Sunday, March 6, 2016

Laxmikant-Pyarelal ලක්ෂ්මීකාන්ත් - ප්‍යාෙරේලාල්




ලක්ෂ්මීකාන්ත් - ප්‍යාෙරේලාල් යන නාමය 70 සහ 80 දශකයේ දී ශ්‍රී ලංකාවේ හින්දි සිනමා අත්දැකීම් ඇති බොහෝ අයගේ මුවග රැව්දුන් නාමයක් බවට පත්ව තිබුණි. එම වකවානුවේ ලංකාවේ තිරගත වූ ජනප්‍රිය හින්දි චිත්‍රපට වෙනුවෙන් නිර්මාණිත වෙළෙඳ දැන්වීම් නිතර ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ අංශයෙන් ප්‍රචාරය විය. එම ගුවන් විදුලි සිනමා දැන්වීම් වලට බොහෝදුරට කටහඬින් දායකවූයේ ප්‍රවීන නිවේදකයෙකු වූ බණ්ඩාර කේ. විජේතුංගයන්ය. එකල ජනප්‍රිය වූ ඇතැම් හින්දි චිත්‍රපට සඳහා එම දැන්වීම් වෙනුවෙන් ඔහුගේ ගැඹුරු කටහඬින් නිතර පිටවූ වදනක් තවමත් මගේ මතකයේ ඇත. ඒ නම් “සංගීතය, ලක්ෂ්මීකාන්ත් - ප්‍යාෙරේලාල්” යන්නයි. 

ලක්ෂ්මීකාන්ත් - ප්‍යාෙරේලාල් යනු 60,70 හා 80 දශකය තුල ඉන්දීය සිනමාවට සංගීතය සැපයූ ප්‍රකට සංගීතඥයන් දෙපළකි. 1963 සිට 1998 දක්වා ඔවුන් දෙදෙනා එක්ව සංගීතය සැපයූ චිත්‍රපට සංඛ්‍යාව 635 කි. රාජ් කපූර්, දේව් ආනන්ද්, බී.ආර්. චොප්රා, ශක්ති සමන්තා, මන්මෝහන් දේසායි, යෑෂ් චොප්රා, සුභාෂ් ගයි හා මනෝජ් කුමාර් යන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවලට මෙසේ ඔවුන් සංගීතය සපයා තිබුණි.

ඔවුන් එකිනෙකාගේ වගතුගත් චිත්‍රපට සංගීතයේ පෙරලියක් කිරීමට ඔවුන් දෙදෙනා එකට එක්වූ අයුරුත් කියවෙන අපූරු කතාන්දරය මෙසේ ඉදිරිපත් කරමි....

සම්පුර්ණ නම - ලක්ෂ්මීකාන්ත් ශාන්තරාම් කුදර්කර්
උපන්දිනය-1937 නොවැ.03 අභාවය - 1998


ලක්ෂ්මීකාන්ත්


1937 නොවැම්බර් 03 ඉන්දියාවේ ආගමික උත්සවයක් වන ලක්ෂ්මී පූජා දිනයේ ඔහු උපන් බැවින් ඔහුට දෙමව්පියන් විසින් ලක්ෂ්මීකාන්ත් ලෙස නම් තැබූ බව සඳහන්වේ. මුම්බායි වල “විලේ පාල්” නම් ගම්මානයේ පැල්පතක අන්ත දුගී ලෙස තම ළමාවිය ගෙවීමට කුඩා ලක්ෂ්මීකාන්ත්ට සිදුවිය. ඔහුගේ පියා ඔහු කුඩා වියේදීම මියගියේය. පවුලේ ආර්ථික අගහිඟකම් නිසා ඔහුට උසස් අධ්‍යාපනය හැදෑරීමේ මග ඇහිරී ගියේය. ඔහුගේ පියාගේ මිතුරකු සංගීතඥයෙකු විය. නිවසේ සිටි ලක්ෂ්මීකාන්ත්ට හා ඔහුගේ වැඩිමල් සහෝදරයාට සංගීතඥයාගෙන් ආරාධනාවක් ලැබිණි. ඒ තමා ළඟට පැමිණ සංගීතය ඉගෙන ගන්නා ලෙසයි. ඒ අනුව ලක්ෂ්මීකාන්ත් මැන්ඩලීනයත් ඔහුගේ සහෝදරයා තබ්ලාවත් පුරුදුවන්නට පටන් ගත්හ. වසර කීපයකින් ලක්ෂ්මීකාන්ත් මැන්ඩලීන් වැයීම පිළිබඳ අති දක්ෂයෙකු විය. ඒ වනවිටත් ආර්ථික අහේනියකින් සිටි ඔහු ඉන්පසු ඉන්දියානු ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග සංවිධානය කිරීමටත් පැවැත්වීටත් පටන්ගත්තේ තම මූල්‍ය ශත්තියද තරකරගැනීමේ අදහසිනි. පසුව ඔහුට ප්‍රකට සංගීතඥයෙකුව සිටි “බාල් මුකුන්ද්” වෙතින් මැන්ඩලීනය තව දුරටත් ප්‍රගුණ කරගැනීමට අවස්ථාවක් ලැබුණු අතර තවත් ප්‍රවීන සංගිතඥයකුව සිටි “හසන් ලාල්” වෙතින් වයලීන වාදනයද ඉගෙන ගත්තේය.

සම්පුර්ණ නම - ප්‍යාෙරේලාල්  රම්ප්‍රසාද් ෂර්මා
උපන්දිනය-1940 සැප්. 03 (තවමත් ජීවත්ව සිටී)

ප්‍යාෙරේලාල් එදා


ප්‍යාෙරේලාල් අද

ප්‍යාෙරේලාල් 1940 සැප්තැම්බර් 03 දින වත්මන් උත්තර් ප්‍රදේශයේ “ගොරක්පූර්” දිස්ත්‍රික්කයේ උපත ලැබූ අතර ඔහු එකල සිටි ප්‍රකට ට්‍රම්පට් වාදකයෙකුවූ “රාම්ප්‍රසාද් ෂර්මාගේ” පුත්‍රයායි. එම නිසා ප්‍යොරේලාල් සංගීතයේ මුලකුරු ඉගෙනගත්තේ තම පියාගෙනි. වයස අවුරුදු 8 දී ඔහු වයලීනය වයන්නට පටන් ගත්තේය. දිනකට පැය 8ක් හෝ 12 ක් හේ වයලීනය පුහුණුවිය. වයලීන් වාදනය ප්‍රගුණ කරගත්තේ ගෝවේ සිටි පෘතුගීසි සංගිතඥයෙකුවූ “ඇන්තනි ගොන්සාලෙව්ස්” ගෙනි. (තම වයලීන ගුරුවරයාවූ මෙතුමාව සිහි කිරීම සඳහා පසුකලෙක චිත්‍රපටයක Amar Akbar Anthony ගීතයක් ද නිර්මාණය කලේය. මෙම චිත්‍රපටයට සංගීතය සැපයුවේ ද ලක්ෂ්මීකාන්ත් - ප්‍යාෙරේලාල් ද්විත්වයයි.) ඔහුගේ වයස අවුරුදු 12 වනවිට පවුලේ ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් පිරිහෙමින් පැවතියෙන් මුදල් සෙවීම සඳහා කලාගාරවල ප්‍රසංග පැවැත්වීමට ඔහුට සිදුවිය. මේ අනුව “රංජිත් කලාගාරය” වැනි ප්‍රසිද්ධ කලාගාරවලට ගොස් තම වයලීන වාදනයෙන් ඉපැයූ මුදල් ඔහු තම පවුල නඩත්තු කිරීම සඳහා යෙදවීය.

ලක්ෂ්මීකාන්ත්ට හා ප්‍යොරේලාල් හමුවීම
අවුරුදු 10ක් තරම් කුඩා වියෙහිදී ලක්ෂ්මීකාන්ත්ට වරක් ගුවන්විදුලි සමාජයක් විසින් මෙහෙයවූ ලතා මංගේෂ්කාර් සහභාගීවූ සංගීත ප්‍රසංගයක මැන්ඩලීන් වාදනය කිරීමට අවස්ථාවක් ලැබුණි. මැන්ඩලීන් වාදනය පිළිබඳ පැහැදුණු ලතා මංගේෂ්කාර්, පුංචි වාදකයාට ප්‍රසංගයෙන් පසු තමා හමුවන ලෙස පැවසීය. මංගේෂ්කාර් පවුලේ අය විසින් පවත්වාගෙන ගිය ළමයින් සඳහා වූ සංගීත ආශ්‍රමයක් වන “සුරීල් කලා කේන්ද්‍රයේ” දී ලක්ෂ්මීකාන්ත්ට ප්‍යොරේලාල් හමුවිය. ළමයින් දෙදෙනාගේම පවුල්වල ආර්ථික අගහිඟකම් දැනගත් ලතා මංගේෂ්කාර් ඔවුන්ව මහා සංගීතඥයන් වන නෞෂාඩ්, සචින් දේව් බර්මාන් හා රාමචන්ද්‍ර වෙත යොමු කලාය. එකම වයස් සීමාවල සිටි නිසා හා එකම ආර්ථික පසුබිමක් තිබූ නිසා ළමයින් දෙදෙනා ඉක්මණින්ම කල්‍යාණ මිත්‍රයින් බවට පත්විය. ඉන්පසු ඔවුන් වැඩි කාලයක් ශබ්දාගාරවල ගතකළ අතර සංගීතයට අදාල සියලු කාර්යයන් ඔවුන් දෙදෙනා එකට සිදුකළහ.

ලක්ෂ්මී - ප්‍යාෙරේ  දෙපළ 1950 වසරවල එකල නම්දරාපු බොහෝ සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ වැඩකළහ.(ඕ.පී. නයියාර් සහ ෂන්කර් ජායිකිෂන් හැර) 1953 සිට 1963 දක්වා ඔවුන් තවත් සංගීත ද්විත්වයක්වූ කල්යාන්ජි-ආනන්ජි යටතේ සහායකයින් ලෙස වැඩකළහ. තවද ඔවුන් නැවතත් සචින් දේව් බර්මාන් හා ඔහුගේ පුත් රාහුල් දේව් බර්මාන් (R.D. බර්මාන්) වැනි සංගීත අධ්‍යක්ෂවරුන් යට‍තේ ද සහායකයින් වූහ. ලක්ෂ්මී - ප්‍යොරේ දෙපළ ස්වාධීන සංගීත නිර්මාණයන් කිරීමට පටන්ගත් පසුවද R.D. බර්මාන් ඔවුන්ගේ කුලුපග මිතුරෙකු විය. දෝස්ති චිත්‍රපටයේ සියලු ගීත සදහා මවුත් ඕගනය වාදනය කළේ R.D. බර්මාන්ය.

ලතා මංගේෂ්කාර්ගේ ගීත 700 කට පමණ ලක්ෂ්මී - ප්‍යොරේ දෙපළ සංගීතය නිර්මාණය කළ අතර ඉන් බොහොමයක් ජනප්‍රියත්වයේ හිනි පෙත්තට නැගුණි. 


සංගීතඥයින් දෙපළ තනු නිර්මාණයේදී..


මොහොමඩ් රාෆි සඳහා සංගීතය මෙහෙයවමින්



ගීත කෝකිලා ලතා මංගේෂ්කාර් සමග එදා


ලතා මංගේෂ්කාර් සමග පසු කාලයකදී


සංගීතඥයින් දෙපළ තරුණ කාලයේදී සහ
මැදි වයසේදී..



චිත්‍රපට පසුබිම් සංගීතයේ ජයකෙහෙළි නැංවූ ඔවුන් දෙපළ සංගීතවත් තළ චිත්‍රපට කීපයක් මෙසේය.
1960 - රූප් තෙරා මස්තානා / 1964 - රාජ්කුමාර් / 1970 - මස්තානා / 1971 - හාති මෙරේ සාති / 1972 - ගෝරා ඕර් කාලා / 1973 - බොබී / 1975 - ප්‍රේම් කහානි / 1978 - සත්‍යම් ශිවම් සුන්දරම් / 1979 - සාගම් / 1980 - දොස්තානා / 1987 - මිස්ට ඉන්ඩියා / 1993 - කල්නායක් / 1990 - අග්නිපත් 

(වසර 1963 සිට 1998 දක්වා ඔවුන් සංගීතය සැපයූ මුලු චිත්‍රපට සංඛ්‍යාව 623 කි.)
මෙම චිත්‍රපට වල දැක්වෙන ගීත ජවනිකා ස‍ඳහා ඔවුන් මධුර මනෝහර ගී තනු දහස් ගණනක් නිර්මාණය කර තිබේ.

