු මියයාමට මොහොතකට පෙර ඔහුගෙන් ඇසුවේ එහෙම තීරණයක් ගත්තේ ඇයිද කියාය. ඔහුගේ පිළිතුර වූයේ “මගේ ළමයි සිටින්නේ එතැන” කියාය. ඔහුගේ ඉල්ලීමට අනුව ඔහුගේ භෂ්මාවශේෂ ඊශ්‍රායලයට රැගෙන යන ලදී. එයට පෙර ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා ජෙරුසලමේ වීදි පුරා රැගෙන ගොස් තිබේ. 

1974 ඔක්. 09 - ෂින්ඩ්ලර්ගේ දේහය දිවිගලවාගත් යුදෙව් ජාතීන් (ෂින්ඩ්ලර් යුදෙව්වන්) විසින් ජෙරුසලමේ වීදි පුරා ඔසවාගෙන ගිය අයුරු 

ජෙරුසලමේ සියොන් කන්දේ පිහිටි කතෝලික දේවස්ථාන භූමියේදී සුවහසක් ෂින්ඩ්ලර් යුදෙව්වන්ගේ සෝසුසුම් මැද ඔස්කාර් ෂින්ඩ්ලර් මිහිදන් කෙරිණි.

ජෙරුසලමේ  පිහිටි ඔස්කාර් ෂින්ඩ්ලර්ගේ සොහොන්කොත 


එකල වැඩි දෙනෙකුගේ කතාබහට ලක් නොවූ ෂින්ඩ්ලර්ගේ කතාව චිත්‍රපටයක් නිමවීම සඳහා මහා සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් අතට ලැබුණු අපූරු කතාන්දරය 

කලින් සඳහන් කළ ෂින්ඩ්ලර්ගේ කළණ මිතුරු ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ් යුද්ධයෙන් පසු කලක් හංගේරියාවෙත් ඉන්පසු ජර්මනියෙත් පදිංචි විය. 1948දී සිය භාර්යාව වූ මිලා ප්‍රිෆර්බ් සමග හේ අමෙරිකාවට පැමිණියේය. හෙතෙම ලොස් ඇන්ජලිස් නුවර බෙවර්ලි හිල්ස්හි සම්භාණ්ඩ වෙළදසැලක් ආරම්භ කළේය. තම ව්‍යාපාරය හරහා මිතුරුකමක් ඇතිකරගත් තිරකතා රචකයින් හා සිනමාකරුවන් සහභාගිවන විවිධ උත්සව වලට යාමට ප්‍රිෆර්බ් ඇළුම් කළේය. මෙහිදී ප්‍රිෆර්බ් ෂින්ඩ්ලර් විසින් නාසින්ගෙන් පෝලන්ත යුදෙව්වන් බේරාගත් කතාව කලාකරුවන්ට විස්තර කිරීමට පසුබට වූයේ නැත. ප්‍රිෆර්බ්ගේ අරමුණවූයේ ඔවුන් ලවා ෂින්ඩ්ලර් පිළිබඳව චිත්‍රපටයක් නිපදවා ගැනීමටය. තවද මේ කාලය වනවිට ජීවත්ව සිටි ඔස්කාර් ෂින්ඩ්ලර් සමග අමෙරිකානු රූපවාහිනී වැඩසටහන් වලටද ඔහු සහභාගි විය. 

තරුණ ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ්  සමග ඔස්කාර් ෂින්ඩ්ලර්

ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ් මැදි වියේදී

1974දී ඔස්කාර් ෂින්ඩ්ලර්ගේ අභවයත් සමග ඔහු ගැන චිත්‍රපටයක් කිරීම පිළිබ සිහිනය බොව ගියේය. මෙසේ කාලය ගෙවී යද්දී 1980වේ දිනක ප්‍රිෆර්බ්ගේ සාප්පුවට තෝමස් කෙනලි නම් පුද්ගලයෙකු ගොඩවිය. හෙතෙම නවකතාකරුවකු බව දැනගත් ප්‍රිෆර්බ් ඔහු සමග මිතුරුවී ෂින්ඩ්ලර් පිළිබ සවිස්තරාත්මක වාර්තාවක් ඔහු අත තැබීය. මෙය බැලූ කෙනලි වඩාත් සතුටට පත්ව එම කතාව නවකතාවක් ලෙස එළිදක්වන්නට අදිටන් කර ගත්තේය. එතැන් සිට මෙම නවකතාවේ උපදේශකයා වූයේ ප්‍රිෆර්බ්ය. ඒ සදහා ප්‍රිෆර්බ් කෙනලිව පෝලන්තයට රැගෙන ගොස් ඔහුට සිද්ධියට සම්බන්ධ ස්ථාන පෙන්වීය. 1982දී එළිදුටු මෙම ඓතිහාසික නවකතාවේ නම ෂින්ඩ්ලර්ස් ආක් (Schindler's Ark) වේ.පොතේ පිදුම ප්‍රිෆර්බ් වෙනුවෙන් ලියැවී ඇත්තේ මෙසේය. “මොහුගේ උනන්දුව හා අප්‍රතිහ ධෛර්යය නිසා මෙම පොත නිර්මාණයවී ඇත.” ප්‍රිෆර්බ් තමා තුළ ඇතිවූ මෙම අප්‍රතිහ ධෛර්යයට හේතුව ලෙස දක්වන්නේ මේ ආකාරයෙනි. “ෂින්ඩ්ලර් මට ජීවිතය ලබාදුන්නා. මා ඔහුට අමරණීයත්වය ලබාදෙන්න වෙහෙසුණා.” යනුවෙනි. 

