Sunday, January 17, 2016

Shantha Deshabandu දවාලෙ පායන චන්ද්‍රයා බැසයයි.


දවාලෙ පායන චන්ද්‍රයා බැසයයි.

කලක් රූපවාහිනී සංස්ථාවේ සහකාර නිෂ්පාදකයෙකු වශයෙන් සේවය කළ ප්‍රවීන ගේය පද රචක ශාන්ත දේශබන්ධු සහෝදරයා 2016 ජනවාරි 15 දා දැයෙන් සමු ගත්තේය.


1983 දී රූපවාහිනියට එක්වූ මා වැඩිකල් නොගොස් ඔහුගේ මිතුරකු වූයේ ඔහු කවදත් කා අතරත් හොඳ විනෝදකාමියෙකු වූ නිසාය. අප ඔහුව ළඟින් ආශ්‍රය කළත් ඔහුගේ කලා හැකියාව අපට ඒ කාලයේ හඳුනා ගත නොහැකි වූයේ ඔහුගේ එම හැකියාව මතුකර පෙන්වීම සඳහා ඔහුට අත දීමට හැකි අයෙක් නොසිටි නිසා බව මට අද හැඟේ. ඉන් වසර ගණනාවකට පසු අබේවර්ධන බාලසූරිය මහතාගේ ප්‍රිය භාර්යාව වූ නෙරංජලා සරෝජනී මහත්මිය ගයන මනමාලිය වී හෙට දවසේයන ඉතා ජනප්‍රිය ගීතය රචනා කිරීමට ශාන්තට අවස්ථාව ලැබුණි. එවකට රූපවාහිනියේ ඉතාම ජනප්‍රිය වැඩසටහන වූයේ නන්දන වින්දන සංගීතමය වැඩසටහනය. එය නිෂ්පාදනය කලේ අබේවර්ධන බාලසූරිය මහතාය. ඒ නිසා නන්දන වින්දන වැඩසටහනේ එම ගීය ප්‍රචාරය වූ අතර ගීය අතර තුර ප්‍රචාරය වූ ගීත රචනය - ශාන්ත දේශබන්ධු යන සිරස්තලය නිසා ශාන්ත දේශබන්ධු ගීත රචකයෙකු ලෙස රසිකයින්ගේ සිත් සතන් පුරා පැල පදියම් විය. මේ ගීය නිසා ඔහුට හොඳ ගී රචනා ශක්තියක් ඇතැයි සිතූ ඇතැම් සංගීත ශිල්පීන් සහ ගායක ගායිකාවන් ඔහු සොයා ඒමට පටන් ගත්හ. 
නමුත් රූපවාහිනී ආයතනයේ රැකියාවට ඒමට පෙර ශාන්ත දේශබන්ධු ගීත රචනය, රඟපෑම, නාට්‍ය රචනය හා අධ්‍යක්ෂණය හා චිත්‍රපට නිෂ්පාදන සහායකවරයෙකු ලෙස පෙර අත්දැකීම් ලබා තිබුණි.

මහජන ගෞරව සඳහා ඔහුගේ දේහය අවසන් වරට තැන්පත් කළ කොළඹ සුදර්ශී ශාලාවත් ශාන්ත දේශබන්ධු කලාකරුවාත් අතර කිට්ටු සම්බන්ධයක් ඇති බව දන්නේ ඔහු ළඟින්ම ඇසුරු කළ කීප දෙනෙක් පමණි. ශාන්ත දේශබන්ධු සහෝදරයා දීපාල් සිල්වා, නිහාල් සිල්වා, නිමල් ලක්ෂපති ආරච්චි, සේනානායක වේරලියද්ද ආදින් සමග නිතරම සුදර්ශී ශාලාවේ ඇති නුගගහ යටට එකතුවන බව (සෙට් වෙන බව) මට දැනගන්නට ලැබුණා. රූපවාහිනියේ වැඩ ඇරී බොහෝ දිනවල සවසට ඔහු යන්නේ සුදර්ශී එකටය. මේ නිසා ශාන්තගේ ගජ මිතුරෙකු වූ නිමල් ලක්ෂපති ආරච්චි මහතා පසු කලෙක රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වන විටත් ශාන්ත රූපවාහිනියේ රැකියාව කරමින් හුන්නේය. තනතුරු උසස් කර ගැනීමට සිය මිතුරාගෙන් උදව් ඉල්ලීමට ශාන්තට උවමනා නොවීය. එය නොහොබිනා ක්‍රියාවක් ලෙස ඔහු සිතුවේය. ශාන්ත කවදත් උත්සාහ කළේ සිය සහජ හැකියාවෙන් ඉදිරියට යාමටය.  

