Sunday, January 17, 2016

Shantha Deshabandu දවාලෙ පායන චන්ද්‍රයා බැසයයි.


දවාලෙ පායන චන්ද්‍රයා බැසයයි.

කලක් රූපවාහිනී සංස්ථාවේ සහකාර නිෂ්පාදකයෙකු වශයෙන් සේවය කළ ප්‍රවීන ගේය පද රචක ශාන්ත දේශබන්ධු සහෝදරයා පසුගියදා දැයෙන් සමු ගත්තේය.


රූපවාහිනී සංස්ථා මුල් කාලයේදී අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී අබේවර්ධන බාලසූරිය මහතා විසින් ශාන්තට 1984 දී පමණ රූපවාහිනියේ රැකියාවකට ඒමට අත දුන්නේය.

1983 දී රූපවාහිනියට එක්වූ මා වැඩිකල් නොගොස් ඔහුගේ මිතුරකු වූයේ ඔහු කවදත් කා අතරත් හොඳ විනෝදකාමියෙකු වූ නිසාය. අප ඔහුව ළඟින් ආශ්‍රය කළත් ඔහුගේ කලා හැකියාව අපට ඒ කාලයේ හඳුනා ගත නොහැකි වූයේ ඔහුගේ එම හැකියාව මතුකර පෙන්වීම සඳහා ඔහුට අත දීමට හැකි අයෙක් නොසිටි නිසා බව මට අද හැඟේ. ඉන් වසර ගණනාවකට පසු අබේවර්ධන බාලසූරිය මහතාගේ ප්‍රිය භාර්යාව වූ නෙරංජලා සරෝජනී මහත්මිය ගයන මනමාලිය වී හෙට දවසේයන අදත් ඉතා ජනප්‍රිය ගීතය රචනා කිරීමට ශාන්තට අවස්ථාව ලැබුණි. එවකට රූපවාහිනියේ ඉතාම ජනප්‍රිය වැඩසටහන වූයේ නන්දන වින්දන සංගීතමය වැඩසටහනය. එය නිෂ්පාදනය කලේ අබේවර්ධන බාලසූරිය මහතාය. ඒ නිසා නන්දන වින්දන වැඩසටහනේ එම ගීය ප්‍රචාරය වූ අතර ගීය අතර තුර ප්‍රචාරය වූ ගීත රචනය - ශාන්ත දේශබන්ධු යන සිරස්තලය නිසා ගීයේ රචකයා ලෙස ප්‍රථම වරට ශාන්ත දේශබන්ධු නාමය ශ්‍රී ලංකාව පුරා පැතිර ගියේය. මේ ගීය නිසා ඔහුට හොඳ ගී රචනා ශක්තියක් ඇතැයි සිතූ ඇතැම් සංගීත ශිල්පින් ගායක ගායිකාවන් ඔහු සොයා ඒමට පටන් ගත්හ.

මහජන ගෞරව සඳහා ඔහුගේ දේහය අවසන් වරට තැන්පත් කළ කොළඹ සුදර්ශී ශාලාවත් ශාන්ත දේශබන්ධු කලාකරුවාත් අතර කිට්ටු සම්බන්ධයක් ඇති බව දන්නේ ඔහු ළඟින්ම ඇසුරු කළ කීප දෙනෙක් පමණි. ශාන්ත දේශබන්ධු සහෝදරයා දීපාල් සිල්වා, නිහාල් සිල්වා, නිමල් ලක්ෂපති ආරච්චි, සේනානායක වේරලියද්ද ආදින් සමග නිතරම සුදර්ශී ශාලාවේ ඇති නුගගහ යටට එකතුවන බව (සෙට් වෙන බව) මට දැනගන්නට ලැබුණා. රූපවාහිනියේ වැඩ ඇරී බොහෝ දිනවල සවසට ඔහු යන්නේ සුදර්ශී එකටය. මේ නිසා ශාන්තගේ ගජ මිතුරෙකු වූ නිමල් ලක්ෂපති ආරච්චි මහතා පසු කලෙක රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වන විටත් ශාන්ත රූපවාහිනියේ රැකියාව කරමින් හුන්නේය. තනතුරු උසස් කර ගැනීමට සිය මිතුරාගෙන් උදව් ඉල්ලීමට ශාන්තට උවමනා නොවීය. එය නොහොබිනා ක්‍රියාවක් ලෙස ඔහු සිතුවේය. ශාන්ත කවදත් උත්සාහ කළේ සිය සහජ හැකියාවෙන් ඉදිරියට යාමටය.  