ඔවුන්ගේ ඇතැම් ජනප්‍රිය හින්දි තනු සිංහල චිත්‍රපට ගීත සඳහාද යොදාගෙන ඇති අතර පහත දක්වා ඇත්තේ එවැනි ගීත ලැයිස්තුවකි. බලන්න ඔබට මේ ගීත මතකද කියා. ලක්ෂ්මීකාන්ත් - ප්‍යාෙරේලාල් සුසංයෝගය මගින් ලොවට බිහිකර ඇති නිර්මාණ වල රසය මෙමගින් මොනවට පැහැදිලි වෙයි.

1. මොහිදීන් බෙග් ගයන - ඔය හද පතාල ආමි
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=5KBG97RbOt4


මොහොමඩ් රාෆි/ ලතා මංගේෂ්කාර් ගයන

ජබ ජබ බහාර ආයේ (Jab Jab Bahar AAyi)
හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=mrY6FIQcbYY

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල් 

2. එච්.ආර්. ජෝතිපාල ගයන - මේ ජීවනයේ මුළු සංසාරේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=sqQ7b5o_zvo


කිෂෝර් කුමාර් ගයන - යේ ජීවන් හේ (Yeh Jeevan Hai)
හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=VnaLbRHE1PM

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

3. සුජාතා අත්තනායක ගයන - සත්‍යයි ඔබේ දර්ශනේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=0SdoOXW15-k


ලතා මංගේෂ්කාර් ගයන - සත්‍යම් ශිවම් සුන්දරම් (Satyam Shivam Sundaram)
හින්දි ගීතයේ යූ ටියුබය -
http://www.youtube.com/watch?v=BdU3qP5EYoY

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

4. එච්.ආර්. ජෝතිපාල ගයන - ආදර මධුර අතීතේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=ctVgZ0HIOcg


මොහොමඩ් රාෆි ගයන - කොයි ජබ රාහන පායේ (Ko Jab Rah Na Paye)
හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=SYAgl9nDoY8

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

5. එච්.ආර්.ජෝතිපාල- ඇන්ජලින් ගුණතිලක ගයන - කලක් තිස්සේ සිතක් පතුලේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=XgXB-lAaRRI


මොහමඩ් රාෆි/ලතා මංගේෂ්කාර් ගයන -

මුජේ තේරී මොහාබතකා සහාරා (Mujhe Teri Mohabbat Ka Sahara)

හින්දි ගීතයේ යූ ටියුබය

https://www.youtube.com/watch?v=DbHg4sMPuJw


හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල්

6. ඉන්ද්‍රානි සේනාරත්න ගයන - හොඳ හොඳ ළමයින් අපි වාගේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=SMv9GWkyoIE


සුලක්ෂණ පණ්ඩිත්/ ලතා මංගේෂ්කාර්/ ඌෂා ඛන්නා ගයන -

සාත් සමුන්දර් පාර සී (Saat Samundar Paar Se)
හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=nSE02xgZn5E

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්


7. එච්.ආර්.ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක ගයන - අහා අහා ආදරණීය සිනාවේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=fbX5eiyTTLE


මොහමඩ් රාෆි ගයන - අහා අහා ආයෙ සුහානා සෆර් (Aha Aha Aa Yeh Suhaana Safar)
හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=NAlDIhrK_lw

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල් 


8. ලතා වල්පොල ගයන - මේ සුබ උපන්දිනේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=A2JieGGZUW8


මොහමඩ් රාෆි ගයන - ඕ මයි ලව් (Oh My Love)
හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=i_1q6BWLAOI

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්


9. එම්.එස්. ප්‍රනාන්දු / ඇන්ජලින් ගුණතිලක ගයන - අහා හැඩයි රූපේ බෝනික්කි වාගේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=spdtDnQKpKU


කිෂෝර් කුමාර් ගයන - යහා වහා සාරේ (Yahan Wahan Sare)
හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=Z_Uq9-EMAyk

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල් 

10. එච්.ආර්.ජෝතිපාල ගයන - ආලෝකේ බිහිවී නැතිවෙයිදෝ

සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=_a_ptheDGUs


මොහොමඩ් රාෆි ගයන - ආනේ සේ උසේකේ (Aane Se Uske)
හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=4qwFpKmYH4k

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්



11. එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක ගයන - මීදුම් ගලා කන්දේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=Ik1C1Je7de8


මොහොමඩ් රාෆි ගයන - සාරේ සමානේ පේ (Sare Zamne Pe )
හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=J2NjFwUP5qc

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල් 


12. එච්.ආර්.ජෝතිපාල/ ඇන්ජලින් ගුණතිලක ගයන - ජීවනයේ මීවනයේ
සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=kSafRNA9WOs


මොහොමඩ් රාෆි/ ආශා බෝස්ලෙ ගයන - මාන් ජායියේ මාන් ජායියේ (Maan Jaie Maan Jaiye)

හින්දි ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=NgbthYZrU4Q

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරේලාල් 


13. එච්.ආර්.ජෝතිපාල ගයන - රත්තරන් සඳක් පායන්නයි

සිංහල ගීතයේ යූ ටියුබය -

https://www.youtube.com/watch?v=Qtjo3fMDgOo


මොහොමඩ් රාෆි ගයන - බාර බාර දින යේ ආයේ (Baar Baar Din Ye Aayay )

හින්දි ගීතයේ යූ ටියුබය -

http://www.youtube.com/watch?v=Jn9_6yINCy4

හින්දි සංගීතය - ලක්ෂ්මීකාන්ත් ප්‍යොරෙලාල්

Sunday, January 17, 2016

Shantha Deshabandu දවාලෙ පායන චන්ද්‍රයා බැසයයි.


දවාලෙ පායන චන්ද්‍රයා බැසයයි.

කලක් රූපවාහිනී සංස්ථාවේ සහකාර නිෂ්පාදකයෙකු වශයෙන් සේවය කළ ප්‍රවීන ගේය පද රචක ශාන්ත දේශබන්ධු සහෝදරයා 2016 ජනවාරි 15 දා දැයෙන් සමු ගත්තේය.


1983 දී රූපවාහිනියට එක්වූ මා වැඩිකල් නොගොස් ඔහුගේ මිතුරකු වූයේ ඔහු කවදත් කා අතරත් හොඳ විනෝදකාමියෙකු වූ නිසාය. අප ඔහුව ළඟින් ආශ්‍රය කළත් ඔහුගේ කලා හැකියාව අපට ඒ කාලයේ හඳුනා ගත නොහැකි වූයේ ඔහුගේ එම හැකියාව මතුකර පෙන්වීම සඳහා ඔහුට අත දීමට හැකි අයෙක් නොසිටි නිසා බව මට අද හැඟේ. ඉන් වසර ගණනාවකට පසු අබේවර්ධන බාලසූරිය මහතාගේ ප්‍රිය භාර්යාව වූ නෙරංජලා සරෝජනී මහත්මිය ගයන “මනමාලිය වී හෙට දවසේ”යන ඉතා ජනප්‍රිය ගීතය රචනා කිරීමට ශාන්තට අවස්ථාව ලැබුණි. එවකට රූපවාහිනියේ ඉතාම ජනප්‍රිය වැඩසටහන වූයේ නන්දන වින්දන සංගීතමය වැඩසටහනය. එය නිෂ්පාදනය කලේ අබේවර්ධන බාලසූරිය මහතාය. ඒ නිසා නන්දන වින්දන වැඩසටහනේ එම ගීය ප්‍රචාරය වූ අතර ගීය අතර තුර ප්‍රචාරය වූ “ගීත රචනය - ශාන්ත දේශබන්ධු” යන සිරස්තලය නිසා ශාන්ත දේශබන්ධු ගීත රචකයෙකු ලෙස රසිකයින්ගේ සිත් සතන් පුරා පැල පදියම් විය. මේ ගීය නිසා ඔහුට හොඳ ගී රචනා ශක්තියක් ඇතැයි සිතූ ඇතැම් සංගීත ශිල්පීන් සහ ගායක ගායිකාවන් ඔහු සොයා ඒමට පටන් ගත්හ. 
නමුත් රූපවාහිනී ආයතනයේ රැකියාවට ඒමට පෙර ශාන්ත දේශබන්ධු ගීත රචනය, රඟපෑම, නාට්‍ය රචනය හා අධ්‍යක්ෂණය හා චිත්‍රපට නිෂ්පාදන සහායකවරයෙකු ලෙස පෙර අත්දැකීම් ලබා තිබුණි.

මහජන ගෞරව සඳහා ඔහුගේ දේහය අවසන් වරට තැන්පත් කළ කොළඹ සුදර්ශී ශාලාවත් ශාන්ත දේශබන්ධු කලාකරුවාත් අතර කිට්ටු සම්බන්ධයක් ඇති බව දන්නේ ඔහු ළඟින්ම ඇසුරු කළ කීප දෙනෙක් පමණි. ශාන්ත දේශබන්ධු සහෝදරයා දීපාල් සිල්වා, නිහාල් සිල්වා, නිමල් ලක්ෂපති ආරච්චි, සේනානායක වේරලියද්ද ආදින් සමග නිතරම සුදර්ශී ශාලාවේ ඇති නුගගහ යටට එකතුවන බව (සෙට් වෙන බව) මට දැනගන්නට ලැබුණා. රූපවාහිනියේ වැඩ ඇරී බොහෝ දිනවල සවසට ඔහු යන්නේ සුදර්ශී එකටය. මේ නිසා ශාන්තගේ ගජ මිතුරෙකු වූ නිමල් ලක්ෂපති ආරච්චි මහතා පසු කලෙක රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වන විටත් ශාන්ත රූපවාහිනියේ රැකියාව කරමින් හුන්නේය. තනතුරු උසස් කර ගැනීමට සිය මිතුරාගෙන් උදව් ඉල්ලීමට ශාන්තට උවමනා නොවීය. එය නොහොබිනා ක්‍රියාවක් ලෙස ඔහු සිතුවේය. ශාන්ත කවදත් උත්සාහ කළේ සිය සහජ හැකියාවෙන් ඉදිරියට යාමටය.  

නුගගහ යට ශාන්තගේ තවත් ගජ මිතුරෙකු වූ නැසීගිය ප්‍රවීන විකට ශිල්පී නිහාල් සිල්වා මහතාගේ එවකට නවතම නාට්‍ය නිර්මාණය වූ “සාජන්ට් නල්ලතම්බි” වේදිකා නාට්‍යය ස‍ඳහා ගීත ලිවීමේ භාග්‍යයද ශාන්තට හිමිවිය. මේ නාට්‍යය ගැනද යමක් කිව යුතු යැයි හැඟේ. ඒ කාලයේ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන වේදිකා නාට්‍යයක් බැලීමට යාමට තරම් උනන්දුවක් ලංකාවේ ප්‍රෙක්ෂක ජනතාවට නොවීය. කෙටියෙන් කිව්වොත් බොහෝ වේදිකා නාට්‍ය රංග ශාලා වේලී ගොස් තිබුණි. මේ තත්වය උඩු යටිකුරු කළේ “සාජන්ට් නල්ලතම්බි” නාට්‍යය යැයි කිව්වොත් එහි වරදක් නැත. එකල තිරගත වූ ජනප්‍රිය සිංහල චිත්‍රපට වලටත් වඩා මහා ජන ගංගාවක් නල්ලතම්බි නාට්‍යය බැලීමට පොරකෑහ. නාට්‍ය දර්ශන බැලීම සඳහා ශාලා අභියස දිගු පෝලිම් පවා දක්නට ලැබුණි. දිවයින පුරා එම නාට්‍යය පෙන්වීමට නාට්‍ය සංවිධායකයින් පියවර ගත්හ. මේ නිසා කාට කාටත් කරල පැහුණි. මේ නාට්‍යය ජනප්‍රිය වීමට ප්‍රධාන කරුණු දෙකක් බලපෑවේය. එකක් නිහාල් සිල්වා මහතාගේ ප්‍රබල රංගනයයි. අනෙක නාට්‍යයේ එන අමුතු තාලේ ගීත කීපයයි. විශේෂයෙන්ම එහි එන “දවාලෙ පායන චන්ද්‍රයා මේ අව්වා මේ අව්වා. මමයි කනත්තේ භෘංගයා මේ අව්වා මේ අව්වා” යන ගීතයයි. එය රචනා කළේ අපේ කලාකරු ශාන්ත දේශබන්ධු විසිනි. නාට්‍යයේ සියළුම ගීත ශාන්තගේය. නාට්‍යයේ නිෂ්පාදක නිහාල් සිල්වා මහතා තමාට ලැබුණු මුදල් වලින් නියමිත කොටස ගීත රචක තම මිතුරු ශාන්තට දීමට අමතක නොකළේය. මේ නිසා මුදල් අඟ හිඟකමින් පෙළුණ ශාන්තට මෙය මහත් අස්වැසිල්ලක් විය.