නුගගහ යට ශාන්තගේ තවත් ගජ මිතුරෙකු වූ නැසීගිය ප්‍රවීන විකට ශිල්පී නිහාල් සිල්වා මහතාගේ එවකට නවතම නාට්‍ය නිර්මාණය වූ සාජන්ට් නල්ලතම්බි වේදිකා නාට්‍යය ස‍ඳහා ගීත ලිවීමේ භාග්‍යයද ශාන්තට හිමිවිය. මේ නාට්‍යය ගැනද යමක් කිව යුතු යැයි හැඟේ. ඒ කාලයේ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන වේදිකා නාට්‍යයක් බැලීමට යාමට තරම් උනන්දුවක් ලංකාවේ ප්‍රෙක්ෂක ජනතාවට නොවීය. කෙටියෙන් කිව්වොත් බොහෝ වේදිකා නාට්‍ය රංග ශාලා වේලී ගොස් තිබුණි. මේ තත්වය උඩු යටිකුරු කළේ සාජන්ට් නල්ලතම්බි නාට්‍යය යැයි කිව්වොත් එහි වරදක් නැත. එකල තිරගත වූ ජනප්‍රිය සිංහල චිත්‍රපට වලටත් වඩා මහා ජන ගංගාවක් නල්ලතම්බි නාට්‍යය බැලීමට පොරකෑහ. නාට්‍ය දර්ශන බැලීම සඳහා ශාලා අභියස දිගු පෝලිම් පවා දක්නට ලැබුණි. දිවයින පුරා එම නාට්‍යය පෙන්වීමට නාට්‍ය සංවිධායකයින් පියවර ගත්හ. මේ නිසා කාට කාටත් කරල පැහුණි. මේ නාට්‍යය ජනප්‍රිය වීමට ප්‍රධාන කරුණු දෙකක් බලපෑවේය. එකක් නිහාල් සිල්වා මහතාගේ ප්‍රබල රංගනයයි. අනෙක නාට්‍යයේ එන අමුතු තාලේ ගීත කීපයයි. විශේෂයෙන්ම එහි එන දවාලෙ පායන චන්ද්‍රයා මේ අව්වා මේ අව්වා. මමයි කනත්තේ භෘංගයා මේ අව්වා මේ අව්වා යන ගීතයයි. එය රචනා කළේ අපේ කලාකරු ශාන්ත දේශබන්ධු විසිනි. නාට්‍යයේ සියළුම ගීත ශාන්තගේය. නාට්‍යයේ නිෂ්පාදක නිහාල් සිල්වා මහතා තමාට ලැබුණු මුදල් වලින් නියමිත කොටස ගීත රචක තම මිතුරු ශාන්තට දීමට අමතක නොකළේය. මේ නිසා මුදල් අඟ හිඟකමින් පෙළුණ ශාන්තට මෙය මහත් අස්වැසිල්ලක් විය.

ශාන්තගේ තවත් මිතුරෙතු වූ සේනානායක වේරලියද්ද මහතා වඩාත් ජනප්‍රිය වූයේ එනම් ජනතාව අතරට ගියේ ශාන්ත දේශබන්ධු නිසා යැයි විවාදයකින් තොරව පැවසිය හැක. වේරලියද්ද ගයන සාගරය බඳු වේදනාවෝ, මගේ ජීවිතේ පුරා-එකම සිතින් ප්‍රාර්ථනා, මල් පබා ,මල් වියනෙන් බැඳි ගීත ශාන්තගේය. එසේම එඩ්වඩ් ජයකොඩි ගයන ගමේ පන්සල-අපේ පන්සලතවත් එකකි. නව පරපුරේ ගායක ගායිකාවන්ටද ශාන්ත ගී ලියා ඇත. සශිකා නිසංසලා ගයන මල් සර හී සරින් අජිත් රන්දුණුගේ ගයන පොල්කටු වලින් මුට්ටියෙ බත තැම්බෙනවා ඉන් කීපයකි. මේ ලිපිය ලියන අවස්ථාව වනවිට ඔහු ලියූ සම්පූර්ණ ගීත ලැයිස්තුව සොයාගැනීමට මට කාලය මදිවූ බව කිව යුතුය.

ශාන්ත දේශබන්ධු යනු කලාවන් කීපයකින් එකවර දස්කම් පෑ විරල ඝනයේ කලාකරුවෙකි. කවි රචනා කලාවද ඔහුට අපූරුවට පිහිටා තිබුණි. සම්මා සංකල්පනා සහ රඹුටන් වත ඔහු ලියූ කවි සංකල්පනා ග්‍රන්ථ දෙකකි. එසේම සත්‍යයෙහි සංකල්පනා” නමින් ඔහු ගීත සංග්‍රහයක් ද එළි දැක්වීය. එමපණක් ද නොව ඔහු දක්ෂ නාට්‍ය  නිෂ්පාදකයෙකු ද වන්නේය. තණ්හාපති”, හංසකුමාරි” ඒ වගේම  තාප්පෙන් එහා සහ මිනිහ (මිනිහා නොව) ඔහු නිෂ්පාදනය කළ නාට්‍ය හතරකි. අවසන් නාට්‍ය දෙක සඳහා ප්‍රධාන තේමා ලාංඡනය සකස් කර දුන්නේ මා විසිනි. තාප්පෙන් එහා ප්‍රථම මංගල දර්ශනය වේදිකා ගත වූයේ ලුම්බිණි රඟහලේදීය. ඔහුගේ ආරාධනයෙන් මා එය බැලීමටද ගියෙමි. මේ කාලය වන විට අගහිඟ කමින් ‍පෙළුණ ඔහු මෙම නාට්‍ය පවා නිර්මාණය කර වේදිකා ගත කලේ එයින් හෝ තම ජීවිතය සාර්ථක කරගැනීමටය. අපට පුළුවන් ආකාරයට ඔහුට උදව් කළත් ඔහුව සාර්ථක කිරීමට යමක් කමක් ඇති උදවිය ඔහුට අත දුන්නේ නැත. මේ නාට්‍යය පවා ඔහු ඉදිරිපත් කලේ තමාගේ අතේ ඇති සුළු මුදලකින්ය. මේ නිසා ඔහුගේ නාට්‍ය අසාර්ථක විය.

ශාන්ත උපන්නේ 1951 ඔක්තෝබර් 09  දින කොළඹ දීය. ඔහුගේ සැබෑ නම දොන් සෙනරත් පියසිරි අතපත්තු ය. පියා දොන් සේතන් අතපත්තු වූ අතර මව කන්නන්ගරගේ ඇසිලියා පියවතීය. සාමාන්‍ය පෙළ විභාගය කිරීමට 1964 දී වැල්ලවත්ත මහා විද්‍යාලයට ඇතුලත් වූ ඔහු පාසලේදී ද හැකි සෑමවිටම කලා කටයුතු වල නිරත විය. 