නුගගහ යට ශාන්තගේ තවත් ගජ මිතුරෙකු වූ නැසීගිය ප්‍රවීන විකට ශිල්පී නිහාල් සිල්වා මහතාගේ එවකට නවතම නාට්‍ය නිර්මාණය වූ සාජන්ට් නල්ලතම්බි වේදිකා නාට්‍යය ස‍ඳහා ගීත ලිවීමේ භාග්‍යයද ශාන්තට හිමිවිය. මේ නාට්‍යය ගැනද යමක් කිව යුතු යැයි හැඟේ. ඒ කාලයේ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන වේදිකා නාට්‍යයක් බැලීමට යාමට තරම් උනන්දුවක් ලංකාවේ ප්‍රෙක්ෂක ජනතාවට නොවීය. කෙටියෙන් කිව්වොත් බොහෝ වේදිකා නාට්‍ය රංග ශාලා වේලී ගොස් තිබුණි. මේ තත්වය උඩු යටිකුරු කළේ සාජන්ට් නල්ලතම්බි නාට්‍යය යැයි කිව්වොත් එහි වරදක් නැත. එකල තිරගත වූ ජනප්‍රිය සිංහල චිත්‍රපට වලටත් වඩා මහා ජන ගංගාවක් නල්ලතම්බි නාට්‍යය බැලීමට පොරකෑහ. නාට්‍ය දර්ශන බැලීම සඳහා ශාලා අභියස දිගු පෝලිම් පවා දක්නට ලැබුණි. දිවයින පුරා එම නාට්‍යය පෙන්වීමට නාට්‍ය සංවිධායකයින් පියවර ගත්හ. මේ නිසා කාට කාටත් කරල පැහුණි. මේ නාට්‍යය ජනප්‍රිය වීමට ප්‍රධාන කරුණු දෙකක් බලපෑවේය. එකක් නිහාල් සිල්වා මහතාගේ ප්‍රබල රංගනයයි. අනෙක නාට්‍යයේ එන අමුතු තාලේ ගීත කීපයයි. විශේෂයෙන්ම එහි එන දවාලෙ පායන චන්ද්‍රයා මේ අව්වා මේ අව්වා. මමයි කනත්තේ භෘංගයා මේ අව්වා මේ අව්වා යන ගීතයයි. එය රචනා කළේ අපේ කලාකරු ශාන්ත දේශබන්ධු විසිනි. නාට්‍යයේ සියළුම ගීත ශාන්තගේය. නාට්‍යයේ නිෂ්පාදක නිහාල් සිල්වා මහතා තමාට ලැබුණු මුදල් වලින් නියමිත කොටස ගීත රචක තම මිතුරු ශාන්තට දීමට අමතක නොකළේය. මේ නිසා මුදල් අඟ හිඟකමින් පෙළුණ ශාන්තට මෙය මහත් අස්වැසිල්ලක් විය.

ශාන්තගේ තවත් මිතුරෙතු වූ සේනානායක වේරලියද්ද මහතා වඩාත් ජනප්‍රිය වූයේ එනම් ජනතාව අතරට ගියේ ශාන්ත දේශබන්ධු නිසා යැයි විවාදයකින් තොරව පැවසිය හැක. වේරලියද්ද ගයන සාගරය බඳු වේදනාවෝ, මගේ ජීවිතේ පුරා-එකම සිතින් ප්‍රාර්ථනා, මල් පබා ,මල් වියනෙන් බැඳි ගීත ශාන්තගේය. එසේම එඩ්වඩ් ජයකොඩි ගයන ගමේ පන්සල-අපේ පන්සලතවත් එකකි. නව පරපුරේ ගායක ගායිකාවන්ටද ශාන්ත ගී ලියා ඇත. සශිකා නිසංසලා ගයන මල් සර හී සරින් අජිත් රන්දුණුගේ ගයන පොල්කටු වලින් මුට්ටියෙ බත තැම්බෙනවා ඉන් කීපයකි. මේ ලිපිය ලියන අවස්ථාව වනවිට ඔහු ලියූ සම්පූර්ණ ගීත ලැයිස්තුව සොයාගැනීමට මට කාලය මදිවූ බව කිව යුතුය.