තෝමස් කෙනලිගේ පොත

ලේඛක තෝමස් කෙනලි

ෂින්ඩ්ලර්ස් ආක් (Schindler's Ark) පොත නිකුත්වීමෙන් පසු ප්‍රිෆර්බ්ගේ වෑයම වූයේ එම පොත ඇසුරින් චිත්‍රපටයක් නිපදවීමට ස්ටීවන් ස්පිල්බර්ග්ව නම්මවාගැනීමයි. ඒ සඳහා මුලින්ම හමුවූයේ ස්පිල්බර්ග්ගේ මවයි. ඒ ඔහු ඇය හොඳින් හඳුනන නිසාය. ඉන්පසු එනම් 1982 සිට 1992 දක්වා වසර 11ක්ම සතියකට වරක් ස්පිල්බර්ග්ගේ කාර්යාලයට ඇතළුවී ඔහු හමුවීමට ප්‍රිෆර්බ් පුරුදු විය. අවසානයේ (1992දී ) ස්පිල්බර්ග් එම චිත්‍රපටය නිපදවීමට එකඟ විය. චිත්‍රපටය සඳහා ද උපදේශකයා වූයේ ප්‍රිෆර්බ්ය. එසේම ප්‍රිෆර්බ් පෝලන්තයට චාරිකාවක් සංවිධානය කොට ස්පිල්බර්ග්වද එහි රැගෙන ගොස් චිත්‍රපටය සඳහා උචිත ස්ථාන පෙන්වීය. චිත්‍රපටයේ අවසන් දර්ශනයකටද ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ් පෙනී සිටියේය.

චිත්‍රපටය අවසානයේ දැක්වෙන ෂින්ඩ්ලර්ගේ සොහොන් කොතට අවසන් ගෞරව දක්වන පිරිස අතර එවකට (1993) ජීවමානව සිටි ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ්

ඇකඩමි සම්මාන රාත්‍රියේදී ස්පිල්බර්ග්ගේ ආරාධිත අමුත්තන් වූයේද ප්‍රිෆර්බ් යුවලයි. එහිදී සිය කතාවේදී ඔහු ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ් පිලිබව කතා කළේය. “ ඔහු දිවි ගලවාගත්තෙක්. ප්‍රිෆර්බ්ට මා ණය ගැතියි. ඔහු ඔස්කාර් ෂින්ඩ්ලර් පිළිබ කතාව අප සියළු දෙනා වෙත ගෙන ආවා. ” 
2001 මාර්තු 9 දින වයස 87දී ලියෝපෝල්ඩ් ප්‍රිෆර්බ් සිය භාර්යාව දියණිය හා පුත්‍රයා හැරදමා අවසන් ගමන් ගියේය. 

රතුකබා හැඳි දැරිය


කළු සුදු චිත්‍රපටයේ පෙන්වන එකම වර්ණ ගැන්වූ චරිතය රතුපාට කබායකින් සැරසී සිටින මේ කුඩා දැරිවියයි. ඇය කවුරුදැයි හෝ එසේ ඇය පෙනී සිටින්නේ කුමක් සඳහාදැයි චිත්‍රපටය බැලූ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් මතුවිය. ජර්මන් නිලධාරින් විසින් යුදෙව් ජාතිකයින්ව පෙළගස්වා වීදියක රැගෙන යද්දී මෙම රතුකබා හැඳි දැරියද ගමන් කරනු චිත්‍රපටයේ පෙන්වයි. එම දැරිය ගමන් කරනු දුර සිට බලාසිටින ෂින්ඩ්ලර්ට ඇයව හොඳින් මතක තබාගත හැකිවන්නේ ඇගේ රතු කබාය නිසාය. නිවාසයක සැඟවී සිටියදී ජර්මානු හමුදා අතින් ඇයට වෙඩිවැදෙන අයුරුද පෙන්වයි. පසුව මියගිය ඇගේ සිරුර අහම්බෙන් මෙන් යළි දකින ෂින්ඩ්ලර් කම්පනයට පත්වේ. චිත්‍රපටය බැලූ බොහෝදෙනා මේ පිළිබඳව නොයෙක් මත පළකරන්නට විය. ඇතැමෙක් පැවසුවේ එය මනඃකල්පිත චරිතයක් බවත්, සංකේතාත්මකව එම දර්ශනය චිත්‍රපටයට ඇතුළු කර ඇත්තේ යුදෙව්වන්ටවූ කෲර ඉරණම තීව්‍ර කිරීම සඳහා බවත්ය. පසුකලෙක මෙයට පැහැදිලි පිළිතුරක් සපයා ඇත්තේ එම සැබෑ දැරියගේ ඥාතියෙකි. ඔහුගේ වදන් මෙසේය. 

“ඒක නිෂ්පාදකතුමා විසින් චිත්‍රපටයට එකතුකළ මනඃකල්පිත චරිතයක් නොවේ. එය සැබෑ සිද්ධියක්. මමද සමූහ ඝාතනයෙන් මිදුනු අයෙක්මි. ඇය මගේ මාමාගේ ඥාති සොහොයුරියක්. කවුරුත් නොදන්නවට ඇගේ නියම නම ‘ගිට්ල් චිල්’. ‘ජීනියා‘ කියලත් කියනව. ඇගේ මව්පියන් ‘ඩේවිඩ් චිල්‘ හා ‘ඊවා චිල්‘. යුද්ධය ඇරඹුනාට පසු ඇගේ මව්පියන් ගම්බදට පලායන්නේ ඇයව ක්‍රාකොව් යුදෙව් ජනාවාසයේ හැරදමාය. මව්පියන් සමග ඇය නොගියේ දුෂ්කර ගම්බද ප්‍රදේශවලදී ඇයට දුක්ගැහැට පැමිණේවි යැයි තිබූ බියක් නිසයි. ඇයව රැකබලාගත්තේ මගේ මාමා. (එකල ඔහු ක්‍රාකොව් ජනාවාසයේ දොස්තර කෙනෙක්.) නිතරම රතු පැහැති කබායක් ඇඳ සිටි ඇයව ජර්මානුන්ගෙන් බේරීමට සගවාගෙන සිටියා. අන්තිමේදී ඇයව ජර්මානුන්ට අහවුනා. 1943 මාර්තු 13 දින ජනාවාසය විනාශ කිරීමේදී ඇය මියයන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. ” 

ඔලිවියා දබ්රොස්කා එදා සහ අද

දැරියගේ චරිතය රඟපෑ පෝලන්ත ජාතික ඔලිවියා දබ්රොස්කාට එකල වයස අවුරුදු 3කි. චිත්‍රපට අධ්‍යක්ෂ ස්පිල්බර්ග් ඇයව පොරොන්දු කරගත්තේ ඇයට අවුරුදු 18 පිරුනාට පසු මෙම චිත්‍රපටය නරඹන ලෙසය. නමුත් එම පොරොන්දුව කැඩූ ඔලිවියා අවුරුදු 11දී චිත්‍රපටය නැරඹුවාය. එය බැලීමෙන් තමා මහත් කම්පනයට පත්වූ බව ඇය පවසයි.

ෂින්ඩ්ලර් කතාවේ අද සිහිවටන හා මතක සටහන්

1940දී ලබාගත් මෙම ඡායාරූපයේ වමේ සිට දෙවැන්නා ෂින්ඩ්ලර්ය. අනෙක් අය ඔහුගේ යුදෙව් හා පෝලන්ත සේවක පිරිසකි.


චෙක් රජයේ ස්වේටිව් නගර උද්‍යානයේ පිහිටුවා ඇති ෂින්ඩ්ලර් ස්මාරකය

ඔස්කාර් ෂින්ඩ්ලර් (මැද) ක්‍රාකොව් හිදී ජර්මානු හමුදා නිලධාරින් සමග දිවා භෝජන සංග්‍රහයකදී .

ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුවේ සිටි ලාබාලතම පුද්ගලයා ද පසුගියදා මියගියේය. 1945 සමූල ඝාතනයෙන් ෂින්ඩ්ලර් නිසා දිවි ගලවාගත් පිරිසේ එවකට 13 හැවිරිදිව සිටි ලියොන් ලීසන් අවුරුදු 83ක් ආයු වළඳා පසුගිය වසරේ එනම් 2013 ජනවාරි 12 දින අභාවප්‍රාප්ත විය.

ඔස්කා ෂින්ඩ්ලර් තම ලෝහ කර්මාන්තශාලාව තුළ සිය සේවකයින් සමග සිටින දුර්ලභ ඡායාරූපයක්.

චිත්‍රපටයේ අවසන් දර්ශනයට පෙනී සිටීම සහා ස්පිල්බර්ගේ කැමරාව ඉදිරියට පැමිණි ෂින්ඩ්ලර් විසින් දිවි ගලවාගත් පිරිසෙන් දැනට ඉතිරිව සිටින පිරිස හා ඔවුන්ගේ නූතන පරම්පරාව ඡායාරූපයකට පෙනී සිටි අයුරු

සුප්‍රසිද්ධ ෂින්ඩ්ලර්ගේ ලැයිස්තුව පිළියෙළ කිරීමට හා එය ටයිප් කිරීමට සහාය වූ ෂින්ඩ්ලර්ගේ ගණකාධිකාරීවූ ඉට්ෂැක් ස්ටර්න් සමග ෂින්ඩ්ලර් පෙනී සිටින මෙම ඡායාරූපයද දුලබ එකකි.

යුද්ධය අවසානයේ සමුගෙන යාමට පෙර කළ උදව්වට තුටු පඩුරක් ලෙස යුදෙව් ජාතිකයින් විසින් ෂින්ඩ්ලර්ගේ ඇඟිල්ලේ පළන්දවනු ලබන මුදුව මෙයයි. එහි යුදෙව් බසින් කොටා ඇත්තේ එක ආත්මයක් බේරාගන්නා තැනැත්තා මුළු ලොවම බේරාගනියි යන්නය.

1962දී ඊශ්‍රායලය විසින් ෂින්ඩ්ලර්ට ගෞරව සම්මානය ප්‍රකාශයට පත්කළාට පසු ෂින්ඩ්ලර් ජෙරුසලමට පැමිණ පැළයක් රෝපණය කළේය.

වසර 8 කට පෙර තමා රෝපණය කළ ගස ඉදිරිපිට ෂින්ඩ්ලර් (1970දී)


ෂින්ඩ්ලර්ගේ ලෝහ භාණ්ඩ කම්හලේ අද තත්වය.


ෂින්ඩ්ලර්ගේ ලෝහ භාණ්ඩ කම්හලට ඇතුළුවන දොරටුව අද. මෙම ගේට්ටුව නවීකරණය නොකොට පැරණි තත්වයෙන්ම මහජනතාවට දැක බලාගැනීම සහා පවත්වාගෙන යයි. 

චිත්‍රපටය පිළිබඳ මාගේ විචාරය
මෙය කලකට පසු නිපදවූ ඉතා හොඳ චිත්‍රපටයක් බව මගේ හැඟීමයි. ප්‍රධාන නළු “ලියම් නීසන්” ඉතා විශිෂ්ඨ රංගනයක යෙදුනත් ඊට නොදෙවෙනි අද්විතීය රංගනයක යෙදෙන්නේ සහාය නළු හා ෂින්ඩ්ලර්ගේ ගණකාධිකාරිවරයා වන “ඉට්ෂැක් ස්ටර්න්” ලෙස රඟන “බෙන් කිංස්ලිය”. කතාවෙන් හා මුහුණේ ඉරියව් වලින් ඔහු නිතරම ත්‍රස්තයෙන් සිටින බව ඉතා කදිමට නිරූපණය කරයි. ජර්මානු හමුදා නිලධාරි අමෙන් ගොතෙක්ගේ චරිතයට පන පොවන නළු “රැල්ෆ් ෆිනෙස්” තමා අමානුෂික පුද්ගලයෙකු බව මුහුණින් පෙන්වයි. දෙවන ලෝක යුද්ධයේ කුරිරු බව ප්‍රේක්ෂකයාගේ සිතට කාවදින අතර යළි කිසි දිනක මෙවන් තත්වයක් ඇති නොවේවායි යන ප්‍රාර්ථනයක් ඔවුන් තුළ ඇති කරයි.

ඇතැම් දර්ශන කීපයක් නිසා මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලෙස වර්ග කර ඇති නිසා එය දරුවන් සමග එකට නැරඹීමට සුදුසු නොවන බව මගේ විශ්වාසයයි.


2 comments:

  1. Thank you Ayoma...You have explained it nicely and it will make people interested to watch the movie...All the best

    ReplyDelete
    Replies
    1. Thank you Mr. Asoka for your nice comment.

      Delete

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...