ශාන්තගේ තවත් මිතුරෙතු වූ සේනානායක වේරලියද්ද මහතා වඩාත් ජනප්‍රිය වූයේ එනම් ජනතාව අතරට ගියේ ශාන්ත දේශබන්ධු නිසා යැයි විවාදයකින් තොරව පැවසිය හැක. වේරලියද්ද ගයන “සාගරය බඳු වේදනාවෝ”, “මගේ ජීවිතේ පුරා-එකම සිතින් ප්‍රාර්ථනා”, “මල් පබා” ,“මල් වියනෙන් බැඳි” ගීත ශාන්තගේය. එසේම එඩ්වඩ් ජයකොඩි ගයන “ගමේ පන්සල-අපේ පන්සල”තවත් එකකි. නව පරපුරේ ගායක ගායිකාවන්ටද ශාන්ත ගී ලියා ඇත. සශිකා නිසංසලා ගයන “මල් සර හී සරින්” අජිත් රන්දුණුගේ ගයන “පොල්කටු වලින් මුට්ටියෙ බත තැම්බෙනවා” ඉන් කීපයකි. මේ ලිපිය ලියන අවස්ථාව වනවිට ඔහු ලියූ සම්පූර්ණ ගීත ලැයිස්තුව සොයාගැනීමට මට කාලය මදිවූ බව කිව යුතුය.

ශාන්ත දේශබන්ධු යනු කලාවන් කීපයකින් එකවර දස්කම් පෑ විරල ඝනයේ කලාකරුවෙකි. කවි රචනා කලාවද ඔහුට අපූරුවට පිහිටා තිබුණි. “සම්මා සංකල්පනා” සහ “රඹුටන් වත” ඔහු ලියූ කවි සංකල්පනා ග්‍රන්ථ දෙකකි. එසේම “සත්‍යයෙහි සංකල්පනා” නමින් ඔහු ගීත සංග්‍රහයක් ද එළි දැක්වීය. එමපණක් ද නොව ඔහු දක්ෂ නාට්‍ය  නිෂ්පාදකයෙකු ද වන්නේය. “තණ්හාපති”, “හංසකුමාරි” ඒ වගේම  “තාප්පෙන් එහා” සහ “මිනිහ” (මිනිහා නොව) ඔහු නිෂ්පාදනය කළ නාට්‍ය හතරකි. අවසන් නාට්‍ය දෙක සඳහා ප්‍රධාන තේමා ලාංඡනය සකස් කර දුන්නේ මා විසිනි. “තාප්පෙන් එහා” ප්‍රථම මංගල දර්ශනය වේදිකා ගත වූයේ ලුම්බිණි රඟහලේදීය. ඔහුගේ ආරාධනයෙන් මා එය බැලීමටද ගියෙමි. මේ කාලය වන විට අගහිඟ කමින් ‍පෙළුණ ඔහු මෙම නාට්‍ය පවා නිර්මාණය කර වේදිකා ගත කලේ එයින් හෝ තම ජීවිතය සාර්ථක කරගැනීමටය. අපට පුළුවන් ආකාරයට ඔහුට උදව් කළත් ඔහුව සාර්ථක කිරීමට යමක් කමක් ඇති උදවිය ඔහුට අත දුන්නේ නැත. මේ නාට්‍යය පවා ඔහු ඉදිරිපත් කලේ තමාගේ අතේ ඇති සුළු මුදලකින්ය. මේ නිසා ඔහුගේ නාට්‍ය අසාර්ථක විය.

ශාන්ත උපන්නේ 1951 ඔක්තෝබර් 09  දින කොළඹ දීය. ඔහුගේ සැබෑ නම දොන් සෙනරත් පියසිරි අතපත්තු ය. පියා දොන් සේතන් අතපත්තු වූ අතර මව කන්නන්ගරගේ ඇසිලියා පියවතීය. සාමාන්‍ය පෙළ විභාගය කිරීමට 1964 දී වැල්ලවත්ත මහා විද්‍යාලයට ඇතුලත් වූ ඔහු පාසලේදී ද හැකි සෑමවිටම කලා කටයුතු වල නිරත විය. 

පාසල් අධ්‍යාපනයෙන් පසු චිත්‍රපට හා වීඩියෝ නිෂ්පාදන ආයතන කීපයක රැකියාව කරමින් එම නිෂ්පාදන කාර්යයන් පිළිබඳ මනා පුහුණුවක් ලබාගත්තේය. 1982 පෙබරවාරි මස ජාතික රූපවාහිනිය ආරම්භ විය. ජාතික රූපවාහිනියේ නිෂ්පාදන ක්ෂේත්‍රෙයේ රැකියාවක් ලබාගැනීම ශාන්තගේ එකම සිහිනය බවට පත්ව තිබුණි. නමුත් එකවරම එය ලබාගැනීම පහසු නොවන බව ශාන්තට අවබෝධ විය. එයට හේතුව කොපමණ දක්ෂතා තිබුණත් එකවර උසස් රැකියාවකට යාමට නම් ඉහළ අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය වීමය. නමුත් ඔහු උත්සාහය අත හැරියේ නැත. සුළු රැකියාවක් ලබාගෙන හෝ රූපවාහිනිය තුලට පැමිණ ඉදිරියේදී තම අරමුණ ඉටුකර ගැනීම ශාන්තගේ ඒකායන අරමුණ විය.

ඔහුගේ බලාපොරොත්තු සඵල වෙමින් 1982 අගෝස්තු 27 දින සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට ඉන් දින තුනකට පසු පත්වීම ලැබිණ. ඒ අනියම් කාර්යාල කම්කරු යන තනතුරයි. සේවා ස්ථානය වූයේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයයි. වැටුප ලෙස ලැබුණේ දිනකට රුපියල් 13 ක දීමනාවකි. එය ජීවත්වීමට තරම් ප්‍රමාණවත් වැටුපක් නොවුණත් ඔහු සතුටින් තම රැකියාවේ නිරත විය. රාජකාරී කටයුතු හොඳින් සිදුකළ හෙයින් ශාන්ත අවුරුද්දක කාලයකින් ස්ථිර තනතුරකට හිමිකම් කීය. ඔහුට කාර්යාල සහායක නම් ස්ථිර තනතුර හිමිවිය. පුහුණු මධ්‍යස්ථානයට අමතරව රජයේ විගණන කාර්යාලයේද, පුස්තකාලයේ කටයුතුද ශාන්තට පැවරිණ.


1985 සැපයීම් අංශයට මාරුවක් ලද ඔහු එම අංශයේ අවුරුදු 11 ක් සේවය කළේය. එම අවුරුදු 11 කාලය ඇතුලත තම රාජකාරී වලට අමතරව රූපවාහිනියේ විවිධ නිෂ්පාදන කටයුතු වලට සම්බන්ධ වීමට ශාන්තට අවස්ථාවක් හිමිවුනේ බලධාරීන්ගේ අනුමැතිය ද ඇතිවය. මෙහිදී පහත සඳහන් කලා කටයුතු වලට හේ දායක විය. 


1. ප්‍රථම ශ්‍රී පාද සජීවී වැඩසටහනේ නිෂ්පාදන සහායකයෙකු වශයෙන් කටයුතු කිරීම.
2. සවනක් රැස් වැඩසටහනේ නිෂ්පාදන සහකාරවරයෙකු ලෙස වැඩ කිරීම.
3. ඉන්දියානු චිත්‍රපටයකට ගීත ලිවීම.
4. ගීත රචනය - ප්‍රවීන ගායක ගායිකාවන් සඳහා ගීත ලිවීම.
5. නාට්‍ය නිෂ්පාදනය/ නාට්‍ය රඟපෑම - “තාප්පෙන් එහා”
6. වීඩියෝ චිත්‍රපට නිෂ්පාදනයේදී සහාය අධ්‍යක්ෂවරයෙකු වශයෙන්  සේවය කිරීම - ප්‍රෙසිෂන් ප්‍රොඩක්ෂන් ආයතනය.
5. ටයිටස් තොටවත්ත මහතාගේ නිෂ්පාදන වලට දෙබස් හඬදීම.
6. චිත්‍රපටිවල රඟපෑම - 

බලවත් උත්සාහයක් ගෙන ඔහු 1996 දී ඊ.එන්.ජී. ඒකකයට (බාහිර නිෂ්පාදන සේවා කටයුතු ඒකකයට) පත්වීමක් ලබාගත්තේය. ඒ ඊ.එන්.ජී. සහායක තනතුරටය. 2001 වසරේදී ඔහු තවත් ස්ථාන මාරුවක් ලබාගත්තේය. මෙවර ඔහුට හිමිවුනේ විශේෂ වැඩසටහන් ඒකකයයි. මේ තනතුර හරහා නිෂ්පාදන කාර්යයන්ට බොහෝදුරට සහාය වීමට ලැබුණෙන් ඔහු සිත යට තිබූ ඒකායන බලාපොරොත්තුව සඵල වීමට ආසන්න යැයි ඔහුට සිතෙන්නට ඇත. 

මේ කාලයේදී ඔහු විවාහ දිවයට එළඹිණ. විවාහයෙන් ඔහු නිවුන් දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවට පත්විය. ඒ පුතෙකු හා දුවෙකු වශයෙනි. වැඩිමලා පුතු විය. හේ ඔවුන් දෙදෙනාට අසීමිතව ආදරය කළේය. අවාසනාවකට එයින් බාල දියණිය කුඩා කාලයේම අකාලයේ මිය ගියාය. ඒ නිවසේ වත්තේ පිහිටි ජල පොකුණක වැටීමෙන්ය. ජීවිතයේ දුක්ක දෝමනස්සයන්ට පත් වුණත් ශාන්ත ඒ කිසිවක් කාටත් නොකියා  කාටත් නොපන්වා සුපුරුදු ලෙස තම රාජකාරී අකුරට ඉටු කළේය. 

ඊ.එන්.ජී. සහායක තනතුර වෙනුවට සුදුසු තනතුරක් ඔහු අපේක්ෂා කළේය. ඔහු මෙතෙක් ආශාවෙන් සිටි හා බලාපොරෝත්තුව සිටි තනතුර ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේය. ඒ නිෂ්පාදන සහකාර තනතුරයි. ඇතැම් අයගේ විරෝධතා මැද නොබියව එම තනතුර ශාන්තට ලබාදීමට මූලිකව ක්‍රියා කළේ එවකට අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සිටි ප්‍රවීන පරිපාලන නිලධාරියකු වන වජිර නාරම්පනාව මහතාය. එයට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ද අනුමැතිය හිමිවිණ.  

මේ අනුව 2002 දී ශාන්තට නිෂ්පාදන සහකාර තනතුර හිමිවූ අතර සංගීත ඒකකයට මාරුවීමක් ද ලැබුණි. සංගීත ඒකකයේ සංගීත වැඩසටහන් රාශියකට සම්බන්ධවීමට ශාන්තට මේ මගින් අවස්ථාව හිමිවිය. දීර්ඝ ‍සේවා කාලයේ අවසන් අවුරුදු කීපයේදී හෝ ශාන්තට උරුමවූ අවස්ථාව ලැබීම සතුටක් මෙන්ම දුකක්ද මිශ්‍ර හැඟීමක් මට ඇතිවිය. මොකද වසර කීපයකට පෙර ඔහුට මෙම තනතුර ලැබුණි නම් ඔහුගේ රූපවාහිනී නිර්මාණ රැසක රසය විඳීමට අපට අවස්ථාවක් ලැබෙන්නට තිබුණි. 2006 දී විශ්‍රාම යනතුරු ඔහු මේ තනතුර දැරීය. 

ශාන්ත දේශබන්ධු කලාකරුවාගේ වටිනාකම කාටත් දැනුණේ ඔහු මිය ගිය පසුය. මා කලින් නැවත නැවතත් සඳහන් කළ පරිදි ඔහුගේ හැකියාව ඔප මට්ටම් කිරීමට බලවත් අයගේ උදව්වක් නොලැබීම අවාසනාවකි. එසේම කළ සේවයට ඔහුට උපහාරයක් කිරීමටවත් කෙනෙකු හෝ ආයතනයක් ඉදිරිපත් නොවීමද ගැටළුවකි. කෙසේ වෙතත් අප ඔහුට අවසන් ගෞරවය පුද කරමු. පවුලේ ඉතිරි සාමාජිකයින්ගේ සුවදුක් සොයා බලමු. ශාන්ත දේශබන්ධු කලාකරුවානෙනි, ඔබට නිවන් සුව අත්වේවා.

Wednesday, January 6, 2016

Actress Sadhana Shivdasani passes away - සධානා ජීවිතයෙන් සමුගනී.



සධානා ජීවිතයෙන් සමුගනී.


පැරණි හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය නිළියක් වූ ප්‍රවීන නිළි සධානා ශිවදාසනී පසුගිය නත්තල් දින (2015-12-25 දින) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට 74 වියේ පසුවූ ඇය හිසේ ඇතිවූ ටියුමර් තත්වයක් නිසා දිගු කලක් පිළිකා රෝගයෙන් පෙළුණු අතර පසුගිය දෙසැම්බරයේ උගුරේ ශල්‍යකර්මයකටද භාජනය වූවාය. කෙසේ වෙතත් ඇය අවසන් හුස්ම ‍හෙළුවේ ඇගේ නිවසේදීය.

අද තරුණ පරපුර බොහෝවිට ඇගේ රඟපෑම් දැක නොතිබෙන්නට පුළුවන. එකල ශ්‍රී ලංකා සිනමා හා සංගීත රසිකයින් අතර මුවග රැව්දුන් ඇය රඟපෑ ජනප්‍රිය ගීත දෙකක යූ ටියුබ් ලින්ක් දෙකක් පමණක් ඉදිරිපත් කරමි. මින් එකක් “ ඒක් පූල් දෝමාලි” චිත්‍රපටයේ “ තුජෙ සූරජ කාහූ යා චන්ද්‍රා” ගීතය. මෙම චිත්‍රපටය 1970 දී බොරැල්ලේ ලිඩෝ සිනමා ශාලාවේදී දින ගණනාවක් තිරගතවූ බව එය නැරඹූ රසිකයෙක් කියා තිබුණා. මෙය සධානා සමග බාල්රාජ් සහිනි රඟපෑමෙන් ද මන්නාඩේ ගායනයෙන් ද එක්වූ නිර්මාණයකි. බලන්න ඔබටත් මේ ගීතය මතකද කියා.


https://www.youtube.com/watch?v=9HBXnDoo734


අනෙක් ගීතය “ආප් අයේ බහාර් අයි” චිත්‍රපටයේ “ මුජේ තේරී මොහාබත කා - සහාරා” යන ගීතයයි.මෙහි සධානා සමග රාජේන්ද්‍ර කුමාර් රඟපෑමෙන්ද ලතා මංගේෂ්කාර් සමග මොහොමඩ් රාෆි ගායනයෙන් එක්වුනා. මෙහි සිංහල ගීතය ඔබ අසා ඇතුවාට සැකයක් නැත. ඒ එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක ගායනා කරන “කලක් තිස්සේ සිතක් පතුලේ” ගීතයයි.https://www.youtube.com/watch?v=DbHg4sMPuJw

Friday, September 11, 2015

Cannon 250 Mega Pixel Camera

ජපානයේ ඉලෙක්ට්‍රොනික දැවැන්තයෙකු වන ඩිජිටල් කැමරා නිපදවන කැනන් සමාගම විසින් ලොව මෙතෙක් නිපදවා නැති අතිවිශාල මෙගා පික්සල් ප්‍රමාණයක් සහිත කැමරා සෙන්සරයක් නිපදවා තිබේ. මෙගා පික්සල් 250 ක ධාරිතාවක් සහිත එය CMOS වර්ගයේ සෙන්සරයකි. මෙහි ප්‍රබලතාව කොතරම්ද කියතොත් පොළොවේ සිට කිලෝ මීටර් 18 ක් ඉහළ අහසේ පියාසර කරන ගුවන් යානයන බඳේ පින්තාරු කර ඇති අකුරු ඉතා පැහැදිලිව හසුකර ගැනීමට මෙම සෙන්සරයට හැකියාව ඇත. දැනට එම සෙන්සරය සවිකර ඇති ආදර්ශ කැමරාවක් ඇසුරින් පර්යේෂකයින් විසින් මෙම දත්ත ලබාගෙන ඇත.
සෙන්සරය ප්‍රබල වුවත් එය දැනට භාවිතා කරනු ලබන මිලිමීටර් 35 ඩිජිටල් කැමරාවේ සෙන්සරයටත් වඩා කුඩාය. (ප්‍රමාණය - 2.92 cm X 2.02cm)
මෙහි ඇති පික්සල් මිලියන 25 යනු පික්සල් 19580ක් X 12600 ක් යන ප්‍රමාණයකි. එසේම මෙම සෙන්සරය සහිත කැමරාවකින් උපරිම තීව්‍රකාවක් ඇති වීඩියෝ දසුන් ලබාගත හැකි අතර එය දැනට ඇති Full HD මෙන් 125 ගුණයකි. එමෙන්ම දැනට ඇති නූතන 4K තාක්ෂණය මෙන් 30 ගුණයක පැහැදිලි බවක් ලබාගත හැක.
මෙහි ඇති ප්‍රබලතාව නිසා මෙය හුදෙක්ම සාමාන්‍ය මහජනතාවගෙන් බැහැරව යුදමය, කාර්මික, අභ්‍යවකාශ හෝ ආරක්ෂක කටයුතු ස‍ඳහා පමණක් භාවිතා කිරීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
මෙම කරුණු නිසා එය වෙළෙඳ කැමරා ස‍ඳහා භාවිතා කිරීම සැක සහිත වී තිබේ. ඒ ආරක්ෂක හේතු නිසාය. කොහොමටත් එය අනාගතයේදී ඔබගේ ස්මාට් ජංගම දුරකථනයේ භාවිතයට පැමිණීම සිදු නොවන බව අදාල සමාගම පවසයි. ඒ වුණත් එයින් යම් ආයතන වලට ලැබෙන ඉමහත් ප්‍රයෝජන නිසා වක්‍රාකාරයෙන් මහජනයාටද ඉන් ප්‍රයෝජන ලැබෙනු ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

Saturday, April 25, 2015

WEST INDIES FAST BOWLERS OF THE 80'S - What do they now? බටහිර ඉන්දීය වේගපන්දු බලකාය අද කෝ?

WEST INDIES FAST BOWLERS OF THE 80'S - What do they now? 
80 දශකයේ බටහිර ඉන්දීය වේගපන්දු බලකාය



ක්‍රිකට් දිවියෙන් ඉවත්වූ ලෝ ප්‍රකට බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන්නෝ - අද කොතැනද?

එංගලන්තය විසින් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළත් එම ක්‍රීඩාව ව්‍යාප්තවූ ඇතැම් රටවල් එංගලන්තයටත් වඩා එම ක්‍රීඩාවෙන් මහත් ප්‍රසිද්ධියට පත්විණි. 1975දී ලෝක ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේදී පැවැත්විණි. එම තරගාවලියට මූල්‍ය දායකත්වය ලබාදුන්නේ පෲඩන්ෂල් රක්ෂණ සමාගමයි. ඒ නිසාම එම තරගාවලිය හැඳින්වූයේ පළමු පෲඩන්ෂල් ලෝක කුසලාන තරගාවලිය ලෙසය. මෙම තරගාවලිය අද පවත්වනු ලබන තරගාවලියකට වඩා බොහෝ වෙනස් විය. ඉනිමක ඕවර සංඛ්‍යාව 60 කි. සියළු රටවල ක්‍රීඩකයින්ගේ නිළ ඇඳුම සුදු පැහැය විය. පන්දුවේ පැහැය රතුය. දිවා රාත්‍රී තරග එකළ නොවීය. මෙම පළමු තරගයේ ශූරතාව හිමිකරගත්තේ අවසාන මහා තරගයෙන් ඕස්ට්‍රේලියා පිල පැරදවූ බටහිර ඉන්දීය කොදෙව් පිලය. මේ නිසා බටහිර ඉන්දීය පිල එවක ඉමහත් ප්‍රසිද්ධියට පත්විය.

1975 ජයග්‍රහණය - නායක ක්ලයිව් ලොයිඩ් කුසලානය අතැතිව

බටහිර ඉන්දීය කොදෙව් පිල වඩාත් ජනප්‍රිය වූයේ 1979 දී පැවැත්වූ පෲඩන්ෂල් ලෝක කුසලාන දෙවන තරගාවලියේ  අවසන් තරගයෙන් එංගලන්ත පිල පරදා ලැබූ ජයග්‍රහණය නිසාය. මෙම දෙවන තරගාවලියෙන් පසු එය හැඳින්වූයේ අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලිය ලෙසය. පිට පිට දෙවරක් ලෝක ශූරයින් බවට පත්වෙමින් බටහිර ඉන්දීය පිල හිමිකරගත් මෙම වාර්තාව එකල ලෝක වාර්තාවකි. (පිට පිට තුන්වතාවක් ඇතුළු පස් වතාවක් ලෝක ශූරයින් බවට පත්වීමේ වාර්තාවට දැන් හිමිකම් කියන්නේ ඕස්ට්‍රේලියාවයි.)

පෲඩන්ෂල් කුසලානය

1979 පෲඩන්ෂල් ලෝක කුසලානය දෙවන වරටත් දිනාගනිමින් එම
කුසලානය ඔසවාගෙන සිටින්නේ ක්ලයිව් ලොයිඩ්ය. මෙහි විවියන් 
රිචර්ඩ්ස්, ඇල්වින් කලිචිරාන්, ගෝඩන් ග්‍රිනිච්, ජොයෙල් ගානර්,
ඇන්ඩි රොබට්ස් හා ඩෙරික් මරේ පැහැදිලිව හඳුනාගත හැක.


බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ගැන කතාකරන විට 1975 ප්‍රථම ලෝක කුසලාන වකවානුවට පෙර යුගය ගැනද කතා නොකර බැරිය. මන්ද එම යුගයේ සිටි යෝධ ක්‍රිකට් රජවරුන්ගේ අභාෂය නොවන්නට බටහිර ඉන්දීය කොදෙව් පිලට මෙවැනි ජයග්‍රහණ හිමි නොවන්නට ඉඩ තිබිණි.

1975ට පෙර යුගයේ කොදෙව් පිලේ දස්කම් දැක්වූවන් අතර ගාෆීල්ඩ් සෝබර්ස්, ෆ්රෑන්ක් වොරල්, වෙස්ලි හෝල්, චාලි ග්‍රිෆිත්, ඩෙරික් මරේ, ලාන්ස් ගිබ්ස්, රොහාන් කන්හායි, ගෝඩන් ග්‍රිනිච් හා ඇල්වින් කලිචරන් කැපී පෙනෙයි.

1963 බටහිර ඉන්දීය කණ්ඩායම


1975 ලෝක කුසලාන ජයග්‍රහණ වලින් පසු කාගෙත් මුවග රැව්දුන් ක්‍රීඩකයින් අතර ඇන්ඩි රොබට්ස්, මයිකල් හෝල්ඩිං, කොලින් ක්‍රොෆ්ට්, ජොයෙල් ගාර්නර්, මැල්කම් මාෂල්, කර්ට්නි වොල්ෂ්, කර්ට්ලි ඇම්බෲස්, ඉයන් බිෂොප්, ක්ලයිව් ලොයිඩ්ස්, විවියන් රිචර්ඩ්ස්, රිචී රිචඩ්සන්, සහ කාල් හූපර් කැපී පෙනෙයි. 

ලෝක කුසලාන ජයග්‍රහණ වලින් පසු කාලයක් යනතුරු බටහිර ඉන්දීය පිල ලබාගත් ලෝක මට්ටමේ ජයග්‍රහණ රැසකට දායකවූයේ එම කණ්ඩායමේ සිටි අති දක්ෂ වේග පන්දු යවන්නන්, පිතිකරුවන් හා කණ්ඩායම් නායකයින්ය. ඔවුන් සියල්ලෝම අද ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙනය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අද ජීවිතයේ සැඳෑසමය ගෙවමින් සිටිති. කිහිප දෙනෙක් ජීවිතයෙන්ද සමුගෙනය. නමුත් ඔවුන්ගේ නාමය සදා නොමැකෙනසේ ක්‍රිකට් ලෝලයින් අතර අදටත් රැව් පිළිරැව් දෙයි. විශේෂයෙන්ම අද ලංකාවේ සිටිනා වැඩිහිටි ක්‍රිකට් ලෝලයින්ට ඔවුන්ව අමතක නොවේ. ක්‍රිකට් වලට ලැදි වර්තමාන පරපුරේ ක්‍රිකට් ලෝලීන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා මෙය ඉදිරිපත් කෙරේ.

එදා ක්‍රිකට් ලොව හෙල්ලූ ලෝ ප්‍රකට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ- (තුන් ඉරියව් ක්‍රීඩකයෝ/පිතකරුවෝ/කණ්ඩායම් නායකයෝ සහ වේග පන්දු යවන්නෝ )

1.
ශ්‍රීමත් ෆ්රෑන්ක් වොරල් - (නායක හා තුන් ඉරියව් ක්‍රීඩක)

සම්පූර්ණ නම - Sir Frank Mortimer Maglinne Worrell

සර් ෆ්රෑන්ක් මෝටිමර් මැග්ලින් වොරල්

උපත - 1924 - අගෝ. 01

විපත - 1967 - මාර්තු. 13 (මියයන විට වයස - අවු.42)


ලෝක කුසලාන ක්‍රිකට් යුගයට පෙර බටහිර ඉන්දීය කොදෙව් පිල බිහිකළ විශිෂ්ඨතම ක්‍රීඩකයින් කීපදෙනා අතරින් කෙනෙකි. ඔහු 1950 වසරවල කණ්ඩායම් නායකයා විය. බටහිර ඉන්දීය පිලේ ප්‍රථම කළු ජාතික ක්‍රිකට් නායකයා බවට පත්වූයේ වොරල්ය. (එතෙක් නායකකම දැරුවේ සුදු ජාතිකයින්ය.) ශ්‍රීමත් ෆ්රෑන්ක් වොරල්ගේ ක්‍රිකට් දිවිය 1948 සිට 1963 දක්වා විය.

ෆ්රෑන්ක් වොරල් තරුණ වියේදී

ෆ්රෑන්ක් වොරල්  විශ්‍රාම යෑමෙන් පසු

ෆ්රෑන්ක් වොරල් නමින් නිකුත්කළ මුදල් නෝට්ටුවක් 

වොරල් නායකත්වය දැරූ කණ්ඩායමේ ලෝක ප්‍රකට ක්‍රීකඩකයින් තිදෙනෙකුද විය. ඒ අන් කිසිවෙක් නොව වේග පන්දු යවන වෙස්ලි හෝල් , චාලි ග්‍රිෆිත් සහ තුන් ඉරියව් ක්‍රීඩක ගාෆීල්ඩ් සෝබර්ස්ය. 

“නරී කොන්ට්‍රැක්ටර්” අනතුර
1962 පෙබර. 3 දින ඉන්දියාව බාර්බඩෝස් (බටහිර ඉන්දියා පිල) පිලට එරෙහිව එංගලන්තයේදී තරගයක් පැවැත්වීය. ඉන්දියානු කණ්ඩාමේ නායක නරී කොන්ට්‍රැක්ටර් එම අවස්ථාවේ පන්දුවට පහර දෙමින් සිටියේය. පන්දු යවන්නා වූයේ වේග පන්දු යවන චාලි ග්‍රිෆිත් ය. ග්‍රිෆිත් නරීන්ට පන්දුව එවන අවස්ථාවේදී ප්‍රෙක්ෂකාගාරයේ සිටි කිසිවකු විසින් කරනු ලැබූ බාධාකිරීමක් නිසා නරීගේ ඒකාග්‍රතාව බිඳී ගියේය. පන්දුව පැමිණෙන නිසි මාර්ගය ඔහුට නොපෙනුණි. බවුන්සර් පන්දුව හිසේ පිටුපස වැදී හිස්කබල පිපිරී ගියේය.

එම සිද්ධිය එදින කැමරාවේ සටහන්වූ ආකාරය. බිම වැටී හිස බදා සිටින්නේ නරී කොන්ට්‍රැක්ටර්ය. ඉදිරියෙන් සිටින්නේ වේග පන්දුව යැවූ චාලි ග්‍රිෆිත්ය. 

අනතුරට පත් නරීට ප්‍රථමාධාර දෙන සිය සගයින්

බලධාරින් විසින් නරීව පිටියෙන් ඉවතට වත්තම් කරගෙන යන අයුරු


නරී කොන්ට්‍රැක්ටර් එදා සහ අද (ඔහු දැනට ඉන්දියානු ක්‍රිකට් ඇකඩමියේ පුහුණුකරුවෙකු ලෙස සේවය කරයි.)

රෝහලේදී නරී හදිසි සැත්කම් 2කට භජනය විය.එම අවස්ථාවේදී ඔහුගේ මොලයේ සිරවී තිබූ ලේ කැටිති ඉවත් කෙරිණි. දින 6ක් නරී සිහි විසඥව සිටියේය. ඔහුට රුධිරය ලබාදීමට අවශ්‍යතාවක් ඇතිවූයෙන් බටහිර ඉන්දීය පිලේ නායකවූ සර් ෆ්රෑන්ක් වොරල් විසින් ක්ෂණිකව නරීට රුධිරය ලබාදී ඔහුගේ දිවි බේරාගත්තේය. මෙම අනතුරින් නරී කොන්ට්‍රැක්ටර්ගේ ජීවිතය බේරුණත් ඔහුගේ ක්‍රිකට් දිවිය එතැනින් සදහටම නතර කිරීමට සිදුවිය. ඉන්දියානුවෙකුට රුධිරය ලබාදී ඔහුගේ ජීවිතය බේරාදුන් නිසා අදටත් ඉන්දියාවේ බෙංගාලි ප්‍රාන්තයේ ක්‍රිකට් ලෝලින් ෆ්රෑන්ක් වොරල්ව ගෞරවයෙන් සිහිපත් කරනු ලබයි. ෆ්රෑන්ක් වොරල්ව සිහිපත් කිරීම සඳහා සෑම වර්ෂයකම අදාල දිනයේ ඉන්දියානුවන් විසින් ඉන්දියාවේ කල්කටා නගරයේ ඊඩන් ගාඩ්න් පිටියේදී ලේ දන්දීමේ කඳවුරක් පවත්වාගෙන යනු ලැබේ.

1963දී ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යාමෙන් පසු වොරල් දේශපාලනයට පිවිසියේය. ජැමෙයිකාවේ සෙනෙට් සභාවටද තේරී පත්විය. 1964 දී නයිට් නාමයෙන් පුදනු ලැබූ නිසා ඔහුට ශ්‍රීමත් නාමය ලැබිණි. 1965දී පමණ බටහිර ඉන්දීය කොදෙව් පිලේ කළමනකරුවූ හෙතෙම 1966-1967 ඉන්දියාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගි වන අතරතුරේදී සිදුකළ වෛද්‍ය සායනයකදී ඔහුට ලියුකේමියා රෝගය වැළඳී ඇතිබව තහවුරු විය. ආපසු තම නිවස වන ජැමෙයිකාවට පැමිණ මාසයකට පමණ පසු ඔහු මෙලොව හැර ගියේය. මියයන විට වයස 42කි. අවමංගල්‍ය උත්සවය නිසි ගෞරව සහිතව එංගලන්තයේ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්විණි. ක්‍රීඩකයෙකු වෙනුවෙන් එවැනි උත්සවයක් එම දේවස්ථානයේ පැවැත්වූ ප්‍රථම අවස්ථාවද එයවේ.

2.
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්
    සම්පූර්ණ නම - සර් ගාෆීල්ඩ් සෙන්ට් ආබ්‍රන් සෝබර්ස් -

    Sir Garfield St Aubrun Sobers

    උපත - 1936 - ජූලි 28 (දැනට වයස- අවු.-78) 
    උස - අඩි 5 අඟල් 11

ගාෆීල්ඩ් සෝබර්ස් යන්න බොහෝ දෙනා ගැරී සෝබර්ස් යනුවෙන්ද හඳුන්වයි. 1954 සිට 1974 දක්වා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල නියෝජනය කළ ක්‍රීඩකයෙකි. එතෙක් මෙතෙක් ක්‍රිකට් ලෝකයේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස මුළු ලොවම මොහුව පිළිගනු ලබයි. මේ ලිපිය ලියන අවස්ථාවේදීත් ඔහු ජීවමානව සිටීම ඇත්තෙන්ම අපගේ වාසනාවකි. ඔහුට වයස දැන් අවුරුදු 78 කි. ප්‍රකට බටහිර ඉන්දීය ක්‍රිකට් නායක ෆ්රෑන්ක් වොරල්ගේ කණ්ඩායමේ සිටි වැඩකාරයන්ගෙන් කෙනෙකි. 

1953 දී එනම් වයස 16 දී ඔහු පළමු පෙලේ තරග වලට සහභාගිවෙමින් ක්‍රිකට් අත්පොත් තැබීය. ඊළඟ වසරේදී ඔහු සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි විය. මුලදී පන්දු යවන්නෙක් ලෙස සහභාගී වී පසු කලෙක ක්‍රමයෙන් දක්ෂ පිතිකරුවෙකු බවට පත්විය. 1958දී සෝබර්ස් ක්‍රිකට් ලොවට අමතක නොවන වාර්තාවක් එක්කළේය. 1958 දී පාකිස්ථානයත් සමග පැවති ටෙස්ට් තරගයකදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේය. එම ශතකය ඉදිරියට ඇදී එය නොදැවී ටෙස්ට් ලකුණු 365 ක් ලෙස සටහන්වී ලෝක වාර්තාවක් බවට සණිටුහන් විය. එය දිගු කාලයකට කිසිවෙකුටවත් බිඳ නොහෙළිය හැකි වාර්තාවක් ලෙස එම කාලයේ කා අතරත් කතාබහට ලක්විය. (මෙම වාර්තාවට කලින් හිමිකම් කීවේ  කීර්තිමත් එංගලන්ත ක්‍රිකට් නායකයෙකුවූ ලෙන් හට්න් විසින් 1938දී පිහිටුවා තිබූ ටෙස්ට් ලකුණු 364ක වාර්තාවයි. 1958 සිට වසර 46ක් අඛණ්ඩව පැවති සෝබර්ස්ගේ එම ලෝක වාර්තාව 1994දී බ්‍රයන් ලාරා විසින් ලකුණු 375ක් ලබා බිඳ හෙළීය. පසුකලෙක බ්‍රයන් ලාරා විසින්ම ලකුණු 400ක් ලබා වසර 2000දී ඔහුගේ වාර්තාව අලුත් කළේය.) 


1968දී සෝබර්ස් තවත් වික්‍රමයක් කළේය. ඒ ඔහු සහභාගී වූ පළමු පෙළ ක්‍රිකට් තරගයකදීය. එනම් ඔහු නොටිංහැම්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් එම කණ්ඩායමේ නායකයා ලෙසින් ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවකදී ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නා විසින් යැවූ එක් ඕවරයකදී පන්දු 6ටම හයේ පහර 6ක් එල්ල කළ ලෝකයේ පළමු ක්‍රීඩකයා බවට පත්වෙමිනි. ඕවරයකට ලකුණු 36 ක් ලබාගෙන ඔහු එදින බින්දේ මීට පෙර ඕවරයකට ලකුණු 34ක් ලබා වසර 57කට පෙර ටෙඩ් ඇල්ස්ටන් ක්‍රීඩකයා විසින් තබා තිබූ වාර්තාවයි. මේ අසම සම වාර්තාවට මෑතක් වනතුරු පළමු පෙළ තරගවලද, ටෙස්ට් තරගවලද, එක්දින තරගවලද කිසිවෙකුට සමකිරීමට නොහැකි වී තිබිණි. සෝබර්ස් ලොව පුරා ජනප්‍රිය වූයේ මෙම වාර්තා සමගිනි. 