පාසල් අධ්‍යාපනයෙන් පසු චිත්‍රපට හා වීඩියෝ නිෂ්පාදන ආයතන කීපයක රැකියාව කරමින් එම නිෂ්පාදන කාර්යයන් පිළිබඳ මනා පුහුණුවක් ලබාගත්තේය. 1982 පෙබරවාරි මස ජාතික රූපවාහිනිය ආරම්භ විය. ජාතික රූපවාහිනියේ නිෂ්පාදන ක්ෂේත්‍රෙයේ රැකියාවක් ලබාගැනීම ශාන්තගේ එකම සිහිනය බවට පත්ව තිබුණි. නමුත් එකවරම එය ලබාගැනීම පහසු නොවන බව ශාන්තට අවබෝධ විය. එයට හේතුව කොපමණ දක්ෂතා තිබුණත් එකවර උසස් රැකියාවකට යාමට නම් ඉහළ අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය වීමය. නමුත් ඔහු උත්සාහය අත හැරියේ නැත. සුළු රැකියාවක් ලබාගෙන හෝ රූපවාහිනිය තුලට පැමිණ ඉදිරියේදී තම අරමුණ ඉටුකර ගැනීම ශාන්තගේ ඒකායන අරමුණ විය.

ඔහුගේ බලාපොරොත්තු සඵල වෙමින් 1982 අගෝස්තු 27 දින සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට ඉන් දින තුනකට පසු පත්වීම ලැබිණ. ඒ අනියම් කාර්යාල කම්කරු යන තනතුරයි. සේවා ස්ථානය වූයේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයයි. වැටුප ලෙස ලැබුණේ දිනකට රුපියල් 13 ක දීමනාවකි. එය ජීවත්වීමට තරම් ප්‍රමාණවත් වැටුපක් නොවුණත් ඔහු සතුටින් තම රැකියාවේ නිරත විය. රාජකාරී කටයුතු හොඳින් සිදුකළ හෙයින් ශාන්ත අවුරුද්දක කාලයකින් ස්ථිර තනතුරකට හිමිකම් කීය. ඔහුට කාර්යාල සහායක නම් ස්ථිර තනතුර හිමිවිය. පුහුණු මධ්‍යස්ථානයට අමතරව රජයේ විගණන කාර්යාලයේද, පුස්තකාලයේ කටයුතුද ශාන්තට පැවරිණ.


1985 සැපයීම් අංශයට මාරුවක් ලද ඔහු එම අංශයේ අවුරුදු 11 ක් සේවය කළේය. එම අවුරුදු 11 කාලය ඇතුලත තම රාජකාරී වලට අමතරව රූපවාහිනියේ විවිධ නිෂ්පාදන කටයුතු වලට සම්බන්ධ වීමට ශාන්තට අවස්ථාවක් හිමිවුනේ බලධාරීන්ගේ අනුමැතිය ද ඇතිවය. මෙහිදී පහත සඳහන් කලා කටයුතු වලට හේ දායක විය. 


1. ප්‍රථම ශ්‍රී පාද සජීවී වැඩසටහනේ නිෂ්පාදන සහායකයෙකු වශයෙන් කටයුතු කිරීම.
2. සවනක් රැස් වැඩසටහනේ නිෂ්පාදන සහකාරවරයෙකු ලෙස වැඩ කිරීම.
3. ඉන්දියානු චිත්‍රපටයකට ගීත ලිවීම.
4. ගීත රචනය - ප්‍රවීන ගායක ගායිකාවන් සඳහා ගීත ලිවීම.
5. නාට්‍ය නිෂ්පාදනය/ නාට්‍ය රඟපෑම - තාප්පෙන් එහා
6. වීඩියෝ චිත්‍රපට නිෂ්පාදනයේදී සහාය අධ්‍යක්ෂවරයෙකු වශයෙන්  සේවය කිරීම - ප්‍රෙසිෂන් ප්‍රොඩක්ෂන් ආයතනය.
5. ටයිටස් තොටවත්ත මහතාගේ නිෂ්පාදන වලට දෙබස් හඬදීම.
6. චිත්‍රපටිවල රඟපෑම - 

බලවත් උත්සාහයක් ගෙන ඔහු 1996 දී ඊ.එන්.ජී. ඒකකයට (බාහිර නිෂ්පාදන සේවා කටයුතු ඒකකයට) පත්වීමක් ලබාගත්තේය. ඒ ඊ.එන්.ජී. සහායක තනතුරටය. 2001 වසරේදී ඔහු තවත් ස්ථාන මාරුවක් ලබාගත්තේය. මෙවර ඔහුට හිමිවුනේ විශේෂ වැඩසටහන් ඒකකයයි. මේ තනතුර හරහා නිෂ්පාදන කාර්යයන්ට බොහෝදුරට සහාය වීමට ලැබුණෙන් ඔහු සිත යට තිබූ ඒකායන බලාපොරොත්තුව සඵල වීමට ආසන්න යැයි ඔහුට සිතෙන්නට ඇත. 