ශාන්ත දේශබන්ධු යනු කලාවන් කීපයකින් එකවර දස්කම් පෑ විරල ඝනයේ කලාකරුවෙකි. කවි රචනා කලාවද ඔහුට අපූරුවට පිහිටා තිබුණි. සම්මා සංකල්පනා සහ රඹුටන් වත ඔහු ලියූ කවි සංකල්පනා ග්‍රන්ථ දෙකකි. එසේම ඔහු දක්ෂ නාට්‍ය  නිෂ්පාදකයෙකු ද වන්නේය. මිනිහ (මිනිහා නොව) සහ තාප්පෙන් එහා ඔහු නිෂ්පාදනය කළ නාට්‍ය දෙකකි. මේ නාට්‍ය සඳහා ප්‍රධාන තේමා ලාංඡනය සකස් කර දුන්නේ මා විසිනි. තාප්පෙන් එහා ප්‍රථම මංගල දර්ශනය වේදිකා ගත වූයේ ලුම්බිණි රඟහලේදීය. ඔහුගේ ආරාධනයෙන් මා එය බැලීමටද ගියෙමි. මේ කාලය වන විට අගහිඟ කමින් ‍පෙළුණ ඔහු මෙම නාට්‍ය පවා නිර්මාණය කර වේදිකා ගත කලේ එයින් හෝ තම ජීවිතය සාර්ථක කරගැනීමටය. අපට පුළුවන් ආකාරයට ඔහුට උදව් කළත් ඔහුව සාර්ථක කිරීමට යමක් කමක් ඇති උදවිය ඔහුට අත දුන්නේ නැත. මේ නාට්‍යය පවා ඔහු ඉදිරිපත් කලේ තමාගේ අතේ ඇති සුළු මුදලකින්ය. මේ නිසා ඔහුගේ නාට්‍ය අසාර්ථක විය.

දැනට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධූරය උසුලන වජිර නාරම්පනාව මහතා එවකට රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂකරයෙකුව සිටි කාලයේ රූපවාහිනියේම සාමාන්‍ය රැකියාවක් කළ ශාන්ත දේශබන්ධු කලාකරුවාණන්ට වටිනා උපකාරයක් කළේය. ඒ ශාන්තට සහාකාර නිෂ්පාදකවරයෙකු ලෙස උසස්වීමක් ලබාදීමයි. මේ නිසා සංගීත ඒකකයේ සංගීත වැඩසටහන් රාශියකට සම්බන්ධවීමට ශාන්තට හැකියාව ලැබිණි. විශ්‍රාම යනතුරු ඔහු මේ තනතුර දැරීය.

විවාහයෙන් ඔහු නිවුන් පුතුන් දෙදෙනෙකුගේ පියෙකු බවට පත්විය. හේ පුතුන් දෙදෙනාට අසීමිතව ආදරය කළේය. අවාසනාවකට එයින් එක් පුතෙකු කුඩා කාලයේම අකාලයේ මිය ගියේය. ඒ නිවසේ වත්තේ පිහිටි ජල පොකුණක වැටීමෙන්ය. ශාන්ත දේශබන්ධු කලාකරුවාගේ වටිනාකම කාටත් දැනෙන්නේ ඔහු මිය ගිය පසුය. මා කලින් නැවත නැවතත් සඳහන් කළ පරිදි ඔහුගේ හැකියාව ඔප මට්ටම් කිරීමට බලවත් අයගේ උදව්වක් නොලැබීම අවාසනාවකි. එසේම කළ සේවයට ඔහුට උපහාරයක් කිරීමටවත් කෙනෙකු හෝ ආයතනයක් ඉදිරිපත් නොවීමද ගැටළුවකි. කෙසේ වෙතත් අප ඔහුට අවසන් ගෞරවය පුද කරමු. පවුලේ ඉතිරි සාමාජිකයින්ගේ සුවදුක් සොයා බලමු. ශාන්ත දේශබන්ධු කලාකරුවානෙනි, ඔබට නිවන් සුව අත්වේවා.

1 comment: