Saturday, August 20, 2016

Kamal D. Athukorala - කමල් ඩී. අතුකෝරාල

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු දේශීය වැඩසටහන් සම්පාදකවරයෙකු හා ජනශ්‍රැති පර්යේෂකයෙකු වූ සංගීතඥ කමල් ඩී. අතුකෝරාල මහතාගේ 36 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි


බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ දේශීය ගැමි කට හඩකින් ගැයෙන මෙම ගීතය ඔබට කලකට පෙර ගුවන් විදුලියෙන් නිතර අසා ඇතිවාට සැකයක් නැත. අද එය ඇසෙන්නේ කලාතුරකිනි. ගීතය ගයන ගායකයා කව්ද? අද ඔහු කොහිද? එම ගීතයට ආදරය කරන රසවතුන් එහි ගායකයාගේ වගතුගත් දැනගන්නට කැමැත්තෙන් ඇතැයි සිතමි.

ඔහු අන් කිසිවෙකු නොව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු දේශීය වැඩසටහන් සම්පාදකවරයෙකු හා සංගීතවේදියකු වූ කමල් ඩී. අතුකෝරාල මහතාය. ඔහු අප අතරින් වියෝවී අදට (2016/08/20 වෙනිදාට) වසර 36 ක් සම්පූර්ණ වෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 

බිංකුණ්ඩා යනු ඉතා කුඩා කෘමියෙකි. උන් ජීවත්වන්නේ සියුම් වැලි අතරේ රිංගාගෙනය. වැලි අතරින් උඩට පැමිණි බිංකුණ්ඩෙකු දකින්නටත් අමාරුය. වැලි අතරින් ඌව උඩට ගත්තත් එසැණින් ඌ වැලි අතර සැඟවී යයි. එවිට කෝණාකාර වලක් ඒ කියන්නෙ ආවාටයක් නිර්මාණය වෙයි. අසවල් වැලි වල බිංකුණ්ඩන් සිටින බවට ඇති එක් සලකුණක් නම් ඒ වැලි වල කුඩා කෝණාකාර ආවාට දක්නට ලැබීමයි. එවැනි වැලි අතර ඇති ආවාට වටා ඇඟිල්ලකින් කැරකැවීම කලකට පෙර ලංකාවේ ළමුන් සිදුකල අහිංසක ක්‍රීඩාවකි. අපිද එය කර ඇත්තෙමු. එවිට වැලි අතර සිටිනා බිංකුණ්ඩන් ඇඟිල්ලේ චලනයට අනුරූපිව වටේට දඟලමින් ගමන් කරයි. කව්රුත් කියන්නේ උන් අපේ තාලයට නටනා බවයි. මෙසේ අපි උන් නටවන්නේ එක්තරා ගීයක් මුමුණමින්ය. පැරණි අය කව්රුත් දන්නා එම ගීතය නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ තෝත් නටාපිය මාත් නටන්නම් යන ගීතයයි. එය ජන ගීයක් යැයි විශ්වාස කරමි. එම ජන ගී සහ ජනශ්‍රැති පාදක කරගෙන බිංකුණ්ඩන් පිළිබඳව මනරම් නව ගීයක් 1960 දී පමණ ගුවන්විදුලි සංස්ථාවේ සිටි සංගීතවේදියෙකු විසින් නිර්මාණය කරන ලදී. ඒ දේශීය කියමන්, දේශීය ජන ගී හා දේශිය ගී තනු ඇසුරෙන් නිෂ්පාදනය කළ “සප්තමධුර” නම් ගීත නාටකය සඳහාය. එහි සංගීත නිර්මාණය පමණක් නොවේ ගායනයද ඔහුගේය.


බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ //
තෝත් නටාපිය මාත් නටන්නම්
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ - බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ //
..............................................(සංගීතය)
එරොප්පෙ නැටුමක් තෝත් නටාපිය සිංහල නැටුමක් මාත් නටන්නම්//
සිංහල නැටුමක් මාත් නටන්නම්
දොමිකිට තක දොං දොමිකිට තක දොං//
එරොප්පෙ නැටුමක් තෝත් නටාපිය සිංහල නැටුමක් මාත් නටන්නම්
සිංහල නැටුමක් මාත් නටන්නම්
බිංකුණ්ඩෝ තෝ ටුවිස්ට් නටාපිය මං මගෙ තාලෙට තෙල්මෙ නටන්නම්
තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ
.......................................... (සංගීතය)
ඉතාලි නැටුමක් තොගෙන් නටාපිය උඩරට නැටුමක් මගෙන් නටන්නම්//
උඩරට නැටුමක් මගෙන් නටන්නම්
දෝං දොමිත දොං ජිං රුකුගත - තකුංජීන්තා ජින්කිත කිතතක//
ඉතාලි නැටුමක් තොගෙන් නටාපිය උඩරට නැටුමක් මගෙන් නටන්නම්
උඩරට නැටුමක් මගෙන් නටන්නම්
බිංකුණ්ඩෝ තෝ පොතෙන් නටාපිය මං මගෙ තාලෙට හිතෙන් නටන්නම්
තෝත් නටාපිය මාත් නටන්නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ
බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ




බිංකුණ්ඩෝ ගීතය ඇසීමට
1930 අගෝස්තු 13 දින උපන් කමල් ඩී. අතුකෝරාල මහතා සංගීතඥයෙකු සහ ගායකයෙකු වුවද ඔහු ක්ෂේත්‍ර ගණනාවක දස්කම් පෑ කලාකරුවෙකු බව බොහෝ දෙනා නොදනී. ජනශ්‍රැති සංරක්ෂකයෙකු, ජනගායනා පර්යේෂකයෙකු, කවියෙකු, උඩරට නර්තන ශිල්පියෙකු, නළුවෙකු, ලේඛකයෙකු හා මාධ්‍යවේදීයෙකුව සිටි බව දන්නේ ඔහු ළඟින් ඇසුරු කළ කීපදෙනෙක් පමණි. එවැනි හැකියාවන් රැසක් සහිත පුද්ගලයන් අද දක්නට නොමැති තරම්ය. දුෂ්කර ගම්මාන වලට ගොස් සිංහල ජනගී සංරක්ෂණය කිරීමට ඔහු තවත් ජන ගී විශාරදයෙකු වන පී.ඩබ්. මකුළොළුව මහතා සමග එක්වුනි. මේ නිසා අතුකෝරාල මහතාද ජන සංගීතයට සිදුකර ඇති සේවය ඔහුගේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී මොනවට පැහැදිලි වෙයි. 

විරිදු හා ජනගී ඇසුරින් ප්‍රතිනිර්මාණය කරන ලද අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියා, කහමලියේ අන්අර කහමලියේ, මධුමදිරා මිහිර සොරා යන ගීත කලකට ඉහත ගුවන්විදුලියේ නිතර ප්‍රචාරය වූ ඔහු ගැයූ ජනප්‍රිය ගීත අතරින් කීපයකි.

සිංහල වේදිකාවට පිවිසිණු ප්‍රථම විරිදු නාටකයට සම්බන්ධවීමට තරම් අතුකෝරාල මහතා වාසනාවන්ත විය. ඒ අනුව විමලවීර පෙරේරා රචනා කළ ලංකාවේ ප්‍රථම විරිදු නාටකය වූයේ මධුමතීය. එහි එන ගීත සියල්ල සංගීතවත් කළේ කමල් ඩී. අතුකෝරාලය. 

ප්‍රථම විරිදු නාටකයවූ මධුමතීට ඔහු විසින් සංගීතවත් කළ ගීතයක් පිළිබඳව එදා සරසවිය පුවත්පතේ පළවූ ලිපියක්


අතුකෝරාල මහතා විවාහ ගිවිසගත් දා



අතුකෝරාල මහතාගේ පවුලේ සාමාජිකයින්
වමේ සිට පුත් සඳුන්, දියණිය තිළිණි හා භාර්යාව නන්දා මහත්මිය


පුවත්පතකට “එයා වෙනුවට හඳ” යන සිරසින් ලිව් රසබර පදවැලක අන්තිම කවි දෙක මෙසේ දක්වමි. තම පෙම්වතිය තමා හැරදා වෙනතක ගිය පසු ඇය වෙනුවට සඳට ආදරය කරන පෙම්වතෙකුගේ ඇසින් මෙම කාව්‍ය රචනා වී තිබේ. කමල් ඩී. අතුකෝරාලගේ කවීත්වයට මෙය හොඳ නිදසුනකි.



“හදවත පුබුදු කළ මොලකැති හස  රැල්ල
අද නැත පෙර පරිදි දැඩි වෙයි මැසි  විල්ල
පෙරමග ගන්න ඉවහල් වන කඳු  ලැල්ල
එනු මැන ඔබෙන් ලද හැක මට සැන  සිල්ල

නෙතින් ගලන කඳුලැලි ගජ මුතු වෙද්දෙන්
ගතින් හැලෙන දා බිඳු මිණි කැට වෙද්දෙන්
සිතින් නැගෙන සිතිවිලි මිලිනව යෙද්දෙන්
ඉතින් එයා වෙනුවට හඳ හිනැ හෙද්දෙන්”



අතුකෝරාල මහතාගේ ස්වර ප්‍රස්ථාර ඔහුගේම අත් අකුරින්

එදා ලංකාවේ පුවත්පත්වල චිත්‍රකතා වෙනුවට පිංතූර කතා පළවුණි. ලංකාදීප පත්‍රයට හොල්මන නමින් පළවූ පිංතූර කතාවට අතුකෝරාල මහතා නළුවෙකු ලෙස එක්වී සිටි අයුරු

ඔහු ‍ලේඛන කලාවටද දක්ෂයෙකු බව සනාථ කෙරෙන ඔහු ලියූ පුවත්පත් ලිපියක්


1969 දෙසැම්බර් 21 දින ඔහු අතිනත ගත්තේ කොළඹ මහ රෝහලේ මාණ්ඩලික හෙදි නන්දා අතුකෝරල මහත්මිය සමගය. වැඩිකල් නොගොස් දරුවන් දෙදෙනෙකුගේ සුරතල් බැලීමට ඔහු වාසනාවන්ත විය. වැඩිමලා දියණියක වූ අතර ඇය තිළිණිය. බාලයා සඳුන් පුතාය. දිවියේ අවසන් කාලයේ ඔහු පදිංචිව සිටියේ මහරගම ප්‍රදේශයේය. සිය 50 වන ජන්ම දිනය සමරා දින හතකට පසු එනම් 1980 අගෝස්තු 20 දින ඔහු අප අතරින් සදහටම සමුගගෙන ගියේය.

මා උපන්දා සිට1988 දක්වා පදිංචිව සිටියේ මහරගම විද්‍යාකර මාවතේ නිවසකය. අපගේ නිවස ඉදිරිපිට නිවසේ (ඉස්සරහ ගෙදර) සිදුවන හැමදෙයක්ම අපගේ මතකයේ පවතී. අප කුඩා කාලයේ පටන් දන්නා පවුලක් එහි කාලයක් පදිංචිව සිටියේය. ඔවුන් එක් දිනක් හදිසියේ බඩු බාහිරාදිය වාහනවලට පටවනවා දුටුවෙමු. විපරම් කර බැලීමේදී දැනගන්නට ලැබුණේ ඔවුන් නිවස විකුණා ඇති බවත් එම නිවස හැර යන බවත්ය. ටික දිනකින් අළුත් කට්ටියක් නිවසේ පදිංචියට පැමිණි අතර ඔවුන් ඉතා ඉක්මණින් අප සමග කුළුපග විය. එයට එක් හේතුවක් වූයේ අප ගුවන්විදුලියෙන් කලින් අසා පුරුදු ජනප්‍රිය ගායකයෙකු ඒ නිවසේ මූලිකයා වීමයි. ඒ අන් කවරෙකු නොව ඉහත සඳහන් කළ ඒ වනවිට ජනප්‍රිය විරිදු ගායකයෙකුව සිටි කමල් ඩී. අතුකෝරාල මහතායි. මා ඇතුළු නංගිලා මල්ලිලා ඔහු ඇමතුවේ අතුකෝරාල අංකල් කියාය. 