සෝබර්ස් හයේ හය එල්ලකළ ආකාරය දැක්වෙන යූ ටියුබය
https://www.youtube.com/watch?v=KZUVL3SqqZo

(නමුත් 1985 තවත් පළමු පෙළ තරගයකදී ඉන්දියානු ක්‍රීඩකයෙකු විසින් එම වාර්තාව සමකරන ලදී. ඒ රවී ශාස්ත්‍රිය. එක් දින තරගයකදී ඕවරයක පන්දු 6ටම පිට පිට හයේ පහරවල් 6ක් එල්ල කළ ප්‍රථමයා වූයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස්ය. ඒ 2007 ලෝක කුසලාන තරගාවලියේ 2007 මාර්තු 16 දින දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර පැවති එක්දින තරගයේදීය. මේ නිසා ඔහු ලෝක කුසලාන තරගයකදී හයේ හය එල්ල කළ ප්‍රථමයාද වන්නේය.

හර්ෂල් ගිබ්ස් හයේ හය එල්ලකළ ආකාරය දැක්වෙන යූ ටියුබය
https://www.youtube.com/watch?v=CKdYJSpQZD8


එක්දින තරගයකදී ඕවරයකට වැඩිම ලකුණු ප්‍රමාණයක් එනම් ලකුණු 36ක් ලබාගත් එකම හා ප්‍රථම ක්‍රීඩකයා හ්රෂල් ගිබ්ස් වන අතර එක්දින ඕවරයකට ලකුණු 35ක් ලබා ලෝකයේ දැනට දෙවන ස්ථානය ලබා සිටින්නේ කව්ද කියා ඔබ දන්නවාද? ඒ ශ්‍රී ලාංකික පිතිකරු තිසර පෙරේරායි.


තිසර පෙරේරාගේ මේ වික්‍රමය නැරඹීමට යූ ටියුබය

එසේම 2007 , 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ 2007 සැප්තැම්බර් 19 දින පැවැත්වූ ඉන්දියාව හා එංගලන්තය අතර තරගයේදී ඉන්දියානු ක්‍රීඩක යුවරාජ් සිං ඕවරයකට 6 පහරවල් 6ක් එල්ල කළේය. එමගින් යුවරාජ් සිං 20 යි 20 ලෝක තරගාවලියක හයේ හය එල්ලකළ ප්‍රථමයා බවට පත්විය.) 

යුවරාජ් සිංගේ හයේ හය වික්‍රමය දැක්වෙන යූටියුබයේ ලින්ක් එක-
https://www.youtube.com/watch?v=wSwSaF2z124

ටෙස්ට් තරගයක හයේ හය එල්ලකළ ප්‍රථමයා තවම බිහිවී නොමැත. 

ෆ්රෑන්ක් වොරල්ගෙන් පසු සෝබර්ස් කණ්ඩායමේ නායකයා බවට පත්විය. 1975 දී දෙවන එළිසබත් රැජින විසින් නයිට්නාමය පුද කිරීම නිසා ඔහුට ශ්‍රීමත් (සර්) යන ගෞරව නාමය හිමිවිය. 1998දී බාබඩෝස් රජය විසින් ගාෆීල්ඩ් සෝබර්ස් එරට ජාතික වීරයෙකු ලෙස නම්කරන ලදී. පසු කලෙක ජාත්‍යන්තර පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළේය. 


ගාෆීල්ඩ් සෝබර්ස්  ක්‍රිකට් පිටියේදී

සෝබර්ස් අද

සෝබර්ස් අද


3. ශ්‍රීමත් වෙස්ලි හෝල්
සම්පූර්ණ නම - සර් වෙස්ලි වින්ෆීල්ඩ් හෝල්
                        Sir Wesley Winfield Hall

උපත - 1937 - සැප් 12 (දැනට වයස- අවු.-77)

උස - අඩි 6 අඟල් 2

සර් වෙස්ලි හෝල් ලෝක කුසලාන ක්‍රිකට් යුගයට පෙර බිහිවූ අග්‍රගණ්‍ය වේග පන්දු යවන්නෙකි. ශක්තිමත්ව වැඩුණු උස දේහයක් හිමි ඔහු පන්දුව මුදා හැරීමට පෙර පිටියේ අන්තයක සිට බොහෝ දුරක් දිව එයි. 1958 සිට 1969 දක්වා බටහිර ඉන්දීය පිල වෙනුවෙන් තරග 48කට දායක වී ඇත. ආරම්භක පන්දු යවන්නෙකු ලෙස ඔහු පිටියට පිවිසෙන්නේ තම සගයා වූ ලෝ ප්‍රකට තවත් වේග පන්දු යවන්නෙකු ලෙස නම්දරා සිටි චාලි ග්‍රිෆිත් සමගිනි. මේ දෙදෙනා නිසා 1960 ගණන් වල කොදව් පිල ශක්තිමත් පිලක් ලෙස ප්‍රකටව තිබුණි. පාසල් ක්‍රිකට් ක්‍රීඩයෙකුව සිටි සමයේ ඔහු කඩුළු රැකීම හා පිතිකරුවෙකු ලෙස දසකම් පෑවත් වේග පන්දු යවන්නෙකු ලෙස අවතීර්ණ වූයේ කලකට පසුය. 

1958 දී ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගයට සහභාගීවීමෙන් ඔහු ටෙස්ට් වරම් ලැබීය. 1959 දී පාකිස්ථානයට එරෙහිව පැවතී තරගයකදී ඔහු කඩුළු ත්‍රිත්වයක් ලැබීය. මේ නිසා බටහිර ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට කඩුළු ත්‍රිත්වයක් ලැබූ ක්‍රීඩකයා ඔහුය. 

දිගින් දිගටම ක්‍රීඩාවේ නියැලීම නිසා ආබාධ රැසකට මුහුණ දීමට සිදුවූ පසු 1969දී ක්‍රිකට් ජීවිතයෙන් සමුගැනීමට ඔහුට සිදුවිය. ඉන්පසු එරට දේශපාලනයට පිවිසුණු වෙස්ලි හෝල් බාර්බඩෝස්වල සෙනෙට් සභියෙකු ලෙස කටයුතුකර 1987දී සංචාරක අමාත්‍ය ධූරයට පත්විය. එසේම කොදෙව් පිලේ කළමනාකාරිත්වයට පිවිසි ඔහු ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් 2001 සිට 2003 දක්වා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ලෙසත් කටයුතු කළේය. ක්‍රිකට් ක්‍රීඩාවට හා ප්‍රජාවට කළ සේවය වෙනුවෙන් ඔහු 2012 වසරේදී නයිට් නාමයෙන් පුදනු ලැබීය. එතැන් පටන් ඔහු ශ්‍රීමත් හෙවත් සර් යන ගෞරව නාමයෙන් හැඳින්වේ.


 
වෙස්ලි හෝල්ගේ ඉරියව්


වෙස්ලි හෝල් අද

4. චාලි ග්‍රිෆිත් 


සම්පූර්ණ නම - චාල්ස් ක්‍රිස්ටෝපර් ග්‍රිෆිත් 
                        Charles Christopher Griffith
උපත - 1938 - දෙසැම්බර් 14 (දැනට වයස- අවු.-76)

උස - ?

චාලි ග්‍රිෆිත් ලෝක කුසලාන ක්‍රිකට් යුගයට පෙර බිහිවූ තවත් ලෝ ප්‍රකට වේග පන්දු යවන්නෙකි. 1960 සිට 1969 දක්වා ටෙස්ට් තරග 28කට දායක වී ඇත. ආරම්භක පන්දු යවන්නෙක් ලෙස ඔහු ක්‍රියාකාරී වූයේ තම සගයා වූ වෙස්ලි හෝල් සමගිනි. ඔහුගේ වේග පන්දු කෙතරම් අනතුරු දායකද යත් වරක් ඔහුගේ පන්දුවක් හිසේ වැදීමෙන් ඉන්දියානු පිලේ නායක හා කීර්තිමත් පිතිකරුවෙකුවූ නරී කොන්ට්‍රැක්ටර්ගේ හිස්කබල පිපිරී ගියේය. (මෙම සිද්ධිය විස්තරාත්මකව කලින් සඳහන් කර ඇත.)

චාලි ග්‍රිෆිත්ගේ ඉරියව්


චාලි ග්‍රිෆිත්ගේ ඉරියව්


චාලි ග්‍රිෆිත් තරුණ වියේදී

චාලි ග්‍රිෆිත් මැදි වියේදී

චාලි ග්‍රිෆිත් වර්තමානයේදී

***පෙරදින ලෝකයේ රජකළ ක්‍රිකට් වේග පන්දු යවන්නෝ 22 දෙනෙක් පසුගිය 2011 වසරේදී ලංඩන් නුවරට රැස්වූහ. එහිදී ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, ශ්‍රීමත් වෙස්ලි හෝල් සහ චාලි ග්‍රිෆිත් යන තිදෙනා එකම වේදිකාවේ සිට අදහස් දැක්වූ අයුරු දැකගත හැකි වීඩියෝවක යූ ටියුබ් ලින්ක් එක - 

https://www.youtube.com/watch?v=uUujXieS_VM


5. ශ්‍රීමත් ඇන්ඩි රොබට්ස්


සම්පූර්ණ නම - Sir Anderson Montgomery Everton Roberts

සර් ඇන්ඩර්සන් මොන්ගොමෙරි එවර්ටන් රොබට්ස්

උපත - 1951 - ජනවාරි 29 (දැනට වයස- අවු.-64)

උස - අඩි 6 අඟල් 2

ඇන්ඩි රොබට්ස් කොදෙව් පිලේ ප්‍රකට වේග පන්දු යවන්නෙකි. ඔහු ලෝකයේ අනෙක් පිතිකරුවන් සමග බැලූවිට පන්දු යැවීමට පිටියේ වැඩිම දුරක සිට දිව එන පන්දු යවන්නෙක් බව කියවේ. ඔහු ටෙස්ට් තරගයකදී එක් ඉනිමකදී කඩුළු 7 බැගින් දෙවරක්ම ලබාගත් පන්දු යවන්නෙකි. එසේම ඔහු හැත්තෑව දශකයේ මැදභාගයේ සිට අසූව දශකයේ මුල් භාගය දක්වා වූ කාලයේ කොදෙව් පිලේ වේග පන්දුවෙන් ලොව හෙල්ලූ හතරදෙනාගේ කල්ලියේ සිටි එක් සාමාජිකයෙකි. (අනෙක් තිදෙනා වූයේ එකල විරුද්ධ පිලේ පිතිකරුවන් වනසා දැමූ මයිකල් හෝල්ඩිං, ජොයෙල් ගානර් සහ කොලින් ක්‍රොෆ්ට් ය.) තවද ඇන්ඩි රොබට්ස් 1975 සහ 1979 වසරවල එංගලන්තයේ පැවැත්වූ මුල් ලෝක කුසලාන තරගමාලා දෙකටම සහභාගීවූ අයෙකි. තමාට මුහුණ දීමට සිදුවූ වේගවත්ම හා භයානකම පන්දුයවන්නා වූයේ ඇන්ඩි රොබට්ස් බව පකිස්ථාන ක්‍රිකට් නායකව සිටි ඉම්රාන් ඛාන් පසුකලෙක පවසා තිබුණි. 

ඇන්ඩි රොබට්ස්ගේ පන්දු යැවීමේ සුවිශේෂී ප්‍රයෝගයක් එකල කා අතරත් ජනප්‍රිය විය. පන්දු යැවීමේදී ඔහු වරක් එල්ල කරන්නේ මද වේග බවුන්සර් පන්දුවකි. පිතිකරුවා එයට සැහැල්ලුවෙන් හා විශ්වාසයෙන් පහර දෙයි. දෙවන වර එල්ල කරන්නේ පළමු ඉරියව්වෙන් වුවත් භයානක පන්දුවකි. මුල් පන්දුවට පහර දුන් ආකාරයටම පිතිකරුවා එම පන්දුවට පහර දෙන්න සැරසුනත් ඔහු දැවී යයි.