මේ කාලයේදී ඔහු විවාහ දිවයට එළඹිණ. විවාහයෙන් ඔහු නිවුන් දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවට පත්විය. ඒ පුතෙකු හා දුවෙකු වශයෙනි. වැඩිමලා පුතු විය. හේ ඔවුන් දෙදෙනාට අසීමිතව ආදරය කළේය. අවාසනාවකට එයින් බාල දියණිය කුඩා කාලයේම අකාලයේ මිය ගියාය. ඒ නිවසේ වත්තේ පිහිටි ජල පොකුණක වැටීමෙන්ය. ජීවිතයේ දුක්ක දෝමනස්සයන්ට පත් වුණත් ශාන්ත ඒ කිසිවක් කාටත් නොකියා  කාටත් නොපන්වා සුපුරුදු ලෙස තම රාජකාරී අකුරට ඉටු කළේය. 

ඊ.එන්.ජී. සහායක තනතුර වෙනුවට සුදුසු තනතුරක් ඔහු අපේක්ෂා කළේය. ඔහු මෙතෙක් ආශාවෙන් සිටි හා බලාපොරෝත්තුව සිටි තනතුර ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේය. ඒ නිෂ්පාදන සහකාර තනතුරයි. ඇතැම් අයගේ විරෝධතා මැද නොබියව එම තනතුර ශාන්තට ලබාදීමට මූලිකව ක්‍රියා කළේ එවකට අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සිටි ප්‍රවීන පරිපාලන නිලධාරියකු වන වජිර නාරම්පනාව මහතාය. එයට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ද අනුමැතිය හිමිවිණ.  

මේ අනුව 2002 දී ශාන්තට නිෂ්පාදන සහකාර තනතුර හිමිවූ අතර සංගීත ඒකකයට මාරුවීමක් ද ලැබුණි. සංගීත ඒකකයේ සංගීත වැඩසටහන් රාශියකට සම්බන්ධවීමට ශාන්තට මේ මගින් අවස්ථාව හිමිවිය. දීර්ඝ ‍සේවා කාලයේ අවසන් අවුරුදු කීපයේදී හෝ ශාන්තට උරුමවූ අවස්ථාව ලැබීම සතුටක් මෙන්ම දුකක්ද මිශ්‍ර හැඟීමක් මට ඇතිවිය. මොකද වසර කීපයකට පෙර ඔහුට මෙම තනතුර ලැබුණි නම් ඔහුගේ රූපවාහිනී නිර්මාණ රැසක රසය විඳීමට අපට අවස්ථාවක් ලැබෙන්නට තිබුණි. 2006 දී විශ්‍රාම යනතුරු ඔහු මේ තනතුර දැරීය. 

ශාන්ත දේශබන්ධු කලාකරුවාගේ වටිනාකම කාටත් දැනුණේ ඔහු මිය ගිය පසුය. මා කලින් නැවත නැවතත් සඳහන් කළ පරිදි ඔහුගේ හැකියාව ඔප මට්ටම් කිරීමට බලවත් අයගේ උදව්වක් නොලැබීම අවාසනාවකි. එසේම කළ සේවයට ඔහුට උපහාරයක් කිරීමටවත් කෙනෙකු හෝ ආයතනයක් ඉදිරිපත් නොවීමද ගැටළුවකි. කෙසේ වෙතත් අප ඔහුට අවසන් ගෞරවය පුද කරමු. පවුලේ ඉතිරි සාමාජිකයින්ගේ සුවදුක් සොයා බලමු. ශාන්ත දේශබන්ධු කලාකරුවානෙනි, ඔබට නිවන් සුව අත්වේවා.

2 comments:

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...