මගේ පියා ‍සේවය කළේ ලේක් හවුස් ආයතනයේය. අතුකෝරාල අංකල් සේවය කළේ ගුවන් විදුලි සංස්ථාවේය. ප්‍රධාන ජනමාධ්‍ය ආයතන දෙකක දෙදෙනාම සේවය කළ නිසාත් දෙදෙනාම දක්ෂ කවියන් වූ නිසාත් පියාත් අතුකෝරාල අංකලුත් මිතුරන් බවට පත්වීමට වැඩිකල් ගියේ නැත. මගේ පියා සේවය නිමවී බොහෝවිට නිවසට එන්නේ සවස හය හත වේලාවටය. ඒ වනවිටත් අතුකෝරාල අංකල් සේවය නිමවී නිවසට පැමිණ අවසන්ය. එවැනි දවස්වල අංකල් අපේ නිවසේ මිදුලට පැමිණේ. මමත් නංගිල මල්ලිලාත් පියාත් අංකල්ව වටකරගෙන කතා කියන්නට පටන්ගනී. ඒ සඳහා අංකල් ඇතුළු සියළු දෙනා අපේ නිවසේ කොටු තාප්පය මත හිඳගනී. ආගිය තොරතුරු කලා තොරතුරු රටේ තොරතුරු දෙපක්ෂය අතර හුවමාරු වන්නේ මෙතැනදීය. මේ සඳහා පැය දෙක තුනක් ගන්නා නිසා බොහෝවිට කතා මාලාව අවසන් වන්නේ රෑ බෝවීමෙන් පසුය. පවුලේ ළමයින් ඒ කතා අසා ඉන්නවා හැරෙන්න ඒවාට සම්බන්ධ වන්නේ නැත. නමුත් ඒ ආශ්‍රයට අප බොහෝ කැමති විය. 

කමල් ඩී. අතුකෝරාල මහතාගේ හදිසි වියෝව මට අද වගේ මතකය. දිනය 1980 අගෝස්තු 20 උදේ වරුවයි. මා නිවසේ යම් වැඩක යෙදී සිටින අතරතුර අපගේ නිවසේ කෙනෙකු අන්න කාටද මොකක්ද වෙලා යැයි හඩ නගා කියනු මට ඇසුණි. මා ඉස්සරහ නිවස දෙස බැලූවිට පෙනුණේ අසල නිවසක පිරිසක් අතුකෝරාල මහතාගේ නිවසට දුවයන අයුරුයි. ඒ එක්කම කව්දෝ විලාප දෙන හඩකුත් ඇසුණි. ඒ කුමක්දැයි ගොසින් බලන ලෙස මට අම්මා පැවසුවාය. මම හනිකට ඉස්සරහ නිවසට ගොස් බැලූවිට එහි කාමරයක ඇඳක් මත සිහිසුන්ව දිගාවී උන් අතුකෝරාල මහතාට ඔහුගේ භාර්යාව නන්දා මහත්මිය ඔහුට කෘතිම ශ්වසනය දෙන අයුරු දුටුවෙමි. තව කෙනෙකු දෙපා රත් කිරීමට ගිනි කබලක් අල්ලන් ඉන්නා අයුරුත් දුටිමි. ඒ මහතා අසල ඒ මහතාගේ මෑණියන්ද සිටිනු දුටිමි. ඒ මහතාගේ දියණිය ඒ අවස්ථාවේ මගේ මව විසින් අපේ නිවසට රැගෙන ගොස් තිබුණි. ඒ මහතාගේ දියණිය අද එම අවස්ථාව ස්මරණය කළේ මෙසේය. “ඒ වනවිට මට අවුරුදු 5ක් විතර වෙනවා. ඒ වෙලාවෙ වෙච්ච දේවල් මට තාම හොඳට මතකයි. අම්මා කලින්දා නයිට් ඩියුටි කරලා උදේ නිදාගෙනයි හිටියේ. මල්ලියි, මමයි අල්ලපු ගෙදර නංගියි එදා උදේ සෙල්ලම් කරකර හිටියේ. මල්ලියි, අර නංගියි රණ්ඩුවුනාට පස්සෙ භූමිතෙල් කෑන් එකක් පෙරලුනා. ඒ වෙලාවේ අම්මා ඇවිත් අපිට බැන බැන බිම සුද්ද කරලා තාත්තට තේ බොන්න කතා කලා. නිදාගෙන හිටිය තාත්තා නැගිට්ටේ නැහැ. ඒ වෙලොවෙ උදේ 10ට විතර ඇති. අහල පහලින් උදව් ඉල්ලුවා. කට්ටිය ආවා. ඉස්සරහ ගෙදර ඇන්ටි මා ඒ ගෙදරට එක්කන් ගියා.” අවශ්‍ය හදිසි කටයුතු කළේ අවට නිවැසියන්ය. ප්‍රථමාධාර වලින් ගුණයක් නොලද නිසා අතුකෝරාල මහතාව රෝහලට රැගෙන යාමට අවශ්‍ය විය. ඒ අවස්ථාව වනවිට මෝටර් රථයක් හිමිව තිබුණේ අතුකෝරාල මහතාගේ නිවස පිටුපස පිහිටි නිවසේ අයට පමණි. ඔවුන්ද උදව්වට පැමිණියහ. ඔවුන්ගේ මෝටර් රථයෙන් අතුකෝරාල මහතාව රෝහලට රැගෙන යන ලදී. මේ අවස්ථාව මතකයට එන විට සංවේදී යමක් මසිත පෙළයි. අතුකෝරාල මහතාව මෝටර් රථයට රැගෙන යාමේදී මා ඔහුගේ දෙපයින් අල්ලාගත් මොහොත මට අද වගේ මතකය. ගමේ කවුරුත් නොවසිල්ලෙන් බලා සිටියේ රෝහලෙන් තොරතුරක් ලැබෙන තෙක්ය. සවස එක වනවිට කව්රුත් බලාපොරොත්තු නොවූ දුක්මුසු පුවතක් කනවැකුණි. ඒ අප කව්රුත් ආදරය කළ කමල් ඩී. අතුකෝරාල මහතා මියගිය පුවතයි. පසුව දැනගන්නට ලැබුණේ නින්දේදීම ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ඒ මහතා මියගොස් ඇති බවය. ගොඩිගමුව පොදු සුසාන භුමියේදී සිරුර මිහිදන් කෙරිනි. ඒ මහතාගේ අවසන් දර්ශනය ලබාගැනීමට මා කනත්තේ දී විවෘත වී ඇති දෙන දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ සංවේගයෙනි.

ඒ මහතාගේ දියණිය තිළිණි ජිතේන්ද්‍රිකා අතුකෝරාලද පියාගේ අඩිපාරේ ගමන්කළ ජනප්‍රිය කලාකාරිනියකි. සිය පියා මෙන් ඇයද කලා ක්ෂේත්‍ර ගණනාවක දස්කම් පෑවාය. ඒ නිසා මට ඇය ජනප්‍රිය ගායිකාවක් පමණක් ලෙස හැඳින්විය නොහැක. ගායිකාවක්, නිවේදිකාවක්, ගේය පද රචිකාවක්, සංගීතඥවරියක්, කිවිඳියක්, ලේඛිකාවක් ආදි බහු කලා මාධ්‍යයන්හි උපරිම තලයට පැමිණි තාරකාවක් ලෙස හැඳින්වීම සාධාරණ යැයි සිතේ. වෙනත් කලාකරු පවුල්වල මෙවන් දියණියකට ඉදිරියට ඒම සඳහා අත දීමට ඇගේ කලාකරු මව් පියන්ට නිරායාසයෙන්ම අවස්ථාව සැලසේ. නමුත් තිළිණි දියණියට ඒ අවස්ථාව මග හැරෙන්නේ ඇගේ ආදරණීය කලාකරු පියා ඈ කුඩා කාලයේදීම ජීවිතයෙන් සමුගත් නිසාය. නමුත් පියාගේ ආරෙන් ලැබුණු උපන් හැකියාවක් ඈ සතු නිසාදෝ සියළු අභියෝග ජයගෙන ඉදිරියට යාමට නොපසුබට අධිෂ්ඨානයක් ඈ සතුවිය. මවද කලාවට සම්බන්ධ නොවූ අයෙක් නිසා තිළිණිට තම අරමුණ කරා යාමට සිදුවූයේ තනිවමය. ඒ සඳහා පියාගේ මිතුරන් හිතවතුන් ප්‍රවීන කලාකරුවන් ඇයට පිටුපසින් සිට උදව් කළහ. හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙන්නාසේ ඇය කුඩාකලම ඇගෙන් ඒ බව පිළිඹිබු වන්නට විය. මට මතක හැටියට ඇයට අවුරුදු 10ක් පමණ වන වයසේදී (ඒ වනවිටත් පියා මියගොස් ඇත.) ගමේ කොල්ලො කුරුට්ටො තනිවම රැස්කරගෙන විවිධ කලා කටයුතු සංවිධානය කිරීමට තරම් ඉදිරිපත්වීමේ ශක්තියක් ඈ සතුවිය. මේ කාලය වනවිට අප අපේ නිවස හැරදා වෙනත් ප්‍රදේශයකට පදිංචියට පැමිණියෙන් පසුකල ඇගේ ජීවන තොරතුරු දැනගැනීමට හා දැකගැනීමට අවස්ථාවක් නොලැබුණි. නමුත් ලැබුණු තොරතුරු වලට අනුව ඇය පාසල් කාලයේත් (මහරගම ජනාධිපති විද්‍යාලයේ සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ) දක්ෂ ලෙස කලා කටයුතුවල නිරතවී තිබේ. සංගීතපති ප්‍රේමදාස මුදුන්කොටුව මහතාගෙන් සංගීතය හැදෑරූ ඇය අද සංගීතය පිළිබඳ විශාරද උපාධිධාරිනියක‌ද වන්නීය. තම අරමුණ කරා පියවරෙන් පියවර ගමන් ගත් දිරිය දියණියක් වූ ඇය 21 වන වියේදී ඇගේ පළමු රැකියාව ලෙස ලක්හඬ ගුවන් විදුලි සේවය තෝරාගත්තාය. පසුව විසිර සංස්කෘතික විකාශය, ඉසුර එෆ්.එම්. යන මාධ්‍ය ආයතනයන් හි නිවේදිකාවක, නිෂ්පාදිකාවක, ප්‍රවෘත්ති සංස්කාරිකාවක සහ ප්‍රකාශිකාවක ලෙසත් සෙත් එෆ්.එම්. ආයතනයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනිය ලෙසත් කටයුතු කලාය. ඉන් අනතුරුව  www.senehasarasdio වෙබ් ගුවන්විදුලියේ සිංහල සේවයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසත් ඒෂියන් මිරර් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ ප්‍රවෘත්ති සංස්කාරිකාව ලෙසත් කටයුතු කලාය. දැන් ඇය ඇගේම ලක්දන වෙබ් ගුවන් විදුලියේ ප්‍රධාන නියමු ලෙස කටයුතු කරන්නීය. සිය පියා සිටි තත්වයට සමාන තත්වයකට පැමිණීමම තිළිණි දියණිය මියගිය සිය පියාට සිදුකරන ලොකුම හා හොඳම උපහාරය නොවන්නේද? 

අතුකෝරාල මහතාගේ දියණි තිළිණි ජිතේන්ද්‍රිකා අතුකෝරාල
මාධ්‍යවේදිනියක ලෙස

කමල් ඩී. අතුකෝරාල මහතාගේ එකම පුත්‍ර රත්නය සඳුන් අතුකෝරාලයි. ඔහු තරුණ වියේදීම ජාතික රූපවාහිනියට බැඳුණේය. අද ඔහු එහි අංග රචන ශිල්පියෙකු ලෙස සේවයේ යෙදී සිටින අතර ඔහුගේ සහකාරිය වී සිටින්නේ ජනප්‍රිය නිවේදිකා හා නිළි සුරංගි කෝසලාය.


අතුකෝරාල මහතාගේ පුත් සඳුන් අතුකෝරාල
ජාතික රූපවාහිනියේ අංගරචන ශිල්පියෙකු ලෙස

මෙයට වසර 36 කට පෙර අප අතරින් වෙන්වී ගිය දක්ෂ කලාකරුවෙකු සේම හිත හොඳ සහෘදයෙකු වූ කමල් ඩී. අතුකෝරාල මහතා නැවතත් අප අතරම ඉපදේවා කියා පතමි.

Thursday, August 18, 2016

Madunagala Hot Springs - මාදුනාගල උණුදිය උල්පත් බලන්න යමු



ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ විනෝද සංචාරයේ යෙදෙන හෝ කතරගම වන්දනාවේ යන ඔබට එහි යන අතරතුර පහසුවෙන් යාහැකි, බොහෝදෙනා නොයන බොහෝදෙනා නොදන්නා එහෙත් දන්නා අය නිතර යන එන ස්ථානයක් පිළිබඳව දැනුවත් කරන්නට සිතුනි. ඒ මාදුනාගල උණුදිය උල්පත් බැලීමට යාමයි. කැමතිනම් එතැන ඇති ඖෂධීය උණුවතුරින් ස්නානය කිරීමටද හැකිය. මේ පිළිබඳව නොදන්නා අයට දැනුවත් කිරීමට ගත් උත්සාහයේදී මේ ස්ථානය පිළිබඳව හැදෑරීමටද හැකිවිය. මේ නිසා එහි නිතරම යන එන ඒ ගැන දන්නා අයවත් නොදන්නා තොරතුරු සමූහයක් මට ලැබිණි. මේ සටහන ඒ පිළිබඳවයි.

පොළොව අභ්‍යන්තරයේ ඇති උණුසුම් ලාවා (ලෝදිය) තට්ටු වලින් උණුසුම ලබාගෙන ඉන්පසු අවසාදිත පාෂාණයක් වන හුණුගල් තට්ටුව හරහා උල්පත පොළොව මතුපිටට පැමිණෙයි. මෙය උණුදිය උල්පත් ලෙසින් අපට දිස්වේ. හුණුගල් හරහා පැමිණීමෙන් එම ජලයට ඛනිජ ලවණ ගණනාවක් එකතුවෙයි. ජලයට ඖෂධීය ගුණයක් ලැබෙන්නේ මේ නිසාය. ඒ නිසා මෙම ජලය නිකම්ම උණු වතුර නොවේ. මෙම ඖෂධීය ජලය ස්නානය කිරීමෙන් සමේ ඇති වන දිලීර රෝග (අළුහම්, කුෂ්ඨ , බිබිලි, දද) ඇතුළු රෝග ගණනාවකටත් ශරීරයේ ඇතිවන වාත වේදනා රැසකටත් ඉක්මන් සුවය ලැබෙන බව අනාදිමත් කාලයක සිට ජනතාව විශ්වාස කරයි. 

ලෝකයේ මෙවැනි ස්වභාවික උණුදිය උල්පත් ඇත්තේ ස්වල්පයකි. ඒ නිසා එය සොබාදහමේ දුර්ලභ විශිෂ්ඨ නිර්මාණයක් බව භූ විද්‍යාඥයෝ සලකති. එහෙයින් මෙවැනි උල්පතකින් ස්නානය කිරීමද ලෝකයේ හැමටම කළ නොහැකි දුර්ලභ වරමකි. වාසනාවට අපේ රටේ මෙවැනි උණුදිය උල්පත් කීපයක් ක්‍රියාත්මකව පවතී. ඒවායින් ප්‍රධානම උල්පත ලෙස සැලකෙන්නේ අනුරාධපුර-ත්‍රිකුණාමලය මාර්ගයේ පිහිටි කන්නියා (සමහරු මෙය කින්නියා ලෙස වැරදියට උච්චාරණය කරති) උල්පතයි. දෙවැන්න බදුල්ල මඩකලපුව මාර්ගයේ පිහිටි මහ ඔය උණුදිය උල්පතයි. තුන්වැන්න මහපැලැස්ස හෙවත් මාදුනාගල උල්පතයි. තවත් උණුදිය උල්පත් කීපයක් නැගෙනහිර පළාතේ පිහිටා ඇත.

ලංකාවේ ඇති ප්‍රධාන උණුදිය උල්පත් මෙසේ දැක්විය හැක.


වහව පීඩන උණුදිය උල්පත
(ඡායාරූපය - www.panoramio.com)
කපුරැල්උ උණුදිය උල්පත

(ඡායාරූපය - www.lakdasun.com)
නෙළුම්වැව උණුදිය උල්පත

(ඡායාරූපය - exploresrilanka.lk)
මහඔය උණුදිය උල්පත

(ඡායාරූපය - flickr.com)
කිවුලේගම උණුදිය උල්පත


(ඡායාරූපය - www.lakdasun.com)
මා දකින හැටියට දැනට දර්ශනීය ලෙස සහ පහසුකම් සියල්ල සපිරි ලෙස ගොඩනගා ඇත්තේ මාදුනාගල උණුදිය උල්පතයි. මෙහි ප්‍රධාන ළිං පොකුණ නියම උණුදිය උල්පතට සම්බන්ධ කර ඇති නිසා එහි ජලය වඩා උණුසුම්ය. (සෙල්සියස් අංශක 44ක් පමණ) එතැන් සිට නළ මගින් ඊට යාබද ළිඳ වෙත ජලය සම්ප්‍රේෂණ වෙයි. මේ නිසා දෙවන ළිඳේ ජලය උණුසුම් බවින් ටිකක් අඩුය. මේ ආකාරයට ප්‍රධාන උල්පත් ළිඳට අමතරව ළිං 5ක් නිර්මාණය කර ඇත. මේ නිසා තමන් කැමති උණුසුම් මට්ටමක ජලයෙන් ස්නානය කිරීමට මෙහි එන සංචාරකයන්ට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇත.

මහපැලැස්ස උණුදිය උල්පත් ජලයේ රසායන සංයුතිය

විදේශයන්හි පිහිටි උණුදිය උල්පත්වල තත්වය බැලූවිට ඒවා බොහෝවිට ඇත්තේ සංචාරකයින්ට නැරඹීම සඳහා පමණි. ඒවායින් මිනිසුන් ස්නානය කරනු දැකිය හැක්කේ කලාතුරකිනි. එයට හේතුව අධික උෂ්ණත්වය නිසාත් එහි ජලය පතුලේ ගිනිකඳු ලාවා (මැග්මා) පිහිටන නිසාත්ය. එසේම ඒවා ලංකාවේ මෙන් ළිං බැඳ වතුර ඇදගෙන මිනිසුන්ට පහසුවෙන් ස්නානය කිරීම සඳහා නිර්මාණයකර නැත.



විදෙස්උ රටවල පිහිටි උණුදිය උල්පත්

මාදුනාගල හෙවත් මහපැලැස්ස උණුදිය උල්පතට යාමට ඇති මාර්ග

මේ සඳහා ඔබට මාර්ග කීපයක් භාවිතා කළ හැක.


1. ඔබ කොළඹ සිට මාතරට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් (Southern Expressway) යන කෙනෙකු නම් මාතර සිට හම්බන්තොට මාර්ගයේ නෝනාගම දක්වා ගමන්කළ යුතුය. නෝනාගමින් වමට හැරී ඇඹිලිපිටිය මාර්ගයේ ටික දුරක් ගොස් (ඇඹිලිපිටිය හන්දියට කලින්) පදලංගල හන්දියෙන් දකුණට හැරී සූරියවැව මාර්ගයේ ගමන් කළ යුතුය. එම මාර්ගයේ කිලෝ මීටර් 4ක් පමණ ගියවිට හමුවන කුඩා හන්දියෙන් දකුණට හැරී කිලෝ මීටර් 4ක් ගිය තැන මාදුනාගල උනුදිය උල්පත් සංකීර්ණයේ ප්‍රධාන දොරටුව සමීපයට පැමිණිය හැක. 


2. කොළඹ සිට රත්නපුර හරහා කතරගම යන අයෙකුට උඩවලවේ පැත්තට හැරෙන්නේ නැතිව තව දුරටත් ඉදිරියට ඇඹිලිපිටිය දක්වා ගමන් කළ යුතුය. ඇඹිලිපිටියේ සිට තව දුරටත් ඉදිරියට නෝනාගම පාරේ ගමන් කරන විට පදලංගල නගරය හමුවේ. එතැනින් වමට හැරී සූරියවැව මාර්ගයේ ගමන් කළ යුතුය. එම මාර්ගයේ කිලෝ මීටර් 4ක් පමණ ගියවිට හමුවන කුඩා හන්දියෙන් දකුණට හැරී කිලෝ මීටර් 4ක් ගිය තැන මාදුනාගල උනුදිය උල්පත් සංකීර්ණයේ ප්‍රධාන දොරටුව සමීපයට පැමිණිය හැක. 


3. කතරගම ගොස් අපසු පැමිණෙන වන්දනාකරුවෙකු නම් ඔහුට ද මාර්ග දෙකක් තෝරාගත හැක. හම්බන්තොට දක්වා පැමිණ එහි අධිවේගී මාර්ග සංකීර්ණයෙන් මීගහජඳුර දැක්වෙන මාර්ග පුවරුව භාවිතාකොට මීගහජඳුරට පැමිණ එතැනින් සූරියවැව හරහා පදලංගල දක්වා දිවෙන මාර්ගයේ පැමිණ ඉහත කී කුඩා හංදියෙන් වමට හැරී ඉහත කී අයුරු උණුදිය පොකුණට ළඟාවිය හැක. එහෙම නැත්නම් කතරගම සිට හම්බන්තොට මාර්ගයේ මිරිජ්ජවිල දක්වා ගමන්කර එතැන අධිවේගී මාර්ග සංකීර්ණයෙන් සූරියවැව පුවරුව භාවිතාකොට සූරියවැවට පැමිණිය යුතුය. එතැන් සිට පදලංගල දක්වා දිවෙන මාර්ගයේ පැමිණ ඉහත කී කුඩා හංදියෙන් වමට හැරී ඉහත කී අයුරු උණුදිය පොකුණට ළඟාවිය හැක.

උණුදිය උල්පතට ප්‍රවේශ වන මාර්ග සඳහන් සිතියම

උණුදිය උල්පත අවට ප්‍රදේශය

ඇතැමුන් මාදුනාගල උණුදිය පොකුණ බැලීමට යාමට බියවෙති. ඒ වෙන හේතුවක් නිසා නොව වල් අලින්ගෙන් කරදර ඇතිවේයැයි සිතන නිසාය. ඇත්ත වශයෙන් මෙම ස්ථානය අයත් ප්‍රදේශය අධ්‍යයනය කිරීමේදී එය කලකට ඉහත වල් අලින්ගේ රජදහනක්ව තිබී ඇත. අතීතයේදී හම්බන්තොට ප්‍රදේශයට දැඩි නියං සමයවල් පැවති කල්හි ජලය සොයා මෙම නොසිඳෙන ජල පොකුණ වෙත වල් අලින් පැමිණ තිබේ. ඇතැම් අවස්ථාවල කුඩා අලි පැටවුන් මෙම ජල වලට වැටී (එකල අද මෙන් ළිං බැඳ නොතිබුණි.) මරුමුවට පත්වූ අවස්ථා ද ඇත.