 
                           ඇන්ඩි රොබට්ස්ගේ ඉරියව්

ඇන්ඩි රොබට්ස්ගේ ඉරියව්

ශ්‍රීමත් ඇන්ඩි රොබට්ස් අද



6. මයිකල් හෝල්ඩිං


සම්පූර්ණ නම - මයිකල් ඇන්තනි හෝල්ඩිං
                        Michael Anthony Holding
උපත - 1954 - පෙබරවාරි 16 (දැනට වයස- අවු.- 61)

උස - අඩි 6 අඟල් 3.5

මයිකල් හෝල්ඩිං කොදෙව් පිලේ සිටි අති වේගවත් පන්දු යවන්නෙකි. ඔහු එල්ල කරන පන්දුවේ ඇති මෘදු බව හා වේගවත් බව යන ගුණාංග නිසා එකල ඇතැම් විනිසුරුවන් විසින් හෝල්ඩිංව හඳුන්වා ඇත්තේ සියුම්ව පැමිණෙන මාරයා යන අන්වර්ථ නාමයෙනි. ඔහු සිය ශරීර උසෙන් නියම ප්‍රයෝජනය ලබාගන්නා නිසා විශාල පරතරයක් ඇති බවුන්සර් පන්දු ඔහුගෙන් බිහිවේ. ඔහුද හැත්තෑව දශකයේ හා අසූව දශකයේ මුල් භාගයේ කොදෙව් පිලේ සිටි වේග පන්දු බලමුළුවේ එක් සාමාජිකයෙකි. (අනෙක් සගයන් වූයේ ජොයෙල් ගානර්, ඇන්ඩි රොබට්ස්, සිල්වෙස්ටර් ක්ලාක්, කොලින් ක්‍රොෆ්ට්, වෑන් ඩැනියෙල් සහ දිවියෙන් සමුගත් මැල්කම් මාෂල් ය.) මයිකල් හෝල්ඩිං 1976 දී වාර්තාවක් පිහිටුවීය. එනම් බටහිර ඉන්දීය පන්දු යවන්නෙක් විසින් ටෙස්ට් තරගයක ලබාගත් හොඳම පන්දු යැවීමයි. එනම් ලකුණු 149 කට කඩුළු 14 ක් ලබාගැනීම. මෙම වාර්තාව තවමත් කිසිවකු බිඳ දමා නැත. ඔහුගේ රුව රැගත් ඩොලර් 2ක වටිනාකමක් ඇති මුද්දරයක් ජැමෙයිකාව විසින් නිකුත් කෙරිණි. 

මයිකල් හෝල්ඩිං සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජැමෙයිකා ගුවන් විදුලියේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු බවට පත්වී පසුව (1990දී) රූපවාහිනී ක්‍රිකට් විස්තර විචාරකයෙකු බවටද පත්විය. 1999දී (BARC) ආයතනයේ එනම් ක්‍රිකට් පන්දු යවන්නන්ගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂා කරනු ලබන ආයතනයේ පරීක්ෂකයෙකු ලෙසද පත්වුණි.

 
මයිකල් හෝල්ඩිංගේ ඉරියව්

මයිකල් හෝල්ඩිංගේ ඉරියව්

මයිකල් හෝල්ඩිං වර්තමානයේදී



7. කොලින් ක්‍රොෆ්ට් 

සම්පූර්ණ නම - කොලින් එවර්ටන් හන්ට් ක්‍රොෆ්ට් 
                        Colin Everton Hunte Croft

උපත - 1953 - මාර්තු 15 (දැනට වයස- අවු.- 62)

උස - අඩි 6 අඟල් 5

කොලින් ක්‍රොෆ්ට් ද හැත්තෑව/අසූව දශකයේ කොදෙව් පිලේ සිටි වේග පන්දු බලකායේ සාමාජිකයෙකි. ඔහුගේ උස නිසා ඔහු එවන පන්දු බොහෝවිට ආවේගකාරී වේ. 1977දී පාකිස්ථානයට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී කොලින් ක්‍රොෆ්ට් ලකුණු 29කට කඩුළු 8ක් ලබාගනිමින් බටහිර ඉන්දීය වේග පන්දු යවන්නෙකු විසින් පිහිටවූ හොඳම පන්දු යැවීමේ වාර්තාව තවමත් නොබිඳී පවතී. නමුත් අවාසනාවකටදෝ ඔහුගේ ක්‍රිකට් දිවිය වසර 5කට සීමාවිය. 1982 දී වර්ණභේද වාදී දකුණු අප්‍රිකාව සමග තරගයකට සහභාගීවීම නිසා ඔහුට ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් විය. ක්‍රොෆ්ට් සමග එම සංචාරයට සහභාගීවූ සියළුම ක්‍රීඩකයින්ට වෙනත් රටවල ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලට සහභාගීවීමටද ඉඩ නොදෙන ලදී. මේ නිසා ක්‍රොෆ්ට් අපවාද වලින් බේරීමට මව්රටින් වෙන්වී අමෙරිකාවේ පදිංචියට ගියේය. නමුත් ඔහුගේ තහනම 1989 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ කොදෙව් ක්‍රිකට් මංඩලය විසින් ඉවත් කරගත් නමුත් ඔහු නැවත ක්‍රිකට් ක්‍රීඩාවට එක් නොවීය. 1994 සිට ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් විශ්ලේෂකයෙකු හා ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කරලියට පිවිසියේය. ක්‍රික්-ඉන්ෆෝ වෙබ් අඩවියට ඔහු ලිපි 500ක් පමණ සම්පාදනය කර ඇත. කොදෙව් පිල ක්‍රිකට් ක්‍රීඩා කරන බොහෝ අවස්ථාවල ජාත්‍යන්තර ක්‍රීඩා ජනමාධ්‍යවේදියෙකු වශයෙන් වෘත්තීමය සේවයක් ඔහු ඉටු කළේය. විශේෂයෙන්ම 2007 ICC ලෝක කුසලාන තරගාවලියේ කොදෙව් පිල සහභාගීවන තරග වෙනුවෙන් විශ්ලේෂකයෙකු ලෙස අගනා සේවයක් කළේය. 2007 වසරේදී ඔහු එංගලන්ත පාසලක ගණිතය විෂය උගන්වා තිබේ. 

පෞද්ගලික ජීවිතය ගැන බැලීමේදී ක්‍රිකට් ක්‍රීඩා කරන වකවානුවේදී පවා විශේෂයෙන් 1973-1981 දී ඔහු ගුවන් ගමන් පාලක වරයෙකු වශයෙන් සේවය කොට ඇත. එසේම අමෙරිකාවේ වාණිජ ගුවන් නියමු බලපත්‍රයද ඔහු ලබාගෙන තිබෙන අතර කැරිබියානු දූපත් (බටහිර ඉන්දීය දූපත්) වල ගුවන් නියමුවෙකු වශයෙන්ද සේවය කොට ඇත.

කොලින් ක්‍රොෆ්ට්ගේ ඉරියව්

කොලින් ක්‍රොෆ්ට්ගේ ඉරියව්

කොලින් ක්‍රොෆ්ට් අද



8. ජොයෙල් ගාර්නර් 


සම්පූර්ණ නම - ජොයෙල් ගාර්නර් - Joel Garner

අන්වර්ථ නාමයන් - බිග් ජොයෙල්, බිග් බර්ඩ්

උපත - 1952 - දෙසැම්බර් 16 (දැනට වයස- අවු.- 63)

උස - අඩි 6 අඟල් 8

ජොයෙල් ගාර්නර් 70 දශකයේ අගභාගයේ සහ 80 දශකයේ මුල්භාගයේ කොදෙව් පිල නියෝජනය කළ තවත් ලෝ ප්‍රකට දැවැන්ත වේග පන්දු යවන්නෙකි. ඔහු එවකට ලෝකයේ සිටි පන්දු යවන්නන් අතර වඩාත් කතාබහට ලක්වූයේ ලොව උසම පන්දු යවන්නා වීම නිසාය. ඔහුගේ උස අඩි 6යි අඟල් 8කි. උසම පන්දු යවන්නා පන්දුව අතැතිව වේගයෙන් දිවඑන විට ලෝකයේ බොහෝ පිතිකරුවෝ බියෙන් සලිතවී ගිය බව එකල ජනමාධ්‍යවල දක්වා තිබිණි. ඔහුගේ ක්‍රිකට් ජීවිතය 1977 සිට 1987 දක්වා අවුරුදු 10 කි. එම කාලය තුල ටෙස්ට් තරග 58 ක ට සහභාගිවී කඩුළු 259ක් ලබාගත්තේය. එසේම එක්දින තරග 98කට සහභාගිවී කඩුළු 146ක් ලබාගෙන තිබේ. 

ඔහුගේ ක්‍රිකට් පුහුණුකරුවන් ලෙස ක්‍රියා කළේ පෙර දවස පන්දුවෙන් දසකම්පෑ වෙස්ලි හෝල් සහ චාලි ග්‍රිෆිත් බව ඔහු සඳහන් කරයි. 

1979 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව පැවති අවසන් තරගයේදී ඔහු ලකුණු 38 කට කඩුළු 5ක් දවාගැනීම එතෙක් මෙතෙක් ලෝක කුසලාන අවසන් තරගයකදී පන්දු යවන්නෙකු පෙන්නුම් කළ හොඳම පන්දු යැවීම බවට වාර්තාවී තිබේ. 2010 , ඔක්තෝබරයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරයේදී කොදෙව් කණ්ඩායමේ අතුරු කළමණාකරු වශයෙන් ක්‍රියා කළේද ජොයෙල් ගාර්නර්ය.

 
ජොයෙල් ගාර්නර්ගේ ඉරියව්

 
ජොයෙල් ගාර්නර්ගේ ඉරියව්

ජොයෙල් ගාර්නර් අද



9. මැල්කම් මාෂල්


සම්පූර්ණ නම - මැල්කම් ඩෙන්සිල් මාෂල්
                        Malcolm Denzil Marshall

උපත - 1958 – අප්‍රේල් 18 (මියයන විට වයස- අවු.- 41)

විපත - 1999 – නොවැම්බර් 04

උස - අඩි 5 අඟල් 11

මැල්කම් මාෂල් කොදෙව් වේග පන්දු බලකායේ සිටි උසින් අඩුම වේග පන්දු යවන්නායි. එසේ වුවත් ඔහුගේ වේග පන්දු ඉතා අනතුරුදායක බව විචාරකයන්ගේ මතයයි. එසේම ඔහු ප්‍රහාරාත්මක පිතිකරුවෙකුද වෙයි. ඔහු ටෙස්ට් අර්ධ ශතක දහයක් ලබාගෙන තිබෙන අතර පළමු පෙළේ තරග වලදී ශතක හතක් රැස්කර තිබේ.

පෞද්ගලික ජීවිතය - පොලිස් නිලධාරියෙක් ලෙස සේවය කොට ඇති ඔහුගේ පියා වාහන අනතුරකින් මියගියේ මාෂල්ට අවුරුදු 10ක් තරමේදීය. මව නැවත විවාහයක් කරගත්තෙන් මාෂල්ට අලුතින් සහෝදරයෙක් හා සහෝදරියක් ලැබිණි. 1978දී ටෙස්ට් වරම් හිමිවිය. 1992 දී ඔහු අන්තර් ජාතික ක්‍රිකට් වලින් සමුගත්තත් ප්‍රාන්ත සහ පළමු පෙලේ ක්‍රිකට් තරග රැසකට සහභාගි විය. මාෂල් ක්‍රිකට් වලින් විශ්‍රාම ගැනීමෙන් පසු 1996දී හැම්ප්ෂයර් ප්‍රාන්තයට සහ කොදෙව් පිලට පුහුණු කරුවෙකු ලෙස සේවය කළේය.

1999 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන කාල වකවානුවේදී මැල්කම් මාෂල්ට ආන්ත්‍රා පිළිකාවක් ඇතිබවට තහවුරු විය. වහාම පුහුණුකරු තනතුරෙන් ඉවත්වී ප්‍රතිකාර සඳහා යොමුවිය. රෝගි බව දැන දැනත් ඔහු 1999 සැප්තැම්බරයේදී දිගු කාලීන ඇසුරක් තිබූ තම පෙම්වතිය සමග විවාහ විය. නැවත සිය ගම් පලාත වෙත ගිය මාෂල් 1999 නොවැම්බර් 4 දින පිළිකා රෝගය උත්සන්න වී සදහටම දෙනෙත් පියාගත්තේය. මියයන විට 41 වැනි වියේ පසුවිය. ඒ අවස්ථාවේදී මාෂල්ගේ බර කිලෝ 25 දක්වා බැස තිබුණි. අවමංගල පෙරහැරේදී මාෂල්ගේ දෙන හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායකයින් පස්දෙනෙකු විසින් රැගෙන යන ලදී. අදත් මැල්කම් මාෂල් අනුස්මරණ කුසලානය නමින් කොදෙව් රටේ ක්‍රිකට් තරගයක් වාර්ෂිකව පවත්වාගෙන යනු ලබන්නේ මාෂල්ට උපහාරයක් වශයෙනි.