අතීතයේදී මෙලෙස වල්අලි පැමිණෙන්නට ඇත.
(සැකසූ ඡායාරූපයකි)



මෙම මාරක අනතුරු වැළැක්වීම සඳහාත් සංචාරකයන්ගේ පහසුව තකාත් වලවේ ව්‍යාපෘතියට අනුබද්ධ මහවැලි අධිකාරිය මගින් 1980 දී මෙම උණුදිය පොකුණ වටා තාප්ප ඉදිකළ අතර ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට වෙන වෙනම භාවිතා කිරීම සඳහා පහසුකම් සකස් කෙරිණ. ඉන්පසු අලි අනතුරු සිදුවූයේ නැත. දශකයකට හෝ දෙකකට පෙර ඝන වනාන්තරයක් මැද පිහිටි මෙම පොකුණ අද විවෘත මනරම් භූමියක පිහිටන සේ දර්ශනීයව නිර්මාණය කර ඇත. එසේම එම ස්ථානයට මනා ආරක්ෂාවක්ද යොදා ඇති නිසා අද එහි යාමට බියවිය යුතු නැත. 

මෙම ස්ථානයට මාදුනාගල උණුදිය උල්පත් යැයි ව්‍යාවහර කළත් එහි නියම නාමය මහපැලැස්ස උණුදිය උල්පත වේ. මහපැලැස්සට එන ඔබට ඒ අවට ඇති පුරාණ ගල්ලෙන් ආරණ්‍ය සේනාසන 2ක් ද දැකගත හැකිය. ඒ මාදුනාගල ආරණ්‍ය සේනාසනය සහ කරඹගල ආරණ්‍ය සේනාසනයයි. උණුදිය උල්පතට මාදුනාගල නම වැටී ඇත්තේ ඒ අසල පිහිටි මාදුනාගල ආරණ්‍ය සේනාසනය නිසා බව සිතිය හැක.

 මාදුනාගල ආරණ්‍ය සේනාසනය
(ඡායාරූපය - www.vvip.lk)


කරඹගල ආරණ්‍ය සේනාසනය

මාදුනාගලට පැමිණෙන ඔබට නැරඹිය යුතු තවත් ස්ථානයක් ඒ අසලම පිහිටා ඇත. ඒ ලංකාවේ පළමු සෆාරි සතුන්වත්ත (අලි, කොටි වනසතුන් කූඩුවල නොදමා නිදහසේ සිටින සතුන්වත්ත) වන රිදියගම සෆාරි පාක් එකයි. එය අභිනවයෙන් විවෘත කරන ලද්දේ 2016 මාර්තු 28 දින දීය.

ලංකාවේ පළමු සෆාරි උයන - රිදියගම  
(ඡායාරූපය - hirunews.lk)

රිදියගම  සෆාරි උයනේ සවාරියක් 

උණුදිය පොකුණ වෙත පහසුවෙන් ළඟාවීම සඳහා ඇඹිලිපිටියේ පදලංගල සහ සූරියවැව සිට පැමිණෙන මාර්ග ද උණුදිය පොකුණ ද වසර 2004 දක්වා පැවතියේ අබලන් තත්වකය. 2004 දී දකුණු පළාත් සභාවේ දකුණු පළාත් සංචාරක කාර්යාංශය මගින් දැනට පවතින තත්වයට ඉතා රමණීය ලෙස නැවත මෙම ස්ථානය නවීකරණය කරන ලදී.



උණුදිය උල්පත් බැලීමට යන ස්ථානයේ  ඇති ප්‍රධාන දොරටුව

විශාල වාහන නැවතුම් පලක්, ප්‍රවේශ පත්‍ර අලෙවි කරන කාර්යාලයක් හා වැසිකිළි එක් පසෙක ඇති අතර ස්නානය කරන ස්ථානයට සමීපව ඇඳුම් මාරුකරන කාමර 2ක් පිහිටා ඇත. බාහිර වෙළඳුන් හට අයත් වෙළෙඳසැල් කීපයක්ද ඇත. බීම හා ස්නැක් අලෙවිකරන ස්ථාන, බෙලිමල් හා රණවරා බීම පානය කළ හැකි කඩ, එළවළු විකුණන කඩ ඒ අතර වෙයි. 

මාදුනාගල අතීතය

ඉතාම ඈත අතීතයේදී අවුරුදු ලක්ෂ ගණනකට පෙර ස්වභාවිකවම මෙම උණුදිය උල්පත් නිර්මාණය වී තිබේ.

උණුදිය උල්පතක හරස්කඩක්  
(ග්‍රැෆික් චිත්‍රය -Sunday times/Suresh Fernando)

පුරාතනයේදී මාදුනාගල උණුදිය උල්පතට සමීපව පිහිටා තිබූ ආරණ්‍ය සේනාසනවල ඇති ගල්ලෙන්වල මහරහතන් වහන්සේලා වැඩ උන් බව සඳහන්වේ. එම රහතන් වහන්සේලා හා භික්ෂූන් වහන්සේලා මෙම උණුදිය උල්පතේ ඇති ජලයේ සමේ රෝග හා වාත රෝග නිවාරණය කිරීමේ බලයක් ඇති බව හොඳින් දැන සිටියහ. මේ නිසා උන් වහන්සේලා මෙම උණුදිය ස්නානය කිරීමට මෙම ස්ථානයට නිතිපතාම වැඩම කර තිබේ. 

ලංකාවේ සිටි කීර්තිමත් පුරා විද්‍යාඥයෙකු වූ ආචාර්ය ආර්.එල්. බ්‍රෝහියර් සිය ‘Seeing Ceylon’ නම් ග්‍රන්ථයේ මේ පිළිබඳව අපූරු සටහනක් ලියා ඇත. ඔහු කියන පරිදි අලි ඇතුන් සිය අවසන් හුස්ම හෙළීම සඳහා මේ කියන මහපැලැස්සේ උණු දිය වල වෙත පැමිණෙන බවයි.

මෙම උල්පත ඇති ළිඳෙන් ලබාගත් උණුසුම් ජලය බත් පිසීම සදහා යොදාගත්විට එම බත් නරක් නොවී දිගු කාලයක් තබාගත හැකි බව මෙහි ගම්මුන් පවසයි.

අතීතයේදී හම්බන්තොට දිසාපතිව සිටි ලෙනාඩ් වුල්ෆ් මහතා තම දිනපොතේ 1910/08/01 දින ලියා ඇති සටහනක මෙම මහපැලැස්සේ පිහිටි උණුදිය උල්පත් ජලයේ ඇති රසායනික සංයුතිය දක්වා ඇත. ඔහු මෙසේ කියයි, “ මා මේ පොකුණෙන් ලබාගත් ජලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යැව්වා. ඔහුගේ වාර්තාවේ හැටියට ජල කොටස් 10,000 ක් ගත්තොත් එයින් කොටස් 534ක ඝන ද්‍රව්‍ය අඩංගු බව දක්වල තියෙනවා. ක්ලෝරින්, මැග්නීසියම්, ලයිම් (හුණු) හා සල්පේට් අඩංගු බව එහි දැක්වෙනවා.”

අවුරුදු 50ක් නැත්නම් අඩසියවසක් තිස්සේ මහපැලැස්ස උණුදිය උල්පත මහ ඝන වනාන්තරයෙන් වැසී ගොස් තිබුණි. හරිහැටි මාර්ග නොතිබූ එකල අම්බලන්තොට - රිදියගම රජයේ ගොවිපලේ සිට මාදුනාගල ආරණ්‍ය සෙනසුන හරහා මෙම ස්ථානයට ළඟාවිය හැකිව තිබේ. එම මාර්ගයේ පැමිණෙන්නෙකුට කැලය මැදින් සැතපුම් 3ක් මගගෙවා පයින්ම පැමිණිය යුතුවිය.

එකල තිබූ අනෙක් මාර්ගය දුෂ්කර එහෙත් ත්‍රාසජනක අත්දැකීමක් ලබාගතහැකි මාර්ගයකි. ඒ සඳහා වලවේ ගඟෙන් බෝට්ටුවකින් එතෙර විය යුතුය. ලියන්ගස්තොට වැව් අමුණ අසලින් බෝට්ටුවට නැගී බෙගිගංතොටින් බැස දිවුල් ගස් වලින් පිරි කැලයක් මැද්දෙන් සැතපුම් 2-3 ක් ගමන් කිරීමෙන් පසු උණුදිය පොකුණට ළඟාවිය යුතුව තිබිණි.

එකල හම්බන්තොට දිස්ත්‍රික්කයේ (1908-1911) උප දිසාපතිව හුන් ලෙනාඩ් වුල්ෆ් වරක් මෙම උණුදිය වල සොයාගිය ගමන ඔහුගේ දිනපොතේ පැහැදිලිව ලියා තිබේ. ඔහු එම ස්ථානයට ළඟාවී ඇත්තේ ද වලවේ ගඟේ බෙගිගංතොට හරහා පැදවූ බෝට්ටුවකින් බව එහි සඳහන් වෙයි.

1960 දී එවකට පැවති රජය ජලවිදුලිය නිපදවීමටත් වාරි කටයුතු සඳහාත් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වලවේ ද්‍රෝණිය සංවර්ධනය කිරීමට තීරණයක් ගත්තේය. එය දැවැන්ත බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කරන ලදී. කෘෂි ආශ්‍රිත කර්මාන්ත ඇතිකිරීම, අළුතින් වී වගාව , වැව් අමුණු බැඳීම, විදුලි බලාගාර ඇති කිරීම, මහමාර්ග තැනීම ඒ අතර ප්‍රධාන වේ. එහි ආරම්භක පියවරක් වශයෙන් 1967 දී උඩ වලවේ ජලාශය ඉදිකළේය. ඉන්පසු ආසියානු සංවර්ධන බැංකුව වලවේ ජලාශයේ දකුණු ඉවුරේ සම්පූර්ණයෙන් සහ වම් ඉවුරේ කොටසක වාරි කටයුතු සහ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ආධාර දුන්නේය. 

උඩවලවේ බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිසා එතෙක් ගම්මුන් අතර පමණක් ප්‍රකටව තිබූ මහපැලැස්ස හෙවත් මදුනාගල උණුදිය උල්පත නැවත රටපුරා ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් බවට පත්වුණි. මෙතෙක් පොළොව මට්ටමේ දිය වලක් ලෙසින් තිබූ උණුදිය උල්පත 1960 න් පසු අඩි භාගයක් පමණ උසින් යුත් ගල් පාදමක් සහිත සතරැස් පොකුණු 5ක් ලෙස සංවර්ධනය කෙරුණු අතර සංචාරකයන්ට ස්නානය සඳහා පහසුකම් යෙදිණි. එසේම පොකුණ වෙත පිවිසීමට ක්‍රමවත් මාර්ග පද්ධතියක් ද ඉදිවිණි.

වලවේ ව්‍යාපාරයේ අගනුවර බවට පත්වූයේ ඇඹිලිපිටිය ගම්මානයයි. පෙර කල කුඩා ගමක්ව තිබූ එය අද ගාල්ල, මාතර, අම්බලන්තොට, හම්බන්තොට, තිස්සමහාරාම ඇතැම්විට වැල්ලවාය ආදී නගර යා කෙරෙන විශාල නගරයක් බවට පත්වී තිබේ. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය මගින් උඩවලව ජලාශයේ වම් ඉවුරේ ඉදිකිරීම් කටයුතු සිදුවන සමයේ සූරියවැව ගම්මානය ප්‍රධාන උප නගරයක් ලෙස සංවර්ධනය කරන ලදී. මහපැලැස්සට ළඟාවීම සඳහා සූරිය වැව සිට මාර්ගයක් ද ඉදිවිණි.

වල් අලින් පැමිණ මෙම පොකුණ ආක්‍රමණය කිරීම වැලැක්වීමට 1980 දී වලවේ ව්‍යාපෘතියට අනුබද්ධ මහවැලි අධිකාරිය මගින් උණුදිය පොකුණ වටා ගල් තාප්පය වඩා උසට ඉදිකෙරිණි. අවට මාර්ගද සංවර්ධනය කෙරිණ. කාලයාගේ ඇවෑමෙන් හා හරිහැටි නඩත්තුවක් නොවීමෙන් පොකුණද මාර්ගද අබලන් තත්වයට පත්වුණි. 2004 දී ඒ අවට ප්‍රදේශය යලිත් සංවර්ධනයට ලක්වුණි. එවර එයට දායකත්වය දුන්නේ දකුණු පලාත් සභාවේ දකුණු සංචාරක කාර්යාලයයි. මේ නිසා මහපැලැස්සට යාම සඳහා අතීතයේ තිබූ බොරළු පාරවල් වෙනුවට අද ඉතා හොඳ කාපට් ඇතිරූ මාර්ගයන් ඉදිවී ඇත.

ප්‍රවේශ පත්‍ර ගාස්තුව - වැඩිහිටි - රු. 40/- වාහන නැවතුම් ගාස්තුව රු. 50/- පිටතින් බාල්දි රැගෙන පැමිණීම තහනම් කර ඇත.

දකුණු පලාතේ සංචාරයට යන ඔබට දැන් මාදුනාගල ගොස් ඖෂධීය ජලයෙන් ගත සිත සනහාගෙන ගමනේ විඩාව දුරුකරගැනීමට අවස්ථාව සැලසී ඇත. එය ඔබට නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය.

Thursday, August 4, 2016

Wijaya Ramanayake - විජය රාමනායක



මේ පිංතූරයේ ඉන්නා පුද්ගලයාත් මෙම ලාංඡනයත් ඔබ හඳුනනවාද? අද ඉන්නා තරුණ පරපුරේ වැඩි දෙනෙක් නොදන්නවා යැයි මා සිතන ඔහු ලංකාවේ සංගීත කර්මාන්තය උඩු යටිකුරුකළ පුද්ගලයෙකි. ඔහු නමින් විජය රාමනායක වේ. අපි මෙසේ ඔහු ගැන කියමු. 1977 ආණ්ඩු පෙරලියෙන් පසු ඇතිවූ විවෘත ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ බොහෝ අය ඉසුරු සොයා මැද පෙරදිග රටවල රැකියා සඳහා ගියහ. ඔවුන් නිවාඩුවට ආපසු ගමරට බලා ඒමේදී වැඩිමනත් ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ ගෙනඒමට පුරුදු විය. ඒ භාණ්ඩ අතර කැසට් රෙකෝඩර් හෙවත් හඬ පට වාදන යන්ත්‍ර ප්‍රමුඛස්ථානයේ විය. පටිගත කර ඇති ගීත නැවත ඇසීමේ යන්ත්‍රයක් වන මෙහි ධාවනය පිණිස ගීත කැසට් පටද ඕනෑ විය. පිටරටින් යන්ත්‍ර රැගෙන එන අය ඒවාට අවශ්‍ය ගීත කැසට් පටද ශවුන් පිටරටින් රැගෙන ආහ.බොහෝවිට ඒවා හින්දි, දෙමළ හෝ ඉංග්‍රීසි ගීතය. එයට හේතුව කිසිම කැසට් පටයක් හෝ විශේෂයෙන්ම සිංහල ගීත අඩංගු කැසට් පටයක් ලංකාවේ වෙළෙඳ සැල් වලින් ලබා ගැනීමට නොහැකි වීමයි. ලංකාවේ දී ගීතයක් නැවත ඇසීම සඳහා එතෙක් භවිතා වූයේ ගීත තැටි (රෙකෝඩ්ස්) සහ එම තැටි වාදන යන්ත්‍රයි. ශූර ව්‍යාපාරික ඥාණයක් තිබූ විජය රාමනායක නම් මාධ්‍යවේදී/ව්‍යාපාරික තරුණයා මේ සිදුවන වෙළෙඳ ප්‍රතිසංස්කරණය දෙස බලා උන්නේය. ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත,කැසට්පටවලට නගා ලංකාවේම ඒවා නිෂ්පාදනය කළ නොහැකිදැයි ඔහු කල්පනා කළේය. ඔහුගේ අදහස යථාර්තයක් කිරීමට ඔහු බොහෝ වෙහෙසුණේය. (කට්ට කෑවේය.) ඔහුගේ පළමු කැසටය හෙවත් ලංකාවේ පළමු ගීත කැසටය ඔහු නිෂ්පාදනය කළේය. ඒ ගායක මිල්ටන් මල්ලවආරච්චිගේ ගීත 12ක් අඩංගු “සඳෙන් එහා” නම් කැසට් පටයයි. ඒ වනවිට කැසට් රෙකෝඩර් යන්ත්‍ර හිමිකරුවන් රැසක් ලංකාවේ සිටි නිසා එම කැසට් උණු කැවුම් මෙන් අලෙවි විය. ඉන්පසු බොහෝ ගායක ගායිකාවන්ගේ ගීත කැසට්පට එකින් එක වෙළෙඳ පලට නිකුත් විය. මෙම ව්‍යාපාරයේ සාර්ථකත්වය නිසා ලංකාවේ ව්‍යාපාරිකයෝ මහා පරිමාණයෙන් කැසට් වාදන යන්ත්‍ර ලංකාවට ආනයනය කළහ. විජය රාමනායක මහතාගේ කැසට් ව්‍යාපාරය තරංගා ඉන්ටනැෂනල් නමින් ප්‍රචලිත විය. ඉහත දැක්වූයේ එම ආයතනයේ නිල ලාංඡනයයි. තරංගා ආයතනය පිහිටියේ කොළඹ කොටුවේ රීගල් සිනමා හල ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලේය. ලංකාවේ කැසට් නිෂ්පාදනයේ පුරෝගාමියා ලෙස හැඳින්වූ විජය රාමනායක මහතා මගේ පියාගේ හොඳම මිතුරෙකි. කැසට් ව්‍යාපාරයට පෙර ඔහු සේවය කලේ මගේ පියා සේවය කළ ලේක්හවුස් ආයතනයේමය. අප කුඩා කාලයේ ඔහු අප එකල පදිංචිව සිටි මහරගම නිවසට නිතරම වගේ ආගිය පුද්ගලයෙකි. කැසට් ව්‍යාපාරය අතරතුර ඔහු චිත්‍රපට නිෂ්පාදනයට ද අත ගැසීය. ආරාධනා, කලියුගය, යුගාන්තය, රිදී නිම්නය හා මල්දෙනියේ සිමියොන් යන චිත්‍රපට ඔහු නිෂ්පාදනය කළේය. ඉන්පසු දීර්ඝ කාලයක් ඔහු ගැන තොරතුරක් නොවීය. චිත්‍රපට නිෂ්පාදනයෙන් ඔහු සිතූ ලාභය නොලැබුණු නිසාදෝ ඔහු පසු කලෙක සියළු ව්‍යාපාර නවතා රට හැරගිය බවට තොරතුරු ලැබුණි. තරමක් අසනීප තත්වයෙන් සිටියදී ඔහු මට දීර්ඝ කාලයකට පසු හමුවූයේ දැනට අවුරුදු දෙකකට පමණ පෙර ආසිරි රෝහලට පැමිණ සිටියදීය. ඊයේ පෙරේදාත් මට ඔහු හමුවුණි. ඒ අනුව ඔහු දැනට පදිංචිව සිටින්නේ මා ඉන්නා බත්තරමුල්ල ප්‍රදේශයේමය. ලංකාවේ ගායක ගායිකාවන්ට කළ සේවය වෙනුවෙන් ඔහුට උපහාර පිදීමක් හෝ ඇගයීමට ලක් කිරීමක් හෝ නොවුනු එක කණගාටුවට කරුණකි. ඔහු මේ දිනවල තම චරිතාපදානය ලිවීමට සැරසෙන බවට මාධ්‍ය මගින් දැනගන්නට ලැබුණි. මම ඔහුට දීර්ඝායුෂ පතමි.

Sunday, March 6, 2016

Laxmikant-Pyarelal ලක්ෂ්මීකාන්ත් - ප්‍යාෙරේලාල්




ලක්ෂ්මීකාන්ත් - ප්‍යාෙරේලාල් යන නාමය 70 සහ 80 දශකයේ දී ශ්‍රී ලංකාවේ හින්දි සිනමා අත්දැකීම් ඇති බොහෝ අයගේ මුවග රැව්දුන් නාමයක් බවට පත්ව තිබුණි. එම වකවානුවේ ලංකාවේ තිරගත වූ ජනප්‍රිය හින්දි චිත්‍රපට වෙනුවෙන් නිර්මාණිත වෙළෙඳ දැන්වීම් නිතර ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ අංශයෙන් ප්‍රචාරය විය. එම ගුවන් විදුලි සිනමා දැන්වීම් වලට බොහෝදුරට කටහඬින් දායකවූයේ ප්‍රවීන නිවේදකයෙකු වූ බණ්ඩාර කේ. විජේතුංගයන්ය. එකල ජනප්‍රිය වූ ඇතැම් හින්දි චිත්‍රපට සඳහා එම දැන්වීම් වෙනුවෙන් ඔහුගේ ගැඹුරු කටහඬින් නිතර පිටවූ වදනක් තවමත් මගේ මතකයේ ඇත. ඒ නම් “සංගීතය, ලක්ෂ්මීකාන්ත් - ප්‍යාෙරේලාල්” යන්නයි. 

ලක්ෂ්මීකාන්ත් - ප්‍යාෙරේලාල් යනු 60,70 හා 80 දශකය තුල ඉන්දීය සිනමාවට සංගීතය සැපයූ ප්‍රකට සංගීතඥයන් දෙපළකි. 1963 සිට 1998 දක්වා ඔවුන් දෙදෙනා එක්ව සංගීතය සැපයූ චිත්‍රපට සංඛ්‍යාව 635 කි. රාජ් කපූර්, දේව් ආනන්ද්, බී.ආර්. චොප්රා, ශක්ති සමන්තා, මන්මෝහන් දේසායි, යෑෂ් චොප්රා, සුභාෂ් ගයි හා මනෝජ් කුමාර් යන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවලට මෙසේ ඔවුන් සංගීතය සපයා තිබුණි.

ඔවුන් එකිනෙකාගේ වගතුගත් චිත්‍රපට සංගීතයේ පෙරලියක් කිරීමට ඔවුන් දෙදෙනා එකට එක්වූ අයුරුත් කියවෙන අපූරු කතාන්දරය මෙසේ ඉදිරිපත් කරමි....

සම්පුර්ණ නම - ලක්ෂ්මීකාන්ත් ශාන්තරාම් කුදර්කර්
උපන්දිනය-1937 නොවැ.03 අභාවය - 1998


ලක්ෂ්මීකාන්ත්


1937 නොවැම්බර් 03 ඉන්දියාවේ ආගමික උත්සවයක් වන ලක්ෂ්මී පූජා දිනයේ ඔහු උපන් බැවින් ඔහුට දෙමව්පියන් විසින් ලක්ෂ්මීකාන්ත් ලෙස නම් තැබූ බව සඳහන්වේ. මුම්බායි වල “විලේ පාල්” නම් ගම්මානයේ පැල්පතක අන්ත දුගී ලෙස තම ළමාවිය ගෙවීමට කුඩා ලක්ෂ්මීකාන්ත්ට සිදුවිය. ඔහුගේ පියා ඔහු කුඩා වියේදීම මියගියේය. පවුලේ ආර්ථික අගහිඟකම් නිසා ඔහුට උසස් අධ්‍යාපනය හැදෑරීමේ මග ඇහිරී ගියේය. ඔහුගේ පියාගේ මිතුරකු සංගීතඥයෙකු විය. නිවසේ සිටි ලක්ෂ්මීකාන්ත්ට හා ඔහුගේ වැඩිමල් සහෝදරයාට සංගීතඥයාගෙන් ආරාධනාවක් ලැබිණි. ඒ තමා ළඟට පැමිණ සංගීතය ඉගෙන ගන්නා ලෙසයි. ඒ අනුව ලක්ෂ්මීකාන්ත් මැන්ඩලීනයත් ඔහුගේ සහෝදරයා තබ්ලාවත් පුරුදුවන්නට පටන් ගත්හ. වසර කීපයකින් ලක්ෂ්මීකාන්ත් මැන්ඩලීන් වැයීම පිළිබඳ අති දක්ෂයෙකු විය. ඒ වනවිටත් ආර්ථික අහේනියකින් සිටි ඔහු ඉන්පසු ඉන්දියානු ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග සංවිධානය කිරීමටත් පැවැත්වීටත් පටන්ගත්තේ තම මූල්‍ය ශත්තියද තරකරගැනීමේ අදහසිනි. පසුව ඔහුට ප්‍රකට සංගීතඥයෙකුව සිටි “බාල් මුකුන්ද්” වෙතින් මැන්ඩලීනය තව දුරටත් ප්‍රගුණ කරගැනීමට අවස්ථාවක් ලැබුණු අතර තවත් ප්‍රවීන සංගිතඥයකුව සිටි “හසන් ලාල්” වෙතින් වයලීන වාදනයද ඉගෙන ගත්තේය.

සම්පුර්ණ නම - ප්‍යාෙරේලාල්  රම්ප්‍රසාද් ෂර්මා
උපන්දිනය-1940 සැප්. 03 (තවමත් ජීවත්ව සිටී)

ප්‍යාෙරේලාල් එදා


ප්‍යාෙරේලාල් අද

ප්‍යාෙරේලාල් 1940 සැප්තැම්බර් 03 දින වත්මන් උත්තර් ප්‍රදේශයේ “ගොරක්පූර්” දිස්ත්‍රික්කයේ උපත ලැබූ අතර ඔහු එකල සිටි ප්‍රකට ට්‍රම්පට් වාදකයෙකුවූ “රාම්ප්‍රසාද් ෂර්මාගේ” පුත්‍රයායි. එම නිසා ප්‍යොරේලාල් සංගීතයේ මුලකුරු ඉගෙනගත්තේ තම පියාගෙනි. වයස අවුරුදු 8 දී ඔහු වයලීනය වයන්නට පටන් ගත්තේය. දිනකට පැය 8ක් හෝ 12 ක් හේ වයලීනය පුහුණුවිය. වයලීන් වාදනය ප්‍රගුණ කරගත්තේ ගෝවේ සිටි පෘතුගීසි සංගිතඥයෙකුවූ “ඇන්තනි ගොන්සාලෙව්ස්” ගෙනි. (තම වයලීන ගුරුවරයාවූ මෙතුමාව සිහි කිරීම සඳහා පසුකලෙක චිත්‍රපටයක Amar Akbar Anthony ගීතයක් ද නිර්මාණය කලේය. මෙම චිත්‍රපටයට සංගීතය සැපයුවේ ද ලක්ෂ්මීකාන්ත් - ප්‍යාෙරේලාල් ද්විත්වයයි.) ඔහුගේ වයස අවුරුදු 12 වනවිට පවුලේ ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් පිරිහෙමින් පැවතියෙන් මුදල් සෙවීම සඳහා කලාගාරවල ප්‍රසංග පැවැත්වීමට ඔහුට සිදුවිය. මේ අනුව “රංජිත් කලාගාරය” වැනි ප්‍රසිද්ධ කලාගාරවලට ගොස් තම වයලීන වාදනයෙන් ඉපැයූ මුදල් ඔහු තම පවුල නඩත්තු කිරීම සඳහා යෙදවීය.

ලක්ෂ්මීකාන්ත්ට හා ප්‍යොරේලාල් හමුවීම
අවුරුදු 10ක් තරම් කුඩා වියෙහිදී ලක්ෂ්මීකාන්ත්ට වරක් ගුවන්විදුලි සමාජයක් විසින් මෙහෙයවූ ලතා මංගේෂ්කාර් සහභාගීවූ සංගීත ප්‍රසංගයක මැන්ඩලීන් වාදනය කිරීමට අවස්ථාවක් ලැබුණි. මැන්ඩලීන් වාදනය පිළිබඳ පැහැදුණු ලතා මංගේෂ්කාර්, පුංචි වාදකයාට ප්‍රසංගයෙන් පසු තමා හමුවන ලෙස පැවසීය. මංගේෂ්කාර් පවුලේ අය විසින් පවත්වාගෙන ගිය ළමයින් සඳහා වූ සංගීත ආශ්‍රමයක් වන “සුරීල් කලා කේන්ද්‍රයේ” දී ලක්ෂ්මීකාන්ත්ට ප්‍යොරේලාල් හමුවිය. ළමයින් දෙදෙනාගේම පවුල්වල ආර්ථික අගහිඟකම් දැනගත් ලතා මංගේෂ්කාර් ඔවුන්ව මහා සංගීතඥයන් වන නෞෂාඩ්, සචින් දේව් බර්මාන් හා රාමචන්ද්‍ර වෙත යොමු කලාය. එකම වයස් සීමාවල සිටි නිසා හා එකම ආර්ථික පසුබිමක් තිබූ නිසා ළමයින් දෙදෙනා ඉක්මණින්ම කල්‍යාණ මිත්‍රයින් බවට පත්විය. ඉන්පසු ඔවුන් වැඩි කාලයක් ශබ්දාගාරවල ගතකළ අතර සංගීතයට අදාල සියලු කාර්යයන් ඔවුන් දෙදෙනා එකට සිදුකළහ.

ලක්ෂ්මී - ප්‍යාෙරේ  දෙපළ 1950 වසරවල එකල නම්දරාපු බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ වැඩකළහ.(ඕ.පී. නයියාර් සහ ෂන්කර් ජායිකිෂන් හැර) 1953 සිට 1963 දක්වා ඔවුන් තවත් සංගීත ද්විත්වයක්වූ කල්යාන්ජි-ආනන්ජි යටතේ සහායකයින් ලෙස වැඩකළහ. තවද ඔවුන් නැවතත් සචින් දේව් බර්මාන් හා ඔහුගේ පුත් රාහුල් දේව් බර්මාන් (R.D. බර්මාන්) වැනි සංගීත අධ්‍යක්ෂවරුන් යට‍තේ ද සහායකයින් වූහ. ලක්ෂ්මී - ප්‍යොරේ දෙපළ ස්වාධීන සංගීත නිර්මාණයන් කිරීමට පටන්ගත් පසුවද R.D. බර්මාන් ඔවුන්ගේ කුලුපග මිතුරෙකු විය. දෝස්ති චිත්‍රපටයේ සියලු ගීත සදහා මවුත් ඕගනය වාදනය කළේ R.D. බර්මාන්ය.

ලතා මංගේෂ්කාර්ගේ ගීත 700 කට පමණ ලක්ෂ්මී - ප්‍යොරේ දෙපළ සංගීතය නිර්මාණය කළ අතර ඉන් බොහොමයක් ජනප්‍රියත්වයේ හිනි පෙත්තට නැගුණි. 


සංගීතඥයින් දෙපළ තනු නිර්මාණයේදී..


මොහොමඩ් රාෆි සඳහා සංගීතය මෙහෙයවමින්



ගීත කෝකිලා ලතා මංගේෂ්කාර් සමග එදා


ලතා මංගේෂ්කාර් සමග පසු කාලයකදී


සංගීතඥයින් දෙපළ තරුණ කාලයේදී සහ
මැදි වයසේදී..



චිත්‍රපට පසුබිම් සංගීතයේ ජයකෙහෙළි නැංවූ ඔවුන් දෙපළ සංගීතවත් තළ චිත්‍රපට කීපයක් මෙසේය.
1960 - රූප් තෙරා මස්තානා / 1964 - රාජ්කුමාර් / 1970 - මස්තානා / 1971 - හාති මෙරේ සාති / 1972 - ගෝරා ඕර් කාලා / 1973 - බොබී / 1975 - ප්‍රේම් කහානි / 1978 - සත්‍යම් ශිවම් සුන්දරම් / 1979 - සාගම් / 1980 - දොස්තානා / 1987 - මිස්ට ඉන්ඩියා / 1993 - කල්නායක් / 1990 - අග්නිපත් 

(වසර 1963 සිට 1998 දක්වා ඔවුන් සංගීතය සැපයූ මුලු චිත්‍රපට සංඛ්‍යාව 623 කි.)
මෙම චිත්‍රපට වල දැක්වෙන ගීත ජවනිකා ස‍ඳහා ඔවුන් මධුර මනෝහර ගී තනු දහස් ගණනක් නිර්මාණය කර තිබේ.

ඔවුන්ගේ ඇතැම් ජනප්‍රිය හින්දි තනු සිංහල චිත්‍රපට ගීත සඳහාද යොදාගෙන ඇති අතර පහත දක්වා ඇත්තේ එවැනි ගීත ලැයිස්තුවකි. බලන්න ඔබට මේ ගීත මතකද කියා. ලක්ෂ්මීකාන්ත් - ප්‍යාෙරේලාල් සුසංයෝගය මගින් ලොවට බිහිකර ඇති නිර්මාණ වල රසය මෙමගින් මොනවට පැහැදිලි වෙයි.

1. මොහිදීන් බෙග් ගයන - ඔය හද පතාල ආමි
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=5KBG97RbOt4


මොහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර් ගයන

ජබ ජබ බහාර ආයේ (Jab Jab Bahar AAyi)
හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=mrY6FIQcbYY

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල් 

2. එච්.ආර්. ජෝතිපාල ගයන - මේ ජීවනයේ මුළු සංසාරේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=sqQ7b5o_zvo


කිෂෝර් කුමාර් ගයන - යේ ජීවන් හේ (Yeh Jeevan Hai)
හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=VnaLbRHE1PM

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

3. සුජාතා අත්තනායක ගයන - සත්‍යයි ඔබේ දර්ශනේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=0SdoOXW15-k


ලතා මංගේෂ්කාර් ගයන - සත්‍යම් ශිවම් සුන්දරම් (Satyam Shivam Sundaram)
හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=BdU3qP5EYoY

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

4. එච්.ආර්. ජෝතිපාල ගයන - ආදර මධුර අතීතේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=ctVgZ0HIOcg


මොහොමඩ් රාෆි ගයන - කොයි ජබ රාහන පායේ (Ko Jab Rah Na Paye)
හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=SYAgl9nDoY8

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

5. එච්.ආර්.ජෝතිපාල- ඇන්ජලින් ගුණතිලක ගයන - කලක් තිස්සේ සිතක් පතුලේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=XgXB-lAaRRI


මොහමඩ් රාෆි/ලතා මංගේෂ්කාර් ගයන -

මුජේ තේරී මොහාබතකා සහාරා (Mujhe Teri Mohabbat Ka Sahara)

හින්දි ගීතයේ යූ ටියුබය

https://www.youtube.com/watch?v=DbHg4sMPuJw


හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

6. ඉන්ද්‍රානි සේනාරත්න ගයන - හොඳ හොඳ ළමයින් අපි වාගේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=SMv9GWkyoIE


සුලක්ෂණ පණ්ඩිත්/ ලතා මංගේෂ්කාර්/ ඌෂා ඛන්නා ගයන -

සාත් සමුන්දර් පාර සී (Saat Samundar Paar Se)
හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=nSE02xgZn5E

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්


7. එච්.ආර්.ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක ගයන - අහා අහා ආදරණීය සිනාවේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=fbX5eiyTTLE


මොහමඩ් රාෆි ගයන - අහා අහා ආයෙ සුහානා සෆර් (Aha Aha Aa Yeh Suhaana Safar)
හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=NAlDIhrK_lw

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල් 


8. ලතා වල්පොල ගයන - මේ සුබ උපන්දිනේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=A2JieGGZUW8


මොහමඩ් රාෆි ගයන - ඕ මයි ලව් (Oh My Love)
හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=i_1q6BWLAOI

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්


9. එම්.එස්. ප්‍රනාන්දු / ඇන්ජලින් ගුණතිලක ගයන - අහා හැඩයි රූපේ බෝනික්කි වාගේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=spdtDnQKpKU


කිෂෝර් කුමාර් ගයන - යහා වහා සාරේ (Yahan Wahan Sare)
හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=Z_Uq9-EMAyk

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල් 

10. එච්.ආර්.ජෝතිපාල ගයන - ආලෝකේ බිහිවී නැතිවෙයිදෝ

සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=_a_ptheDGUs


මොහොමඩ් රාෆි ගයන - ආනේ සේ උසේකේ (Aane Se Uske)
හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=4qwFpKmYH4k

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්



11. එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක ගයන - මීදුම් ගලා කන්දේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=Ik1C1Je7de8


මොහොමඩ් රාෆි ගයන - සාරේ සමානේ පේ (Sare Zamne Pe )
හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=J2NjFwUP5qc

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල් 


12. එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක ගයන - ජීවනයේ මීවනයේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=kSafRNA9WOs


මොහොමඩ් රාෆි/ ආශා බෝස්ලෙ ගයන - මාන් ජායියේ මාන් ජායියේ (Maan Jaie Maan Jaiye)

හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=NgbthYZrU4Q

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල් 


13. එච්.ආර්.ජෝතිපාල ගයන - රත්තරන් සඳක් පායන්නයි

සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=Qtjo3fMDgOo


මොහොමඩ් රාෆි ගයන - බාර බාර දින යේ ආයේ (Baar Baar Din Ye Aayay )

හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=Jn9_6yINCy4

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්

Sunday, January 17, 2016

Shantha Deshabandu දවාලෙ පායන චන්ද්‍රයා බැසයයි.


දවාලෙ පායන චන්ද්‍රයා බැසයයි.

කලක් රූපවාහිනී සංස්ථාවේ සහකාර නිෂ්පාදකයෙකු වශයෙන් සේවය කළ ප්‍රවීන ගේය පද රචක ශාන්ත දේශබන්ධු සහෝදරයා 2016 ජනවාරි 15 දා දැයෙන් සමු ගත්තේය.


1983 දී රූපවාහිනියට එක්වූ මා වැඩිකල් නොගොස් ඔහුගේ මිතුරකු වූයේ ඔහු කවදත් කා අතරත් හොඳ විනෝදකාමියෙකු වූ නිසාය. අප ඔහුව ළඟින් ආශ්‍රය කළත් ඔහුගේ කලා හැකියාව අපට ඒ කාලයේ හඳුනා ගත නොහැකි වූයේ ඔහුගේ එම හැකියාව මතුකර පෙන්වීම සඳහා ඔහුට අත දීමට හැකි අයෙක් නොසිටි නිසා බව මට අද හැඟේ. ඉන් වසර ගණනාවකට පසු අබේවර්ධන බාලසූරිය මහතාගේ ප්‍රිය භාර්යාව වූ නෙරංජලා සරෝජනී මහත්මිය ගයන මනමාලිය වී හෙට දවසේයන ඉතා ජනප්‍රිය ගීතය රචනා කිරීමට ශාන්තට අවස්ථාව ලැබුණි. එවකට රූපවාහිනියේ ඉතාම ජනප්‍රිය වැඩසටහන වූයේ නන්දන වින්දන සංගීතමය වැඩසටහනය. එය නිෂ්පාදනය කලේ අබේවර්ධන බාලසූරිය මහතාය. ඒ නිසා නන්දන වින්දන වැඩසටහනේ එම ගීය ප්‍රචාරය වූ අතර ගීය අතර තුර ප්‍රචාරය වූ ගීත රචනය - ශාන්ත දේශබන්ධු යන සිරස්තලය නිසා ශාන්ත දේශබන්ධු ගීත රචකයෙකු ලෙස රසිකයින්ගේ සිත් සතන් පුරා පැල පදියම් විය. මේ ගීය නිසා ඔහුට හොඳ ගී රචනා ශක්තියක් ඇතැයි සිතූ ඇතැම් සංගීත ශිල්පීන් සහ ගායක ගායිකාවන් ඔහු සොයා ඒමට පටන් ගත්හ. 
නමුත් රූපවාහිනී ආයතනයේ රැකියාවට ඒමට පෙර ශාන්ත දේශබන්ධු ගීත රචනය, රඟපෑම, නාට්‍ය රචනය හා අධ්‍යක්ෂණය හා චිත්‍රපට නිෂ්පාදන සහායකවරයෙකු ලෙස පෙර අත්දැකීම් ලබා තිබුණි.

මහජන ගෞරව සඳහා ඔහුගේ දේහය අවසන් වරට තැන්පත් කළ කොළඹ සුදර්ශී ශාලාවත් ශාන්ත දේශබන්ධු කලාකරුවාත් අතර කිට්ටු සම්බන්ධයක් ඇති බව දන්නේ ඔහු ළඟින්ම ඇසුරු කළ කීප දෙනෙක් පමණි. ශාන්ත දේශබන්ධු සහෝදරයා දීපාල් සිල්වා, නිහාල් සිල්වා, නිමල් ලක්ෂපති ආරච්චි, සේනානායක වේරලියද්ද ආදින් සමග නිතරම සුදර්ශී ශාලාවේ ඇති නුගගහ යටට එකතුවන බව (සෙට් වෙන බව) මට දැනගන්නට ලැබුණා. රූපවාහිනියේ වැඩ ඇරී බොහෝ දිනවල සවසට ඔහු යන්නේ සුදර්ශී එකටය. මේ නිසා ශාන්තගේ ගජ මිතුරෙකු වූ නිමල් ලක්ෂපති ආරච්චි මහතා පසු කලෙක රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වන විටත් ශාන්ත රූපවාහිනියේ රැකියාව කරමින් හුන්නේය. තනතුරු උසස් කර ගැනීමට සිය මිතුරාගෙන් උදව් ඉල්ලීමට ශාන්තට උවමනා නොවීය. එය නොහොබිනා ක්‍රියාවක් ලෙස ඔහු සිතුවේය. ශාන්ත කවදත් උත්සාහ කළේ සිය සහජ හැකියාවෙන් ඉදිරියට යාමටය.  

නුගගහ යට ශාන්තගේ තවත් ගජ මිතුරෙකු වූ නැසීගිය ප්‍රවීන විකට ශිල්පී නිහාල් සිල්වා මහතාගේ එවකට නවතම නාට්‍ය නිර්මාණය වූ සාජන්ට් නල්ලතම්බි වේදිකා නාට්‍යය ස‍ඳහා ගීත ලිවීමේ භාග්‍යයද ශාන්තට හිමිවිය. මේ නාට්‍යය ගැනද යමක් කිව යුතු යැයි හැඟේ. ඒ කාලයේ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන වේදිකා නාට්‍යයක් බැලීමට යාමට තරම් උනන්දුවක් ලංකාවේ ප්‍රෙක්ෂක ජනතාවට නොවීය. කෙටියෙන් කිව්වොත් බොහෝ වේදිකා නාට්‍ය රංග ශාලා වේලී ගොස් තිබුණි. මේ තත්වය උඩු යටිකුරු කළේ සාජන්ට් නල්ලතම්බි නාට්‍යය යැයි කිව්වොත් එහි වරදක් නැත. එකල තිරගත වූ ජනප්‍රිය සිංහල චිත්‍රපට වලටත් වඩා මහා ජන ගංගාවක් නල්ලතම්බි නාට්‍යය බැලීමට පොරකෑහ. නාට්‍ය දර්ශන බැලීම සඳහා ශාලා අභියස දිගු පෝලිම් පවා දක්නට ලැබුණි. දිවයින පුරා එම නාට්‍යය පෙන්වීමට නාට්‍ය සංවිධායකයින් පියවර ගත්හ. මේ නිසා කාට කාටත් කරල පැහුණි. මේ නාට්‍යය ජනප්‍රිය වීමට ප්‍රධාන කරුණු දෙකක් බලපෑවේය. එකක් නිහාල් සිල්වා මහතාගේ ප්‍රබල රංගනයයි. අනෙක නාට්‍යයේ එන අමුතු තාලේ ගීත කීපයයි. විශේෂයෙන්ම එහි එන දවාලෙ පායන චන්ද්‍රයා මේ අව්වා මේ අව්වා. මමයි කනත්තේ භෘංගයා මේ අව්වා මේ අව්වා යන ගීතයයි. එය රචනා කළේ අපේ කලාකරු ශාන්ත දේශබන්ධු විසිනි. නාට්‍යයේ සියළුම ගීත ශාන්තගේය. නාට්‍යයේ නිෂ්පාදක නිහාල් සිල්වා මහතා තමාට ලැබුණු මුදල් වලින් නියමිත කොටස ගීත රචක තම මිතුරු ශාන්තට දීමට අමතක නොකළේය. මේ නිසා මුදල් අඟ හිඟකමින් පෙළුණ ශාන්තට මෙය මහත් අස්වැසිල්ලක් විය.

ශාන්තගේ තවත් මිතුරෙතු වූ සේනානායක වේරලියද්ද මහතා වඩාත් ජනප්‍රිය වූයේ එනම් ජනතාව අතරට ගියේ ශාන්ත දේශබන්ධු නිසා යැයි විවාදයකින් තොරව පැවසිය හැක. වේරලියද්ද ගයන සාගරය බඳු වේදනාවෝ, මගේ ජීවිතේ පුරා-එකම සිතින් ප්‍රාර්ථනා, මල් පබා ,මල් වියනෙන් බැඳි ගීත ශාන්තගේය. එසේම එඩ්වඩ් ජයකොඩි ගයන ගමේ පන්සල-අපේ පන්සලතවත් එකකි. නව පරපුරේ ගායක ගායිකාවන්ටද ශාන්ත ගී ලියා ඇත. සශිකා නිසංසලා ගයන මල් සර හී සරින් අජිත් රන්දුණුගේ ගයන පොල්කටු වලින් මුට්ටියෙ බත තැම්බෙනවා ඉන් කීපයකි. මේ ලිපිය ලියන අවස්ථාව වනවිට ඔහු ලියූ සම්පූර්ණ ගීත ලැයිස්තුව සොයාගැනීමට මට කාලය මදිවූ බව කිව යුතුය.

ශාන්ත දේශබන්ධු යනු කලාවන් කීපයකින් එකවර දස්කම් පෑ විරල ඝනයේ කලාකරුවෙකි. කවි රචනා කලාවද ඔහුට අපූරුවට පිහිටා තිබුණි. සම්මා සංකල්පනා සහ රඹුටන් වත ඔහු ලියූ කවි සංකල්පනා ග්‍රන්ථ දෙකකි. එසේම සත්‍යයෙහි සංකල්පනා” නමින් ඔහු ගීත සංග්‍රහයක් ද එළි දැක්වීය. එමපණක් ද නොව ඔහු දක්ෂ නාට්‍ය  නිෂ්පාදකයෙකු ද වන්නේය. තණ්හාපති”, හංසකුමාරි” ඒ වගේම  තාප්පෙන් එහා සහ මිනිහ (මිනිහා නොව) ඔහු නිෂ්පාදනය කළ නාට්‍ය හතරකි. අවසන් නාට්‍ය දෙක සඳහා ප්‍රධාන තේමා ලාංඡනය සකස් කර දුන්නේ මා විසිනි. තාප්පෙන් එහා ප්‍රථම මංගල දර්ශනය වේදිකා ගත වූයේ ලුම්බිණි රඟහලේදීය. ඔහුගේ ආරාධනයෙන් මා එය බැලීමටද ගියෙමි. මේ කාලය වන විට අගහිඟ කමින් ‍පෙළුණ ඔහු මෙම නාට්‍ය පවා නිර්මාණය කර වේදිකා ගත කලේ එයින් හෝ තම ජීවිතය සාර්ථක කරගැනීමටය. අපට පුළුවන් ආකාරයට ඔහුට උදව් කළත් ඔහුව සාර්ථක කිරීමට යමක් කමක් ඇති උදවිය ඔහුට අත දුන්නේ නැත. මේ නාට්‍යය පවා ඔහු ඉදිරිපත් කලේ තමාගේ අතේ ඇති සුළු මුදලකින්ය. මේ නිසා ඔහුගේ නාට්‍ය අසාර්ථක විය.

ශාන්ත උපන්නේ 1951 ඔක්තෝබර් 09  දින කොළඹ දීය. ඔහුගේ සැබෑ නම දොන් සෙනරත් පියසිරි අතපත්තු ය. පියා දොන් සේතන් අතපත්තු වූ අතර මව කන්නන්ගරගේ ඇසිලියා පියවතීය. සාමාන්‍ය පෙළ විභාගය කිරීමට 1964 දී වැල්ලවත්ත මහා විද්‍යාලයට ඇතුලත් වූ ඔහු පාසලේදී ද හැකි සෑමවිටම කලා කටයුතු වල නිරත විය. 

පාසල් අධ්‍යාපනයෙන් පසු චිත්‍රපට හා වීඩියෝ නිෂ්පාදන ආයතන කීපයක රැකියාව කරමින් එම නිෂ්පාදන කාර්යයන් පිළිබඳ මනා පුහුණුවක් ලබාගත්තේය. 1982 පෙබරවාරි මස ජාතික රූපවාහිනිය ආරම්භ විය. ජාතික රූපවාහිනියේ නිෂ්පාදන ක්ෂේත්‍රෙයේ රැකියාවක් ලබාගැනීම ශාන්තගේ එකම සිහිනය බවට පත්ව තිබුණි. නමුත් එකවරම එය ලබාගැනීම පහසු නොවන බව ශාන්තට අවබෝධ විය. එයට හේතුව කොපමණ දක්ෂතා තිබුණත් එකවර උසස් රැකියාවකට යාමට නම් ඉහළ අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය වීමය. නමුත් ඔහු උත්සාහය අත හැරියේ නැත. සුළු රැකියාවක් ලබාගෙන හෝ රූපවාහිනිය තුලට පැමිණ ඉදිරියේදී තම අරමුණ ඉටුකර ගැනීම ශාන්තගේ ඒකායන අරමුණ විය.

ඔහුගේ බලාපොරොත්තු සඵල වෙමින් 1982 අගෝස්තු 27 දින සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට ඉන් දින තුනකට පසු පත්වීම ලැබිණ. ඒ අනියම් කාර්යාල කම්කරු යන තනතුරයි. සේවා ස්ථානය වූයේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයයි. වැටුප ලෙස ලැබුණේ දිනකට රුපියල් 13 ක දීමනාවකි. එය ජීවත්වීමට තරම් ප්‍රමාණවත් වැටුපක් නොවුණත් ඔහු සතුටින් තම රැකියාවේ නිරත විය. රාජකාරී කටයුතු හොඳින් සිදුකළ හෙයින් ශාන්ත අවුරුද්දක කාලයකින් ස්ථිර තනතුරකට හිමිකම් කීය. ඔහුට කාර්යාල සහායක නම් ස්ථිර තනතුර හිමිවිය. පුහුණු මධ්‍යස්ථානයට අමතරව රජයේ විගණන කාර්යාලයේද, පුස්තකාලයේ කටයුතුද ශාන්තට පැවරිණ.


1985 සැපයීම් අංශයට මාරුවක් ලද ඔහු එම අංශයේ අවුරුදු 11 ක් සේවය කළේය. එම අවුරුදු 11 කාලය ඇතුලත තම රාජකාරී වලට අමතරව රූපවාහිනියේ විවිධ නිෂ්පාදන කටයුතු වලට සම්බන්ධ වීමට ශාන්තට අවස්ථාවක් හිමිවුනේ බලධාරීන්ගේ අනුමැතිය ද ඇතිවය. මෙහිදී පහත සඳහන් කලා කටයුතු වලට හේ දායක විය. 


1. ප්‍රථම ශ්‍රී පාද සජීවී වැඩසටහනේ නිෂ්පාදන සහායකයෙකු වශයෙන් කටයුතු කිරීම.
2. සවනක් රැස් වැඩසටහනේ නිෂ්පාදන සහකාරවරයෙකු ලෙස වැඩ කිරීම.
3. ඉන්දියානු චිත්‍රපටයකට ගීත ලිවීම.
4. ගීත රචනය - ප්‍රවීන ගායක ගායිකාවන් සඳහා ගීත ලිවීම.
5. නාට්‍ය නිෂ්පාදනය/ නාට්‍ය රඟපෑම - තාප්පෙන් එහා
6. වීඩියෝ චිත්‍රපට නිෂ්පාදනයේදී සහාය අධ්‍යක්ෂවරයෙකු වශයෙන්  සේවය කිරීම - ප්‍රෙසිෂන් ප්‍රොඩක්ෂන් ආයතනය.
5. ටයිටස් තොටවත්ත මහතාගේ නිෂ්පාදන වලට දෙබස් හඬදීම.
6. චිත්‍රපටිවල රඟපෑම - 

බලවත් උත්සාහයක් ගෙන ඔහු 1996 දී ඊ.එන්.ජී. ඒකකයට (බාහිර නිෂ්පාදන සේවා කටයුතු ඒකකයට) පත්වීමක් ලබාගත්තේය. ඒ ඊ.එන්.ජී. සහායක තනතුරටය. 2001 වසරේදී ඔහු තවත් ස්ථාන මාරුවක් ලබාගත්තේය. මෙවර ඔහුට හිමිවුනේ විශේෂ වැඩසටහන් ඒකකයයි. මේ තනතුර හරහා නිෂ්පාදන කාර්යයන්ට බොහෝදුරට සහාය වීමට ලැබුණෙන් ඔහු සිත යට තිබූ ඒකායන බලාපොරොත්තුව සඵල වීමට ආසන්න යැයි ඔහුට සිතෙන්නට ඇත. 

මේ කාලයේදී ඔහු විවාහ දිවයට එළඹිණ. විවාහයෙන් ඔහු නිවුන් දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවට පත්විය. ඒ පුතෙකු හා දුවෙකු වශයෙනි. වැඩිමලා පුතු විය. හේ ඔවුන් දෙදෙනාට අසීමිතව ආදරය කළේය. අවාසනාවකට එයින් බාල දියණිය කුඩා කාලයේම අකාලයේ මිය ගියාය. ඒ නිවසේ වත්තේ පිහිටි ජල පොකුණක වැටීමෙන්ය. ජීවිතයේ දුක්ක දෝමනස්සයන්ට පත් වුණත් ශාන්ත ඒ කිසිවක් කාටත් නොකියා  කාටත් නොපන්වා සුපුරුදු ලෙස තම රාජකාරී අකුරට ඉටු කළේය. 

ඊ.එන්.ජී. සහායක තනතුර වෙනුවට සුදුසු තනතුරක් ඔහු අපේක්ෂා කළේය. ඔහු මෙතෙක් ආශාවෙන් සිටි හා බලාපොරෝත්තුව සිටි තනතුර ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේය. ඒ නිෂ්පාදන සහකාර තනතුරයි. ඇතැම් අයගේ විරෝධතා මැද නොබියව එම තනතුර ශාන්තට ලබාදීමට මූලිකව ක්‍රියා කළේ එවකට අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සිටි ප්‍රවීන පරිපාලන නිලධාරියකු වන වජිර නාරම්පනාව මහතාය. එයට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ද අනුමැතිය හිමිවිණ.  

මේ අනුව 2002 දී ශාන්තට නිෂ්පාදන සහකාර තනතුර හිමිවූ අතර සංගීත ඒකකයට මාරුවීමක් ද ලැබුණි. සංගීත ඒකකයේ සංගීත වැඩසටහන් රාශියකට සම්බන්ධවීමට ශාන්තට මේ මගින් අවස්ථාව හිමිවිය. දීර්ඝ ‍සේවා කාලයේ අවසන් අවුරුදු කීපයේදී හෝ ශාන්තට උරුමවූ අවස්ථාව ලැබීම සතුටක් මෙන්ම දුකක්ද මිශ්‍ර හැඟීමක් මට ඇතිවිය. මොකද වසර කීපයකට පෙර ඔහුට මෙම තනතුර ලැබුණි නම් ඔහුගේ රූපවාහිනී නිර්මාණ රැසක රසය විඳීමට අපට අවස්ථාවක් ලැබෙන්නට තිබුණි. 2006 දී විශ්‍රාම යනතුරු ඔහු මේ තනතුර දැරීය. 

ශාන්ත දේශබන්ධු කලාකරුවාගේ වටිනාකම කාටත් දැනුණේ ඔහු මිය ගිය පසුය. මා කලින් නැවත නැවතත් සඳහන් කළ පරිදි ඔහුගේ හැකියාව ඔප මට්ටම් කිරීමට බලවත් අයගේ උදව්වක් නොලැබීම අවාසනාවකි. එසේම කළ සේවයට ඔහුට උපහාරයක් කිරීමටවත් කෙනෙකු හෝ ආයතනයක් ඉදිරිපත් නොවීමද ගැටළුවකි. කෙසේ වෙතත් අප ඔහුට අවසන් ගෞරවය පුද කරමු. පවුලේ ඉතිරි සාමාජිකයින්ගේ සුවදුක් සොයා බලමු. ශාන්ත දේශබන්ධු කලාකරුවානෙනි, ඔබට නිවන් සුව අත්වේවා.

Wednesday, January 6, 2016

Actress Sadhana Shivdasani passes away - සධානා ජීවිතයෙන් සමුගනී.



සධානා ජීවිතයෙන් සමුගනී.


පැරණි හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය නිළියක් වූ ප්‍රවීන නිළි සධානා ශිවදාසනී පසුගිය නත්තල් දින (2015-12-25 දින) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට 74 වියේ පසුවූ ඇය හිසේ ඇතිවූ ටියුමර් තත්වයක් නිසා දිගු කලක් පිළිකා රෝගයෙන් පෙළුණු අතර පසුගිය දෙසැම්බරයේ උගුරේ ශල්‍යකර්මයකටද භාජනය වූවාය. කෙසේ වෙතත් ඇය අවසන් හුස්ම ‍හෙළුවේ ඇගේ නිවසේදීය.

අද තරුණ පරපුර බොහෝවිට ඇගේ රඟපෑම් දැක නොතිබෙන්නට පුළුවන. එකල ශ්‍රී ලංකා සිනමා හා සංගීත රසිකයින් අතර මුවග රැව්දුන් ඇය රඟපෑ ජනප්‍රිය ගීත දෙකක යූ ටියුබ් ලින්ක් දෙකක් පමණක් ඉදිරිපත් කරමි. මින් එකක් “ ඒක් පූල් දෝමාලි” චිත්‍රපටයේ “ තුජෙ සූරජ කාහූ යා චන්ද්‍රා” ගීතය. මෙම චිත්‍රපටය 1970 දී බොරැල්ලේ ලිඩෝ සිනමා ශාලාවේදී දින ගණනාවක් තිරගතවූ බව එය නැරඹූ රසිකයෙක් කියා තිබුණා. මෙය සධානා සමග බාල්රාජ් සහිනි රඟපෑමෙන් ද මන්නාඩේ ගායනයෙන් ද එක්වූ නිර්මාණයකි. බලන්න ඔබටත් මේ ගීතය මතකද කියා.


https://www.youtube.com/watch?v=9HBXnDoo734


අනෙක් ගීතය “ආප් අයේ බහාර් අයි” චිත්‍රපටයේ “ මුජේ තේරී මොහාබත කා - සහාරා” යන ගීතයයි.මෙහි සධානා සමග රාජේන්ද්‍ර කුමාර් රඟපෑමෙන්ද ලතා මංගේෂ්කාර් සමග මොහොමඩ් රාෆි ගායනයෙන් එක්වුනා. මෙහි සිංහල ගීතය ඔබ අසා ඇතුවාට සැකයක් නැත. ඒ එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක ගායනා කරන “කලක් තිස්සේ සිතක් පතුලේ” ගීතයයි.https://www.youtube.com/watch?v=DbHg4sMPuJw

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...