 
මැල්කම් මාෂල්ගේ ඉරියව්

මැල්කම් මාෂල්ගේ ඉරියව්

මැල්කම් මාෂල්ගේ ඉරියව්

පුහුණුකරුවෙකුව සිටියදී ගත් ඡායාරූපයක්



10. කර්ට්නි වොල්ෂ්



සම්පූර්ණ නම - කර්ට්නි ඇන්ඩෘ වොල්ෂ් 
                         Courtney Andrew Walsh

උපත - 1962 – ඔක්තොබර් 30 (දැන් වයස- අවු.- 52)

උස - අඩි 6 අඟල් 5.5

කර්ට්නි වොල්ෂ් බටහිර ඉන්දීය වේග පන්දු බලකාය සිටි යුගයෙන් පසු බිහිවූ වේග පන්දු යවන්නෙකි. 1994 සිට 2001 දක්වා වූ කාලයේ වොල්ෂ් කොදෙව් පිල නියෝජනය කළේය. ආරම්භක පන්දු යවන්නෙක් ලෙස ඔහු පිටියට පිවිසියේ බොහෝවිට ඔහුගේ සගයා වූ තවත් වේග පන්දු ශූරයෙකුවූ කර්ට්ලි ඇම්බෲස් සමගිනි. 

කර්ට්නි වොල්ෂ් එකල වාර්තාවක් පිහිටුවීය. ඒ ටෙස්ට් කඩුළු 519ක් ලබාගනිමින් (වසර 2000දී) ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා වීමෙනි. මේ වාර්තාව පිහිටෙව්වේ මෙයට කලින් ඉන්දියාවේ කපිල් දේව් ලබාගත් ටෙස්ට් කඩුළු 494 වාර්තාව බිඳදමමිනි. (වොල්ෂ් ගේ වාර්තාවද බිඳ දමනු ලැබුයේ ඕස්ට්‍රේලියානු දඟපන්දු යවවන්නා වන ෂේන් වෝන් විසිනි. ඒ වසර 2007දී ටෙස්ට් කඩුළු 708ක් ලබමිනි. වෝන්ගේ වාර්තාවද බිඳ දමනු ලැබූයේ 2011දී ශ්‍රී ලංකා දඟපන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසිනි. ඒ ටෙස්ට් කඩුළු 800ක් ලබාගනිමින්ය. ) මේ අනුව කර්ට්නි වොල්ෂ් ටෙස්ට් කඩුළු 500 සීමාව ඉක්මවූ ලෝකයේ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය. 

1994දී කොදෙව් කණ්ඩායම ඉන්දියාවේ හා නවසීලන්තයේ කෙරුණු සංචාරයේදී ඔහු කොදෙව් කණ්ඩායමේ නායකයා බවට පත්වූයේ එවකට නායකාව සිටි රිචී රිචඩ්සන් හදිසියේ අසනීප වූ නිසාය. වොල්ෂ් ගේ අවසාන එක්දින තරගය වසර 2000දී නවසීලන්තයට එරෙහිව පැවති අතර අවසාන ටෙස්ට් තරගය වසර 2001දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්විණි. 

වොල්ෂ් තම ක්‍රිකට් දිවියේ ටෙස්ට් තරග 132කට සහභාගී වී කඩුළු 519 ක් ලබාගෙන තිබෙන අතර එක්දින තරග 205 කට සහභාගීවී කඩුළු 227ක් ලබාගෙන තිබේ.

කර්ට්නි වොල්ෂ් එදා පිටියේදී

 
කර්ට්නි වොල්ෂ් ගේ ඉරියව්


 කර්ට්නි වොල්ෂ්  වර්තමානයේදී

11. ශ්‍රීමත් කර්ට්ලි ඇම්බෘෘස්

සම්පූර්ණ නම - සර් කර්ට්ලි ඇල්කන් ලින්වෝල් ඇම්බෘෘස් 
                         Sir Curtly Elconn Lynwall Ambrose 

උපත - 1963 – සැප්තැම්බර් 21 (දැන් වයස- අවු.- 51)

උස - අඩි 6 අඟල් 7

කර්ට්ලි ඇම්බෘෘස්ද බටහිර ඉන්දීය වේග පන්දු බලකා යුගයෙන් පසු බිහිවූ වේග පන්දු යවන්නෙකි. ඔහු ආරම්භක පන්දු යවන්නෙක් වශයෙන් බොහෝවිට එක්වූයේ තම සගයා වූ කර්ට්නි වොල්ෂ් සමගිනි. ඔහු ටෙස්ට් තරග 98 කට සහභාගීවී ටෙස්ට් කඩුළු 405ක් ලබාගත්තේය. එසේම එවකට ICC ක්‍රිකට් වර්ගීකරණයෙන් ලොව හොඳම පන්දු යවන්නා ලෙස ඔහුව තෝරාගෙන තිබිණි. අඩි 6යි අඟල් 7ක් වූ ඔහුගේ උස නිසා ඔහු ඉන් උපරිම ඵල නෙලා ගෙන තිබේ. ඔහුගේ බවුන්සර් පන්දුව ඉහළින්ම පැමිණියත් එය නිසි ඉලක්කයට එල්ල විය. මේ නිසා ඔනෑම පිතිකරුවෙකු ඇම්බෘෘස්ට මුහුණදීමේදී චකිතයට පත්විය. 1992දී විස්ඩන් සඟරාව විසින් වසරේ ක්‍රිකට් තරුව ලෙසද ඔහුව තෝරාගනු ලැබිණි.

ඇම්බෘෘස් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූයේ මදක් පසු කාලයේදීය. මුලදී ඔහු බාස්කට් බෝල් ක්‍රීඩාවෙහි නියැලුණේය. නමුත් හදිසියේම වේග පන්දු යැවීම ආරම්භ කළේය. ජාත්‍යන්තර තරගයකට හාපුරා කියා ඉදිරිපත්වූයේ 1988දීය. ඔහුගේ සාර්ථකත්වය නිසාම බලධාරින් විසින් ඔහු 2000 වසරේ විශ්‍රාම යන තෙක් පැවති සෑම තරගයකටම එක්කරගන්නා ලදී. ඔහු තරග දිනවන ක්‍රීඩකයෙක් බවට පත්විය. 1993දී ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව එක් ලකුණකට කඩුළු 7ක් ලබාගැනීම විශ්මය ජනකය.

 
 
 
කර්ට්ලි ඇම්බෘෘස්ගේ ඉරියව්

කර්ට්ලි ඇම්බෘෘස් තම සගයා වූ කර්ට්නි වොල්ෂ් සමග

කර්ට්ලි ඇම්බෘෘස්  අද

ඉහතින් විස්තර කළේ 80 දශකයේ කොදෙව් පිලේ වේගපන්දු බලකායේ සිටි සුපිරි සාමාජියින් පස්දෙනෙකි. 
දිවියෙන් සමුගත් මැල්කම් මාෂල් හැර ඉතිරි අය පෙනී සිටි එදා ඡායාරූප හා අද ඡායාරූප කිපයක් දැන් බලමු.

1980දී කොදෙව් වේගපන්දු බලකායේ සාමාජිකයින්ව නායක කලයිව් ලොයිඩ් විසින් එළිසබත් රැජිනට හඳුන්වා දුන් අයුරු. පිංතූරයේ වමේ සිට - ඇන්ඩි රොබට්ස්, නායක කලයිව් ලොයිඩ්ස් (උපැස් යුවලක් පැළඳ), මයිකල් හෝල්ඩිං, කොලින් ක්‍රොෆ්ට් සහ ජොයෙල් ගානර්

පිංතූරයේ වමේ සිට - ඇන්ඩි රොබට්ස්, මයිකල් හෝල්ඩිං, කොලින් ක්‍රොෆ්ට් සහ ජොයෙල් ගානර්

පිංතූරයේ වමේ සිට - මයිකල් හෝල්ඩිං, ඇන්ඩි රොබට්ස්, ජොයෙල් ගානර්, කොලින් ක්‍රොෆ්ට් සහ විවියන් රිචර්ඩ්ස්


සාමාජිකයින් මෑත කාලයේදී - මයිකල් හෝල්ඩිං, ගෝඩන් ග්‍රිනිච්, ජොයෙල් ගානර් සහ කොලින් ක්‍රොෆ්ට්

1975 කොදෙව් කණ්ඩායම


ප්‍රථම ලෝක කුසලාන තරගාවලියේදී 1975 ජූනි 7 දින ශ්‍රී ලංකාව සමග පැවති තරගයට මුහුණදුන් බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රීඩකයින් - (පිටුපස පේලිය වමේ සිට දකුණට) ගෝඩන් ග්‍රිනිච්, මොරිස් ෆොස්ටර්, විවියන් රිචර්ඩ්ස්, කීත් බොයිස්, වැන්බර්න් හෝල්ඩර්, ඇන්ඩි රොබට්ස්, කොලිස් කිං, බර්නාඩ් ජූලියන්, ඇල්වින් කලිචිරාන්.(ඉදිරි පෙළ වමේ සිට දකුණට) රොහාන් කන්හායි, ඩෙරික් මරේ, නායක කලයිව් ලොයිඩ්ස්,කලයිඩ් වොල්කොට්(කළමනාකරු), ලාන්ස් ගිබ්ස් සහ රෝයි ෆෙඩ්රික්ස්

1980 කොදෙව් කණ්ඩායම


1979 දෙවන ලෝක කුසලාන තරගාවලියෙන් පසු 1980දී බටහිර ඉන්දීය කණ්ඩායම එංගලන්තයට ගිය අවස්ථාවක- (පිටුපස සිටගෙන වමේ සිට දකුණට) ඩී.ජේ.වේට්(වෛද්‍ය), ඩෙස්මන් හේන්ස්, මැල්කම් මාෂල්, කොලිස් කිං, මයිකල් හෝල්ඩිං, ජොයෙල් ගානර්, කොලින් ක්‍රොෆ්ට්, ඩී. පැරී, ෆවුඩ් බැකස්, ගෝඩන් ග්‍රිනිච් සහ ඩේවිඩ් මරේ.(ඉදිරි පෙළ වමේ සිට දකුණට) කලයිඩ් වොල්කොට්(කළමනාකරු), ඇල්වින් කලිචිරාන්, ඩෙරික් මරේ, නායක කලයිව් ලොයිඩ්ස්, විවියන් රිචර්ඩ්ස්, ලෝරන්ස් රෝ, ඇන්ඩි රොබට්ස්, සහ කැමී ස්මිත් (සහකාර කළමනාකරු).


70/80/90 කොදෙව් කණ්ඩායමේ සිටි ලෝ ප්‍රකට
අනෙක් ක්‍රීඩකයින් එදා සහ අද


 
ඇල්වින් කලිචිරන් එදා සහ අද




 කලයිව් ලොයිඩ් (නායක)එදා සහ අද



 
ඩෙරික් මරේ (කඩුළු රකින්නා)එදා සහ අද



 
කොලිස් කිං එදා සහ අද

ගෝඩන් ග්‍රිනිච් එදා සහ අද



ඩෙස්මන් හේන්ස් එදා සහ අද

 රොජර් හාපර් එදා සහ අද


 
රොහාන් කන්හායි එදා සහ අද


 ලැරී ගෝම්ස් එදා සහ අද


 
විවියන් රිචර්ඩ්ස් එදා සහ අද


රිචී රිඩර්ඩ්සන් එදා සහ අද



 
ලාන්ස් ගිබ්ස් එදා සහ අද

මේවාත් බලන්න

Alive - 1972 Andes plane crash - 1972 ඇන්ඩීස් ගුවන් අනතුර

Alive (එලයිව්) “පණපිටින් ”/ “ජීවතුන් අතර ” 1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින ...